Skip to content

පටුනට යන්න

අද අපි ඉන්න පාරාදීසය තවත් ලස්සන කරන්න දායක වෙමු

අද අපි ඉන්න පාරාදීසය තවත් ලස්සන කරන්න දායක වෙමු

“මා පය තබන ස්ථානය ගෞරවයට පත් කරමි.”—යෙසා. 60:13.

ගීතිකා: 102, 75

1, 2. හෙබ්‍රෙව් ලියවිල්ලේ “පා පුටුව” කියන වචනය යොදාගත්තේ මොනවා විස්තර කරන්නද?

පොළොව පා පුටුවකට සමාන කරමින් යෙහෝවා දෙවි මෙහෙම කියනවා. “ස්වර්ගය මාගේ සිංහාසනයය. පොළොව මාගේ පා පුටුවය.” (යෙසා. 66:1) දෙවි තම පා පුටුව ගැන මෙහෙමත් කිව්වා. “මා පය තබන ස්ථානය ගෞරවයට පත් කරමි.” (යෙසා. 60:13) යෙහෝවා දෙවි තම පා පුටුව ගෞරවයට පත් කරන්නේ, ඒක අලංකාරවත් කරන්නේ කොහොමද? ඒ දේට අපි සම්බන්ධ වෙන්නේ කොහොමද?

2 හෙබ්‍රෙව් ලියවිල්ලේ “පා පුටුව” කියන වචනය අතීතයේ තිබුණු දේවමාලිගාව විස්තර කරන්නත් පාවිච්චි කරලා තියෙනවා. (1 ලේක. 28:2; ගීතා. 132:7) දේවමාලිගාව තමයි ඒ කාලේ දෙවිට නමස්කාර කරන්න තිබුණු ප්‍රධානම ස්ථානය. දේවමාලිගාව නිසා දෙවිව ප්‍රශංසාවට, ගෞරවයට පත් වුණා. ඒ නිසා යෙහෝවා දෙවි දේවමාලිගාව දැක්කේ හරිම අලංකාරවත් තැනක් විදිහට.

3. සංකේතවත් දේවමාලිගාව මොකක්ද? ඒක පටන්ගත්තේ කවදද?

3 අද දෙවිට නමස්කාර කරන්න දේවමාලිගාව වගේ විශේෂ තැනක් පොළොවේ නැහැ. ඒ වෙනුවට අද තියෙන්නේ සංකේතවත් දේවමාලිගාවක්. ඒ තමයි දෙවිගේ මිතුරන් වෙලා ඔහුට නමස්කාර කරන්න දෙවි ඇති කරලා තියෙන සැලැස්ම. ඒ සැලැස්ම ඇති කරන්න දෙවිට පුළුවන් වුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. ක්‍රි.ව. 29 යේසුස්ගේ බව්තීස්මයත් එක්කම ඔහුව සංකේතවත් දේවමාලිගාවේ උත්තම පූජකයා විදිහට අභිෂේක කළා. ඒ සැලැස්ම ආරම්භ වුණේ එදායි.—හෙබ්‍රෙ. 9:11, 12.

4, 5. (අ) ගීතාවලිය 99 විස්තර කරලා තියෙන විදිහට දෙවිගේ සේවකයන් කැමැත්තෙන් ඉන්නේ මොන දේ කරන්නද? (ආ) අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නය මොකක්ද?

4 දෙවිට නමස්කාර කරන්න විශේෂ සැලැස්මක් ඇති කරපු එක ගැන අපි දෙවිට ස්තුතිවන්ත වෙනවා. ඒ අගය නිසා දෙවිගේ නම ගැනත් යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් අනිත් අයට කියන්න අපි පෙලඹෙන්නේ නිතැතින්මයි. ඒ විදිහට දිනපතා දෙවිට ප්‍රශංසා කරන මිලියන 8කට වඩා වැඩි සෙනඟක් පොළොවේ ඉන්නවා. හුඟක් ආගම්වල අය හිතන්නේ තමන් මැරිලා ස්වර්ගයට ගියාට පස්සේ දෙවිට ප්‍රශංසා කරනවා කියලයි. ඒත් ජීවත් වෙලා ඉන්න කාලේ ගත වෙන හැම දවසක් ගානෙම දෙවිට ප්‍රශංසා කරන්න ඕනෙ කියලා දෙවිගේ සෙනඟ දන්නවා.

