Skip to content

පටුනට යන්න

හැම කාරණයකදීම ශුද්ධව ඉන්න

හැම කාරණයකදීම ශුද්ධව ඉන්න

“ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.”—1 පේතෘ. 1:15.

1, 2. (අ) යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? (ආ) මේ ලිපියේ අපි බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?

එදා හිටපු ඊශ්‍රායෙල්වරුන්ගෙන් වගේම ක්‍රිස්තියානීන්ගෙනුත් දෙවි ශුද්ධකම බලාපොරොත්තු වෙනවා කියලා ලෙවී කතාව පොතේ තියෙන තොරතුරු යොදාගෙන පේතෘස් පැහැදිලි කළා. (1 පේතෘස් 1:14-16 කියවන්න.) “ශුද්ධ තැනැත්තාණන්” වන යෙහෝවා දෙවි අභිෂේක ලත් අයගෙනුත් ‘වෙනත් බැටළුවන්ගෙනුත්’ ශුද්ධකම බලාපොරොත්තු වෙනවා. (යොහ. 10:16) දෙවිට ඕනෙ ඔවුන් ජීවිතේ කරන කියන හැම කාරණයකදීම ශුද්ධව ඉන්නවා දකින්නයි.

2 ශුද්ධකම ගැන යෙහෝවා දෙවි හිතන විදිහ තේරුම්ගන්න උදව් වෙන, ලෙවී කතාව පොතේ සඳහන් ප්‍රතිපත්ති කීපයක් ගැනත් ඒවා අදාළ කරගන්න පුළුවන් විදි ගැනත් මේ ලිපියෙන් බලමු. දෙවිගේ නීති, ප්‍රතිපත්ති බාල කරලා වැඩ කරන එක ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? හැම කාරණයකදීම දෙවිගේ පාලනයට අපි යටත් වෙන්න ඕන කියන දේ ගැන ලෙවී කතාව පොත උගන්වන්නේ මොනවද? ඊශ්‍රායෙල්වරුන් පූජා ඔප්පු කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

ප්‍රතිපත්ති බාල කරන උගුලට හසු වෙන්න එපා

3, 4. (අ) දෙවිගේ ප්‍රතිපත්ති බාල කරන එකෙන් අපි වැළකෙන්න ඕන ඇයි? (ආ) අමනාපය හිතේ තියාගෙන ඉන්න හොඳ නැත්තේ ඇයි?

3 යෙහෝවා දෙවිව සතුටු කරන්න නම් දෙවිගේ හැම නීතියකටම, ප්‍රතිපත්තියකටම අපි කීකරු වෙන්න ඕනේ. ඒ එකක්වත් සැහැල්ලුවට ගන්නවත් බාල කරන්නවත් පෙලඹෙන්න තියෙන උගුලට අපි හසු වෙන්න හොඳ නැහැ. ඇත්ත, අපි දැන් මෝසෙස් මගින් දුන්න නීතිය පිළිපදින්න ඕන නැහැ. ඒත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා තේරුම්ගන්න ඒ නීතිය අපිට උදව් වෙනවා. මේ උදාහරණය බලන්න. නීතියේ මෙහෙම කියලා තිබුණා. “පළි නොගන්න. ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න. ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න. මා යෙහෝවා දෙවිය.”—ලෙවී. 19:18.

4 පළිගන්න තියෙන චේතනාව, අමනාපය හිතේ තියාගෙන ඉන්නවට දෙවි කැමති නැහැ. (රෝම 12:19) ඒ ප්‍රතිපත්තිය සැහැල්ලුවට අරන් වැඩ කරනවා නම් ඒක දෙවිගේ නමට කරන අගෞරවයක්. ඒකෙන් සතුටු වෙන්නේ සාතන්. කෙනෙක් අපිව රිද්දුවා කියලා හිතන්න. ඒත් අපි ඒ කෙනා එක්ක තරහෙන් ඉන්න එක වැරදියි. බයිබලේ අපිව සමාන කරන්නේ දේවසේවය කියන වටිනා වස්තුව දාලා තියෙන “මැටි භාජන” විදිහටයි. (2 කොරි. 4:1, 7) අපි සාමාන්‍යයෙන් වටිනා වස්තුවක් දාලා තියෙන භාජනයකට ඇසිඩ් වගේ විස දියරයක් දාන්නේ නැහැ. වෛරය, කේන්තිය හරියට ඇසිඩ් වගේ. දේවසේවය කියන වටිනා වස්තුව දරන අතරේ ඒ වගේ නරක සිතුවිලි අපි තුළ තියාගෙන ඉන්නවට දෙවි කැමති නැහැ.

