Skip to content

පටුනට යන්න

යේසුස්ගේ සහෝදරයන්ට සම්පූර්ණ සහයෝගය දෙමු

යේසුස්ගේ සහෝදරයන්ට සම්පූර්ණ සහයෝගය දෙමු

“මගේ මේ සහෝදරයන් අතරින් සුළුම තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.”මතෙ. 25:40.

1, 2. (අ) යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්ව උපමා මොනවද? (ආ) එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන උපමාව ගැන අපි දැනගන්න ඕනෙ මොනවද?

විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ගැන, අවිවාහක තරුණියන් දහදෙනා ගැන සහ තලෙන්ත ගැන උපමා යේසුස් කියලා ඉවර වුණා විතරයි. ඔහු ළඟට වෙලා ඒ උපමා අහගෙන හිටපු ගෝලයන්ට ඔහු තවත් වැදගත් කාරණාවක් කියනවා. ඒ තමයි “සියලු ජාතීන්” විනිශ්චය කරන්න “මනුෂ්‍ය පුත්‍රයා” එන කාලය ගැන. යේසුස් එදා කියපු අන්තිම උපමාව කියන්නේ ඊටපස්සෙයි. ඒ උපමාවේ හැටියට “මනුෂ්‍ය පුත්‍රයා” ඇවිත් මිනිසුන්ව කණ්ඩායම් දෙකකට බෙදනවා. ඔහු ඒ එක කණ්ඩායමක් බැටළුවන් විදිහටත් අනිත් කණ්ඩායම එළුවන් විදිහටත් හඳුන්වනවා. ඔය අතරේ තුන්වෙනි කණ්ඩායමක් ගැනත් ඔහු කියනවා. ඒ තමයි රජුගේ “සහෝදරයන්.”මතෙව් 25:31-46 කියවන්න.

2 එදා හිටපු යේසුස්ගේ නියෝජිතයන් වගේම අද ඉන්න යෙහෝවා දෙවිගේ සේවකයනුත් ඒ උපමාව ගැන හුඟක් උනන්දු වෙනවා. මොකද මිනිසුන්ගේ ජීවිතය සහ මරණය රඳා පවතින කාරණයක් ගැන එතන කතා කරන නිසා. සමහරුන්ට සදාකාල ජීවිතයත් අනිත් අයට විනාශයත් ලැබෙන්න හේතු වෙන දෙයක් ගැන යේසුස් ඒ උපමාවේ කියනවා. ඒ නිසා ඒ උපමාව නිවැරදිව තේරුම්ගන්න එක වැදගත්. ඒකට උදව් වෙන ප්‍රශ්න කීපයකට උත්තර අපි මේ ලිපියෙන් බලමු. මේ උපමාව ගැන අපිට තිබුණු අවබෝධය යෙහෝවා දෙවි තවත් පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? මේ උපමාවෙන් කාවද්දන්නේ දේශනා සේවය ගැන කියලා අපි දන්නේ කොහොමද? දේශනා කරන්න ඕනෙ කවුද? රජුටත් ඔහුගේ සහෝදරයන්ටත් සම්පූර්ණ සහය දෙන එක මේ කාලෙදී අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ ඇයි?

උපමාව ගැන තිබුණු අවබෝධය දෙවි තවත් පැහැදිලි කළේ කොහොමද?

3, 4. (අ) බැටළුවන් සහ එළුවන් ගැන උපමාව තේරුම්ගන්න නම් අපි දැනගන්න ඕනෙ දේවල් මොනවද? (ආ) 1881 ‘මුරටැඹ’ සඟරාවක මේ උපමාව පැහැදිලි කළේ කොහොමද?

3 බැටළුවන් සහ එළුවන් ගැන උපමාව තේරුම්ගන්න නම් අපි දේවල් 3ක් ගැන දැනගන්න ඕනේ. (1) “මනුෂ්‍ය පුත්‍රයා” නැත්නම් “රජ” කියන්නෙත් බැටළුවන් සහ එළුවන් කියන්නෙත් රජුගේ “සහෝදරයන්” කියන්නෙත් කාටද? (2) “මනුෂ්‍ය පුත්‍රයා” එළුවන්ගෙන් බැටළුවන්ව වෙන් කරන්නේ කවදද? (3) සමහරුන්ව බැටළුවන් කියලත් අනිත් අයව එළුවන් කියලත් හඳුන්වන්නේ ඇයි?

