Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වී ආශීර්වාද ලබන්න

යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වී ආශීර්වාද ලබන්න

“යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.”—ගීතා. 106:1.

1. යෙහෝවා දෙවිට අපි ස්තුති කරන්නේ ඇයි?

“සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම” ලබා දෙන යෙහෝවා දෙවි, අපේ ස්තුතිය ලබන්න වටිනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? (යාකො. 1:17) ආදරණීය එඬේරෙක් වගේ යෙහෝවා දෙවි අපිට ඕන කරන හැම දේම දීලා අපිව බලාගන්නවා. (ගීතා. 23:1-3) ඒ විතරක්ද! ‘අපේ රැකවරණය, අපේ ශක්තිය’ ඔහුයි. විශේෂයෙන්ම දුක් කරදරවලදී අපි ඒක අද්දකිනවා. (ගීතා. 46:1) ඒ දේවල් ගැන හිතලා බලද්දී මේ විදිහට කියන්න අපිටත් මොන තරම් හේතු තියෙනවද! “යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය. ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.”—ගීතා. 106:1.

2015 වාර්ෂික පදය: “යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.”—ගීතාවලිය 106:1

2, 3. (අ) අපිට තියෙන ආශීර්වාද අගය නොකරන එක භයානක ඇයි? (ආ) අපි මේ ලිපියේ බලන්නේ මොනවා ගැනද?

2 කෘතගුණ පිරුණු කෙනෙක් වෙන එක ඒ තරම්ම වැදගත්ද? මේ අන්තිම දවස්වල ඉන්න හුඟක් අය ස්තුතිවන්ත වෙන්න කිසිම කැමැත්තක් නැහැ. (2 තිමෝ. 3:2) තමන්ට තියෙන දේවල් ගැන වැඩිදෙනෙක්ට කිසිම අගයක් නැහැ. අද වෙළඳ ලෝකය මිනිසුන්ව පොලඹවන්නෙත් තව තව දේවල් ලබාගන්න මිසක් තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න නෙමෙයි. ඒ ආකල්පය අපිටත් බලපාන්න පුළුවන්. පරෙස්සම් වුණේ නැත්නම් අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන් වගේ අපිත් යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම අගය නොකරන්න පුළුවන්. දෙවි අපිට දීලා තියෙන ආශීර්වාදවලට ස්තුතිවන්ත නොවී ඉන්නත් ඉඩ තියෙනවා.—ගීතා. 106:7, 11-13.

3 ඒ විතරක් නෙමෙයි අමාරු කාලයක් එද්දී, පීඩා පරීක්ෂාවලට මුහුණ දෙන්න වෙද්දී අපිට තියෙන ආශීර්වාද ගැන ලේසියෙන්ම අමතක වෙන්න පුළුවන්. (ගීතා. 116:3) එහෙමනම් දෙවි කරලා තියෙන දේවල් ගැන අපේ හිතේ තියෙන අගය දිගටම තියාගන්න පුළුවන් කොහොමද? ලොකු පීඩාවක් විඳින වෙලාවලදී වුණත් දිගටම ශක්තිමත්ව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

‘යෙහෝවා දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් කළා’

4. කෘතගුණ පිරුණු හදවතක් දිගටම තියාගන්න නම් අපි මොනවද කරන්න ඕනේ?

4 කෘතගුණ පිරුණු හදවතක් දිගටම තියාගන්න නම් යෙහෝවා දෙවිගෙන් ලැබිලා තියෙන ආශීර්වාද ගැන හොඳට හිතන්න. ඊටපස්සේ දෙවිගේ හිතේ අපි ගැන තියෙන ආදරේ ඒ ආශීර්වාදවලින් පැහැදිලි වෙන්නේ කොහොමද කියලා හිතන්න. ගීතිකාකරු එහෙම කළා. යෙහෝවා දෙවි ඔහු වෙනුවෙන් මොන තරම් පුදුමාකාර දේවල් කරලා තියෙනවද කියලා එතකොට ඔහු තේරුම්ගත්තා.—ගීතාවලිය 40:5; 107:43 කියවන්න.

5. අගය කිරීම සම්බන්ධයෙන් පාවුල්ගෙන් අපි ඉගෙනගන්නේ මොනවද?

