Skip to content

පටුනට යන්න

ඉගැන්වීමේ කාර්යයට යෙහෝවා දෙවි මඟ පෙන්වයි

ඉගැන්වීමේ කාර්යයට යෙහෝවා දෙවි මඟ පෙන්වයි

“මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය.”—යෙසා. 48:17.

1. දේශනා කරන එක ලේසි වුණේ නැත්තේ ඇයි?

මීට අවුරුදු 130කට කලින් යෙහෝවා දෙවිගේ සෙනඟ ශුභාරංචිය දේශනා කරන්න පටන්ගද්දී ඔවුන්ට ඒක ලේසි වුණේ නැහැ. * පළවෙනි සියවසේදී වගේ ඔවුන් එක්ක හිටියෙත් ටිකදෙනයි. දේශනා කරපු පණිවිඩය අහන්න වැඩිදෙනෙක් කැමති වුණෙත් නැහැ. සමහරු හිතුවේ ඔවුන් නූගත් අය කියලයි. දේශනා කරන්න පටන් අරන් ටික කාලෙකින් සාතන්වත් පොළොවට හෙළුවා. ඒ නිසා හුඟක් පීඩාවලට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වුණා. (එළි. 12:12) “අවසාන කාලයේදී ඉතා අසීරු” තත්වයන් මැද වුණත් දිගටම දේශනා කරන්න එදා ඉඳන් අද වෙන කල් දෙවිගේ සෙනඟ ලොකු වෙහෙසක් දරනවා.—2 තිමෝ. 3:1.

2. දේශනා සේවය සාර්ථකව කරන්න දෙවි තම සෙනඟට උදව් කරලා තියෙන්නේ කොහොමද?

2 ඒ කාර්යය කරන්න යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ඔවුන්ට ලැබුණා. දෙවිට ඕන වුණේ ඔවුන් ලෝකෙ පුරාම ශුභාරංචිය දේශනා කරනවටයි. ඒක නවත්තන්න ඔහු කිසිම දේකට ඉඩ දෙන්නේ නැහැ. මහ බැබිලෝනිය විදිහට හඳුන්වන අසත්‍ය උගන්වන ආගම්වලින් නිදහස් වෙලා දෙවිගේ අනුමැතිය ලැබෙන විදිහට නමස්කාර කරන්න යෙහෝවා දෙවි අපිට උදව් කළා. ඒක හරියට අතීතයේදී ඔහු ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියෙන් නිදහස් කළා වගේ දෙයක්. (එළි. 18:1-4) යෙහෝවා දෙවි උගන්වන දේවලින් අපි එක් එක් කෙනාට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. අනිත් අය එක්ක සාමයෙන් ඉන්නත් මිනිසුන්ට ඔහු ගැන උගන්වන්නත් දෙවි අපිට උදව් කරනවා. (යෙසායා 48:16-18 කියවන්න.) ශුභාරංචිය ලොව පුරා දේශනා කරන්න ඔහු අපිට මඟ පෙන්නන ඒකෙන් අදහස් කරන්නේ ඒ වැඩේ පහසුවෙන් කරන්න ඔහු මේ ලෝකෙ වාතාවරණය හොඳ අතට හරවනවා කියන එක නෙමෙයි. ලෝකෙ සිද්ධ වෙන සමහර දේවල් නිසා අපිට දේශනා කරන්න පහසු වෙලා තියෙනවා තමයි. ඒත් අපිට තාමත් පීඩා, කරදර, විරුද්ධවාදිකම් පැමිණෙනවා. ඒ වුණත් යෙහෝවා දෙවිගේ උදව් අපිට තියෙන නිසා දේශනා සේවය සාර්ථකව කරන්න පුළුවන් වෙලා තියෙනවා.—යෙසා. 41:13; 1 යොහ. 5:19.

