Skip to content

පටුනට යන්න

සියලු ජාතීන්ට පණිවිඩය පැතිරෙන්න දොරගුලු ඇරෙයි

සියලු ජාතීන්ට පණිවිඩය පැතිරෙන්න දොරගුලු ඇරෙයි

“ආණ්ඩුකාරයා, යෙහෝවා දෙවි ගැන ඉගෙනගත් දේවලින් පුදුමයට පත් වී යේසුස්ගේ අනුගාමිකයෙක් විය.”—ක්‍රියා 13:12.

1-3. “සියලු ජාතීන්ට” ශුභාරංචිය දේශනා කරන එක යේසුස්ගේ ගෝලයන්ට අභියෝගයක් වුණේ ඇයි?

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට විශාල කාර්යයක් භාර දුන්නා. ඔහු ඔවුන්ට කිව්වේ “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලයි. ඔවුන්ට සිද්ධ වුණා ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරන්න.’—මතෙ. 24:14; 28:19.

2 යේසුස්ගේ අනුගාමිකයන් යේසුස්ට ආදරේ කළා වගේම ශුභාරංචිය දේශනා කරන්නත් ලොකු කැමැත්තකින් හිටියා. ඒත් ‘යේසුස් කරන්න කියපු දේ අපිට කරන්න පුළුවන් වෙයිද’ කියලා ඔවුන් හිතන්න ඇති. මොකද ඔවුන් එක්ක හිටියේ ටිකදෙනයි. යේසුස් දෙවිගේ පුත්‍රයා කියලා ඔවුන් දේශනා කළත් ඒ වෙනකොට ඔහුව මරලා දාලා තිබුණා. ඒ වගේම යුදෙව් ආගමික නායකයන් ආගම ගැන උසස් අධ්‍යාපනයක් ලබපු අය වුණත් ගෝලයන් එහෙම අය නෙමෙයි. හුඟක් අය ඔවුන්ව සැලකුවේ “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” විදිහටයි. (ක්‍රියා 4:13) ඔවුන් දේශනා කරපු පණිවිඩයත් යුදෙව් ආගමික නායකයන් අවුරුදු සිය ගාණක් පුරා උගන්වපු යුදෙව් සම්ප්‍රදායන්ට වඩා හුඟක් වෙනස්. ඔවුන්ගෙම ජාතියේ අය ඔවුන්ව පිළිගත්තේ නැත්නම් බලවත් රෝම අධිරාජ්‍යයේ හිටපු අය ඔවුන්ගේ පණිවිඩයට සවන් දෙයිද කියලා යේසුස්ගේ අනුගාමිකයන් හිතන්න ඇති.

3 ඒ විතරක් නෙමෙයි මිනිසුන් ඔවුන්ට වෛර කරලා, පීඩා කරලා සමහරුන්ව මරලා දානවා කියලා යේසුස් ඔවුන්ට කලින්ම අනතුරු අඟවලා තිබුණා. (ලූක් 21:16, 17) ඔවුන්ගේ යාළුවන්, පවුලේ අය ඔවුන්ව පාවා දෙනවා කියලත් කිව්වා. ඔය අතරේ යේසුස්ගේ අනුගාමිකයන් කියලා කියාගත්තත් බොරු උගන්වන අයගේ බලපෑම්වලට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා. ඔවුන්ට දේශනා කරන්න වෙන්නෙත් අපරාධ, කුරිරුකම් පිරුණු පළාත්වල. (මතෙ. 24:10-12) ඒ තරම් අමාරුකම් මැද “පොළොවේ දුර ඈත කෙළවරවල්” දක්වා දේශනා කරන්න ඔවුන්ට පුළුවන් වුණේ කොහොමද?—ක්‍රියා 1:8.

4. ගෝලයන්ට දුන්න පැවරුම ඔවුන් සාර්ථකව කළා කියන්නේ ඇයි?

