Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මෑත කාලවලදී අපේ ප්‍රකාශනවල සමහර බයිබල් චරිතවලින්, සිද්ධීන්වලින් නියෝජනය වෙන දේ නැත්නම් ඒවායේ දෙවෙනි ඉටු වීම ගැන අඩුවෙන් සඳහන් වෙන්නේ ඇයි?

බයිබලේ සඳහන් පුද්ගලයන්ගෙන්, සිද්ධීන්වලින් සහ භාණ්ඩවලින් අනාගතයේ යම් දේවල් නියෝජනය වෙන්න පුළුවන් කියලා 1950 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ කලාපයේ සඳහන් වුණා. දෙබොරා, එලිහු, යෙප්තා, යෝබ්, රාහබ්, රෙබෙකා සහ ඒ වගේ විශ්වාසවන්ත තව හුඟදෙනෙකුගෙන් අභිෂේක ලත් අය නැත්නම් මහත් සමූහය නියෝජනය වෙනවා කියලා අපේ ප්‍රකාශනවල කලින් පැහැදිලි කරලා තියෙනවා. (එළි. 7:9) ඒත් මෑත කාලවලදී ඒ වගේ පැහැදිලි කිරීම් අපි කරලා නැහැ. ඒ ඇයි?

ඇත්ත, සමහර අයගෙන්, සිද්ධීන්වලින් යම් දේවල් නියෝජනය වෙනවා කියලා බයිබලේම සඳහන් වෙනවා. උදාහරණෙකට “සංකේතවත් අර්ථයක්” තියෙන සිද්ධියක් ගැන ගලාති 4:21-31 දක්වා පාවුල් කතා කරනවා. ඒ සිද්ධියේ ඉන්න පළවෙනි ස්ත්‍රිය ආබ්‍රහම්ගේ සේවිකාව වුණු හාගර්. පාවුල් විස්තර කළේ යෙහෝවා දෙවි එක්ක නීතිය මාර්ගයෙන් බැඳී හිටපු ඊශ්‍රායෙල් ජාතිය හාගර්ගෙන් නියෝජනය වෙනවා කියලයි. එතන සඳහන් දෙවෙනි ස්ත්‍රිය ඒ කියන්නේ “නිදහස් ස්ත්‍රිය” වුණේ ආබ්‍රහම්ගේ බිරිඳ වුණු සාරා. ඇගෙන් යෙහෝවා දෙවිගේ භාර්යාව ඒ කියන්නේ දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස නියෝජනය වෙනවා. ඒ වගේම රජ කෙනෙකු සහ පූජකයෙකු විදිහට සේවය කරපු ‘මෙල්කිසදෙක්ගෙන්’ යේසුස්ව නියෝජනය වෙනවා කියලා කියපු පාවුල්, ඒ දෙන්නා අතරේ තියෙන සමානකම් කීපයක් ගැනත් සඳහන් කළා. (හෙබ්‍රෙ. 6:20; 7:1-3) ඊට අමතරව යෙසායාගෙන් සහ ඔහුගේ පුත්‍රයන්ගෙන් යේසුස්ව සහ අභිෂේක ලත් අයව නියෝජනය වෙනවා කියලත් ඔහු කිව්වා. (හෙබ්‍රෙ. 2:13, 14) පාවුල් ඒ පැහැදිලි කිරීම් කළේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන්. ඒ නිසා ඒ සිද්ධීන්වලින් නියෝජනය වෙන දේවල් ගැන අපිට සැකයක් නැහැ.

