Skip to content

පටුනට යන්න

ඔයා ක්‍රිස්තුස්ගේ පෞද්ගලිකත්වයට ළඟා වෙන්න උත්සාහ කරනවද?

ඔයා ක්‍රිස්තුස්ගේ පෞද්ගලිකත්වයට ළඟා වෙන්න උත්සාහ කරනවද?

‘ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ පෞද්ගලිකත්වයට ළඟා වන, අවබෝධයෙන් ක්‍රියා කරන අය වෙන්න.’—එෆී. 4:13.

ගීතිකා: 69, 70

1, 2. හැමෝම උත්සාහ කරන්න ඕනෙ කොහොම අය වෙන්නද? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

මවක් පලතුරු තෝරද්දී මුලින්ම ඒකේ සුවඳ බලනවා. හොඳට පැහිලද නැවුම්ද කන්න පුළුවන් තරමට ඉදිලද කියලා බලනවා. මොකද පවුලේ අයට පෝෂණය ලැබෙන්නේ ඒ වගේ පලතුරකින් කියලා එයා දන්නවා.

2 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න උත්සාහ කරනවා නම් අපිටත් පුළුවන් නියම පෝෂණය තියෙන, නැවුම් පලතුරු වගේ වෙන්න. ඒ කොහොමද? කෙනෙක් යෙහෝවා දෙවි ගැන ඉගෙනගද්දී එයාට දෙවි එක්ක බැඳීමක් ඇති වෙනවා. බව්තීස්ම වුණාට පස්සෙත් එයාට ඕනෙ ඒ බැඳීම තව ශක්තිමත් කරගෙන අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න. ඒක නිකම්ම වයසත් එක්ක එන දෙයක් නෙමෙයි. දෙවිට කිට්ටු වෙන්න වෙන්න ඒ කෙනා අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙනවා. පාවුල්ට ඕන වුණේ එෆීසයේ හිටපු ක්‍රිස්තියානිනුත් ඒ වගේ වෙනවා දකින්න. ඔහු ඔවුන්ට මෙහෙම කිව්වා. ‘විශ්වාස කරන දේ සම්බන්ධයෙන්ද දෙවිගේ පුත්‍රයා ගැන තිබෙන නිවැරදි දැනුම සම්බන්ධයෙන්ද සියලුදෙනාම එක්සත්ව සිටින්න. එමගින් ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ පෞද්ගලිකත්වයට ළඟා වන, හොඳින් වැඩුණු අවබෝධයෙන් ක්‍රියා කරන අය වෙන්න ඔබට හැකි වෙයි.’—එෆී. 4:13.

3. එෆීස සභාව සහ අද ඉන්න දෙවිගේ සෙනඟ අතර තියෙන සමානකම් මොනවද?

3 පාවුල් එෆීසවරුන්ට ලියද්දී එෆීස සභාව පිහිටුවලා අවුරුදු කීපයක්ම ගත වෙලා තිබුණා. සභාවේ හිටපු හුඟදෙනෙක් අද්දැකීම් ලත්, අවබෝධයෙන් වැඩ කරපු අය. ඒත් දෙවි එක්ක තිබුණු බැඳීම තව ශක්තිමත් කරගෙන අවබෝධයෙන් වැඩ කිරීම සම්බන්ධයෙන් තව දියුණු වෙන්න ඕන අයත් සභාවේ හිටියා. අදත් ඒ වගේ. කාලයක් දෙවිට විශ්වාසවන්තව සේවය කරන, අවබෝධයෙන් වැඩ කරන හුඟක් අය අපි අතරේ ඉන්නවා. ඒත් සභාවේ ඉන්න හැම කෙනෙක්ම අවබෝධයෙන් වැඩ කරනවා කියලා කියන්න බැහැ. උදාහරණෙකට හැම අවුරුද්දකම දහස් ගාණක් දෙවිගේ සංවිධානයට එකතු වෙනවා. ඒ අයගෙන් සමහරු අවබෝධයෙන් වැඩ කිරීම සම්බන්ධයෙන් තව දියුණු වෙන්න ඕනේ. ඔයා ගැන කියන්න පුළුවන් මොකක්ද?—කොලො. 2:6, 7.