4 තමන්ට කරන්න තියෙන කාර්යය ලේසි වැඩක් නෙමෙයි කියලා දැනගෙන හිටියත් ගෝලයන් යේසුස් කිව්ව දේට කීකරු වුණා. ඒ දේ ඔවුන් කොයි තරම් හොඳට කළාද කියනවා නම් අවුරුදු 30කට විතර පස්සේ ‘අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර දේශනා කළා’ කියලා කියන්න පාවුල්ට පුළුවන් වුණේ ඒ නිසයි. ප්‍රතිඵලක් විදිහට ලෝකෙ පුරා හිටපු විවිධ ජාතීන්ට අයත් අය ක්‍රිස්තියානීන් වුණා. (කොලො. 1:6, 23) සයිප්‍රසයේ හිටපු රෝම ආණ්ඩුකාරයත් ඔවුන්ගෙන් කෙනෙක්. ඔහු “යෙහෝවා දෙවි ගැන ඉගෙනගත් දේවලින් පුදුමයට පත් වී” යේසුස්ගේ අනුගාමිකයෙක් වුණා.—ක්‍රියා 13:6-12 කියවන්න.

5. (අ) යේසුස් තම අනුගාමිකයන්ට දුන්න පොරොන්දුව මොකක්ද? (ආ) පළවෙනි සියවස ගැන ඉතිහාස පොතක සඳහන් වුණේ මොනවද?

5 ලෝකෙ පුරාම දේශනා කරන්න තමන්ගේ හැකියාවෙන් බැහැ කියලා ගෝලයෝ දැනගෙන හිටියා. ඒ වුණත් ඔවුන් එක්ක ඉන්නවා කියලත් දෙවිගේ බලය දෙනවා කියලත් යේසුස් දුන්න පොරොන්දුව ඔවුන්ට අමතක වුණේ නැහැ. (මතෙ. 28:20) ඊට අමතරව ඒ කාලේ තිබුණු තවත් දේවල් කීපයක් ඒ කාර්යය සාර්ථකව කරන්න ගෝලයන්ට උදව් වෙන්න ඇති. ඉතිහාස පොතක කියන විදිහට ක්‍රිස්තියානීන්ට දේශනා සේවය ආරම්භ කරන්න හොඳම කාලය වුණේ පළවෙනි සියවසයි. ඒ දේට මඟ එළි පෙහෙළි කරලා දුන්නේ දෙවියි කියලා ඔවුන් පස්සේ කාලෙක විශ්වාස කළා කියලත් ඒ පොතේ සඳහන් වෙනවා.

6. අපි මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් බලන්නේ මොනවා ගැනද?

6 මුල් ක්‍රිස්තියානීන්ට ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් වෙන්න යෙහෝවා දෙවි ඒ කාලේ ලෝකෙ තිබුණු වාතාවරණය වෙනස් කළාද? බයිබලේ ඒ ගැන කියන්නේ නැහැ. ඒත් සියලු ජාතීන්ට දේශනා කරන එක යෙහෝවා දෙවිගේ අරමුණ වුණු නිසා සාතන්ට ඒක නතර කරන්න බැරි වුණා කියලා නම් අපි දන්නවා. කොහොමවුණත් මුල් සියවසේ තිබුණු දේවල් කීපයක් ක්‍රිස්තියානීන්ට දේශනා කිරීමේ කාර්යය පහසුවෙන් කරන්න උදව් වුණා. ඒ දේවල් ගැන අපි මේ ලිපියෙන් බලමු. නවීන කාලෙදී ශුභාරංචිය දේශනා කරන්න උදව් වෙලා තියෙන දේවල් ගැන ඊළඟ ලිපියේ කතා කරනවා.

සාමකාමී වාතාවරණය

7. රෝම සාමය කියන්නේ මොකක්ද? අනිත් කාලවලට වඩා ඒ කාලය වෙනස් වුණේ කොහොමද?

