Skip to content

පටුනට යන්න

ඇසුරු කරන අය ගැන පරෙස්සම් වෙන්න ඕන කාලයක්

ඇසුරු කරන අය ගැන පරෙස්සම් වෙන්න ඕන කාලයක්

“නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරි. 15:33.

ගීතිකා: 73, 119

1. අපි ජීවත් වෙන්නේ මොන වගේ කාලෙකද?

අද අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක.” (2 තිමෝ. 3:1-5) අවසාන කාලය ආරම්භ වුණු 1914 ඉඳන් මේ ලෝකෙ තත්වය එන්න එන්නම දරුණු වෙනවා. ඒක තව තවත් නරක අතට හැරෙනවා මිසක් හොඳ අතට හැරෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මොකද බයිබලේ කියන්නේ “දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරක අතට හැරෙමින් අනුන්ව නොමඟ යවන අතර ඔවුහුද නොමඟ යනු ඇත” කියලයි.—2 තිමෝ. 3:13.

2. හුඟදෙනෙක් විනෝදය සඳහා කරන්නේ, බලන්නේ මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

2 අද ඉන්න හුඟක් අය විනෝද වෙන්නේ සැහැසියාව, අනාචාරය, භූතවාදය, අද්භූත දේවල් ඇතුළත් ඒවා නරඹලයි. නැත්නම් ඒ වගේ දේවල් කරලයි. ඉන්ටර්නෙට් එකේ, TV වැඩසටහන්වල, චිත්‍රපටිවල, පොත් පත්වල පෙන්නන්න හදන්නේ අනාචාරය, සැහැසියාව වැරදි නැහැ කියලයි. කලින් අශික්ෂිත, කොහොමටවත් සුදුසු නැහැ කියලා මිනිසුන් හිතපු දේවල් දැන් සමහර රටවල නීතියෙන්ම පිළි අරන්. ඒත් ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි ඒවා අනුමත කරනවා කියන එක නෙමෙයි.—රෝම 1:28-32 කියවන්න.

3. දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන අය ගැන හුඟදෙනෙක්ට හැඟෙන්නේ කොහොමද?

3 පළවෙනි සියවසේ හිටපු අයත් සැහැසියාව සහ අනාචාරයට සම්බන්ධ දේවල් නරඹලා විනෝද වුණා. ඒත් දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වුණු යේසුස්ගේ අනුගාමිකයන් එහෙම කළේ නැහැ. ඒක දැකලා හුඟක් අය පුදුම වුණා. ප්‍රතිඵලයක් විදිහට ක්‍රිස්තියානීන් උසුළුවිසුළුවලටත් පීඩාවලටත් ලක් වුණා. (1 පේතෘ. 4:4) අදත් දෙවි දීලා තියෙන නීති, ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන අයව හුඟදෙනෙක් සලකන්නේ හරි අමුතු පිරිසක් හැටියටයි. යේසුස්ව ආදර්ශයට ගන්න උත්සාහ කරන අයට “අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි” කියලා බයිබලෙත් කියනවා.—2 තිමෝ. 3:12.

“නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි”

4. අපි මේ ලෝකෙට ඇලුම් කරන්න හොඳ නැත්තේ ඇයි?

4 අපිට ඕනෙ දෙවිගේ කැමැත්ත කරන්න නම් ‘මේ ලෝකයටවත් මෙහි තිබෙන දේවලටවත් ඇලුම් කරන්න’ අපිට බැහැ. (1 යොහන් 2:15, 16 කියවන්න.) ලෝකෙ පාලනය තියෙන්නේ “මේ සමාජයේ දෙවියා” වන සාතන්ගේ අතේ. ඔහු තමන් යටතේ තියෙන ආගම්, ආණ්ඩු, ව්‍යාපාරික සංවිධාන, ජනමාධ්‍ය යොදාගෙන මිනිසුන්ව නොමඟ යවනවා. (2 කොරි. 4:4; 1 යොහ. 5:19) ඒ අදහස්වලට අහු වෙලා නොමඟ යන්න අපිට ඕනෙ නැහැ. ඒ නිසා නරක ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම වැළකිලා ඉන්න එක අත්‍යවශ්‍යයි. බයිබලේ පැහැදිලිවම කියන්නේ “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි” කියලයි.—1 කොරි. 15:33.

