Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිට අයිති සෙනඟක්

යෙහෝවා දෙවිට අයිති සෙනඟක්

“සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය.”—ගීතා. 144:15.

1. සමහරුන් හිතන්නේ දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ කාට කියලද?

අද ලෝකෙ තියෙන ප්‍රධාන ආගම්වලින් මිනිසුන්ට කිසිම යහපතක් වෙන්නේ නැහැ කියලා හිතන අය ඉන්නවා. ක්‍රිස්තියානි කියලා කියාගන්නා ආගම්වලින් දෙවි ගැන සත්‍යය උගන්වන්නේ නැති නිසාත් ඔවුන් හුඟක් නරක දේවල් කරන නිසාත් දෙවිගේ අනුමැතිය ඒ ආගම්වලට නැහැ කියලා ඔවුන් පිළිගන්නවා. ඒත් ඕනම ආගමක ඉන්න යහපත් මිනිසුන්ව දෙවි පිළිගන්නවා කියලත් ඔවුන් විශ්වාස කරනවා. ඒක ඇත්තක්ද? එහෙම නැත්නම් දෙවි පිළිගන්නේ තමන් ගැන අසත්‍යය උගන්වන ආගම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ඉන්න පිරිසක්වද? ඒකට උත්තර දැනගන්න ඉතිහාසය පුරාම දෙවි තමන්ගේ සෙනඟ විදිහට පිළිගත්තේ කාවද කියලා අපි හොයලා බලමු.

පිරිසක් තෝරගෙන දෙවි ගිවිසුමක් ඇති කරගනියි

2. තමන්ගේ සෙනඟ විදිහට දෙවි මුලින්ම තෝරගත්තේ කාවද? ඔවුන්ට දෙවි එක්ක විශේෂ බැඳීමක් තිබුණා කියලා සංකේතවත් කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

2 දෙවි තමන්ටම කියලා පිරිසක්ව තෝරගත්තේ මීට අවුරුදු 4,000කට විතර කලින් ආබ්‍රහම් හිටපු කාලෙදියි. ආබ්‍රහම් කියන්නේ සේවකයන් සිය ගාණක් හිටපු විශාල පවුලක මූලිකයා. (උත්. 14:14) ඒ වගේම ඔහුව “විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා” කියලත් හඳුන්වනවා. (රෝම 4:11) කානාන් දේශයේ අය ඔහුව “දෙවි පත් කළ අධිපතියෙක්” විදිහට ඔහුට ගෞරව කළා. (උත්. 21:22; 23:6) යෙහෝවා දෙවි ආබ්‍රහම් එක්කත් ඔහුගෙන් පැවතෙන අය එක්කත් ගිවිසුමක් ඇති කරගත්තේ ඔය කාලෙදියි. (උත්. 17:1, 2, 19) දෙවි ඔහුට මෙහෙම කිව්වා. “මා ඔබ සියලුදෙනා සමඟත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන් සමඟත් පිහිටුවන එම ගිවිසුම මෙයයි. චර්මච්ඡේදනය කිරීමේ චාරිත්‍රය මම ඔබට හඳුන්වා දෙමි. ඔබ අතරේ සිටින සියලු පුරුෂයන් ඒ චාරිත්‍රය පැවැත්විය යුතුයි. . . . එය ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට ලකුණක් වන්නේය.” (උත්. 17:10, 11) ඊටපස්සේ ආබ්‍රහම් ඇතුළුව ඔහුගේ පවුලට අයිති හැම පිරිමි කෙනෙකුවම චර්මච්ඡේදය කළා. (උත්. 17:24-27) ඒකෙන් සංකේතවත් වුණේ ආබ්‍රහම්ගේ පවුලේ අයට දෙවි එක්ක විශේෂ බැඳීමක් තිබුණා කියන එකයි.

3. ආබ්‍රහම්ගේ පවුලේ අය විශාල සෙනඟක් වුණේ කොහොමද?

