Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

වැඩිමහල්ලන්ව සහ සහායක සේවකයන්ව පත් කරන්නේ කොහොමද?

පළවෙනි සියවසේ හිටපු එෆීස සභාවේ වැඩිමහල්ලන්ට පාවුල් මෙහෙම කිව්වා. “දෙවි තම බලයෙන් ඔබව පත් කර තිබෙන්නේ ඔහුගේ සභාව රැකබලා ගැනීමටයි. ඒ සභාව ඔහු මිල දී ගත්තේ තමාගේ පුත්‍රයාගේ රුධිරයෙන් කියා අමතක කරන්න එපා. ඒ නිසා ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න.” (ක්‍රියා 20:28) අද සභාවල වැඩිමහල්ලන්ව සහ සහායක සේවකයන්ව පත් කරද්දී ඒ කාර්යයට දෙවිගේ බලය සම්බන්ධ වෙන විදි තුනක් බලමු.

(1) වැඩිමහල්ලන්ට සහ සහායක සේවකයන්ට තියෙන්න ඕන සුදුසුකම් ගැන ලියන්න බයිබල් ලේඛකයන්ට මඟ පෙන්නුවේ දෙවිගේ බලයයි. වැඩිමහල්ලන්ට තියෙන්න ඕන සුදුසුකම් 16ක් ගැන 1 තිමෝති 3:1-7 සඳහන් වෙනවා. තවත් සුදුසුකම් තීතස් 1:5-9ත් යාකොබ් 3:17, 18ත් තියෙනවා. සහායක සේවකයන්ට තියෙන්න ඕන සුදුසුකම් ගැන 1 තිමෝති 3:8-10, 12, 13 කියන පදවල සඳහන් වෙනවා. (2) යම් සහෝදරයෙක්ව පත් කරන්න සුදුසුයි කියලා නිර්දේශ කරද්දීත් පත් කිරීම සිදු කරද්දීත් ඒකට සම්බන්ධ වෙන වැඩිමහල්ලන් බයිබලේ තියෙන සුදුසුකම් ඒ සහෝදරයාට සාධාරණ මට්ටමකින් තියෙනවද කියලා තේරුම්ගන්න දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරනවා. (3) යම් සහෝදරයෙක්ව පත් කරන්න නම් ඒ කෙනා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග පැහැදිලිව දකින්න තියෙන්න ඕනේ. (ගලා. 5:22, 23) ඒකෙන් පැහැදිලි වෙන්නේ පත් කිරීමක් කරද්දී දෙවිගේ බලය ඒ කාර්යයට සම්බන්ධ වෙනවා කියන එකයි.

ඒත් ඒ සහෝදරයාව පත් කරන්නේ කවුද? කලින් තිබුණ සැලැස්ම වුණේ වැඩිමහල්ලෙක් නැත්නම් සහායක සේවකයෙක් විදිහට පත් කරන්න යම් සහෝදරයෙකුට සුදුසුකම් තියෙනවා නම් ඒ ගැන නිර්දේශ කරලා ශාඛා කාර්යාලයට වාර්තාවක් යවපු එකයි. ශාඛා කාර්යාලයේ ඉන්න, පාලක මණ්ඩලය පත් කරපු සහෝදරයන් ඒ ගැන සාකච්ඡා කරලා ඒ සහෝදරයාව පත් කරනවා. ඊටපස්සේ ඒ ගැන සභාවේ වැඩිමහල් මණ්ඩලයට දැනුම් දෙනවා. වැඩිමහල්ලන් ඒ සහෝදරයාව හම්බ වෙලා ඒ ගැන කියද්දී ඒ වගකීම භාරගන්න කැමතිද කියලත් ඒකට එයා ඇත්තටම සුදුසුද කියලත් ඒ සහෝදරයාගෙන් අහනවා. අන්තිමට ඒ පත් කිරීම ගැන සභාවේ නිවේදනය කරනවා.

පළවෙනි සියවසේදී අවශ්‍යතාවට අනුව යම් වගකීම් දරන්න නියෝජිතයන් සහෝදරයන්ව පත් කළා. උදාහරණෙකට ඔවුන් වැන්දඹුවන්ට කෑම බෙදා දීම හොඳින් කරන්න පුරුෂයන් හත්දෙනෙක්ව පත් කළා. (ක්‍රියා 6:1-6) කොහොමවුණත් ඒ අමතර වගකීම භාර දෙන්න කලින් ඉඳන්ම ඒ අය වැඩිමහල්ලන් විදිහට සේවය කරන්න ඇති. එහෙමනම් පළවෙනි සියවසේදී පත් කිරීම් කළේ කොහොමද?

