Skip to content

පටුනට යන්න

‘සවන් දී අර්ථය තේරුම්ගන්න’

‘සවන් දී අර්ථය තේරුම්ගන්න’

“ඔබ සැමෝම මට සවන් දී මා කියන දෙයෙහි නියම අර්ථය තේරුම්ගන්න උත්සාහ කරන්න.”—මාක් 7:14.

1, 2. හුඟදෙනෙක්ට යේසුස් කියපු දේවල තේරුම වටහාගන්න බැරි වුණේ ඇයි?

හිතන්න, කවුරු හරි ඔයා ඉස්සරහා ඉඳන් කතා කරනවා කියලා. එයාගේ කටහඬ ඔයාට ඇහෙයි. එයා කතා කරන්නේ දුකෙන්ද සතුටෙන්ද කේන්තියෙන්ද කියලා ඔයාට තේරෙයි. ඒත් එයා කතා කරන වචනවල අර්ථය ඔයා තේරුම්ගත්තේ නැත්නම් එයා කියන දේ අහගෙන හිටියට වැඩක් තියෙනවද? (1 කොරි. 14:9) එදා යේසුස් ළඟට ආපු විශාල සෙනඟත් ඔහු කියපු දේවල් අහගෙන හිටියා. ඔහු කතා කළේ ඔවුන්ගෙම භාෂාවෙන්. ඒත් වැඩිදෙනෙක් ඔහු කියපු දේවල තේරුම වටහාගත්තේ නැහැ. “ඔබ සැමෝම මට සවන් දී මා කියන දෙයෙහි නියම අර්ථය තේරුම්ගන්න උත්සාහ කරන්න” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි.—මාක් 7:14.

2 ඒ අයට යේසුස් කියපු දේවල තේරුම වටහාගන්න බැරි වුණේ ඇයි? ඒකට හේතුව සමහරුන් ඔවුන්ගෙම මතයේ හිටිය නිසයි. ඒක වෙනස් කරන්න කැමති වුණේ නැහැ. තවත් අය යේසුස් ළඟට ආවේ වැරදි චේතනාවෙන්. ඒ වගේ අයට යේසුස් කිව්වේ “ඔබේ සම්ප්‍රදායන් කෙසේ හෝ ආරක්ෂා කරන්න ඔබ ඉතා කපටි විදිහට දෙවිගේ ආඥාවන් පසෙක දමනවා” කියලයි. (මාක් 7:9) යේසුස් කිව්ව දේවල නියම අර්ථය තේරුම්ගන්න ඔවුන්ට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ඔවුන් හිතන විදිහ වෙනස් කරගන්නත් කැමති වුණේ නැහැ. ඒ සෙනඟ යේසුස්ගේ වචන ඔවුන්ගේ කන්වලින් ඇහුවා විතරයි. ඒවා හිතට ගත්තේ නැහැ. (මතෙව් 13:13-15 කියවන්න.) අපි ඒ අයට වඩා වෙනස් කියලත් යේසුස්ගේ ඉගැන්වීම් තේරුම්ගන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් පෙන්නන්නේ කොහොමද?

යේසුස්ගේ ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

3. යේසුස්ගේ වචනවල අර්ථය තේරුම්ගන්න ඔහුගේ ගෝලයන්ට පුළුවන් වුණේ කොහොමද?

