Skip to content

පටුනට යන්න

“විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න”

“විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න”

“විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න. . . . තව තවත් නිර්භීත වන්න.”—1 කොරි. 16:13.

ගීතිකා: 60, 64

1. (අ) පේතෘස්ට කරන්න පුළුවන් වුණේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) පේතෘස් ගිලෙන්න පටන්ගත්තේ ඇයි?

එදා රෑ ගෝලයන් කීපදෙනෙක් හිටියේ ගලීල මුහුදේ ඔරුවක. හමපු තද සුළඟ නිසා ඔරුව පදවන්න බැරුව ලොකු අසීරුතාවකින් ඉද්දී ඔවුන් දකිනවා යේසුස් මුහුද මත ඇවිදගෙන එනවා. වතුර මත ඇවිදගෙන එන්න අවස්ථාව දෙන්න කියලා පේතෘස් අහපුවම යේසුස් ඔහුට එන්න කියනවා. පේතෘස් වතුර මත ඇවිදගෙන ටික දුරක් ගියත් කුණාටුව දැකලා බය වුණු නිසා ගිලෙන්න පටන්ගන්නවා. උදව් ඉල්ලද්දී යේසුස් ඉක්මනින් අත දිගු කරලා ඔහුව අල්ලගෙන මෙහෙම කියනවා. “ඔබේ විශ්වාසය දුර්වල වුණේ ඇයි? ඔබ තුළ සැකයක් ඇති වෙන්න ඉඩ දුන්නේ ඇයි?”—මතෙ. 14:24-32.

2. අපි මේ ලිපියේ බලන්නේ මොනවා ගැනද?

2 යෙහෝවා දෙවි තමන්ට උදව් කරනවා කියන විශ්වාසය මුලින් පේතෘස්ට තිබුණා කියලා පැහැදිලි වුණේ කොහොමද? පේතෘස්ගේ විශ්වාසය දුර්වල වුණේ ඇයි? දුර්වල වුණු විශ්වාසය ආයෙත් ශක්තිමත් කරගන්න ඔහුට උදව් වුණේ මොකක්ද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න එක “විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව ඉන්න” අපිටත් උදව්වක්.—1 කොරි. 16:13.

දෙවිගේ උදව් ලැබෙනවා කියන විශ්වාසය

3. පේතෘස් ඔරුවෙන් බැස්සේ ඇයි? ඒ වගේ දෙයක් අපිත් කරලා තියෙන්නේ කොහොමද?

3 පේතෘස්ට ලොකු විශ්වාසයක් තිබුණු නිසයි යේසුස් එන්න කියපු ගමන් ඔරුවෙන් බැහැලා වතුර මත ඇවිදගෙන යන්න පුළුවන් වුණේ. වතුර මත ඇවිදින්න හැකියාව තමන්ටත් දෙන්න දෙවිට පුළුවන් කියලා ඔහු විශ්වාස කළා. අපිත් ඒ වගේ. අනුගාමිකයෙක් වෙන්න කියලා යේසුස් කරපු ආරාධනාව පිළි අරන් ජීවිතේ කැප කරලා බව්තීස්ම වුණේ දෙවි ගැනත් යේසුස් ගැනත් අපිට තිබුණු විශ්වාසය නිසයි. ඒ දෙන්නා උදව් කරනවා කියන නිසැකකම නිසයි.—යොහ. 14:1; 1 පේතෘස් 2:21 කියවන්න.

4, 5. විශ්වාසය වටිනා වස්තුවක් කියන්නේ ඇයි?

