Skip to content

පටුනට යන්න

“නියම අර්ථය අවබෝධ” කරගන්න ඔයාට පුළුවන්ද?

“නියම අර්ථය අවබෝධ” කරගන්න ඔයාට පුළුවන්ද?

‘ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල නියම අර්ථය අවබෝධ කරගැනීමට ඔහු ඔවුන්ට උපකාර කළා.’—ලූක් 24:45.

1, 2. නැවත නැඟිටවපු දවසේ යේසුස් ගෝලයන්ව ශක්තිමත් කළේ කොහොමද?

මේ සිද්ධිය වුණේ යෙරුසලමේ ඉඳන් කි.මී. 11ක් එහායින් තියෙන ගමකට යන පාරකදී. ගෝලයෝ දෙන්නෙක් යේසුස්ගේ මරණය ගැන කතා කරකර ගම දිහාවට යමින් හිටියා. යේසුස් නැවත නැඟිටලා කියලා දැනගෙන හිටියේ නැති නිසා එයාලා හිටියේ හුඟක් දුකෙන්. ඔය අතරේ ඒ ගමනට යේසුත් එකතු වුණා. ඇවිදගෙන යන අතරේ ඔහු “මෝසෙස් පැවසූ දේවලින් පටන්ගෙන සියලු අනාගතවක්තෘවරුන් ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔවුන්ට පැහැදිලි කර දුන්නා.” (ලූක් 24:13-15, 27) යේසුස් කොයි තරම් හොඳට පැහැදිලි කරලා දුන්නද කියනවා නම් ඒකෙන් ඔවුන්ට ලොකු සහනයක් දැනුණා. ඔවුන්ගේ සිත් සතුටින් පිරී ගියා.—ලූක් 24:32.

2 එදාම ඒ ගෝලයෝ දෙන්නා ආපහු යෙරුසලමට ඇවිත් නියෝජිතයන්ව මුණගැහිලා සිද්ධ වුණ දේ අකුරක් නෑර කිව්වා. විස්තරේ කියකියා ඉන්නකොටම ඒ හැමෝම ඉස්සරහා යේසුස් පෙනී හිටියා. හුඟක් බයෙන් හිටපු නියෝජිතයෝ තමන් ඉදිරියේ ඉන්නේ ඇත්තටම යේසුස්ද කියලා සැක කරන්නත් පටන්ගත්තා. ඒත් යේසුස් ඔවුන්ගේ බය නැති කරලා ඔවුන්ව ශක්තිමත් කළේ කොහොමද? යේසුස් ඒක කළේ ‘ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල නියම අර්ථය අවබෝධ කරගැනීමට ඔවුන්ට උපකාර කරලයි.’—ලූක් 24:45.

3. දෙවිට සේවය කරද්දී අපි අධෛර්යය වෙන්නේ මොන වගේ දේවල් නිසාද? ඒත් දිගටම සතුටින් සේවය කරන්න උදව් වෙන්නේ මොකක්ද?

3 ඒ ගෝලයන්ට වගේ අපිටත් ලොකු දුකක් දැනෙන වෙලාවල් තියෙනවා. මොන තරම් මහන්සි වෙලා සේවයේ ගියත් ප්‍රතිඵල නැහැ වගේ පේනවා නම් අපිත් අධෛර්යය වෙනවා. (1 කොරි. 15:58) එහෙම නැත්නම් අපිත් එක්ක පාඩම් කරන අය අපි හිතන තරම් ඉක්මනට ජීවිත වෙනස් කරගෙන දෙවිට කැප වෙන්නේ නැති වුණාම අපි අධෛර්යය වෙනවා. ඒ අයගෙන් සමහරුන් දෙවි ගැන ඉගෙනගන්න එක නවත්වන්නත් පුළුවන්. ඒ වගේ දේවල් වුණත් දිගටම සතුටින් සේවය කරන්න අපිට පුළුවන් කොහොමද? යේසුස්ගේ උපමාවල නියම අර්ථය තේරුම්ගත්තොත් ඒක කරන්න අපිට පුළුවන්. අපි දැන් යේසුස්ගේ තවත් උපමා තුනක් ගැන බලමු.

බීජ වපුරා නින්දට යන මිනිසාගේ උපමාව

4. බීජ වපුරා නින්දට යන මිනිසා ගැන යේසුස් කියපු උපමාවේ තේරුම මොකක්ද?