4 1881 පළ වුණු ‘මුරටැඹ’ සඟරාවක සඳහන් වුණේ “මනුෂ්‍ය පුත්‍රයා” නැත්නම් “රජ” කියන්නේ යේසුස් කියලයි. රජුගේ සහෝදරයන්ගෙන් අදහස් කළේ යේසුස් එක්ක ස්වර්ගයේ පාලනයට හවුල් වෙන අය වගේම ඒ පාලනය යටතේ පොළොවේ ජීවත් වෙන සියලුම පරිපූර්ණ අය කියලයි. එළුවන්ගෙන් බැටළුවන්ව වෙන් කරන්නේ දහස් අවුරුදු පාලනයේදී කියලත් හැම කාරණයකදීම දෙවිගේ ප්‍රේමය අනුකරණය කරන අයව බැටළුවන් විදිහට හඳුන්වයි කියලත් ඒ සඟරාවේ විස්තර කළා.

5. 1923දී උපමාව ගැන තිබුණු අවබෝධය තවත් පැහැදිලි වුණේ කොහොමද?

5 කාලයක් යද්දී උපමාව තවත් හොඳට අවබෝධ කරගන්න යෙහෝවා දෙවි උදව් කළා. 1923 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ ඒ ගැන පැහැදිලි කරලා තිබුණා. ඒ සඟරාවෙත් සඳහන් වුණේ “මනුෂ්‍ය පුත්‍රයා” කියන්නේ යේසුස්ට කියලයි. ඒත් රජුගේ සහෝදරයන්ගෙන් නියෝජනය වෙන්නේ කාවද කියන දේ බයිබල් පදවලින් තවත් පැහැදිලි වෙලා තියෙන්නේ කොහොමද කියලා ඒ සඟරාවේ විස්තර කළා. ඒ අනුව සහෝදරයන් කියන්නේ යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන අයට විතරයි කියලත් දහස් අවුරුදු පාලන කාලෙදී ඔවුන් සියලුදෙනාම ඉන්නේ ස්වර්ගයේ කියලත් සඟරාවේ සඳහන් වුණා. බැටළුවන් කියන්නේ යේසුස් සහ ඔහුගේ සහෝදරයන්ගේ පාලනය යටතේ පොළොවේ ජීවත් වෙන අයට කියලත් ඒ ලිපියේ විස්තර කළා. ඒ අය යේසුස්ගේ සහෝදරයන්ට උදව් කරනවා කියලා උපමාවේ කියන නිසා එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන කාර්යය නැත්නම් විනිශ්චය කරන කාර්යය සිද්ධ වෙන්න ඕනෙ දහස් අවුරුදු පාලනයට කලින් අභිෂේක ලත් අය පොළොවේ ඉන්න කාලෙදිමයි කියලත් එතන විස්තර කළා. ඒ වගේම යේසුස්ව විශ්වාස කරන සහ මිනිසුන්ට හොඳ ජීවිතයක් ලබා දෙන්නේ දේවරාජ්‍යයෙන් කියලා විශ්වාස කරන අයව බැටළුවන් විදිහට සලකනවා කියලත් ඒ සඟරාවේ කිව්වා.

6. 1995දී උපමාව ගැන අපිට තිබුණු අවබෝධය තවත් පැහැදිලි වුණේ කොහොමද?

6 අවුරුදු ගාණක්ම යන කල් අපි හිතුවේ එළුවන්ගෙන් බැටළුවන්ව වෙන් කරන කාර්යය නැත්නම් මිනිසුන්ව විනිශ්චය කරන කාර්යය වෙන්නේ මේ අවසාන දවස්වල සිද්ධ වෙන දේශනා කිරීමේ කාර්යයෙන් කියලයි. ශුභාරංචිය පිළිගන්න අය බැටළුවන් කියලත් ප්‍රතික්ෂේප කරන අය එළුවන් කියලත් අපි හිතුවා. ඒත් 1995දී ඒ උපමාව ගැන අපිට තිබුණු අවබෝධය තවත් පැහැදිලි වුණා. ඒ අවුරුද්දේ පළ වුණු ‘මුරටැඹ’ සඟරාවකින් මතෙව් 24:29-31ත් (කියවන්න.) මතෙව් 25:31, 32ත් (කියවන්න.) අතර තියෙන සමානකම් ගැන සඳහන් කරලා ඒකෙන් පැහැදිලි වෙන දේ ගැන විස්තර කළා. ඒ තමයි යේසුස් මිනිසුන්ව විනිශ්චය කරන්නේ ‘මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් එන අවස්ථාවේදී’ කියන දේ. ඒ කියන්නේ මහත් පීඩාව අතරතුර කාලෙදී කියන දේ. *

7. දැන් උපමාව අපි තේරුම් අරන් තියෙන්නේ කොහොමද?