5, 6. මොන වගේ අයගේ ආශ්‍රයෙන්ද අපි වළකින්න ඕනේ? ඒ ඇයි?

5 යෙහෝවා දෙවි එක්ක තියෙන කිට්ටු බැඳීම දිගටම තියාගන්න අපිට ඕනෙ නම් පුරුද්දක් විදිහට වැරදි කරන අයව අපි කිට්ටු යාළුවන් කරගන්නේ නැහැ. දෙවිට නමස්කාර කරනවා කියලා කිව්වත් ඔහුගේ ප්‍රතිපත්තිවලට කීකරු වෙන්නේ නැති අයත් ඒකට ඇතුළත්. ඔවුන් බරපතළ වරදක් කරලා පසුතැවිලි වෙන්නේ නැත්නම් ඒ අය එක්ක තියෙන ආශ්‍රය අපි නවත්තනවා.—රෝම 16:17, 18.

6 තමන්ගේ මිතුරන්ව සතුටු කරන්න, ඒ අයගේ පිළිගැනීම ලබන්න හුඟක් අය කැමතියි. දෙවිට කීකරු වෙන්නේ නැති අය එක්ක අපි ඇසුරු කරනවා නම් ඒ අය කරන දේවල් කරන්න අපිත් පෙලඹෙන්න පුළුවන්. උදාහරණෙකට අනාචාරයේ යෙදෙන අය එක්ක අපි කිට්ටුවෙන් ඇසුරු කළොත් අපිත් ඒ අය වගේ වෙන්න පුළුවන්. අපේ සහෝදර සහෝදරියෝ හුඟදෙනෙකුට ඒක වෙලා තියෙනවා. ඒ අය අතරින් පසුතැවිලි වුණේ නැති අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරලා තියෙනවා. (1 කොරි. 5:11-13) ඉදිරියටත් පසුතැවිලි වුණේ නැත්නම් ඒ අයගේ තත්වය පේතෘස් විස්තර කරන තත්වයට සමාන වෙන්න පුළුවන්.—2 පේතෘස් 2:20-22 කියවන්න.

7. අපි කිට්ටු යාළුවන් කරගන්න ඕනෙ මොන වගේ අයවද?

7 අපි හැමෝටම කාරුණික වෙන්න ඕනේ. ඒත් එහෙම කියලා දෙවිගේ නීති, ප්‍රතිපත්තිවලට කීකරු වෙන්නේ නැති අයව අපි කිට්ටු යාළුවන් කරගන්න හොඳ නැහැ. එහෙමනම් තනිකඩ සාක්ෂිකරුවෙක් දෙවිගේ උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්නේ නැති, ඒවාට ගරු කරන්නේ නැති, බව්තීස්ම නොවුණු කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න එක කොච්චර වැරදිද? දෙවිට ආදරේ නැති මිනිසුන්ගේ පිළිගැනීමට ලක් වෙනවට වඩා යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබන එක කොච්චර වටිනවද! අපේ කිට්ටු යාළුවන් වෙන්න ඕනෙ දෙවිගේ කැමැත්ත කරන අය විතරයි. “මගේ සහෝදරයා හෝ සහෝදරිය හෝ මව හෝ වන්නේ දෙවිගේ කැමැත්ත කරන තැනැත්තායි” කියලා යේසුත් කිව්වා.—මාක් 3:35.

8. නරක ආශ්‍රය ඊශ්‍රායෙල්වරුන්ට බලපෑවේ කොහොමද?