7 පළවෙනි සියවසේ රෝම අධිරාජ්‍යයේ තිබුණු සාමකාමී වාතාවරණය ක්‍රිස්තියානීන්ට පහසුවක් වුණා. ඒ කාලය හඳුන්වන්නේ රෝම සාමය කියලයි. ඒ කාලේ යම් කැරැල්ලක් ඇති වුණාම රෝම ආණ්ඩුවෙන් ඒක මර්දනය කළා. ඇත්ත, යේසුස් කිව්වා වගේ ඒ කාලෙදීත් යම් යුද්ධ තිබුණා. (මතෙ. 24:6) උදාහරණෙකට රෝමවරු ක්‍රි.ව. 70දී යෙරුසලම විනාශ කළා. ඒ වගේම ඔවුන්ගේ දේශ සීමා අසල පොඩි පොඩි සටන් පැවතුණා. ඒත් රෝම අධිරාජ්‍යයේ වැඩි ප්‍රදේශයක පැවතුණේ සාමකාමී වාතාවරණයක්. ඒ නිසා ක්‍රිස්තියානීන්ට විවිධ පළාත්වලට ගිහින් දේශනා කරන්න පුළුවන් වුණා. අවුරුදු 200ක විතර කාලයක් පුරා ඒ සාමකාමී වාතාරවණය පැවතුණා. එක පොතක කියන්නේ මිනිස් ඉතිහාසයේ වෙන කිසිම කාලෙක ඒ තරම් දීර්ඝ කාලයක් පුරා සාමකාමී වාතාවරණයක් තිබිලා නැහැ කියලයි.

8. පැවති සාමකාමී වාතාවරණය මුල් ක්‍රිස්තියානීන්ට උදව් වුණේ කොහොමද?

8 තුන්වෙනි සියවසේ හිටපු ඔරිගන් කියන විශාරදයා මේ සාමකාමී කාලය ගැන ලියලා තියෙනවා. ඔහු කියන විදිහට රෝමවරු හුඟක් රටවල් පාලනය කරපු නිසා ක්‍රිස්තියානීන්ට ඒ ඕනම රටක දේශනා කරන්න පුළුවන් වුණා. ඒ කාලේ මිනිසුන්ට තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන්න වුණෙත් නැහැ. ඒ වෙනුවට ඔවුන් සාමකාමීව තමන්ගේ ගම්වල ජීවත් වුණා. ඒ නිසා ක්‍රිස්තියානීන් දේශනා කරපු ප්‍රේමය හා සාමය ගැන පණිවිඩයට සවන් දෙන්න ඔවුන්ට පුළුවන් වුණා කියලා ඔරිගන් කියනවා. ක්‍රිස්තියානීන්ට පීඩා තිබුණේ නැතුවම නෙමෙයි. ඒත් පැවතුණු සාමකාමී කාලයෙන් ප්‍රයෝජන අරන් ඔවුන් හැම තැනකම දේශනා කරන්න උත්සාහ කළා.—රෝම 12:18-21 කියවන්න.

ගමනාගමන පහසුකම්

9, 10. රෝම අධිරාජ්‍යය පුරා ගමන් කරන්න ගෝලයන්ට පහසු වුණේ මොන දේවල් නිසාද?

9 රෝම අධිරාජ්‍යයේ විවිධ පළාත් සම්බන්ධ කරන්න රෝමවරු කි.මී. 80,000ක විතර විහිදුණු මහාමාර්ග පද්ධතියක් ඉදි කරලා තිබුණා. සෙබළුන්ට ඉක්මනින්ම රෝම අධිරාජ්‍යයේ ඕනම තැනකට ගිහින් සතුරු හමුදාවලින් දේශය ආරක්ෂා කරගන්නත් කැරලි මර්දනය කරන්නත් පුළුවන් වුණේ ඒ මහාමාර්ග නිසයි. වනාන්තර, කාන්තාර සහ කඳුකර පළාත් හරහා වැටී තිබුණු ඒ මහාමාර්ග නිසා විවිධ පළාත්වලට ගිහින් දේශනා කරන්න ක්‍රිස්තියානීන්ට පුළුවන් වුණා.