3 ආබ්‍රහම්ගේ මුනුබුරා වුණ යාකොබ්ව ඊශ්‍රායෙල් කියලත් හැඳින්නුවා. ඔහුට පුත්තු 12දෙනෙක් හිටියා. (උත්. 35:10, 22ආ-26) ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර 12 බිහි වුණේ ඔවුන්ගෙනුයි. (ක්‍රියා 7:8) යාකොබ්ගේ පුතෙක් වුණ යෝසෙප්ව වහලෙක් විදිහට ඊජිප්තුවට අරන් ගිහින් කාලයක් ගියාට පස්සේ ඒ රටේ හිටපු පාරාවෝ තමන්ගේ දෙවෙනියා විදිහට ඔහුව පත් කළා. ආහාර රැස් කරලා, සාගතය පැවතුණ කාලෙදී ඒවා මිනිසුන්ට බෙදා දෙන වගකීම පාරාවෝ පැවරුවේ යෝසෙප්ට. යාකොබ් ඇතුළු ඔහුගේ පවුලේ හැමෝම ඊජිප්තුවට ආවේ ඒ සාගතය නිසයි. (උත්. 41:39-41; 42:6) කල් යද්දී යාකොබ්ගෙන් පැවත ආපු අයගෙන් “ජාතීන් සමූහයක්” බිහි වුණා.—උත්. 48:4; ක්‍රියා 7:17 කියවන්න.

යෙහෝවා දෙවි තම සෙනඟව බේරගනියි

4. ඊජිප්තුවරුන් සහ යාකොබ්ගෙන් පැවත ආපු අය අතරේ මුලින් තිබුණේ මොන වගේ තත්වයක්ද?

4 යාකොබ්ගෙන් පැවතුණ අය ඊජිප්තුවේ ගෝෂෙන් කියන පළාතේ අවුරුදු 200ක් විතර ජීවත් වුණා. (උත්. 45:9, 10) ඊශ්‍රායෙල්වරුන්ට ඊජිප්තුවට එන්න කියලා පාරාවෝ කිව්වේ ඔහු යෝසෙප්ට ගෞරව කරපු නිසයි. (උත්. 47:1-6) ඔවුන් එහෙට ඇවිත් ගත වුණ පළවෙනි අවුරුදු 100දී ඊජිප්තුවරුන් සහ ඔවුන් අතරේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවනෝපාය වුණේ සතුන් ඇති කරන එකයි. සතුන් ඇති කරපු මිනිසුන් දිහා ඊජිප්තුවරුන් බැලුවේ පිළිකුලෙන් වුණත් පාරාවොගේ අණ නිසා ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට තමන්ගේ රටේ ඉන්න ඉඩහැරියා.—උත්. 46:31-34.

5, 6. (අ) ඊජිප්තුවේදී දෙවිගේ සෙනඟගේ ජීවිත වෙනස් වුණේ කොහොමද? (ආ) මෝසෙස්ව මරලා දාන්න බැරි වුණේ ඇයි? දෙවි තමන්ගේ සෙනඟ වෙනුවෙන් කළේ මොනවද?

5 ඒත් “කල් යත්ම යෝසෙප් ගැන නොදන්නා අලුත් රජෙක් ඊජිප්තුව පාලනය කිරීමට පටන්ගත්තේය. ඔහු තම සෙනඟ අමතා මෙසේ කීවේය. ‘බලන්න! ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන අපිට වඩා බොහෝ සෙයින් වැඩියි. ඔවුන් අපිට වඩා ගොඩක් බලවත්.’” එහෙම හිතලා ඊජිප්තුවරු ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් කරගත්තා. ගඩොල් හදන වැඩ, කෙත් වතුවල වැඩ සහ අනිත් හැම බර වැඩක්ම ඔවුන් ඊශ්‍රායෙල්වරුන් ලවා කරවගත්තා. ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට සැලකුවේ හරිම කුරිරු විදිහටයි.—නික්. 1:8, 9, 13, 14.