4 මාක් 4:26-29 කියවන්න. ඒ උපමාවේ තේරුම මොකක්ද? බීජ වපුරපු මිනිසාගෙන් නියෝජනය කළේ දේවරාජ්‍යය ගැන පණිවිඩය දේශනා කරන අයවයි. වපුරපු බීජවලින් නියෝජනය වුණේ අවංක හදවත් තියෙන අයට දේශනා කරන ඒ පණිවිඩයයි. ඒ මිනිසා ‘සෑම දිනකම සාමාන්‍ය පරිදි රාත්‍රියෙහි නිදාගෙන උදෑසනින් අවදි වුණා.’ ඒ අතරතුර ‘බීජය පැළ වී උසට වැඩෙනවා.’ ඒත් ඒක වෙන්නේ කොහොමද කියලා ඔහු දන්නේ නැහැ. බීජ වැපුරුවට පස්සේ පල දරන තත්වයට එන්න යම් කාලයක් ගත වෙනවා. ඒක පියවරෙන් පියවර ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. කෙනෙක් පණිවිඩයට සවන් දීලා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නෙත් පියවරෙන් පියවර ක්‍රමානුකූලව. ඊටපස්සේ තමන්ගේ ජීවිතේ දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න තීරණය කරන අවස්ථාව ‘ධාන්‍ය කරල් සම්පූර්ණයෙන්ම පැසී ඇති’ අවස්ථාවට සමානයි.

5. බීජ වපුරා නින්දට යන මිනිසා ගැන උපමාව යේසුස් කිව්වේ ඇයි?

5 ඒ උපමාව කිව්වේ ඇයි? දේවරාජ්‍යය ගැන බයිබලේ සඳහන් වෙන සත්‍ය තොරතුරු හරියට බීජයක් වගේ “සත්‍යය පිළිගැනීමට කැමති” මිනිසුන්ගේ හදවත්වල වර්ධනය වෙනවා. (ක්‍රියා 13:48; 1 කොරි. 3:7) ඒ වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවි කියලා පැහැදිලි කරන්නයි යේසුස් ඒ උපමාව කිව්වේ. ඒ බීජය පැළ කරන්න, ඒකට වතුර දාන්න අපිට පුළුවන් වුණත් ඒක බලෙන් වර්ධනය කරන්නවත් ඒ වර්ධනය වේගවත් කරන්නවත් අපිට බැහැ. උපමාවේ සඳහන් මිනිසා වගේ කෙනෙක් තුළ ඒ බීජය වර්ධනය වෙන්නේ කොහොමද කියලා අපිත් දන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ ගත කරන අතරේ ඒ පුද්ගලයාගේ හිතේ බීජය ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. ඒක අපිට එකපාරට පේන්නේ නැහැ. කාලයත් එක්කම ඒ කෙනා පල දරන තත්වයට එනවා. ඊටපස්සේ එයාත් අපි එක්ක අස්වැන්න නෙළන කාර්යයට හවුල් වෙනවා.—යොහ. 4:36-38.

6. අපිත් එක්ක බයිබලේ පාඩම් කරන අය ගැන අපි තේරුම්ගන්න ඕනෙ මොකක්ද?

6 ඒ උපමාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? අපිට දේවල් තුනක් ඉගෙනගන්න පුළුවන්. (1) අපි එක්ක බයිබලේ පාඩම් කරන කෙනෙක්ට ජීවිතේ දෙවිට කැප කරලා බව්තීස්ම වෙන තත්වයට එන්න උදව් කරන්න අපිට පුළුවන්. ඒත් අපිට ඕන විදිහට, අපිට අවශ්‍ය කාලෙදී කෙනෙකුගේ ජීවිතේ වෙනස්කම් කරන්න අපිට බැහැ. ඒ නිසා කවදාවත් අපි එක්ක පාඩම් කරන අයට බව්තීස්ම වෙන්න කියලා බල කරන්න හොඳ නැහැ. යෙහෝවා දෙවිට අපේ ජීවිත කැප කරද්දී දෙවි ඒක පිළිගන්නේ ඔහුට තියෙන ආදරේ නිසා අපි ඒ තීරණය ගත්තොත් විතරයි.—ගීතා. 51:12; 54:6; 110:3.