10 මහාමර්ගවලට අමතරව රෝමවරුන්ට තවත් හොඳ ප්‍රවාහණ ක්‍රමයක් තිබුණා. ඒ තමයි බෝට්ටු හා නැව්. ගංගා, ඇළදොළ හරහාත් මුහුදෙනුත් අධිරාජ්‍යය පුරාම යාත්‍රා කරපු ඔවුන්ට මුහුදු මාර්ග 900කට වඩා තිබුණා. ඒ සඳහා සිය ගාණක් වරායන් ඔවුන්ට තිබුණා. හුඟක් පැතිවලට යාත්‍රා කරන්න ඒකෙන් ක්‍රිස්තියානීන්ටත් ලැබුණේ ලොකු පහසුවක්. ඒ කාලේ වෙන රටකට යන්න අද වගේ පාස්පෝට් වැනි නීතික ලියවිලි අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම දුර ගමන් යද්දී සොර සතුරන්ගෙන් කරදර ඇති වුණෙත් කලාතුරකින්. මොකද අපරාධකරුවන්ට රෝමවරුන් කෲර විදිහට දඬුවම් කරපු නිසා වැරදි වැඩ කරන්න හුඟක් අය බය වුණා. රෝම හමුදාවට අයත් නැව් නිතරම වගේ මුහුදේ යාත්‍රා කරපු නිසා වෙනත් නැව්වල ගමන් ගත්ත අයට ලැබුණේ ලොකු ආරක්ෂාවක්. පාවුල් ගමන් ගත්ත නැව් කීපවරක්ම අනතුරට ලක් වුණා කියලා සඳහන් වුණත් ඒකෙන් අදහස් කළේ ඒවා මුහුදු කොල්ලකරුවන්ට අහු වුණා කියන දේ නෙමෙයි. සාමාන්‍යයෙන් ඒ කාලේ මුහුදු ගමන් ආරක්ෂා සහිතයි.—2 කොරි. 11:25, 26.

ග්‍රීක භාෂාව

කෝඩෙක්ස් ක්‍රමය නිසා ශුද්ධ ලියවිලි පද හොයාගන්න ලේසි වුණා (12 ඡේදය බලන්න)

11. යේසුස්ගේ ගෝලයන් ග්‍රීක භාෂාව පාවිච්චි කළේ ඇයි?

11 රෝම අධිරාජ්‍යයට අයිති හුඟක් ප්‍රදේශ ඊට කලින් යටත් කරගෙන හිටියේ මහා ඇලෙක්සැන්ඩර්. ඒ නිසා ඒ පළාත්වල හිටපු මිනිසුන් විවිධ ජාතීන්ට අයත් අය වුණත් සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරන ග්‍රීක භාෂාව (කීනි) ඔවුන් දැනගෙන හිටියා. ශුභාරංචිය දේශනා කරන්න ඒක පහසුවක් වුණා. ඒ වගේම ඒ වෙනකොට හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ග්‍රීක භාෂාවට පරිවර්තනය කරලා තිබුණා. ‘සෙප්ටුඅජින්ට්’ නමින් හඳුන්වපු ඒ පරිවර්තනය ගැන හැමෝම වගේ දැනගෙන හිටිය නිසා ඒකෙන් උපුටා දක්වන්න ගෝලයන්ට පහසු වුණා. ඒ වගේම ග්‍රීක භාෂාවට ලොකු වාග්මාලාවක් තිබුණු නිසා ගැඹුරු බයිබල් සත්‍යයන් පැහැදිලි කරන්න ඒක කදිම භාෂාවක් වුණා. බයිබලේ ඉතුරු පොත් ලියපු අයත් ඒවා ලිව්වේ ග්‍රීක භාෂාවෙන්. හැමෝම වගේ ග්‍රීක භාෂාව දැනගෙන හිටපු නිසා සභා අතරේ අදහස් හුවමාරු කරගන්නත් ඒක උදව් වුණා.