5 පාවුල් නිතරම දෙවිගෙන් ලැබුණ ආශීර්වාද ගැන ගැඹුරින් හිතුවා. ඒ ගැන දෙවිට මුළු හිතින්ම ස්තුති කළා. තමන් මීට කලින් ‘දෙවිට අපහාස කළ, මිනිසුන්ට පීඩා කළ, කිසි කෙනෙකුටවත් ගරු නොකළ මිනිසෙක්’ කියලා ඔහු දැනගෙන හිටියා. ඒ තරම් වැරදි වැඩ කරපු තමන්ට යෙහෝවා දෙවි සහ යේසුස් දක්වපු කරුණාව ගැන, තමන්ව විශ්වාස කරලා දේවසේවය භාර දුන්න එක ගැන ඔහුගේ හිතේ ලොකු අගයක් තිබුණා. (1 තිමෝති 1:12-14 කියවන්න.) පාවුල් සෙසු සහෝදර සහෝදරියන්වත් අගය කළා. ඔවුන්ගේ කදිම ගුණාංග ගැන, ඔවුන් විශ්වාසවන්තව කරන සේවය ගැන ඔහු නිතරම දෙවිට ස්තුති කළා. (ෆිලි. 1:3-5, 7; 1 තෙස. 1:2, 3) දුක් පීඩාවලදී සහෝදරයන්ගෙන් සහයෝගය ලැබෙද්දී ඔහු මුලින්ම කළේ ඒ ගැන යෙහෝවා දෙවිට ස්තුති කරපු එකයි. (ක්‍රියා 28:15; 2 කොරි. 7:5-7) එහෙමනම් පාවුල් ක්‍රිස්තියානීන්ව මේ විදිහට දිරිගන්වපු එක ගැන අපි පුදුම වෙන්න ඕනෙද? “ඔබ තුළ ස්තුතිවන්තකමද දක්නට ලැබිය යුතුයි. . . . ගීතිකාවලින්ද දෙවිට ස්තුති ප්‍රශංසා ඔප්පු කිරීමෙන්ද ඔහුට මියුරු ගීත ගයමින්ද එකිනෙකාට උගන්වා මඟ පෙන්වීම් ලබා දෙන්න.”—කොලො. 3:15-17.

කෘතගුණ පිරුණු හදවතක් ඇතුව ඉන්න නම්

6. ඔයා යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙන්නේ ඔයාට ලැබිලා තියෙන මොන දේවල් ගැනද?

6 පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? යෙහෝවා දෙවි පුද්ගලිකව අපි එක් එක් කෙනා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන අපිත් හොඳට හිතමු. (ගීතා. 116:12) ‘ඔයාගේ හිතේ ලොකු අගයක් තියෙන්නේ යෙහෝවා දෙවිගෙන් ඔයාට ලැබිලා තියෙන මොන ආශීර්වාද ගැනද’ කියලා ඇහුවොත් ඔයා මොනවද කියන්නේ? දෙවි එක්ක තියෙන බැඳීම ගැන ඔයා කියයිද? යේසුස්ගේ ජීවිත පූජාව නිසා පව්වලට ලැබුණ සමාව ගැන කියයිද? අමාරු කාලවලදී ඔයාට ශක්තියක් වුණ සහෝදර සහෝදරියන් ගැන කියයිද? ඔයාගේ ආදරණීය සැමියා, බිරිඳ, දරුවෝ ගැන ඔයා කියයිද? ඔයාගේ ආදරණීය දෙවි පියාණන් දීලා තියෙන ඒ ආශීර්වාද ගැන හිතන්න කාලය ගන්න එක වැදගත් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? එහෙම කරනවා නම් යෙහෝවා දෙවිට හැමදාම ස්තුති කරන්න ඔයා පෙලඹෙයි.—ගීතාවලිය 92:1, 2 කියවන්න.

7. (අ) අපි යාච්ඤාවෙන් දෙවිට ස්තුති කරන්න ඕනෙ ඇයි? (ආ) යාච්ඤාවෙන් දෙවිට ස්තුති කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවද?

