Skip to content

පටුනට යන්න

ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 2වෙනි කොටස

ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 2වෙනි කොටස

“ඔබේ පියාණන් . . . ඔබට අවශ්‍ය කුමක්ද කියා දන්නවා.”—මතෙ. 6:8.

1-3. අපිට අවශ්‍ය මොනවද කියලා යෙහෝවා දෙවි හොඳින්ම දන්නවා කියන දේ ලානාට ස්ථිර වුණේ කොහොමද?

ලානා ස්ථාවර පුරෝගාමියෙක්. 2012දී ජර්මනියට ගිය ගමනේදී කරපු යාච්ඤා 2කට පිළිතුරු ලැබුණු විදිහ කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා එයා කියනවා. ජර්මනියේ ඉඳන් ආපහු යන්න ගුවන් තොටුපොළට යන අතරේ ලානා දෙවිට යාච්ඤා කරලා කිව්වා කාට හරි දේශනා කරන්න එයාට අවස්ථාවක් ලබා දෙන්න කියලා. යන්න හිටපු ගුවන් ගමන පහුවදාට කල් ගිහින් කියලා එයාට දැනගන්න ලැබුණේ ගුවන් තොටුපොළට ආවට පස්සේ. හෝටලයක නවතින්න අතේ සල්ලි තිබුණෙත් නැහැ. තමන් ඉන්න අමාරු තත්වය ගැන කියලා එයා යෙහෝවා දෙවිට යාච්ඤා කළා.

2 යාච්ඤා කරලා ඉවර වෙනවත් එක්කම “ලානා! ඔයා මොනවද මෙහෙ කරන්නේ” කියලා කෙනෙක් අහනවා එයාට ඇහුණා. බලනකොට ඒ ලානාගේ ඉස්කෝලෙ යාළුවෙක්. ඒ තරුණයා ඇවිත් හිටියේ දකුණු අප්‍රිකාවට යන්න. එයාව ඇරලවන්න එයාගේ අම්මායි ආච්චිත් ඇවිත් හිටියා. වෙච්ච දේ කිව්වම අම්මායි ආච්චියි ලානාට කිව්වා එයාලගේ ගෙදර නවතින්න කියලා. ඔය අතරේ ලානාගේ විශ්වාසයන් ගැන, පුරෝගාමි සේවය ගැන හුඟක් ප්‍රශ්න එයාලා ඇහුවා.

3 පහුවදා උදේ බයිබලේ ගැන එයාලා අහපු හුඟක් ප්‍රශ්නවලට ලානා උත්තර දුන්නා. එහාට කාව හරි යවන්න ඕනෙ නිසා එයාලගේ ලිපිනයත් ඉල්ලගත්තා. ඊටපස්සේ ලානා එයාගේ රටට ගියා. එදා ඒ විදිහට වුණේ යෙහෝවා දෙවි තමන්ගේ යාච්ඤා අහලා උදව් කරපු නිසයි කියලා ලානාට හොඳටම විශ්වාසයි.—ගීතා. 65:2.

4. අපි මේ ලිපියේ බලන්නේ මොනවා ගැනද?

4 හිතපු නැති විදිහේ ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී යෙහෝවා දෙවිට යාච්ඤා කරලා උදව් ඉල්ලන්න අපිට එච්චර අමාරු නැතුව ඇති. දෙවිත් ඒ යාච්ඤා අහන්නේ කැමැත්තෙන්. (ගීතා. 34:15; හිතෝ. 15:8) ඒත් අපේ යාච්ඤාවලට ඇතුළත් කරන්න ඕන ඊට වඩා වැදගත්, අත්‍යවශ්‍ය දේවල් තියෙනවා කියලා යේසුස්ගේ ආදර්ශ යාච්ඤාව අධ්‍යයනය කරද්දී අපිට තේරෙනවා. ආදර්ශ යාච්ඤාවේ අන්තිම ඉල්ලීම් 4 අධ්‍යයනය කරද්දී දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න ඒවා අපිට උදව් වෙන විදි ගැන බලමු.—මතෙව් 6:11-13 කියවන්න.

