Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යේසුස් අපිව මුදවන්නේ මොකකින්ද?

යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම ඔබට වැදගත්ද?

යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම ඔබට වැදගත්ද?

‘ස්වාමීන් වන යේසුස්ව විශ්වාස කරන්න. එවිට ඔබට ගැලවීම ලැබෙයි.’ —ක්‍රියා 16:31.

යේසුස්ගේ අනුගාමිකයන් වුණ පාවුල් හා සීලස් ඒ වචන කිව්වේ මැසිඩෝනියාවේ නගරයක් වුණ ෆිලිප්පියේ හිරගෙදර භාරව හිටිය නිලධාරියාටයි. ඒ වචනවල අදහස මොකක්ද? ඒක දැනගන්න කලින් අපි මැරෙන්නේ ඇයි කියන එක ගැන දැනගන්න ඕනේ. ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මිනිස්සු මැරෙන එක දෙවියන්ගේ අරමුණ නෙවෙයි

“යෙහෝවා දෙවි මිනිසාව ඒදන් උයනෙහි පදිංචි කළේය. උයන බලාගන්නා පිණිසද එහි වගා කරන පිණිසද මිනිසාව එහි තැබුවේය. පසුව යෙහෝවා දෙවි මිනිසාට මෙසේ අණ කළේය. ‘ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන. නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.’”—උත්පත්ති 2:15-17.

දෙවියන්, ගහ කොළ හා සතුන්ගෙන් පිරුණු ලස්සන පාරාදීසයක් වන ඒදන් උයනේ ආදම්ව පදිංචි කෙරුවා. උයනේ ගස්වල ඇති තරම් ගෙඩි තිබුණා. හැබැයි එක ගහකින් විතරක් කන්න එපා කියලත් කෑවොත් මිය යනවා කියලත් ඔහු ආදම්ට කිව්වා.

ආදම් ඒ තහනම තේරුම්ගත්තාද? සතුන් මැරෙනවා දැක්ක නිසා මරණය කියන්නේ මොකක්ද කියලා ආදම් දැනගෙන හිටියා. ආදම්ව නිර්මාණය කළේ මැරෙන්න නම් දෙවියන් දුන්න අවවාදයෙන් කිසි පලක් නැහැ. හැබැයි දෙවියන්ට කීකරු වෙලා ගහෙන් නොකා ඉන්නවා නම් නොමැරී ජීවත් වෙන්න පුළුවන් කියලා ආදම් හොඳින් තේරුම්ගත්තා.

ඒ ගහෙන් කන එකෙන් සංකේතවත් කළේ ලිංගික සම්බන්ධකම් පවත්වන එක කියලා සමහරු හිතනවා. දෙවියන් ඒ වගේ තහනමක් දැම්මා කියලා හිතන්න බැහැ. මොකද, දෙවියන් ආදම්ට හා ඒවට ආශීර්වාද කරලා කිව්වේ ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වෙලා මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කරන්න’ කියලයි. (උත්පත්ති 1:28) කන්න එපා කිව්ව ගහ ඇත්ත ගහක්. ඒකට කිව්වේ ‘හොඳ හා නරක හඳුනාගැනීමේ’ ගහ කියලයි. මිනිසුන්ට හොඳ දේ හා නරක දේ මොකක්ද කියලා තීරණය කරන්න දෙවියන්ට තියෙන අයිතිය ඒ ගහෙන් සංකේතවත් වුණා. ඒ ගහේ ගෙඩි නොකා හිටියා නම් දෙවියන්ට කීකරු වෙනවා කියලා විතරක් නෙමෙයි තමාව නිර්මාණය කරලා අවශ්‍ය හැම දේම දුන්න දෙවියන්ව අගය කරනවා කියලා පෙන්වන්නත් ආදම්ට හැකිකම තිබුණා.

ආදම් මිය ගියේ දෙවියන්ට අකීකරු වුණ නිසයි

“ආදම්ට ඔහු මෙසේ කීවේය. ‘නොකන්න කියා මා ඔබට අණ කළ ගසෙන් ඔබ කෑ බැවින් . . . භූමියෙන් ගන්නා ලද ඔබට, භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.’”—උත්පත්ති 3:17, 19.

තහනම් කරපු ගහෙන් ගෙඩි කාලා ආදම් දෙවියන්ට අකීකරු වුණා. ඒක හරියට කන්න දීපු අත හපා කෑවා වගේ වැඩක්. ඔහු වෙනුවෙන් කරපු හැම දේම අමතක කරලා කැරලිගහපු එක සුළුපටු වරදක් නෙවෙයි. ආදම් පෙන්නුවේ දෙවියන්ගෙන් ඈත් වෙලා තනි තීරණ ගන්න ඔහුට ඕන වුණා කියලයි. ඒකෙන් වුණේ හානියක් මිස හොඳක් නම් නෙමෙයි.

