Skip to content

පටුනට යන්න

දෙවිගේ රාජ්‍යයට ළැදිව ඉමු

දෙවිගේ රාජ්‍යයට ළැදිව ඉමු

“ඔවුන් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.”—යොහ. 17:16.

ගීතිකා: 63, 129

1, 2. (අ) යෙහෝවා දෙවිට ළැදිව ඉන්න එක පැති නොගෙන ඉන්න උදව් වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) හුඟක් අය පැති ගන්නේ මොන වගේ කාරණාවලදීද? ප්‍රතිඵලය මොකක්ද?

අද ඉන්න වැඩිදෙනෙක් ජාතීන්, සංස්කෘතීන් විදිහට බෙදිලා. ඒත් යෙහෝවා දෙවිට සේවය කරන අය නම් කිසිම පැත්තක් ගන්නේ නැහැ. ඒ අපි යෙහෝවා දෙවිට ආදරේ නිසයි. ඔහුට ළැදිව ඉන්න අපිට තියෙන කැමැත්ත නිසයි. ඔහුට කීකරු වෙන නිසයි. (1 යොහ. 5:3) අපේ රට, ජාතිය, සංස්කෘතිය මොකක් වුණත් අපි ජීවත් වෙන්නේ දෙවි අපිට දීලා තියෙන ප්‍රතිපත්තිවලට අනුවයි. වෙන කිසිම දේකට වඩා අපිට වටින්නේ දෙවිටත් ඔහුගේ රාජ්‍යයටත් ළැදිව ඉන්න එක. (මතෙ. 6:33) ඒ නිසා අපි “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා” කියලා බය නැතුව කියන්න පුළුවන්.—යොහන් 17:11, 15, 16 කියවන්න; යෙසා. 2:4.

2 හුඟක් අය තමන්ගේ රට, ජාතිය, සංස්කෘතිය අනිත් අයගේ ඒවාට වඩා උසස් කියලා හිතනවා. ක්‍රීඩාවකදී වුණත් ගන්නේ තමන්ගේ රටේ පැත්ත. ප්‍රතිඵලය තරඟකාරිත්වය සහ වෛරයයි. සමහර වෙලාවට තමන් අකමැති පැත්තේ ඉන්න අයව මරන්නත් පෙලඹෙනවා. අපි ඒ වගේ පැති අරන් වැඩ කළේ නැතත් ඒ ගැටුම් නිසා අපිටත් අපේ පවුලේ අයටත් දුක් විඳින්න, අසාධාරණකම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ආණ්ඩුව අසාධාරණ තීරණ ගද්දී වෙන පක්ෂයක් බලයට ආවා නම් හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ යුක්තිය, අයුක්තිය මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන් හැකියාව ඇතුව නිසා පැති අරන් වැඩ කරන උගුලට අපි ලේසියෙන්ම අහු වෙන්න ඉඩ තියෙනවා. (උත්. 1:27; ද්වි. 32:4) අසාධාරණයක් වෙද්දී ඔයාට කොහොමද හැඟෙන්නේ? පැති ගන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්ද?

3, 4. (අ) මතගැටුම්වලදී අපි පැති නොගන්නේ ඇයි? (ආ) අපි මේ ලිපියේ බලන්නේ මොනවා ගැනද?

3 පාලකයන් නිතරම මිනිසුන්ගේ මනස්වලට දාන්නේ හොඳ පුරවැසියන් තමන්ගේ රට, ජාතිය, ආගම ගැන හිතන්න ඕනෙ කියලා. ඒ නිසා මිනිසුන් පැති ගන්න ඉබේම පෙලඹෙනවා. ඒත් අපි ආදර්ශයට ගන්නේ යේසුස්ව. ඒ නිසා දේශපාලනයේදී, යුද්ධවලදී අපි පැති ගන්නේ නැහැ. (මතෙ. 26:52) සාතන්ගේ ලෝකෙ එක කොටසක් තව කොටසට වඩා හොඳයි, උසස් කියලා අපි හිතන්නේ නැහැ. (2 කොරි. 2:11) කිසිම විදිහකින් ලෝකෙ තියෙන මතගැටුම්වලට හවුල් වෙන්න අපිට ඕනෙ නැහැ.—යොහන් 15:18, 19 කියවන්න.