ඒ කාලේ කරපු පත් කිරීම් හැම එකක්ම කළේ කොහොමද කියලා බයිබලේ සඳහන් වෙන්නේ නැතත් ඒ ගැන යම් අදහසක් ගන්න උදව් වෙන සිද්ධීන් කීපයක් බයිබලේ තියෙනවා. උදාහරණෙකට පාවුල් සහ බානබස් ඔවුන්ගේ පළවෙනි මිෂනාරි ගමන අවසන් කරලා එන ගමන් කරපු දෙයක් ගැන බයිබලේ මෙහෙම කියනවා. “සෑම සභාවකම සිටින ගෝලයන්ට උපකාර කිරීම සඳහා ඔවුහු වැඩිමහල්ලන්ව පත් කළෝය. නිරාහාරව සිටිමින් යාච්ඤා කළ ඔවුහු, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ වැඩිමහල්ලන්ව දෙවිගේ රැකවරණය යටතට භාර කළෝය.” (ක්‍රියා 14:23) ඊට අවුරුදු කීපයකට පස්සේ පාවුල් ඔහුත් එක්ක සංචාරක සේවයේ ගිය තීතස්ට මෙහෙම කිව්වා. “මා ඔබව ක්‍රීට් දූපතෙහි නවතා ආවේ යම් හේතුවක් ඇතුවය. එමනිසා මා ඔබට උපදෙස් දුන් ලෙස නිසි ලෙස සිදු නොවන දේවල් ඔබ නිවැරදි කළ යුතු අතර සෑම නුවරක් නුවරක් පාසාම වැඩිමහල්ලන් පත් කළ යුතුයි.” (තීත. 1:5) සංචාරක සේවකයෙක් විදිහට සේවය කරපු තිමෝතිටත් ඒ අධිකාරිය තිබුණා. (1 තිමෝ. 5:22) ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ කාලේ සහෝදරයන්ව පත් කිරීම කළේ සංචාරක සේවකයන් කියන එකයි. එහෙම නැතුව නියෝජිතයන්වත් යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන්වත් නෙමෙයි.

බයිබලේ සඳහන් ඒ කාරණයට අනුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය වැඩිමහල්ලන්ව සහ සහායක සේවකයන්ව පත් කිරීමේ සැලැස්මේ යම් වෙනසක් කරලා තියෙනවා. 2014 සැප්තැම්බර් 1වෙනිදා ඉඳන් ඒ පත් කිරීම් සිද්ධ වෙන්නේ මෙහෙමයි. එක් එක් චාරිකා සේවකයන් තමන්ගේ චාරිකාවේ ඉන්න සහෝදරයන් ගැන කරන නිර්දේශ හොඳට අධ්‍යයනය කරනවා. චාරිකා සේවක යම් සභාවකට ගියාම නිර්දේශ කරලා තියෙන සහෝදරයාව හොඳින් අඳුනගන්න උත්සාහ කරනවා. පුළුවන් නම් ඔහු එක්ක සේවයේ හවුල් වෙනවා. සභාවේ වැඩිමහල් මණ්ඩලය එක්ක ඒ නිර්දේශය ගැන සාකච්ඡා කළාට පස්සේ ඒ සහෝදරයාව පත් කිරීමේ වගකීම තියෙන්නේ චාරිකා සේවකටයි. ඒක පළවෙනි සියවසේ තිබුණු සැලැස්මට සමානයි.