3. දානියෙල්ගේ අනාවැකිය ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

3 අවසාන කාලෙදී හුඟක් අය බයිබලේ තියෙන සත්‍ය පණිවිඩය තේරුම්ගන්නවා කියලා දානියෙල් අනාවැකියක් කිව්වා. (දානියෙල් 12:4 කියවන්න.) “අවසාන කාලය” ආරම්භ වෙන්න ටික කාලෙකට කලින් ඒ අනාවැකිය ඉටු වෙන්න පටන්ගත්තා. ක්‍රිස්තියානීන් කියලා කියාගත්ත අය පතුරවපු අසත්‍ය ඉගැන්වීම් නිසා ඒ වෙන කල් යටපත් වෙලා තිබුණු බයිබලේ තියෙන සත්‍යයන් තේරුම්ගන්න යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට උදව් කළා. අද වෙනකොට මිලියන අටකට ආසන්න සෙනඟක් බයිබලේ තියෙන සත්‍ය තොරතුරු ලෝකෙ පුරාම ඉන්න මිනිසුන්ට කියලා දෙනවා. ඒකට උදව් වෙලා තියෙන දේවල් කීපයක් ගැන දැන් අපි බලමු.

බයිබල් පරිවර්තන

4. 1900 ගණන් වෙද්දී බයිබලය භාෂා කීයකට පරිවර්තනය කරලා තිබුණද?

4 ලෝකෙ ඉන්න වැඩිදෙනෙක් ළඟ බයිබලයක් තියෙන නිසා ශුභාරංචිය දේශනා කරන්න ඒක පහසුවක්. ඒත් මීට අවුරුදු සිය ගාණකට කලින් තත්වය හුඟක් වෙනස්. ක්‍රිස්තියානි ආගම්වල පූජකයන් සාමාන්‍ය මිනිසුන්ට බයිබලේ කියවන්න දුන්නේ නැහැ. ඔවුන් බයිබලේ කියවපු අයට පීඩා කළා. ඒක පරිවර්තනය කරපු සමහරුන්ව මැරුවා. ඒත් 1800 ගණන්වල තිබුණු සමහර සංවිධානවලට පුළුවන් වුණා සම්පූර්ණ බයිබලයම නැත්නම් ඒකේ කොටසක් භාෂා 400කට විතර පරිවර්තනය කරලා මුද්‍රණය කරන්න. ප්‍රතිඵලයක් විදිහට 1900 ගණන් ආරම්භ වෙද්දී හුඟක් අයට තමන්ටම කියලා බයිබලයක් තිබුණා. ඒත් ඒකේ තියෙන දේවල් ගැන නම් ඔවුන්ට හරි අවබෝධයක් තිබුණේ නැහැ.

5. බයිබලේ පරිවර්තනය කරන්න සාක්ෂිකරුවන් දායක වෙලා තියෙන්නේ කොහොමද?

5 බයිබලේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙන එක තමන්ගේ වගකීමක් කියලා තේරුම්ගත්ත යෙහෝවා දෙවිගේ සෙනඟ, ඒ දේ කරන්න ඔවුන්ට පුළුවන් හැම දේම කළා. ඒ කාලෙදී ඔවුන් ශුභාරංචිය දේශනා කළේ ඒ වෙනකොටත් තිබුණු බයිබල් පරිවර්තන යොදාගෙනයි. මිනිසුන්ට සේවයේදී දුන්නෙත් ඒ පරිවර්තනවල පිටපත්. ඒත් 1950 ගණන්වලදී ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ කියන අලුත් පරිවර්තනය නිකුත් කරන්න ඔවුන්ට පුළුවන් වුණා. මේ වෙනකොට සම්පූර්ණ ‘නව ලොව පරිවර්තනය’ හෝ ඒකෙන් කොටසක් භාෂා 120කට වැඩි ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. 2013දී කාටත් පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’ ඔවුන් සංශෝධනය කළා. දැන් ඒක වෙනත් භාෂාවලට පරිවර්තනය කරන්න තවත් ලේසියි. ඒ වගේම බයිබල් සත්‍යයන් අනිත් අයට පහසුවෙන්ම කියලා දෙන්නත් පුළුවන්.