4 විශ්වාසය වටිනා වස්තුවක්. කරන්න බැහැ කියලා පේන්න තිබුණු දෙයක් කරන්න පේතෘස්ට පුළුවන් වුණේ ශක්තිමත් විශ්වාසයක් ඔහුට තිබුණු නිසයි. ඒ වගේ විශ්වාසයක් තියෙනවා නම් කරන්න බැහැ කියලා හුඟක් අය හිතන දේවල් කරන්න අපිටත් පුළුවන්. (මතෙ. 21:21, 22) අපි අතරේ ඉන්න සමහරුන් ආකල්ප, හැසිරීම කොච්චර වෙනස් කරගෙන තියෙනවද කියනවා නම් ඒ අයව දන්න කියන අයට ඒ වෙනස අදහාගන්නවත් බැහැ. යෙහෝවා දෙවි ගැන විශ්වාසයක් තිබුණේ නැත්නම් දෙවිගේ උදව් ලැබුණේ නැත්නම් ඒ වගේ වෙනසක් කරන්න අපිට බැහැ. (කොලොස්සි 3:5-10 කියවන්න.) ඒ විතරක්ද දෙවි ගැන අපිට තියෙන විශ්වාසය නිසයි දෙවිට අපේ ජීවිතේ කැප කරන්න අපි පෙලඹුණේ. ප්‍රතිඵලයක් විදිහට යෙහෝවා දෙවිගේ යාළුවෙක් වෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඒක අපේ උත්සාහයෙන් කවදාවත් කරන්න බැහැ.—එෆී. 2:8.

5 විශ්වාසය තියෙනවා නම් නොසැලී ඉන්නත් අපිට පුළුවන්. උදාහරණෙකට සාතන්ගේ ප්‍රහාරවලට විරුද්ධව සටන් කරන්න අපිට උදව් කරන්නේ විශ්වාසයයි. (එෆී. 6:16) ප්‍රශ්න ගැටලු එද්දී ඕනෑවට වඩා කනස්සලු වෙන්නේ නැතුව ඉන්නත් විශ්වාසය අපිට උදව් කරනවා. දෙවිටත් ඔහුගේ රාජ්‍යයටත් මුල් තැන දෙද්දී අපිට අවශ්‍ය දේවල් දෙනවා කියලා දෙවි දුන්න පොරොන්දුව ගැන විශ්වාසය තියලා වැඩ කරන්න අපිව පොලඹවන්නේ විශ්වාසයයි. (මතෙ. 6:30-34) අපේ උත්සාහයෙන් කවදාවත් ලබාගන්න බැරි සදාකාල ජීවනය කියන තෑග්ග යෙහෝවා දෙවි අපිට දෙන්නෙත් අපිට තියෙන විශ්වාසය නිසයි.—යොහ. 3:16.

ඇස වෙනතකට යොමු කරන්න එපා

6, 7. (අ) පේතෘස් බය වුණු තද සුළඟ, රළ පහර සමාන කරන්න පුළුවන් මොනවටද? (ආ) අපේ විශ්වාසය දුර්වල වෙන්න පුළුවන් කියලා තේරුම්ගන්න එක වැදගත් ඇයි?

6 වතුර මත ඇවිදගෙන ටික දුරක් ගියත් තද සුළඟ, විශාල රළ පහරවල් දැකලා පේතෘස් බය වුණා. අපිට එන පීඩා, පරීක්ෂාත් ඒ තද සුළඟ වගේ. රළ පහරවල් වගේ. ජය ගන්න බැහැ කියලා හිතුණත් යෙහෝවා දෙවිගේ උදව්වෙන් ඒවාට මුහුණ දෙන්න අපිට පුළුවන්. ඒත් පේතෘස් ගිලෙන්න පටන්ගත්තේ ඒ සුළඟට, රළ පහරට හසු වුණු නිසා නෙමෙයි “කුණාටුව දැක භය වූ නිසයි.” (මතෙ. 14:30) යේසුස් දිහාට යොමු වෙලා තිබුණු දෙනෙත් කුණාටුව දෙසට යොමු කළාට පස්සෙයි ඔහුගේ විශ්වාසය දුර්වල වුණේ. අපිත් අපිට එන ප්‍රශ්නවලට වැඩි අවධානයක් දෙන්න ගියොත් දෙවි උදව් කරනවා කියන දේ සැක කරයි.

