Skip to content

පටුනට යන්න

දෙවිගේ බලය ක්‍රිස්තුස් තුළින් පැහැදිලි වෙයි

දෙවිගේ බලය ක්‍රිස්තුස් තුළින් පැහැදිලි වෙයි

‘දෙවිට තිබෙන බලය ක්‍රිස්තුස් තුළින් ප්‍රකාශ වේ.’—1 කොරි. 1:24.

1. දෙවිගේ බලය ක්‍රිස්තුස් තුළින් ප්‍රකාශ වෙනවා කියලා පාවුල් කිව්වේ ඇයි?

යෙහෝවා දෙවි ඔහුගේ බලය පුදුමාකාර විදිහට යේසුස් තුළින් පෙන්නුවා. ඒ බලය යොදාගෙන යේසුස් පොළොවේ ඉද්දී කරපු හුඟක් ආශ්චර්යයන් ගැන බයිබලෙන් කියවලා අපේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න අපිට පුළුවන්. (මතෙ. 9:35; ලූක් 9:11) දෙවි යේසුස්ට මොන තරම් බලයක් දුන්නද කියනවා නම් ‘දෙවිට තිබෙන බලය ක්‍රිස්තුස් තුළින් ප්‍රකාශ වෙනවා’ කියලා පාවුල් කිව්වා.—1 කොරි. 1:24.

2. යේසුස් කරපු ආශ්චර්යයන්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

2 දෙවි යේසුස් මාර්ගයෙන් කරපු ආශ්චර්යයන්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ක්‍රියා 2:22) යේසුස් දහස් අවුරුදු පාලනයේදී මොන තරම් පුදුමාකාර දේවල් කරයිද කියලා තේරුම්ගන්න ඒවා උදව්වක්. යේසුස්ගේ සහ ඔහුගේ පියාගේ ගතිලක්ෂණ අවබෝධ කරගන්නත් ඒවා අපිට උදව් වෙනවා. දැන් අපි යේසුස් කරපු ආශ්චර්යයන් 3ක් ගැන බලමු. ඒවා අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඒවාවලින් අනාගතය ගැන තේරුම්ගන්න පුළුවන් මොනවද?

ත්‍යාගශීලීකම පැහැදිලි වුණු ආශ්චර්යයක්

3. (අ) යේසුස් පළවෙනි ආශ්චර්යය කළේ ඇයි? (ආ) යේසුස් ත්‍යාගශීලී වුණේ කොහොමද?

3 යේසුස් පළවෙනි වතාවට ආශ්චර්යයක් කළේ කානා නුවර තිබුණු විවාහ උත්සවයකදී. උත්සවය අතරමඟදී වයින් ඉවර වුණා. එහෙම වුණේ හිතුවට වඩා අමුත්තන් ආපු නිසා වෙන්න ඇති. ඒ කාලේ අමුත්තන්ට ඉහළින්ම සලකන එක හරිම වැදගත් දෙයක්. ඒක හරියට කරන්න බැරි වුණොත් මනාල යුවළට ලොකු ලැජ්ජාවක්. අමුත්තන් අතරේ හිටපු මරියා වෙලා තියෙන දේ දැනගත්තම යේසුස්ට කිව්වා ඔවුන්ට උදව් කරන්න කියලා. එහෙම කිව්වේ ඔවුන් වෙනුවෙන් යමක් කරන්න බලයක් යේසුස්ට තියෙනවා කියලා මරියා විශ්වාස කරපු නිසා වෙන්න පුළුවන්. මොකද තමන්ගේ පුතා ගැන සඳහන් හැම අනාවැකියක්ම වගේ මරියා දැනගෙන ඉන්න ඇති. ඒවා ගැන හොඳින් කල්පනා කරලා තියෙන්නත් ඇති. ඒ වගේම යේසුස්ව “මහෝත්තම දෙවිගේ පුත්‍රයා” හැටියට හඳුන්වනවා කියලත් ඇය දැනගෙන හිටියා. (ලූක් 1:30-32; 2:52) කොහොමවුණත් එදා වුණු සිද්ධියෙන් එක දෙයක් පැහැදිලියි. ඒ තමයි මනාල යුවළට උදව් කරන්න මරියාටත් යේසුස්ටත් ඕනකමක් තිබුණා කියන දේ. ඒ නිසයි යේසුස් ආශ්චර්යයක් කරලා වතුර ලීටර් 380ක් විතර “හොඳම වයින්” බවට හැරෙව්වේ. (යොහන් 2:3, 6-11 කියවන්න.) ඕනෙ නම් ඔහුට තිබුණා ඒ ආශ්චර්යය නොකර ඉන්න. ඒත් යේසුස් ඒක කළේ ඔහු මිනිසුන් ගැන සැලකිලිමත් වුණු නිසයි. පියා වගේම ත්‍යාගශීලී කෙනෙක් වුණු නිසයි.