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්

4, 5. අවබෝධයෙන් වැඩ කරන අය අතරේ වුණත් වෙනස්කම් තියෙන්නේ ඇයි? ඒත් ඒ හැම කෙනෙක්ටම පොදු ලක්ෂණය මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 ඉදුණු පලතුරු ගොඩක තියෙන හැම ගෙඩියක්ම එක වගේ නැහැ. පෙනුමෙන්, ප්‍රමාණයෙන් එකකට එකක් වෙනස්. ඒත් ඒවා හොඳට පැහුණු, ඉදුණු ඒවා කියලා හොයාගන්න උදව් වෙන ලක්ෂණ ඒ හැම ගෙඩියකටම පොදුයි. අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානිනුත් ඒ වගේ. පසුබිම, වයස් මට්ටම, කැමති අකමැති දේවල් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. ඒත් අවබෝධයෙන් වැඩ කරන අය කියලා තේරුම්ගන්න උදව් වෙන සමහර ලක්ෂණ ඒ හැමෝටම පොදුයි. ඒ මොනවද?

5 අවබෝධයෙන් වැඩ කරන අය යේසුස්ගේ “පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න” උත්සාහ කරනවා. (1 පේතෘ. 2:21) මුළු හිතින්ම යෙහෝවා දෙවිට ආදරේ කරන එක, ඔහු වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරන එක, නිතරම දෙවිට මනසේ මුල් තැන දෙන එක හුඟක් වැදගත් කියලා යේසුස් කිව්වා. තමන්ට වගේම තමන්ගේ අසල්වැසියන්ට ආදරේ කරන්න කියලත් ඔහු කිව්වා. (මතෙ. 22:37-39) අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් ඒ දේට කීකරු වෙන්න නිතරම උත්සාහ කරනවා. දෙවි එක්ක තියෙන බැඳීමත් අනිත් අයට තියෙන ආදරෙත් හැම දේටම වඩා වටිනවා කියලා ජීවත් වෙන විදිහෙන් පෙන්නනවා.

දැන් පෙරමුණ අරගෙන වැඩ කරන තරුණ සහෝදරයන්ට සහය වීමෙන් යේසුස්ගේ නිහතමානිකම ආදර්ශයට ගන්න මහලු සහෝදරයන්ට පුළුවන් (6 ඡේදය බලන්න)

6, 7. (අ) අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ව හඳුනගන්න පුළුවන් තවත් ගතිලක්ෂණ මොනවද? (ආ) අපි හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද?

6 ප්‍රේමය අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට තියෙන එක ගුණාංගයක් විතරයි. (ගලා. 5:22, 23) ඒ වගේ කෙනෙක් මෘදු, ඉවසන, තමන්වම පාලනය කරගන්න කෙනෙක්. බලාපොරොත්තු කඩ වෙන අවස්ථාවලදීත් කේන්ති නොගෙන, නොසැලී ඉන්න ඒ ගුණාංග එයාට උදව් කරනවා. ඒ වගේ කෙනෙක් බයිබලේ අධ්‍යයනය කරද්දී හරි වැරැද්ද අතර තියෙන වෙනස හඳුනගන්න උදව් වෙන ප්‍රතිපත්ති ගැන නිතරම හොයලා බලනවා. ඒ විදිහට තමන්ගේ හෘදය සාක්ෂිය පුහුණු කරන නිසා ඥානවන්ත තීරණ ගන්න එයාට පුළුවන්. නිහතමානිකමත් ඒ වගේ කෙනෙක් තුළ දකින්න පුළුවන්. තමන්ට හැඟෙන දේට වඩා දෙවිගේ මඟ පෙන්වීම්, ප්‍රමිති උසස් කියලා එයා පිළිගන්නවා. * දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන්නත් සභාවේ එක්සත්කම රැකගන්නත් පුළුවන් හැම දේම එයා කරනවා.