6 ඊශ්‍රායෙල්වරුන්ට ඉපදෙන හැම පිරිමි දරුවෙක්වම මරලා දාන්න කියලත් පාරාවෝ නියෝග කළා. (නික්. 1:15, 16) යොකෙබෙද් කියන ඊශ්‍රායෙල් කාන්තාව මෝසෙස්ව බිහි කළේ ඔන්න ඔය කාලෙදියි. දරුවාට මාස තුනක් වුණාම එයා දරුවාව කූඩයක දාලා නයිල් ගං ඉවුරේ බට පඳුරු අතරේ හංගලා තිබ්බා. ඒ දරුවාව දැකපු පාරාවොගේ දුව එයාව තමාගේම පුතෙක් විදිහට හදාගන්න කැමති වුණා. ඒත් දරුවා පොඩි නිසා එයාට කිරි දීලා එයාව බලාගන්න වගකීම භාර දුන්නේ යොකෙබෙද්ට. අම්මාගෙන් ලැබුණ පුහුණුව නිසා මෝසෙස්ට පුළුවන් වුණා දෙවි ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න. (නික්. 2:1-10; හෙබ්‍රෙ. 11:23-25) මෝසෙස්ව නායකයා විදිහට පත් කරලා ඊජිප්තුවේ දුක් විඳින තමන්ගේ සෙනඟව බේරගන්න යෙහෝවා දෙවි තීරණය කළා. (නික්. 2:24, 25; 3:9, 10) ඒ විදිහට දෙවි තමන්ගේ සෙනඟව ඊජිප්තුවේ වහල්කමින් ‘මුදාගත්තා.’—නික්. 15:13; ද්විතීය කතාව 15:15 කියවන්න.

දෙවිගේ සෙනඟ විශාල ජාතියක් වෙයි

7, 8. දෙවිගේ සෙනඟ ශුද්ධ ජාතියක් වුණේ කොහොමද?

7 ඊජිප්තුවේ හිටපු කාලෙදී යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට නීති මාලාවක් දීලවත් පූජක පන්තියක් පත් කරලවත් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ව ජාතියක් විදිහට සංවිධානය කරලා තිබුණේ නැහැ. ඒත් දෙවි ඒ වෙනකොටත් ඔවුන්ව තමන්ගේ සෙනඟ විදිහට තෝරගෙනයි තිබුණේ. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පවසන්නේය. ‘මගේ සෙනඟට යන්න අවසර දෙන්න. මගේ නාමයෙන් පාළුකරයේ උත්සවයක් පැවැත්වීම සඳහා ඔවුන්ට යන්න ඉඩ දෙන්න’” කියන පණිවිඩේ පාරාවෝට දැනුම් දෙන්න කියලා දෙවි මෝසෙස්ටයි ආරොන්ටයි කිව්වේ ඒ නිසයි.—නික්. 5:1.

8 ඒත් ඊශ්‍රායෙල්වරුන්ට යන්න පාරාවෝ අවසර දුන්නේ නැහැ. ඒ නිසා දෙවිට සිද්ධ වුණා පීඩා 10ක් ගෙනල්ලා, රතු මුහුදේදී පාරාවෝ ඇතුළු ඔහුගේ හමුදාව විනාශ කරලා තමන්ගේ සෙනඟව බේරගන්න. (නික්. 15:1-4) එහෙම බේරගෙන මාස තුනක් යන්නත් කලින් සීනයි කන්ද ළඟදී දෙවි ඔවුන්ට මේ පොරොන්දුව දීලා ඔවුන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. “ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම් සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි. . . . ඔබ මට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක් වන්නේය.”—නික්. 19:5, 6.

9, 10. (අ) ද්විතීය කතාව 4:5-8 සඳහන් වෙන විදිහට නීතිය නිසා ඊශ්‍රායෙල්වරුන් වෙනත් ජාතීන්ට වඩා වෙනස් වුණේ කොහොමද? (ආ) “ශුද්ධ සෙනඟක්” කියලා ඔප්පු කරන්න නම් ඊශ්‍රායෙල්වරුන් කරන්න ඕන වුණේ මොකක්ද?

