Skip to content

පටුනට යන්න

සභාවෙන් ඉවත් කිරීම ප්‍රේමණීය සැලැස්මක්

සභාවෙන් ඉවත් කිරීම ප්‍රේමණීය සැලැස්මක්

“පුතාව සභාවෙන් ඉවත් කළා කියලා නිවේදනය කරද්දී මට දැනුණේ මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ. එයා මගේ ලොකු පුතා. අපි දෙන්නා අතරේ තිබුණේ කිට්ටු බැඳීමක්. එයා හැමදාම මට හොඳ පුතෙක් වුණා. ඒත් එකපාරටම එයාගේ හැසිරීමේ වෙනසක් මං දැක්කා. ඒ දේවල් සාක්ෂිකරුවෙක්ට සුදුසු නැහැ. මගේ බිරිඳ හිටියෙත් හුඟක් දුකෙන්. එයාව කොහොම සනසන්නද කියලා මට හිතාගන්න බැරි වුණා. දෙමාපියන් හැටියට අපි අපේ වගකීම හරියට කළේ නැද්ද කියලා අපිට හිතුණා.” එහෙම කිව්වේ ජූලියන් කියන සහෝදරයා.

කෙනෙක්ව සභාවෙන් ඉවත් කළාම එච්චර දුකක් දැනෙනවා නම් ඒක ප්‍රේමණීය සැලැස්මක් කියලා කියන්නේ ඇයි? කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන්නේ ඇයි? ඒකට බයිබලේ තියෙන පදනම මොකක්ද?

සභාවෙන් ඉවත් කරන්නේ ඇයි?

බව්තීස්ම වුණු සාක්ෂිකරුවෙක් බරපතළ වරදක් කිරීම සහ ඒ ගැන පසුතැවිලි නොවීම සභාවෙන් ඉවත් කරන්න හේතු වෙනවා.

අපි අතින් කිසිම වරදක් නොවී තියෙයි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් ශුද්ධකම ගැන ඔහු දීලා තියෙන ප්‍රතිපත්ති රකින එක ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා. උදාහරණෙකට වේශ්‍යාකම, රූප නමස්කාරය, සොරකම, වංචාව, මිනී මැරීම සහ භූතවාදයට සම්බන්ධ දේවල් අපි නොකර ඉඳියි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා.—1 කොරි. 6:9, 10; එළි. 21:8.

ශුද්ධව ඉන්න යෙහෝවා දෙවි දීලා තියෙන ප්‍රතිපත්ති සාධාරණයි කියලත් ඒවා දීලා තියෙන්නේ අපේම ආරක්ෂාවටයි කියලත් ඔයාට හිතෙන්නේ නැද්ද? අවංක, විශ්වාසය තියන්න පුළුවන් සෙනඟක් එක්ක ඉන්න කවුද අකමැති? අපේ සහෝදර සහෝදරියන් එක්ක ඉද්දී අපිට සුරක්ෂිතබවක් දැනෙනවා නේද? එහෙම දැනෙන්නේ දෙවිට අපේ ජීවිත කැප කරපු වෙලාවේ බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙනවා කියලා අපි දුන්න පොරොන්දුව නිසයි.

බව්තීස්ම වුණු කෙනෙක් අතින් බරපතළ වරදක් වුණොත් මොකද වෙන්නේ? අතීතයේදීත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරපු අය අතින් ඒ වගේ වැරදි වුණා. ඒත් යෙහෝවා දෙවි ඒ අයව ප්‍රතික්ෂේප කළේ නැහැ. දාවිත් රජ එක අවස්ථාවක අනාචාරයේ යෙදුණා. මිනී මැරීමක් කළා. ඒත් අනාගතවක්තෘ නාතන් ඔහුට කිව්වේ “යෙහෝවා දෙවි ඔබේ පාපයට සමාව දෙනවා” කියලයි.—2 සාමු. 12:13.

යෙහෝවා දෙවි දාවිත්ට සමාව දුන්නේ ඔහු අවංකවම පසුතැවිලි වුණු නිසයි. (ගීතා. 32:1-5) අදත් කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන්නේ ඒ කෙනා කරපු වරද ගැන පසුතැවිලි වෙන්නේ නැත්නම් හෝ ඒ වරද දිගටම කරනවා නම් විතරයි. (ක්‍රියා 3:19; 26:20) වරද කරපු කෙනා අවංකවම පසුතැවිලි වෙනවා කියලා විනිශ්චය කමිටුවේ වැඩිමහල්ලන් දකින්නේ නැත්නම් ඒ පුද්ගලයාව සභාවෙන් ඉවත් කළ යුතුයි.