3 අපි යේසුස්ගේ නිහතමානී ගෝලයෝ වගේ වෙන්න ඕනේ. ඔවුන්ට යේසුස් මෙහෙම කිව්වා. “ඔබේ ඇස්වලට පෙනෙන නිසාත් ඔබේ කන්වලට ඇසෙන නිසාත් ඒ ගැන සතුටු වන්න ඔබට පුළුවන්.” (මතෙ. 13:16) යේසුස්ගේ වචනවල අර්ථය තේරුම්ගන්න අනිත් අයට බැරි වුණත් ගෝලයන්ට පුළුවන් වුණේ කොහොමද? ඒ දේවල් තුනක් නිසයි. (1) ඔවුන් ප්‍රශ්න අහලා යේසුස්ගේ වචනවල අර්ථය දැනගන්න ආසාවෙන් හිටියා. (මතෙ. 13:36; මාක් 7:17) (2) ඔවුන් දැනටමත් දන්න තොරතුරුවලට අලුත් තොරතුරු එකතු වෙද්දී ඒවා පිළිගන්න කැමැත්තෙන් හිටියා. (මතෙව් 13:11, 12 කියවන්න.) (3) අවබෝධ කරගත්ත ඒ තොරතුරු ජීවිතේට අදාළ කරගන්නත් ඒවා යොදාගෙන අනිත් අයට උදව් කරන්නත් ඔවුන්ට ලොකු කැමැත්තක් තිබුණා.—මතෙ. 13:51, 52.

4. යේසුස් කියපු උපමා තේරුම්ගන්න නම් අපි කරන්න ඕන මොනවද?

4 යේසුස් කියපු උපමා තේරුම්ගන්න නම් අපිත් දේවල් තුනක් කරන්න ඕනේ. (1) යේසුස් කියපු දේවල් අධ්‍යයනය කරන්න, ඒ ගැන හොඳට හිතන්න කාලය ගන්න ඕනේ. තොරතුරු හොඳට ගවේෂණය කරන අතරේ ප්‍රශ්න අහලා ඒවාට උත්තර දැනගන්න එකත් අත්‍යවශ්‍යයි. ඒකට කියන්නේ දැනුම ලබාගන්නවා කියලයි. (හිතෝ. 2:4, 5) (2) ඒ දැනුම අපි දැනටමත් දන්න තොරතුරුවලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් ඒවා පෞද්ගලිකව අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් තේරුම්ගන්න ඕනේ. අවබෝධය කියන්නේ ඒකටයි. (හිතෝ. 2:2, 3) (3) අවබෝධ කරගත්ත දේ ජීවිතේට අදාළ කරගන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාව.හිතෝ. 2:6, 7.

5. දැනුම, අවබෝධය සහ ප්‍රඥාව එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න.

5 දැනුම, අවබෝධය, ප්‍රඥාව කියන දේවල් එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද? අපිට ඒක මේ උදාහරණෙන් තේරුම්ගන්න පුළුවන්. හිතන්න ඔයා පාර මැද හිටගෙන ඉන්නවා කියලා. ඈතින් බස් එකක් ඔයා දිහාවට එනවා. ඉස්සෙල්ලාම ඔයා ඒ බස් එක දකිනවා. ඒක තමයි දැනුම. ඊළඟට ඔයා තේරුම්ගන්නවා ඉන්න තැනම හිටියොත් බස් එකට හැප්පෙනවා කියලා. ඒ අවබෝධය. ඒ නිසා ඔයා එතනින් අයින් වෙනවා. ඒක ප්‍රඥාව. බයිබලේ අපිට කියන්නේ ‘ප්‍රඥාව රැකගන්න’ කියලයි. මොකද ඒකට පුළුවන් අපේ ජීවිත බේරගන්න.—හිතෝ. 3:21, 22; 1 තිමෝ. 4:16.

6. යේසුස් කියපු උපමා ගැන බලද්දී අපි උත්තර හොයන්නේ මොන ප්‍රශ්නවලටද? (කොටුව බලන්න.)

6 මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් අපි යේසුස් කියපු උපමා 7ක් ගැන බලනවා. ඒ එක එක උපමාව ගැන බලද්දී මේ ප්‍රශ්නවලට උත්තර හොයමු. ඒ උපමාවේ තේරුම මොකක්ද? (දැනුම) යේසුස් ඒ උපමාව කිව්වේ ඇයි? (අවබෝධය) ඒ තොරතුරුවලින් අපි ප්‍රයෝජන ගන්නෙත් ඒවා යොදාගෙන අනිත් අයට උදව් කරන්නෙත් කොහොමද? (ප්‍රඥාව) ඒ තොරතුරුවලින් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

අබ ඇටයේ උපමාව

7. යේසුස් අබ ඇටය ගැන කියපු උපමාවේ තේරුම මොකක්ද?