7 අපේ විශ්වාසය දුර්වල වෙන්න ඉඩ තියෙනවා කියලා තේරුම්ගන්න එක හරිම වැදගත්. මොකද “අපව පහසුවෙන් හසු කරගන්නා පාපය” හැටියට බයිබලේ විස්තර කරලා තියෙන්නේ අපේ විශ්වාසය දුර්වල වීමයි. (හෙබ්‍රෙ. 12:1) අවධානය දෙන්න ඕන දේට නොදී වෙන දේවලට අපේ අවධානය යොමු කළොත් අපේ විශ්වාසයත් දුර්වල වෙන්න පුළුවන්. අපි තුළ තියෙන විශ්වාසය දුර්වල වෙන්න පටන් අරන්ද කියලා දැනගන්න උදව් වෙන ප්‍රශ්න කීපයක් දැන් බලමු.

8. කෙනෙක්ට දෙවිගේ පොරොන්දු ගැන ඉස්සර තරම් විශ්වාසයක් දැන් නැහැ කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

8 දෙවිගේ පොරොන්දු ගැන තිබුණු විශ්වාසය තාමත් කලින් වගේමද? මේ දුෂ්ට සමාජය විනාශ කරනවා කියලා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. ඒත් විනෝදය සඳහා මේ සමාජය ඉදිරිපත් කරන විවිධාකාර දේවලට අපේ මනස යොමු වෙලා නම් අවසානය අත ළඟයි කියන දේ ගැන අපිට තියෙන විශ්වාසය එන්න එන්න අඩු වෙන්න පුළුවන්. (හබ. 2:3) යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් අපේ වැරදිවලට සමාව දෙනවා කියලත් දෙවි පොරොන්දු වෙලා තියෙනවා. ඒත් කලින් වුණු වැරදි ගැන ඕනෑවට වඩා හිතහිත ඉන්න ගියොත් දෙවි අපිට ඇත්තටම සමාව දීලද කියලා සැකයක් ඇති වෙන්න පුළුවන්. (ක්‍රියා 3:19) ප්‍රතිඵලයක් විදිහට දෙවිට සේවය කරන එකෙන් අපිට කිසි සතුටක් ලබන්න බැරි වෙයි. අන්තිමේදී අපි දේශනා සේවය නවත්තලා දායි.

9. අපිටම දේවල් ලබාගන්න එකට අවධානය යොමු වුණොත් වෙන්න පුළුවන් මොකක්ද?

9 මං තාමත් මගේ උපරිමය යෙහෝවා දෙවි වෙනුවෙන් දෙනවද? නමස්කාරයට සම්බන්ධ දේවලට ජීවිතේ මුල් තැන දෙනවා නම් අනාගත බලාපොරොත්තු ගැන නිතරම හිතන්න අපි පෙලඹෙයි. ඒත් අපිටම දේවල් ලබාගන්න එකට අවධානය යොමු වුණොත් වෙන්න පුළුවන් මොකක්ද? නමස්කාර වැඩවලට වැඩි කාලයක් යොදවන්න බැහැ කියලා දැන දැනත් හොඳ පඩියක් ලැබෙන රැකියාවක් තෝරගන්න සමහරවිට අපි පෙලඹෙයි. එහෙම වුණොත් අපේ විශ්වාසය දුර්වල වෙයි. ඒ වගේම “කම්මැළි” වෙලා දෙවි වෙනුවෙන් අපිට ඇත්තටම කරන්න පුළුවන් ප්‍රමාණය නොකර ඉදියි.—හෙබ්‍රෙ. 6:10-12.

