Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිට ආදරේ කරන්න දරුවාව පුහුණු කරන්න

යෙහෝවා දෙවිට ආදරේ කරන්න දරුවාව පුහුණු කරන්න

‘අපට ලැබෙන්න යන දරුවාව අපි ඇතිදැඩි කරන්නේ කොහොමද කියලා මඟ පෙන්වීම් ලබා දෙන්න.’—විනි. 13:8.

ගීතිකා: 88, 120

1. බිරිඳට දරුවෙක් ලැබෙන්න යනවා කියලා දැනගත්තම මානෝවා කළේ මොකක්ද?

තමන්ගෙම කිරිකැටියෙක්ගේ හුරතල් බලන්න තිබුණු ආසාව මානෝවාත් එයාගේ බිරිඳත් අතහැරලයි තිබුණේ. ඒත් දවසක් යෙහෝවා දෙවිගේ දූතයෙක් ඇවිත් හිතාගන්න බැරි ආරංචියක් මානෝවාගේ බිරිඳට කියනවා. එයා ඉක්මනටම ගිහින් ඒ ගැන සැමියාට කියනවා. ඒක අහලා මානෝවාටත් දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්. ඒ දෙන්නා ඒ තරම් සතුටු වුණේ මානෝවාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න යනවා කියන ආරංචිය නිසයි. සතුටත් එක්කම දෙවි තමන්ට භාර දුන්නේ ලොකු වගකීමක් කියන දේත් මානෝවාට මතක් වෙනවා. දුෂ්ට සමාජයක යෙහෝවා දෙවිට ආදරේ කරන්නත් ඔහුට සේවය කරන්නත් දරුවාව පුහුණු කරන්නේ කොහොමද කියලා එයා හිතන්න ඇති. ඒ නිසා එයා දෙවිට යාච්ඤා කරලා මෙහෙම කිව්වා. “ඔබ එවූ තැනැත්තා සැබෑ දෙවි වන ඔබේ සේවකයෙකු විය යුතුයි. මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ ඔහුව නැවතත් අප වෙතට එවන්න කියායි. එතකොට අපට පුළුවන් අපට ලැබෙන්න යන දරුවාව අපි ඇතිදැඩි කරන්නේ කොහොමද කියලා ඔහුගෙන් මඟ පෙන්වීම් ලබාගන්න.”—විනි. 13:1-8.

2. අම්මා, තාත්තා හැටියට ඔයාට තියෙන වගකීම මොකක්ද? ඒක කරන්නේ කොහොමද? (“ ඔයාට ඉන්න වටිනාම ශිෂ්‍යයා” යන කොටුව බලන්න.)

2 ඔයාටත් දරුවෙක් ඉන්නවා නම් මානෝවාට හැඟුණු විදිහ ඔයාට තේරෙනවා ඇති. යෙහෝවා දෙවිව දැන හඳුන ගන්නත් ඔහුට ආදරේ කරන්නත් දරුවාට උදව් කරන්න ඔයාට ලොකු වගකීමක් තියෙනවා. (හිතෝ. 1:8) පවුලේ නමස්කාරය ඒකට හොඳ අවස්ථාවක්. ඒත් සතියකට දවසක් දරුවාත් එක්ක බයිබලේ තියෙන දේවල් කතා කරනවට වඩා දෙයක් ඒ වගකීමට ඇතුළත්. (ද්විතීය කතාව 6:6-9 කියවන්න.) දරුවාගේ හිතේ දෙවි ගැන ආදරයක් ඇති කරන්න තවත් මොනවද ඔයාට කරන්න පුළුවන්? ඔයාට යේසුස්ගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඇත්ත, යේසුස්ට දරුවෝ හිටියේ නැහැ. ඒත් ඔහු ගෝලයන්ට උගන්වපු, ඒ අයව පුහුණු කරපු විදිහෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔහු ගෝලයන්ට ආදරේ කළා. නිහතමානී වෙලා ආදර්ශයක් වුණා. ගෝලයන්ට හැඟුණු විදිහ, එයාලට උදව් කරන්න ඕන කොහොමද කියලා හොඳින් වටහාගත්තා. යේසුස් වගේ වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

ඔයාගේ ආදරේ දරුවාට දැනෙන්න ඕනේ

3. යේසුස් ඔහුගේ ආදරේ ගෝලයන්ට පෙන්නුවේ කොහොමද?