පාස්කු පූජාවට සූදානම් කරපු බැටළුවාගෙන් යමක් නියෝජනය වුණා.ගණන්. 9:2

‘පාස්කු යාගයෙන්’ නියෝජනය වුණේ ක්‍රිස්තුස් කියලා පාවුල් කිව්වා.1 කොරි. 5:7

බයිබලේ සඳහන් කෙනෙක්ගෙන් අනාගතයේ තවත් කෙනෙක්ව නියෝජනය කළත් ඒ කෙනාට සම්බන්ධ හැම දේකින්ම යමක් නියෝජනය වෙනවා කියලා කියන්න බැහැ. උදාහරණෙකට මෙල්කිසදෙක්ගෙන් යේසුස්ව නියෝජනය වෙනවා කියලා පාවුල් කිව්වට ආබ්‍රහම් රජවරු හතරදෙනෙකුව පරාජය කරපු වෙලාවේ මෙල්කිසදෙක් ඔහුට රොටි සහ වයින් ගෙනත් දීපු සිද්ධිය ගැන පාවුල් මුකුත් සඳහන් කරලා නැහැ. ඒ නිසා ඒ සිද්ධියෙන් යමක් නියෝජනය වෙනවා කියලා කියන්න බයිබලේ කිසිම පදනමක් නැහැ.උත්. 14:1, 18.

යේසුස්ගේ මරණයෙන් පස්සේ ගත වුණු සියවස් කීපය තුළ හිටපු ලේඛකයන් හුඟදෙනෙක් කිසිම පදනමක් නැතුව බයිබලේ තියෙන හැම සිද්ධියකටම වගේ දෙවෙනි ඉටු වීමක් තියෙනවා කියලා කියන්න පටන්ගත්තා. එක පොතක ඔරිගන්, ඇම්බ්‍රෝස් සහ ජෙරොම්ගේ ඉගැන්වීම් ගැන මෙහෙම සඳහන් වෙනවා. “බයිබලේ සඳහන් හැම පොඩි සිද්ධියකින්ම යමක් නියෝජනය වෙනවා කියලා හිතපු ඔවුන් ඒ ගැන හොයන්න ගත්තා. සරල, සාමාන්‍ය දෙයක් හැටියට පේන්න තියෙන සිද්ධීන්වලිනුත් යම් ගැඹුරු කාරණා නියෝජනය වෙන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කළා. ඔවුන් කොයි තරම් අන්තයට ගියාද කියනවා නම් නැවත නැඟිටවපු ගැලවුම්කරු ගෝලයන්ව හමු වෙන්න ආපු රාත්‍රියේ අල්ලපු මාළු 153දෙනාගෙන් නියෝජනය වෙන දේ හොයන්න ඔවුන් හුඟක් වෙහෙසුණා.”The International Standard Bible Encyclopaedia.

යේසුස් පිරිමි 5,000කට කන්න දෙන්න යොදාගත්ත බාර්ලි රොටි 5න් සහ මාළු දෙන්නගෙන් යමක් නියෝජනය වෙනවා කියලා හිපෝහි ඔගස්ටින් කියන පූජකයා කිව්වා. බාර්ලි රොටි 5න් බයිබලේ පළවෙනි පොත් 5 නියෝජනය වෙනවා කියලත් තිරිඟුවලට වඩා බාර්ලි වටිනාකමින් අඩු නිසා පරණ ගිවිසුම අලුත් ගිවිසුමට වඩා වටිනාකමින් අඩුයි කියලත් ඔහු සඳහන් කළා. ඒ වගේම මාළු දෙන්නගෙන් රජ කෙනෙක් සහ පූජකයෙක් නියෝජනය වෙනවා කියලත් ඔහු කිව්වා. යාකොබ් ඒසව්ට රතු පාට ව්‍යංජනය දීලා කුලුඳුල්කම මිලට ගත්තා වගේ යේසුස් තමන්ගේ රුධිරය දීලා මිනිසුන්ට ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලබා දුන්නා කියලා තවත් විශාරදයෙක් කිව්වා.

ඒ පැහැදිලි කිරීම් විශ්වාස කරන්න අමාරු ඇයි කියලා තේරෙනවද? ඒකට හේතුව බයිබලේ සඳහන් සිද්ධීන්වලින් දෙවෙනි ඉටු වීමක් තියෙන්නේ මොන සිද්ධීන්වලටද නැත්තේ මොන ඒවාටද කියලා තේරුම්ගන්න මිනිසුන්ට අමාරු නිසයි. ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි යම් කෙනෙක්ගෙන්, සිද්ධියකින්, භාණ්ඩයකින් යම් දෙයක් නියෝජනය වෙනවා කියලා බයිබලේම සඳහන් වෙනවා නම් ඒක පිළිගන්න එක. ඒත් එහෙම දෙයක් බයිබලේ සඳහන් වෙන්නේ නැත්නම් අපි යම් තීරණවලට එන එක වැරදියි.