4, 5. (අ) යේසුස්ගේ පළවෙනි ආශ්චර්යයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ආ) ඒ ආශ්චර්යය නිසා අනාගතය ගැන අපිට තේරුම්ගන්න පුළුවන් මොකක්ද?

4 ඒ ආශ්චර්යයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? යෙහෝවා දෙවිත් යේසුත් මොන තරම් ත්‍යාගශීලීද කියලත් මිනිසුන්ගේ හැඟීම් ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලත් ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. පාරාදීසයේදී යෙහෝවා දෙවි තම බලය යොදාගෙන මිනිසුන්ට ඇති තරම් ආහාර ලබා දෙන හැටි හිතින් මවාගන්නත් ඒ සිද්ධිය අපිට උදව් වෙනවා.—යෙසායා 25:6 කියවන්න.

5 පාරාදීසය ගැන ටිකක් හිතන්න. එදාට යෙහෝවා දෙවි අපිට අවශ්‍ය හැම දේම ලබා දෙනවා. ලස්සන නිවසක්, අවශ්‍ය තරම් කෑම බීම හැමෝටම තියෙයි. ත්‍යාගශීලීව ලබා දෙන ඒ පුදුමාකාර ආශීර්වාද ගැන හිතද්දී අපේ හිතේ දෙවි ගැන මොන තරම් අගයක් ඇති වෙනවද!

යේසුස් වගේ ත්‍යාගශීලී වෙන්න අපිටත් පුළුවන් (6 ඡේදය බලන්න)

6. යේසුස් තම බලය යොදාගත්තේ මොනවා කරන්නද? ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

6 යේසුස් බලය තමන්ගේ වාසියට පාවිච්චි කළේ නැහැ. උදාහරණෙකට ගල් රොටි කරන්න කියලා සාතන් කිව්වත් තමන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ වගේ ආශ්චර්යයක් කරන්න යේසුස් කැමති වුණේ නැහැ. (මතෙ. 4:2-4) ඔහු තමන්ගේ බලය යොදාගත්තේ අනිත් අයට උදව් කරන්නයි. ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන්ද? යේසුස් කිව්වේ “දීමට පුරුදු වන්න” කියලයි. (ලූක් 6:38) සභාවේ අයට කෑම වේලකට, පවුලේ නමස්කාරයට ආරාධනා කරන්න අපිට පුළුවන්. රැස්වීමෙන් පස්සේ ටික වෙලාවක් නතර වෙලා උදව් ඕන කරන අය වෙනුවෙන් කාලය දෙන්න අපිට පුළුවන්ද? උදාහරණෙකට සහෝදරයෙක් කතාවක් දෙන්න පුරුදු වෙනවා නම් ඒක අහගෙන ඉන්න එක එයාට කරන උදව්වක්. අනිත් අයට දේශනා සේවයේ හවුල් වෙන්න මොනවා හරි පැත්තකින් උදව් කරන එකත් දක්ෂ විදිහට සේවයේ හවුල් වෙන්න පුහුණු කරන එකත් අපිට කරන්න පුළුවන්. අපි ආසාවෙන් අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී ඒකෙන් පේන්නේ යේසුස් වගේ ත්‍යාගශීලී කෙනෙක් වෙන්න අපිට තියෙන කැමැත්තයි.

“සෑමදෙනාම කා තෘප්තියට පැමිණියා”

7. සාතන්ගේ දුෂ්ට සමාජය පවතින තාක් කල් තියෙන්නේ මොකක්ද?