10. අපි අනිත් අයට සමාව දෙද්දී දෙවි ගැන අපිට විශ්වාසයක් තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

10 අනිත් අයට සමාව දෙන්න මට අමාරුයිද? කෙනෙක් අපේ හිත රිද්දුවොත් අපි කේන්ති ගන්නවද? ඒ කෙනා එක්ක කතා නොකර ඉන්නවද? එහෙමනම් අපි වැඩි අවධානයක් දෙන්නේ අපේ හැඟීම්වලටයි. ඒත් සමාව දෙනවා නම් අපි පෙන්නන්නේ අපිට දෙවි ගැන විශ්වාසයක් තියෙනවා කියලයි. එහෙම කියන්නේ ඇයි? කෙනෙක් අපිට වරදක් කළොත් ඒක හරියට එයා අපිට ණය වෙනවා වගේ. අපි දෙවිට විරුද්ධව වරදක් කළොත් ඒක අපි දෙවිට ණය වෙනවා වගේ. (ලූක් 11:4) අපිට විරුද්ධව වරදක් කරලා අපිට ණය වෙන අයට සමාව දෙද්දී ඒකෙන් පේන්නේ අපි කරන දේ ගැන දෙවි සතුටු වෙලා දෙවිගේ අනුමැතිය අපිට ලැබෙයි කියන විශ්වාසය අපිට තියෙනවා කියලයි. අපිට වටින්නේ දෙවිගේ අනුමැතිය ලබන එක මිසක් අපිට වරදක් කරපු කෙනාට දඬුවමක් ලැබිලා එයා ණය ගෙවනවා දකින එක නෙමෙයි. අනිත් අයට සමාව දෙන්න නම් තමන්ට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනෙ කියලා යේසුස්ගේ ගෝලයොත් දැනගෙන හිටියා. නිතරම තමන්ට වැරදි කරන කෙනෙකුට වුණත් සමාව දෙන්න කියලා යේසුස් කියද්දී “අප තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන්න” කියලා ඔවුන් ඉල්ලුවේ ඒ නිසයි.—ලූක් 17:1-5.

11. උපදෙසකින් අපිට ප්‍රයෝජන ලබන්න බැරි වෙන්නේ මොන හේතුව නිසාද?

11 උපදෙසක් ලැබෙද්දී මං ඒ ගැන අමනාප වෙනවද? උපදෙසක් ලැබෙද්දී ඒකේ තියෙන අඩුපාඩුවලට, ඒක දුන්න කෙනාගේ අඩුපාඩුවලට අවධානය දෙනවට වඩා ඉගෙනගන්න පුළුවන් දේට අවධානය දෙන්න. (හිතෝ. 19:20) මොකද ඒක යෙහෝවා දෙවි හිතන විදිහට හිතන්න ඔයාට ලැබෙන පුහුණුවක්.

12. කෙනෙක් පෙරමුණ ගන්න අයගේ අඩුපාඩු ගැන නිතරම කතා කරනවා නම් ඒකෙන් ඒ කෙනා ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද?

12 මං සභාවේ පෙරමුණ ගන්න අයගේ අඩුපාඩු ගැන කතා කරනවද? දේශයේ තොරතුරු සොයන්න ගිය අය ගෙනාපු නරක ආරංචියට වැඩි අවධානයක් දුන්න නිසා ඊශ්‍රායෙල්වරු මෝසෙස්ගේ සහ ආරොන්ගේ අඩුපාඩු ගැන කියන්න පටන්ගත්තා. ඒ ගැන දෙවි මෝසෙස්ට කිව්වේ මෙහෙමයි. ‘මේ සෙනඟ තව කොතරම් කාලයක් මේ විදිහට මට අගෞරව කරයිද? ඔවුන් මාව විශ්වාස කරන්නේ නැහැ.’ (ගණන්. 14:2-4, 11) දෙවි පත් කරපු මෝසෙස් සහ ආරොන්ගේ අඩුපාඩු ගැන නිතරම කතා කරපු එකෙන් ඊශ්‍රායෙල්වරුන් පෙන්නුවේ දෙවි ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ කියලයි. අදත් එහෙමයි. අපි නිතරම දෙවි පත් කරලා ඉන්න අයගේ අඩුපාඩු ගැන කතා කරනවා නම් ඒකෙන් ඔප්පු වෙන්නේ යෙහෝවා දෙවි ගැන අපේ විශ්වාසය දුර්වල වෙලා කියලයි.