5 අතීතයේ හිටපු මෝසෙස්, ආරොන්, සාමුවෙල් වගේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පුළුවන් උපරිමයෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසා කළා. දෙවිට නමස්කාර කරන්න තිබුණු සැලැස්මට සම්පූර්ණ සහයෝගය දුන්නා. (ගීතාවලිය 99:1-3, 5-7 කියවන්න.) අද ඉන්න අභිෂේක ලත් අයත් ස්වර්ගයට ගිහින් පූජකයන් විදිහට සේවය කරන්න කලින් සංකේතවත් දේවමාලිගාවේ පොළොවේ තියෙන කොටසේ උද්‍යෝගයෙන් සේවය කරනවා. “වෙනත් බැටළුවන්ට” අයිති මිලියන ගාණක් ඔවුන් එක්ක එකතු වෙලා දෙවිට ප්‍රශංසා කරනවා. (යොහ. 10:16) ඒත් ‘ඒ සැලැස්මට සහය වෙන්න මට පුළුවන් හැම දේම මං කරනවද’ කියලා අපි එක් එක් කෙනා අපෙන්ම අහගමු.

සංකේතවත් දේවමාලිගාවේ සේවය කරන අයව හඳුනගමු

6, 7. ක්‍රිස්තියානි සභාව පිහිටුවලා වැඩි කාලයක් යන්න කලින් සිද්ධ වුණේ මොකක්ද? 1914ත් 1919ත් අතර කාලෙදී සිද්ධ වුණේ මොකක්ද?

6 ක්‍රිස්තියානි සභාව පිහිටුවලා අවුරුදු 100ක් ගත වෙන්නත් කලින් සමහරු සත්‍ය ඉගැන්වීම් අත්හැරලා බොරු ඉගැන්වීම් පතුරුවන්න පටන්ගත්තා. (ක්‍රියා 20:28-30; 2 තෙස. 2:3, 4) ඒ නිසා සංකේතවත් දේවමාලිගාවේ සේවය කරන්නේ කවුද කියලා හඳුනගන්න අමාරු වුණා. ඒ අය කවුද කියලා හඳුනගන්න කාලය උදා වුණේ සියවස් ගාණක් ගියාට පස්සේ. ඒ අයව හඳුනගන්න වගකීම යෙහෝවා දෙවි භාර දුන්නේ දේවරාජ්‍යයේ රජු හැටියට පත් කරපු යේසුස්ට.

7 1919 වෙනකොට දෙවිගේ අනුමැතිය තියෙන්නෙත් සංකේතවත් දේවමාලිගාවේ සේවය කරන්නෙත් කවුද කියලා පැහැදිලිව හඳුනගෙන තිබුණා. ඒ වෙනකොට ඔවුන් හිටියේ අසත්‍ය ඉගැන්වීම් අත්හැරලා පවිත්‍ර තත්වයක. ඒ නිසා ඔවුන් කරමින් හිටපු නමස්කාරය දෙවි පිළිගත්තා. (යෙසා. 4:2, 3; මලා. 3:1-4) ඒත් එක්කම ඊට සියවස් ගාණකට කලින් පාවුල් දැක්ක දර්ශනයක් යම් දුරකට ඉටු වෙන්න පටන්ගත්තා.

8, 9. පාවුල් දර්ශනයකින් දැක්ක “පාරාදීසය” මොකක්ද?

8 පාවුල් දැක්ක දර්ශනය ගැන යම් විස්තරයක් 2 කොරින්ති 12:1-4 (කියවන්න.) සඳහන් වෙනවා. ඒකෙන් යෙහෝවා දෙවි පාවුල්ට පෙන්නුවේ ඔහුගේ කාලයේ තිබුණු දෙයක් නෙමෙයි අනාගතයේ වෙන්න තිබුණු දෙයක්. පාවුල් දර්ශනයෙන් දැක්ක ‘පාරාදීසයෙන්’ දේවල් 3ක් අදහස් වෙන්න පුළුවන්. (1) අනාගතයේදී මේ පොළොව පාරාදීසයක් වෙන එක. (ලූක් 23:43) (2) දෙවිගේ සෙනඟ දැන් අද්දකින පාරාදීසයක් හා සමාන තත්වය දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලෙදී සීයට සීයක් අද්දකින විදිහ. (3) “දෙවිගේ පාරාදීසය” කියලා හඳුන්වන ස්වර්ගයේ අද්දකින ආශීර්වාද.—එළි. 2:7.

9 පාවුල් ඒ දර්ශනය විස්තර කරනවා වෙනුවට “මිනිසෙකුට කියන්න අවසර නැති, පැවසීමටවත් නොහැකි වචන ඔහුට ඇසිණ” කියලා කිව්වේ ඇයි? පාවුල් දැක්ක දේවල් විස්තර කරන්න කාලය ඒක නෙමෙයි. ඒත් දෙවිගේ සෙනඟ දැන් අද්දකින ආශීර්වාද ගැන අනිත් අයට කියන්න දෙවි අද අපිට අවස්ථාව දීලා තියෙනවා.