4 දෙවිට සේවය කළත් අපි තාමත් පාපය උරුම කරගත්ත අය නිසා අපිට වඩා වෙනස් අය ගැන අපේ හිතේ තවමත් අකමැත්තක් තියෙනවා වෙන්න පුළුවන්. (යෙරෙ. 17:9; එෆී. 4:22-24) ඒ වැරදි ආකල්ප නැති කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් අපි බලමු. යෙහෝවා දෙවි සහ යේසුස් හිතන විදිහට හිතන්න පුහුණු වෙන එක දේවරාජ්‍යයට ළැදිව ඉන්න අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් බලමු.

අපි පැති නොගන්නේ ඇයි?

5, 6. මිනිසුන් අතරේ විවිධ බෙදීම් තිබුණත් ඒ ගැන යේසුස්ට හැඟුණේ කොහොමද? ඒ ඇයි?

5 පැත්තක් ගන්නේ නැතුව ඉන්න අමාරුයි කියලා හිතෙන වෙලාවලදී ‘යේසුස් හිටියා නම් එයා මොනවා කරයිද’ කියලා හිතන්න. යේසුස් පොළොවේ හිටපු කාලෙදී යුදයේ, ගලීලයේ සහ සමාරියේ හිටපු අය අතර මතගැටුම් තිබුණා. යුදෙව්වන් සහ සමරිතානුවන් එකිනෙකා එක්ක කතා කළේ නැහැ. (යොහ. 4:9) පරිසිවරුන් සහ සද්දුසිවරුන් අතර වාදවිවාද තිබුණා. (ක්‍රියා 23:6-9) නීතිය හදාරපු යුදෙව්වන් හිතුවේ තමන් අනිත් අයට වඩා උසස් කියලා. (යොහ. 7:49) ඒ වගේම යුදෙව්වන් බදු එකතු කරන්නන්ටත් රෝමවරුන්ටත් වෛර කළා. (මතෙ. 9:11) ඒත් යේසුස් ඒ වගේ දේවලදී පැති ගත්තේ නැහැ. ඇත්ත, ඔහු හැම වෙලාවෙම සත්‍ය ඉගැන්වීම් වෙනුවෙන් කතා කළා. ඊශ්‍රායෙල්වරුන් දෙවි තෝරගත්ත ජාතිය කියලා පිළිගත්තා. ඒත් ඔහු කිසිම වෙලාවක අනිත් අයට වඩා ඔවුන් උසස් කියලා හිතන්න ගෝලයන්ට ඉගැන්නුවේ නැහැ. (යොහ. 4:22) ඒ වෙනුවට ඔහු කියලා දුන්නේ හැමෝටම එක වගේ ආදරේ කරන්නයි.—ලූක් 10:27.

6 පිරිසක් තවත් පිරිසකට වඩා උසස් කියලා යේසුස් හිතුවේ නැත්තේ ඇයි? ඒ ඔහුටත් ඔහුගේ පියාටත් මිනිසුන් ගැන හැඟුණු විදිහ නිසයි. දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ විවිධත්වයක් ඇතුව මිනිසුන්ව බිහි කිරීමේ හැකියාව ඇතුවයි. විවිධත්වයක් ඇති අයගෙන් පොළොව පුරවන්නයි දෙවිට ඕන වුණේ. (උත්. 1:27, 28) ඒ නිසා එක ජාතියක්, භාෂාවක් තවත් එකකට වඩා උසස් කියලා යෙහෝවා දෙවිවත් යේසුස්වත් හිතන්නේ නැහැ. (ක්‍රියා 10:34, 35; එළි. 7:9, 13, 14) අපි හිතන්න ඕනෙත් ඒ වගේ.—මතෙ. 5:43-48.

7, 8. (අ) අපි ගන්නේ කාගේ පැත්තද? ඒ ඇයි? (ආ) මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට ලැබෙන විසඳුම ගැන අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