7, 8. (අ) බීජ වපුරා නින්දට යන මිනිසා ගැන කියපු උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තවත් දේවල් මොනවද? අද්දැකීමක් කියන්න. (ආ) ඒ තොරතුරුවලින් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

7 (2) අපි අනිත් අයට උගන්වද්දී ඉක්මනට ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා අපි අධෛර්යය වෙන්න හොඳ නැහැ කියන දේ තේරුම්ගන්න ඒ උපමාව උදව් වෙනවා. අපි ඉවසන්න ඕනේ. (යාකො. 5:7, 8) අපි හුඟක් මහන්සි වුණත් බයිබල් ශිෂ්‍යයෙක් සත්‍ය නමස්කාරය තුළ වර්ධනයක් පෙන්නන්නේ නැහැ කියලා හිතමු. ඒකෙන් අදහස් කරන්නේ අපි හොඳ ගුරුවරු නෙමෙයි කියන එකද? නැහැ. බීජයක් හා සමාන සත්‍ය පණිවිඩය කෙනෙක්ගේ හදවතේ වැඩෙන්න දෙවි ඉඩහරින්නේ ඒ කෙනා ජීවිතේ වෙනස්කම් කරගන්න කැමති, නිහතමානී කෙනෙක් නම් විතරයි. (මතෙ. 13:23) ඒ නිසා සේවය අපි හොඳට කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි බව්තීස්ම වෙන්න කීදෙනෙක්ට උදව් කරනවද කියන එක මත නෙමෙයි කියලා මතක තියාගමු. මිනිසුන් අපේ පණිවිඩයට දක්වන ප්‍රතිචාරය දිහා බලලා අපි කොයි තරම් සාර්ථකද නැද්ද කියලා යෙහෝවා දෙවි මනින්නේ නැහැ. ඒ වෙනුවට ඔහුට වටින්නේ අපි ඒ වෙනුවෙන් දරන උත්සාහයයි.—ලූක් 10:17-20; 1 කොරින්ති 3:8 කියවන්න.

8 (3) අපි එක්ක බයිබලේ පාඩම් කරන කෙනෙක්ගේ හදවතේ සිද්ධ වෙන සමහර වෙනස්කම් අපිට පේන්නේ නැහැ. මේ අද්දැකීම බලන්න. මිෂනාරිවරයෙක් යුවළක් එක්ක පාඩමක් කළා. දවසක් ඒ යුවළ ඔහුට කිව්වා තමන් බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් වෙන්න කැමතියි කියලා. එතකොට ඔහු කිව්වා ඉස්සෙල්ලම දුම්බීම නතර කරන්න වෙයි කියලා. ඒත් ඊට මාස කීපයකට කලින් දුම්බීම් නතර කළා කියලා ඒ යුවළ කිව්වම සහෝදරයා පුදුම වුණා. ඒකට හේතුව විදිහට එයාලා කිව්වේ ‘අපි හොරොන් දුම්බිව්වත් ඒක යෙහෝවා දකිනවා. දෙබිඩි ජීවිත ගත කරනවට යෙහෝවා කැමතිත් නෑ. ඒ හින්දා ඒක නවත්තන්න අපි තීරණය කළා’ කියලයි. ඒ යුවළ ජීවිතේ ඒ තරම් වෙනස්කම් කරලා කියලා සහෝදරයා දැනගෙන හිටියේ නැහැ. ඔවුන් ඒ වගේ හරි තීරණයක් ගත්තේ ඒ අයගේ හිතේ දෙවිට තියෙන ආදරේ දවසින් දවස වැඩි වුණ නිසයි.

මාළු දැල ගැන උපමාව

9. මාළු දැල ගැන යේසුස් කියපු උපමාවේ තේරුම මොකක්ද?

9 මතෙව් 13:47-50 කියවන්න. ඒ උපමාවේ තේරුම මොකක්ද? දේවරාජ්‍යය ගැන දේශනා කරන කාර්යය මුහුදට හෙළපු ලොකු දැලකට යේසුස් සමාන කළා. ඒ දැලට “සෑම වර්ගයකම මසුන්” හසු වෙනවා වගේ අපේ පණිවිඩය අහලා ඒ ගැන තව දැනගන්න මිලියන ගාණක් මිනිසුන් කැමතියි. (යෙසා. 60:5) අවුරුදු පතා අපේ සමුළුවලට, යේසුස්ගේ මරණය සිහි කිරීමට එන මිලියන ගාණක්දෙනාගෙන් ඒක ඔප්පු වෙනවා. ඒ අයගෙන් සමහරුන් හරියට “හොඳ මසුන්” වගේ. ඔවුන් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වෙනවා. අනිත් අය ඒ උපමාවේ කිව්ව “නුසුදුසු මසුන්” වගේ. යෙහෝවා දෙවි ඔවුන්ව පිළිගන්නේ නැහැ.