5. ආරොන්ගේ පුතුන්ගේ මරණය ගැන සඳහන් සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

5 ආරොන්ගේ පවුලේ අයට මුහුණ දෙන්න වුණු සිද්ධියක් ගැන ලෙවී කතාව 10:1-11 දකින්න තියෙනවා. යෙහෝවා දෙවි ගින්නක් එවලා නාදාබ් සහ අබිහු කියන ආරොන්ගේ පුත්තු දෙන්නාව මරලා දැම්මා. ඊටපස්සේ දෙවි ආරොන්ටත් ඔහුගේ පවුලේ අයටත් කිව්වා ඔවුන්ගේ දුක කිසිම විදිහකින් පෙන්නන්න එපා කියලා. දෙවිට විශ්වාසවන්තව ඉන්න එක ඒ වෙලාවේ ආරොන්ගේ පවුලේ අයට ලොකු අභියෝගයක් වෙන්න ඇති. ඔයාගේ පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළා කියලා හිතන්න. එයාව ආශ්‍රය නොකර ඉඳලා ශුද්ධව ඉන්නවා කියලා ඔයා ඔප්පු කරනවද?—1 කොරින්ති 5:11 කියවන්න.

6, 7. (අ) විවාහයකට සහභාගි වෙනවද නැද්ද කියලා තීරණය කරද්දී අපි හිතලා බලන්න ඕන මොන කාරණා ගැනද? (පාදසටහනේ සඳහන් ලිපිය බලන්න.) (ආ) පල්ලියේ පැවැත්වෙන විවාහයකට අපි සහභාගි වෙන්නේ නැත්තේ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන් කොහොමද?

6 ආරොන්ට මුහුණ දෙන්න වුණා වගේ දේකට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙන එකක් නැහැ. ඒත් අපි හිතමු සාක්ෂිකරුවෙක් නොවන නෑදෑයෙකුගේ විවාහයකට ඔයාට ආරාධනාවක් ලැබෙනවා කියලා. විවාහය පැවැත්වෙන වෙලාවේ ඒකට සම්බන්ධ දේකට හවුල් වෙන්න කියලත් ඔයාගෙන් ඉල්ලනවා. ඒත් ඒ විවාහය පැවැත්වෙන්නේ පල්ලියක. * දැන් ඔයා මොකද කරන්නේ? ඒකට සහභාගි වෙන්න එපා කියලා බයිබලේ කෙළින්ම නීතියක් නැහැ. ඒත් හරි තීරණයක් ගන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලේ තියෙනවා. *

7 දෙවිට විශ්වාසවන්තව, ශුද්ධව ඉන්න තියෙන අධිෂ්ඨානය නිසා අපි ගන්න තීරණය ගැන අපේ නෑදෑයන් පුදුම වෙයි. (1 පේතෘ. 4:3, 4) ඒ නිසා හිත රිද්දන්නේ නැතුව කාරණා එයාලට තේරුම් කරලා දෙන්න. උත්සවයට කාලෙකට කලින්ම ඒක කරන්න. මුලින්ම, කරපු ආරාධනාවට ස්තුති කරන්න. අපි ඒ අවස්ථාවට ඇවිත් ආගමික වත්පිළිවෙත්වලට හවුල් වෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉද්දී නෑදෑයොත්, අමුත්තොත් අපහසුතාවට පත් වෙන්න පුළුවන් කියලත් ඒකෙන් ඒ දවසේ සතුට නැති වෙනවා දකින්න අපි කැමති නැහැ කියලත් කියන්න. එහෙම කරනවා නම් ප්‍රතිපත්ති බාල නොකර දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්.

යෙහෝවා දෙවිගේ පාලනයට යටත් වෙමු

8. පාලනය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිට විතරයි කියන දේ ලෙවී කතාව පොතේ කාවද්දලා තියෙන්නේ කොහොමද?