සහෝදරයෙකුගේ සුදුසුකම් ගැන වැඩිමහල්ලන් චාරිකා සේවක එක්ක සාකච්ඡා කරනවා (මලාවි)

සහෝදරයෙක්ව පත් කරන සැලැස්මට සම්බන්ධ වෙන අය කවුද? මෙහෙකරුවන්ව පෝෂණය කරන වගකීම මූලිකවම පැවරිලා තියෙන්නේ ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාටයි.’ (මතෙ. 24:45-47) ඒකට ලෝක පුරාම තියෙන සභාවන්වල වැඩ සැලැස්මකට අනුව කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් දෙන එකත් ඇතුළත්. ඔවුන් ඒ මඟ පෙන්වීම් ලබා දෙන්නේ දෙවිගේ බලයේ උදව් ඇතුව බයිබලේ තියෙන තොරතුරු හොඳින් අධ්‍යයනය කරලයි. ඒ වගේම චාරිකා සේවකයන්ව සහ ශාඛා කමිටු සාමාජිකයන්ව පත් කරන්නෙත් පාලක මණ්ඩලයයි. එක් එක් රටවල තියෙන ශාඛා කාර්යාල පාලක මණ්ඩලයෙන් ඔවුන්ට ලැබෙන මඟ පෙන්වීම් සභාවන් අදාළ කරගන්න ඕනෙ කොහොමද කියලා පෙන්නලා දෙනවා. වැඩිමහල් මණ්ඩලයට තියෙන්නේ ලොකු වගකීමක්. ඔවුන් සහෝදරයෙක්ව නිර්දේශ කරන්න කලින් රැස් වෙලා ඔහුට බයිබලේ තියෙන සුදුසුකම් තියෙනවද කියලා හොඳින් හොයලා බලනවා. චාරිකා සේවකට තියෙන්නෙත් බැරෑරුම් වගකීමක්. නිර්දේශ කරපු අය ගැන ඔහු හොඳට යාච්ඤා කරලා සුදුසුකම් තියෙනවද කියලා බලලා ඒ අයව පත් කරනවා.

සහෝදරයෙක්ව පත් කරන විදිහ ගැන හොඳට තේරුම්ගත්තම ඒ පත් කිරීම සම්බන්ධයෙන් දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහ අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා සභාව රැකබලා ගන්න පත් කරපු අය ගැන අපේ හිතේ ලොකු විශ්වාසයකුත් ගෞරවයකුත් ඇති වෙනවා.—හෙබ්‍රෙ. 13:7, 17.

එළිදරව් 11වෙනි පරිච්ඡේදයේ කතා කරන සාක්ෂිකරුවන් දෙන්නා කවුද?

එළිදරව් 11:3 දවස් 1,260ක් අනාවැකි කියන සාක්ෂිකරුවන් දෙන්නෙක් ගැන කතා කරනවා. ඊටපස්සේ මෘගයා ඒ දෙන්නාව “පරාජය කර ඔවුන්ව මරා දමන්නේය” කියලා කියනවා. හැබැයි “දවස් තුනහමාරට පසු” ඒ දෙන්නාට ආපහු ජීවිතය ලැබෙනවා කියලත් ඒක දකින අය පුදුම වෙනවා කියලත් සඳහන් වෙනවා.—එළි. 11:7, 11.

එළිදරව් 11 සඳහන් කරුණු අපිට උදව් කරනවා ඒ සාක්ෂිකරුවන් දෙන්නා කවුද කියලා අඳුනගන්න. එතන මුලින්ම කියන්නේ “ඔලීව ගස් දෙකෙන් හා පහන් රුක් දෙකෙන් ඔවුන්ව නියෝජනය වේ” කියලයි. (එළි. 11:4) සෙකරියාත් පහන් රුකක් සහ ඔලීව ගස් දෙකක් ගැන අනාවැකියක් කිව්වා මතකද? ඒ අනාවැකියේ ඔලීව ගස් දෙකෙන් නියෝජනය කළේ “මුළු පොළොවටම ස්වාමීන් වන දෙවි ළඟ සිටගෙන සිටින අභිෂේක ලත් තැනැත්තන් දෙදෙනාවයි.” ඒ දෙන්නා ආණ්ඩුකාර සෙරුබාබෙල් සහ උත්තම පූජක යොෂුවා. (සෙක. 4:1-3, 14) ඊළඟට සාක්ෂිකරුවන් දෙන්නා මෝසෙස් සහ එලියා කළා වගේ බලවත් ක්‍රියා කරනවා කියලත් එළිදරව් 11 සඳහන් වෙනවා.—එළිදරව් 11:5, 6; ගණන් කතාව 16:1-7, 28-35; 1 රාජාවලිය 17:1; 18:41-45 බලන්න.