12. (අ) කෝඩෙක්ස් ක්‍රමය කියන්නේ මොකක්ද? අකුළන ලියවිලිවලට වඩා කෝඩෙක්ස් ක්‍රමය පහසු ඇයි? (ආ) හුඟක් ක්‍රිස්තියානීන් පොත් පාවිච්චි කරන්න පටන්ගත්තේ කොයි කාලෙදී වගේද?

12 පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් දේශනා සේවයේදී මුලින්ම යොදාගත්තේ අකුළන ලියවිලි. ඒත් ඒක පාවිච්චි කරන්න, තැන් තැන්වලට අරන් යන්න ලේසි වුණේ නැහැ. ශුද්ධ ලියවිලි පාඨයක් හොයාගන්න ඕන වුණු හැම වතාවකම විශාල ලියවිලි දිග හරින්නත් ආයේ අකුළන්නත් සිද්ධ වුණා. සාමාන්‍යයෙන් ඒවාවල අකුරු ලියලා තිබුණේ එක පැත්තක විතරයි. මුළු මතෙව් පොතම ලියලා තිබුණේ එක අකුළන ලියවිල්ලක. එහෙමනම් එක පදයක් හොයාගන්න කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. දෙවෙනි සියවස වෙද්දී කෝඩෙක්ස් ක්‍රමය ප්‍රචලිත වෙන්න පටන්ගත්තා. ඒක දැන් අපි පාවිච්චි කරන පොත්වල ආරම්භයයි. කෝඩෙක්ස් ක්‍රමයේදී පිටු එකකට එකක් අමුණලා තිබුණු නිසා පහසුවෙන්ම පෙරළන්නත් අවශ්‍ය පදය ලේසියෙන්ම හොයාගන්නත් පුළුවන් වුණා. ක්‍රිස්තියානීන් ඒ ක්‍රමය පාවිච්චි කරන්න පටන්ගත්තේ හරියටම කොයි කාලෙද කියලා කියන්න බැරි වුණත් ඉතිහාසඥයන් මෙහෙම කියනවා. “දෙවෙනි සියවසේදී ක්‍රිස්තියානීන් හැමෝම වගේ කෝඩෙක්ස් ක්‍රමය පාවිච්චි කරමින් හිටියා. ඒ නිසා ඔවුන් එය ක්‍රි.ව. 100ටත් කලින් ඉඳන්ම පාවිච්චි කරන්න පටන්ගන්න ඇති කියලා හිතන්න පුළුවන්.”

රෝම නීතිය

13, 14. (අ) රෝම පුරවැසිකම පාවුල්ට ආරක්ෂාවක් වුණේ කොහොමද? (ආ) ක්‍රිස්තියානීන්ට රෝම නීතිය ප්‍රයෝජනවත් වුණේ කොහොමද?

13 පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට රෝම නීතිය නිසා හුඟක් ප්‍රයෝජන ලැබුණා. උදාහරණෙකට විවිධ ප්‍රදේශවල සංචාරය කරපු පාවුල්ට රෝම පුරවැසිකම ආරක්ෂාවක් වුණා. යෙරුසලමේදී රෝම හමුදාවෙන් ඔහුව අත්අඩංගුවට අරන් කසයෙන් පහර දෙන්න හදපු වෙලාවේ තමන් රෝම පුරවැසියෙක් කියලා ඔහු ඔවුන්ට කිව්වා. නඩු විභාගයක් තියලා වරදකරුවෙක් කියලා ඔප්පු කරලා නැති රෝම පුරවැසියෙකුට දඬුවම් කරන්න බැහැ කියලා ඔහු හමුදාපතිට මතක් කළා. “ඒ දේ ඇසූ වහාම ඔහුට වධ හිංසා දී ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට සූදානම්ව සිටි පිරිස ඔහුගෙන් ඉවත් වී ගියෝය. රෝම පුරවැසියෙකු වූ ඔහුව දම්වැල්වලින් බැඳ තැබූ නිසා හමුදාපති තුළද බියක් ඇති විය.”—ක්‍රියා 22:25-29.