“දිනපතා අපට අවශ්‍ය ආහාර දෙන්න”

5, 6. කෑමෙන් බීමෙන් අපිට අඩුවක් නැති වුණත් “අපට අවශ්‍ය ආහාර” දෙන්න කියලා යාච්ඤා කරන්න යේසුස් කිව්වේ ඇයි?

5 යේසුස් ඉගැන්නුවේ “අපට අවශ්‍ය ආහාර” දෙන්න කියලා ඉල්ලන්න කියලයි. එතනදී “මට” වෙනුවට “අපට” කියන වචනය පාවිච්චි කරපු එකෙන් පේන්නේ අපේ වගේම අනිත් අයගෙත් අවශ්‍යතා ගැන යාච්ඤා කරන්න ඕනෙ කියලයි. වික්ටර් අප්‍රිකාවේ ඉන්න චාරිකා සේවකයෙක්. එයා මෙහෙම කියනවා. “හෙට කන්නේ බොන්නේ මොනවද, ඉන්නේ කොහෙද කියලා හිතලා මමයි බිරිඳයි කරදර වෙන්නේ නැහැ. සහෝදරයෝ ඒ හැම දේම බලාගන්නවා. ඒ ගැන මං හැමදාම දෙවිට ස්තුති කරනවා. ඒ වගේම අපිව බලාගන්න සහෝදරයන්ගේ එදිනෙදා අවශ්‍යතා පිරිමහගන්න උදව් කරන්න කියලත් මං නිතරම දෙවිට යාච්ඤා කරනවා.”

6 අපිට කෑමෙන් බීමෙන් අඩුවක් නැති වුණත් අපේ හුඟක් සහෝදර සහෝදරියන් දුප්පත්. සමහරු ස්වාභාවික විපත් නිසා දුක් විඳිනවා. ඒ අයට උදව් කරන්න කියලා යාච්ඤා කරනවා වගේම අපි ඒ අය වෙනුවෙන් යමක් කරන්නත් ඕනේ. අපිට තියෙන දේවල් ඒ අය එක්ක බෙදාගන්න එකෙන්, ලෝක ව්‍යාප්ත සේවයට නිතිපතා සම්මාදම් කරන එකෙන් අපිට ඒ දේ කරන්න පුළුවන්. උදව් ඕන කරන අයට උදව් කරන්න ඒ සම්මාදම් යොදාගන්නවා කියලා අපි දන්නවා.—1 යොහ. 3:17.

7. හෙට දවස ගැන කනස්සලු වෙන්න එපා කියලා යේසුස් පැහැදිලි කළේ කොහොමද?

7 ආදර්ශ යාච්ඤාව කියලා දුන්නට පස්සේ අපේ එදිනෙදා අවශ්‍යතා ගැන ඕනෑවට වඩා හිතන්න එපා කියලා යේසුස් මතක් කළා. යෙහෝවා දෙවි තණබිමේ තියෙන පැළෑටි ගැන සැලකිලිමත් වෙනවා නම් “ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද” කියලා යේසුස් ඇහුවා. “එමනිසා ‘අඳින්නේ මොනවාද’ කියා සිතමින් කිසිවිටක කනස්සලු නොවන්න” කියලා ඔහු කිව්වා. ඊටපස්සේ “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න” කියලා ඔහු ආයෙත් මතක් කළා. (මතෙ. 6:30-34) හෙට ගැන හිතලා වද වෙනවා වෙනුවට අපි කරන්න ඕනෙ එදිනෙදා අපේ මූලික අවශ්‍යතාවලින් සෑහීමට පත් වෙන එකයි. ඉන්න හිටින්න තැනක්, පවුලේ අවශ්‍යතා පිරිමහන්න රැකියාවක්, ලෙඩ දුක්වලදී හොඳ තීරණ ගන්න ප්‍රඥාව අපිට දෙවිගෙන් ඉල්ලන්න පුළුවන්. ඒත් යාච්ඤාවෙන් ඉල්ලන්න ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා.

8. එදිනෙදා ආහාර ගැන යේසුස් කියපු දේ අපිට මතක් කරන්නේ මොන වැදගත් කාරණයද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

8 එදිනෙදා ආහාර ගැන යාච්ඤා කරන්න කියද්දී යේසුස් කියපු තවත් දෙයක් මතක් වෙනවා. “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතම” කියලා ඔහු කිව්වා. (මතෙ. 4:4) දෙවි එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න උදව් වෙන පෝෂණය අපිට නොකඩවා දෙන්න කියලත් යාච්ඤාවෙන් ඉල්ලන්න ඕනේ.