සාමකාමී කාලයක්

6, 7. (අ) පහුගිය අවුරුදු 100දී ඇති වුණු යුද්ධ ගැන කියන්න පුළුවන් මොනවද? (ආ) සමහර රටවල තියෙන සාමකාමී වාතාවරණය දේශනා සේවයට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

6 පළවෙනි සියවසේ පැවති සාමකාමී වාතාවරණය ක්‍රිස්තියානීන්ට උදව් වුණා වගේ නවීන කාලෙදීත් දේශනා සේවය හොඳින් කරන්න සාමකාමී වාතාවරණය උදව් වෙලා තියෙන්නේ කොහොමද? පහුගිය අවුරුදු 100 ඇතුළත ලෝක යුද්ධ 2ක් සහ තව හුඟක් යුද්ධ ලෝකෙ පුරාම සිද්ධ වුණා. ඒ යුද්ධවලින් මිලියන ගාණක් මිය ගියා. ඒත් දෙවෙනි ලෝක යුද්ධය තිබුණු කාලේ සහෝදර නේතන් නෝර් පෙන්නලා දීපු වැදගත් කාරණයක් තියෙනවා. 1942 සමුළුවකදී ඔහු “සාමය, සැමදා පවතීද?” කියන මාතෘකාවෙන් බයිබල් දේශනයක් ඉදිරිපත් කළා. ඒ දේශනයේදී එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ තියෙන අනාවැකිය විස්තර කරපු ඔහු පැවසුවේ ඒ වෙනකොට තිබුණු යුද්ධය හර්–මගෙදොන් යුද්ධයට මඟ පාදන්නේ නැහැ කියලයි. ඒ වෙනුවට දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ සාමකාමී වාතාවරණයක් ඇති වෙනවා කියලා ඔහු කිව්වා.—එළි. 17:3, 11.

7 ඒකෙන් අදහස් කළේ ලෝකෙ අස්සක් මුල්ලක් නෑර සාමය ඇති වෙනවා කියන දේ නෙමෙයි. දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙත් සමහර රටවල යුද්ධ තිබුණා. ඒවා නිසා මිලියන ගාණක් මිය ගියා. ඒත් හුඟක් රටවල පැවතුණේ සාමකාමී වාතාවරණයක්. ශුභාරංචිය දේශනා කරන්න යෙහෝවා දෙවිගේ සෙනඟට ඒක ලොකු පහසුවක් වුණා. ප්‍රතිඵලයක් විදිහට දෙවෙනි ලෝක යුද්ධ කාලෙදී 1,10,000කටත් අඩුවෙන් හිටපු සාක්ෂිකරුවන්ගේ ගාණ අද වෙනකොට මිලියන අටකට කිට්ටු වෙලා.—යෙසායා 60:22 කියවන්න.

ගමනාගමන පහසුකම්වල දියුණුව

8, 9. ගමනාගමන පහසුකම්වල ඇති වෙලා තියෙන්නේ මොන වගේ දියුණුවක්ද? ඒක අපිට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

8 එක්සත් ජනපදයේ දේශනා සේවය ආරම්භ කරපු කාලේ රටේ ගමනාගමන පහසුකම් අද තරම් හොඳට තිබුණේ නැහැ. 1900 වෙනකොට මෝටර් රථ තිබුණේ 8,000ක් විතර. හොඳ පාරවල් තිබුණෙත් අඩුවෙන්. ඒත් අද වෙනකොට මෝටර් රථ බිලියන එකහමාරක් විතර තියෙනවා. හැම තැනම වගේ තියෙන්නේ හොඳ තත්වයේ පාරවල්. ඒ නිසා හුඟක් ඈත පැතිවලටත් ගිහින් දැන් දේශනා කරන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ ගමනාගමන පහසුකම් ඒ තරම් හොඳ තත්වයක නැති පළාතක වුණත් අපි පසු නොබැස මිනිසුන් ඉන්න තැන්වලට ගිහින් දේශනා කරනවා.—මතෙ. 28:19, 20.