8 පාලනය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිට විතරයි කියන දේ ලෙවී කතාව පොතේ කාවද්දලා තියෙනවා. මිනිසුන් වෙනුවෙන් නීති, ප්‍රමිති පනවන්න ඔහුට අයිතියක් තියෙනවා. යම් නීතියක් ගැන සඳහන් කරලා ඒ නීතිය දුන්නේ දෙවි කියන දේ 30 වතාවකටත් වඩා ලෙවී කතාව පොතේ සඳහන් වෙනවා. නීති පනවන්න දෙවිට අයිතිය තියෙනවා කියලා මෝසෙස් දැනගෙන හිටියා. දෙවි කියපු හැම දෙයක්ම ඔහු කළේ ඒ නිසයි. (ලෙවී. 8:4, 5) මෝසෙස් වගේ අපිත් අපේ පාලකයා වන යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන හැම දේම කරනවා. ඒ දේවල් කරන්න දෙවිගේ සංවිධානයෙනුත් සහෝදරයන්ගෙනුත් නිතරම අපිට උදව් ලැබෙනවා. ඒත් තනියම ඉන්න වෙලාවලදී යේසුස්ට මුහුණ දෙන්න වුණා වගේ අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන අවස්ථාවලට මුහුණ දෙන්න අපිටත් සිද්ධ වෙයි. (ලූක් 4:1-13) අපේ පාලකයා වන දෙවිව විශ්වාස කරලා ඔහුට කීකරුව ඉන්නවා නම් අපි අනිත් අයට බය වෙලා දෙවිගේ ප්‍රතිපත්ති බාල කරන්නේ නැහැ.—හිතෝ. 29:25.

9. සියලු ජාතීන් දෙවිගේ සෙනඟට වෛර කරන්නේ ඇයි?

9 යේසුස් මෙහෙම කිව්වා. “මිනිසුන් ඔබට පීඩා කර ඔබව මරණයට පත් කරයි. ඔබ මගේ නාමය දරන නිසා සියලු ජාතීන් ඔබට වෛර කරයි.” (මතෙ. 24:9) යේසුස් කිව්වා වගේ අපි හැමෝටම විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා. ඒත් අපි දේශනා සේවය නවත්තන්නේ නැහැ. ජීවිතේ හැම කාරණයකදීම ශුද්ධව ඉන්න අරන් තියෙන අධිෂ්ඨානය නැති කරගන්නෙත් නැහැ. ශාරීරිකව පිරිසිදුව ඉන්නත් අපේ හැසිරීම, හිතන පතන විදිහ පවිත්‍රව තියාගන්නත් අපි උත්සාහ කරනවා. ඒ වගේම අපි අවංක, නීතිගරුක පුරවැසියන්. එහෙමනම් මිනිසුන් අපිට වෛර කරන්නේ ඇයි? (රෝම 13:1-7) ඒ අපි මිනිසුන්ට කීකරු වෙනවට වඩා යෙහෝවා දෙවිට කීකරු වෙන නිසයි. අපි නමස්කාර කරන්නෙත් ඔහුට විතරයි. ඒ වගේම ඔහුගේ ධර්මිෂ්ඨ නීති, ප්‍රතිපත්ති අපි කවදාවත් බාල කරන්නේ නැහැ.—මතෙ. 4:10.

10. යුද්ධවලට හවුල් නොවී ඉන්න ගත්ත අධිෂ්ඨානය නැති කරගත්ත සහෝදරයෙකුට මුහුණ දෙන්න වුණේ මොන වගේ දේකටද?

10 අපි “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා” යුද්ධවලට හවුල් වෙන්නෙවත් දේශපාලනයේදී පැති ගන්නෙවත් නැහැ. (යොහන් 15:18-21; යෙසායා 2:4 කියවන්න.) ඒත් දෙවිට කැප වුණු සමහර අය එහෙම ඉන්න ගත්ත අධිෂ්ඨානය නැති කරගෙන තියෙනවා. ඒ වුණත් පස්සේ කාලෙකදී එහෙම අයගෙන් හුඟදෙනෙක් තමන් කරපු දේ ගැන පසුතැවිලා ආයෙත් දෙවිට ළං වෙන්න පියවර ගත්තා. (ගීතා. 51:17) ඒත් පසුතැවුණේ නැති කීපදෙනෙකුත් හිටියා. උදාහරණෙකට 2වෙනි ලෝක යුද්දේ පැවති කාලේ හංගේරියාවේ හිටපු හුඟක් සහෝදරයන්ව අසාධාරණ විදිහට හිරේට දැම්මා. ඒ අයගෙන් අවුරුදු 45ට අඩු සාක්ෂිකරුවන් 160දෙනෙක්ට හමුදාවට බැඳෙන්න කියලා බල කළා. වැඩිදෙනෙක් ඒක ප්‍රතික්ෂේප කළත් 9දෙනෙක් ඒකට කැමති වුණා. අවුරුදු 2කට පස්සේ ඒ 9දෙනාගෙන් කෙනෙකුට විශ්වාසවන්තව හිටපු සාක්ෂිකරුවන් පිරිසකට වෙඩි තියන්න කියලා අණක් ලැබුණා. ඒ පිරිස අතරේ එයාගෙම අයියාත් හිටියා. කොහොමවුණත් අන්තිමේදී ඒ අණ ක්‍රියාත්මක වුණේ නැහැ.