මතෙව් 13:47-50 කියෙව්වට පස්සේ අද කාලෙට අදාළ වෙන විදිහ ගැන හිතන්න

දේවරාජ්‍යයේ පණිවිඩයට උනන්දුවක් දක්වන සමහරු දෙවිට සේවය කරන්න තීරණය කරනවා (9-12 ඡේද බලන්න)

10. මාළු දැල ගැන උපමාව යේසුස් කිව්වේ ඇයි?

10 ඒ උපමාව කිව්වේ ඇයි? දැලට අහු වුණ මාළුන්ව වෙන් කරන එකෙන් නියෝජනය වෙන්නේ මහත් පීඩාව කාලෙදී සිද්ධ වෙන අවසන් විනිශ්චය නෙමෙයි. ඒ වෙනුවට ඒකෙන් අදහස් කරන්නේ මේ අවසාන දවස්වල සිද්ධ වෙන දෙයක්. යේසුස් කිව්වේ දේවරාජ්‍යය ගැන පණිවිඩය දැනගන්න උනන්දුවක් දක්වන හැමෝම දෙවිගේ සේවකයන් වෙන්නේ නැහැ කියලයි. අපේ රැස්වීම්වලට එන, අපිත් එක්ක බයිබලේ පාඩම් කරන හුඟක් අය ඔවුන්ගේ ජීවිත දෙවිට කැප කරන්න කැමති වෙන්නේ නැහැ. (1 රාජා. 18:21) තවත් අය රැස්වීම්වලට එන එකත් නවත්තලා දානවා. සමහර යෞවනයෝ පොඩි කාලේ ඉඳන් දෙමාපියන් එක්ක දෙවිට නමස්කාර කළත් ඔවුන්ගේ හිතේ දෙවි ගැන ආදරයක් ඇති වෙලා නැහැ. යේසුස් කිව්වේ අපි හැමෝම දෙවිට සේවය කරනවද නැද්ද කියන තීරණය පෞද්ගලිකව ගන්න ඕනෙ කියලයි. අපි හරි තීරණය ගත්තොත් යෙහෝවා දෙවි අපිව දකින්නේ සියලු ජාතින් අතරින් ගන්නා “වටිනා වස්තු” විදිහටයි.—හග්. 2:7.

11, 12. (අ) මාළු දැල ගැන කියපු උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ආ) ඒ උපමාවෙන් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

11 ඒ උපමාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? ඒ උපමාවේ අර්ථය හොඳින් තේරුම්ගද්දී අපි අවබෝධ කරගන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපිත් එක්ක බයිබලේ පාඩම් කරන කෙනෙක් එහෙම නැත්නම් අපේ දරුවෙක් දෙවිට සේවය කරන්න අකමැති වුණා කියලා අපි ඕනෑවට වඩා දුක් වෙන්න ඕනෙ නැහැ කියන දේ. කෙනෙක් බයිබලේ පාඩම් කරන්න කැමති වුණා කියලා, දෙවිට නමස්කාර කරන දෙමාපියන් යටතේ හැදී වැඩුණා කියලා ඉබේම ඒ කෙනාගේ හිතේ දෙවි ගැන ආදරයක් ඇති වෙන්නේ නැහැ. දෙවිගේ සේවකයෙක් වෙන්න නම් කෙනෙක් කැමැත්තෙන්ම දෙවිව එයාගේ පාලකයා විදිහට පිළිගන්න ඕනේ.

12 ඒකෙන් අදහස් කරන්නේ දෙවිට නමස්කාර කරන එක අත්හැරපු අයට ආයෙත් ඇවිත් දෙවිට සේවය කරන්න බැහැ කියලද? එහෙම නැත්නම් තවමත් දෙවිට ජීවිතේ කැප කරලා නැති අයට බලාපොරොත්තුවක් නැහැ කියලද? නැහැ. මහත් පීඩාව පටන්ගන්න කලින් දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඒ අයට තවමත් අවස්ථාව තියෙනවා. දෙවි ඒ අයට කියන්නේ “ඔබේ වැරදි නිවැරදි කරගෙන මා ළඟට එන්න. එවිට මමත් ඔබට ළං වන්නෙමි” කියලයි. (මලා. 3:7) ඒ දේ පැහැදිලි කරන්නයි යේසුස් අකීකරු පුත්‍රයා ගැන උපමාව කිව්වේ.—ලූක් 15:11-32 කියවන්න.