7 අපි කොච්චර කාලයක් දෙවිට සේවය කරලා තිබුණත් මේ ප්‍රශ්න ගැන හිතමු. ‘යේසුස්ව මීටත් වඩා හොඳට ආදර්ශයට ගන්න මං කරන්න ඕනෙ මොන වගේ වෙනස්කම්ද? අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න මං හදාගන්න ඕනෙ පැති මොනවද?’

“ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය”

8. යේසුස්ට දේවවචනය ගැන කොයි තරම් අවබෝධයක් තිබුණද?

8 යේසුස්ට දේවවචනය ගැන හොඳ අවබෝධයක් තිබුණා. අවුරුදු 12ක් තරම් වයසක ඉද්දීත් දේවමාලිගාවේ ගුරුවරුන් එක්ක දේවවචනයේ තියෙන තොරතුරු යොදාගෙන කතා කරන්න ඔහුට පුළුවන් වුණා. “ඔහුට තිබුණු අවබෝධය ගැන හා ඔහු පිළිතුරු දුන් ආකාරය ගැන ඔහුට සවන් දෙමින් සිටි සියලුදෙනා කොතරම් පුදුම වුණාද කිවහොත් ඔවුන්ට එය අදහාගැනීමටවත් නොහැකි විය.” (ලූක් 2:46, 47) ඔහු දේශනා කරද්දීත් දක්ෂ විදිහට දේවවචනයෙන් සතුරන්ට උත්තර දුන්නා.—මතෙ. 22:41-46.

9. (අ) අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න නම් තියෙන්න ඕනෙ මොන වගේ අධ්‍යයන පුරුදුද? (ආ) අපි බයිබලේ අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි?

9 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් බයිබලේ තියෙන මූලික ඉගැන්වීම්වලින් විතරක් සෑහීමට පත් වෙන්නේ නැහැ. යේසුස් වගේ දේවවචනය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න එයා උත්සාහ කරනවා. “ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටයි” කියලා දන්න නිසා ඒවා අධ්‍යයනය කරලා තේරුම්ගන්න ලොකු වෑයමක් දරනවා. (හෙබ්‍රෙ. 5:14) බයිබලේ තියෙන “නිවැරදි දැනුම” ලබාගන්න ඒ වගේ කෙනෙක්ට තියෙන්නේ ලොකු පිපාසයක්. (එෆී. 4:13) මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහලා බලන්න. ‘මම හැමදාම බයිබලේ කියවනවද? පෞද්ගලික අධ්‍යයනය නිතිපතා කරන්න මට හොඳ සැලැස්මක් තියෙනවද? හැම සතියකම මම පවුලේ නමස්කාරය කරනවද?’ බයිබලේ අධ්‍යයනය කරද්දී යෙහෝවා දෙවි හිතන විදිහ තේරුම්ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති හඳුනගන්න උත්සාහ කරන්න. තීරණ ගද්දී ඒ ප්‍රතිපත්ති අදාළ කරගන්න. එතකොට ඔයා යෙහෝවා දෙවිට තව ළං වෙයි.

10. අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක්ට දෙවිගේ මඟ පෙන්වීම් සහ ප්‍රතිපත්ති ගැන හැඟෙන්නේ කොහොමද?