7 දෙවි කරලා තියෙන දේවල් ගැන අගයක් අපේ හිතේ නොමැකෙන විදිහට සටහන් වෙලා තියෙනවා නම් අපේ යාච්ඤාවලදී ඔහුට ස්තුති කරන්න අපිට අමතක වෙන්නේ නැහැ. (ගීතා. 95:2; 100:4, 5) හුඟක් අය යාච්ඤා කරනවා කියද්දී හිතන්නේ දෙවිගෙන් යම් දේවල් ඉල්ලන එක ගැනයි. ඒත් අපිට දැනටමත් තියෙන දේවලට ස්තුති කරනවා අහන්න යෙහෝවා දෙවි කැමතියි. හද පිරි අගයකින් කරපු හුඟක් යාච්ඤා බයිබලේ තියෙනවා. හන්නාගෙත් හෙසකියාගෙත් යාච්ඤා ඒ අතරින් 2ක්. (1 සාමු. 2:1-10; යෙසා. 38:9-20) හිතේ අගය වචනවලින් දෙවිට කියපු ඒ විශ්වාසවන්ත අයව ආදර්ශයට ගන්න. ඔයා දැනටමත් ලබන ආශීර්වාද ගැන යෙහෝවා දෙවිට ස්තුති කරන්න. (1 තෙස. 5:17, 18) එහෙම කරද්දී ඔයාට ලොකු ශක්තියක් දැනෙයි. දෙවි ගැන හිතේ තියෙන ආදරේ තව වැඩි වෙයි. ඔහුට තව තව කිට්ටු වෙන්නත් ඔයාට පුළුවන් වෙයි.—යාකො. 4:8.

යෙහෝවා දෙවිගෙන් ලැබිලා තියෙන මොන ආශීර්වාදවලටද ඔයා ස්තුතිවන්ත වෙන්නේ? (6 සහ 7 ඡේද බලන්න)

8. යෙහෝවා දෙවි ගැන හිතේ තියෙන අගය නැති වෙන්න පුළුවන් මොන දේ නිසාද?

8 ස්තුතිවන්ත නොවී ඉන්න තියෙන නැඹුරුවාව අපිට උරුම වෙලා තියෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි දීලා තියෙන යහපත් දේවල් ගැන හිතේ තියෙන අගය නැති වෙන්න පුළුවන්. ඒ ගැන අපි නිතරම අවධානයෙන් ඉන්න ඕනේ. ආදම් සහ ඒව ගැන හිතන්න. ඒ දෙන්නට ඒදන් උයනේ ඕන කරන හැම දෙයක්ම තිබුණා. සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාවත් තිබුණා. (උත්. 1:28) ඒත් ලැබිලා තිබුණ ඒ ආශීර්වාද ඔවුන් අගය කළේ නැහැ. ඒ වෙනුවට කෑදර විදිහට තවත් දේවල් බලාපොරොත්තු වුණා. ප්‍රතිඵලය? ඔවුන්ට හැම දේම නැති වුණා. (උත්. 3:6, 7, 17-19) අද අපි ඉන්නේ තමන්ට තියෙන දේවල් ගැන ස්තුතිවන්ත නොවන මිනිසුන්ගෙන් වට වුණ සමාජයක. තියෙන දේ අගය නොකරන ආකල්පය අපිටත් බෝ වෙන්න පුළුවන්. එහෙම වුණොත් යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන වටිනා බැඳීම ගැන සැහැල්ලුවට හිතන්න අපි පෙලඹෙයි. ලෝකෙ පුරාම ඉන්න සහෝදර කැලට අයිති කෙනෙක් වෙන්න ලැබිලා තියෙන වරප්‍රසාදය ගැන තියෙන අගය අඩු වෙයි. නැති වෙන්න තියෙන මේ ලෝකෙ දේවලට විතරක් සම්පූර්ණයෙන්ම අපේ අවධානය යොමු වෙයි. (1 යොහ. 2:15-17) ඒත් අපිට එහෙම නොවෙන්න නම් දැනටමත් ලැබිලා තියෙන ආශීර්වාද ගැන හොඳට හිතන්න ඕනේ. තමන්ගේ සෙනඟ අතරට අපිව තෝරගත්ත එක ගැන නිතරම යෙහෝවා දෙවිට ස්තුති කරන්න ඕනේ.—ගීතාවලිය 27:4 කියවන්න.

පීඩා හමුවේ

9. වේදනාකාරී දේවලට මුහුණ දෙන්න වෙද්දී දැනටමත් තියෙන ආශීර්වාද ගැන හිතන්න ඕනෙ ඇයි?