හොඳම දේ යෙහෝවා දෙවිට දෙන්න

11, 12. පූජා ගැන සඳහන් නීතිවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

11 ඔප්පු කරන්න ඕන පූජා ගැන නීතියේ සඳහන් වුණා. (ලෙවී. 9:1-4, 15-21) ඒ පූජාවලින් යේසුස්ගේ පරිපූර්ණ ජීවිත පූජාව සංකේතවත් වුණු නිසා ඒ පූජා නිකැළැල් තත්වයේ තියෙන එක අත්‍යවශ්‍ය දෙයක් වුණා. ඒ වගේම හැම පූජාවක්ම ඔප්පු කරන්න ඕන විදි ගැන යම් නිශ්චිත මඟ පෙන්වීම් දීලා තිබුණා. දරුවෙක් ඉපදුණාට පස්සේ ඒ අම්මා කරන්න ඕන දෙයක් ගැන ලෙවී කතාව 12:6 මෙහෙම කියනවා. “ඇය පුත්‍රයෙකු හෝ දුවක හෝ බිහි කිරීමෙන් අනතුරුව පවිත්‍ර වීම උදෙසා වෙන් කළ දවස් සම්පූර්ණ වූ පසු දවන පූජාවක් සඳහා අවුරුද්දක් පමණ වයසැති බැටළු පැටවෙකුව සහ පාප පූජාවක් සඳහා පරෙවි පැටවෙකුව හෝ කොබෙයියෙකුව හෝ සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට ගෙනැවිත් පූජකයාට දිය යුතුයි.” කරන්න ඕන දේවල් ගැන නීතියේ කෙළින්ම සඳහන් වෙලා තිබුණත් දෙවි ප්‍රේමණීය, සාධාරණ කෙනෙක් කියලත් නීතියෙන් ඔප්පු වුණා. උදාහරණෙකට ඒ අම්මාට බැටළුවෙකුව පූජා කරන්න තරම් වත්කමක් නැත්නම් කොබෙයියන් දෙන්නෙකුව හරි පරෙවි පැටව් දෙන්නෙකුව හරි ඔප්පු කරන්න නීතියෙන් අවසර දීලා තිබුණා. (ලෙවී. 12:8) දුප්පත්, ධනවත් හැමෝටම දෙවි එක වගේ ආදරේ කළා කියලත් ඒ අයගේ පූජා අගය කළා කියලත් ඒකෙන් පැහැදිලියි.

12 “දෙවිට කරන ප්‍රශංසාව, පූජාවක් මෙන් ඔප්පු කරන්න” කියලා පාවුල් අපිට කියනවා. (හෙබ්‍රෙ. 13:15) දෙවිගේ නම ගැන අනිත් අයට කියලා දෙද්දී අපි ඔප්පු කරන්නේ ඒ පූජාවයි. බිහිරි සහෝදරයන් සංඥා භාෂාවෙන් දෙවිට ප්‍රශංසා කරනවා. එක්තැන් වෙලා ඉන්න අය ලියුම්වලින්, දුරකථනයෙන් දේශනා කරනවා. තමන්ව බලන්න එන අයට දෙවි ගැන කියනවා. අපි එක් එක් කෙනාගේ සෞඛ්‍යය, අපි ඉන්න තත්වය අනුව යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවලුත් වෙනස් වෙනවා. ඒත් පුළුවන් උපරිමයෙන්, හොඳම දේ දෙවිට දෙන්න ඕනේ.—රෝම 12:1; 2 තිමෝ. 2:15.

13. හැම මාසයකම අපේ වාර්තාව දෙන එක වැදගත් ඇයි?