10 අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් දැනුම ලබාගෙන විතරක් නතර වෙන්නේ නැහැ. දෙවිගේ නීති, ප්‍රතිපත්තිවලට ලොකු ඇල්මකුත් ඇති කරගන්නවා. ඒ ඇල්ම නිසා තමන් කැමති දේට වඩා දෙවිගේ කැමැත්තට ජීවිතේ මුල් තැන දෙනවා. එයා ජීවත් වෙන විදිහ විතරක් නෙමෙයි එයා හිතන විදිහ, දේවල් කරන විදිහත් වෙනස් කරගන්නවා. උදාහරණෙකට හැම දේකදීම යේසුස්ව ආදර්ශයට ගන්නත් ‘දෙවිගේ කැමැත්තට එකඟව හැඩගසා තියෙන අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නත්’ උත්සාහ කරනවා. “එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින් සහ පක්ෂපාතකමින්ය” කියන දේත් මතක තියාගන්නවා. (එෆීස 4:22-24 කියවන්න.) බයිබලේ ලියපු අය ඒ දේවල් ලිව්වේ දෙවිගේ බලයේ උදව්වෙන්. ඒ නිසා කෙනෙක් බයිබලේ අධ්‍යයනය කරලා දැනුම වැඩි කරගද්දී, බයිබල් ප්‍රතිපත්ති ගැන තියෙන ඇල්ම වැඩි කරගද්දී අවබෝධයෙන් ක්‍රියා කරන්න ඒ කෙනාට උදව් කරන්න දෙවිගේ බලයට පුළුවන්. දෙවි එක්ක තියෙන බැඳීම තව වැඩි කරගන්න ඒක උදව්වක්.

එක්සත්කමට දායක වෙනවා

11. පොළොවේ ඉද්දී යේසුස් අද්දැක්කේ මොන වගේ දේවල්ද?

11 යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් පොළොවේ ජීවත් වුණු කාලේ පුරාම වැඩ කළේ පාපය උරුම කරගත්ත අය එක්ක. ඔහුගේ දෙමාපියන්, නංගිලා මල්ලිලා පරිපූර්ණ අය නෙමෙයි. යේසුස්ගේ ගෝලයනුත් උඩඟු, ආත්මාර්ථකාමී විදිහට වැඩ කළා. උදාහරණෙකට යේසුස් මිය යන්න පෙර රාත්‍රියේදීත් “ඔවුන් අතරේ උතුම් තැනැත්තා කවුද” කියලා උණුසුම් විවාදයක් ඇති වුණා. (ලූක් 22:24) දුර්වලකම් තිබුණත් එයාලා අවබෝධයෙන් ක්‍රියා කරන අය වෙනවා කියලත් එක්සත් ක්‍රිස්තියානි සභාව බිහි වෙන්නේ එයාලගෙන් කියලත් යේසුස්ට ලොකු විශ්වාසයක් තිබුණා. එදා රාත්‍රියේම “පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි” කියලා යේසුස් යාච්ඤා කළේ ඒ නිසයි. ‘අප අතර බැඳීමක් තිබෙනවා වගේම ඔවුන් අතරත් බැඳීමක් ඇති කරන්න’ කියලා ඔහු දෙවිගෙන් ඉල්ලුවා.—යොහ. 17:21, 22.

12, 13. (අ) අපේ ඉලක්කය වෙන්න ඕනෙ මොකක්ද? (ආ) එක්සත්කමට දායක වෙන්න සහෝදරයෙක් ඉගෙනගත්තේ කොහොමද?

12 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් නිතරම වෙහෙසෙන්නේ සභාවේ එක්සත්කම රැකගන්න. (එෆීස 4:1-6, 15, 16 කියවන්න.) අපේ ඉලක්කය වෙන්න ඕනෙ එක ශරීරයක් වගේ ‘එකට බැඳිලා’ සහයෝගයෙන් වැඩ කරන්නයි. එහෙම කරන්න නම් කෙනෙක් අනිවාර්යයෙන්ම නිහතමානී වෙන්න ඕනේ. අනිත් අයගේ අඩුපාඩු නිසා හිත රිදුණත් පාඩුවක් වුණත් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් යටහත්පහත්ව ඒවා දරාගන්නවා. තමන්ට වෙච්ච දේ නිසා සභාවේ එක්සත්කම නැති වෙනවට එයා කැමති නැහැ. ඒ නිසා ඔයාගෙන්ම මෙහෙම අහලා බලන්න. ‘සහෝදරයෙක් අතින් අඩුපාඩුවක් වුණාම මං කොහොමද ඒක භාරගන්නේ? කවුරු හරි මාව රිද්දුවොත් මං මොනවද කරන්නේ? එයා එක්ක කතා කරන එක නවත්තනවද? යාළුකම ආයෙත් ඇති කරගන්න මං උත්සාහ කරනවද?’ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට ඕනෙ ප්‍රශ්නයක් වුණාම ඒක ඉක්මනින්ම විසඳගෙන ඒ කෙනාට තවත් කිට්ටු වෙන්න මිසක් ප්‍රශ්නේ දුර දිග ගෙනියන්න නෙමෙයි.