7 මතෙව් 13:31, 32 කියවන්න. ඒ උපමාවේ තේරුම මොකක්ද? අබ ඇටයෙන් නියෝජනය කළේ අපි දේශනා කරන දේවරාජ්‍යය ගැන පණිවිඩය සහ දේශනා සේවයේ ප්‍රතිඵලයක් විදිහට බිහි වුණ සැබෑ ක්‍රිස්තියානි සභාවයි. ක්‍රි.ව. 33 ක්‍රිස්තියානි සභාව ආරම්භ කරද්දී ඒකට අයත් වුණේ කුඩා පිරිසක්. ඒක අපිට “සියලුම බීජවලට වඩා කුඩා” අබ ඇටයකට සමාන කරන්න පුළුවන්. දේශනා සේවය නිසා ටික දවසක් ඇතුළත ක්‍රිස්තියානි සභාව පුදුම විදිහට වර්ධනය වුණා. ඒ වගේ ලොකු වර්ධනයක් ඒ තරම් ඉක්මනින් වෙයි කියලා හුඟක් අය හිතුවේ නැහැ. (කොලො. 1:23) ‘අහසේ කුරුල්ලන්ට ඇවිත් එහි අතුවල ලැගුම් ගන්න’ පුළුවන් වෙනවා කියලත් යේසුස් කිව්වා. ඒකෙන් අදහස් කළේ ක්‍රිස්තියානි සභාව වර්ධනය වෙද්දී අවංක හදවත් තියෙන අයට අවශ්‍ය පෝෂණයත් සහනයත් රැකවරණයත් එයින් ලබාගන්න පුළුවන් වෙනවා කියන එකයි.—එසකියෙල් 17:23 බලන්න.

8. යේසුස් අබ ඇටය ගැන උපමාව කිව්වේ ඇයි?

8 ඒ උපමාව කිව්වේ ඇයි? පුංචි අබ ඇටය ලොකු ගහක් දක්වා වර්ධනය වෙන එක ගැන යේසුස් කිව්වේ දේවරාජ්‍යයේ වැඩකටයුතු කොයි තරම් වර්ධනය වෙනවද කියන එක පෙන්නන්නයි. ඒ වගේම ඒ පණිවිඩය පිළිගන්න අයට ලැබෙන ආරක්ෂාව මොන තරම්ද කියලත් මොන බාධා ආවත් ඒ වර්ධනය දිගටම සිද්ධ වෙනවා කියලත් යේසුස් ඒ උපමාවෙන් පෙන්නුවා. 1914 ඉඳන් සැබෑ ක්‍රිස්තියානි සභාව හිතාගන්න බැරි තරම් පුදුමාකාර විදිහට වර්ධනය වුණා. (යෙසා. 60:22) සභාවේ සාමාජිකයන්ට යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න අවශ්‍ය පෝෂණය නිතරම ලැබෙනවා. (හිතෝ. 2:7; යෙසා. 32:1, 2) ඒ වර්ධනය නවත්වන්න කිසිම දේකට බැහැ.—යෙසා. 54:17.

9. (අ) අබ ඇටයේ උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ආ) ඒ තොරතුරුවලින් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