9 කෘතගුණ පිරුණු හදවතක් කෙනෙක්ට තියෙනවා නම් වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දෙන්න වෙද්දී ඒවායින් යටපත් නොවී ඉන්න ඒක උදව් වෙනවා. සැමියාගේ, බිරිඳගේ ද්‍රෝහි වීමක්, මාරාන්තික අසනීපයක්, ආදරේ කරන කෙනෙක්ගේ මරණයක්, ස්වාභාවික විපතකින් වෙන දරුණු හානියක් වගේ එකපාරටම ජීවිතේ කණපිට හරවන දෙයක් සිද්ධ වුණොත් දරාගන්න අමාරුයි. ඒ වගේ වෙලාවලදී අපිට දැනටමත් තියෙන ආශීර්වාද ගැන හිතන එක සහනයක්, ශක්තියක්. මේ අද්දැකීම්වලින් ඒක ඔප්පු වෙනවා.

10. තමන්ට දැනටමත් තියෙන ආශීර්වාද ගැන හිතන එක ඉරිනාට උදව් වුණේ කොහොමද?

10 ඇමරිකාවේ ජීවත් වෙන ඉරිනා * පුරෝගාමි සහෝදරියක්. එයා විවාහ වෙලා හිටියේ වැඩිමහල්ලෙක් එක්ක. ඒත් ඔහු ඇයට ද්‍රෝහි වෙලා දරුවෝ තුන්දෙනාවත් දාලා වෙන කෙනෙක් එක්ක ගියා. දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න ඉරිනාට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි මං ගැන දක්වන සැලකිල්ල මං හුඟක් අගය කරනවා. හැම දවසකම දෙවිගෙන් මට ලැබිලා තියෙන ආශීර්වාද ගැන මම හිතනවා. එහෙම හිතද්දී අපේ දෙවි පියාණන් මාව අඳුනන එක, එයාගේ ආදරය, රැකවරණය මට තියෙන එක මොන තරම් වරප්‍රසාදයක්ද කියලා මට දැනෙනවා. ඔහු නම් මාව කවදාවත් අත්හරින්නේ නැහැ.” ඉරිනාට එයාගේ ජීවිතේ හුඟක් දුක් වේදනාවලට මුහුණ දෙන්න වුණත් එයා එයාගේ හිතේ සතුට නැති කරගත්තේ නැහැ. එයා අනිත් අයටත් ලොකු දිරිගැන්වීමක්.

11. මාරාන්තික අසනීපයක් තිබුණත් දිගටම සතුට තියාගන්න කයෝං සූක්ට උදව් වුණේ මොකක්ද?

11 ආසියානු රටක ඉන්න කයෝං සූක් එයාගේ සැමියාත් එක්ක අවුරුදු 20කට වඩා පුරෝගාමි සේවය කරපු කෙනෙක්. තමන්ට පෙණහලු පිළිකාවක් තියෙනවා කියලත් ජීවත් වෙන්නේ තව මාස 3ත් 6ත් අතර කාලයක් කියලත් හදිසියේ එයාට දැනගන්න ලැබුණා. මීට කලින් ලොකු, පොඩි පීඩා රාශියකට මුහුණ දීලා තිබුණත් මේ වගේ දරුණු ලෙඩක් හැදෙයි කියලා නම් ඔවුන් හිතලා තිබුණේ නැහැ. එයා මෙහෙම කියනවා. “මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ මට දැනුණා. මං හිටියේ ලොකු බයකින්.” ඒකට මුහුණ දෙන්න කයෝං සූක්ට උදව් වුණේ මොකක්ද? “හැමදාම රෑ නිදාගන්න කලින් මං සඳලුතලයට ගිහින් යෙහෝවාට කතා කරනවා. එදා දවසේ දෙවිට ස්තුති කරන්න පුළුවන් දේවල් 5ක් ගැන ඒ යාච්ඤාවෙදී මං කියනවා. එහෙම කරද්දී මට පුදුම සහනයක් දැනෙනවා. මගේ හිතේ යෙහෝවාට තියෙන ආදරේ ගැන කියන්නත් එතකොට මං පෙලඹෙනවා.” ඒ යාච්ඤාවලින් ඇයට ප්‍රයෝජන ලැබුණේ කොහොමද? ඇය මෙහෙම කියනවා “අමාරු කාලෙදී යෙහෝවා දෙවි ඕන කරන ශක්තිය දෙනවා කියලා මට තේරුණා. අපිට එන පීඩා එක්ක බලද්දී ලැබිලා තියෙන ආශීර්වාද ඊට වඩා වැඩියි කියලා මං තේරුම්ගත්තා.”