10. දෙවිගේ සෙනඟ දැන් පාරාදීසයක් හා සමාන තත්වයක් අද්දකිනවා කියද්දී අදහස් වෙන්නේ මොකක්ද? සංකේතවත් දේවමාලිගාවෙන් නියෝජනය වෙන්නේ මොකක්ද?

10 දෙවිගේ සෙනඟ දැනුත් පාරාදීසයක් හා සමාන තත්වයක් අද්දකිනවා කියලා අපි නිතරම කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ලෝකෙ අයට නැති ගොඩක් දේවල් දෙවිගේ සෙනඟට තියෙනවා. ඒවා තමයි දෙවි එක්ක අපේ කිට්ටු බැඳීම, නොකඩවා දෙවිගෙන් ලැබෙන පෝෂණය, ලොව පුරා පවතින ප්‍රේමණීය හා සාමකාමී සහෝදරත්වය. ඒ ආශීර්වාද නිසා ලෝකෙ අයත් එක්ක බලද්දී දෙවිගේ සෙනඟ ඉන්නේ පාරාදීසයක. ඒ ආශීර්වාද අද්දකින්නේ කවුද කියලා හඳුනගන්න එක වැදගත්. එතකොට දෙවිගේ අනුමැතිය තියෙන්නෙත් සංකේතවත් දේවමාලිගාවේ සේවය කරන්නෙත් කවුද කියලා හඳුනගන්න පුළුවන්. සංකේතවත් දේවමාලිගාවෙන් නියෝජනය වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව පිළිගෙන දෙවි බලාපොරොත්තු වෙන විදිහට කරන නමස්කාරයයි.—මලා. 3:18.

11. අපිට ලැබිලා තියෙන වරප්‍රසාදය මොකක්ද?

11 1919 ඉඳන් යෙහෝවා දෙවි අපි ඉන්න මේ පාරාදීසයට තව තවත් අය එකතු කරලා තියෙනවා. පාරාදීසයේ ඉන්න අපි හැමෝවම දිරිගන්වලා ශක්තිමත් කරනවා. පාරාදීසයේ සීමා මායිම් තව තවත් පුළුල් කරනවා වගේ අපේ අවබෝධය, හොඳ ගතිගුණ, අපි අද්දකින ආශීර්වාද තව වැඩි කරගන්න උදව් කරනවා. ඒ දේවල් කරන්න දෙවි අපිවත් හවුල් කරගෙන තියෙන එක මොන තරම් වරප්‍රසාදක්ද! අපි ඉන්න පාරාදීසය තවත් ලස්සන කරන්න ඔයාත් දෙවිට උදව් වෙනවද? දෙවි තම පා පුටුව ගෞරවයට පත් කරද්දී ඒකට හවුල් වෙන්න ලැබිලා තියෙන අවස්ථාව වටින එකක් කියලා ඔයාට දැනෙවද?

යෙහෝවා දෙවි ඔහුගේ සංවිධානය තවත් අලංකාර කරයි

12. යෙසායා 60:17 සඳහන් අනාවැකිය ඉටු වුණා කියලා අපිට නිසැක ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

12 දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසේ හුඟක් වෙනස්කම් වෙනවා කියලා යෙසායා අනාවැකියක් කිව්වා. (යෙසායා 60:17 කියවන්න.) ඒ අනාවැකියේ කියපු විදිහටම දෙවිගේ සංවිධානයේ කාලෙන් කාලෙට හුඟක් වෙනස්කම් වුණා. අපි අතරේ ඉන්න අලුත් අය, තරුණ අය ඒ වෙනස්කම් ගැන අහලා ඇති. කියවලා ඇති. ඒත් ඒ වෙනස්කම් වෙනවා දැකපු හුඟක් සහෝදර සහෝදරියන් අපි අතරේ ඉන්නවා. ඒ වෙනස්කම්වලට අනුව හැඩගැහෙන්න ලැබුණු එක ඔවුන් සලකන්නේ වරප්‍රසාදයක් විදිහට. ඒ විතරක් නෙමෙයි දෙවි යේසුස් මාර්ගයෙන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්වනවා කියන දේ ගැන ඔවුන්ට අබ මල් රේණුවක තරම්වත් සැකයක් නැහැ. ඒ සහෝදර සහෝදරියන් එක්ක කතාබහ කරලා ඒ අයගේ අද්දැකීම් ගැන, අතීත කතා ගැන අහන්න. එතකොට යෙහෝවා දෙවි ගැන ඔයාට තියෙන විශ්වාසය තවත් වැඩි වෙයි.