9 ඒ උපමාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? සමහරවිට අපි ජීවත් වෙන්නේ හුඟක් සාක්ෂිකරුවන් නැති, එතරම් වර්ධනයක් දකින්න නැති ප්‍රදේශයක වෙන්න පුළුවන්. ඒත් අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මොන බාධාව ආවත් දේවරාජ්‍යය ගැන පණිවිඩය පැතිරෙන එක වළක්වන්න කිසිම දේකට බැහැ කියන එක. ඒක දැනගෙන ඉන්න එක අපිට ලොකු ශක්තියක් වෙයි. උදාහරණෙකට සහෝදර එඩ්වින් ස්කිනර් 1926දී ඉන්දියාවට මුලින්ම පය තියපු දවස්වල එහෙ සාක්ෂිකරුවන් හිටියේ ටිකදෙනයි. එහෙ වර්ධනය සිද්ධ වුණෙත් හරිම හෙමින්. ඒත් ඔහු දේශනා සේවය දිගටම කරගෙන ගියා. බාධා මැද දේවරාජ්‍යය ගැන පණිවිඩය පැතිරුණ විදිහ එයා ඇස් දෙකෙන්ම දැක්කා. මේ වෙනකොට සාක්ෂිකරුවන් 37,000කට වඩා වැඩිදෙනෙක් ඉන්දියාවේ ඉන්නවා. 2013 යේසුස්ගේ මරණය සිහි කිරීමට 1,08,000කට වැඩි පිරිසක් ආවා. සහෝදර ස්කිනර් ඉන්දියාවට ගිය අවුරුද්දේදීම වගේ තමයි සැම්බියාවේ දේශනා සේවය පටන්ගත්තේ. දැන් එහෙ සාක්ෂිකරුවන් 1,70,000කට වඩා ඉන්නවා. 2013 සිහි කිරීමට 7,63,915දෙනෙක් ආවා. ඒ කියන්නේ ඒ රටේ ඉන්න හැම 18දෙනෙකුගෙන්ම එක් කෙනෙක් සිහි කිරීමට ආවා කියන එකයි. මොන තරම් පුදුමාකාර වර්ධනයක්ද!

මුහුන් ගැන උපමාව

10. යේසුස් මුහුන් ගැන කියපු උපමාවේ තේරුම මොකක්ද?

10 මතෙව් 13:33 කියවන්න. ඒ උපමාවේ තේරුම මොකක්ද? මුහුන්වලින් අදහස් කරන්නේ දේවරාජ්‍යයේ පණිවිඩයයි. ඒ පණිවිඩය නිසා මිනිසුන්ගේ ජීවිත මොන තරම් වෙනස් වෙනවද කියලා පෙන්නන්නයි යේසුස් ඒ උපමාව කිව්වේ. ‘මුළු පිටි පිඩෙන්’ නියෝජනය කළේ සියලු ජාතීන්. පිටි පිපෙන ක්‍රියාවලියෙන් අදහස් කළේ දේශනා සේවය නිසා ශුභාරංචිය ලෝකෙ පුරාම පැතිරෙන විදිහයි. අබ ඇටය විශාල ගසක් වෙනවා දකින්න පුළුවන් වුණත් මුහුන්වලින් පිටි පිපෙන ක්‍රියාවලිය දකින්න අපිට බැහැ. පිටි පිපිලා කියලා පේන්නේ ටික වෙලාවකට පස්සේ.

11. යේසුස් මුහුන් ගැන උපමාව කිව්වේ ඇයි?

11 ඒ උපමාව කිව්වේ ඇයි? දේවරාජ්‍යයේ පණිවිඩයට “පොළොවේ දුර ඈත කෙළවර” දක්වා පැතිර යන්න හැකියාවක් තියෙනවා කියලත් හුඟක් අයගේ ජීවිත වෙනස් කරන්න ඒකට පුළුවන් කියලත් යේසුස් පෙන්නුවා. (ක්‍රියා 1:8) ශුභාරංචිය නිසා මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන විදිහ අපිට එකපාරටම දකින්න බැහැ. ඒත් ඒක සිද්ධ වෙනවා. ලෝකෙ පුරාම ඉන්න විශාල සෙනඟක් ශුභාරංචිය පිළි අරන් තියෙනවා විතරක් නෙමෙයි ජීවිතවල ලොකු වෙනසක් කරන්න ඔවුන් ඒ පණිවිඩයට ඉඩහැරලා තියෙනවා.—රෝම 12:2; එෆී. 4:22, 23.