9 බයිබල් ඇතුළු අපේ ප්‍රකාශන විවිධ පළාත්වලට, රටවලට යවන්න අපි වෙනත් ප්‍රවාහණ ක්‍රමත් පාවිච්චි කරනවා. ට්‍රක් රථ, නැව් සහ දුම්රිය නිසා ඈත දුෂ්කර පළාත්වල ඉන්න සහෝදරයන්ට සති කීපයක් ඇතුළත ප්‍රකාශන ලබාගන්න දැන් පුළුවන්. සමහර රටවල ඉන්න චාරිකා සේවකයන්ට, ශාඛා කමිටු සාමාජිකයන්ට, මිෂනාරීන්ට විවිධ පළාත්වලට ගිහින් සමුළුවල දේශන ඉදිරිපත් කරන්නත් සභාවල අයට උදව් කරන්නත් ගුවන් ගමන් ලොකු පහසුවක්. පාලක මණ්ඩලයේ සහෝදරයන් ඇතුළු ලෝක මූලස්ථානයේ සේවය කරන වෙනත් සහෝදරයන් ගුවනින් විවිධ රටවලට ගිහින් සහෝදරයන්ව දිරිගන්වනවා. ඔවුන්ව පුහුණු කරනවා. ලෝකෙ පුරාම ඉන්න දෙවිගේ සෙනඟට එක්සත්ව ඉන්න ඒ හැම දෙයක්ම උදව් වෙනවා.—ගීතා. 133:1-3.

ඉංග්‍රීසි භාෂාව සහ පරිවර්තන වැඩ

10. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාවක් කියන්නේ ඇයි?

10 පළවෙනි සියවසේදී රෝම අධිරාජ්‍යයේ හිටපු හුඟක් සෙනඟ ග්‍රීක භාෂාව දැනගෙන හිටියා. අද ලෝකෙ ඉන්න හුඟක් අයට ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් තියෙනවා. එක පොතක කියන විදිහට ලෝක ජනගහනයෙන් හතරෙන් එකකටම ඉංග්‍රීසි කතා කරන්න නැත්නම් තේරුම්ගන්න පුළුවන්. (English as a Global Language) ව්‍යාපාරවලට, දේශපාලනයට, විද්‍යාවට සහ තාක්ෂණයට ඉංග්‍රීසි භාෂාව ප්‍රයෝජනවත් වෙන නිසා හුඟක් අය ඒ භාෂාව ඉගෙනගන්නවා.

11. සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට ඉංග්‍රීසි භාෂාව උදව් වෙලා තියෙන්නේ කොහොමද?

11 හුඟදෙනෙක් ඉංග්‍රීසි භාෂාව දන්න නිසා ශුභාරංචිය දේශනා කරන්න ඒක ලොකු උදව්වක්. කාලෙකට කලින් අපේ ප්‍රකාශන පළ වුණේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. හුඟක් අය ඉංග්‍රීසි දැනගෙන හිටපු නිසා ඒවා කියවන්න ඔවුන්ට පුළුවන් වුණා. අපේ ලෝක මුලස්ථානයේ වැඩකටයුතු කරන්නෙත් ඉංග්‍රීසි භාෂාවෙන්. විවිධ රටවලින් එන, ඉංග්‍රීසි දැනුම තියෙන හුඟක් සහෝදර සහෝදරියන්ට පැටර්සන්වල තියෙන අපේ පාසැල්වලින් ලොකු පුහුණුවක් ලැබෙනවා.

12. අපේ ප්‍රකාශන භාෂා කීයකට පරිවර්තනය කරනවද? පරිගණක වැඩසටහන් පරිවර්තන වැඩවලට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

12 ඒත් ලෝකෙ පුරාම ඉන්න අයට ශුභාරංචිය දේශනා කරන එක අපේ වගකීම. ඒ නිසයි අපි අපේ ප්‍රකාශන භාෂා 700කට වඩා වැඩි ගාණකට පරිවර්තනය කරන්නේ. ඒක කරන්න පරිගණක සහ මෙප්ස් (MEPS) වගේ පරිගණක වැඩසටහන් අපිට උදව් වෙලා තියෙනවා. පරිවර්තන වැඩ නිසා ලෝකෙ පුරාම ඉන්න සාක්ෂිකරුවන්ට බයිබලේ සඳහන් “පවිත්‍ර භාෂාව” අවබෝධ කරගන්නත් එකමුතුව වැඩ කරන්නත් පුළුවන් වෙලා තියෙනවා.—ශෙපනියා 3:9 කියවන්න.