“අපේ වැරදිවලටද අපට සමාව දෙන්න”

9. අපේ වැරදි නැත්නම් පව් ණයකට සමාන වෙන්නේ කොහොමද?

9 “අපේ වැරදිවලටද අපට සමාව දෙන්න” කියලා යාච්ඤා කරන්න යේසුස් කිව්වා. එතන “වැරදිවලට” කියන වචනය පාදසටහනේ විස්තර කරන්නේ “ණයවලට” කියලයි. තවත් අවස්ථාවක ඔහු ඒ ගැන කිව්වේ “අපේ පව්වලට සමාව දෙන්න” කියලයි. (මතෙ. 6:12; ලූක් 11:4) ඒ කියන්නේ අපේ වැරදි නැත්නම් පව් ණයකට සමානයි. ඒ ගැන 1951 ‘මුරටැඹ’ සඟරාවක විස්තර කරලා තිබුණු විදිහට යෙහෝවා දෙවිට ආදරේ කරන්න, ඔහුට කීකරුව ඉන්න අපි බැඳිලා ඉන්නවා. අපි බැඳිලා ඉන්න ඒ දේ කරන්න අපිට බැරි වෙද්දී ඒ කියන්නේ අපි අතින් වරදක් වෙද්දී ඒක හරියට ඔහුට ණය වෙනවා වගේ. ඒ විදිහට ණය වෙද්දී අපි එක්ක තියෙන මිත්‍රත්වය නවත්තලා දාන්න වුණත් දෙවිට පුළුවන්. “පාපයක් කරනවා කියන්නේ අපි දෙවිට ආදරේ නැහැ කියලා පෙන්නන එකයි” කියලා ඒ සඟරාවේ තිබුණා.—1 යොහ. 5:3.

10. අපේ වැරදිවලට සමාව දෙන්න දෙවිට පුළුවන් ඇයි? ඒ ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

10 අපි අතින් හැමදාම වැරදි වෙනවා. ඒවාට සමාව දෙන්න දෙවි යේසුස්ගේ ජීවිත පූජාව කියන වටිනා තෑග්ග දුන්න එක අපි කොයි තරම් අගය කරන්න ඕනෙද! යේසුස් ඔහුගේ ජීවිතේ පූජා කරලා දැන් අවුරුදු 2,000ක් විතර ගත වෙලා. ඒත් අපි අතින් වෙන වැරදිවලට දෙවි අදටත් ඒ පූජාව යොදාගෙන සමාව දෙනවා. ඒ ගැන අපි නිතරම යෙහෝවා දෙවිට ස්තුති කරන්න ඕනේ. මොකද පාපයෙන් සහ මරණයෙන් අපිව නිදහස් කරගන්න අවශ්‍ය වන්දිය දෙන්න අපි කාටවත් බැහැ. (ගීතාවලිය 49:7-9; 1 පේතෘස් 1:18, 19 කියවන්න.) “අපේ වැරදිවලටද අපට සමාව දෙන්න” කියලා යේසුස් කියපු දෙයින් අපිට තවත් දෙයක් මතක් කරනවා. ඒ තමයි අපිට වගේම අපේ සහෝදර සහෝදරියන්ටත් දෙවිගේ සමාව ඕනෙ කියන දේ. දෙවි එක්ක තියෙන බැඳීම රැකගන්න අපි උත්සාහ කරනවා වගේම අපේ සහෝදරයන්ට දෙවි එක්ක තියෙන බැඳීම රැකගන්න අපි උදව් කරයි කියලත් දෙවි බලාපොරොත්තු වෙනවා. ඒක කරන්න නම් ඒ අය අතින් අපිට වරදක් වුණාම ඉක්මනින්ම සමාව දෙන්න ඕනේ. හුඟක් වෙලාවට ඒ අය අතින් වෙන්නේ පොඩි පොඩි අඩුපාඩුකම්. ඒවාට සමාව දෙනවා නම් අපි ඒ අයට ආදරෙයි කියලා ඔප්පු වෙනවා. යෙහෝවා දෙවි අපිට සමාව දෙන එක ගැන අපිට ලොකු අගයක් තියෙනවා කියලත් ඒකෙන් පේනවා.—කොලො. 3:13.