9 ඊජිප්තුවේ වහලුන් වෙන්න කලින්, සියවස් ගාණක් යන කල්ම ඊශ්‍රායෙල්වරුන් අතරේ හිටපු පවුල් මූලිකයන් තමයි පවුල වෙනුවෙන් පූජා ඔප්පු කළේ. පවුල වෙනුවෙන් යම් තීරණ ගත්තෙත් ප්‍රශ්න ගැටලු විසඳුවෙත් පවුල් මූලිකයන්මයි. (උත්. 8:20; 18:19; යෝබ් 1:4, 5) ඒත් ඔවුන්ව වහල්කමින් බේරගත්තට පස්සේ දෙවි ඔවුන්ට නීති මාලාවක් දීලා ඔවුන්ව සංවිධානය කළා. ඒ නිසා ඔවුන් වෙනත් ජාතීන්ට වඩා වෙනස් සෙනඟක් කියලා පැහැදිලි වුණා. (ද්විතීය කතාව 4:5-8 කියවන්න; ගීතා. 147:19, 20.) ඒ නීතිය මගින් වෙනම පිරිසක්ව පූජකයන් විදිහට පත් කළා. ඒ වගේම දැනුම් තේරුම් ඇති “වැඩිමහල්ලන්ව” විනිශ්චයකරුවන් විදිහට පත් කළා. (ද්වි. 25:7, 8) නමස්කාර කටයුතුවලදීත් එදිනෙදා වැඩවලදීත් ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් නීතියේ සඳහන් වුණා.

10 පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී දෙවි නීතිය ගැන ඔවුන්ට ආයෙත් මතක් කළා. මෝසෙස් එදා ඔවුන්ට කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස ඔහුට අයිති විශේෂ සෙනඟක් වෙන්නත් ඔහුගේ සියලු අණපනත් පිළිපදින්නත් කැමති බව ඔබත් අද ප්‍රකාශ කළා. දෙවි ඔබට පොරොන්දු වූ ලෙස ඔහු අන් සියලුම ජාතීන්ට වඩා ඔබව උසස් කරයි. ඔබ දිගටම යෙහෝවා දෙවි ඉදිරියේ ශුද්ධ සෙනඟක් ලෙස කටයුතු කරන්න. ඔබ එසේ කළොත් ඔබ නිසා දෙවිට ප්‍රශංසාව, ගෞරවය හා කීර්ති නාමයක් ලැබෙන බව නිසැකයි.”—ද්වි. 26:18, 19.

වෙනත් ජාතීන්ටත් දෙවිගේ සෙනඟ වෙන්න අවස්ථාවක්

11-13. (අ) දෙවිගේ සෙනඟට එකතු වුණේ කවුද? (ආ) යෙහෝවා දෙවිට නමස්කාර කරන්න නම් වෙනත් ජාතීන්වල අය කරන්න ඕන වුණේ මොකක්ද?

11 තම සෙනඟ විදිහට තෝරගත්තේ ඊශ්‍රායෙල්වරුන්ව වුණත් වෙනත් ජාතීන්වල අයටත් ඊශ්‍රායෙල්වරුන් එක්ක ජීවත් වෙන්න දෙවි අවසර දීලා තිබුණා. උදාහරණෙකට ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් එද්දී ඊජිප්තුවරුන් ඇතුළුව තවත් විශාල පිරිසක් ඔවුන් එක්ක ආවා. (නික්. 12:38) ඔවුන් අතර හත්වෙනි පීඩාවට කලින් මෝසෙස් කියපු විදිහට වැඩ කරපු පාරාවොගේ සේවකයොත් ඉන්න ඇති.—නික්. 9:20.