8 නරක ආශ්‍රය ලොකු විනාශයකට මඟ පාදන්නත් පුළුවන්. ඊශ්‍රායෙල්වරු ගැන හිතන්න. පොරොන්දු දේශයට ඇතුල් වෙන්න කලින් ඒ දේශයේ ජීවත් වෙන මිනිසුන් ගැන දෙවි ඔවුන්ට මේ විදිහේ අනතුරු ඇඟවීමක් දුන්නා. “ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි. ඔවුන්ගේ දේවතා රූපවලට සමාන කිසිවක් සාදා නොගන්න. ඔබ ඒවා බිම හෙළා කඩා දැමිය යුතුයි. නමස්කාර කරන පිණිස ඔවුන් ඉදි කළ කණුද ඔබ බිඳ දැමිය යුතුයි. ඔබ ඔබේ දෙවි වන යෙහෝවාට නමස්කාර කළ යුතුයි.” (නික්. 23:24, 25) ඒත් හුඟක් ඊශ්‍රායෙල්වරු දෙවි කිව්ව දේට කීකරු වෙනවා වෙනුවට ඔහුට ද්‍රෝහි වුණා. (ගීතා. 106:35-39) මොකක්ද ප්‍රතිඵලේ? යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතියව ප්‍රතික්ෂේප කරලා ක්‍රිස්තියානීන්ව ඔහුගේ සෙනඟ හැටියට තෝරගත්තා.—මතෙ. 23:38; ක්‍රියා 2:1-4.

කියවන, බලන දේ ගැන පරෙස්සම් වෙන්න

9. අපි කියවන, බලන දේ ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

9 ඉන්ටර්නෙට් එකේ, TV වැඩසටහන්වල, පොත් පත්වල තියෙන දේවලට පුළුවන් යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන බැඳීම බිඳලා දාන්න. ඒ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් දෙවිගේ සෙනඟගේ හිත්වල තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන්න කියලා ඔයා හිතනවද? කොහොමටවත් නැහැ. ඒ වෙනුවට ඒවාවලින් කරන්නේ සාතන්ගේ ලෝකෙ ගැන විශ්වාසය තියලා වැඩ කරන්න මිනිසුන්ව පොලඹවන එකයි. ඒ නිසා අපි පරෙස්සම් වෙමු. අපේ හිතේ “පව්කාර ආශාවන්” ඇති කරන කිසිම දෙයක් නරඹන්නෙවත් කියවන්නෙවත් ඇහුම්කන් දෙන්නෙවත් නැතුව ඉන්න අදිටන් කරගන්න.—තීත. 2:12.

10. අද තියෙන ජනමාධ්‍යට මොකද වෙන්නේ?

10 ළඟදීම සාතන්ගේ පාලනය යටතේ තියෙන මේ ලෝකයත් ඒකේ ජනමාධ්‍යත් විනාශ කරනවා. බයිබලේ කියන්නේ “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය” කියලයි. (1 යොහ. 2:17) ගීතිකාකරුත් මෙහෙම කිව්වා. “දුෂ්ටයන්ව විනාශ කරනු ලබන්නේය.” ඒත් “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.” ඒක කොච්චර කාලෙකට තියෙනවද? “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය” කියලයි බයිබලේ කියන්නේ.—ගීතා. 37:9, 11, 29.

11. දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔහු අපිට උදව් කරන්නේ කොහොමද?