13. අපේ විශ්වාසය දුර්වල වෙන්න පටන් අරන් කියලා තේරුණත් අපි බලාපොරොත්තු අත්හැර ගන්න හොඳ නැත්තේ ඇයි?

13 ඒ ප්‍රශ්න ගැන හිතද්දී ඔයාගේ විශ්වාසය දුර්වල වෙලා කියලා ඔයාට තේරුණොත් අධෛර්යය වෙන්න එපා. “ඔබගේ විශ්වාසය තවත් වැඩි කරගන්න අවශ්‍යයි” කියලා සමහර වෙලාවලදී යේසුස් ඔහුගේ නියෝජිතයන්ටත් කිව්වා. (මතෙ. 16:8) පේතෘස්ටත් බය හිතුණා. සැක කරන්න ගත්තා. ඒත් ගිලෙන්න පටන්ගත්තට පස්සේ පේතෘස් කරපු දෙයින් අපිට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

යේසුස් දිහාම බලන්න

14, 15. (අ) ගිලෙද්දී පේතෘස් කළේ මොකක්ද? (ආ) යේසුස් දිහා “මහත් ඕනෑකමින් බලාගෙන ඉන්න” අපිට පුළුවන් කොහොමද?

14 ගිලෙන්න පටන්ගත්තම පේතෘස් කළේ මොකක්ද? ඔහුට පීනන්න පුළුවන් නිසා ඕනෙ නම් පීනගෙන ගිහින් ඔරුවට ගොඩ වෙන්න පුළුවන්කම තිබුණා. (යොහ. 21:7) ඒත් ඔහු තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තිබ්බේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ අවධානය යේසුස් දිහාවට ආයෙත් යොමු කරලා ලැබුණු උදව් පිළිගත්තා. අපේ විශ්වාසය දුර්වල වෙලා කියලා තේරුණොත් අපිත් කරන්න ඕනෙ ඒ දේමයි.

15 අපිත් පේතෘස් වගේ “යේසුස් දෙස මහත් ඕනෑකමින් බලන්න” ඕනේ. (හෙබ්‍රෙව් 12:2, 3 කියවන්න.) ඒක කරන්නේ කොහොමද? යේසුස් කියපු කරපු දේවල් අධ්‍යයනය කරලයි. ඔහුව කිට්ටුවෙන් අනුගමනය කරලයි. එහෙම කරනවා නම් දුර්වල වෙලා තියෙන අපේ විශ්වාසය ආයෙත් ශක්තිමත් කරගන්න අපිට පුළුවන්. යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් විදි කීපයක් දැන් බලමු.

යේසුස් දිහා බලාගෙන ඔහුව කිට්ටුවෙන් අනුගමනය කරද්දී අපිට අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් (15 ඡේදය බලන්න)

16. විශ්වාසය ශක්තිමත් කරගන්න නම් අපි බයිබලේ අධ්‍යයනය කරන්න ඕනෙ කොහොමද?

16 බයිබලේ ගැන තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න. ශුද්ධ ලියවිලිවල තියෙන්නේ දෙවිගේ වචනය කියලත් හොඳම මඟ පෙන්වීම් තියෙන්නේ ඒකෙයි කියලත් යේසුස්ට සැකයක් තිබුණේ නැහැ. (යොහ. 17:17) ඔහුව ආදර්ශයට ගන්න නම් අපිත් බයිබලේ හැමදාම කියවලා අධ්‍යයනය කරන්න ඕනේ. ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන හිතන්න ඕනේ. බයිබලේ තියෙන යම් කාරණා ගැන හිතේ ඇති වෙන ප්‍රශ්නවලට උත්තර හොයලා බලන්න ඕනේ. උදාහරණෙකට අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වල කියලා ඔයාට විශ්වාසද? ඒක ඔප්පු කරන බයිබලේ තියෙන අනාවැකි අධ්‍යයනය කරලා ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න. අනාගතය ගැන දෙවි දීලා තියෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ඔයාට විශ්වාසද? දැනටමත් ඉටු වෙලා තියෙන අනාවැකි අධ්‍යයනය කරන්න. එතකොට ඒ ගැන ඔයාගේ විශ්වාසය ශක්තිමත් වෙයි. බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපිට තියෙන හොඳම මඟ පෙන්වීම් කියලා ඔයාට විශ්වාසද? ඒ මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා ජීවිත වෙනස් කරගෙන සතුටින් දෙවිට සේවය කරන අය ගැන අපේ ප්‍රකාශනවලින් කියවන්න. *1 තෙස. 2:13.

