Skip to content

පටුනට යන්න

නිර්මලව ඉන්න අපිට පුළුවන්

නිර්මලව ඉන්න අපිට පුළුවන්

“ඔබේ දෑත් පිරිසිදු කරගන්න. . . . ඔබේ සිත් පවිත්‍ර කරගන්න.”—යාකො. 4:8.

1. වැඩිදෙනෙක් සාමාන්‍ය දේවල් හැටියට සලකන්නේ මොනවද?

අපි ජීවත් වෙන්නේ අනාචාරය අස්සක් මුල්ලක් නෑර පැතුරුණු ලෝකෙක. හුඟදෙනෙක් හිතන්නේ සමලිංගික සේවනය වැරදි නැහැ කියලා. ලිංගික සම්බන්ධකම් පවත්වන්න දෙන්නෙක් විවාහ වෙන්නම ඕනෙ නැහැ කියලා. චිත්‍රපටි, පොත් පත්, ගීතවල, වෙළෙඳ දැන්වීම්වල පිරිලා තියෙන්නේ කාමුක දේවල්. (ගීතා. 12:8) මේ වගේ ලෝකෙක අපි හිටියත් යෙහෝවා දෙවි සතුටු වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න අපිට උදව් කරන්න දෙවිට පුළුවන්. අනාචාරය පිරුණු මේ ලෝකෙ නිර්මලව, පවිත්‍රව ඉන්න අපිට පුළුවන්.—1 තෙසලෝනික 4:3-5 කියවන්න.

2, 3. (අ) නරක සිතුවිලි අපි ප්‍රතික්ෂේප කරන්න ඕනෙ ඇයි? (ආ) අපි මේ ලිපියේ කතා කරන්නේ මොනවා ගැනද?

2 යෙහෝවා දෙවිව සතුටු කරන්න අපිට ඕනෙ නම් ඔහු අකමැති හැම දෙයක්ම අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒත් උරුම වුණු පාපය නිසා අපේ හිතත් හරියට ඇමකට ඇදිලා යන මාළුවෙක් වගේ අනාචාරයට ඇදිලා යන්න ඉඩ තියෙනවා. කාමුක සිතුවිලි අපේ හිතේ ඇති වෙන්න පටන්ගද්දීම අපි ඉක්මනින්ම ඒවා නැති කරලා දාන්න ඕනේ. නැත්නම් ඒ සිතුවිලි වර්ධනය වෙලා අවස්ථාවක් ලැබුණු ගමන්ම අපි අතින් වරදක් වෙන්න පුළුවන්. බයිබලේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.”—යාකොබ් 1:14, 15 කියවන්න.

3 නරක සිතුවිලි පැළයක් වගේ අපේ හිතේ ටික ටික වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා හිතේ ඇති වෙන ආශාවන් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හිතට එන නරක ආශාවන් මුලින්ම උගුල්ලලා දැම්මොත් අනාචාරයෙනුත් ඒ නිසා ඇති වෙන නරක ප්‍රතිඵලවලිනුත් වළකින්න අපිට පුළුවන්. (ගලා. 5:16) එහෙම කරන්න අපිට උදව් වෙන දේවල් 3ක් ගැන මේ ලිපියේ කතා කරනවා. ඒ තමයි යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන මිත්‍රත්වය, දේවවචනයෙන් අපිට ලැබෙන මඟ පෙන්වීම් සහ අවබෝධයෙන් වැඩ කරන සහෝදරයන්ගේ උදව්.

“දෙවිට ළං වන්න”

4. යෙහෝවා දෙවිට ළං වෙන එක අපිට උදව් වෙන්නේ කොහොමද?