ඒ දෙකේ තියෙන සමානකම් මොනවද? ඒවායේ කතා කරන්නේ අමාරු කාලවලදී පෙරමුණ අරගෙන වැඩ කරපු දෙවි විසින් තෝරගත්ත අය ගැනයි. ඒ හා සමානව එළිදරව් 11වෙනි පරිච්ඡේදයේ කතා කරන්නෙත් පෙරමුණ අරගෙන වැඩ කරපු, දෙවි තෝරගත්ත අභිෂේක ලත් අය ගැනයි. ඒ අය 1914 දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටවපු කාලයේ දේවසේවයේ පෙරමුණ අරගෙන වැඩ කළා. ඒගොල්ලෝ සංකේතවත් විදිහට “ගෝණි රෙදි ඇඳගෙන” අවුරුදු තුනහමාරක් දේශනා කළා.

ගෝණි රෙදි ඇඳගෙන දේශනා කළාට පස්සේ දවස් තුනහමාරකට ඒ කියන්නේ කෙටි කාලයකට ඒ අයව මරණයට පත් කරනවා කියලා අනාවැකියේ කියනවා. ඒක වුණේ කොහොමද? සේවයේ පෙරමුණ ගත්ත සහෝදරයන්ව සිරගත කළාම සතුරන් හිතුවේ දේශනා සේවය සම්පූර්ණයෙන්ම නතර වුණා කියලයි. ඒක හරියට සංකේතවත් විදිහට සාක්ෂිකරුවන් මිය ගියා වගෙයි. ඒ ගැන සතුරන් ගොඩක් සතුටු වුණා.—එළි. 11:8-10.

අනාවැකියේ සඳහන් විදිහටම දවස් තුනහමාරකට පස්සේ සාක්ෂිකරුවන් දෙන්නාට ආපහු ජීවිතය ලැබුණා. ඒ කියන්නේ සහෝදරයන්ට හිරෙන් නිදහස ලැබුණා. ඒ විතරක් නෙමෙයි දිගටම විශ්වාසවන්තව හිටපු අයට යේසුස් මාර්ගයෙන් දෙවි විශේෂ වගකීමක් භාර දුන්නා. 1919දී ඔවුන්ගෙන් සමහරදෙනෙක්ව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” හැටියට පත් කළා. ඒ දාසයාගේ වගකීම වුණේ අවසාන කාලයේ ජීවත් වෙන දෙවිගේ සේවකයන්ට දිගටම දෙවි එක්ක හොඳ බැඳීමක් තියාගන්න අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන එකයි.—මතෙ. 24:45-47; එළි. 11:11, 12.

එළිදරව් 11:1, 2 පෙන්නන විදිහට ඒ හැම සිදුවීමක්ම වෙන්නේ සංකේතවත් දේවමාලිගාව මනින නැත්නම් සෝදිසි කරන කාලෙදියි. මලාකි 3වෙනි පරිච්ඡේදයෙත් දේවමාලිගාව සෝදිසි කරලා පවිත්‍ර කරන කාලයක් ගැන කතා කරනවා. (මලා. 3:1-4) ඒ දේ කරන්න කොච්චර කාලයක් ගත වුණාද? ඒක 1914 ඉඳන් 1919 මුල් කාලය වෙන කල්ම සිද්ධ වුණා. ඒකට එළිදරව් 11වෙනි පරිච්ඡේදයේ සඳහන් වන දවස් 1,260ත් (මාස 42) සංකේතවත් දවස් තුනහමාරත් ඇතුළත් වෙනවා.

යෙහෝවා දෙවි යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින සෙනඟක් ලෙස අපව පවිත්‍ර කිරීම ගැන අපි කොච්චර සතුටු වෙන්න ඕනෙද! (තීත. 2:14) ඒ වගේම ඒ පවිත්‍ර කිරීම කරපු කාලයේදී දේශනා සේවයේ පෙරමුණ අරගෙන වැඩ කරපු අභිෂේක ලත් අයව අපි කොයි තරම් අගය කරන්න ඕනෙද! අනාවැකියේ කතා කරන සාක්ෂිකරුවන් දෙන්නාගෙන් නියෝජනය කරන්නේ ඒ විශ්වාසවන්ත අභිෂේක ලත් අයවයි. *

^ 18 ඡේ. වැඩි විස්තර දැනගන්න 2013 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 23 පි. 12 ඡේ. බලන්න.