අකීකරු පුත්‍රයා ගැන උපමාව

13. අකීකරු පුත්‍රයාගේ උපමාවේ තේරුම මොකක්ද?

13 ඒ උපමාවේ තේරුම මොකක්ද? ඒ උපමාවේ ඉන්න දයාවන්ත, සමාව දෙන්න බලාගෙන හිටපු තාත්තාගෙන් නියෝජනය වුණේ අපේ ආදරණීය දෙවි පියාණන්ව. තමන්ට තිබුණ හැම දෙයක්ම නැති නාස්ති කරගත්ත පුතාගෙන් නියෝජනය වුණේ සැබෑ ක්‍රිස්තියානි සභාව අත්හැරලා ගිය අයව. ඔවුන් “දුර රටකට” සමාන යෙහෝවා දෙවිගෙන් හුඟක් ඈතින් තියෙන සාතන්ගේ දුෂ්ට සමාජයට එකතු වෙලා. (එෆී. 4:18; කොලො. 1:21) ඒත් කාලෙකට පස්සේ තමන් කළේ බරපතළ වරදක් කියලා තේරුම්ගත්ත සමහරුන්, ආයෙත් දෙවි ළඟට එන්න තීරණය කරලා තියෙනවා. එහෙම කරන්න එයාලාගේ පැත්තෙන් ලොකු වෙහෙසක් දරන්න ඕනේ. ඒත් ඒ අය නිහතමානී නම් තමන් කරපු වැරදි ගැන අවංකව පසුතැවෙනවා නම් දෙවි සමාව දීලා ඒ අයව පිළිගන්නේ ලොකු සෙනෙහසකින්.—යෙසා. 44:22; 1 පේතෘ. 2:25.

14. අකීකරු පුත්‍රයා ගැන උපමාව යේසුස් කිව්වේ ඇයි?

14 ඒ උපමාව කිව්වේ ඇයි? යේසුස් ඒ උපමාවෙන් පෙන්නුවේ දෙවිව අත්හැරලා ගිය අය ආයෙත් එන කල් දෙවි බලාගෙන ඉන්නවා කියලයි. ඒ උපමාවේ තාත්තා තමන්ගේ පුතා ආයෙත් එයි කියලා හැමදාම බලාගෙන හිටියා. බලාපොරොත්තුව අත්හැරියේ නැහැ. ‘තමන්ගේ පුතා එනවා ඈත තියා’ දැක්ක තාත්තා එයාව හම්බ වෙන්න දුවගෙන ගියා. එයාට ඕන වුණේ පුතාව පිළිගන්න ඔහු කොච්චර ආසාවෙන් ඉන්නවද කියලා පුතාට දැනෙන්න සලස්වන්නයි. දෙවිව අත්හැරලා ගිය හුඟදෙනෙක් ඉන්නවා. කල් දාන්නේ නැතුව ඉක්මනින්ම ආයෙත් දෙවි ළඟට එන්න ඒ අයගේ හිතේ මේ උපමාව නිසා කොච්චර ලොකු පෙලඹීමක් ඇති වෙන්න ඕනෙද! දෙවි එක්ක ඒ අයට තියෙන බැඳීම මේ වෙනකොට හුඟක් දුර්වල වෙලා ඇති. ඒ අයට ලොකු ලැජ්ජාවක් දැනෙන්නත් පුළුවන්. ආයෙත් එන්න අවශ්‍ය පියවර ගන්න එක හුඟක් අමාරු දෙයක් කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් අමාරුවෙන් හරි ඒ දේ කරන එක කොච්චර වටිනවද! ඔවුන් ආයෙත් එද්දී යෙහෝවා දෙවිත් යේසුත් දේවදූතයොත් හුඟක් සතුටු වෙනවා.—ලූක් 15:7.

15, 16. (අ) අකීකරු පුත්‍රයා ගැන යේසුස් කියපු උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? උදාහරණ දෙන්න. (ආ) ඒ උපමාවෙන් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

