Skip to content

පටුනට යන්න

“ඔබ දිගටම විඳදරාගත යුතුයි”

“ඔබ දිගටම විඳදරාගත යුතුයි”

අනිටා * බව්තීස්ම වුණාට පස්සේ එයාගේ මහත්තයා එයාට හුඟක් පීඩා කරන්න පටන්ගත්තා. රැස්වීම් යන එක තහනම් කළා. අඩු තරමේ දෙවිගේ නමවත් කියන්න දුන්නේ නැහැ. “යෙහෝවා කියන නම ඇහුණත් ඇති මගේ මහත්තයාට පුදුම විදිහට කේන්ති යනවා” කියලා අනිටා කියනවා.

විරුද්ධවාදීකම් නිසා අනිටාට තවත් අභියෝගයකට මුහුණ දෙන්න වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිට නමස්කාර කරන එක අපේ ගෙදර තහනම් කරලයි තිබුණේ. දරුවන් එක්ක බයිබල් පාඩමක් කරන්න, එයාලව රැස්වීම්වලට එක්කගෙන යන්න මට එපා කියලා තිබුණා.”

ඒකෙන් පේන්නේ දෙවිට සේවය නොකරන පවුලේ අයගෙන් එන විරුද්ධවාදිකම් නිසා දෙවිට දිගටම විශ්වාසවන්තව ඉන්න ලොකු සටනක් කරන්න වෙනවා කියන එකයි. ඒ විතරක් නෙමෙයි බරපතළ අසනීපයක් හැදුණොත් සැමියා, බිරිඳ නැත්නම් දරුවෙක් මිය ගියොත් පවුලේ කෙනෙක් යෙහෝවා දෙවිට සේවය කරන එක නතර කළොත් අපිට දරාගන්න අමාරුයි. ඒ වගේ වෙලාවලදී දෙවිට විශ්වාසවන්තව ඉන්න එක අභියෝගයක් වුණත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි.

ඒ වගේ පීඩාවකට මුහුණ දෙන්න වුණොත් ඔයා මොනවද කරන්නේ? පාවුල් කිව්වේ “ඔබ දිගටම විඳදරාගත යුතුයි” කියලයි. (හෙබ්‍රෙ. 10:36) ඒත් විඳදරාගන්න අපිට උදව් වෙන්නේ මොනවද?

යාච්ඤා කරලා යෙහෝවා දෙවි මත රඳා ඉන්න

පීඩා විඳදරාගන්න අපිට ශක්තිය දෙන ප්‍රධානම දේ තමයි යාච්ඤාව. මේ අද්දැකීම බලන්න. ඇනා එක්ක අවුරුදු 30ක් පවුල් ජීවිතේ ගත කරපු එයාගේ මහත්තයා හදිසියේම මිය ගියා. “උදේ වැඩට ගිය එයා ආයෙත් ගෙදර ආවේ නෑ. මැරෙද්දී එයාට වයස 52යි. ඒක මැරෙන්න තරම් වයසක් නෙමෙයි” කියලා ඇනා කියනවා.

ඇනා ඒ තත්වයට මුහුණ දුන්නේ කොහොමද? රැකියා ස්ථානයේ ඉද්දී වැඩවලට සම්පූර්ණ අවධානය දෙන්න වුණු නිසා වෙච්ච දේ ටිකකට අමතක කරන්න පුළුවන් වුණත් හිතේ වේදනාව නැති වුණේ නැහැ. ඇනා මෙහෙම කියනවා. “මට දැනුණු දුක, වේදනාව ගැන අකුරක් නෑර මං දෙවිට කිව්වා. මහත්තයා මගේ ළඟ නැති දුක දරාගන්න උදව් කරන්න කියලා මං දෙවිගෙන් ඉල්ලුවා.” යෙහෝවා දෙවි ඇනාගේ යාච්ඤාවලට උත්තර දුන්නද? “අවුල් වුණු මගේ මනස දෙවි සන්සුන් කළා. හිතට ඒ වගේ සමාදානයක් දෙන්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි. අනාගතයේදී දෙවි මගේ මහත්තයාට ආයෙත් ජීවිතේ දෙනවා කියලා මට කිසිම සැකයක් නැහැ.”—ෆිලි. 4:6, 7.