7 එළුවන්ගෙන් බැටළුවන්ව වෙන් කරන උපමාව ගැන දැන් අපිට හොඳ අවබෝධයක් තියෙනවා. “මනුෂ්‍ය පුත්‍රයා” නැත්නම් රජ කියන්නේ යේසුස්ට. රජුගේ “සහෝදරයන්” කියන්නේ ඉදිරියේදී යේසුස් එක්ක රජකම් කරන, දෙවිගේ බලයෙන් අභිෂේක කරපු අයටයි. (රෝම 8:16, 17) බැටළුවන් සහ එළුවන් කියන්නේ සියලු ජාතීන්ට අයත් මිනිසුන්. ඔවුන්ට අභිෂේක ලත් අය අයත් වෙන්නේ නැහැ. ඔවුන්ව විනිශ්චය කරන්නේ මහත් පීඩාව අවසන් වෙන්න කිට්ටුව. යේසුස් ඔවුන්ව විනිශ්චය කරන්නේ දැනට පොළොවේ ඉන්න ඔහුගේ අභිෂේක ලත් සහෝදරයන්ට සහයෝගය දුන්නද නැද්ද කියන කාරණය මතයි. ඒ උපමාවත් මතෙව් 24 සහ 25වෙනි පරිච්ඡේදවල තියෙන අනිත් උපමාත් පැහැදිලිව, සරලව තේරුම්ගන්න උදව් කරපු එක ගැන අපි යෙහෝවා දෙවිට කොයි තරම් ස්තුති කරන්න ඕනෙද!

උපමාවෙන් කාවද්දන්නේ දේශනා සේවයේ වැදගත්කමයි

8, 9. බැටළුවන්ව “ධර්මිෂ්ඨ” අය විදිහට හැඳින්නුවේ ඇයි?

8 බැටළුවන් සහ එළුවන් ගැන උපමාවේ යේසුස් දේශනා සේවය ගැන කෙළින්ම කිව්වේ නැහැ. එහෙමනම් උපමාවෙන් කාවද්දන්නේ දේශනා සේවයේ වැදගත්කමයි කියලා කියන්නේ කොහොමද?

9 ඒකට උත්තර දැනගන්න නම් අපි මතක තියාගන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි යේසුස් උපමා කිව්වේ යම් පාඩමක් උගන්වන්න කියන දේ. ඔහු එතනදී ඇත්ත බැටළුවන් ගැනවත් එළුවන් ගැනවත් කතා කළේ නැහැ. ඒ වගේම කෙනෙක්ව බැටළුවෙක් විදිහට සලකන්න නම් ඒ කෙනා අභිෂේක ලත් අයට කෑම, ඇඳුම් දෙන එක, ඒ අය අසනීප වුණාම බලාගන්න එක, හිරේ ඉද්දී බලන්න යන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ කියලා ඔහු අදහස් කළේ නැහැ. ඒ වෙනුවට යේසුස් බැටළුවන් වගේ අයව “ධර්මිෂ්ඨ” අය හැටියට හැඳින්නුවේ ඔවුන් අභිෂේක ලත් අයව යේසුස්ගේ සහෝදරයන් හැටියට පිළි අරන් මේ අසීරු අවසාන දවස්වලදී ඔවුන්ට සම්පූර්ණ සහය දෙන නිසයි.මතෙ. 10:40-42; 25:40, 46; 2 තිමෝ. 3:1-5.

10. යේසුස්ගේ සහෝදරයන්ට උදව් කරන්න බැටළුවන්ට පුළුවන් කොහොමද?