17. අමාරුම පීඩාවන් වුණත් දරාගන්න යේසුස්ට පුළුවන් වුණේ කොහොමද? ඔහුව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද?

17 දෙවිගේ පොරොන්දු දිහා මහත් ඕනෑකමින් බලාගෙන ඉන්න. යේසුස් නිතරම ඔහුට අනාගතයේ ලැබෙන්න තියෙන ආශීර්වාද දිහා මහත් ඕනෑකමින් බලාගෙන හිටියා. අමාරුම පීඩාවන් වුණත් දරාගන්න ඔහුට පුළුවන් වුණේ ඒ නිසයි. (හෙබ්‍රෙ. 12:2) ඔහුගේ අවධානය වෙන පැත්තකට හරවන්න කිසිම දේකට ඔහු ඉඩ දුන්නේ නැහැ. (මතෙ. 4:8-10) ඔයාත් දෙවි පොරොන්දු වෙලා තියෙන ලස්සන අනාගතය ගැන හොඳට හිතන්න. පාරාදීසයේ ඔයා ගත කරන ජීවිතේ මොන වගේද කියලා හිතින් මවාගන්න. පාරාදීසයේදී ඔයා කරන්න ආසාවෙන් ඉන්න දේවල් ගැන ලියන්න. නැත්නම් චිත්‍රයට නඟන්න. නැවත නැඟිටින අය අතරින් ඔයා කතා කරන්න ආසාවෙන් ඉන්න අයගේ නම් ලියන්න. ඒ අය එක්ක කතා කරන්න ඔයා කැමති දේවල් ගැන ලියන්න. දෙවිගේ පොරොන්දු ඉටු වෙද්දී පොදුවේ හැමෝටම ලැබෙන ආශීර්වාද ගැන හිතනවට වඩා ඔයා පෞද්ගලිකව ඒ ආශීර්වාද අද්දකින විදිහ ගැන හිතන්න.

18. ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

18 විශ්වාසය තවත් වැඩි කරගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න කියලා යේසුස් ගෝලයන්ට කිව්වා. (ලූක් 11:9, 13) ඔයාත් එහෙම යාච්ඤා කරද්දී හිතේ තියෙන විශ්වාසය තව ශක්තිමත් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න. විශ්වාසය කියන්නේ දෙවිගේ බලය කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙද්දී ඒ කෙනා තුළ දකින්න ලැබෙන ගුණාංගවලින් එකක්. ඔයාගේ විශ්වාසය දුර්වල වෙලා තියෙන පැත්තක් හඳුනගත්තොත් උදාහරණෙකට අනිත් අයට සමාව දෙන්න අමාරුයි කියලා තේරුම්ගත්තොත් ඒ ගැන නිශ්චිතව දෙවිට කියන්න. ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරන්න කියලත් සමාව දෙන්න ඔයාට උදව් කරන්න කියලත් දෙවිගෙන් ඉල්ලන්න.

19. යාළුවන් කරගන්න ඕනෙ මොන වගේ අයවද?

