Skip to content

පටුනට යන්න

සකුරා මල් පිපෙන රටට නොසිතූ තෑග්ගක්

සකුරා මල් පිපෙන රටට නොසිතූ තෑග්ගක්

2013 අප්‍රියෙල් 28වෙනිදා ජපානයේ නගොයා නගරේ විශේෂ රැස්වීමක් පැවැත්තුවා. රැස්වීම අතරතුරේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඇන්තනි මොරිස් සියලුදෙනාවම පුදුමයට පත් කරමින් අලුත් පොතක් මුදාහැරියා. ඒ, ජපන් භාෂාවෙන් මුද්‍රණය කරපු ‘ශුද්ධ බයිබලය - මතෙව්ගේ සුවිශේෂය’ කියන පොතයි. ඒ ස්ථානයෙත් අන්තර්ජාලය හරහා කෙරුණු සජීවි විකාශනය ඔස්සෙත් 2,10,000ක පිරිසක් ඒ රැස්වීමට සහභාගි වුණා. තමන්ට ලැබුණු තෑග්ග ගැන ඔවුන් සතුට පළ කළේ විනාඩි කීපයක් පුරා අත්පොළසන් ගසමින්.

මේ අලුත් පොත ‘නව ලොව පරිවර්තනයේ’ මතෙව්ගේ වාර්තාවේ නැවත මුද්‍රණයක්. පිටු 128කින් සමන්විත මේ පොත සකස් කරලා තියෙන්නේ ජපන් ජාතිකයන්ට දේශනා කරන්න උදව්වක් විදිහටයි කියලා සහෝදර මොරිස් කිව්වා. මේ පොතේ තියෙන විශේෂත්වය මොකක්ද? මේක ජපානය සඳහාම සකස් කරපු පොතක් කියලා කියන්නේ ඇයි? පොතට ලැබිලා තියෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

අලුත් පොතේ විශේෂ දේවල් මොනවද?

සාමාන්‍යයෙන් ජපන් අකුරු ලියන විදි දෙකක් තියෙනවා. එකක් අකුරු උඩ ඉඳන් පහළට ලියන ක්‍රමය. අනිත් ක්‍රමය හරස් අතට ලියන එක. මෑත කාලවලදී පළ වුණු අපේ ප්‍රකාශන ඇතුළු හුඟක් පොත් පත්වල අකුරු තියෙන්නේ හරස් අතට. ඒත් ජපානයේ ජනප්‍රිය පුවත්පත්වල, කවි පොත්වල, නවකතාවල අකුරු මුද්‍රණය කරලා තියෙන්නේ උඩ ඉඳන් පහළට ලියන ක්‍රමයටයි. ජපන් භාෂාව කතා කරන හුඟක් අය කියන්නේ ලේසියෙන්ම කියවන්න පුළුවන් ක්‍රමය ඒක කියලයි. මේ අලුත් පොතෙත් අකුරු සකස් කරලා තිබුණේ ඒ ක්‍රමයටයි. ඒ වගේම ඒකේ තවත් විශේෂත්වයක් තියෙනවා. ‘නව ලොව පරිවර්තයේ’ හැම පිටුවකම ඉහළින් ඒ පිටුවේ තොරතුරු ගැන තියෙන සාරාංශය මේ පොතේ දාලා තියෙන්නේ උපමාතෘකා විදිහට. ඒ නිසා කියවන කෙනාට ප්‍රධාන කරුණු හොයාගන්න ලේසියි.

“මං මතෙව් පොත මීට කලින් කීප සැරයක් කියවලා තියෙනවා. ඒත් මේ පොතේ අකුරු තියෙන විදිහ නිසාත් උපමාතෘකා නිසාත් දැන් මට කන්ද උඩ දේශනය තව හොඳට තේරුම්ගන්න පුළුවන්” කියලා අවුරුදු 80ක සහෝදරියක් කියනවා. තරුණ සහෝදරියක් කියන්නේ මෙහෙමයි. “මං අලුත් පොත එක හුස්මට කියෙව්වා. අකුරු හරහට ලියලා තියෙද්දී කියවන එක තමයි මට හුරු. ඒත් හුඟක් ජපන් ජාතිකයන් කැමති උඩ ඉඳන් පහළට ලියන ක්‍රමයටයි.”

ජපානය සඳහාම සකස් කළ පොතක්

ජපානය වෙනුවෙන්ම මේ වගේ පොතක් සකස් කළේ ඇයි? හුඟක් ජපන් ජාතිකයන් බයිබලය ගැන දන්නේ නැති වුණත් ඔවුන් ඒක කියවන්න කැමැත්තෙන් ඉන්නවා. අලුතෙන් සකස් කළ මතෙව් පොත නිසා බයිබලය කවදාවත් දැකලා නැති කෙනෙක්ට වුණත් බයිබලේ කොටසක් හරි තමන් ළඟ තියාගෙන කියවන්න දැන් පුළුවන්.