13 ඌවි, සහෝදර සහෝදරියන් කියපු කරපු දේවල් නිසා හිත රිද්දවගත්තු කෙනෙක්. ඒ නිසා එයා තීරණයක් ගත්තා දාවිත් ගැන අධ්‍යයනය කරන්න. එයා බයිබලෙත් අපේ ප්‍රකාශනයකුත් (Insight on the Scriptures) යොදාගෙන දාවිත් ගැන හුඟක් දේවල් හොයලා බැලුවා. දාවිත්ටත් දෙවිට සේවය කරපු අයගෙන් හුඟක් ප්‍රශ්න ගැටලු ආපු නිසයි එයා දාවිත්වම තෝරගත්තේ. සාවුල් රජ ඔහුව මරන්න හැදුවා. තවත් පිරිසක් ඔහුට ගල් ගහන්න හැදුවා. එයාගේම බිරිඳ එයාට සමච්චල් කළා. (1 සාමු. 19:9-11; 30:1-6; 2 සාමු. 6:14-22) අනිත් අය ඒ මොනවා කළත් දාවිත්ට දෙවි ගැන තිබුණු ආදරෙත් විශ්වාසෙත් පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඒ වගේම එයා අනිත් අයට දයාව පෙන්නුවා. ‘මමත් දාවිත් වගේ වෙන්න ඕනෙ’ කියලා ඌවි තේරුම්ගත්තා. සහෝදරයන් අතින් වෙන අඩුපාඩු දිහා එයා බලපු විදිහ වැරදියි කියලා තේරුම්ගන්න බයිබලෙන් කරපු අධ්‍යයනය එයාට උදව් වුණා. ඒ අඩුපාඩු හිතේ තියාගෙන ඉන්නේ නැතුව සභාවේ එක්සත්කමට දායක වෙන්න එයා අධිෂ්ඨානයක් ගත්තා. ඔයාගේ ඉලක්කයත් ඒකමද?

දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන අයව මිතුරන් කරගන්න

14. යේසුස් යාළුවන් හැටියට තෝරගත්තේ මොන වගේ අයවද?

14 යේසුස් හරිම මිත්‍රශීලී කෙනෙක්. ඒ නිසා ගැහැනු පිරිමි තරුණ මහලු අය විතරක් නෙමෙයි පුංචි දරුවොත් යේසුස් එක්ක කාලේ ගත කළේ හරිම කැමැත්තෙන්. ඒත් යේසුස් තමන්ගේ කිට්ටු යාළුවන් කරගන්නේ කාවද කියන කාරණේ ගැන හුඟක් සැලකිලිමත් වුණා. ඔහුගේ නියෝජිතයන්ට ඔහු කිව්වේ “මා ඔබට අණ කරන දේ ඔබ කරනවා නම් මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් ලෙසයි” කියලා. (යොහ. 15:14) යේසුස් කිට්ටු යාළුවන් හැටියට තෝරගත්තේ යෙහෝවා දෙවිට ආදරේ කරපු, ඔහුට විශ්වාසවන්තව සේවය කරපු අය අතරෙන් සමහරුන්වයි. ඔයාත් ඔයාගේ යාළුවන් කරගන්නේ යෙහෝවා දෙවිට මුළු හිතින්ම ආදරේ කරන අයවද? ඒක අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි?

15. අවබෝධයෙන් වැඩ කරන අයව ආශ්‍රය කරන එක යෞවනයන්ට උදව් වෙන්නේ කොහොමද?