7 අපි මිනිස් ආණ්ඩුවලට, පාලකයන්ට පක්ෂව වැඩ කරන්නෙත් නැහැ. ඒ ඇයි? ඒ අපි යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න නිසයි. ඔහුයි අපේ පාලකයා. ඒදන් උයනේදී සාතන් කිව්වේ මිනිසුන්ව පාලනය කරන්න ඉන්න හොඳම කෙනා යෙහෝවා දෙවි නෙමේ කියලයි. දේවල් හොඳට කරන්න දෙවිට වඩා තමන්ට පුළුවන් කියලා පෙන්නන්නයි සාතන්ට ඕන වුණේ. ගන්නේ සාතන්ගේ පැත්තද දෙවිගේ පැත්තද කියලා තීරණයක් ගන්න දෙවි අපිට ඉඩ දීලා තියෙනවා. ඔයා ගන්නේ කාගේ පැත්තද? ඔයා යෙහෝවා දෙවිට කීකරු වෙන්නේ ඔයා හිතන පතන විදිහට වඩා දෙවිගේ මඟ පෙන්වීම් උසස් කියලා හිතන නිසාද? ප්‍රශ්න ගැටලු විසඳන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා ඔයාට ස්ථිරද? නැත්නම් ඔයා හිතන්නෙත් හරි වැරැද්ද තීරණය කරන අයිතිය ඒ ඒ පුද්ගලයාටම දෙන්න ඕනෙ කියලද?—උත්. 3:4, 5.

8 දේශපාලන පක්ෂ, අයිතීන් වෙනුවෙන් සටන් කරන කණ්ඩායම් හුඟක් තියෙනවා. සමහරක් අවංකවම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්න ගැටලු, අයුක්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා අපි දන්න නිසා පැති ගන්නේ නැතුව දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා. අපි සභාවේ වැඩ කරන්නෙත් එහෙමයි. අපි කැමති විදිහට, අපිට හරියි කියලා හිතෙන විදිහට වැඩ කරනවා වෙනුවට යෙහෝවා දෙවි සභාව මාර්ගයෙන් දෙන මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙනවා. සභාවේ අය අතරේ බෙදීම් නැත්තේ ඒ නිසයි.

9. පළවෙනි සියවසේ හිටපු සමහර ක්‍රිස්තියානීන් අතරේ තිබුණේ මොන ගැටලුවද? ඒ අය කරන්න ඕන වුණේ මොකක්ද?

9 කොරින්ති සභාවේ හිටපු සමහරු පැති අරන් වැඩ කරන උගුලට අහු වුණා. “සමහරුන් ‘මා පාවුල්ගේ පැත්තේ’ කියාත් තවත් සමහරුන්, ‘මා අපොලොස්ගේ පැත්තේ’ කියාත් වෙනත් අය, ‘මා සීෆස්ගේ පැත්තේ’ කියාත් නැතහොත්, ‘මා ක්‍රිස්තුස්ගේ පැත්තේ’ කියාත්” පවසන්න පටන්ගත්තා. ඒ ගැන ආරංචි වුණාම පාවුල්ට දුකක්, කලකිරීමක් ඇති වුණා. ඒ බෙදීම් නිසා සභාවේ තිබුණු සාමය නැති වෙයි කියලා ඔහු දැනගෙන හිටියා. ඔවුන් කරන දේ හරියට ‘ක්‍රිස්තුස්ව කණ්ඩායම්වලට බෙදාගන්නවා’ වගේ දෙයක් කියලා පාවුල් කිව්වා. “සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ඔබෙන් යමක් ඉල්ලීමට කැමැත්තෙමි. එනම් ඔබ පවසන දේවල් අතර එකඟතාවක් තිබිය යුතු බවයි. ඔබ අතර කිසි භේදයක් නොතිබිය යුතුයි. ඔබ සියලුදෙනා අතර පූර්ණ එකමුතුකමක් තිබිය යුතුයි. එසේ කළ හැක්කේ එක හා සමාන ආකල්ප දැරීමෙන් හා එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමෙනි” කියලා ඔහු ඔවුන්ට කිව්වේ ඒ නිසයි. ඒ උපදෙස අදටත් අදාළයි. ක්‍රිස්තියානි සභාවේ බෙදීම්වලට කිසිම ඉඩක් නැහැ.—1 කොරි. 1:10-13; රෝම 16:17, 18 කියවන්න.

10. පාවුල් ක්‍රිස්තියානීන්ට මතක් කළේ මොකක්ද? අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

10 අභිෂේක ලත් අය ස්වර්ගයේ පුරවැසියන් නිසා “මේ ජීවිතයේ තිබෙන නිෂ්ඵල දේවලට” අවධානය දෙන්න ඕනෙ නැහැ කියලා පාවුල් ඔවුන්ට මතක් කළා. (ෆිලි. 3:17-20) * ඔවුන් යෙහෝවා දෙවිව සහ යේසුස්ව මේ පොළොවේ නියෝජනය කරන තානාපතීන් වගේ. තානාපති කෙනෙක් ඔහු සේවය කරන රටේ ප්‍රශ්නවලට, දේශපාලනයට ඇඟිලි ගහන්නේ නැහැ. අභිෂේක ලත් අයත් ඒ වගේ. ඔවුනුත් දේශපාලනයට, මතගැටුම්වලට හවුල් වෙන්නේ නැහැ. (2 කොරි. 5:20) පොළොවේ සදාකල් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ආදර්ශයට ගන්නේ ඔවුන්වයි.