12, 13. මුහුන් ගැන උපමාවෙන් යේසුස් කිව්වා වගේ අපි නොහිතන විදිහට ශුභාරංචිය පැතිරෙනවා කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

12 ශුභාරංචිය ජීවිතවලට කොයි තරම් බලපෑමක් කරනවද කියලා හුඟක් වෙලාවට පේන්න පටන්ගන්නේ කෙනෙක් ඒක මුලින්ම අහලා කාලයක් ගියාට පස්සෙයි. මේ අද්දැකීම බලන්න. බ්‍රසීලයේ බෙතෙල් නිවසේ සේවය කරපු ෆ්‍රාන්ස් සහ මාර්ගිට් කියන යුවළ 1982දී කුඩා නගරයක සේවය කළා. එහෙදී ඔවුන්ට බයිබල් පාඩම් කීපයකුත් පටන්ගන්න පුළුවන් වුණා. ඒ අතරින් එක පාඩමක් ඔවුන් කළේ අම්මා කෙනෙකුටයි එයාගේ දරුවෝ හතරදෙනාටයි. ඒ වෙනකොට වැඩිමහල් පුතාගේ වයස අවුරුදු 12යි. එයා හරිම ලැජ්ජාශීලී කෙනෙක්. කොච්චර ලැජ්ජාද කියනවා නම් සමහර වෙලාවට පාඩම පටන්ගන්න කලින් එයා ගිහින් හැංගෙනවා. ටික කාලෙකට පස්සේ ඒ යුවළට සේවය කරන්න වෙන තැනකට යන්න වුණ නිසා පාඩම දිගටම කරගෙන යන්න බැරි වුණා. ඊට අවුරුදු 25කට පස්සේ ඔවුන් ඒ ප්‍රදේශයට යද්දී ප්‍රචාරකයන් 69කුත් ස්ථාවර පුරෝගාමීන් 13දෙනෙකුත් ඉන්න සභාවක් එහෙ තිබුණා. එදා හිටපු ඒ ලැජ්ජාශීලී දරුවා දැන් ඒ සභාවේ වැඩිමහල්ලෙක්. යේසුස් මුහුන් ගැන උපමාවේ කිව්ව විදිහට දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රචාරය වෙලා හුඟදෙනෙකුගේ ජීවිත වෙනස් කරලා කියලා ඒ යුවළ දැක්කා.

13 දේශනා සේවය නිදහසේ කරන්න බැරි රටවල වර්ධනය දකිද්දී දේවරාජ්‍යය ගැන පණිවිඩය පැතිරිලා යන විදිහත් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න ඒකට තියෙන හැකියාවත් හොඳින් පැහැදිලි වෙනවා. උදාහරණෙකට කියුබාවට මුලින්ම ශුභාරංචිය ලැබුණේ 1910දී. සහෝදර රසල් 1913දී ඒ රටේ සංචාරය කළා. මුල් කාලේ ඒ රටේ ලොකු වර්ධනයක් තිබුණේ නැහැ. ඒත් අද වෙනකොට කියුබාවේ ප්‍රචාරකයන් 96,000කට වඩා ඉන්නවා. 2013 සිහි කිරීමට 2,29,726දෙනෙක් ආවා. ඒ කියන්නේ ඒ රටේ ඉන්න හැම 48දෙනෙකුගෙන් එක් කෙනෙක් සිහි කිරීමට ආවා කියන එකයි. තමන්ගේ රටේ සමහර පළාත්වලට ශුභාරංචිය ගිහින් නැහැ කියලා තහංචි නැති රටවල ඉන්න ප්‍රචාරකයන්ට වුණත් හිතෙන්න පුළුවන්. ඒත් අපි නොදන්නවා වුණාට සමහරවිට මේ වෙනකොටත් ඒ පාළාත්වලට ශුභාරංචිය ලැබිලා ඇති. *දේශ. 8:7; 11:5.