15 පලතුරු හොඳට පැහිලා ඉදෙන්නේ ඒවාට හිරු එළිය වැටෙද්දී. අපේ සහෝදර සහෝදරියොත් හරියට හිරු එළිය වගේ. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඔයාට උදව් කරන්න එයාලට පුළුවන්. ඔයා අනාගතයේදී මොනවද කරන්නේ කියලා හිතහිත ඉන්න යෞවනයෙක්ද? එහෙමනම් කාලයක් පුරා දෙවිට සේවය කරන, සභාවේ එක්සත්කම රැකගන්න විදිහට වැඩ කරන අයව ඔයාගේ යාළුවන් කරගන්න. සමහරවිට ජීවිතේ විවිධ අභියෝග මැද එයාලා දෙවිට සේවය කරලා ඇති. ඉස්සරහට කරන්න පුළුවන් හොඳම දේ තීරණය කරන්න එයාලා ඔයාට උදව් කරයි. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්නත් එයාලා එක්ක කරන ආශ්‍රය ඔයාට උදව් වෙයි.—හෙබ්‍රෙව් 5:14 කියවන්න.

16. අවබෝධයෙන් වැඩ කරපු අයගේ ආශ්‍රය යෞවන සහෝදරියකට උදව් වුණේ කොහොමද?

16 ඉස්කෝලේ අන්තිම අවුරුද්දේදී හෙල්ගාගේ පන්තියේ හැමෝම වගේ එයාලගේ අනාගත ඉලක්ක ගැන කතා කළා. හුඟක් අයට ඕන වුණේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබලා හොඳ රැකියා කරන්නයි. ඒත් හෙල්ගා ඒ ගැන කතා කළේ එයාගේ සභාවේ අවබෝධයෙන් වැඩ කරපු යාළුවෝ එක්කයි. හෙල්ගා මෙහෙම කියනවා. “එයාලා මට වඩා හුඟක් වයසින් වැඩි අය. තීරණයක් ගන්න එයාලා මට උදව් කළා. පූර්ණකාලීන සේවය තෝරගන්න එයාලා මාව දිරිගැන්නුවා. පුරෝගාමියෙක් විදිහට අවුරුදු 5ක් සේවය කරන්න එයාලත් එක්ක කරපු කතාබහ මට හුඟක් උදව් වුණා. මගේ තරුණ කාලෙන් වැඩි හරියක් දෙවිට සේවය කරපු එක ගැන මං හුඟක් සතුටු වෙනවා. ඒ තීරණය ගැන මං පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නැහැ.”

17, 18. යෙහෝවා දෙවිට වඩාත් හොඳ සේවයක් කරන්න අපිට පුළුවන් කොහොමද?

17 යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවිට ළං වෙන්න වගේම ඔහුට සේවය කරන්න තියෙන ආශාව වැඩි කරගන්නත් ඒක උදව්වක්. කෙනෙක් අවබෝධයෙන් වැඩ කරද්දී යෙහෝවා දෙවිට තමන්ගේ උපරිමය දෙන්න එයාට පුළුවන්. ඒක අනිත් අයටත් පැහැදිලිව දකින්න ලැබෙයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ “ඔබත් ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි” කියලා.—මතෙ. 5:16.

18 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට සභාව වෙනුවෙන් හුඟක් දේවල් කරන්න පුළුවන් කියලා අපි දැනගත්තා. කෙනෙක් තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ගන්න තීරණ අනුවත් එයා අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ද නැද්ද කියලා පැහැදිලි වෙනවා. ඥානවන්ත තීරණ ගන්න අපේ හෘදය සාක්ෂිය අපිට උදව් කරන්නේ කොහොමද? අනිත් අය එයාලගේ හෘදය සාක්ෂියට එකඟව ගන්න තීරණවලට ගරු කරන්න අපිට පුළුවන් කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

^ 6 ඡේ. උදාහරණෙකට තමන් කරමින් හිටපු පැවරුමක් තරුණ සහෝදරයෙකුට භාර දීලා එයාට සහය වෙන්න කියලා මහලු, අද්දැකීම් ලත් සහෝදරයෙකුට මඟ පෙන්වීමක් ලැබෙන්න පුළුවන්.