11 සාතන්ගේ ලෝකෙට වඩා වෙනස්ව දෙවිගේ සංවිධානය අපිට උදව් කරන්නේ සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන් වෙන විදිහේ ජීවිතයක් ගත කරන්නයි. යේසුස් දෙවිට යාච්ඤා කරද්දී මෙහෙම කිව්වා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.” (යොහ. 17:3) අපි දෙවිව හොඳින් හඳුනගන්නවට යෙහෝවා දෙවි කැමතියි. ඒකට උදව් කරන හැම දේම අපිට දෙන්න ඔහු තම සංවිධානය යොදාගන්නවා. අපිට ලැබෙන සඟරා, පොත්, වීඩියෝ, අපේ වෙබ් සයිට් එක හරහා ලැබෙන තොරතුරු දෙවිට සේවය කරන්න අපිට කොයි තරම් උදව්වක්ද! ඒ විතරක් නෙමෙයි යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් ලෝකෙ පුරා සභා 1,10,000කට වඩා වැඩි ගාණක නිතිපතා රැස්වීම් පවත්වලා බයිබලේ කාරණා අපිට උගන්වනවා. ඒ රැස්වීම්වලිනුත් විශාල සමුළුවලිනුත් ඉගෙනගන්න දේවල් නිසා යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් අපේ හිතේ තියෙන විශ්වාසය එන්න එන්නම වැඩි වෙන්නේ නැද්ද?—හෙබ්‍රෙ. 10:24, 25.

“ස්වාමීන්ගේ අනුගාමිකයෙකු” එක්ක විතරක් විවාහ වෙන්න

12. “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු” එක්ක විතරක් විවාහ වෙන්න කියන උපදෙසෙන් අදහස් කරන්නේ මොකක්ද?

12 විවාහ වෙන්න කැමැත්තෙන් ඉන්න සාක්ෂිකරුවෙක් තමන් ආශ්‍රය කරන අය ගැන නිතරම පරෙස්සම් වෙන්න ඕනේ. බයිබලේ අපිට අනතුරු අඟවන්නේ මෙහෙමයි. “දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න. මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම අතර සම්බන්ධයක් තිබිය හැකිද? නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?” (2 කොරි. 6:14) “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු” එක්ක විතරක් විවාහ වෙන්න කියලා බයිබලේ අපිට ආඥා කරලා තියෙනවා. (1 කොරි. 7:39) ඒ කියන්නේ දෙවිට ජීවිතේ කැප කරලා බව්තීස්ම වුණු, දෙවිගේ නීති, ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන කෙනෙක් එක්ක විතරක් විවාහ වෙන්න කියලයි. යෙහෝවා දෙවිට ආදරේ කරන කෙනෙක් එක්ක විවාහ වුණාම දෙවිට සේවය කරමින් යන මේ ගමනේදී ඔයාට අත්වැලක් වෙන්න එයාට පුළුවන්.

13. විවාහය සම්බන්ධයෙන් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන්න ආඥාව මොකක්ද?

13 අපිට හොඳම දේ මොකක්ද කියලා යෙහෝවා දෙවි දන්නවා. ඒ නිසයි “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු” එක්ක විතරක් විවාහ වෙන්න කියලා ඔහු අපිට කියන්නේ. ඒක අලුත් ආඥාවක් නෙමෙයි. දෙවිට සේවය නොකරපු ජාතීන් ගැන ඊශ්‍රායෙල්වරුන්ට දෙවි කියපු දේ බලන්න. “ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ දූවරුන්ව ඔවුන්ගේ පුතුන්ට විවාහ කර දෙන්නවත් ඔබේ පුතුන්ව ඔවුන්ගේ දූවරුන්ට විවාහ කර දෙන්නවත් එපා. ඔබ එවැනි දෙයකට ඉඩ දුන්නොත් ඔබේ දූපුතුන් දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි. එවිට යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී, ඔහු ඔබව වහාම විනාශ කර දමයි.”—ද්වි. 7:3, 4.

14, 15. දෙවි දීපු ආඥාව ගණන් නොගත්ත නිසා සලමොන්ට මොකද වුණේ?