14, 15. (අ) මුහුන් ගැන යේසුස් කියපු උපමාව පෞද්ගලිකව අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? (ආ) ඒ තොරතුරුවලින් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

14 ඒ උපමාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? ඒ උපමාව ගැන අපි හොඳට හිතුවොත් අපිට තේරුම්ගන්න පුළුවන් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොටත් ශුභාරංචිය ගැන අහලා නැති මිලියන ගාණක්දෙනාට ඒ ගැන දැනුම් දෙන්න පුළුවන් වෙයිද කියලා අපි ඕනෑවට වඩා කරදර වෙන්න ඕනෙ නැහැ කියන දේ. යෙහෝවා දෙවි හැම දෙයක්ම බලාගනියි. එහෙමනම් අපිට තියෙන වගකීම මොකක්ද? ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “උදෑසන ඔබේ බීජ වපුරන්න. කිසි විවේකයක් නොගෙන සවස් වන තුරුම එසේ කරන්න. මන්ද ඒ කුමන බීජ පැළ වෙයිද කියා ඔබ දන්නේ නැත. සමහරවිට ඉන් එකක් හෝ දෙකක් හෝ ඒ සියල්ල වුවද පැළ වීමට ඉඩ තිබේ.” (දේශ. 11:6) උපරිමෙන් දේශනා කරන අතරේ අපේ සේවයට ආශීර්වාද කරන්න කියලා අපි නිතරම දෙවිගෙන් ඉල්ලන්නත් ඕනේ. විශේෂයෙන්ම තහංචි තියෙන රටවල කරන සේවයට ආශීර්වාද කරන්න කියලා අපි යාච්ඤා කරන්න ඕනේ.—එෆී. 6:18-20.

15 ඒ වගේම අපේ දේශනා සේවයේ ප්‍රතිඵල අපිට ඉක්මනින්ම දකින්න නැත්නම් ඒ ගැන අපි අධෛර්යය වෙන්න හොඳ නැහැ. “සුළුවෙන් පටන්ගත් වැඩක් කිසිවිටෙක හෙළා නොදකින්න” කියලා බයිබලේ කියනවා. (සෙක. 4:10) මොකද අපි මහන්සි වෙලා කරන සේවයේ අවසන් ප්‍රතිඵලය අපිට හිතාගන්නවත් බැරි තරම් පුදුමාකාර එකක් වෙන්න ඉඩ තියෙනවා.—ගීතා. 40:5; සෙක. 4:7.

සංචාරක වෙළෙන්දා සහ සඟවා තිබුණ වස්තුව ගැන උපමා

16. සංචාරක වෙළෙන්දා සහ සඟවා තිබුණ වස්තුව ගැන කියපු උපමාවල තේරුම මොකක්ද?

16 මතෙව් 13:44-46 කියවන්න. ඒ උපමාවල තේරුම මොකක්ද? යේසුස්ගේ කාලේ හිටපු සමහර වෙළෙන්දන් වටිනා මුතු හොයාගෙන ඈත පැතිවලට ගියා. ඒවා හම්බ වුණාම ඉක්මනින්ම මිල දී ගත්තා. යේසුස්ගේ උපමාවේ සඳහන් වුණ ‘ඉතා වටිනා මුතු ඇටයෙන්’ නියෝජනය කළේ දේවරාජ්‍යය පිළිබඳ බයිබලේ සඳහන් වෙන සත්‍ය තොරතුරු. වෙළෙන්දාගෙන් නියෝජනය කළේ ඒ සත්‍ය තොරතුරු හොයන අවංක හදවත් තියෙන අයවයි. ඒ වෙළෙන්දා වටිනා මුතු ඇටය මිල දී ගන්න ඔහුට අයිති හැම දේම “වහාම” විකුණන්න කැමැත්තෙන් හිටියා. යේසුස් ඒ වගේ තවත් උපමාවක් කිව්වා. ඒ සඟවා තිබුණ වස්තුව ගැන කියපු උපමාවයි. ඒ උපමාවේ විදිහට තණබිමක වැඩ කරමින් හිටපු මිනිසෙක්ට වටිනා වස්තුවක් හම්බ වෙනවා. කලින් උපමාවේ හිටපු වෙළෙන්දා මුතු ඇටය හොයාගෙන ගියත් මේ මිනිසා වස්තුව හොයාගෙන ගියේ නැහැ. ඒත් හම්බ වුණ වස්තුව කොච්චර වටිනවද කියලා දැනගත්තම ඒක ලබාගන්න ‘තමා සතු සියල්ල විකුණන්න’ ඔහු කැමති වුණා.