12 කානාන් දේශයට යන්න කලින් මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ “ඔබ අතරේ සිටින විදේශිකයන්ට ඔබ ප්‍රේම කළ යුතුයි” කියලයි. (ද්වි. 10:17-19) වෙනත් ජාතීන්වල අය නීතියට ඇතුළත් මූලික කාරණාවලට කැමැත්තෙන්ම කීකරු වෙනවා නම් ඒ අයටත් ඊශ්‍රායෙල්වරුන් අතරේම ජීවත් වෙන්න අවස්ථාව තිබුණා. (ලෙවී. 24:22) ඔවුන්ගෙන් සමහරු යෙහෝවා දෙවිට නමස්කාර කරන්නත් කැමති වුණා. මෝවබ් ජාතික රූත් ඒ වගේ කෙනෙක්. රූත් නායොමිට කිව්වේ “ඔබේ සෙනඟ මගෙත් සෙනඟයි. ඔබේ දෙවි මගෙත් දෙවි” කියලයි. (රූත් 1:16) දෙවිගේ සෙනඟට එකතු වුණ වෙනත් ජාතීන්වල අය ඔවුන් අදහපු දෙවිවරුන්ව අත්හැරියා. පිරිමි අය චර්මච්ඡේදනය වුණා. (නික්. 12:48, 49) තමන්ගේ සෙනඟට එකතු වෙන්න දෙවි ඒ අයට අවස්ථාව දුන්නේ හරිම සතුටින්.—ගණන්. 15:14, 15.

තමන් එක්ක ජීවත් වුණ වෙනත් ජාතීන්වල අයටත් ඊශ්‍රායෙල්වරු ප්‍රේමයෙන් සැලකුවා (11-13 ඡේද බලන්න)

13 දෙවිට නමස්කාර කරපු වෙනත් ජාතීන්වල අයටත් දෙවිගේ අනුමැතිය තියෙනවා කියන දේ සලමොන්ගේ යාච්ඤාවකිනුත් පැහැදිලි වෙනවා. ඔහු මෙහෙම කිව්වා. “ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියට අයත් නොවන විදේශිකයෙකු ඔබේ ශ්‍රේෂ්ඨ නාමය ගැනත් ඔබේ මහත් බලය ගැනත් ඔබ උපකාර කරන ආකාරය ගැනත් අසා දුර ඈත පළාතක සිට පැමිණ මේ ගෘහය දෙසට හැරී යාච්ඤා කළොත් ඔහුටද සවන් දෙන්න. ඔබේ ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඒ විදේශිකයාට සවන් දී ඔහු ඔබෙන් ඉල්ලන සියල්ල ඉටු කර දෙන්න. එවිට පොළොවේ සියලු වැසියෝ ඔබේ නාමය දැනගෙන, ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් මෙන් ඔවුන්ද ඔබ කෙරෙහි ගරුබිය ඇතුව ජීවත් වෙයි. එමෙන්ම මා ගොඩනැඟූ මේ ගෘහයෙන් ඔබේ නාමය ගෞරවයට පත් වන බවද ඔවුන් දැනගනියි.” (2 ලේක. 6:32, 33) පළවෙනි සියවසේදීත් වෙනත් ජාතීන්වල අයට යෙහෝවා දෙවිට නමස්කාර කරන්න අවස්ථාව තිබුණා. ඒත් එහෙම කරන්න නම් ඔවුන් දෙවිගේ සෙනඟට එකතු වෙන එක අත්‍යවශ්‍ය දෙයක් වුණා.—යොහ. 12:20; ක්‍රියා 8:27.

සාක්ෂිකරුවන් ලෙස ක්‍රියා කරන ජාතියක්

14-16. (අ) ජාතියක් විදිහට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන්න ඊශ්‍රායෙල්වරුන් කරන්න ඕන වුණේ මොකක්ද? (ආ) අද ඉන්න දෙවිගේ සෙනඟගේ වගකීම මොකක්ද?

