Skip to content

පටුනට යන්න

විවාහය ගැන දෙවි දුන්න නීතිය යල් පැනලද?

විවාහය ගැන දෙවි දුන්න නීතිය යල් පැනලද?

“මට ගැළපෙන කෙනෙක්ව සභාවෙන් නම් හොයාගන්න වෙන එකක් නෑ. මටත් වෙන්නේ ගෙදරටම නාකි වෙන්න.”

“සමහර සහෝදරයන්ට වඩා හොඳ ගතිගුණ පිට ඉන්න අයට තියෙනවා. එයාලා අපේ ආගමට විරුද්ධත් නෑ.”

සමහර තනිකඩ සාක්ෂිකරුවන් එහෙම කියනවා ඔයාටත් ඇහිලා ඇති. ඒත් දෙවිට සේවය කරන අය විවාහ වෙන්න ඕනෙ “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු” එක්ක විතරයි කියලා දෙවි දුන්න නීතිය ගැන ඒ අය නොදන්නවා නෙමෙයි. (1 කොරි. 7:39) එහෙමනම් කලින් කිව්වා වගේ දේවල් සමහරු කියන්නේ ඇයි?

හිතේ සැකයක් තියෙන්නේ ඇයි?

සමහරු එහෙම කියන්නේ සාක්ෂිකරුවන් අතරේ තනිකඩ සහෝදරයන්ට වඩා තනිකඩ සහෝදරියන් ඉන්නවා කියලා ඒ අය හිතන නිසයි. හුඟක් රටවල තත්වය ඒ වගේ තමයි. උදාහරණෙකට කොරියාවේ 57%ක් තනිකඩ සහෝදරියන් ඉද්දී තනිකඩ සහෝදරයන් ඉන්නේ 43%ක් විතරයි. කොලොම්බියාවේ සාක්ෂිකරුවන්ගෙන් 66%ක් සහෝදරියන්.

සමහර රටවල ඉන්න සහෝදරියන්ගේ දෙමාපියන් සාක්ෂිකරුවන් නෙමෙයි. ඒ අය තමන්ගේ දුවව විවාහ කරලා දෙන්න කැමති පොහොසත් කෙනෙකුටයි. සමහර සහෝදරයන්ට ඒ තරම් මුදල් නැහැ. ඒ නිසා විවාහ වෙන්න සභාවෙන් කෙනෙක්ව හොයාගන්න එක ලේසි නැහැ කියලා ඒ සහෝදරියන් හිතනවා. *

යෙහෝවා දෙවිව විශ්වාස කරන්න

ඒ අයට හිතුණු දේම ඔයාටත් හිතිලා තියෙනවද? බය වෙන්න එපා. ඔයා ඉන්න තත්වය ගැන, ඔයාට හැඟෙන විදිහ ගැන යෙහෝවා දෙවි දන්නවා.2 ලේක. 6:29, 30.

එහෙමනම් ඇයි බයිබලේ කියන්නේ දෙවිට සේවය කරන කෙනෙක් එක්කම විවාහ වෙන්න කියලා? දෙවි එහෙම කියන්නේ ඔයාට තියෙන ආදරේ නිසයි. ඔයාව රැකගන්නයි. පසුතැවෙන්න වෙන විදිහේ වැරදි තීරණ අරන් ඔයා දුක් විඳිනවා දකින්න දෙවි කැමති නැහැ. නෙහෙමියාගේ කාලේ හිටපු හුඟක් යුදෙව්වන් විවාහ වුණේ වෙනත් ජාතීන්වල ස්ත්‍රීන් එක්ක. ඒ නිසා නෙහෙමියා සලමොන් ගැන මතක් කරලා ඔවුන්ට මෙහෙම කිව්වා. ‘දෙවි සලමොන්ට බොහෝ සෙයින් ප්‍රේම කළා. දෙවි ඔහුව මුළු ඊශ්‍රායෙල් ජාතියේ රජු ලෙස පත් කළේ ඒ නිසයි. නමුත් ඔහුත් දෙවිට විරුද්ධව පව් කළා. ඒ දේ සිදු වුණේ ඔහුගේ විදේශීය භාර්යාවන්ගේ බලපෑම නිසයි.’ (නෙහෙ. 13:23-26) අපිට එහෙම දෙයක් වෙනවට යෙහෝවා දෙවි කැමති නැහැ. ඒ නිසයි ඔහු අපිට කියන්නේ ස්වාමීන්ගේ අනුගාමිකයෙක් එක්ක විතරක් විවාහ වෙන්න කියලා. (ගීතා. 19:7-10; යෙසා. 48:17, 18) අපිට ආදරෙන් උපදෙස්, මඟ පෙන්වීම් දෙන එක ගැන අපි දෙවිට ස්තුති කරන්න ඕනේ. අපිව පාලනය කරන්න අයිතිය තියෙන එකම තැනැත්තා විදිහට අපි ඔහුව පිළිගන්නවා නම් ඔහු දෙන ඕනම නීතියකට අපි කැමැත්තෙන්ම කීකරු වෙනවා.හිතෝ. 1:5.