දේවරාජ්‍යයට ළැදිව ඉන්න පුහුණු වෙන්න

11, 12. (අ) දේවරාජ්‍යයට ළැදිව ඉන්න නම් අපි සැලකිලිමත් වෙන්න ඕනෙ මොන වගේ ආකල්ප ගැනද? (ආ) මිරෙටා මුහුණ දුන්න ප්‍රශ්නය මොකක්ද? එයා ඒකෙන් ගොඩ ආවේ කොහොමද?

11 මිනිසුන් තමන්ගේ රටේ ඉතිහාසයට, සංස්කෘතියට, භාෂාවට සමානකම් තියෙන රටවල අයට ළැදිකමක් දක්වනවා. රට, ජාතිය ගැන ආඩම්බර වෙනවා. පරෙස්සම් වුණේ නැත්නම් ඒ ආකල්ප අපි තුළත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතන විදිහ වෙනස් කරගන්න එක අත්‍යවශ්‍යයි. පැති නොගෙන ඉන්න අපේ හෘදය සාක්ෂිය පුහුණු කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද?

12 මිරෙටා * ඉපදුණේ යුගෝස්ලාවියාවේ. එයාගේ ගම් පළාතේ අය සර්බියානු ජාතිකයන්ට වෛර කළා. යෙහෝවා දෙවි ගැන ඉගෙනගද්දී මිරෙටාට තේරුණා දෙවි එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් විදිහට සලකන්නේ නැහැ කියලා. ජාතීන් එකිනෙකාට වෛර කරනවට කැමති සාතන් කියලත් එයා තේරුම්ගත්තා. ඒ නිසා හිතන විදිහ වෙනස් කරගන්න එයා ලොකු උත්සාහයක් ගත්තා. ඒත් එයා ජීවත් වුණු පළාතේ ජනවාර්ගික ගැටුම් ඇති වෙන්න පටන්ගත්තම සර්බියානු ජාතිකයන් ගැන මිරෙටාගේ හිතේ තිබුණු අකමැත්ත ආයෙත් මතු වුණා. ඔවුන්ට දේශනා කරන්නවත් එයා කැමති වුණේ නැහැ. තමන් හිතන විදිහ වැරදියි කියලා එයා හොඳටම දැනගෙන හිටපු නිසා ඒක වෙනස් කරගන්න උදව් ඉල්ලලා දෙවිට කන්නලව් කළා. පුරෝගාමි සේවය පටන්ගන්න උදව් කරන්න කියලත් එයා දෙවිගෙන් ඉල්ලුවා. මිරෙටා මෙහෙම කියනවා. “මගේ ආකල්ප වෙනස් කරගන්න හොඳම විදිහ සේවයට මුල් තැන දෙන එකයි කියලා මට තේරුණා. දේශනා සේවයේදී යෙහෝවා දෙවිගේ ලස්සන ගතිලක්ෂණ ආදර්ශයට ගන්න මං උත්සාහ කරනවා. දන්නවද, වෙනත් ජාතීන් ගැන මගේ හිතේ තිබුණු අකමැත්ත නැති වෙලාම ගියා.”

13. (අ) තෝයිලා මුහුණ දුන්නේ මොන වගේ අසීරු තත්වයකටද? මුලින්ම එයාට ඒ ගැන හැඟුණේ කොහොමද? ඒ ගැන එයා කළේ මොකක්ද? (ආ) අපිට ගන්න පුළුවන් පාඩම මොකක්ද?

