Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | හිතේ කරදරවලට සහනයක්!

අනතුරු ගැනද කනස්සලු වෙන්නේ?

අනතුරු ගැනද කනස්සලු වෙන්නේ?

“සයිරන් හඬ ඇහෙද්දී මගේ පපුව ගැහෙන්න ගන්නවා. ඉක්මනටම ආරක්ෂිත තැනකට දිව්වත් මම එතන ඉන්නෙත් බයෙන්. එළියේ හිටියොත් නම් බය දෙගුණ තෙගුණ වෙනවා. දවසක් පාරේ යද්දී සයිරන් හඬ ඇහිලා මං අඬන්න ගත්තා. හුස්මත් හිර වුණා. ඒ බය නැති වෙන්න පැය ගාණක් ගියා. ඒත් එක්කම ආපහු සයිරන් හඬ ඇහුණා” කියලා අලෝනා කියනවා.

අලෝනා

යුද්ධය කියන්නේ එක අනතුරක් විතරයි. ඔබට හරි ඔබ ආදරය කරන කෙනෙක්ට හරි මාරාන්තික රෝගයක් හැදෙන එකත් ලොකු කම්පනයක්. තවත් අයට අනාගතය ගැන බයක් දැනෙනවා. ‘අපේ දරු මුනුපුරන්ට යුද්ධ, අපරාධ, දූෂණය, කාලගුණික වෙනස්කම්, වසංගත වගේ දේවල් පිරුණු ලෝකයක ජීවත් වෙන්න වෙයිද’ කියලා ඒ අය හිතනවා. ඒ වගේ කනස්සලු වෙද්දී කරන්න පුළුවන් මොනවාද?

නරක දේවල් සිද්ධ වෙනවා කියලා දන්න ‘බුද්ධිමත් තැනැත්තා අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙනවා.’ (හිතෝපදේශ 27:12) ශරීරය රැකගන්න වෑයම් කරනවා වගේම මනසත් රැකගන්න ඕනේ. විනෝදාස්වාදය ලබා දෙන ප්‍රචණ්ඩ දේවල්, භයානක පින්තූර ඇතුළත් පුවත් වාර්තා වගේ දේවල් බලන එකෙන් අපෙත් දරුවන්ගෙත් කාංසාව වැඩි වෙනවා. ඒවායින් වැළකිලා ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන අවබෝධයක් නැතුව ඉන්නවා කියලා. දෙවියන් අපිව නිර්මාණය කළේ නපුරු දේවල් ගැන හිතහිත ඉන්න නෙවෙයි. ඒ නිසා අපේ මනස පුරවගන්න ඕන “සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන” දේවලින්. එතකොට ‘සමාදානයේ දෙවියන්ගේ’උපකාරයෙන් හිත සන්සුන් කරගන්න පුළුවන්.—ෆිලිප්පි 4:8, 9.

යාච්ඤාවේ වැදගත්කම

කනස්සලු වෙන එකෙන් වැළකෙන්න සැබෑ විශ්වාසය අවශ්‍යයි. බයිබලයේ කියන්නේ “යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න” කියලයි. (1 පේතෘස් 4:7) ‘අපි කුමක් ඉල්ලුවත් ඔහු අපිට සවන් දෙනවා’ කියන නිසැකකම ඇතුව උපකාරත් ප්‍රඥාවත් නිර්භීතකමත් දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න අපිට පුළුවන්.—1 යොහන් 5:15.

ඇගේ ස්වාමිපුරුෂයා එක්ක

“මේ ලෝකයේ පාලකයා” දෙවියන් නෙමෙයි සාතන් කියලත් ‘මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්’ කියලත් බයිබලයේ පැහැදිලි කරනවා. (යොහන් 12:31; 1 යොහන් 5:19) ඒ නිසයි “දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න” කියලා යේසුස් යාච්ඤා කරන්න කිව්වේ. (මතෙව් 6:13) අලෝනා මෙහෙම කියනවා. “සයිරන් හඬ ඇහෙද්දිම මගේ හැඟීම් පාලනය කරගන්න මට උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. මගේ මහත්තයාත් මාත් එක්ක යාච්ඤා කරනවා. යාච්ඤාව ලොකු සැනසීමක්.” බයිබලයේ කියන්නේ “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි. අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ඔහු ළංව සිටියි” කියලයි.—ගීතාවලිය 145:18.

අනාගතය ගැන අපිට තියෙන බලාපොරොත්තුව

යේසුස් ඔහුගේ ගෝලයන්ට යාච්ඤා කරන්න ඉගැන්නුවේ “ඔබගේ රාජ්‍යය පැමිණේවා!” කියලයි. (මතෙව් 6:10) දේවරාජ්‍යය ආවාම කනස්සල්ලෙන් සදහටම මිදෙන්න අපිට පුළුවන්. “සමාදානයේ කුමාරයා” වන යේසුස් මාර්ගයෙන් දෙවියන් සදහටම ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වා දමනවා.’ (යෙසායා 9:6; ගීතාවලිය 46:9) ‘දෙවියන් බොහෝ ජනයා අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය. ඒ සෙනඟ තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.’ (මීකා 4:3, 4) සතුටෙන් ඉන්න අය “ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය.” (යෙසායා 65:21) ඒ වගේම “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

මොනවා කළත් “බලාපොරොත්තු නොවූ දේවල්” වෙන එක වළක්වන්න බැරි අවස්ථා තියෙනවා. වැරදි වෙලාවේ වැරදි තැන හිටියොත් අනතුරක් වෙන්න පුළුවන්. (දේශනාකාරයා 9:11) සියවස් ගණනාවක ඉඳලා යුද්ධ, අපරාධ, රෝග වගේ දේවලින් හොඳ මිනිස්සු මැරෙනවා. ඒ අයට තියෙන බලාපොරොත්තුව මොකක්ද?

මිය ගිය මිලියන ගණන් දෙනෙක්ව දෙවියන් නැවත නැඟිටුවනවා. මේ වෙද්දී ඔවුන් ඉන්නේ දෙවියන්ගේ මතකයේ. “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනා . . . පැමිණෙන” තුරු ඔවුන් මරණ නින්දේ පසු වෙනවා. (යොහන් 5:28, 29) ඒ වගේම නැවත නැඟිටින අය ගැන මේ වගේ සහතිකයක් දෙනවා. “අපට තිබෙන ඒ බලාපොරොත්තුව අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය. එය ස්ථිරය. ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැත.” (හෙබ්‍රෙව් 6:19) “ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි [යේසුස්ව] මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.”—ක්‍රියා 17:31.

දෙවියන්ව සතුටු කරන්න උත්සාහ කරන අයටත් කනස්සල්ල ඇති වෙනවා. ඥානවන්ත පියවර ගැනීමෙන්, යාච්ඤා කරලා දෙවියන්ට ළං වීමෙන්, අනාගතය ගැන දීලා තියෙන බලාපොරොත්තුව විශ්වාස කිරීමෙන් පෝල්, ජැනට්, අලෝනා කනස්සල්ලට සාර්ථකව මුහුණ දුන්නා වගේ දෙවියන් දෙන බලාපොරොත්තුව ගැන විශ්වාස කළොත් ඔබටත් ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී ඉන්න පුළුවන්.—රෝම 15:13.