7 දුප්පත්කම ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි. “අසරණ වූ දුප්පතුන් හැමදාමත් ඔබ සමඟ සිටිනවා” කියලා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා. (ද්වි. 15:11) යේසුස් කිව්වෙත් “දිලිඳු අය ඔබ සමඟ සැමදාම සිටියි” කියලයි. (මතෙ. 26:11) ඔහු ඒකෙන් අදහස් කළේ මේ පොළොවේ හැමදාටම දුප්පතුන් ඉන්නවා කියන එකද? නැහැ. ඔහු අදහස් කළේ සාතන්ගේ මේ දුෂ්ට සමාජය තියන කල් දුප්පත්කම මේ ලෝකෙ තියෙනවා කියන එකයි. ඒත් පොළොව පාරාදීසයක් වුණු දවසට මේ ලෝකෙ කොච්චර ලස්සන, අදට වඩා කොච්චර වෙනස් තැනක් වෙයිද? එදාට දුප්පතුන් නැහැ. හැමෝටම කාලා බීලා තෘප්තිමත් වෙන්න ඇති තරම් ආහාර තියෙයි!

8, 9. (අ) යේසුස් දහස් ගාණකට කන්න දුන්නේ ඇයි? (ආ) යේසුස් කරපු ඒ ආශ්චර්යය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

8 ගීතිකාකරු යෙහෝවා දෙවි ගැන මෙහෙම කිව්වා. “ඔබේ හස්තය විදහා ඔබ ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරන්නෙහිය.” (ගීතා. 145:16) යේසුත් ඔහුගේ පියා වගේමයි. නිතරම අනිත් අයගේ ඕනෑ එපාකම් ගැන හොයලා බැලුවා. ඔහු එහෙම කළේ තමන්ට තිබුණු බලය ප්‍රදර්ශනය කරන්න නෙමෙයි. මිනිසුන්ට තිබුණු ආදරේ නිසයි. අපි දැන් මතෙව් 14:14-21 (කියවන්න.) දක්වා තියෙන වාර්තාව බලමු. එදා විශාල ජනකායක් විවිධ නුවරවල්වලින් යේසුස් හිටපු තැනට පයින්ම ඇවිත් හිටියා. (මතෙ. 14:13) හවස් වේගන එද්දී සෙනඟ ඉන්නේ බඩගින්නේ කියලා තේරුම්ගත්ත ගෝලයෝ, කෑම මිල දී ගන්න සෙනඟව යවන්න කියලා යේසුස්ට කිව්වා. ඔහු මොනවද කළේ?

9 ආශ්චර්යයක් කරපු යේසුස්, රොටි පහකින් සහ මාළු දෙන්නෙක්ගෙන් එතන හිටපු විශාල පිරිසට කන්න දුන්නා. එතන පුරුෂයන් විතරක් 5,000ක් විතර හිටියා. ඊට අමතරව කාන්තාවන් සහ දරුවන් විශාල පිරිසකුත් හිටියා. යේසුස් එදා ඒ ආශ්චර්යය කළේ ඇයි? ඒ ඔහු මිනිසුන්ට හද පත්ලෙන්ම ආදරේ කරපු නිසා. ඔවුන් ගැන සැලකිලිමත් වුණු නිසා. යේසුස් ඔවුන්ට කන්න ඇති තරම් කෑම දුන්නා. ඒ නිසයි “සෑමදෙනාම කා තෘප්තියට පැමිණියා” කියලා වාර්තාවේ කියන්නේ. ආපහු තමන්ගේ ගම්බිම් බලා යන්න තිබුණු ඒ දුර ගමන යන්න අවශ්‍ය ශක්තිය කෑමවලින් ඔවුන්ට ලැබුණා.—ලූක් 9:10-17.

10. දුගීකමට ළඟදීම මොකද වෙන්නේ?