4 “දෙවිට ළං වන්න” කැමති අය තමන්ගේ “දෑත් පිරිසිදු කරගන්න” වගේම “සිත් පවිත්‍ර කරගන්නත්” ලොකු උත්සාහයක් ගන්නවා. (යාකො. 4:8) යෙහෝවා දෙවි අපේ හොඳම යාළුවා නම් ඔහු කැමති විදිහට අපි වැඩ කරනවා විතරක් නෙමෙයි අපි හිතන්නෙත් ඔහුගේ හිත සතුටු කරන විදිහටයි. අපේ සිතුවිලි නිතරම නිර්මලයි නම් පවිත්‍රයි නම් අපේ හිතත් පිරිසිදුයි. (ගීතා. 24:3, 4; 51:6; ෆිලි. 4:8) නරක, කාමුක දේවල් ගැන හිතන්න අපි පෙලඹෙන්න පුළුවන් කියලා යෙහෝවා දෙවිත් දන්නවා. ඒත් අපි දෙවිගේ හිතට දුකක් දෙන්න කොහොමටවත් කැමති නැහැ. (උත්. 6:5, 6) ඒ නිසා නරක සිතුවිලි හිතෙන් සම්පූර්ණයෙන්ම උගුල්ලලා දාන්නත් සිතුවිලි නිතරම නිර්මලව තියාගන්නත් අපි ලොකු සටනක් කරමු.

5, 6. කාමුක සිතුවිලි පරාජය කරන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

5 අපි නිතරම යාච්ඤාවෙන් දෙවිගේ උදව් ඉල්ලනවා නම් නරක සිතුවිලි එක්ක සටන් කරන්න ඔහු අපිට උදව් කරනවා. දිගටම නිර්මලව ඉන්න ඔහු තම බලය දීලා අපිව ශක්තිමත් කරනවා. දෙවිව සතුටු වෙන විදිහට දේවල් කරන්නත් අපේ සිතුවිලි දෙවි සතුටු කරන විදිහේ ඒවා කරගන්නත් අපිට ඕනෙ කියලා දෙවිට කියමු. (ගීතා. 19:14) අපි අතින් පාපයක් වෙන්න මඟ පාදන පුංචි හරි නරක සිතුවිල්ලක් හිතේ තියෙනවා නම් ඒක අඳුනගන්න උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලමු. (ගීතා. 139:23, 24) මොන තරම් අමාරු තත්වයකදී වුණත් අනාචාරය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා හරි දේ කරන්න උදව් කරන්න කියලා දිගටම දෙවිගෙන් අයැදිමු.—මතෙ. 6:13.

6 යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න කලින් ඔහු අකමැති දේවල් අපි කරන්න ඇති. නරක පුරුදුවලට අපේ හිතේ කැමැත්තක් තියෙන්න ඇති. සමහරවිට අපි තාමත් ඒ වැරදි සිතුවිලි එක්ක සටන් කරනවා ඇති. ඒත් අපේ සිතුවිලි වෙනස් කරගෙන දෙවි සතුටු කරන විදිහට වැඩ කරන්න අපිට උදව් කරන්න දෙවිට පුළුවන්. ඒකට දාවිත් හොඳ උදාහරණයක්. බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණට පස්සේ ඒ ගැන දාවිත් හුඟක් පසුතැවුණා. “අනේ දෙවියනි, මට පිරිසිදු හදවතක් ලබා දෙන්න. නොසැලී ස්ථිරව සිටීමට හැකි වන පිණිස මා සිතන ආකාරය නිවැරදි කර, අලුත් සිතක් මට ලබා දෙන්න” කියලා ඔහු දෙවිගෙන් මහත් ඕනෑකමින් ඉල්ලුවා. (ගීතා. 51:10, 12) අතීතයේදී අපි කාමුක දේවලට දැඩි ආශාවක් දැක්කුවත් නරක පුරුදුවලට ඇබ්බැහි වෙලා හිටියත් තාමත් ඒ වගේ ආශාවන් එක්ක සටන් කරනවා වුණත් අපිට උදව් කරන්න දෙවිට පුළුවන්. දෙවි එහෙම කරන්නේ ඔහුට කීකරුව හරි දේ කරන්න ඊටත් වඩා ආශාවක් අපි තුළ ඇති කරලයි. නරක සිතුවිලි පාලනය කරගන්න උදව් කරලයි.—ගීතා. 119:133.

වැරදි ආශාවක් හිතේ ලියලන්න කලින් උගුල්ලලා දාන්න (6 ඡේදය බලන්න)

“දෙවිගේ වදන් පිළිපදින්නන් වන්න”

7. නරක සිතුවිලි ප්‍රතික්ෂේප කරන්න බයිබලේ අපිට උදව් වෙන්නේ කොහොමද?