14 ඊශ්‍රායෙල්වරුන් නමස්කාර කළේ යෙහෝවා දෙවිට වුණත් අනිත් ජාතීන් නමස්කාර කළේ ඔවුන්ගේම දෙවිවරුන්ටයි. ඒ නිසා සැබෑ දෙවි කවුද කියන ප්‍රශ්නය මතු වුණා. සාක්ෂිකරුවන්ව ඉදිරිපත් කරලා උසාවියක යම් ප්‍රශ්නයක් විසඳන විදිහට මතු වුණ මේ ප්‍රශ්නෙත් විසඳනවා කියලා යෙහෝවා දෙවි කිව්වා. වෙනත් ජාතීන් නමස්කාර කරන දෙවිවරුන් සැබෑ අය නම් ඒක ඔප්පු කරන්න සාක්ෂිකරුවන්ව ඉදිරිපත් කරන්න කියලා යෙහෝවා දෙවි කිව්වේ මෙහෙමයි. “ඔවුන්ගේ නිර්දෝෂ බව ඔප්පු කිරීමට සාක්ෂිකරුවන්ව කැඳවන්න කියා ඔවුන්ට කියන්න. එවිට ඔවුන් නිවැරදිව යමක් පවසා ඇත්නම්, ‘එය සැබෑවක්’ බව ඔවුන්ගේ සාක්ෂිකරුවන්ට ප්‍රකාශ කළ හැකිය.”—යෙසා. 43:9.

15 සාක්ෂි ඉදිරිපත් කරලා ඔවුන් සැබෑ දෙවිවරුන් කියලා ඔප්පු කරන්න ඒ දෙවිවරුන්ට බැරි වුණා. මොකද ඔවුන්ට කතා කරන්න බැහැ. වෙන අයගේ උදව්වක් නැතුව වෙන තැනකට යන්න බැහැ. ඔවුන් නිකම්ම රූප විතරයි. (යෙසා. 46:5-7) ඒත් යෙහෝවා දෙවි තම සෙනඟට මෙහෙම කිව්වා. “ඔබ මාගේ සාක්ෂිකරුවෝය. මාගේ සේවකයා වශයෙන්ද මම ඔබව තෝරාගතිමි. ඔබ මාව දැන හඳුනා ගෙන මා කෙරෙහි විශ්වාසය තබන පිණිසත් මා කිසිදා නොවෙනස් වන දෙවි කෙනෙකු බව තේරුම්ගන්නා පිණිසත් මම ඔබව තෝරාගතිමි. මට පෙර කිසි දෙවි කෙනෙක් සිටියේ නැත. මින් මතු කිසිදාක මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටින්නේද නැත. යෙහෝවා දෙවි මමය. මා හැර වෙනත් මිදුම්කරුවෙක් නැත. . . . ඔබ මාගේ සාක්ෂිකරුවෝය. සැබෑ දෙවි මමය.”—යෙසා. 43:10-12.

16 නඩු විභාගයකට පෙනී ඉන්න සාක්ෂිකරුවන් වගේ එකම සැබෑ දෙවි යෙහෝවා කියලා ඔප්පු කරලා පෙන්නන්න දෙවිගේ සෙනඟට අවස්ථාව ලැබුණා. දෙවි ඔවුන් ගැන මෙහෙම කිව්වේ ඒ නිසයි. “ඔවුන් මාගේ සෙනඟය. මා ඔවුන්ව බිහි කළේ ඔවුන් මාර්ගයෙන් මට ප්‍රශංසාවද ගෞරවයද ලැබෙන පිණිසය.” (යෙසා. 43:21) දෙවි ඔවුන්ව ඊජිප්තුවෙන් බේරගත්ත නිසා දෙවිට කීකරු වෙන එකත් ඔවුන්ගේ පාලකයා විදිහට ඔහුට ගෞරවය දෙන එකත් ඔවුන්ගේ වගකීම වුණා. ඊශ්‍රායෙල්වරුන් හිතන්න ඕන විදිහ ගැන මීකා මෙහෙම කිව්වා. “අන් අය තම තමන්ගේ දෙවිවරුන්ගේ කැමැත්තට අනුව ජීවත් වුණත් අපි සදහටම අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙමු.” (මීකා 4:5) අද දෙවිගේ සෙනඟ හිතන්න ඕනෙත් ඒ විදිහටයි.