13 යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියලා දෙන එක ඔහුට ඔප්පු කරන පූජාවක් වගේ. අපි ඒ වෙනුවෙන් කාලය යොදවන්නේ ඔහුට අපේ හිතේ තියෙන ආදරේ නිසයි. (මතෙ. 22:37, 38) ඒත් ඒ කාලය හැම මාසයකම වාර්තා කරන එක ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? අපි ඒක කැමැත්තෙන්ම කරන්න ඕනේ. මොකද ඒක දෙවිට අපේ භක්තිය පෙන්නන එක විදිහක්. (2 පේතෘ. 1:7) ඒත් වැඩි පැය ගාණක් තියෙන වාර්තාවක් දෙන්න ඕන නිසාම වැඩිපුර සේවය කරන්න ඕනෙ කියලා හිතන්න එපා. මොකද මහලු, අසනීප අයට දෙවි වෙනුවෙන් වැය කරන්න පුළුවන් විනාඩි 15ක් නම් ඒකත් වාර්තා කරන්න පුළුවන්. ඒක එයාගේ උපරිමය නිසා දෙවිට ඒක හුඟක් වටිනවා. අපි දෙවිට ආදරේ කරනවා කියලත් ඔහුගේ සාක්ෂිකරුවන් වෙන්න අපිට ඕනෙ කියලත් ඔහු දන්නවා. එදා හිටපු දුප්පත් අයට එයාලට පුළුවන් විදිහට පූජා ඔප්පු කරන්න දෙවි අවස්ථාව දුන්නා වගේ අද ඉන්න අබලදුබල අයටත් පුළුවන් උපරිමය වාර්තා කරන්න ඔහු අවස්ථාව දීලා තියෙනවා. අපේ වාර්තාව ලෝකෙ පුරාම ඉන්න අයගේ වාර්තා එක්ක එකතු වෙන නිසා දේශනා සේවය හොඳින් සැලසුම් කරන්න සංවිධානයට ඒක උදව්වක්. අපි අපේ වාර්තාව දෙන්න ඕන ඒ නිසයි.

දෙවිට ප්‍රශංසාවක් ගේන අධ්‍යයන පුරුදු

14. අපේ අධ්‍යයන පුරුදු ගැන හොඳට හිතලා බලන්න ඕනෙ ඇයි?

14 ලෙවී කතාව පොත බයිබලේට ඇතුළත් කරන්න හොඳ හේතු තියෙනවා කියන දේ අපි ඉගෙනගත්ත වටිනා පාඩම්වලින් තවත් තහවුරු වුණා. (2 තිමෝ. 3:16) ශුද්ධව ඉන්න ඔයා තුළ තියෙන අධිෂ්ඨානයත් තව වැඩි වෙන්න ඇති. ජීවිතේ හැම කාරණයකදීම අපි ශුද්ධව ඉඳියි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු වෙන්න ඔහුට අයිතියක් තියෙනවා. ඒ දේ කරන්න ලෙවී කතාව පොත විතරක් නෙමෙයි මුළු බයිබලේම අධ්‍යයනය කරන එක ඔයාට උදව් වෙයි. (හිතෝපදේශ 2:1-5 කියවන්න.) ඔයාගේ අධ්‍යයන පුරුදු ගැන හොඳට හිතලා බලන්න. අඩුපාඩු අඳුනගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. මේ ගැනත් හිතන්න. ‘අධ්‍යයනය කරද්දී මං දෙවි වෙනුවෙන් මගේ උපරිමය දෙනවද? එහෙම නැත්නම් TV බලන්න, ගේම්ස් ගහන්න, ක්‍රීඩාවල, විනෝදාංශවල නියැලෙන්න වැඩිපුර කාලයක් යොදවන නිසා බයිබලේ අධ්‍යයනය කරන්න තියෙන අවස්ථාව මං නැති කරගන්නවද? අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඒක මට බාධාවක්ද?’

දේවවචනය අධ්‍යයනය කරන එක, පවුලේ නමස්කාරය ඔයාගේ ජීවිතේ වැදගත්ම දේවල්ද? (14 ඡේදය බලන්න)

15, 16. පාවුල් යම් කාරණයක් ගැන හෙබ්‍රෙව්වරුන්ට කෙළින්ම කිව්වේ ඇයි?