නීති සහ අධිකරණ තීන්දු

13, 14. නීති සහ අධිකරණ තීන්දු අපිට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

13 පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට රෝම නීතිය හුඟක් උදව් වුණා. අදත් හුඟක් රටවල තියෙන නීතිය අපේ දේශනා සේවයට ලොකු උදව්වක්. උදාහරණෙකට එක්සත් ජනපදයේ පවතින නීතිය නිසා මිනිසුන්ට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස, අදහන ආගම ගැන කතා කිරීමේ නිදහස සහ රැස්වීමේ නිදහස ලැබිලා තියෙනවා. ඒ නිසා නිදහසේ රැස්වීම් පවත්වන්නත් දේශනා කරන්නත් එහේ ඉන්න සාක්ෂිකරුවන්ට පුළුවන්. ලෝකෙ පුරාම දේශනා වැඩකටයුතු සංවිධානය කරන්නේ ඇමරිකාවේ තියෙන අපේ ලෝක මූලස්ථානයේ. ඒ වැඩකටයුතු බාධාවක් නැතුව කරන්න රටේ නීතිය උදව් වෙලා තියෙනවා. ඒත් ඇමරිකාවේ පවා දේශනා කරන්න සාක්ෂිකරුවන්ට තියෙන අයිතිය තහවුරු කරන්න උසාවි යන්න සිද්ධ වුණු අවස්ථා නැතුවමත් නෙමෙයි. (ෆිලි. 1:7) ඒ උසාවිවල විනිශ්චයකරුවන් සහ ජූරී සභිකයන් දේශනා කරන්න අපිට තියෙන අයිතිය පැහැරගන්න උත්සාහ කරපු අවස්ථාවලදී ඉහළ උසාවිවලට ගිහින් ඒ නඩු ජයග්‍රහණය කරපු අවස්ථා එමටයි.

14 වෙනත් රටවලදීත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න සහ දේශනා කරන්න අපිට තියෙන අයිතිය තහවුරු කරගන්න අපි උසාවි ඉදිරියේ පෙනී ඉඳලා තියෙනවා. ඒ නඩු පරාජය වුණු අවස්ථාවලදී ඒවා ජාත්‍යන්තර උසාවිවලට අරගෙන යන්න අපි පියවර ගත්තා. උදාහරණෙකට මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ ගොනු කරපු නඩුවලින් නඩු 57ක් 2014 ජූනි මාසය වෙනකොට අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ උසාවියෙන් දෙන තීන්දුවලට කීකරු වෙන්න යුරෝපයේ තියෙන හුඟක් රටවලට සිද්ධ වෙනවා. අපිට ‘සියලු ජාතීන් වෛර කළත්’ හුඟක් රටවල තියෙන නීතිය නිසා නිදහසේ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා.—මතෙ. 24:9.

තාක්ෂණයේ දියුණුව

අපි භාෂා බොහෝ ගාණකින් මිනිසුන්ට පොත් පත් ලබා දෙනවා

15. මුද්‍රණ කටයුතුවල තියෙන්නේ මොන වගේ දියුණුවක්ද? ඒක අපිට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

15 මුද්‍රණ ක්ෂේත්‍රයේ දියුණුවත් වැඩිදෙනෙකුට ශුභාරංචිය දේශනා කරන්න උදව් වුණා. අවුරුදු සිය ගාණක් පුරා මිනිසුන් මුද්‍රණ කටයුතු සඳහා යොදාගත්තේ 1450දී යොහානස් ගුටන්බර්ග් හඳුන්වලා දුන්න මුද්‍රණ ක්‍රමයයි. ඒත් පහුගිය අවුරුදු 200 ඇතුළත මුද්‍රණ කටයුතුවල ලොකු දියුණුවක් ඇති වුණා. ඔෆ්සෙට් මුද්‍රණ ක්‍රමය හඳුන්වා දීමත් සමඟම වේගවත්ව සහ වඩා හොඳ තත්වයේ පොත් පත් මුද්‍රණය කරන්න පුළුවන් වුණා. ඒ වගේම කඩදාසි සඳහාත් පොත් බැඳීම සඳහාත් වැය වුණේ අඩු මුදලක්. ඒ දේවල් නිසා අපේ ප්‍රකාශනවලත් හුඟක් වෙනස්කම් සිද්ධ වුණා. 1879 මුල්ම ‘මුරටැඹ’ සඟරාව මුද්‍රණය කළේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. ඒකේ චිත්‍ර තිබුණෙත් නැහැ. මුද්‍රණය කළේ පිටපත් 6,000ක් විතරයි. අද වෙනකොට ‘මුරටැඹ’ සඟරාව භාෂා 200කට වඩා වැඩි ගාණකින් මුද්‍රණය කරනවා. වර්ණවත් පින්තූරුවලින් සඟරාව ලස්සන වෙලා. දැන් කලාපයකින් පිටපත් 5,00,00,000ක් මුද්‍රණය කරනවා.