7 උදව් ඉල්ලලා අපි කරන යාච්ඤාවලට දේවවචනයෙන් උත්තර දෙන්න යෙහෝවා දෙවිට පුළුවන්. නිර්මලව ඉන්න නම් අපිට දෙවිගේ ප්‍රඥාව ඕනෙමයි. ඒක ලබාගන්න පුළුවන් බයිබලෙන්. (යාකො. 3:17) දිනපතා බයිබලේ කියවද්දී නිර්මල සිතුවිලිවලින් මනස පුරවගන්න අපිට පුළුවන්. (ගීතා. 19:7, 11; 119:9, 11) නරක සිතුවිලි ප්‍රතික්ෂේප කරන එකේ තියෙන වටිනාකම ගැන අපිට කියලා දෙන හුඟක් උදාහරණ බයිබලේ තියෙනවා.

8, 9. (අ) ගණිකාවක් එක්ක අනාචාරයේ යෙදෙන්න තරුණයෙක් පෙලඹුණේ කොහොමද? (ආ) හිතෝපදේශ 7වෙනි පරිච්ඡේදය අපිට උදව් කරන්නේ මොන වගේ අනතුරුවලින් වළකින්නද?

8 අනාචාරයෙන් ඈත් වෙලා ඉන්න කියලා හිතෝපදේශ 5:8 කියනවා. ඒ උපදෙස අදාළ කරගත්තේ නැති තරුණයෙක් ගැන කතාවක් හිතෝපදේශ 7වෙනි පරිච්ඡේදයේ අපිට දකින්න පුළුවන්. දවසක් අඳුර වැටීගෙන එද්දී ඔහු ඇවිදින්න යනවා. ඔහු ඇවිදගෙන යන්නේ ගණිකාවක් ඉන්න ගෙයක් ළඟින්. “ගණිකාවකගේ ඇඳුමෙන් සැරසී සිටින” ඒ ස්ත්‍රිය ඉන්නේ පාර අයිනේ. තරුණයාව දකින ඇය ඔහු ළඟට ගිහින් ඔහුව වැලඳගෙන සිපගන්නවා. හිත ඇදගන්න විදිහටත් කාමුක හැඟීම් ඇවිස්සෙන විදිහටත් කතා කරනවා. ඒ හැඟීම් පාලනය කර නොගන්න ඔහු, අන්තිමේදී ඇය සමඟ අනාචාරයේ යෙදෙනවා. ඔහු ගෙදරින් එළියට බැස්සේ අනාචාරයේ යෙදෙන්න හිතාගෙන නෙමෙයි. ඒත් ඔහු අතින් ඒ වරද වුණා. ඒ වරදේ දරුණු ප්‍රතිඵල ඔහුට විඳින්න සිද්ධ වෙනවා. ඒත් වැටෙන්න යන අනතුර ගැන ඔහු කලින් තේරුම්ගත්තා නම් ඒකෙන් වළකින්න ඔහුට පුළුවන්කම තිබුණා.—හිතෝ. 7:6-27.

9 අනතුරු ගැන අවබෝධයක් නැත්නම් අපිත් ඒ තරුණයා වගේ මෝඩ තීරණ ගනියි. උදාහරණෙකට රාත්‍රි කාලේ සමහර TV චැනල්වල කාමුක හැඟීම් අවුස්සන වැඩසටහන් විකාශනය වෙනවා. ඒ නිසා ඔහේ චැනල් මාරු කරකර ඉන්න එක භයානකයි. ඉන්ටර්නෙට් එකේ ඉද්දී නොදන්න වෙබ් අඩවිවලට පිවිසෙන එක භයානකයි. සමහර වෙබ් අඩවිවල, චැට් රූම්ස්වල හැඟීම් අවුස්සන දැන්වීම් පළ වෙනවා. නැත්නම් කාමුක දර්ශන ඇතුළත් වෙබ් අඩවිවලට යන ලින්ක් තියෙනවා. ඒවා බලන්න ගියොත් අපේ හිතේ වැරදි ආශාවන් ඇති වෙලා යෙහෝවා දෙවි එපා කියපු දෙයක් අපි අතින් වෙන්න පුළුවන්.