දෙවි ඔයාගේ වැරදිවලට සමාව දෙන්න නම් ඔයාත් අනිත් අයට සමාව දෙන්න ඕනේ (11 ඡේදය බලන්න)

11. අනිත් අයට සමාව දෙන එක වැදගත් ඇයි?

11 අපි පව්කාරයන් නිසා අනිත් අය අතින් අපිට වෙන වැරදිවලට සමාව දෙන්න සමහර වෙලාවට ලේසි නැහැ. (ලෙවී. 19:18) සමාව නොදී ඒ ගැන සභාවේ අනිත් අය එක්ක කතා කරද්දී අපි ඒ අයවත් ප්‍රශ්නෙට හවුල් කරගන්නවා. ඒක සභාවේ සාමයට හානියක්. ප්‍රශ්නේ දුර දිග යන්න ඉඩහැරියොත් අපි පෙන්නන්නේ යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට අගයක් නැහැ කියලයි. එහෙම වෙද්දී යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න අපිට බැරි වෙනවා. අපි අනිත් අයට සමාව දෙන්නේ නැත්නම් යෙහෝවා දෙවි අපිට සමාව දෙන්නේ නැහැ. (මතෙව් 6:14, 15 කියවන්න; මතෙ. 18:35) ඒ වගේම දෙවිගෙන් සමාව ලබාගන්න නම් දිගින් දිගටම බරපතළ වැරදි නොකර ඉන්න එක අත්‍යවශ්‍යයි.—1 යොහ. 3:4, 6.

“වරදට පෙලඹීමට ඉඩ නොදෙන්න”

12, 13. (අ) බව්තීස්ම වුණු දවසේ යේසුස් මුහුණ දීපු සිද්ධිය මොකක්ද? (ආ) අපි වරදකට පෙලඹුණොත් ඒකට වග කියන්න ඕනෙ අපිමයි කියලා කියන්නේ ඇයි? (ඇ) මරණය දක්වාම විශ්වාසවන්තව ඉඳලා යේසුස් ඔප්පු කළේ මොකක්ද?

12 ආදර්ශ යාච්ඤාවේ ඊළඟ ඉල්ලීම “වරදට පෙලඹීමට ඉඩ නොදෙන්න” කියන ඉල්ලීමයි. ඒක කියද්දී යේසුස් බව්තීස්ම වුණු දවසේ වෙච්ච දෙයක් අපිට මතක් වෙනවා. දෙවි තම බලයෙන් යේසුස්ට පාළුකරයට යන්න මඟ පෙන්නුවට පස්සේ “යක්ෂයා ඔහුව වරදකට හසු කරගන්න උත්සාහ කළා.” (මතෙ. 4:1; 6:13) යෙහෝවා දෙවි ඒකට ඉඩහැරියේ ඇයි? මේ ගැන හිතන්න. ආදම් සහ ඒව දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරපු වෙලාවේ ප්‍රශ්න කීපයක් මතු වුණා. දෙවි මිනිසුන්ව නිර්මාණය කරපු විදිහේ මොකක් හරි අඩුවක් තියෙනවද? “දුෂ්ටයාගේ” පෙලඹීම්වලට හසු නොවී දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න පරිපූර්ණ කෙනෙකුට පුළුවන්ද? මිනිසුන්ගේ පාලනය දෙවිගේ පාලනයට වඩා හොඳද? (උත්. 3:4, 5) ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න යම් කාලයක් ගත වෙනවා. අනාගතයේදී ඒවාට උත්තර ලැබිලා දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් වෙද්දී යෙහෝවා දෙවිගේ පාලනය හොඳම පාලනය කියලා ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න හැමෝම දැනගන්නවා.