14 රෝම පුරවැසිභාවය පාවුල්ට ෆිලිප්පියේදීත් උපකාර වුණා. (ක්‍රියා 16:35-40) එෆීසයේ ක්‍රිස්තියානීන්ට පහර දෙන්න මැර පිරිසක් උත්සාහ කරපු වෙලාවේ රෝම ආණ්ඩුවේ නිලධාරීන් පිරිසක් ඔවුන්ව වැළැක්වුවා. නිලධාරීන් කලහාකාරී පිරිසට කිව්වේ ඔවුන් රෝම නීතිය කඩ කරනවා කියලයි. (ක්‍රියා 19:35-41) පාවුල් සිසේරියේදීත් ඔහුට තිබුණු අයිතිවාසිකම පාවිච්චි කළා. ඒ නිසා ඔහුට පුළුවන් වුණා සීසර් ඉදිරියේ පෙනී ඉඳලා ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්න. (ක්‍රියා 25:8-12) ඒකෙන් පැහැදිලි වෙන්නේ “ශුභාරංචිය වෙනුවෙන් කතා කර එය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීමට” ක්‍රිස්තියානීන්ට රෝම නීතිය උදව් වුණා කියලයි.—ෆිලි. 1:7.

විසිරී හිටපු යුදෙව්වන්

15. පළවෙනි සියවසේදී යුදෙව්වන් වැඩිදෙනෙක් ජීවත් වුණේ කොහෙද?

15 යුදෙව්වන් විවිධ ප්‍රදේශවලට විසිරී ගිහින් හිටපු එකත් දේශනා සේවයට උදව් වුණා. පළවෙනි සියවස වෙනකොට යුදෙව්වන් වැඩිදෙනෙක් විවිධ රටවල ජීවත් වුණේ ඇයි? සියවස් ගාණකට කලින් ඔවුන්ව ඇසිරියාවටත් බැබිලෝනියටත් වහල්කමට අරන් ගියා. පර්සියානුවන් බැබිලෝනිය පරාජය කළාට පස්සේ යුදෙව්වන් පර්සියානු අධිරාජ්‍යය පුරාත් ජීවත් වුණා. (එස්ත. 9:30) පළවෙනි සියවස වෙද්දී ඊජිප්තුවේ, උතුරු අප්‍රිකාවේ වෙනත් ප්‍රදේශවල, ග්‍රීසියේ, කුඩා ආසියාවේ සහ මෙසපොතේමියාවේ යුදෙව්වන් ජීවත් වුණා. ඒ කාලේ රෝම පාලනය යටතේ මිලියන 60ක පමණ ජනකායක් ඉන්න ඇති කියලා හිතනවා. ඒකෙන් මිලියන 4කට වැඩි පිරිසක් යුදෙව්වන්. යුදෙව්වන් විවිධ ප්‍රදේශවලට විසිරී ගිහින් හිටියත් ඔවුන් ආගම අදහන එක නැවැත්තුවේ නැහැ.—මතෙ. 23:15.

16, 17. (අ) හුඟක් රටවල යුදෙව්වන් හිටපු එක යුදෙව් නොවන අයට ප්‍රයෝජනවත් වුණේ කොහොමද? (ආ) ක්‍රිස්තියානීන් යුදෙව්වන්ව ආදර්ශයට ගන්නේ මොන විදිවලින්ද?