13. ගීතාවලිය 48:12-14ට අනුව අපි හැමෝගෙම වගකීම මොකක්ද?

13 දෙවිගේ සංවිධානය ගැන අනිත් අයට කියන එක අපි හැමෝගෙම වගකීමක්. සාතන්ගේ මේ දුෂ්ට සමාජයෙන් වට වෙලා හිටියත් සහෝදර සහෝදරියන් එක්ක සාමයෙන්, එකමුතුව ඉන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම ඒක ආශ්චර්යයක්. දේවරාජ්‍යය ගැනත් අපි දැන් ඉන්න මේ පාරාදීසය ගැනත් “මතු පරම්පරාවට” කියලා දෙන්න ලැබීම මොන තරම් සතුටක්ද!—ගීතාවලිය 48:12-14 කියවන්න.

14, 15. 1970 ගණන්වල සංවිධානයේ සිද්ධ වුණු වෙනස්කම් මොනවද? ඒ වෙනස්කම් නිසා සංවිධානය තවත් අලංකාර වුණේ කොහොමද?

14 දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසේ සිද්ධ වුණු වෙනස්කම් නිසා ඒක තවත් අලංකාරවත් වුණු විදිහ මහලු සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් අද්දැකලා තියෙනවා. වැඩිමහල් මණ්ඩලයක් වෙනුවට එදා සභාවල මුල් තැන අරන් වැඩ කළේ සභාවේ සේවක කියලා හඳුන්වපු එක වැඩිමහල්ලෙක්. රටක වැඩකටයුතු බලා කියා ගත්තේ ශාඛා කාර්යාල සේවක කියන එක් කෙනෙක් මිසක් අද වගේ ශාඛා කමිටුවක් නෙමෙයි. එදා ලෝකෙ පුරාම සිද්ධ වුණු වැඩකටයුතුවලට මූලිකවම මඟ පෙන්වීම් දුන්නේ වොච් ටවර් සමිතියේ සභාපති. පාලක මණ්ඩලය ගැන වැඩිදෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඇත්ත, වගකීම් දරපු සහෝදරයන්ට උදව් කරන්න තවත් කීපදෙනෙක් හිටියා. ඒත් ඒ සැලැස්ම යටතේ සභාවල, ශාඛා කාර්යාලවල වගේම ලෝක මූලස්ථානයේ තීරණ ගන්න වගකීම තිබුණේ ඒ තනි පුද්ගලයන්ට. 1970 ගණන්වල ඒ සැලැස්ම වෙනස් වුණා. තීරණ ගන්න තනි පුද්ගලයෙක් වෙනුවට වැඩිමහල් මණ්ඩලයක් පත් කළා.

15 දෙවිගේ සෙනඟට බයිබලේ ගැන තිබුණු අවබෝධය තව පැහැදිලි වෙද්දී ඒ අනුව වෙනස්කම් කරපු නිසයි සංවිධානය තවත් අලංකාරවත් වුණේ. එක් කෙනෙක් හැම තීරණයක්ම ගන්නවට වඩා “තෑගි වශයෙන් දුන්” වැඩිමහල්ලන් කණ්ඩායමක් තීරණ ගද්දී ඒ එක් එක් කෙනාට විවිධ පැතිවලින් දායක වෙන්න පුළුවන් නිසා ලැබෙන ප්‍රයෝජන වැඩියි.—එෆී. 4:8; හිතෝ. 24:6.

ලෝකෙ කොහේ ජීවත් වුණත් කෙනෙක්ට අවශ්‍යම මඟ පෙන්වීම් දෙවි ලබා දෙනවා (16 සහ 17 ඡේද බලන්න)

16, 17. ඔයා වැඩියෙන්ම කැමති මෑත කාලෙදී සිද්ධ වුණු මොන වෙනස්කමටද? ඒ ඇයි?

16 මෑතකදී අපේ සඟරා පොත්වල කරපු වෙනස්කම් ගැන හිතන්න. දැන් අපේ සඟරාවල තියෙන කාලෝචිත ලිපි නිසාත් සිත් ඇදගන්නා පෙනුම නිසාත් සේවයේදී ඒවා බෙදා දෙන්න දැන් පහසුයි. දේශනා කරන්න නවීන තාක්ෂණය යොදාගෙන තියෙන විදිහ ගැනත් බලන්න. jw.org වෙබ් අඩවිය නිසා දෙවි ගැන දැනගන්න ආසාවෙන් ඉන්න හුඟක් අයට දැන් ඒකට අවස්ථාව ලැබිලා. දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටස කරපු ඒ වෙනස්කම්වලින් තේරෙන්නේ මිනිසුන් ගැන යෙහෝවා දෙවිගේ හිතේ තියෙන ආදරේ, සැලකිල්ල නේද?