දිගටම විශ්වාසවන්තව ඉන්න අවශ්‍ය ඕනම උදව්වක් දෙනවා කියලා “යාච්ඤා අසන තැනැත්තා” වන යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. (ගීතා. 65:2) ඒ පොරොන්දුව නිසා ඔයාගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙන්නේ නැද්ද? දිගටම විඳදරාගන්න ඒ පොරොන්දුව ඔයාට උදව් වෙන්නේ නැද්ද?

රැස්වීම් විඳදරාගන්න උදව්වක්

යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට විඳදරාගන්න උදව් කරන එක විදිහක් තමයි ක්‍රිස්තියානි සභාව. තෙසලෝනික සභාවේ අයට හුඟක් පීඩාවලට මුහුණ දෙන්න වුණු වෙලාවේ පාවුල් ඔවුන්ට කියපු දේ බලන්න. “ඔබ දැනටමත් කරමින් සිටින ආකාරයට දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න.” (1 තෙස. 2:14; 5:11) එකිනෙකාට ආදරෙන් උදව් කරගත්ත නිසා ඒ අමාරු කාලේ දිගටම විශ්වාසවන්තව ඉන්න ඔවුන්ට පුළුවන් වුණා. දිගටම විඳදරාගන්න ඔවුන් අපිට හොඳ ආදර්ශයක්.

සභාවේ අයත් එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා නම් “එකිනෙකාව ගොඩනංවන දේවල්” කතා කරන්න පහසුයි. (රෝම 14:19) ප්‍රශ්න ගැටලු, පීඩා එන කාලවලදී ඒක ඕනෙමයි. පාවුල්ටත් හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. ඒවා විඳදරාගන්න යෙහෝවා දෙවි ඔහුට ශක්තිය දුන්නා. සමහර වෙලාවලදී දෙවි ඒ දේ කළේ සහෝදර සහෝදරියන් මාර්ගයෙන්. “ඔවුහු මට ඉමහත් ශක්තියක් හා ධෛර්යයක් වී ඇත” කියලා කොලොස්සි සභාවේ අය ගැන පාවුල් කිව්වේ ඒ නිසයි. (කොලො. 4:10, 11) ඔවුන් පාවුල්ට හුඟක් ආදරේ කරපු නිසා ඔහුට උදව් ඕන කරපු වෙලාවේදී ඔහුව සනසවන්න, ඔහුව ශක්තිමත් කරන්න ඔවුන්ට පුළුවන් වුණා. ඔයාටත් ඔයාගේ සභාවේ අයගෙන් ඒ වගේ උදව්, දිරිගැන්වීම් ලැබිලා තියෙනවද?

වැඩිමහල්ලන්ගෙන් ලැබෙන උපකාර

වැඩිමහල්ලන් දෙවි අපිට උදව් කරන්න දීලා තියෙන තෑග්ගක්. ඒ සහෝදරයෝ “සුළඟින් මුවා වීමට ස්ථානයක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක් මෙන්ද වන්නෝය. ඔවුහු වියළි දේශයක ගලා බසින දිය පහරවල් මෙන්ද කාන්තාර ප්‍රදේශයක මහා පර්වතයකින් ලැබෙන සෙවණක් මෙන්ද වන්නෝය” කියලා බයිබලේ කියනවා. (යෙසා. 32:2) දෙවි දීලා තියෙන ඒ තෑග්ගෙන් ඔයා ප්‍රයෝජන ලබලා තියෙනවද? වැඩිමහල්ලන්ගෙන් ලැබෙන උදව්, දිරිගැන්වීම් දිගටම විඳදරාගන්න ඔයාට ලොකු උදව්වක් වෙයි.

ඒකෙන් අදහස් කරන්නේ ඒ අයට ආශ්චර්යයන් කරන්න පුළුවන් කියන දේ නෙමෙයි. වැඩිමහල්ලන් කියන්නෙත් “අප හා සමාන දුර්වලකම් ඇති මිනිස්සු.” (ක්‍රියා 14:15) ඒ වුණත් අපි වෙනුවෙන් ඒ අය කරන යාච්ඤා අපිට ලොකු ශක්තියක්. ඒ අය අපි වෙනුවෙන් අයැදිද්දී යෙහෝවා දෙවි අපිව ශක්තිමත් කරයි. (යාකො. 5:14, 15) බරපතළ රෝගයකින් පෙළෙන සහෝදරයෙක් මෙහෙම කියනවා. “වැඩිමහල්ලන් මට පෙන්නපු ආදරේ, සැලකිල්ල, නිතර නිතර මාව බලන්න ආපු එක විඳදරාගන්න මට ලොකු උදව්වක් වුණා.” යෙහෝවා දෙවි වැඩිමහල්ලන්ව දීලා තියෙන්නේ ඔයාට ආදරේ නිසයි. විඳදරාගන්න ඔයාට උදව් කරන්න ඒ අය ආසාවෙන් ඉන්නවා. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවද?