10. ඉඟි බිඟි පාන එක භයානක ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

10 පිරිමි අයත් ගැහැනු අයත් එකිනෙකාට සලකන්න ඕනෙ කොහොමද කියලා බයිබලේ කියනවා. (1 තිමෝති 5:2 කියවන්න.) දෙවිට සේවය කරන අය විදිහට අපි ආලවන්ත හැඟීම් පළ කරන්නේ අපේ විවාහ සහකරුට, සහකාරියට නැත්නම් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාට විතරයි. ඒ ඇරෙන්න වෙන අයට අපි ඉඟි බිඟි පාන්නේ නැහැ. ඉඟි බිඟි පානකොට, තව කෙනෙක්ගේ අවධානය ඇදගන්න විදිහට හැසිරෙනකොට දෙන්නා අතරේ ස්පර්ෂ කිරීමක් සිද්ධ වෙන්නේ නැති නිසා හුඟදෙනෙක් හිතන්නේ ඒ දේවල වරදක් නැහැ කියලයි. ඒත් ඒකෙන් වෙන්නේ ඒ දෙන්නාගේ හිතේ කාමුක හැඟීම් ඇවිස්සෙන එකයි. ඒක අනාචාරයෙන් අවසන් වෙන්න ඉඩ තියෙනවා. ඒ උගුලට හුඟදෙනෙක් අහු වෙලා තියෙනවා. ඉස්සරහටත් අහු වෙන්න පුළුවන්.

11. අපිට යෝසෙප්ගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

11 යෝසෙප් අපිට හොඳ ආදර්ශයක්. පොතිෆර්ගේ බිරිඳට ඕන වුණේ යෝසෙප්ව පොලඹවගෙන ඔහු එක්ක අනියම් ඇසුරක් පවත්වන්න. ඔහු ඒකට කොහොමටවත් කැමති වුණේ නැහැ. ඒත් ඇය උත්සාහය අත්හැරියේ නැහැ. දවස ගානේ “ඇය සමඟ තනිවම කාලය ගත කරන ලෙස” ඇය ඔහුට බල කළා. (උත්. 39:7, 8, 10) බයිබල් විශාරදයෙක් ඒක විස්තර කළේ දෙන්නා තනි වුණොත් තමන් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න යෝසෙප් තුළ ආශාවක් ඇති වෙයි කියලා ඇය හිතන්න ඇති කියලයි. ඇගේ ඉඟි බිඟිවලට කිසිම අනුබලයක් නොදී ඉන්නත් එක බැල්මකින්වත් ඇගේ හිතේ බලාපොරොත්තුවක් ඇති නොකර ඉන්නත් ඔහු අදිටන් කරගත්තා. ඒ නිසා නරක සිතුවිලිවලට තමන්ගේ හිතේ මුල් අදින්න කිසිම ඉඩක් නොදී ඉන්න ඔහුට පුළුවන් වුණා. දවසක් ඇය යෝසෙප්ගේ ඇඳුමෙන් අල්ලගෙන තමන් එක්ක එකට ඉන්න කියලා බල කරද්දී ඒ වෙලාවේම “ඔහු තම ඇඳුම අත්හැර නිවසෙන් පිටතට පලා ගියා.”—උත්. 39:12.

12. අපි දකින, බලන දේවල් අපේ සිතුවිලිවලට බලපානවා කියලා අපි දන්නේ කොහොමද?

12 අපේ හිතේ කාමුක හැඟීම් ඇති කරන්න අපි දකින, බලන දේවලට පුළුවන් කියලා යේසුස් අනතුරු ඇඟෙව්වා. ඔහු කිව්වේ මෙහෙමයි. “කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇති බවයි.” (මතෙ. 5:28) දාවිත්ට වුණෙත් ඒ දේමයි. ඔහු “නිවසේ සැඳැල්ලට ගොස් එහි සක්මන් කරමින් සිටියේය. ඒ අවස්ථාවේදී දිය නාමින් සිටි කාන්තාවක ඔහුගේ නෙත ගැටුණේය.” (2 සාමු. 11:2) එතනින් අහකට යනවා වෙනුවට ඔහු කළේ දිගින් දිගටම ඇය දිහා බලමින් ඇය ගැන හිතපු එකයි. ඇය වෙන කෙනෙක්ගේ බිරිඳක් කියලා දැනගත්තත් ඇය ගැන ඇති වුණු ආශාව ඔහු නැති කරගත්තේ නැහැ. අන්තිමේදී ඔහු අනාචාරයේ යෙදුණා.