දෙවිට ආදරේ නොකරන කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගන්න එක අඥාන දෙයක්. මොකද ඒ කෙනා නිසා ඔයා දෙවිගෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. (2 කොරි. 6:14) යෙහෝවා දෙවි දෙන අවවාදයක් කවදාවත් වරදින්නේ නැහැ. හුඟක් අය විවාහය ගැන දෙවි දීලා තියෙන නීතියට කීකරු වෙන්න තීරණය කරලා තියෙන්නේ ඒ නිසයි. ඒත් එහෙම නොකරන අයත් ඉන්නවා.

යල් පැනපු නීතියක්ද?

ඕස්ට්‍රේලියාවේ ඉන්න මැගි * කියන සහෝදරිය සභාවෙන් පිට කෙනෙක් එක්ක යාළු වුණා. “එයා එක්ක කාලය ගත කරපු නිසා මට රැස්වීම් හුඟක් අතපසු වුණා. ඒ නිසා දෙවි එක්ක මට තිබුණු බැඳීම බිංදුවටම බැස්සා” කියලා මැගි කියනවා. ඉන්දියාවේ ඉන්න රටානා බයිබලේ පාඩම් කරන්න පටන්ගත්ත එයාගේ පන්තියේ හිටපු පිරිමි ළමයෙක් එක්ක යාළු වුණා. ඒත් එයා බයිබලේ පාඩම් කරන්න අරන් තියෙන්නේ රටානා එක්ක යාළු වෙන්න ඕන වුණු නිසයි. අන්තිමට වුණේ ඒ පිරිමි ළමයාව බඳින්න තිබුණු වුවමනාව නිසා රටානා යෙහෝවා දෙවිව අත්හැරලා වෙන ආගමකට ගිය එකයි.

කැමරූන්වල ඉන්න න්ඩෙන්කේ දෙවිට සේවය නොකරපු කෙනෙක් එක්ක විවාහ වෙද්දී එයාට අවුරුදු 19යි. බඳින්න ඉස්සෙල්ලා ඒ තරුණයා පොරොන්දු වුණේ දිගටම එයාගේ ආගම අදහන්න එයාට ඉඩ දෙනවා කියලයි. ඒත් බැඳලා ගත වුණේ සති දෙකයි. තරුණයා එයාට කිව්වා රැස්වීම් යන එක නවත්තන්න කියලා. “මට ලොකු තනිකමක් දැනුණා. මං හුඟක් ඇඬුවා. මට දැනුණේ මගේ නිදහස නැති වෙලා මං හිර වුණා කියලා. මං ගත්ත තීරණය ගැන මං අදටත් දහස් වතාවක් පසුතැවෙනවා” කියලා න්ඩෙන්කේ කියනවා.

පිටින් බඳින හැම කෙනෙක්ම ඒ වගේ අමිහිරි අද්දැකීම්වලට මුහුණ දෙන්නේ නැහැ. සමහරවිට ඔයා විවාහ වුණු කෙනා දෙවිට සේවය නොකළත් කාරුණික, ඔයාට ආදරෙන් සලකන කෙනෙක් වෙන්න ඇති. ඒත් ඔයායි යෙහෝවා දෙවියි අතරේ තියෙන බැඳීම කලින් තරම්ම දැන් ශක්තිමත් කියලා ඔයා හිතනවද? ඔයාව සතුටින් තියන්න යෙහෝවා දෙවි දුන්න උපදෙසට ඔයා ඇහුම්කන් දුන්නේ නැහැනේ කියලා හිතෙද්දී ඔයාට කොහොමද දැනෙන්නේ? වැදගත්ම දේ ඔයා කරපු දේ ගැන යෙහෝවා දෙවිට කොහොම හැඟෙනවා ඇද්ද?හිතෝ. 1:33.