10 බැටළුවන් සහ එළුවන් ගැන උපමාවෙන් කාවද්දන්නේ දේශනා සේවයේ වැදගත්කමයි කියලා කියන්න තවත් හේතුවක් තියෙනවා. යේසුස් මේ උපමාව කියපු අවස්ථාව ගැන හිතන්න. ඔහු උපමාව කිව්වේ අවසාන දවස්වල සිද්ධ වෙන දේවල් ගැන කතා කරපු අවස්ථාවේදියි. (මතෙ. 24:3) උදාහරණෙකට උපමාව කියන්න කලින් “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි” කියලා ඔහු කිව්වා. (මතෙ. 24:14) ඔහු තලෙන්ත ගැන උපමාව කිව්වෙත් දේශනා කිරීමේ කාර්යයේ වෙහෙස මහන්සි වෙලා හවුල් වෙන්න ඕනෙ කියලා අභිෂේක ලත් අයට කියලා දෙන්නයි. එහෙමනම් බැටළුවන් සහ එළුවන් ගැන උපමාව කියද්දී යේසුස්ගේ මනසේ තිබුණේ මේ අවසාන දවස්වල සිද්ධ වෙන දේශනා සේවය ගැනයි කියලා පැහැදිලියි. ඒත් මේ වෙනකොට පොළොවේ ඉන්නේ අභිෂේක ලත් අය ටිකදෙනෙක් විතරයි. අවසානයට කලින් “සියලු ජාතීන්ට” දේශනා කරන එක විශාල කාර්යයක්. ඒක කරන්න ඔවුන්ට උදව් අවශ්‍යයි. උදව් කරන්න ඉන්නේ කවුද? බැටළුවන් සහ එළුවන් ගැන උපමාවේදී යේසුස් කියනවා බැටළුවන් ඔහුගේ සහෝදරයන්ට උදව් කරනවා කියලා. ඔවුන්ට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ ශුභාරංචිය දේශනා කරන කාර්යයට උදව් කරන එකයි. ඒත් ඒක කරන්න නම් සම්මාදම් දීලා නැත්නම් අභිෂේක ලත් අයව දිරිගන්වලා විතරක් ඇද්ද?

දේශනා කරන්න ඕනේ කවුද?

11. කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නයක්ද? ඒ ඇයි?

11 යේසුස් තලෙන්ත දුන්නේ අභිෂේක ලත් අයට විතරයි. (මතෙ. 25:14-18) එත් අද ඉන්න යේසුස්ගේ අනුගාමිකයන් මිලියන අටෙන් වැඩිදෙනෙක් අභිෂේක ලත් අය නෙමෙයි. යේසුස් ඒ අයට තලෙන්ත දුන්නේ නැති නිසා ඒ අය ශුභාරංචිය දේශනා කරන්න ඕනෙද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒකට උත්තර දැනගන්න උදව් වෙන කාරණා කීපයක් ගැන දැන් අපි බලමු.

12. මතෙව් 28:19, 20 යේසුස් කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

12 දේශනා කරන්න කියන අඥාව යේසුස් දුන්නේ ඔහුගේ සියලුම සේවකයන්ටයි. මිනිසුන්ට තමන්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලත් ඔහු “අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න” ඔවුන්ට උගන්වන්න කියලත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. යේසුස් අණ කරපු දේවලට ශුභාරංචිය දේශනා කරන එකත් ඇතුළත්. ඒ නිසා ඔහුගේ ගෝලයෙක් වෙන හැම කෙනෙක්ම දේශනා කරන එක අත්‍යවශ්‍ය දෙයක්. (මතෙව් 28:19, 20 කියවන්න.) අපේ බලාපොරොත්තුව පොළොවේ ජීවත් වෙන්න වුණත් ස්වර්ගයේ ජීවත් වෙන්න වුණත් අපි හැමෝම දේශනා කරන්න ඕනෙ කියලා ඒකෙන් පැහැදිලියි.—ක්‍රියා 10:42.

13. එළිදරව් පොතේ සඳහන් දර්ශනයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

