Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | හිතේ කරදරවලට සහනයක්!

හිතේ කරදර නැති කෙනෙක් ඉන්නවාද?

හිතේ කරදර නැති කෙනෙක් ඉන්නවාද?

“මං කෑම හොයාගෙන ගියත් හම්බ වුණේ බිස්කට් ටිකක් විතරයි. ඒකත් ගිනි ගණන්. ඊළඟ දවසේ ඒ ටිකත් නෑ. රාක්ක ඔක්කොම හිස්!”—සිම්බාබ්වේවල පෝල්.

“මගේ මහත්තයා මට කිව්වා අපිව දාලා යනවා කියලා. ඒක කොහොම ඉවසන්නද? දරුවන්ට මොනවා වෙයිද?”—එක්සත් ජනපදයේ ජැනට්.

“සයිරන් හඬ ඇහෙද්දී හැංගිලා බිම දිගා වෙනවා. ඒත් එක්කම රොකට් ප්‍රහාරවල හඬ ඇහෙනවා. කොච්චර බයක් දැනෙනවාද කියනවා නම් පැය ගාණක් යන කල් මගේ අත් වෙවුලනවා.”—ඊශ්‍රායලයේ අලෝනා.

අපි ජීවත් වෙන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක.’ (2 තිමෝති 3:1) හුඟදෙනෙක් ආර්ථික ගැටලුවලට, පවුල් බිඳ වැටීම්වලට, යුද්ධවලට, දරුණු රෝගවලට, විපත්වලට ගොදුරු වෙනවා. සමහරු මෙහෙමත් හිතනවා. ‘මගේ ඇඟේ තියෙන ගෙඩිය පිළිකාවක්ද?’ ‘මගේ මුණුපුරන් ලොකු වෙද්දී මේ ලෝකේ මොන වගේ එකක් වෙලා තියෙයිද?’

යම් දේවල් ගැන කරදර වෙන එක වැරදි නැහැ. විභාගයක්, ඉදිරිපත් කිරීමක්, සම්මුඛ පරීක්ෂණයක් වගේ දේකට කලින් හිතට බයක් දැනෙන එක සාමාන්‍යයයි. ඒ වගේම අනතුරක් වෙයි කියලා හිතනකොට ඇති වෙන බය හොඳ දෙයක්. මොකද අනතුර වළක්වගන්න ඒක උදව්වක්. ඒත් අනිසි බයක් ඇති කරගෙන ඉන්න එක හානිකරයි. මෑතකදී වැඩිහිටි අය 68,000කට වැඩි පිරිසක් යොදාගෙන කරපු අධ්‍යයනවලින් හෙළි වුණේ දිගටම පුංචි බයකින් ඉන්න එකෙන් වුණත් අකල් මරණයකට ගොදුරු වෙන්න පුළුවන් කියලයි. එහෙමනම් “කනස්සලු වුණා කියා තම ආයු කාලය දවසකින්වත් දික් කරගන්න ඔබ අතරෙන් කාටවත් පුළුවන්ද” කියලා යේසුස් ඇහුවේ හොඳ හේතුවක් ඇතුවයි. ඔහු අවවාද කළේ “කනස්සලු නොවන්න” කියලයි. (මතෙව් 6:25, 27) ඒත් කොහොමද එහෙම ඉන්නේ?

ඥානවන්ත පියවර ගන්න එක, දෙවියන් ගැන සැබෑ විශ්වාසයක් ඇති කරගන්න එක, අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව ඉන්න එක ඒකට උපකාරයක්. අපි දැන් දුෂ්කර දේවලට මුහුණ දුන්නේ නැතත් අනාගතයේදී මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පෝල්ට, ජැනට්ට, අලෝනාට කනස්සල්ලෙන් මිදෙන්න උදව් වුණේ මොනවාද කියලා බලමු.