විවාහ වෙන කෙනා “අනිවාර්යයෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු විය යුතුයි” කියන නීතියට කීකරු වෙන්න ගත්ත තීරණය නිවැරදිම තීරණය කියලා ලෝකෙ පුරා ඉන්න සහෝදර සහෝදරියන් අද්දැකලා තියෙනවා. ජපානයේ ඉන්න මිචිකෝ කියන සහෝදරියගේ අධිෂ්ඨානය වුණෙත් දෙවිට සේවය කරන කෙනෙක් එක්ක විවාහ වෙන්නයි. එයාගේ නෑදෑයෝ සභාවෙන් පිට කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලා එයාට කොච්චර බලපෑම් කළත් එහෙම නොකර ඉන්න එයා අධිෂ්ඨානයක් ගත්තා. එයා තනිකඩව ඉද්දී සභාවේ ඉන්න එයාගේ යාළුවෝ විවාහ වෙනකොට එයාට පොඩි දුකක් දැනුණා. “ඒත් ඒ වෙලාවලදී මං මටම කියාගත්ත දෙයක් තියෙනවා. යෙහෝවා දෙවි ‘ප්‍රීතිමත් දෙවි’ කෙනෙක්. ඔහුට සේවය කරන අපේ, සතුට රැඳිලා තියෙන්නේ අපි විවාහ වෙලාද නැද්ද කියන කාරණය මත නෙමෙයි. ඒ වගේම අපේ හිතේ තියෙන ආසාවන් ඔහු දන්නවා. ඒ නිසා විවාහ වෙන්න ඕනකම තිබුණත් දෙවි ගැන විශ්වාසය තියලා ගැළපෙන කෙනෙක් හම්බ වෙන කල් තනිකඩව ඉන්න එකයි හොඳම දේ” කියලා මිචිකෝ කියනවා. (1 තිමෝ. 1:11) අන්තිමේදී මිචිකෝට ගැළපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න පුළුවන් වුණා. යෙහෝවා දෙවිගේ උපදෙසට කීකරු වුණු එක ගැන එයා ඉන්නේ හරිම සතුටින්.

ඔය අතරේ විවාහ වෙන්න ගැළපෙන කෙනෙක් හම්බ වෙන කල් බලාගෙන ඉන්න සහෝදරයොත් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ බිල් කියන සහෝදරයා කියන්නේ ඔහුගේ හිත සාක්ෂිකරුවන් නොවුණු තරුණියන්ට ඇදිලා ගිය වෙලාවලුත් තිබුණා කියලයි. ඒත් ඔහු ඒ කිසි කෙනෙක්ට කිට්ටු වුණේ නැහැ. මොකද “දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න” ඔහුට අධිෂ්ඨානයක් තිබුණා. ගෙවුණු කාලය ඇතුළත සහෝදරියන් කීපදෙනෙකුටත් ඔහුගේ හිත ඇදිලා ගියා. ඒත් ඒ අයට බිල් ගැන ඒ වගේ හැඟීමක් තිබිලා නැහැ. අවුරුදු 30කට පස්සේ තමයි ඔහුට තිබුණා වගේම ඉලක්ක තිබුණු සහෝදරියක් එක්ක ඔහු විවාහ වුණේ. “බලාගෙන හිටපු කාලය ගැන මට කිසිම දුකක් නෑ. මාත් එක්ක එකට සේවයේ යන්න, එකට බයිබලේ අධ්‍යයනය කරන්න, එකට දෙවිට නමස්කාර කරන්න කෙනෙක් ඉන්න එක කොච්චර ආශීර්වාදයක්ද! තවත් හොඳින් පවුල් ජීවිතේ ගත කරන්න බයිබලේ තියෙන ප්‍රතිපත්ති අපි අදාළ කරගන්නේ සතුටින්.”

බලාගෙන ඉන්න අතරතුරේ

දෙවිට නමස්කාර කරන සැමියෙක්, බිරිඳක් හම්බ වෙන කල් බලාගෙන ඉන්න අතරේ ඔයාට කරන්න පුළුවන් මොනවද? ඉස්සෙල්ලම ඔයා විවාහ නොවී බලන් ඉන්නේ ඇයි කියන දේ ගැන හොඳට හිතන්න. එහෙම ඉන්නේ යෙහෝවා දෙවිට කීකරු වෙන්න තියෙන ආසාව නිසා නම් දෙවි අනිවාර්යයෙන්ම ඔයා ගැන සතුටු වෙනවා. (1 සාමු. 15:22; හිතෝ. 27:11) ඒ අතරේ දිගටම දෙවිට යාච්ඤා කරලා ඔයාට හැඟෙන දේ කියන්න. (ගීතා. 62:8) වැරදි ආසාවන් එද්දී ඒවා පරාජය කරන්න ඔයා කරන සටන නිසා ඔයාත් දෙවිත් අතරේ තියෙන බැඳීම තවත් වැඩි වෙයි. ඔයාගේ හිතේ තියෙන ආසාවන් ගැන, අවශ්‍යතාවන් ගැන යෙහෝවා දෙවි සැලකිලිමත් වෙනවා. මොකද දෙවිට ඔයාව හුඟක් වටිනවා. සැමියෙක්, බිරිඳක් හොයලා දෙනවා කියලා ඔහු කාටවත් පොරොන්දු වෙලා නැහැ. ඒත් ඔයාට අවශ්‍යම දේ විවාහය නම් ඒ වෙනුවෙන් යෙහෝවා දෙවි යම් පියවරක් ගනියි.ගීතා. 145:16; මතෙ. 6:32.