විපතින් බේරුණ මල්ලි එක්ක (13 ඡේදය බලන්න)

12. බිරිඳගේ මරණය නිසා ඇති වුණ දුක දරාගන්න ජේසන්ට උදව් වුණේ මොකක්ද?

12 ජේසන් සේවය කරන්නේ අප්‍රිකාවේ තියෙන ශාඛා කාර්යාලයේ. අවුරුදු 30කටත් වැඩි කාලයක් පූර්ණකාලීන සේවයේ යෙදෙන ඔහු මෙහෙම කියනවා. “අවුරුදු 7කට කලින් මගේ බිරිඳ මිය ගියා. ඒ දුක තාමත් මගේ හිතේ තියෙනවා. පිළිකාව එක්ක සටන් කරද්දී එයා කොච්චර දුක් වින්දද කියලා මතක් වෙන වාරයක් ගානේ මගේ හිතට දැනුණේ ලොකු දුකක්.” ඒ තත්වයට මුහුණ දෙන්න ජේසන්ට උදව් වුණේ මොකක්ද? “මමයි මගේ බිරිඳයි හුඟක් සතුටෙන් හිටපු අවස්ථාවක් ගැන දවසක් මට මතක් වුණා. ඒ සොඳුරු මතකය ගැන කියලා මම දෙවිට ස්තුති කළාට පස්සේ මට දැනුණේ පුදුම සහනයක්. එදායින් පස්සේ මම අපේ සොඳුරු මතකයන් ගැන යෙහෝවාට නිතරම ස්තුති කරන්න පටන්ගත්තා. ඊටපස්සේ මං දේවල් දිහා වෙනස්ම විදිහකට බලනවා කියලා මට තේරුණා. මගේ බිරිඳ නැති පාළුව මට තාමත් දැනෙනවා. ඒත් මට දුන්න ඒ ලස්සන පවුල් ජීවිතය ගැන, දෙවිට හදවතින්ම ආදරේ කරපු ඇය එක්ක සේවය කරන්න මට අවස්ථාව දුන්න එක ගැන මං දෙවිට ස්තුති කළා. හිතේ දුක නැති කරගන්න මට උදව් වුණේ ඒකයි.”

“යෙහෝවා දෙවි මගේ ජීවිතේ ඉන්න එක ගැන ස්තුති කරන්න මට වචන නැහැ.”—ෂෙරල්

13. පවුලම අහිමි වුණ දුක දරාගන්න ෂෙරල්ට උදව් වුණේ මොකක්ද?

13 2013 වසරේ අගභාගයේ පිලිපීනයට කඩා වැදුණු දරුණු සුළි කුණාටුව නිසා අවුරුදු 13ක් වයස ෂෙරල්ට හැම දේම වගේ නැති වුණා. “මගේ ගෙදරත් මගේ මුළු පවුලම වගේ එදා මට නැති වුණා” කියලා ෂෙරල් කියනවා. අම්මා, තාත්තා විතරක් නෙමෙයි එක සහෝදරයෙකුත් සහෝදරියන් දෙන්නෙකුත් ඒ දරුණු සුළි කුණාටුව ෂෙරල්ගෙන් උදුරගත්තා. කලකිරෙන්නේ නැතුව ඒ තත්වයට මුහුණ දෙන්න ෂෙරල්ට උදව් වුණේ මොකක්ද? ඒ වෙනකොටත් එයාට තිබුණ ආශීර්වාද ගැන එයා කල්පනා කළා. ඒ නිසා යෙහෝවා දෙවි ගැන එයාගේ හිතේ තිබුණ අගය දිගටම තියාගන්න පුළුවන් වුණා. “අවශ්‍ය සහනාධාර, දිරිගැන්වීම් දෙන්න අපේ සහෝදරයෝ මහන්සි වුණ හැටි මං දැක්කා. ලෝකෙ පුරාම ඉන්න මගේ සහෝදරයෝ මං ගැන දෙවිට යාච්ඤා කරනවා කියලත් මං දැනං හිටියා. යෙහෝවා දෙවි මගේ ජීවිතේ ඉන්න එක ගැන ස්තුති කරන්න මට වචන නැහැ. ඔහු හැම වෙලාවෙම අපිට ඕන දේ දෙනවා” කියලා ෂෙරල් කියනවා. මොකක්ද පාඩම? දුකෙන් යටපත් නොවී ඉන්න පුළුවන් හොඳම විදිහ දෙවි දීලා තියෙන ආශීර්වාද ගැන හිතලා ඒවාට ස්තුති කරන එකයි. මොන ප්‍රශ්න ගැටලු ආවත් ඒවාට හොඳින් මුහුණ දීලා ඉදිරියට යන්න ඒක අපිට උදව්වක්.—එෆී. 5:20; ෆිලිප්පි 4:6, 7 කියවන්න.