13 යෙහෝවා දෙවි ශුද්ධ දෙවි කෙනෙක්. ඒ නිසා ඔහු කවදාවත් නපුරු දේවල් කරන්න කාවවත් පොලඹවන්නේ නැහැ. එහෙම කරන්නේ “වරදට පොලඹවන්නා” වන සාතන්. (මතෙ. 4:3) අපිව වරදකට හසු කරගන්න ඔහු විවිධ විදිවලින් උත්සාහ කරනවා. ඒත් ඒවාට හසු වෙනවද නැද්ද කියන තීරණය තියෙන්නේ අපේ අතේ. (යාකොබ් 1:13-15 කියවන්න.) යේසුස්ව වරදකට හසු කරගන්න උත්සාහ කරපු වෙලාවේ ඔහු ඉක්මනින්ම දේවවචනයෙන් සාතන්ට පිළිතුරු දුන්නා. දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. ඒත් සාතනුත් උත්සාහය අත්හැරියේ නැහැ. ඒක කරන්න “තවත් සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක්” ඔහු බලාගෙන හිටියා. (ලූක් 4:13) සාතන් මොන දේ කළත් යේසුස් දිගටම තමන්ගේ පාලකයා විදිහට දෙවිට කීකරුව හිටියා. මොන තරම් අමාරු තත්වයකදී වුණත් දෙවිට කීකරුව ඉන්න පරිපූර්ණ කෙනෙකුට පුළුවන් කියන දේ ඔහු ඔප්පු කරලා පෙන්නුවා. යේසුස්ව පොලඹවගන්න බැරි වුණත් ඔයා ඇතුළුව ඔහුගේ හැම අනුගාමිකයෙක්වම වරදකට පොලඹවගන්න සාතන් ගන්න උත්සාහය ඔහු අදටත් අත්හැරලා නැහැ.

14. වැරදි පෙලඹීම්වලට හසු නොවී ඉන්න අපි කරන්න ඕනෙ මොනවද?

14 යෙහෝවා දෙවිගේ පාලනය ගැන මතු කරපු ප්‍රශ්නය අදටත් වලංගුයි. ඒ නිසා මිනිසුන්ව වැරදි දේවල් කරන්න පොලඹවගන්න දෙවි තාමත් සාතන්ට ඉඩ දීලා තියෙනවා. එහෙම නැතුව අපිව වරදකට පොලඹවන්නේ දෙවි නෙමෙයි. කොහොමවුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් කියලා දෙවි දන්නවා. ඒකට උදව් කරන්නත් ඔහු ආශාවෙන් ඉන්නවා. ඒත් හරි දේ කරන්න ඔහු අපිට බල කරන්නේ නැහැ. තීරණ ගන්න අපිට තියෙන නිදහසට දෙවි ගරු කරන නිසා අපි විශ්වාසවන්තව ඉන්නවද නැද්ද කියන තීරණය ගන්න ඔහු අපිටම ඉඩ දීලා තියෙනවා. සාතන්ගේ පෙලඹීම්වලට හසු නොවී ඉන්න අපි දේවල් 2ක් කරන්න ඕනේ. ඒ තමයි යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න එක සහ දිගටම ඔහුගේ උදව් ඉල්ලලා යාච්ඤා කරන එක. වැරදි පෙලඹීම්වලට හසු නොවී ඉන්න උදව් ඉල්ලලා අපි කරන යාච්ඤාවලට දෙවි උත්තර දෙන්නේ කොහොමද?

දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න අතරේ උද්‍යෝගයෙන් සේවය කරන්න (15 ඡේදය බලන්න)

15, 16. (අ) අපි හසු නොවී ඉන්න උත්සාහ කරන්න ඕනෙ මොන වගේ වැරදි පෙලඹීම්වලටද? (ආ) වැරදි පෙලඹීමකට අපි හසු වුණොත් ඒකට වග කියන්න ඕනෙ කවුද?