යෙහෝවා දෙවියන් කියපු විදිහටම ආදම් කාලයක් ජීවත් වෙලා මිය ගියා. දෙවියන් ආදම්ට කිව්වේ “ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය” කියලයි. ආදම් මිය ගියාට පස්සේ වෙනත් ලෝකයක හරි වෙනත් ජීවියෙක් හැටියට හරි ජීවත් වුණේ නැහැ. මරණයත් එක්කම ඔහු අජීවී තත්වයකට පත් වුණා.—උත්පත්ති 2:7; දේශනාකාරයා 9:5, 10.

අපි මිය යන්නේ ආදම්ගෙන් පැවතෙන නිසයි

“එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.

ආදම්ගේ අකීකරුකම, නැත්නම් ඔහු කළ පාපය නිසා ඊටත් වැඩිය බරපතළ හානියක් සිද්ධ වුණා. ඔහු පාපය උරුම කරගත්ත නිසා නැති කරගත්තේ නිකම්ම නිකං අවුරුදු 70ක 80ක ජීවිතයක් නෙවෙයි සදාකාලයට ජීවත් වීමේ අවස්ථාවයි. ඔහුගෙන් පැවත එන අයටත් ඔහු පාපය උරුම කෙරුව නිසා ඔවුන්ටත් සදාකාල ජීවනය අහිමි වුණා.

අපි හැමෝම ආදම්ගෙන් පැවත එන අය. ඔහුගෙන් අපිට පව්කාර ස්වාභාවයත් ලෙඩ වෙලා අන්තිමේදී මිය යන ශරීරයකුත් උරුම වුණා. අපේ අසරණකම ගැන පාවුල් මෙහෙම කියනවා. “වැරදි දේවලට වහල් වී සිටින මා දුර්වලය. මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද! මගේ මරණයට හේතු වන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද? නමුත් මා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! මන්ද ඔහු අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාව බේරාගන්නේය.”—රෝම 7:14, 24, 25.

යේසුස් දිවි පිදුව නිසා අපිට සදාකාල ජීවිතයක්

‘පියාණන් තම පුත්‍රයාව මෙලොවට ගැලවුම්කරු ලෙස එවා ඇත.’—1 යොහන් 4:14.

දෙවියන් අපිව පාපයෙන් හා මරණයෙන් මුදවගන්න සැලසුම් යෙදුවා. ඔහු ස්වර්ගයේ හිටපු ඔහුගේ ආදරණීය පුතාව, ආදම්ට තිබුණා වගේ කිසි අඩුවක් නැති පරිපූර්ණ ශරීරයක් ඇතුව පොළොවේ ඉපදෙන්න සැලැස්සුවා. ඒත් ආදම් වගේ ඔහු පව් කළේ නැහැ. බයිබලයේ කියන්නේ “ඔහු කිසි පාපයක් නොකළේය” කියලයි. (1 පේතෘස් 2:22) ඒ නිසා යේසුස්ට මරණය උරුම වුණේ නැහැ. පරිපූර්ණ කෙනෙක් වුණ ඔහුට මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා.

ඒත් සතුරන් අතින් මරණයට පත් වෙන්න දෙවියන් යේසුස්ට ඉඩහැරියා. දවස් 3කට පස්සේ ඔහු යේසුස්ව නැවත නැඟිටුවලා ස්වර්ගික ජීවිතයක් ලබා දුන්නා. ස්වර්ගයට ගිහින් යේසුස් යෙහෝවා දෙවියන් ඉදිරියේ පෙනී ඉඳලා තමන්ගේ පරිපූර්ණ ජීවිතයේ වටිනාකම ඔප්පු කළා. ඒ නිසා දෙවියන් යේසුස්ව විශ්වාස කරන හැමෝටම සදාකාලික ජීවිතයක් ලබා දෙනවා.—රෝම 3:23, 24; 1 යොහන් 2:2.

යේසුස් දිවි පිදුවේ අපිට සදාකල් ජීවත් වෙන්න පුළුවන්කම ලබා දෙන්නයි. බයිබලයේ කියන්නේ “ඔහු සෑම මිනිසෙකු වෙනුවෙන්ම මරණයට පත් විය. එසේ කළේ දෙවිගේ මහත් කරුණාව සියලුදෙනාටම ලබා දීම සඳහාය” කියලයි. (හෙබ්‍රෙව් 2:9) ඒ විදිහට ආදම් නැති කරගත්ත දේ යේසුස් නැවත ලබා දුන්නා.