13 අභිෂේක ලත් අය වගේම අනිත් අයත් දේශනා කිරීමේ කාර්යය කරනවා කියලා එළිදරව් පොතේ තියෙන දර්ශනයකින් පැහැදිලි වෙනවා. “එන්න” ඇවිත් ජීවනදායක වතුර බොන්න කියලා මිනිසුන්ට ආරාධනා කරන මනාලියක් ගැන දර්ශනයක් එළිදරව් පොතේ සඳහන් වෙනවා. ඒ මනාලිය තමයි යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන 1,44,000දෙනා. (එළි. 14:1, 3; 22:17) ජීවනදායක වතුරවලින් අදහස් කළේ පාපයෙන් සහ මරණයෙන් නිදහස් වුණු ජීවිතයක් ගත කරන්න මිනිසුන්ට අවස්ථාව දෙන යේසුස්ගේ ජීවිත පූජාවයි. (මතෙ. 20:28; යොහ. 3:16; 1 යොහ. 4:9, 10) යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලත් අභිෂේක ලත් අය මිනිසුන්ට කියලා දෙනවා. (1 කොරි. 1:23) ඒ දර්ශනයේ මනාලියට අයිති නැති පිරිසක් ගැන කතා කරනවා. ඒ අය තමයි පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුව තියෙන අය. මිනිසුන්ට “එන්න” කියලා කියන්න ඔවුන්ටත් අණ කරලා තියෙනවා. ඔවුන් ඒ අණට කීකරු වෙන්නේ ශුභාරංචිය ගැන අනිත් අයට කියලා දීලා. එහෙමනම් ශුභාරංචිය පිළිගන්න හැමෝම තවත් අයට දේශනා කරන්න ඕනෙ කියලා ඒ දර්ශනයෙනුත් පැහැදිලියි.

14. අපි “ක්‍රිස්තුස්ගේ නීතියට” කීකරු වෙන්නේ කොහොමද?

14 “ක්‍රිස්තුස්ගේ නීතියට” කීකරු වෙන හැමෝම දේශනා කරන්න ඕනේ. (ගලා. 6:2) යෙහෝවා දෙවි ඔහුට නමස්කාර කරන හැමෝමට දීලා තියෙන්නේ එකම නීති මාලාවක්. ඊශ්‍රායෙල්වරුන්ට එක නීතියකුත් ඔවුන් එක්ක හිටපු විදේශිකයන්ට තව නීතියකුත් තිබුණේ නැහැ. ඔවුන් දෙගොල්ලන්ම පිළිපැද්දේ එකම නීතියයි. (නික්. 12:49; ලෙවී. 24:22) අදත් එහෙමයි. එදා ඊශ්‍රායෙල්වරුන්ට දුන්න හැම නීතියකටම අද අපි කීකරු වෙන්න ඕනෙ කියලා දෙවි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් අපි අභිෂේක ලත් අය වුණත් නැතත් අපි හැමෝම “ක්‍රිස්තුස්ගේ නීතියට” කීකරු වෙයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. ක්‍රිස්තුස්ගේ නීතියට අයිති ප්‍රධානම දේ ප්‍රේමයයි. (යොහ. 13:35; යාකො. 2:8) අපි යෙහෝවා දෙවිටත් යේසුස්ටත් අනිත් මිනිසුන්ටත් ආදරේ කරන එක අත්‍යවශ්‍යම දෙයක්. ඒක කරන්න පුළුවන් හොඳම විදිහ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන එකයි.යොහ. 15:10; ක්‍රියා 1:8.

15. දේශනා කරන්න කියලා යේසුස් දුන්න ආඥාව ඔහුගේ හැම අනුගාමිකයෙක්ටම අදාළයි කියලා අපි දන්නේ කොහොමද?

15 යේසුස් තමන්ගේ අනුගාමිකයන් කීපදෙනෙකුට කියපු දෙයක් අනිත් අනුගාමිකයන්ටත් අදාළ වෙන අවස්ථා තියෙනවා. උදාහරණෙකට තමන් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න අවස්ථාව දෙනවා කියලා යේසුස් ගිවිසුමක් ඇති කරගත්ත වෙලාවේ එතන හිටියේ ඔහුගේ නියෝජිතයන් 11දෙනා විතරක් වුණත් ඒ ගිවිසුම අභිෂේක ලත් 1,44,000දෙනාටම අදාළයි. (ලූක් 22:29, 30; එළි. 5:10; 7:4-8) ඒ වගේම දේශනා කරන්න කියන ආඥාව යේසුස් දෙද්දී එතන හිටියේ ඔහුගේ අනුගාමිකයන් ටිකදෙනෙක් විතරයි. (ක්‍රියා 10:40-42; 1 කොරි. 15:6) ඒත් පළවෙනි සියවසේ හිටපු ඔහුගේ හැම අනුගාමිකයෙක්ම ඒ ආඥාව තමන්ටත් අදාළයි කියලා තේරුම් අරන් ඒකට කීකරු වෙලා දේශනා සේවයේ හවුල් වුණා. (ක්‍රියා 8:4; 1 පේතෘ. 1:8) දේශනා සේවයේ හවුල් වෙන එක අනිවාර්යය දෙයක් කියලා තේරුම්ගත්ත මිලියන අටක සෙනඟක් දැන් මේ සේවයේ හවුල් වෙනවා. ඒ කිසි කෙනෙකුට දේශනා කරන්න කියලා යේසුස් දුන්න ආඥාව ඇහිලා නැහැ. ඒත් ඔවුන් ඒක කරන්නේ යේසුස් ගැන ඔවුන් තුළ තියෙන විශ්වාසය නිසයි. ඒ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න ඔවුන් තුළ තියෙන කැමැත්ත නිසයි.යාකො. 2:18.