19 ශක්තිමත් විශ්වාසයක් තියෙන අයව යාළුවන් කරගන්න. යේසුස් ඔහුගේ කිට්ටු යාළුවන්ව තෝරගත්තේ හොඳට හිතලා බලලා. ඔහුගේ කිට්ටුම යාළුවන් වුණේ ඔහුට විශ්වාසවන්තව, පක්ෂපාතව, කීකරුව හිටපු ඔහුගේ නියෝජිතයන්. (යොහන් 15:14, 15 කියවන්න.) ඔයාත් යාළුවන් කරගන්න ඕනෙ ශක්තිමත් විශ්වාසයක් තියෙන, යේසුස්ට කීකරු අයවයි. හොඳ යාළුවෙක් විවෘතව, අවංකව අදහස් බෙදාගන්නවා. උපදෙසක් දෙද්දීත් උපදෙසක් ලැබෙද්දීත් අනිත් කෙනාව සතුටු කරන්න ඕන නිසා හිතේ එකක් තියාගෙන තව දෙයක් කියන්නේ නැහැ.—හිතෝ. 27:9.

20. විශ්වාසය ශක්තිමත් කරගන්න අනිත් අයට උදව් කරද්දී අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?

20 විශ්වාසය ශක්තිමත් කරගන්න අනිත් අයට උදව් කරන්න. ගෝලයන්ගේ විශ්වාසය ශක්තිමත් කරගන්න යේසුස් උදව් කළා. (මාක් 11:20-24) අපිටත් පුළුවන් අනිත් අයගේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් කරන්න. එතකොට එයාලගේ විතරක් නෙමෙයි අපේ විශ්වාසයත් ශක්තිමත් වෙනවා. (හිතෝ. 11:25) විශ්වාසයක් ඇති කරගන්න ඔයා ඉන්න ප්‍රදේශයේ මිනිසුන්ට උදව් කරන්නේ කොහොමද? දෙවි කෙනෙක් ඉන්නවා කියලත් ඔහු අපි ගැන සැලකිලිමත් කියලත් බයිබලෙන් එයාලට පෙන්නලා දෙන්න. බයිබලේ තියෙන්නේ දෙවිගේ අදහස් කියලා තේරුම්ගන්නත් උදව් කරන්න. දිගටම විශ්වාසවන්තව ඉන්න සහෝදර සහෝදරියන්ට උදව් කරන්න පුළුවන් කොහොමද? කෙනෙක් පෙරමුණ ගන්න සහෝදරයන්ගේ අඩුපාඩු ගැනම කතා කරනවා කියලා තේරුණොත් එයාව ආශ්‍රය නොකර ඉන්නවා වෙනුවට එයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඥානවන්තව උදව් කරන්න. (යූද් 22, 23) ඔයා ඉස්කෝලේ යනවා නම් ඔයාගේ ගුරුවරු පරිණාමවාදය ගැන කතා කරද්දී බය නැතුව ඔයාගේ විශ්වාසයන් ගැන කියන්න. සමහරවිට ඔයාගේ ගුරුවරයා, පන්තියේ ළමයි ඔයා කියන දේ පිළිගනියි.

21. යෙහෝවා දෙවි අපි එක් එක් කෙනාට පොරොන්දු වෙලා තියෙන්නේ මොකක්ද?

21 හිතේ තිබුණු බිය, සැක නැති කරගන්න යෙහෝවා දෙවිත් යේසුත් පේතෘස්ට උදව් කළා. කාලයත් එක්කම විශ්වාසය ගැන හොඳ ආදර්ශයක් වෙන්න ඔහුට පුළුවන් වුණා. ස්ථිර විශ්වාසයක් ඇති කරගන්න යෙහෝවා දෙවි අපිටත් උදව් කරනවා. (1 පේතෘස් 5:9, 10 කියවන්න.) විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න පුළුවන් හැම දේම අපි කරනවා නම් ඒ වෑයමට දෙවි ආශීර්වාද කරනවා නිසැකයි.

^ 16 ඡේ. ‘මුරටැඹ’ පොදු කලාපයේ “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපි මාලාව බලන්න.