එහෙමනම් බයිබලේ සඳහන් වෙන විවිධ වාර්තා අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඒ ගැන පාවුල් මෙහෙම කිව්වා. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.” (රෝම 15:4) පළවෙනි සියවසේ හිටපු අභිෂේක ලත් අයට පාවුල් ඒකෙන් මතක් කරලා දුන්නේ බයිබලේ තියෙන වාර්තාවලින් එයාලට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන් කියලයි. ඒත් ඒවාවලින් ප්‍රයෝජන ලැබුවේ ඒ අය විතරක් නෙමෙයි. එදා ඉඳලා මේ දක්වා හැම ක්‍රිස්තියානියෙක්ම ඒ කියන්නේ අභිෂේක ලත් අය වගේම වෙනත් බැටළුවනුත් ප්‍රයෝජන ලබලා තියෙනවා.යොහ. 10:16; 2 තිමෝ. 3:1.

බයිබලේ තියෙන යම් වාර්තාවක් අදාළ වෙන්නේ අභිෂේක ලත් අයට විතරයි එහෙම නැත්නම් වෙනත් බැටළුවන්ට විතරයි කියලා අපි හිතන්න හොඳ නැහැ. ඒ වෙනුවට ඕනම කාලෙක ජීවත් වෙන දෙවිගේ හැම සේවකයෙකුටම ඒ තොරතුරුවලින් වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. උදාහරණෙකට යෝබ් වගේ පීඩා විඳදරාගෙන තියෙන්නේ පළවෙනි ලෝක මහා යුද්ධ කාලේ හිටපු අභිෂේක ලත් අය විතරක් නෙමෙයි. මේ කාලෙදීත් අභිෂේක ලත් අය වගේම මහත් සමූහයට අයිති හුඟදෙනෙකුත් බොහෝ පීඩාවලට මුහුණ දෙනවා. යෝබ් ගැන සඳහන් වාර්තා අධ්‍යයනය කරන එකෙන් ඒ අය ලොකු සැනසිල්ලක් ලබලා තියෙනවා. යෙහෝවා දෙවි පීඩා විඳදරාගන්න අයට ආශීර්වාද කරන ආකාරයත් ඔහු “ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙකු” කියලත් ඔවුන් අද්දැකලා තියෙනවා.යාකො. 5:11.

දෙබොරා වගේ විශ්වාසවන්තව සේවය කරන වැඩිහිටි සහෝදරියන් අද අපේ සභාවලත් ඉන්නවා. එලිහු වගේ අවබෝධයෙන් වැඩ කරන තරුණ වැඩිමහල්ලන්, යෙප්තා වගේ උනන්දුවෙන්, නිර්භීතව සේවය කරන පුරෝගාමීන් කොයි තරම් නම් අපි අතරේ ඉන්නවද! යෝබ් වගේ ඉවසීමෙන් වැඩ කරන සහෝදර සහෝදරියන් අදත් ඉන්නවා. “අතීතයේ ශුද්ධ ලියවිලිවල ලියා තිබෙන සෑම දෙයක්ම” දෙවි අපි වෙනුවෙන් ආරක්ෂා කරපු එක ගැන අපි මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද! ‘ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලක් අද්දකින්නත් බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත්’ අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි.

ඒ හේතු නිසා අපේ ප්‍රකාශනවල බයිබල් සිද්ධීන්වලින් නියෝජනය වෙන දේ නැත්නම් ඒවායේ දෙවෙනි ඉටු වීම ගැන පැහැදිලි කරනවා වෙනුවට ඒ වාර්තාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම් ගැන නිතර කතා කරනවා.