සභාවෙන් ඉවත් කරන්න ගන්න තීරණය තද වැඩියි කියලා ඒ පුද්ගලයාට කිට්ටු අයට හිතෙන්න පුළුවන්. ඒත් ඒ තීරණය ප්‍රේමණීය එකක් කියලා කියන්න බයිබලේ හුඟක් හේතු පෙන්නලා තියෙනවා.

ඒක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

“ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි” කියලා යේසුස් කිව්වා. (මතෙ. 11:19) පසුතැවෙන්නේ නැති වරදකරුවෙක්ව සභාවෙන් ඉවත් කරන්න ගන්න ප්‍රඥාවන්ත තීරණය නිසා ලැබෙන හොඳ ප්‍රතිඵල 3ක් ගැන බලමු.

දෙවිගේ නමට ගෞරවයක් ගේනවා. දරුවෙක් හැසිරෙන විදිහෙන් දෙමාපියන්ට ගෞරවයක් හෝ අගෞරවයක් ඇති වෙනවා. දෙවිගේ නම නියෝජනය කරන අපිත් ඔහුගේ දරුවෝ. (යෙසා. 43:10) අපි හැසිරෙන විදිහෙන් අපිට පුළුවන් දෙවිගේ නමට ගෞරවයක් ගේන්න නැත්නම් කැළැලක් ඇති කරන්න. එසකියෙල්ගේ කාලේ හිටපු වෙනත් ජාතීන් යුදෙව්වන් දිහා බැලුවේ යෙහෝවා කියන දෙවිගේ නමත් සම්බන්ධ කරලා. යුදෙව්වන්ගේ නරක හැසිරීමෙන් නින්දාවට පත් වුණේ දෙවිගේ නමයි.—එස. 36:19-23.

අපි අනාචාරයේ යෙදුණොත් ඒක දෙවිගේ ශුද්ධ නාමයට අගෞරවයක්. පේතෘස් මෙහෙම කිව්වා. “කීකරු දරුවන් වන්න. ඔබ මීට පෙර නොදැනුවත්කමින් තෘප්තිමත් කරගත් ආශාවලට අනුව තවදුරටත් ක්‍රියා නොකරන්න. ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි. මන්ද, ‘මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි’ කියා ලියා ඇත.” (1 පේතෘ. 1:14-16) අපේ හැසිරීම ශුද්ධ නම් ගෞරවයට පත් වෙන්නේ දෙවිගේ නමයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වැරදි දෙයක් කරනවා නම් ඒ ගැන එයාගේ යාළුවෝ, දන්න කියන අය දැනගන්නවා. ඒ වගේ කෙනෙක්ව සභාවෙන් ඉවත් කළාම ඒ අය තේරුම්ගන්නවා යෙහෝවා දෙවිගේ සෙනඟ ශුද්ධකම ගැන බයිබලේ තියෙන මඟ පෙන්වීම් පිළිගන්න, ශුද්ධ සෙනඟක් කියන දේ. දවසක් ස්විට්සර්ලන්තයේ තිබුණු නමස්කාර මධ්‍යස්ථානයකට ආපු කෙනෙක් කිව්වා ඔහුට සාක්ෂිකරුවෙක් වෙන්න ඕනෙ කියලා. හේතුව හොයලා බලද්දී ඒ කෙනාගේ සහෝදරියව අනාචාරය නිසා සභාවෙන් ඉවත් කරලා. නරක හැසිරීමට ඉඩක් නැති සංවිධානයකට සම්බන්ධ වෙන්නයි ඔහුටත් ඕන වුණේ.

ක්‍රිස්තියානි සභාව පිරිසිදුව තියාගන්න උදව් වෙනවා. හිතාමතාම පව් කරන අයට සභාවේ ඉන්න ඉඩ දෙන එකේ තියෙන අනතුර ගැන පාවුල් කොරින්තිවරුන්ට කිව්වා. ඔහු ඒ වගේ අයගේ නරක බලපෑම මුහුන්වලට සමාන කළා. “මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙන” නිසා “ඔබ අතරින් ඒ දුෂ්ට මිනිසාව ඉවත් කර දමන්න” කියලා ඔහු කිව්වා.—1 කොරි. 5:6, 11-13.