3 තමන්ගේ හිතේ ගෝලයන්ට තියෙන ආදරේ ගැන යේසුස් නිතරම ඒ අයට කිව්වා. (යොහන් 15:9 කියවන්න.) එයාලා එක්ක කාලය ගත කළා. (මාක් 6:31, 32; යොහ. 2:2; 21:12, 13) එයාලට හොඳ ගුරුවරයෙක් වගේම හොඳ යාළුවෙකුත් වුණා. ඒ නිසා ඔහුගේ ආදරේ ගෝලයන්ට හොඳින්ම දැනුණා. ඔයාටත් පුළුවන්ද යේසුස් වගේ වෙන්න?

4. ඔයාගේ ආදරේ දරුවාට දැනෙන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 ඔයාගේ ආදරේ දුවට, පුතාට කියන්න. එයාව කොච්චර වටිනවද කියලා ඔයා කරන කියන දේවලින් පෙන්නන්න. (හිතෝ. 4:3; තීත. 2:4) සැමුවෙල් මෙහෙම කියනවා. “මං පුංචි කාලේ තාත්තා හැමදාම හවසට ‘මගේ බයිබල් කතන්දර පොතෙන්’ කතන්දර කියලා දෙන හැටි, මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන හැටි, මාව ආදරෙන් බදාගන්න හැටි, නිදාගන්න කලින් ආදරෙන් ඉඹගන්න හැටි මට තාමත් මතකයි. ඒත් තාත්තා හැදුණේ වැඩුණේ ඒ වගේ පරිසරයක නෙමෙයි කියලා දැනගත්තම මට පුදුම හිතුණා. තාත්තාට හුරු නැති වුණත් එයාගේ ආදරේ මට පෙන්නන්න එයා හුඟක් දේවල් කළා. ඒ නිසා මායි තාත්තායි අතරේ තියෙන්නේ කිට්ටු බැඳීමක්. තාත්තාගේ ආදරේ, රැකවරණේ මට ඕනෑවටත් වඩා ලැබුණා.” ඔයාත් ‘දුවේ, පුතේ මං ඔයාට ආදරෙයි’ කියලා කියන්න අදිමදි කරන්න එපා. එයාලව බදාගන්න, සිපගන්න ලැජ්ජා වෙන්න එපා. එයාලා එක්ක කතා කරකර ඉන්න, එකට කෑම කන්න, සෙල්ලම් කරන්න කොහොමහරි කාලය හොයාගන්න.

5, 6. (අ) යේසුස් ගෝලයන්ට ආදරේ නිසා ඔහු කළේ මොකක්ද? (ආ) ඔයා දරුවාව හික්මවන්න ඕනෙ කොහොමද?

5 අවශ්‍ය වෙලාවට උපදෙස්, හික්මවීම් දෙන එකත් ආදරේ පෙන්නන එක විදිහක්. “මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන සියලුදෙනාටය” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. * (එළි. 3:19) උසස්ම කෙනා කවුද කියලා ගෝලයන් අතරේ වාදවිවාද ඇති වෙද්දී ‘ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි’ කියලා යේසුස් හිතුවේ නැහැ. ඒ වෙනුවට ඔහු ඉවසීමෙන්, කාරුණිකව එයාලට උපදෙස් දුන්නා. කීප සැරයක්ම ඒක කරන්න වුණත් ඔහු ඒක කරදරයක් කියලා හිතුවේ නැහැ. ඒ වගේම ඔහු උපදෙස් දුන්නේ සුදුසු වෙලාවක්, සුදුසු තැනක් බලලයි.—මාක් 9:33-37.