14 සලමොන් රජ වුණාට පස්සේ ඔහු දෙවිට යාච්ඤා කරලා ප්‍රඥාව ඉල්ලුවා. දෙවි ඔහුගේ යාච්ඤාව අහපු නිසා ඔහු හුඟක් ප්‍රඥාවන්ත, ප්‍රසිද්ධ පාලකයෙක් වුණා. ඔහුට තිබුණු ප්‍රඥාව දැකලා පුදුම වුණු ෂෙබාහි රැජින කිව්වේ මෙහෙමයි. “ඔබේ ප්‍රඥාවත් ඔබේ වස්තු සම්භාරයත් මොන තරම්ද! ඇත්තටම ඒවා ගැන මට දැනගන්න ලැබුණේ අල්පයක් විතරයි!” (1 රාජා. 10:7) එච්චර ප්‍රඥාවක් තිබුණත් සලමොන්ට වැරදුණු තැනක් තිබුණා. දෙවිගේ ආඥාවට අකීකරු වෙලා දෙවිට සේවය නොකරන කෙනෙක් එක්ක විවාහ වුණොත් වෙන්න පුළුවන් අනතුර ගැන පාඩමක් අපිට සලමොන්ගෙන් ඉගෙනගන්න පුළුවන්.—දේශ. 4:13.

15 යෙහෝවා දෙවි සලමොන්ට ආශීර්වාද කරලා තිබුණත් දෙවිගේ පැහැදිලි ආඥාවකට ඔහු අකීකරු වුණා. සලමොන් රජ දෙවිට සේවය නොකරපු “වෙනත් ජාතීන්ට අයත් ස්ත්‍රීන් බොහෝදෙනෙකුට ආදරය කළා.” භාර්යාවන් 700දෙනෙකුත් උපභාර්යාවන් 300දෙනෙකුත් ඔහුට හිටියා කියලා බයිබලේ කියනවා. අන්තිමේදී මොකද වුණේ? මහලු වියේදී ඔහුගේ “භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තා. . . . මෙසේ සලමොන් රජ, යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කළා.” (1 රාජා. 11:1-6) නරක ආශ්‍රය නිසා දෙවිට කරපු නමස්කාරයෙන් ඔහු ඈත් වුණා. සලමොන් වගේ කෙනෙක්ට එහෙම වුණා නම් ඒක ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ නිසයි අපි යෙහෝවා දෙවිට ආදරේ කරන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වෙන එක ගැන හිතන්නෙවත් නැත්තේ.

16. දැනටමත් දෙවිට සේවය නොකරන කෙනෙක් එක්ක විවාහ වෙලා ඉන්න අයට බයිබලේ දෙන උපදෙස මොකක්ද?

16 ඔයාට සත්‍යය ලැබුණේ දෙවිට සේවය කරන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වුණාට පස්සේ නම් මොකද කරන්නේ? බයිබලේ කියන්නේ මෙහෙමයි. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත් ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ.” (1 පේතෘ. 3:1) දෙවිට සේවය නොකරන බිරිඳක් ඉන්න ස්වාමිපුරුෂයෙකුටත් ඒ උපදෙස අදාළයි. විවාහය සම්බන්ධයෙන් බයිබලේ තියෙන මඟ පෙන්වීම් හරිම පැහැදිලියි. ඔයාගේ සැමියාට, බිරිඳට හොඳින් සලකන්න. දෙවි දීලා තියෙන ප්‍රතිපත්ති විවාහ ජීවිතේට අදාළ කරගන්න. ඔයාගේ හොඳ හැසිරීම දකිද්දී දෙවිට සේවය කරන්න ඔයාගේ සැමියාගේ, බිරිඳගේ හිතෙත් ආසාවක් ඇති වෙයි. ඒක හුඟක් යුවළයන් අද්දැකලා තියෙනවා.

යෙහෝවා දෙවිට ආදරේ කරන අයව ආශ්‍රය කරන්න

17, 18. ජලගැල්මෙන් බේරෙන්න නෝවාට උදව් වුණේ මොකක්ද? යෙරුසලමේ විනාශයෙන් බේරෙන්න ක්‍රිස්තියානීන්ට උදව් වුණේ මොකක්ද?