දෙවි එක්ක බැඳීම ශක්තිමත් කරන දේවල් කරන්න

යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න අපිට උදව් වෙන දේවල් නිතිපතා කරන එකත් විඳදරාගන්න උදව් වෙනවා. මේ අද්දැකීම බලන්න. පිළිකාවක් තියෙනවා කියලා දැනගද්දී ජෝන්ට වයස 39යි. ඒ වෙනකොට එයාගේ පුතාට අවුරුදු 3 පිරුණා විතරයි. “මම හිටියේ මැරෙන්න තරම් වයසක නෙමෙයි. මට හිතුණේ මට ලොකු අසාධාරණයක් වුණා කියලයි. මේ අසනීපේ නිසා මගේ බිරිඳගේ ඔලුවට ලොකු බරක් වැටුණා. දැන් එයාට තනියම පුතාව බලාගන්න විතරක් නෙමෙයි මාවත් බලාගන්න වෙනවා. මාව දොස්තරලා ළඟට ගෙනියන්න වෙලා තියෙන්නෙත් එයාට.” පිළිකාවට කරන ප්‍රතිකාර නිසා ඔහුගේ ඇඟට කිසිම පණක් තිබුණේ නැහැ. ඔය අතරේ ජෝන්ගේ තාත්තාත් බරපතළ විදිහට අසනීප වුණු නිසා එයාටත් පවුලේ අයගේ උදව් ඕන වුණා.

එයාලා ඒ අමාරු කාලෙට මුහුණ දුන්නේ කොහොමද? “මොන අමාරුකම් තිබුණත් දෙවිත් එක්ක බැඳීම ශක්තිමත් කරගන්න අපිට උදව් වෙන දේවල් අපි අතපසු කරන්නේ නැතුව නිතිපතා කළා. හැම රැස්වීමකටම ගියා. හැම සතියෙම දේශනා සේවයේ ගියා. ඇඟට කොච්චර අමාරුවක් දැනුණත් පවුලේ නමස්කාරය අතපසු කළේ නැහැ.” ඕනම දෙයක් විඳදරාගන්න අවශ්‍ය ප්‍රධානම දේ දෙවිත් එක්ක බැඳීම ශක්තිමත් කරන දේවල් පුරුද්දක් විදිහට කරන එකයි කියලා ජෝන් තේරුම්ගත්තා. එයා වගේ දුක් කරදරවලට මුහුණ දෙන අයට ජෝන් මෙහෙම කියනවා. “පීඩාවක් එද්දී ඒක දරාගන්න බැහැ කියලා මුලින්ම අපිට හිතෙනවා. ඒත් යෙහෝවා දෙවිගේ ආදරේ, දෙවි දෙන ශක්තිය අපි අද්දකිද්දී ඒ වේදනාකාරී සිතුවිලි ටිකෙන් ටික අඩු වෙලා යනවා. මාව ශක්තිමත් කළා වගේ ඔයාලවත් ශක්තිමත් කරන්න යෙහෝවා දෙවිට පුළුවන්.”

දැනුත් අනාගතයේදීත් අපිට මුහුණ දෙන්න වෙන ඕනම පීඩාවක් දෙවිගේ උදව්වෙන් විඳදරාගන්න අපිට පුළුවන් කියන දේ ගැන සැකයක් තියාගන්න එපා. ඒ නිසා යාච්ඤා කරලා නිතරම දෙවි මත රඳා ඉමු. සභාවේ අයගේ කිට්ටු යාළුවන් වෙන්න උත්සාහ කරමු. වැඩිමහල්ලන්ගෙන් උදව් ලබාගමු. දෙවිත් එක්ක බැඳීම ශක්තිමත් කරන දේවල් නිතිපතා කරමු. එහෙම කරනවා නම් “ඔබ දිගටම විඳදරාගත යුතුයි” කියලා පාවුල් කිව්වා දේ කරන්න අපිටත් පුළුවන් වෙයි.

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.