15 වැරදි දේ කරන්න සාතන් ඇති කරන පෙලඹීම් එක්ක සටන් කරන්න යෙහෝවා දෙවි ඔහුගේ බලය දීලා අපිට උදව් කරනවා. ඒ වගේම අපි වැටෙන්න පුළුවන් උගුල් ගැන බයිබලය සහ සභාව මාර්ගයෙන් අනතුරු අඟවනවා. උදාහරණෙකට අපිට අත්‍යවශ්‍ය නැති දේවල් වෙනුවෙන් අපේ කාලය, මුදල්, ශ්‍රමය වැය කරන්න එපා කියලා දෙවි අනතුරු අඟවනවා. එස්පන් සහ යාන් යුවළ ජීවත් වෙන්නේ ධනවත් රටක. අවුරුදු ගාණක් ඒ දෙන්නා ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක ස්ථාවර පුරෝගාමි සේවය කළා. ඒත් දරුවෙක් ලැබුණු නිසා පුරෝගාමි සේවය නතර කරන්න එයාලට සිද්ධ වුණා. දැන් එයාලට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එස්පන් මෙහෙම කියනවා. “ඉස්සර තරම්ම දැන් අපිට සේවයේ හවුල් වෙන්න බැහැ. ඒ නිසා අපේ අවධානය සල්ලි හම්බ කරන පැත්තට යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ උගුලට අහු වෙන්නේ නැතුව ඉන්න අපිට උදව් කරන්න කියලා අපි නිතරම යාච්ඤා කරනවා. අපි හැම තිස්සේම යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්නේ ඔහුට තව තවත් කිට්ටු වෙන්න, සේවය ගැන තියෙන උද්‍යෝගය දිගටම තියාගන්න උදව් කරන්න කියලයි.”

16 සාතන් පාවිච්චි කරන තවත් උගුලක් තමයි අසභ්‍ය දර්ශන. ඒකට අපි හසු වුණොත් වග කියන්න ඕනෙ සාතන් නෙමෙයි. මොකද අපි අකමැති දෙයක් බලෙන් අපි ලවා කරවගන්න සාතන්ටවත් මේ දුෂ්ට සමාජයටවත් බැහැ. සමහරු අසභ්‍ය දර්ශන බලන්න පෙලඹිලා තියෙන්නේ හිතේ ඇති වුණු වැරදි ආශාවන් පාලනය කරගත්තේ නැති නිසයි. ඒත් හුඟක් සහෝදර සහෝදරියන්ට ඒ වැරදි පෙලඹීමට හසු නොවී ඉන්න පුළුවන් වෙලා තියෙනවා. අපිටත් ඒක කරන්න පුළුවන්.—1 කොරි. 10:12, 13.

“දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න”

17. (අ) අපිට ඕනෙ දෙවි අපිව ‘දුෂ්ටයාගෙන් ගලවාගන්නවටයි’ කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද? (ආ) ළඟදීම අපි අද්දකින්නේ මොන වගේ සහනයක්ද?

17 අපිට ඕනෙ දෙවි “දුෂ්ටයාගෙන් අපව ගලවාගන්නවට” නම් “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී” ඉන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම “මේ ලෝකයටවත් මෙහි තිබෙන දේවලටවත් ඇල්මක් නොදක්වන්න” අපි අදිටන් කරගන්නවා. (යොහ. 15:19; 1 යොහ. 2:15-17) දෙවි සාතන්ව ඉවත් කරලා මේ දුෂ්ට සමාජය විනාශ කරපු දාට අපිට මොන තරම් සහනයක් දැනෙයිද! ඒත් ඒ වෙන කල් “තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි” කියන දේ මතක තියාගෙන වැඩ කරමු. යෙහෝවා දෙවිගෙන් අපිව ඈත් කරන්න සාතන් ඔහුට පුළුවන් හැම දේම කරයි. ඒ නිසා ඔහුගෙන් අපව ගලවාගන්න කියලා අපි දෙවිට නිතරම යාච්ඤා කරමු.—එළි. 12:12, 17.

18. මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් බේරෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?

18 සාතන් නැති ලෝකයක ජීවත් වෙන්න ඔයාත් කැමතිද? එහෙමනම් දෙවිගේ රාජ්‍යය පැමිණෙන්න කියලත් දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න කියලත් දෙවිගේ කැමැත්ත පොළොවේ ඉටු කරන්න කියලත් දිගටම යාච්ඤා කරන්න. ඔයාව රැකබලා ගන්න දෙවිට පුළුවන් කියන දේ වගේම දෙවිට විශ්වාසවන්තව ඉන්න ඕන කරන හැම දෙයක්ම ඔයාට දෙන්න දෙවිට පුළුවන් කියන දේත් විශ්වාස කරලා වැඩ කරන්න. එහෙම කරලා ඔයා යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙනවා කියලා පෙන්නන්න.