16 හුඟක් රටවල යුදෙව්වන් හිටපු නිසා යුදෙව් නොවන වැඩිදෙනෙක් හෙබ්‍රෙව් ලියවිලි ගැනත් යුදෙව් විශ්වාසයන් ගැනත් දැනගෙන හිටියා. ඉන්නේ එකම සැබෑ දෙවි කෙනෙක් කියලත් ඔහුට සේවය කරන අය ඔහු දීලා තියෙන නීතියට කීකරු වෙන්න ඕනෙ කියලත් ඔවුන් දැනගෙන හිටියා. ඒ වගේම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණා කියලත් ඒ ලියවිලිවල ගැලවුම්කරු ගැන හුඟක් අනාවැකි සඳහන් වෙනවා කියලත් ඔවුන් දැනුවත් වෙලා හිටියා. (ලූක් 24:44) ඒ නිසා යුදෙව්වන් නමස්කාර කරපු සිනගෝගවලට ගිහින් ශුභාරංචියට ඇහුම්කන් දෙන්න කැමති අයට ශුද්ධ ලියවිල්ලෙන් කාරණා තර්කානුකූලව පැහැදිලි කරලා දෙන්න පාවුල් වගේ අයට පහසු වුණා.—ක්‍රියා 17:1, 2 කියවන්න.

17 යුදෙව්වන් නිතිපතාම සිනගෝගවල නැත්නම් එළිමහන් තැන්වල නමස්කාර වැඩවලට රැස් වුණා. ඒ අවස්ථාවලදී ඔවුන් ගීතිකා කිව්වා. යාච්ඤා කළා. ඒ වගේම ශුද්ධ ලියවිලි ගැන සාකච්ඡා කළා. මුල් ක්‍රිස්තියානිනුත් ඔවුන්ව ආදර්ශයට ගත්තා. අද අපේ රැස්වීම්වලදී කරන්නෙත් ඒ වගේ දෙයක්.

යෙහෝවා දෙවිගේ උදව් ලැබුණා

18, 19. (අ) පළවෙනි සියවසේ තිබුණු වාතාවරණය නිසා කරන්න පුළුවන් වුණේ මොකක්ද? (ආ) මේ ලිපිය අධ්‍යයනය කළාට පස්සේ යෙහෝවා දෙවි ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

18 පළවෙනි සියවස ඉතිහාසයේ වැදගත්ම කාලයයි. ඒ කාලේ රෝම අධිරාජ්‍යය යටතේ සාමය තිබුණා. හුඟක් මිනිසුන්ට එකම භාෂාවක් කතා කරන්න පුළුවන්කම තිබුණා. නීතියෙන් මිනිසුන්ට ආරක්ෂාවක් ලැබුණා. ගමන්බිමන් යන්න පහසුකම් තිබුණා. ඒ වගේම හුඟක් රටවල හිටපු අය යුදෙව්වන් ගැනත් හෙබ්‍රෙව් ලියවිලි ගැනත් දැනගෙන හිටියා. දේශනා සේවය සාර්ථකව කරන්න ඒ හැම දේම ක්‍රිස්තියානීන්ට උදව් වුණා.

19 යේසුස් පොළොවට එන්න අවුරුදු 400කට කලින් ප්ලේටෝ කියන ග්‍රීක දාර්ශනිකයා මෙහෙම ලියලා තිබුණා. “මේ විශ්වය හදපු කෙනාව දැන හඳුනා ගන්න එක අපහසු කාර්යයක්. ඔහු ගැන දැනගත්තත් ලෝකෙ ඉන්න හැම කෙනෙකුටම ඔහු ගැන දැනුම් දෙන එක නම් කොහොමටවත් කරන්න බැරි දෙයක්.” ඒත් මතකද යේසුස් කිව්ව දේ? ඔහු කිව්වේ “මිනිසුන්ට කරන්න බැරි දේවල් දෙවිට කරන්න පුළුවන්” කියලයි. (ලූක් 18:27) යෙහෝවා දෙවිට ඕනෙ “සෑම ජාතියකටම අයත් මිනිසුන්” ශුභාරංචිය අහලා ඔහු ගැන දැනගන්නවටයි. (මතෙ. 28:19) ඒ නිසා ප්ලේටෝ කරන්න බැහැ කියලා කියපු දේ යෙහෝවා දෙවිගේ උදව්වෙන් සාර්ථකව කරන්න ක්‍රිස්තියානීන්ට පුළුවන් වුණා. ශුභාරංචිය අපේ කාලේ ලෝකෙ පුරාම දේශනා කරන්නේ කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.