“යෙහෝවා දෙවියනි, පමා නොවී මාගේ උපකාරයට පැමිණෙන්න. මන්ද මාගේ ජීවිතය නැති වී යෑමට ආසන්නය. දෙවියනි, මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න” කියලා දාවිත් කිව්වා. (ගීතා. 143:5-7, 10) ඔයාටත් එහෙම හිතුණු වෙලාවල් ඇති. ඒත් බලාපොරොත්තු අත්හැර ගන්න එපා. යෙහෝවා දෙවි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඔයාට පැහැදිලි කරලා දෙන්න දෙවිටම ඉඩහරින්න. බයිබලේ කියවලා කියවන දේ ගැන හොඳින් හිතනවා නම් දෙවි ඔයාට කියන්න හදන්නේ මොකක්ද කියලා තේරෙයි. ඒ වගේම අතීතයේ ඔයාගේ තත්වයේම හිටපු අයට දෙවි උදව් කළේ කොහොමද කියලත් තේරුම්ගන්න ඔයාට පුළුවන්. ඒ විදිහට දෙවිට සවන් දෙද්දී දිගටම ඔහුට කීකරුව ඉන්න ඔයා තුළ ලොකු අධිෂ්ඨානයක් ඇති වෙයි.

තනිකඩ අය සභාවටත් යෙහෝවා දෙවිටත් හුඟක් වටිනවා!

තනිකඩව ඉන්න කාලේ සතුටින් ඉන්න ඔයාට කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවා. දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අතරේ හොඳ නමක් දිනාගන්න. ත්‍යාගශීලී, මහන්සි වෙලා වැඩ කරන, දෙවිට කීකරු කෙනෙක් වෙන්න. ඕනම කෙනෙක්ට ඔයා ළඟට ඇවිත් කතා කරන්න පුළුවන් විදිහේ ප්‍රියමනාප කෙනෙක් වෙන්න. ඒවා හොඳ විවාහයකට ඕනම කරන දේවල්. (උත්. 24:16-21; රූත් 1:16, 17; 2:6, 7, 11; හිතෝ. 31:10-27) සේවයේ වැඩියෙන් හවුල් වෙන අතරේ සභාවේ වැඩවලටත් උපරිමයෙන් උදව් වෙන්න. අඥාන තීරණ නොගෙන ඉන්න ඒක ඔයාට උදව් වෙයි. බිල් කියන්නේ මෙහෙමයි. “තනිකඩව හිටපු කාලේ මම පුරෝගාමි සේවය කරපු නිසා කලය ගත වුණා දැනුණෙවත් නෑ.”

‘ස්වාමීන්ගේ අනුගාමිකයෙකු එක්ක විතරක්’ විවාහ වෙන්න කියලා යෙහෝවා දෙවි දීලා තියෙන නීතිය යල් පැනපු එකක් නෙමෙයි. ඒකට කීකරු වෙන්න අපි ගන්න තීරණයෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙනවා වගේම අපිටත් සතුටින් ඉන්න ලැබෙනවා. බයිබලේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තාගේ ජීවිතය සතුටින් පිරී ඇත. ඔහු දෙවිගේ ආඥා පිළිපැදීමෙන් මහත් ප්‍රීතියක් ලබයි. වටිනා දේවල්ද වස්තු සම්පත්ද ඔහුගේ නිවසේ තිබෙන්නේය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය.” (ගීතා. 112:1, 3) ඒ නිසා විවාහය ගැන දෙවි දීලා තියෙන නීතියට කීකරු වෙන්න අදිටන් කරගන්න.

^ 7 ඡේ. මේ ලිපියේ අපි කතා කරන්නේ සහෝදරියන්ගේ පැත්තෙන් වුණත් මේ ප්‍රතිපත්ති සහෝදරයන්ටත් අදාළයි.

^ 13 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.