15 ඒ උපමාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? යෙහෝවා දෙවි වගේ අපිත් අනිත් අයට ආදරෙන් සලකන්න ඕනේ. සභාව අත්හැරලා ගිය කෙනෙක් ආයෙත් එද්දී “පමණට වඩා ධර්මිෂ්ඨ” වෙන්නේ නැතුව එයාව පිළිගන්න ඕනේ. එහෙම නොකළොත් දෙවි එක්ක අපිට තියෙන බැඳීම පලුදු වෙන්න පුළුවන්. (දේශ. 7:16) අපිට ඉගෙනගන්න පුළුවන් තවත් දෙයක් තමයි සභාව අත්හැරලා ගිය අය ගැන අපි බලාපොරොත්තු අත්හැරගන්න හොඳ නැහැ කියන එක. ඒ අය දිහා අපි බලන්න ඕනෙ හරියට “අතරමං වූ බැටළුවෙකු” දිහා බලන විදිහට. (ගීතා. 119:176) ඒ වගේ කෙනෙක්ව අපිට හම්බ වුණොත් ඒ අයට ආයෙත් දෙවි ළඟට එන්න උදව් කරන්න අපිට පුළුවන් දේ අපි කරනවද? ඒ අයට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් නිසා ඒ අය ගැන අපි ඉක්මනටම වැඩිමහල්ලන්ට කියනවද? යේසුස්ගේ උපමාවේ අර්ථය හරියට තේරුම්ගත්තොත් අපි අනිවාර්යයෙන්ම එහෙම කරනවා.

16 එහෙම ආයෙත් එන අය යෙහෝවා දෙවි ඔවුන් වෙනුවෙන් දක්වන ආදරේ, දයාව වගේම සභාවේ අයගේ සහයෝගයත් හුඟක් අගය කරනවා. සභා සාමාජිකත්වයෙන් ඉවත් කරලා අවුරුදු 25කට පස්සේ ආයෙත් ආපු කෙනෙක් මෙහෙම කියනවා. “සභාවට මාව ආයෙත් පිළිගත්තට පස්සේ මට දැනෙන සතුට දවසින් දවස වැඩි වෙනවා. ඒකට හේතුව යෙහෝවා දෙවිගෙන් මං ලොකු සහනයක් ලබන නිසයි. (ක්‍රියා 3:19) සභාවේ හැමෝම මට උදව් කළා. ඒ අයගේ ආදරේ මට පෙන්නුවා. මට ඉන්නේ කොච්චර වටින පවුලක්ද!” අවුරුදු 5ක් අක්‍රියාශීලීව ඉඳලා ආයෙත් සභාවට ආපු සහෝදරියක් මෙහෙම කියනවා. “යේසුස් ඒ උපමාවෙන් පෙන්නලා දීපු විදිහේ ප්‍රේමයක් මං ඇත්තටම අද්දැක්කා. ඒ ගැන කියන්න මට වචන නැහැ. දෙවිගේ සංවිධානයට අයිති කෙනෙක් වෙන්න ලැබීම මිල කරන්න බැරි තරම් වටින දෙයක්.”

17, 18. (අ) අපි බලපු උපමා තුනෙන් ඉගෙනගත්තේ මොනවද? (ආ) අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

17 ඒ උපමාවලින් අපි ඉගෙනගන්න දේවල් තුනක් තියෙනවා. (1) අපිට ඕන විදිහට, අපිට අවශ්‍ය කාලෙදී අපි එක්ක බයිබලේ පාඩම් කරන අයගේ ජීවිතවල වෙනස්කම් කරන්න අපිට බැහැ. ඒ දේ අපි දෙවිට භාර දෙන්න ඕනේ. (2) අපි එක්ක බයිබලේ පාඩම් කරන, රැස්වීම්වලට එන හැමෝම දෙවිට සේවය කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. (3) සමහරු දෙවිව අත්හැරලා ගියත් ඒ අය ආයෙත් එයි කියන බලාපොරොත්තුව අපි කවදාවත් අත්හරින්න හොඳ නැහැ. ඔවුන් ආයෙත් එද්දී යෙහෝවා දෙවි ඒ අයව ආදරෙන් පිළිගන්න විදිහට අපිත් පිළිගන්න ඕනේ.

18 අපි හැමෝම දිගටම දැනුම, අවබෝධය, ප්‍රඥාව ලබාගන්න උත්සාහ කරමු. යේසුස් කිව්ව උපමා කියවද්දී මෙහෙම අහගන්න. ‘මේ උපමාවේ අර්ථය මොකක්ද? ඒක බයිබලේ වාර්තා කරලා තියෙන්නේ ඇයි? මේ උපමාවෙන් උගන්වන පාඩම මට අදාළ කරගන්න පුළුවන් කොහොමද? මේ උපමාවෙන් යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් උගන්වන්නේ මොනවද?’ ඒ විදිහට අධ්‍යයනය කරනවා නම් අපි පෙන්නන්නේ යේසුස් කියපු දේවල අර්ථය වටහාගන්න අපි ආසාවෙන් ඉන්නවා කියන එකයි.