පාවුල් කියපු “ඒ දුෂ්ට මිනිසා” කිසිම බයක් සැකක් නැතුව අනාචාරයේ යෙදෙමින් හිටියා. ඒ වෙනකොට සභාවේ හිටපු අනිත් අයත් ඔහු කරපු දේ වරදක් නැහැ කියන්න පටන් අරන් තිබුණා. (1 කොරි. 5:1, 2) ඒ වගේ පහත් දෙයක් සභාවේ සිද්ධ වුණත් ඒ දේ ගැන යම් පියවරක් ගන්නේ නැතුව හිටියා නම් සිද්ධ වෙන්න තිබුණේ මොකක්ද? ඔවුන් ජීවත් වුණේ අනාචාරය බහුල නගරෙකයි. මිනිසුන් අනාචාරය සැලකුවේ හරිම සැහැල්ලු දෙයක් විදිහටයි. ඒ අදහස් සභාවටත් ඇතුල් වෙන්න ඉඩ තිබුණා. හිතාමතාම කරන වැරදි සැහැල්ලුවට ගන්න එක දෙවි දීලා තියෙන ප්‍රතිපත්ති බාල කිරීමක්. (දේශ. 8:11) “දිය යට සැඟවී තිබෙන ගල්පර” නිසා නැව් වුණත් ගිලෙන්න පුළුවන්. ඒ වගේ පසුතැවිලි වෙන්නේ නැතුව වැරදි කරන අය නිසා සභාවේ අයගේ විශ්වාසයත් නැති වෙන්න ඉඩ තියෙනවා.—යූද් 4, 12.

වරද කරපු කෙනා තමන් කළේ මෝඩ දෙයක් කියලා තේරුම්ගන්න ඉඩ තියෙනවා. තමන්ගේ උරුමය තාත්තාගෙන් ඉල්ලගෙන ගෙදරින් ගිහින් අනාචාර ජීවිතයක් ගත කරලා හැම දේම නැති නාස්ති කරගත්ත තරුණයෙක් ගැන යේසුස් උපමාවක් කිව්වා. තාත්තාගේ ගෙදරින් පිට වෙලා ගත කරපු ජීවිතය හිස්, කිසි කෙනෙක්ගේ ආදරයක් නැති ජීවිතයක් කියලා ඔහු තේරුම්ගත්තේ අමිහිරි අද්දැකීම වින්දට පස්සේ. අන්තිමේදී තමන් මෝඩ විදිහට වැඩ කළා කියලා තේරුම්ගත්ත ඔහු, පසුතැවිලි වෙලා ආයෙත් ගෙදර ආවා. (ලූක් 15:11-24) පුතාගේ වෙනස් වීම දැකලා හුඟක් සතුටු වුණු තාත්තා ගැන යේසුස් කියපු විස්තරෙන් අපිට පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවි හිතන විදිහයි. “දුෂ්ටයෙකු වැරදි මාර්ගයෙන් හැරී දිගටම ජීවත් වෙනවාට මිස ඔහු මිය යනවාට මම කිසිසේත් කැමති නැත” කියලා යෙහෝවා දෙවි කියනවා.—එස. 33:11.

ඒ වගේ සභාවෙන් ඉවත් කරපු කෙනෙකුත් තමන්ට අහිමි වුණේ කොයි තරම් ආදරණීය පවුලක්ද කියන දේ තේරුම්ගන්න ඉඩ තියෙනවා. වැරදි කරලා ලබන අමිහිරි අද්දැකීම් එක්ක අතීතයේදී යෙහෝවා දෙවිට, ඔහුගේ සෙනඟට කිට්ටු වෙලා හිටපු කාලේ ලබපු මිහිරි මතකයන් සන්සන්දනය කරලා බලද්දී තමන් කළේ මොන තරම් මෝඩ දෙයක්ද කියලා තේරිලා ආයෙත් එන්න ඒ කෙනාට හිතෙයි.

කෙනෙක්ව වැරදි මාර්ගයෙන් හොඳ මාර්ගයට ගන්න නම් ආදරේ වගේම යම් හික්මවීම් දෙන එකත් අත්‍යවශ්‍යයි. “ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය ක්‍රියාවකි. ඔහු මට අවවාද කළත් එය මාගේ හිස පිට වත් කරන තෛලයක් මෙනි” කියලා දාවිත් කිව්වා. (ගීතා. 141:5) වේදනාවක් දැනුණත් ධර්මිෂ්ඨ කෙනෙක්ගේ හික්මවීම් තමන්ගේ ජීවිතේට අවශ්‍යයි කියලත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ තමන්ටමයි කියලත් දාවිත් තේරුම්ගත්තා. තද සීතල දවසක කන්දක් නඟින කෙනෙක් ගැන හිතන්න. අධික වෙහෙස නිසා ඒ කෙනාගේ ශරීරයේ උෂ්ණත්වය එන්න එන්න අඩු වුණොත් ඒ කෙනා ටිකෙන් ටික නිදිබර වෙලා අන්තිමේදී සිහි නැති තත්වයට පත් වෙන්න පුළුවන්. ඒක එයාගේ ජීවිතේට අනතුරක්. ඒ වගේ වෙලාවක ළඟ ඉන්න අය කරන්නේ එයාගේ කම්මුලට ටිකක් තදින් පහර දෙන එකයි. වෛද්‍ය කණ්ඩායමක් එන කල් අවදිව ඉන්න ඒක එයාට උදව් වෙනවා. ඒ පහරවල් නිසා යම් වේදනාවක් දැනුණත් එයාගේ ජීවිතේ රැකගන්න ඒක අත්‍යවශ්‍යයි.