17 පහුගිය කාලේ අපේ රැස්වීම්වලත් හුඟක් වෙනස්කම් වුණා. ඒ නිසා පවුලේ නමස්කාරය කරන්නත් බයිබලේ අධ්‍යයනය කරන්නත් අපිට කාලය ලැබුණා. සමුළුවල වුණු වෙනස්කම් නිසා අපි යන හැම සමුළුවක් ගැනම අපිට හිතෙන්නේ ‘මේක තමයි අපි ගිය හොඳම සමුළුව’ කියලා. දෙවිගේ සංවිධානය විවිධ පාසැල් සංවිධානය කරලා අපිව තවත් හොඳින් පුහුණු කරනවා. ඒ හැම වෙනස්කමකින්ම ඔප්පු වෙන්නේ යෙහෝවා දෙවි ඔහුගේ සංවිධානයට මඟ පෙන්වනවා කියලා නේද? අපි ඉන්න මේ පාරාදීසය දෙවි තවත් ලස්සන කරමින් ඉන්නවා කියලා නේද?

පාරාදීසය තවත් ලස්සන කරන්න අපේ දායකත්වය

18, 19. අපි දැන් ඉන්න පාරාදීසය තවත් ලස්සන කරන්න දායක වෙන්න පුළුවන් කොහොමද?

18 අපි දැන් ඉන්න පාරාදීසය දෙවි තවත් ලස්සන කරද්දී ඒකට හවුල් වෙන්න ඔහු අපිටත් අවස්ථාව දීලා තියෙනවා. දෙවිගේ සේවකයෙක් වෙන්න කෙනෙකුට අපි උදව් කරන හැම වතාවකම අපි කරන්නේ මේ පාරාදීසය ලස්සන කරන්න, සීමා මායිම් පුළුල් කරන්න අපේ දායකත්වය ලබා දෙන එකයි. (යෙසා. 26:15; 54:2) ඒ නිසා උද්‍යෝගයෙන් දේශනා කරමු. යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න මිනිසුන්ට උදව් කරමු.

19 අපි තව තවත් යේසුස් වගේ වෙන්න උත්සාහ කරන එකත් දැන් ඉන්න පාරාදීසය ලස්සන කරන්න දායක වෙන්න පුළුවන් විදිහක්. හුඟක් අයගේ සිත් ඇදගන්නේ බයිබලේ ගැන අපිට තියෙන දැනුම නෙමෙයි අපේ හොඳ හැසිරීමයි. අපේ හොඳ හැසිරීම දැකලා අපි ඉන්න පාරාදීසයට ඇතුල් වෙන්නත් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්නත් ඒ අය තුළ පෙලඹීමක් ඇති වෙනවා.

පාරාදීසයේ සීමා මායිම් පුළුල් කරන්න දායක වෙන්න ඔයාටත් පුළුවන් (18 සහ 19 ඡේද බලන්න)

20. හිතෝපදේශ 14:35 කියන විදිහට අපි කැමැත්තෙන් ඉන්නේ මොකක් කරන්නද?

20 අපි ඉන්න මේ ලස්සන පාරාදීසය දැකලා යෙහෝවා දෙවිත් යේසුත් හුඟක් සතුටු වෙනවා. ඒක ලස්සන කරන්න පුංචියට හරි දායක වෙද්දී ඔයාටත් ලොකු සතුටක් දැනෙනවා ඇති. ඒත් ඒ සතුට ඔයා අනාගතයේදී ඇත්තටම මේ පොළොව පාරාදීසයක් කරන්න දායක වෙද්දී ලබන සතුටෙන් අල්පමාත්‍රයක් විතරයි. අපි හැම තිස්සෙම හිතෝපදේශ 14:35 තියෙන මේ වචන මතක තියාගමු. “හොඳ අවබෝධයකින් වැඩ කරන සේවකයෙකු රජුට ගෙන දෙන්නේ මහත් සතුටකි.” ඒ නිසා අද අපි ඉන්න පාරාදීසය තව තවත් ලස්සන කරන්න අපේ උපරිමයෙන් දායක වෙලා අපේ රජුව සතුටු කරමු.