මේ විදිහට මුද්‍රණය කරන්න මතෙව්ගේ වාර්තාවම තෝරගත්තේ ඇයි? ජපන් ජාතිකයන්ට බයිබලය කියපු ගමන්ම මතක් වෙන්නේ යේසුස්වයි. මතෙව් පොතේ යේසුස්ගේ පෙළපත, උපත, කන්ද උඩ දේශනාව, අන්තිම දවස් ගැන ඔහු කියපු අනාවැකි ඇතුළත් වෙලා තියෙනවා. ඒ දේවල් ගැන ජපන් ජාතිකයන් තුළ උනන්දුවක් තියෙන නිසයි මතෙව් පොතම මේ සඳහා තෝරගත්තේ.

සාක්ෂිකරුවන් හරිම උනන්දුවෙන් මේ අලුත් පොත ගෙයින් ගෙට සේවයේදීත් නැවත බැලීම්වලදීත් බෙදා දෙනවා. “මිනිසුන්ට දෙවිගේ වචනයෙන් කොටසක් හරි දෙන්න මට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂ රැස්වීම තිබුණු දවසේ හවසම මට ඒ පොතෙන් පිටපතක් දෙන්න පුළුවන් වුණා” කියලා සහෝදරියක් කිව්වා.

ලැබෙන ප්‍රතිචාර

ප්‍රචාරකයන් ‘මතෙව්’ පොත මිනිස්සුන්ට හඳුන්නලා දෙන්නේ කොහොමද? හුඟක් ජපන් ජාතිකයන්ට ‘පටු දොරටුව,’ ‘ඌරන් ඉදිරියේ මුතු දැමීම,’ ‘හෙට දවස ගැන කනස්සලු නොවීම’ වගේ යෙදුම් හොඳට හුරු පුරුදුයි. (මතෙ. 6:34; 7:6, 13) ඒවා කිව්වේ යේසුස් කියලා දැනගත්තම ඔවුන් පුදුම වෙනවා. ඒ යෙදුම් මතෙව් පොතේ තියෙනවා කියලා දැක්කම හුඟක් අය මෙහෙම කියනවා. “අඩුම තරමේ එක වතාවක් හරි බයිබලය කියවන්න මම ආසාවෙන් හිටියේ.”

‘මතෙව්’ පොත ගත්ත අයව ආයෙත් හම්බ වෙන්න යද්දී හුඟක් අය ඒක කියවන්න පටන් අරන්. තවත් අය ඒ වෙනකොටත් කියවලා ඉවරයි. අවුරුදු 60ක කෙනෙක් ප්‍රචාරකයෙක්ට මෙහෙම කිව්වා. “මම ඒක හුඟක් සැරයක් කියෙව්වා. ඒකෙන් මට ලොකු සහනයක් දැනුණා. අනේ, ඔයාලට පුළුවන්ද මට බයිබලය ගැන තව දේවල් කියලා දෙන්න.”

මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරද්දීත් ‘මතෙව්’ පොතෙන් හුඟක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ වගේ තැනකට ඇවිත් ‘මතෙව්’ පොත ගත්ත කාන්තාවකට අපේ සහෝදරියක් එයාගේ ඊ-මේල් ලිපිනය දුන්නා. පැයකට විතර පස්සේ ඒ කාන්තාව සහෝදරියට ඊ-මේල් එකක් එවලා කියලා තිබුණා එයා පොතෙන් කොටසක් කියෙව්වා කියලා. එයාට බයිබලේ ගැන තවත් දැනගන්න කැමතියි කියලත් තිබුණා. සතියකට පස්සේ එයා බයිබල් පාඩමක් පටන්ගත්තා. ටික දවසකින් එයා රැස්වීම්වලටත් ගියා.

‘ශුද්ධ බයිබලය - මතෙව්ගේ සුවිශේෂය’ කියන පොතේ පිටපත් 16,00,000කට වඩා හැම මාසෙකම දැන් ජපානයේ සභාවලට යවනවා. ජපානයේ ඉන්න අපේ සහෝදර සහෝදරියනුත් ඒ පොතේ පිටපත් දසදහස් ගාණක් බෙදා දෙමින් ඉන්නවා. මේ තෑග්ග ජපානයේ අයට දුන්නේ ඇයි කියලා පොතේ ප්‍රකාශකයන් පෙරවදනේ සඳහන් කරන්නේ මෙහෙමයි. “මේ පොත කියවලා බයිබලේ ගැන තවත් දැනගන්න ඔයා තුළ ලොකු ආශාවක් ඇති වෙයි යන්න අපේ පැතුමයි!”