වැරදි කරන කෙනෙකුට අත්‍යවශ්‍යම හික්මවීමක් තමයි සභාවෙන් ඉවත් කිරීම. අපි මුලින්ම කතා කරපු ජූලියන්ගේ පුතා අවුරුදු 10කට විතර පස්සේ පසුතැවිලි වෙලා, ගත කරමින් හිටපු ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන ආයෙත් සභාවට ආවා. එයා දැන් වැඩිමහල්ලෙක්. එයා මෙහෙම කියනවා. “සභාවෙන් ඉවත් කරපු නිසා තමයි මං ගත කරන ජීවිතේ ප්‍රතිඵල මෙන්න මේවායි කියලා මට දකින්න පුළුවන් වුණේ. මාව හරි මාර්ගයට ගන්න ඒ හික්මවීම අත්‍යවශ්‍ය වුණා.”—හෙබ්‍රෙ. 12:7-11.

ප්‍රේමණීයව ක්‍රියා කරන්නේ කොහොමද?

ඇත්ත, කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන එක කාගෙවත් සතුටට හේතුවක් නෙමෙයි. ඒක අමිහිරි අද්දැකීමක්. ඒත් එහෙම වුණා කියලා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම අත්හරින්න අවශ්‍ය නැහැ. සභාවෙන් ඉවත් කරපු එකේ අරමුණ හරි විදිහට ඉටු වෙන්න නම් අපි හැමෝටම වගකීමක් තියෙනවා.

පසුතැවිලි වෙන අයට යෙහෝවා දෙවි වෙතට ආපහු එන්න උදව් කරනවා

වැඩිමහල්ලන්. සභාවෙන් ඉවත් කරන්න ගත්ත තීරණය දැනුම් දෙන අමාරු වගකීම පැවරිලා තියෙන්නේ වැඩිමහල්ලන්ට. ඒ තීරණය ඔහුට කාරුණිකව දැනුම් දෙනවා නම් ඒ වගේම ආයෙත් සභාවට එන්න ගන්න ඕන පියවර ගැන පැහැදිලිව තේරුම් කරලා දෙනවා නම් ඔහු යෙහෝවා දෙවිගේ ප්‍රේමය ඔවුන් තුළින් දකිනවා. ඒ අයගෙන් සමහරු තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න කැමැත්තෙන් ඉන්නවා කියලා යම් විදිවලින් පෙන්නද්දී ඒ අයව විටින් විට හම්බ වෙලා දෙවි වෙතට ආයෙත් එන්න මොනවද කරන්න ඕනෙ කියලා වැඩිමහල්ලන් මතක් කරනවා. a

සභාවේ අයටත් වරද කරපු කෙනාටත් ආදරේ නම් පවුලේ අය ඒ තීරණයට ගරු කරන්න ඕනේ. “එයා මගේ පුතා තමයි. ඒත් එයා ගත කරපු ජීවිතේ වෙනස් කරගන්න කල් එයාට කිට්ටු වෙන්න මට ඕන වුණේ නැහැ” කියලා ජූලියන් කියනවා.

සභාවෙන් ඉවත් කරපු කෙනාට ආදරේ නම් සභාවේ අය ඒ කෙනා එක්ක කිසිම කතාබහක්, ආශ්‍රයක් තියාගන්නේ නැහැ. (1 කොරි. 5:11; 2 යොහ. 10, 11) වැඩිමහල්ලන් මාර්ගයෙන් යෙහෝවා දෙවි ඒ කෙනාට දීපු හික්මවීම ප්‍රයෝජනවත් වෙන්න නම් සභාවේ අයගේ සහයෝගය අවශ්‍යමයි. ඊට අමතරව ඒ කෙනාගේ පවුලේ අයට කලින්ටත් වඩා ආදරේ, සහයෝගය දක්වන එකත් වැදගත්. ‘අපි එක්කත් සභාවේ අය ආශ්‍රය කරන එකක් නැහැ’ කියන හැඟීම ඒ අයට ඇති වෙන්න ඉඩ දෙන්න එපා.—රෝම 12:13, 15.

“යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න අපිට උදව් කරන වටිනා සැලැස්මක් තමයි සභාවෙන් ඉවත් කිරීමේ සැලැස්ම. මුලින් වේදනාවක් දැනුණත් අන්තිමේදී ඒකෙන් ලැබෙන්නේ හොඳ ප්‍රතිඵලයක්. පුතාගේ නරක වැඩවලට මං ඉඩ දුන්නා නම් එයා කවදාවත් හරි මාර්ගයට නොඑන්න ඉඩ තිබුණා” කියලා ජූලියන් කියනවා.

a 1991 ජූලි 1 ‘මුරටැඹ’ කලාපයේ 21-23 පිටු බලන්න.