6 දරුවාට ආදරේ නම් එයාට හික්මවීම් දෙන්න ඕනෙ කියලා ඔයා දන්නවා. සමහර වෙලාවට හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා දරුවාට පැහැදිලි කරලා දෙන එක ප්‍රමාණවත්. ඒත් කීප වතාවක්ම කියලා දුන්නත් ඒක අහන්නේ නැත්නම් මොකද කරන්නේ? (හිතෝ. 22:15) යේසුස් වගේ හුඟක් ඉවසීමෙන් අවශ්‍ය උපදෙස්, මඟ පෙන්වීම් දරුවාට දෙන්න. ඒත් ඒක කරන්න ඕනෙ කේන්ති ගන්නේ නැතුව ආදරෙන්. ඒ වගේම ඒකට සුදුසු වෙලාවක්, සුදුසු තැනක් තෝරගන්න. ඉලෙන් මෙහෙම කියනවා. “මගෙන් බලාපොරොත්තු වෙන දේ අම්මලා මට කියලා දුන්නා. කියන දේ ඇහුවේ නැත්නම් දඬුවමක් දෙනවා කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම දුන්නා. ඒත් එයාලා කවදාවත් කේන්තියෙන් ඒක කළේ නැහැ. දඬුවමක් දෙන්න කලින් ඒකට හේතුව කියලා දුන්නා. ඒ නිසා අම්මායි තාත්තායි මට ආදරෙයි කියලා මට දැනුණා.”

ඔයා නිහතමානියි කියලා දරුවා දකින්න ඕනේ

7, 8. (අ) යේසුස්ගේ යාච්ඤාවලින් ගෝලයෝ තේරුම්ගත්තේ මොකක්ද? (ආ) දෙවි මත විශ්වාසය තියන්න දරුවාට උගන්වන්න ඔයාගේ යාච්ඤා උදව් වෙන්නේ කොහොමද?

7 යේසුස්ව අත්අඩංගුවට ගන්න ටික වෙලාවකට කලින් ඔහු දෙවිට යාච්ඤා කරලා මෙහෙම කිව්වා. “අබ්බා, පියාණෙනි, ඔබට සෑම දෙයක්ම කරන්න පුළුවන්. මේ කුසලානය මගෙන් ඉවත් කරන්න. නමුත් සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබ කැමති දෙයයි.” * (මාක් 14:36) ඒ වෙලාවේ එතන හිටපු ගෝලයන්ට යේසුස්ගේ වචන ඇහෙන්න ඇති. නැත්නම් පස්සේ ඒ ගැන දැනගන්න ඇති. පරිපූර්ණ කෙනෙක් වුණු යේසුත් ඔහුගේ පියාගෙන් උදව් ඉල්ලුවා නම් ‘අපිත් නිහතමානී වෙලා දෙවිගේ උදව් ඉල්ලන්න ඕනෙ’ කියලා ගෝලයෝ තේරුම්ගත්තා.