සහයෝගය දෙන්න කාලය දැනුයි

16-18. යේසුස්ගේ සහෝදරයන්ට සම්පූර්ණ සහය දෙන්න අපිට පුළුවන් කොහොමද? ඒකට කාලය දැනුයි කියලා කියන්නේ ඇයි?

16 තමන්ට ඉතුරු වෙලා තියෙන්නේ “ඉතා කෙටි කාල පරිච්ඡේදයක්” කියලා සාතන් දන්නවා. ඒ නිසා පොළොවේ ඉන්න යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් එක්ක කරන සටන ඔහු තවත් වැඩි කරලයි තියෙන්නේ. (එළි. 12:9, 12, 17) සාතන්ගෙන් මොන ප්‍රහාර එල්ල වුණත් අභිෂේක ලත් අය දිගටම දේශනා කිරීමේ කාර්යයේ මූලිකත්වය අරන් වැඩ කරනවා. ඒ නිසා වෙන කවරදාකටත් වඩා වැඩිදෙනෙක්ට දැන් ශුභාරංචිය අහන්න ලැබෙනවා. ඒකෙන් පේන්නේ යේසුස් අභිෂේක ලත් අය එක්කම ඉඳන් ඔවුන්ට මඟ පෙන්වනවා කියන එක නේද?මතෙ. 28:20.

17 දේශනා කරන්න අභිෂේක ලත් අයට සහය දෙන්න ලැබුණු අවස්ථාව වරප්‍රසාදයක් විදිහටයි අපි සලකන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ කාර්යයට ඕන කරන මුදල් සම්මාදම් කරන එකෙනුත් නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා, ශාඛා කාර්යාල ඉදි කරන්න හවුල් වෙන එකෙනුත් අපි කරන්නේ අභිෂේක ලත් අයට උදව් කරන එකයි. ඒ වගේම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” පත් කරලා තියෙන සහෝදරයන්ට කීකරු වෙන එකෙන් අපි පෙන්නන්නේ යේසුස්ගේ සහෝදරයන්ට සහය දෙන්න අපි තුළ තියෙන කැමැත්තයි.මතෙ. 24:45-47; හෙබ්‍රෙ. 13:17.

යේසුස්ගේ සහෝදරයන්ට අපි විවිධ පැතිවලින් සහය දක්වනවා (17 ඡේදය බලන්න)

18 ළඟදීම පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයට අවසන් මුද්‍රාව ලැබෙනවා. ඊටපස්සේ දේවදූතයන් “පොළොවේ සතරදිග සුළං” මුදාහරිනවත් එක්කම මහත් පීඩාව ආරම්භ වෙනවා. (එළි. 7:1-3) මහත් පීඩාව අතරතුර හර්–මගෙදොන් යුද්ධයට කලින් යේසුස් ඇවිත් ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරගන්නවා. (මතෙ. 13:41-43) යේසුස් එන ඒ කාලෙදී ඔහු ඔයාවත් බැටළුවෙක් විදිහට සලකනවට ඔයා කැමතිද? එහෙමනම් යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ට කල් නොදමා සම්පූර්ණ සහයෝගය දෙන්න. ඒක කරන්න කාලය දැනුයි.

^ 6 ඡේ. මේ උපමාව ගැන වැඩි විස්තර දැනගන්න 1995 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ කලාපයේ “ඔබ විනිශ්චාසනය ඉදිරියේ සිටිනු ඇත්තේ කෙසේද?” සහ “බැටළුවන් සහ එළුවන් සඳහා ඇති අනාගතය කුමක්ද?” යන ලිපි බලන්න.