10 කෑදර, දූෂිත පාලකයන් නිසා මිනිසුන් අද දුගීකමින් පෙළෙනවා. අපේ සහෝදර සහෝදරියන් අතරෙත් තුන් වේලම කුස පිරෙන්න කන්න තරම් වත්කමක් නැති අය ඉන්නවා. ඒත් ළඟදීම දෙවිට කීකරුව ජීවත් වෙන අයට දූෂිතයන් නැති, දුප්පත්කම නැති පාරාදීසයක ජීවත් වෙන්න අවස්ථාව දෙන්න යෙහෝවා දෙවි ආසාවෙන් ඉන්නවා. විශ්වයේ බලවත්ම තැනැත්තා ඔහුයි. හැමෝගෙම අවශ්‍යතා තෘප්තිමත් කරන්න ඔහුට බලය විතරක් නෙමෙයි ආසාවත් තියෙනවා. අපි විඳින දුක් වේදනා නැති කරනවා කියලා ඔහු අපිට පොරොන්දු වෙලා තියෙනවා.—ගීතාවලිය 72:16 කියවන්න.

11. යේසුස් තමන්ගේ බලය අනාගතයේදී මුළු පොළොවෙම ඉන්න අයගේ යහපත වෙනුවෙන් යොදාගනියි කියලා ඔයාට නිසැක ඇයි? ඒ නිසැකකම ඔයාව පොලඹවන්නේ මොකක් කරන්නද?

11 යේසුස් ආශ්චර්යයන් කළේ අවුරුදු තුනහමාරක් වගේ පොඩි කාලයක් විතරයි. ඒවා කළෙත් සීමිත ප්‍රදේශයක විතරයි. (මතෙ. 15:24) ඒත් දහස් අවුරුදු පාලනයේදී ඔහු මේ ලෝකෙ ඉන්න හැම කෙනෙකුටම උදව් කරනවා. (ගීතා. 72:8) යේසුස් පොළොවේ ඉද්දී කරපු ආශ්චර්යයන්වලින් පැහැදිලි වෙන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තම බලය යොදාගන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා කියලා නේද? යේසුස් වගේ ආශ්චර්යයන් කරන්න අපිට බලය නැහැ. ඒත් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ලස්සන අනාගතය ගැන බයිබලේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙන්න අපේ කාලය, ශ්‍රමය යොදවන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට ඒක අපේ වගකීමක්. (රෝම 1:14, 15) යේසුස් අනාගතයේදී අපි වෙනුවෙන් කරන දේවල් ගැන හොඳින් හිතලා බලද්දී අනිත් අයට ඒ ගැන කියන්න අපේ හිතේ ලොකු ආසාවක් ඇති වෙයි.—ගීතා. 45:1; 49:3.

ස්වාභාවික බලයන් පාලනය කරන්න තියෙන හැකියාව

12. පොළොවේ තියෙන හැම දෙයක් ගැනම යේසුස්ට හොඳ අවබෝධයක් තියෙනවා කියලා අපිට ස්ථිර ඇයි?

12 යෙහෝවා දෙවි පොළොවත් ඒකේ තියෙන හැම දේමත් නිර්මාණය කරද්දී යේසුස් “ඔහු ළඟින්ම සිට ඔහුගේ ප්‍රධාන සේවකයා ලෙස” දෙවිට උදව් වුණා. (හිතෝ. 8:22, 30, 31; කොලො. 1:15-17) ඒ නිසා මේ පොළොවේ තියෙන හැම දෙයක් ගැනම යේසුස්ට හොඳ අවබෝධයක් තියෙනවා. ස්වාභාවික බලයන් යොදාගන්නේ කොහොමද කියලත් ඒවා පාලනය කරන්නේ කොහොමද කියලත් ඔහු හොඳට දන්නවා.

යේසුස්ගේ ආශ්චර්යයන් ගැන හිතද්දී ඔයාගේ හිත් ගත්තේ මොන කරුණද? (13 සහ 14 ඡේද බලන්න)

13, 14. ස්වාභාවික බලයන් පාලනය කරන්න යේසුස්ට බලය තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ මොන සිද්ධියෙන්ද?