8 ඔයාගේ යාච්ඤා අහලත් දරුවා හුඟක් දේවල් ඉගෙනගන්නවා. දරුවන්ට උගන්වන අරමුණින් අපි යාච්ඤා කරන්නේ නැහැ තමයි. ඒත් ඔයාගේ යාච්ඤා ඇහෙද්දී දෙවි මත විශ්වාසය තියලා වැඩ කරන්න දරුවා ඉගෙනගනියි. යාච්ඤා කරද්දී දරුවන්ට උදව් ඕන පැති ගැන විතරක් නෙමෙයි ඔයාට උදව් ඕන පැති ගැනත් කියන්න. උදාහරණෙකට දේශනා සේවයේදී, රැකියාවේ ප්‍රධානියාගෙන් සමුළුවට නිවාඩු ඉල්ලද්දී බය නැතුව කතා කරන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න. ඒවා ඇහෙද්දී දරුවාත් ඉගෙනගන්නවා හැම දේකදීම දෙවිගෙන් උදව් ඉල්ලන්න. ආනා කියන්නේ මෙහෙමයි. “අපේ ආච්චියි, සීයායි අසනීපෙන් හිටපු කාලේ තාත්තා කරපු යාච්ඤා මට තාම මතකයි. ඒ තත්වයට මුහුණ දෙන්න ශක්තිය, හරි තීරණ ගන්න ප්‍රඥාව ඉල්ලලා තාත්තා නිතරම යාච්ඤා කළා. ලොකු පීඩනයකින් ඉන්න වෙලාවලදීත් අම්මායි තාත්තායි ඒ ගැන දෙවිට කියලා උදව් ඉල්ලුවා. හැම දේකදීම දෙවි මත රඳා ඉන්න ඒකෙන් මං ඉගෙනගත්තා.”

9. (අ) නිහතමානීව අනිත් අයට සේවය කරන්න යේසුස් ගෝලයන්ට ඉගැන්නුවේ කොහොමද? (ආ) ඔයාගේ ආදර්ශය දරුවාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

9 නිතරම නිහතමානීව, අනිත් අය ගැන හිතලා වැඩ කරන්න කියලා ඉගැන්නුවා වගේම යේසුස් ඒක කරලත් පෙන්නුවා. (ලූක් 22:27 කියවන්න.) දෙවිට සේවය කරන්නත් අනිත් අයට උදව් කරන්නත් ඔහු කරපු කැප කිරීම් දැකපු ගෝලයන් ඒ විදිහටම කරන්න ඉගෙනගත්තා. ඔයාටත් පුළුවන් යේසුස් වගේ වෙන්න. දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වුණු ඩෙබි මෙහෙම කියනවා. “මගේ මහත්තයා වැඩිමහල්ලෙක් නිසා සභාවේ අය වෙනුවෙන් හුඟක් කාලේ දෙන්න වුණා. ඒත් ඒ ගැන මං කේන්ති ගත්තේ නැහැ. එයා කවදාවත් පවුලේ දේවල් අතපසු කළෙත් නැහැ.” (1 තිමෝ. 3:4, 5) එයාලගේ ආදර්ශය දරුවන්ට උදව් වුණු විදිහ ගැන ඩෙබිගේ සැමියා කියන්නේ මෙහෙමයි. “සමුළුවල තිබුණු වැඩවලට එයාලා හවුල් වුණේ හරිම උනන්දුවෙන්. සහෝදර සහෝදරියන් එක්ක කාලේ ගත කළෙත් සතුටින්.” දැන් ඒ 4දෙනාම පූර්ණකාලීනව දෙවිට සේවය කරනවා. ඔයා නිහතමානීව, අනිත් අය ගැන හිතලා දේවල් කරනවා නම් දරුවොත් ඔයාව ආදර්ශයට ගනියි.

දරුවාව හොඳින් වටහාගන්න ඕනේ

10. වටහාගැනීමේ හැකියාව යේසුස් පාවිච්චි කරපු අවස්ථාවක් කියන්න.

10 මිනිසුන් කරපු දේවල් විතරක් නෙමෙයි එහෙම කරන්න හේතුවත් යේසුස් වටහාගත්තා. ගලීලයෙන් පිරිසක් ඔහුව හොයාගෙන ආපු අවස්ථාව ඒකට හොඳ උදාහරණයක්. (යොහ. 6:22-24) ඒ අය ආවේ කෑම ලබාගන්න ආසාවෙන් මිසක් ඉගෙනගන්න නෙමෙයි කියලා ඔහු තේරුම්ගත්තා. (යොහ. 2:25) ඊටපස්සේ ඔහු ඉවසීමෙන් ඒ අයව නිවැරදි කළා. හදාගන්න ඕන පැති පෙන්නලා දුන්නා.—යොහන් 6:25-27 කියවන්න.