13. අපේ දෑස් සමඟ “ගිවිසුමක්” ඇති කරගන්න ඕනෙ ඇයි? ඒක කරන්නේ කොහොමද?

13 නරක සිතුවිලි එක්ක කරන සටන ජය ගන්න නම් යෝබ් වගේ අපිත් අපේ ‘දෑස් සමඟ ගිවිසුමක් ඇති කරගන්න’ ඕනේ. (යෝබ් 31:1, 7, 9) යම් කෙනෙක් ගැන ආශාවක් ඇති කරගෙන හිතේ අනාචාර සිතුවිලිවලට වැඩෙන්න ඉඩ නොදී ඉන්න අපිත් අදිටන් කරගමු. විශාල දැන්වීම් පුවරුවල, අන්තර්ජාලයේ, සඟරා පොත්වල නැත්නම් වෙන ඕනම දේක කාමුක හැඟීම් අවුස්සන විදිහේ දර්ශනයක් දැක්කොත් ඒ වෙලාවෙම අපේ ඇස් අහකට ගමු.

14. නිර්මලව ඉන්න කියන උපදෙසින් ප්‍රයෝජන ගන්න අපි කරන්න ඕනෙ මොකක්ද?

14 අපි මේ වෙන කල් කතා කරපු දේවල් ගැන හිතද්දී ඔයාට මොනවද තේරෙන්නේ? ‘අනාචාර සිතුවිලිවලට හිතේ ඉඩක් නොදී ඉන්න නම් මගේ පැත්තෙන් මීට වඩා දෙයක් කරන්න ඕනෙ’ කියලා ඔයාට හිතෙනවද? එහෙමනම් ඉක්මනින්ම ඒක කරන්න. යෙහෝවා දෙවිට කීකරු වුණොත් අනාචාරයට හසු නොවී දිගටම නිර්මලව ඉන්න ඔයාට පුළුවන්.—යාකොබ් 1:21-25 කියවන්න.

‘වැඩිමහල්ලන්ව කැඳවන්න’

15. නරක සිතුවිලි එක්ක කරන සටන ජය ගන්න අමාරුයි කියලා හිතෙනවා නම් තව කෙනෙක්ගේ උදව් ඉල්ලන්න ඕනෙ ඇයි?

15 නරක සිතුවිලි එක්ක කරන සටන ජය ගන්න අමාරුයි කියලා හිතෙනවා නම් ඒ ගැන සභාවේ ඉන්න අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් එක්ක කතා කරන්න. ඒ වගේ දෙයක් තවත් කෙනෙක් එක්ක කතා කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් වෙන කෙනෙක්ගේ උදව් ගන්න එක හරිම වැදගත්. (හිතෝ. 18:1; හෙබ්‍රෙ. 3:12, 13) මොකද එයාට පුළුවන් ඔයා වෙනස් වෙන්න ඕන පැති තේරුම්ගන්න ඔයාට උදව් කරන්න. ඔයා ඒවා තේරුම්ගත්තට පස්සේ අවශ්‍ය වෙනස්කම් කරගන්න. දෙවි එක්ක මිත්‍රත්වය දිගටම තියාගන්න එතකොට ඔයාට පුළුවන්.

16, 17. (අ) නරක සිතුවිලි එක්ක කරන සටන ජය ගන්න අමාරුයි කියලා හිතෙන අයට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? අද්දැකීමෙන් ඒක පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) අසභ්‍ය දර්ශන බලන අය ඉක්මනින්ම උදව් ඉල්ලන්න ඕනෙ ඇයි?