15 “ඔබේ තේරුම්ගැනීමේ හැකියාව මොට වී තිබේ” කියලා වටින් ගොඩින් නැතුව පාවුල් හෙබ්‍රෙව්වරුන්ට කෙළින්ම කිව්වා. (හෙබ්‍රෙව් 5:7, 11-14 කියවන්න.) ඔහු එහෙම කිව්වේ ඇයි? ඒ යෙහෝවා දෙවි වගේ ඔහුත් ඔවුන්ට ආදරේ කරපු නිසයි. ඒ වගේම කිරි හා සමාන ශුද්ධ ලියවිල්ලේ තියෙන මූලික ඉගැන්වීම් විතරක් දැනගත්තම ඇති කියන ආකල්පය ඔවුන්ට තිබුණු එක ගැන ඔහු හිතේ කරදරෙන් හිටපු නිසයි. බයිබලේ තියෙන මූලික ඉගැන්වීම් ගැන ඉගෙනගන්න එක වැදගත් තමයි. ඒත් “ගන ආහාර” හා සමාන බයිබලේ තියෙන ගැඹුරු කාරණා ගැනත් අපි දැනුවත් වෙන්න ඕනේ. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න අපිට පුළුවන් වෙන්නේ එතකොටයි.

16 අනිත් අයට උගන්වන්න පුළුවන් තත්වයක ඉන්නවා වෙනුවට හෙබ්‍රෙව්වරුන් හිටියේ වෙන කෙනෙක් ඔවුන්ට උගන්වන්න අවශ්‍ය තත්වයකයි. එහෙම වුණේ ඔවුන් “ගන ආහාර” හා සමාන ගැඹුරු කාරණා අධ්‍යයනය කළේ නැති නිසයි. ‘බයිබලේ තියෙන ගැඹුරු කාරණා ගැන මට හැඟෙන්නේ කොහොමද? ඒවා හොයලා බලන්න මං තුළ ආසාවක් තියෙනවද? එහෙම නැත්නම් ඒ කාරණා ගැන අධ්‍යයනය කරන්න, යාච්ඤා කරන්න මං අදිමදි කරනවද? ඒකට හේතුව මගේ අධ්‍යයන පුරුදුවල තියෙන අඩුපාඩුවක් නිසාද?’ ඒ ප්‍රශ්න ඔයාගෙන්ම අහලා බලන්න. අපි මිනිසුන්ට දේශනා කරලා විතරක් මදි. ඒ අයට උගන්වන්නත් යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්නත් ඕනේ. එහෙම කරන්න නම් අපිට හොඳ අධ්‍යයන පුරුදු තියෙන්න ඕනෙ නේද?—මතෙ. 28:19, 20.

17, 18. (අ) අපි නිතරම “ගන ආහාර” ගන්න ඕන ඇයි? (ආ) රැස්වීම්වලට යන්න කලින් මද්‍යසාර අඩංගු පානයක් ගන්න එක ගැන කියන්න පුළුවන් මොනවද?

17 බයිබලේ අධ්‍යයනය කරන්න කියලා යෙහෝවා දෙවි අපිට බල කරන්නේ නැහැ. දෙවිට නමස්කාර කරන්නේ කාලයක් තිස්සේ වුණත් නැතත් දිගටම “ගන ආහාර” ගන්න කැමැත්තක් තියෙන්න ඕනෙ අපිටයි. මොකද ශුද්ධව ඉන්න ඒක අත්‍යවශ්‍යයි.