13 මෙක්සිකෝවේ ඉඳලා යුරෝපයේ පදිංචියට ගිය තෝයිලාගේ අද්දැකීම බලන්න. එයා ගිය සභාවේ මධ්‍යම ඇමරිකාවේ වෙනත් පැතිවලින් ආපු අයත් හිටියා. ඒ අයගෙන් සමහරු තෝයිලාගේ රටේ චාරිත්‍ර වාරිත්‍ර, සංගීතය වගේ දේවල් ගැන පොඩි විහිළු කතා කිව්වා. ඒ කතාවලින් තෝයිලාගේ හිත රිදුණා. ඒ නිසා ඒවා හිතට ගන්නේ නැතුව ඉන්න උදව් කරන්න කියලා එයා යාච්ඤා කළා. ඔයා තෝයිලා නම් ඔයා මොකද කරන්නේ? තමන් හැදුණු වැඩුණු පළාත ගැන කවුරු හරි විහිළුවක් කරද්දී හිත රිද්දගන්නේ නැතුව ඉන්න සමහරුන්ට තවමත් අමාරු ඇති. ඒ වගේ අය ගැන අපි සැලකිලිමත් වෙමු. එක පිරිසක් තවත් පිරිසකට වඩා හොඳයි කියලා අඟවන කිසිම දෙයක් කියන්නෙවත් කරන්නෙවත් නැතුව ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ. මොකද අපේ සහෝදර සහෝදරියන් අතරෙවත් වෙන කිසිම පිරිසක් අතරෙවත් බෙදීම් ඇති කරන්න අපිට ඕනෙ නැහැ.—රෝම 14:19; 2 කොරි. 6:3.

14. එක පළාතක්, රටක් තවත් එකකට වඩා උසස් කියලා හිතන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

14 යෙහෝවා දෙවිගේ සෙනඟ එක රෑනක් වගේ එකමුතුයි. ඒ නිසා අපි එක පළාතක්, රටක් තවත් එකකට වඩා උසස් කියලා හිතන්න හොඳ නැහැ. ඒත් ඔයාගේ පවුලේ අය, ඔයා හැදුණු වැඩුණු පළාතේ අය ‘මගේ ගමට, මගේ රටට’ මුල් තැන දීලා වැඩ කරන්න කියන අදහස ඔයාගේ හිතට දාන්න පුළුවන්. ඒ නිසා ඉඳලා හිටලා වෙන ජාතියකට අයත්, වෙන භාෂාවක් කතා කරන, වෙන සංස්කෘතියකට අයිති අය ගැන අකමැත්තක් හිතේ ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ හැඟීම් පරාජය කරන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? රට, ජාතිය ගැන ආඩම්බර වෙන, අනිත් අයට වඩා තමන් උසස් කියලා හිතන අය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද කියලා හිතන්න. පෞද්ගලික අධ්‍යයනයේදී, පවුලේ නමස්කාරයේදී ඒ ගැන තොරතුරු ගවේෂණය කරන්න. ඊටපස්සේ මිනිසුන් ගැන දෙවි හිතන විදිහට හිතන්න ඔයාට උදව් කරන්න කියලා යාච්ඤා කරන්න.—රෝම 12:2 කියවන්න.

දෙවිට ළැදිව ඉන්න නම් අනිත් අය අපිට මොනවා කිව්වත් කළත් දිගටම දෙවිට කීකරු වෙන්න ඕනේ (15 සහ 16 ඡේද බලන්න)

15, 16. (අ) යෙහෝවා දෙවිට ළැදිව ඉන්න අපි අරන් තියෙන තීරණය නිසා අනිත් අය අපිට කොහොම සලකයිද? (ආ) යෙහෝවා දෙවිට ළැදිව ඉන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

15 රටේ, ජාතියේ, පිරිසකගේ පැත්ත ගන්න කියලා අපිට බල කරන අවස්ථාවන් එන්න පුළුවන්. නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව දෙවිට සේවය කරන්න අපිට තියෙන අධිෂ්ඨානය නිසා අපි අනිත් අයට වඩා වෙනස් කියලා ඒ වගේ වෙලාවලදී රැකියා ස්ථානයේ අය, ඉස්කෝලෙ ළමයි, අසල්වැසියෝ, නෑදෑයෝ දකියි. (1 පේතෘ. 2:19) ඒ වෙනස නිසා මිනිසුන් අපිට වෛර කරයි කියලා යේසුස් කිව්වා. එහෙම වෙලාවලදී අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මිනිස් ආණ්ඩුවලට වඩා දේවරාජ්‍යයට ළැදිව ඉන්න එක වැදගත් ඇයි කියලා අපිට වෛර කරන, හිරිහැර කරන වැඩිදෙනෙක් දන්නේ නැහැ කියන දේ.