13 ස්වාභාවික බලයන් පාලනය කරන්න අවශ්‍ය බලය දෙවි තමන්ට දීලා තියෙනවා කියලා පොළොවේ ඉද්දී යේසුස් පෙන්නුවා. ඔහු කුණාටුවක් නිශ්චල කරපු අවස්ථාව ගැන හිතන්න. (මාක් 4:37-39 කියවන්න.) මාක් පොතේ සඳහන් “කුණාටුව” කියන වචනය ගැන විශාරදයෙක් විස්තර කළා. ඔහු කියන විදිහට ඒක නිකම්ම තද සුළඟ නෙමෙයි. අහස කලු කරලා, අකුණු ගහලා, ලොකු වැස්සකුත් එක්ක එන, හැම දෙයක්ම පෙරළලා විනාශ කරලා දාන්න පුළුවන් විදිහේ දැඩි සුළඟක්. මතෙව් ඒක විස්තර කරන්නෙත් ඔරුව රළ පහරින් වැසී යන තරම් බිහිසුණු කුණාටුවක් කියලයි.—මතෙ. 8:24.

14 හිතන්න, දැන් ඔයාත් ඒ ඔරුවේ ඉන්නවා කියලා. උස රළ පහරවල් එක පිට එක ඇවිත් වේගයෙන් ඔරුවට වදිනවා. කන් දෙක අගුල් වැටෙන තරමට ඝෝෂාව. ඔරුවත් රළ පහර එක්කම වේගයෙන් එහෙට මෙහෙට පැද්දෙනවා. ඒත් මහන්සියෙන් හිටපු යේසුස් ඒ වෙලාවේ ඉන්නේ සුව නින්දේ. බයෙන් ගැහිගැහි හිටිපු ගෝලයෝ ගිහින් යේසුස්ව ඇහැරවලා “අපිව ගිලෙන්නයි යන්නේ” කියලා කියනවා. (මතෙ. 8:25) යේසුස් නැඟිටලා කුණාටුවට මෙහෙම කියනවා. “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න.” (මාක් 4:39) ඒ එක්කම ඒ බිහිසුණු කුණාටුව නතර වෙලා “මහත් නිශ්චලතාවක් ඇති විය.” ස්වාභාවික බලයන් පාලනය කරන්න යේසුස්ට තියෙන බලය තේරුම්ගන්න ඒ සිද්ධිය හොඳටම ප්‍රමාණවත්.

15. ස්වාභාවික බලයන් පාලනය කරන්න තමන්ට පුළුවන් කියලා යෙහෝවා දෙවි පෙන්නලා තියෙන්නේ කොහොමද?

15 යේසුස්ට ඒ බලය ලැබුණේ යෙහෝවා දෙවිගෙන්. එහෙමනම් ස්වාභාවික බලයන් පාලනය කරන්න දෙවිට පුළුවන් කියන දේ ගැන අපිට සැකයක් නැහැ. දෙවි එහෙම කරපු අවස්ථා කීපයක් ගැන බලන්න. ජලගැල්මට කලින් දෙවි නෝවාට මෙහෙම කිව්වා. “මම තව දවස් හතකින් පොළොව මතට වර්ෂාවක් ඇද හැළෙන්න සලස්වන්නෙමි. නොකඩවා දහවල් හතළිහක්ද රාත්‍රි හතළිහක්ද වර්ෂාව ඇද හැළෙන්නේය.” (උත්. 7:4) නික්මයාම 14:21 සඳහන් වෙන්නේ ‘යෙහෝවා දෙවි නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. එම සුළඟ නිසා මුහුද ක්‍රමක්‍රමයෙන් දෙබෑ විය’ කියලයි. ඒ වගේම “යෙහෝවා දෙවි මුහුද දෙසට තද සුළඟක් හමන්න සැලැස්වූවේය. මහ කුණාටුවක් ඇති වී නැව ගිලෙන්න පටන්ගත්තේය” කියලා යෝනා 1:4ත් සඳහන් වෙනවා. හැම ස්වාභාවික බලයක්ම පාලනය කරන්න යෙහෝවා දෙවිට පුළුවන් නිසා පාරාදීසයේ අපේ ජීවිතය මොන තරම් සුරක්ෂිත එකක් වෙයිද!

16. දෙවිටත් යේසුස්ටත් ස්වාභාවික බලයන් පාලනය කරන්න පුළුවන් කියලා දැනගෙන ඉන්න එක අපිට සහනයක් වෙන්නේ කොහොමද?