“යෙහෝවා දෙවි නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි”

14. අපි ඉදිරියේ තියෙන්නේ මොන වගේ අනාගතයක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

14 යෙහෝවා දෙවිගේ සෙනඟ අතීතය පුරාම තමන්ට ලැබුණ ආශීර්වාද ගැන සතුටු වුණා. උදාහරණෙකට රතු මුහුද ළඟදී පාරාවෝගේ හමුදාවෙන් තමන්ව ගලවාගත්ත එක ගැන ඊශ්‍රායෙල්වරු අගය පළ කළේ දෙවිට ස්තුති ප්‍රශංසා ගී ගයලයි. (නික්. 15:1-21) දුකට, වේදනාවට හේතු වෙන හැම දේකින්ම දෙවි අපිව ගලවාගන්නවා කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. ඒක අපිට තියෙන වටිනාම ආශීර්වාදවලින් එකක්. (ගීතා. 37:9-11; යෙසා. 25:8; 33:24) යෙහෝවා දෙවි ඔහුගේ සියලුම සතුරන්ව විනාශ කළාට පස්සේ පාරාදීසයේ ජීවත් වෙන්න ලැබෙන අවස්ථාව ගැන හිතන්න. එදාට අපි මොන තරම් සතුටු වෙයිද! මොන තරම් දෙවිට ස්තුති කරයිද!—එළි. 20:1-3; 21:3, 4.

15. 2015 වසර පුරාම කරන්න ඔයා අදිටන් කරගෙන ඉන්නේ මොකක්ද?

15 2015 වසරේදී යෙහෝවා දෙවිගෙන් අපිට ලැබෙන ආශීර්වාද දිහා අපි බලාගෙන ඉමු. අපිට දුක් පීඩා විඳින්න සිද්ධ වෙයි කියලත් අපි දන්නවා. ඒත් ඒ මොන පීඩාවක් ආවත් යෙහෝවා දෙවි අපිව අත්හරින්නේ නැහැ. (ද්වි. 31:8; ගීතා. 9:9, 10) ඔහුට විශ්වාසවන්තව සේවය කරන්න අවශ්‍ය හැම දේම ඔහු අපිට දෙනවා. ඒ නිසා අපිත් එදා හබක්කුක්ට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න අධිෂ්ඨාන කරගමු. ඔහු කිව්වේ මෙහෙමයි. “අත්තික්කා ගසේ මල් හට නොගත්තත් මිදිවැල හා ඔලීව ගස පල නොදැරුවත් කෙත්වල අස්වැන්න නාස්ති වී ගියත් බැටළු රැළේ හා ගව රැළේ සතුන් විනාශ වී ගියත් යෙහෝවා දෙවි නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි. මට ගැලවීම ලබා දෙන දෙවි කෙරෙහි ප්‍රීති වන්නෙමි.” (හබ. 3:17, 18) මේ අවුරුද්ද පුරාම යෙහෝවා දෙවිගෙන් අපිට ලැබිලා තියෙන ආශීර්වාද ගැන සතුටු වෙමු. ඒ වගේම 2015 වාර්ෂික පදය වන “යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය” කියන වචනවලට අනුව අපිත් දෙවිට නිතරම ස්තුති කරන්න අදිටන් කරගමු.—ගීතා. 106:1.

^ 10 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.