16 දෙවිට ළැදිව ඉන්න නම් අනිත් අය අපිට මොනවා කිව්වත් කළත් අපි දිගටම දෙවිට කීකරු වෙන්න ඕනේ. (දානි. 3:16-18) අනිත් අයට වඩා වෙනස් විදිහට වැඩ කරන එක හැමෝටම වඩා අමාරු යෞවනයන්ට. ඒ නිසා දෙමාපියෙනි, ඉස්කෝලෙදී නිර්භීතව කතා කරන්න දරුවන්ට උදව් කරන්න. ජාතික කොඩියට ආචාර කරන්නේ නැහැ කියලත් ජාතික උත්සවවලට හවුල් වෙන්නේ නැහැ කියලත් කියාගන්න බැරුව එයාලා බයෙන් ඉන්නවා ඇති. ඒ දේවල් ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද කියලා පවුලේ නමස්කාරයේදී කතා කරන්න. විශ්වාසයන් ගැන පැහැදිලිව, ගෞරවනීයව කියන්න එයාලව පුහුණු කරන්න. (රෝම 1:16) ඒ වගේම අවශ්‍ය වුණොත් අපේ විශ්වාසයන් ගැන ගුරුවරුන්ට පැහැදිලි කරලා දෙන්න.

යෙහෝවා දෙවිගේ හැම නිර්මාණයක්ම අගය කරන්න

17. අපි මොන විදිහට හිතන එකද සුදුසු නැත්තේ? ඒ ඇයි?

17 අපි ඉපදුණු, හැදුණු වැඩුණු රටේ කෑමවලට, භාෂාවට, ලස්සන තැන්වලට, සිරිත් විරිත්වලට අපේ හිත ඇදිලා යන එක පුදුමයක් නෙමෙයි. ඒත් අපේ කෑම, අපේ දේවල් තමයි හොඳම කියලා අපිට හිතෙනවද? යෙහෝවා දෙවි කැමති ඔහු විවිධත්වයක් ඇතුව නිර්මාණය කරපු හැම දේකින්ම අපි එක වගේ සතුටු වෙනවට. (ගීතා. 104:24; එළි. 4:11) එහෙමනම් එක දෙයක් තවත් දේකට වඩා උසස් කියලා ඇයි අපි හිතන්නේ?

18. යෙහෝවා දෙවි හිතන විදිහට හිතන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

18 හැම ජනවර්ගයකටම අයත් අය දෙවි ගැන ඉගෙනගෙන ඔහුට නමස්කාර කරමින් සදාකාලයටම ජීවත් වෙනවා දකින්නයි යෙහෝවා දෙවි කැමති. (යොහ. 3:16; 1 තිමෝ. 2:3, 4) අපිත් ඔහුව ආදර්ශයට ගමු. අනිත් අයගේ අදහස්වලට සවන් දෙමු. ඒ අයගේ අදහස් අපේ අදහස්වලට වඩා වෙනස් වුණත් ඒවාට ඇහුම්කන් දෙමු. එතකොට අපේ ජීවිත ඒකාකාරී එකක් වෙනවා වෙනුවට සතුට පිරුණු එකක් වෙයි. අපේ සහෝදරයන් එක්ක එක්සත්ව ඉන්නත් ඒක උදව් වෙයි. යෙහෝවා දෙවිටත් ඔහුගේ රාජ්‍යයටත් ළැදිව ඉද්දී අපි ජනවාර්ගික ගැටුම්වලිදී කිසි කෙනෙක්ගේ පැත්තක් ගන්නේ නැහැ. සාතන්ගේ ලෝකෙ තියෙන උඩඟුකම, තරඟකාරිත්වය පිළිකුල් කරලා හැමෝම එක්ක සාමයෙන් ඉන්නත් නිහතමානී අය වෙන්නත් අපිව පුහුණු කරන එක ගැන අපේ දෙවි යෙහෝවාට අපි කොයි තරම් ස්තුති කරන්න ඕනෙද! ඒ පුහුණුව නිසා “සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද” කියලා මුළු හිතින්ම කියන්න අපිටත් පුළුවන් වෙයි.—ගීතා. 133:1.

^ 10 ඡේ. ෆිලිප්පි සභාවේ සමහරුන්ට රෝම පුරවැසිභාවය තිබුණා. ඒ හේතුව නිසා අනිත් සහෝදරයන්ට වඩා වැඩි අයිතිවාසිකම් ඒ අයට තිබුණා.

^ 12 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.