17. යේසුස් සංචාරක වෙළෙන්දා සහ සඟවා තිබුණ වස්තුව ගැන උපමා කිව්වේ ඇයි?

17 ඒ උපමා කිව්වේ ඇයි? ඔහු ඒ උපමාවලින් පෙන්නුවේ දේවරාජ්‍යය ගැන සත්‍ය තොරතුරු විවිධ ක්‍රමවලින් මිනිසුන්ට හම්බ වෙන්න පුළුවන් කියන එකයි. සමහරු හුඟක් කැප කිරීම් කරලා ඒ සත්‍යය හොයනවා. තවත් අය ඒ සත්‍යය හොයමින් හිටියේ නැතත් සමහරවිට කවුරු හරි ඒ අයට දේශනා කරන නිසා ඒ සත්‍යය ගැන දැනගන්න ලැබෙනවා. කොහොමවුණත් ඒ උපමා දෙකේම ඉන්න මිනිසුන් දෙන්නා ඔවුන්ට හම්බ වුණ දේ කොයි තරම් වටිනවද කියලා තේරුම් අරන් ඒක ලබාගන්න ලොකු කැප කිරීම් කළා.

18. (අ) මේ උපමා දෙකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ආ) ඒ තොරතුරුවලින් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

18 ඒ උපමා දෙකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? (මතෙ. 6:19-21) මේ ගැන හිතලා බලන්න. ‘ඒ මිනිසුන් දෙන්නට තමන්ට ලැබුණ දේ ගැන ලොකු අගයක් තිබුණා. දේවරාජ්‍යය පිළිබඳ බයිබලේ සඳහන් සත්‍ය තොරතුරු ගැන මටත් ඒ වගේ අගයක් තියෙනවද? ඒ සත්‍යය මං සලකන්නේ වටිනා වස්තුවක් විදිහටද? ඒක වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන්න මං ලෑස්තිද? එහෙම නැත්නම් ඒ ගැන මගේ හිතේ තියෙන අගය අඩු කරන්න ජීවිතේ එදිනෙදා දේවලට මං ඉඩහරිනවද?’ (මතෙ. 6:22-24, 33; ලූක් 5:27, 28; ෆිලි. 3:8) සත්‍යය ගැන ඇත්තටම අපේ හිතේ ලොකු අගයක් තියෙනවා නම් ඒකට ජීවිතේ මුල් තැන දෙන්න අපි ඕනම දෙයක් කරනවා.

19. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

19 යේසුස් කියපු උපමාවලට ඇහුම්කන් දීලා ඒවායේ නියම අර්ථය තේරුම්ගන්න අපි උත්සාහ කරමු. ඒ විතරක් මදි. අපි ඉගෙනගන්න දේවල් ජීවිතවලට අදාළ කරගන්නත් ඕනේ. යේසුස්ගේ තවත් උපමා තුනක් ගැනත් ඒවායින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද කියලත් ඊළඟ ලිපියෙන් බලමු.

^ 13 ඡේ. ඒ වගේ අද්දැකීම් මේ රටවලිනුත් වාර්තා වෙලා තියෙනවා. කොස්ටාරිකාව (‘2014 වාර්ෂික පොත’ 54-56 පි.); සියරා ලියොන් සහ ගිනියාව (‘2014 වාර්ෂික පොත’ 131-145 පි.); රොබින්සන් ක්රූසෝ දූපත (2000 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ 9 පි.).