18 ආරොන්ගේ පුත්තු දෙන්නට මිය යන්න සිද්ධ වුණේ ඔවුන් “දෙවි නියම නොකළ ආකාරයකට දෙවි ඉදිරියේ ගින්නක් ඔප්පු කළ” නිසයි. (ලෙවී. 10:1, 2) සමහරවිට ඒ අවස්ථාවේ ඔවුන් බීමත්ව ඉන්න ඇති. ඊටපස්සේ දෙවි ආරොන්ට කියන දේ බලන්න. (ලෙවී කතාව 10:8-11 කියවන්න.) ඒකෙන් අදහස් කරන්නේ මද්‍යසාර අඩංගු කිසිම දෙයක් පානය කරලා රැස්වීම්වලට යන එක වැරදියි කියලද? ඒකට උත්තර දැනගන්න උදව් වෙන කාරණා කීපයක් බලමු. අපි දැන් ඉන්නේ මෝසෙස්ගේ නීතිය යටතේ නෙමෙයි. (රෝම 10:4) සමහර රටවල වයින් වගේ පානයක් සලකන්නේ සාමාන්‍ය බීමක් විදිහටයි. රැස්වීම් පවත්වන දවස්වලදී වුණත් කෑම වේලක් එක්ක ඒ වගේ දෙයක් සුළු වශයෙන් පානය කරන එක ඒ රටවල සහෝදරයන්ට සාමාන්‍ය දෙයක්. අතීතයේදී පාස්කු උත්සවය පවත්වද්දී වයින් කුසලාන 4ක් පානය කළා. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය මුල් වරට පවත්වපු වෙලාවේදී යේසුස් ඔහුගේ ගෝලයන්ට පානය කරන්න වයින් දුන්නා. (මතෙ. 26:27) බයිබලේ හෙළාදැකලා තියෙන්නේ අධික බීමත්කම සහ බේබදුකමයි. (1 කොරි. 6:10; 1 තිමෝ. 3:8) නමස්කාරයට සම්බන්ධ ඕනම දෙයක් කරන්න කලින් මද්‍යසාර යන්තමින් හරි තියෙන පානයක් නොබී ඉන්න හුඟක් සාක්ෂිකරුවන් ඔවුන්ගේ හෘදය සාක්ෂියට එකඟව තීරණයක් අරන් තියෙනවා. කොහොමවුණත් රටින් රටට තත්වයන් වෙනස් කියලා අපි මතක තියාගමු. වැදගත් වෙන්නේ ක්‍රිස්තියානීන් හැටියට අපි “ශුද්ධ දේ සහ පිළිකුල් දේ අතරද පවිත්‍ර දේ හා අපවිත්‍ර දේ අතරද තිබෙන වෙනස පැහැදිලිව” හඳුනගන්න එකයි. එතකොට ශුද්ධව ඉන්නත් දෙවිව සතුටු කරන්නත් අපිට පුළුවන්.

19. (අ) පවුලේ නමස්කාරය, පෞද්ගලික අධ්‍යයනය තවත් අර්ථවත්ව කරන්න පුළුවන් කොහොමද? (ආ) ජීවිතේ හැම කාරණයකදීම ශුද්ධව ඉන්න ඔයා තුළ තියෙන අධිෂ්ඨානය පෙන්නන්නේ කොහොමද?

19 හොඳින් අධ්‍යයනය කළොත් තවත් බයිබල් ප්‍රතිපත්ති හුඟක් හොයාගන්න අපිට පුළුවන්. අධ්‍යයනය කරන්න උදව් වෙන දේවල් දෙවිගේ සංවිධානය අපිට දීලා තියෙනවා. ඒවා යොදාගෙන පවුලේ නමස්කාරය, පෞද්ගලික අධ්‍යයනය තවත් අර්ථවත් කරගන්න. දෙවිවත් ඔහුගේ අරමුණ ගැනත් හොඳින් දැනගන්න. තව තවත් දෙවිට කිට්ටු වෙන්න. (යාකො. 4:8) “ඔබේ නීතියේ ඇතුළත් වටිනා කාරණා දෙස බැලීමට හැකි වන පිණිස මාගේ දෙනෙත් විවර කරන්න” කියලා ඔයාත් දෙවිට යාච්ඤා කරන්න. (ගීතා. 119:18) ‘ශුද්ධ තැනැත්තාණන්ගේ’ නීති, ප්‍රතිපත්ති කවදාවත් බාල කරන්න එපා. ඒවාට කීකරු වෙන්න. “දෙවිගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ශුද්ධ කාර්යයේ” උද්‍යෝගයෙන් හවුල් වෙන්න. (1 පේතෘ. 1:15; රෝම 15:16) ශුද්ධව ඉන්න එක මේ අන්තිම දවස්වල අපි කළ යුතුම දෙයක්. ඒ නිසා ජීවිතේ හැම කාරණයකදීම ශුද්ධව ඉන්නත් අපේ පාලකයා වන යෙහෝවා දෙවිට කීකරුව ඉන්නත් අධිෂ්ඨාන කරගමු.

^ 6 ඡේ. මෙය වෙනත් ආගමික වත්පිළිවෙත් ඇතුළත් විවාහයක් සඳහාත් අදාළයි.

^ 6 ඡේ. 2002 මැයි 15 ‘මුරටැඹ’ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.