16. අපේ කාර්යයට උදව් වෙලා තියෙන නවීන පහසුකම් මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

16 පහුගිය අවුරුදු 200 තුළ ඇති වුණු තාක්ෂණයේ දියුණුව දේශනා සේවය සාර්ථකව කරන්න දෙවිගේ සෙනඟට උදව් වුණා. කලින් සඳහන් කරපු මෝටර් රථ, දුම්රිය, ගුවන් යානා ඒවාවලින් කීපයක්. ඊට අමතරව බයිසිකල්, ටයිප්රයිටස්, බ්‍රේල් උපකරණ, ටෙලිග්‍රාෆ්, ටෙලිෆෝන්, කැමරා, ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කරන උපකරණ, රේඩියෝ, ටීවී, චිත්‍රපට, කොම්පියුටර් සහ ඉන්ටර්නෙට් වගේ දේවල් නිසා අපේ කාර්යය තවත් ලේසි කළා. ඒ දේවල් හොයාගත්තේ දෙවිගේ සෙනඟ නොවුණත් ලොව පුරා දේශනා කරන්නත් පරිවර්තන වැඩවලටත් ඔවුන් ඒ නවීන පහසුකම් යොදාගන්නවා. ඒ විදිහට දෙවිගේ සෙනඟ ‘ජාතීන්ගේ කිරි උරා බොන්නෙහිය’ කියන අනාවැකිය ඉටු වෙනවා.—යෙසායා 60:16 කියවන්න.

17. (අ) මේ පාඩමෙන් ඉගෙනගත්ත දේවලින් අපිට පැහැදිලි වෙන්නේ මොකක්ද? (ආ) දෙවි එක්ක එකට වැඩ කරන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙන්නේ ඇයි?

17 දේශනා කිරීමේ කාර්යයට යෙහෝවා දෙවි මඟ පෙන්නනවා කියන දේ නම් හොඳටම පැහැදිලියි. ඔහු අපිට මේ කාර්යය භාර දුන්නේ අපේ උදව් නැතුව ඔහුට මේ දේ කරන්න බැරි නිසා නෙමෙයි. ඔහු එහෙම කළේ අපිට තියෙන ආදරේ නිසයි. ඔහු එක්ක එකට වැඩ කරන්න අපිට අවස්ථාව දෙන්නයි. දේශනා සේවයේ හවුල් වෙද්දී අපි පෙන්නන්නේ දෙවිට සහ මිනිසුන්ට අපේ හිතේ තියෙන ආදරයයි. (මාක් 12:28-31; 1 කොරි. 3:9) ලෝකෙ පුරාම දේශනා කරන්න මඟ පෙන්නන එක ගැන අපි යෙහෝවා දෙවිට කොයි තරම් ස්තුති කරන්න ඕනෙද! ඒ නිසා යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් දේශනා කරන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව අගය කරමින් අපිට පුළුවන් උපරිමයෙන් ශුභාරංචිය ගැන මිනිසුන්ට කියන්න අදිටන් කරගමු.

^ 1 ඡේ. 1870 ඉඳන් දෙවිගේ සෙනඟ තමන්ව හඳුන්වලා දුන්නේ බයිබල් ශිෂ්‍යයන් විදිහටයි. 1931දී ඔවුන් තමන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට හඳුන්වන්න පටන්ගත්තා.—යෙසා. 43:10.