16 වැඩිමහල්ලන් තමයි අපිට උදව් කරන්න ඉන්න හොඳම අය. (යාකොබ් 5:13-15 කියවන්න.) අවුරුදු ගාණක් තිස්සේ හිතේ ඇති වුණු නරක සිතුවිලි එක්ක සටන් කළත් ඒක ජය ගන්න බැහැ කියලා දැනුණු තරුණ සහෝදරයෙක් බ්‍රසීලයේ හිටියා. “මගේ හිතේ තිබුණු දේවල් ගැන යෙහෝවා දෙවි සතුටු වෙන්නේ නැහැ කියලා මං දැනං හිටියා. ඒත් ඒ ගැන තව කෙනෙක් එක්ක කතා කරන්න මං ලැජ්ජාවෙන් හිටියේ” කියලා ඔහු කියනවා. ඔහුට උදව් අවශ්‍යයි කියලා තේරුම්ගත්ත වැඩිමහල්ලෙක් ඒ ප්‍රශ්නේ ගැන වැඩිමහල්ලන්ව හම්බ වෙලා කතා කරන්න කියලා ඔහුව දිරිගැන්නුවා. “මගේ ප්‍රශ්නේ ගැන කිව්වම මං වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වුණේ වෙනස් ප්‍රතිචාරයක්. ඒත් එයාලා මාව තේරුම් අරන් ආදරෙන් සැලකුවා. මගේ ප්‍රශ්නේ ගැන කියද්දී හොඳට අහගෙන හිටියා. යෙහෝවා දෙවි මට කොච්චර ආදරේද කියලා බයිබලෙන් මට ආයෙත් මතක් කරලා දුන්නා. මාත් එක්ක ඉඳලා මං වෙනුවෙන් යාච්ඤා කළා. ඒ නිසා මට පුළුවන් වුණා එයාලා දුන්න උපදෙස්, මඟ පෙන්වීම් පිළිගන්න.” දෙවිත් එක්ක තිබුණු මිත්‍රත්වය ආයෙත් ශක්තිමත් කරගත්තට පස්සේ ඔහු මෙහෙම කියනවා. “තනියම ප්‍රශ්න හිතේ තද කරගෙන ඉන්නවට වඩා උදව් ඉල්ලන එක කොච්චර වටිනවද කියලා මං තේරුම්ගත්තා.”

17 ඔයාත් අසභ්‍ය දර්ශන බලන පුරුද්දට ඇබ්බැහි වුණු කෙනෙක් නම් ඉක්මනින්ම වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න. ඒක කරන්න පරක්කු වෙන තරමට ඔයා අනාචාරයට වැටෙන්න තියෙන ඉඩකඩත් එන්න එන්නම වැඩි වෙනවා. ඒ වරදට වැටුණොත් ඒක ඔයා ආදරේ කරන අයගේ හිතට ලොකු වේදනාවක්. යෙහෝවා දෙවිගේ නමට අගෞරවයක්. ඒ නරක පුරුද්දට වැටුණු හුඟක් අය වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලලා ඔවුන් දෙන මඟ පෙන්වීම් පිළි අරන් තියෙනවා. එහෙම කළේ යෙහෝවා දෙවිව සතුටු කරන්නත් ක්‍රිස්තියානි සභාවේ දිගටම ඉන්නත් ඔවුන්ට තිබුණු වුවමනාව නිසයි.—යාකො. 1:15; ගීතා. 141:5; හෙබ්‍රෙ. 12:5, 6.

දිගටම නිර්මලව ඉන්න

18. ඔයාගේ අදිටන මොකක්ද?

18 දවසින් දවස පිරිහෙන සාතන්ගේ ලෝකෙ ජීවත් වෙන අපි උත්සාහ කරන්නේ අපේ සිතුවිලි පවිත්‍රව තියාගෙන නිර්මලව ජීවත් වෙන්නයි. ඒ උත්සාහය දකිද්දී යෙහෝවා දෙවි හුඟක් සතුටු වෙනවා. දිගටම දෙවිට ළං වෙලා ඉන්න එකත් බයිබලෙන් සහ සභාවෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන එකත් අපේ උත්සාහය සාර්ථක කරගන්න අත්‍යවශ්‍යයි. ඒ දේවල් කරනවා නම් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සතුටින් ඉන්න අපිට පුළුවන් වෙනවා. (ගීතා. 119:5, 6) ඒ වගේම අනාගතයේදී සාතන් නැති, ලස්සන පරාදීසයක සදාකල් ජීවත් වෙන්න අපිට පුළුවන්.