16 දහස් අවුරුදු පාලන කාලෙදී ස්වාභාවික බලයන් පාලනය කරන්න අවශ්‍ය බලය යෙහෝවා දෙවි යේසුස්ට දෙනවා කියලා නම් කිසිම සැකයක් නැහැ. ඒ කාලෙදී ස්වාභාවික විපත් ගැන කිසිම බයක් නැතුව සුරක්ෂිතව ඉන්න පුළුවන්. සුළිකුණාටු, සුනාමි, ගිනි කඳු, භූමිකම්පා වගේ දේවලින් මිනිසුන්ට අනතුරක් නැහැ. එදාට “දෙවිගේ කූඩාරම මිනිසා සමඟ” නිසා ස්වාභාවික විපත් ගැන අපිට බය වෙන්න ඕනෙ නැහැ.—එළි. 21:3, 4.

දෙවිවත් යේසුස්වත් ආදර්ශයට ගන්න

17. දෙවිවත් යේසුස්වත් ආදර්ශයට ගන්න පුළුවන් විදිහක් මොකක්ද?

17 අපිට ස්වාභාවික විපත් වළක්වන්න බැහැ. ඒක කරන්න පුළුවන් යෙහෝවා දෙවිට සහ යේසුස්ට විතරයි. ඒත් අපිට කරන්න පුළුවන් දේකුත් තියෙනවා. අපිට පුළුවන් හිතෝපදේශ 3:27 (කියවන්න.) තියෙන උපදෙස අදාළ කරගන්න. අපේ සහෝදර සහෝදරියන් දුක් විඳිද්දී ඒ අයට අවශ්‍ය කරන උදව් දීලා හිතට සහනයක් වෙමු. (හිතෝ. 17:17) ස්වාභාවික විපතක් නිසා දුක් විඳින අයට උදව් කරන්න පුළුවන් විදි ගැන හිතන්න. චණ්ඩ මාරුතයක් නිසා වැන්දඹු සහෝදරියකගේ නිවසට අලාභහානි වුණා. ඒ සිද්ධිය ගැන එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ සංවිධානයේ ඉන්න ලැබුණු එක මොන තරම් වටිනවද! සහෝදරයන් ඇවිත් මට උදව් පදව් කෙරුවා විතරක් නෙමෙයි ඒ වෙලාවේ දෙවි ගැන තියෙන විශ්වාසය නැති කරගන්නේ නැතුව ඒක තවත් ශක්තිමත් කරගන්න මට උදව් කළා.” කුණාටුවක් නිසා තනිකඩ සහෝදරියකගේ නිවසටත් හුඟක් හානි වුණා. ඒ වෙලාවේ සහෝදරයන්ගෙන් ලැබුණු උදව් ගැන එයා මෙහෙම කියනවා. “ඒක නම් මට හිතාගන්නවත් බෑ. මට හැඟෙන විදිහ ගැන කියන්න මට වචන නෑ. මේ හැම දේටම ස්තුතියි යෙහෝවා!” ඒ වගේ අමාරු වෙලාවලදී අපිට උදව් කරන්න සහෝදර සහෝදරියන් අපිට ඉන්න එක ගැන අපි කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! අගය කරන්න ඕනෙද! ඒත් ඊටත් වඩා අපිව රැකබලා ගන්න යෙහෝවා දෙවිටත් යේසුස්ටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ.

18. යේසුස් ආශ්චර්යයන් කරපු හේතුව ගැන හිතද්දී ඔහු ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

18 පොළොවේ සේවය කරපු කාලෙදී ‘දෙවිට තිබෙන බලය යේසුස් තුළින්’ හොඳින්ම පැහැදිලි වුණා. ඒත් යේසුස් කවදාවත් තමන්ට තිබුණු බලය අනිත් අය අතරේ කැපීපේන්න පාවිච්චි කළේ නැහැ. තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහගන්න ඒ බලය පාවිච්චි කළෙත් නැහැ. ඒ වෙනුවෙට ඒ බලය යොදාගෙන ඔහු ආශ්චර්යයන් කළේ ඔහු මිනිසුන්ට හදවතින්ම ආදරේ කරපු නිසයි. ඒ ගැන තවත් විස්තර අපි ඊළඟ ලිපියෙන් බලමු.