දෙවිගේ සෙනඟ කැරලිගසයි

17. ඊශ්‍රායෙල්වරු නිසරු මිදිවැලක් වුණේ කොහොමද?

17 ඊශ්‍රායෙල්වරුන් දෙවිට ද්‍රෝහි වෙලා වෙනත් ජාතීන් වගේ ලීවලින්, ගල්වලින් හදපු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. ඔවුන් වෙනුවෙන් පූජාසන හැදුවා. ඒ නිසා හොෂෙයා ඊශ්‍රායෙල්වරුන්ව හැඳින්නුවේ නිසරු මිදිවැලක් කියලයි. ඒ වගේම ඔහු මෙහෙමත් කිව්වා. “ඔවුන්ගේ සිත් කුහකකමින් පිරී තිබේ. ඔවුන්ගේ වැරදි හෙළි කරනු ඇත.” (හොෂෙ. 10:1, 2) හොෂෙයා එහෙම කියලා අවුරුදු 150කට විතර පස්සේ යෙරෙමියාත් ඔවුන්ව මිදි වැලකට සමාන කළා. අනර්ඝ මිදි වැලක් හා සමානව හිටපු ඔවුන්, වල් මිදි ඇති වැලක් වුණා කියලා ඔහු කිව්වා. දෙවි යෙරෙමියා මාර්ගයෙන් ඔවුන්ට මෙහෙම කිව්වා. “ඔබ සාදාගත් ඒ දෙවිවරුන් ඔබේ පිහිටට නොඑන්නේ මන්ද? ඔබ විපත්තියකට මුහුණ දෙන විට ඔවුන්ට ඔබව බේරාගත හැකි නම් ඇවිත් ඔබව බේරාගන්න කියා ඔවුන්ට පවසන්න. . . . මාගේම සෙනඟට දැන් මාව අමතක වී අවුරුදු ගණනාවක්ම ගෙවී ගොස් හමාරය.”—යෙරෙ. 2:21, 28, 32.

18, 19. (අ) තමන්ගේ සෙනඟ හැටියට අලුත් පිරිසක්ව තෝරගන්නවා කියලා දෙවි කිව්වේ කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

18 ඊශ්‍රායෙල්වරුන්ව නිසරු මිදිවැලකට සමාන කළේ ඔවුන් දෙවි බලාපොරොත්තු වුණ විදිහට නමස්කාර කළේ නැති නිසයි. දිගටම දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට සේවය කරනවා වෙනුවට ඔවුන් රූපවලට නමස්කාර කළා. යේසුස් යුදෙව් ආගමික නායකයන්ට මෙහෙම කිව්වේ ඒ නිසයි. “දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන රාජ්‍යය වෙනුවෙන් පල උපදවන වෙනත් ජාතියකට එය දෙනු ලබයි.” (මතෙ. 21:43) දෙවිගේ ඊශ්‍රායෙල් විදිහට හැඳින්නුව ඒ අලුත් ජාතියට, එක විශේෂ ජාතියක් අයිති වෙන්නේ නැහැ. ඒකට අයිති වෙන්නේ යෙහෝවා දෙවිම තෝරගන්න පුද්ගලයන් විතරයි. දෙවි ඔවුන් එක්ක “අලුත් ගිවිසුමක්” ඇති කරගන්නවා. දෙවි ඔවුන් ගැන මෙහෙම කිව්වා. “මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන ඔවුන්ගේ දෙවි වන්නෙමි.”—යෙරෙ. 31:31-33.

19 ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වුණාට පසසේ පළවෙනි සියවසේදී දෙවිගේ ඊශ්‍රායෙල් කියන අලුත් ජාතිය දෙවි තම සෙනඟ විදිහට තෝරගත්තා. අපේ කාලේ දෙවිට අයිති සෙනඟ කවුද? යෙහෝවා දෙවිට නමස්කාර කරන්න කැමැත්තෙන් ඉන්න අයට දෙවිගේ සෙනඟව හඳුනගන්න පුළුවන් කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.