ඒ වගේ සැලැස්මක් යෙදුව එකෙන් අපිට යෙහෝවා දෙවියන් ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යුක්තිය ගැන ඔහු පිහිටුවලා තියෙන උසස් ප්‍රමිතිය නිසා මිනිසුන්ට තමන්ගේම හැකියාවෙන් පාපයෙන් මිදෙන්න බැහැ. තමන්ගේම ප්‍රමිතියට අනුව කටයුතු කරන්න ලොකු කැප කිරීමක් කරපු දෙවියන් තමන්ගේම පුතාව පරිත්‍යාග කළා. එහෙම කළේ ඔහුගේ ප්‍රේමය හා කරුණාව නිසයි.—රෝම 5:6-8.

යේසුස් වගේම අනිත් අයත් මරණයෙන් නැවත නැඟිටිනවා

“නමුත් ක්‍රිස්තුස්ව දැන් මරණයෙන් නැඟිටුවා අවසන්ය. මිය ගිය අය අතරින් මුලින්ම නැඟිටුවනු ලැබුවේ ඔහුවය. මරණය පැමිණියේ එක් මිනිසෙකු මාර්ගයෙනි. එලෙසම එක් මිනිසෙකු මාර්ගයෙන් මිය ගිය අයගේ නැවත නැඟිටීමද සිදු වේ. ඇත්තෙන්ම ආදම් නිසා සියලුදෙනාම මිය යති. නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ.”—1 කොරින්ති 15:20-22.

යේසුස් ජීවත් වෙලා මිය ගියා කියන එක ගැන කිසිම සැකයක් නැහැ. නමුත් ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා කියලා කියන්න පුළුවන් සාක්ෂි තියෙනවාද? ඔව්. ප්‍රධානම සාක්ෂිය තමයි, නැවත නැඟිට්ට යේසුස් කීපදෙනෙක් ඉදිරියේ තැන් කීපයකදීම පෙනී හිටියා කියන එක. එක වතාවක 500දෙනෙක්ට වැඩි පිරිසක් ඉදිරියේ ඔහු පෙනී හිටියා. පාවුල් කොරින්තිවරුන්ට ලියපු ලිපියේ ඒ ගැන සඳහන් කළා. ඔහු කිව්වේ, ඒ සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලයි. අහපු දැකපු දේවල් ගැන සාක්ෂි දරන්නත් ඒ අයට පුළුවන්කම තිබුණා.—1 කොරින්ති 15:3-8.

“මුලින්ම නැඟිටුවනු ලැබුවේ ඔහුව” කියන එකෙන් පාවුල් ඇඟෙව්වේ යේසුස්ට පස්සෙත් තවත් අය නැවත නැඟිටුවනවා කියලයි. ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනා නැවත නැඟිටීමක් ලබනවා’ කියලා යේසුස් කිව්වේ ඒ නිසයි.—යොහන් 5:28, 29.

සදාකාල ජීවනය ලබාගන්න අපි යේසුස්ව විශ්වාස කරන්න ඕනේ

“දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16.

බයිබලයේ මුල් පිටුවල පාරාදීසය අහිමි වුණ හැටිත් මිනිසුන්ට මරණය අත් වුණ හැටිත් පෙන්වනවා. අන්තිම පිටුවල ඒ පාරාදීස පොළොව නැවත ලබා දෙන හැටිත් මරණය නැති කරන හැටිත් පෙන්වනවා. එදාට සන්තෝෂයෙන් සදහටම ජීවත් වෙන්න මිනිසුන්ට පුළුවන්. ඒ වගේම ‘මරණය තවත් නොවන්නේය’ කියලත් බයිබලයේ කියනවා. ඒ පොරොන්දුව සහතික කරන්න “එම වදන් විශ්වාසවන්තය, සැබෑය” කියලත් කියනවා. (එළිදරව් 21:4, 5) ඒකෙන් පේන්නේ යම් පොරොන්දුවක් දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම ඉටු කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියලයි.

“එම වදන් විශ්වාසවන්තය, සැබෑය” කියලා විශ්වාස කරන්න ඔබට පුළුවන්ද? යේසුස් ගැන තව හුඟක් දේවල් ඉගෙනගත්තොත් ඔහු කෙරෙහි විශ්වාසය තියන්න පුළුවන් වෙයි. එහෙම කළොත් යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය ඔබට ලැබෙයි. එතකොට දැන් ඔහුගෙන් ආශීර්වාද ලැබෙනවා විතරක් නෙමෙයි අනාගතයේදී සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති කරගන්නත් පුළුවන්. මේ පොළොව පාරාදීසයක් වුණ දාට ‘මරණයත් වැලපීමත් හැඬීමත් වේදනාවත්’ ඇති වෙන්නේ නැහැ.