17 නරක ආශ්‍රය දෙවිට අකීකරු වෙන්න ඔයාව පොලඹවන්න පුළුවන් කියලා සැකයක් නැහැ. ඒ වගේම හොඳ ආශ්‍රය ඔයාට උදව් වෙයි දෙවිට විශ්වාසවන්තව ඉන්න. නෝවා අපිට හොඳ ආදර්ශයක්. ඔහු ජීවත් වුණේ “මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබුණු” සහ “ඔවුන්ගේ සිත් නිතරම නපුරටම යොමු වී තිබුණු” කාලෙක. (උත්. 6:5) ඒ කාලේ මිනිසුන් කොයි තරම් දුෂ්ටද කියනවා නම් යෙහෝවා දෙවි ඔවුන්ව විනාශ කරන්න තීරණය කළා. ඒත් නෝවා වැඩ කළේ අනිත් අයට වඩා වෙනස් විදිහට. බයිබලේ ඔහුව හඳුන්වන්නේ ‘සැබෑ දෙවි සමඟ ගමන් කළ ධර්මිෂ්ඨ මිනිසෙක්’ විදිහටයි.—උත්. 6:7-9.

18 නෝවා දෙවිට ආදරේ කළේ නැති අය එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කළේ නැහැ. ඒ වෙනුවට ඔහුත් ඔහුගේ පවුලේ අයත් දෙවි කියපු දේවල් කළා. නැව හදන්න ඔවුන්ගේ කාලේ, ශ්‍රමය යෙදෙව්වා. නෝවා “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළා.” (2 පේතෘ. 2:5) නෝවාත් ඔහුගේ බිරිඳත් පුතුන් තුන්දෙනාත් එයාලාගේ භාර්යාවන් තුන්දෙනාත් එකිනෙකාව දිරිගන්වමින් ඇසුරු කළා. දෙවි භාර දීපු දේවල් වෙහෙස මහන්සි නොබලා කළා. ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ගේ ජීවිත ජලගැල්මෙන් බේරුණා. අපි පැවතෙන්නෙත් ඒ අයගෙන්. එදා ඔවුන් නරක ආශ්‍රය ප්‍රතික්ෂේප කරලා දෙවිට කීකරු වුණු එක ගැන අපි ඔවුන්ට කොච්චර ස්තුති කරන්න ඕනෙද? නෝවාගේ පවුලේ අය වගේම පළවෙනි සියවසේ ක්‍රිස්තියානීනුත් දෙවිට ආදරේ කළේ නැති අයව කිට්ටුවෙන් ආශ්‍රය කළේ නැහැ. ඔවුන් දෙවිට කීකරු වුණු නිසා ක්‍රි.ව. 70දී යෙරුසලමේ විනාශයෙන් බේරෙන්න ඔවුන්ට පුළුවන් වුණා.—ලූක් 21:20-22.

යෙහෝවා දෙවිට ආදරේ කරන අය එක්ක එකට කාලේ ගත කරද්දී පාරාදීසයේ ජීවිතය හිතින් මවාගන්න පුළුවන් (19 ඡේදය බලන්න)

19. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

19 නෝවාගේ පවුලේ අය සහ පළවෙනි සියවසේ ක්‍රිස්තියානීන් වගේ අපිත් දෙවිට ආදරේ කරන්නේ නැති අයව ආශ්‍රය කරන්නේ නැහැ. ඒ වෙනුවට අපේ යාළුවන් විදිහට තෝරගන්න මිලියන ගාණක් විශ්වාසවන්ත සහෝදර සහෝදරියන් අපිට ඉන්නවා. ඉතා අසීරු, අනතුරු සහිත කාලේක ඉන්න අපිට “විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව ඉන්න” අපේ ඒ හොඳ යාළුවෝ අපිට උදව් කරයි. (1 කොරි. 16:13; හිතෝ. 13:20) පොඩ්ඩක් හිතන්න, මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් බේරිලා පාරාදීසයට පය තියද්දී ඒකේ ජීවත් වෙද්දී අපිට මොන තරම් සතුටු වෙන්න පුළුවන් වෙයිද! ඒ නිසා මේ කාලේ නරක ආශ්‍රයෙන් පරෙස්සම් වෙන එක කොච්චර වටිනවද කියලා ඔයාට තේරෙනවද?