සේවයේ සතුටින් හවුල් වෙන්න ඔයා දරුවාට උදව් කරනවද? (11 ඡේදය බලන්න)

11. (අ) දේශනා සේවය ගැන දරුවාට හැඟෙන විදිහ වටහාගන්න ඔයාට පුළුවන් කොහොමද? (ආ) සේවය සතුටින් කරන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?

11 ඔයාට යේසුස් වගේ අනිත් අයගේ හිත් කියවන්න බැරි වුණත් වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරලා දරුවාගේ හිතේ තියෙන දේ දැනගන්න ඔයාටත් පුළුවන්. උදාහරණෙකට ‘දරුවා සේවයේ යන්න එන්නේ, යන අතරේ එයා ආස කෑම බීම අරන් දෙන නිසාද නැත්නම් ඇත්තටම සේවයේ යන්න තියෙන ආසාව නිසාද’ කියලා හිතලා බලන්න. සේවයේ යන්න ඒ තරම් කැමැත්තක් නැහැ කියලා තේරුණොත් සේවයේදී පත්‍රිකාවක් දෙන්න, සමහර තොරතුරු ලියාගන්න වගේ පොඩි පොඩි දේවල් එයාට භාර දෙන්න. එතකොට ‘මමත් සේවයේ ගිහින් කතා කළානේ’ කියන හැඟීම එයාට ඇති වෙයි.

12. (අ) යේසුස් ඔහුගේ ගෝලයන්ට අනතුරු ඇඟෙව්වේ මොකක් ගැනද? (ආ) ඒක අත්‍යවශ්‍ය වුණේ ඇයි?

12 පොඩි වරදක් අන්තිමේදී බරපතළ වරදකින් නතර වෙන්න පුළුවන් කියලා යේසුස් වටහාගෙන හිටපු නිසා ඒ ගැන ගෝලයන්ට අනතුරු ඇඟෙව්වා. උදාහරණෙකට අනාචාරය වැරදියි කියලා ගෝලයන් දැනගෙන හිටියා. ඒත් නිකම්ම ඒක වැරදියි කියනවට වඩා අනාචාරයට මඟ පාදන දේවල් තේරුම්ගන්න යේසුස් ඒ අයට උදව් කළා. “කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇත. එහෙයින් ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම් එය උගුලා අහකට විසි කරන්න” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (මතෙ. 5:27-29) ලිංගික දර්ශන, අසභ්‍ය භාෂාව තිබුණු වේදිකා නාට්‍ය ඒ කාලේ රෝම වැසියන් අතරේ ජනප්‍රියයි. ඒ නිසා වැරදි දෙයක් කරන්න පෙලඹීමක් ඇති කරන දේවලින් පරෙස්සම් වෙන්න කියලා යේසුස් දීපු අනතුරු ඇඟවීම කොච්චර වටිනවද!

13, 14. අසභ්‍ය දේවලින් වළකින්න දරුවාට උදව් කරන්නේ කොහොමද?

13 දෙවි අකමැති දෙයක් නොකර ඉන්න දරුවාට උදව් කරන්න වටහාගැනීමේ හැකියාව ඔයාට ප්‍රයෝජනවත් වෙනවා. කාමුක දර්ශන, අසභ්‍ය දේවල් පුංචි දරුවන්ටත් ලේසියෙන්ම බලන්න පුළුවන් විදිහේ උපකරණ අද ඕන තරම් තියෙනවා. ඒ නිසා අසභ්‍ය දේවල් බලන එක වැරදියි කියලා දරුවාට කියලා දෙන එක අත්‍යවශ්‍යයි. ඒත් වටහාගැනීමේ හැකියාව පාවිච්චි කළොත් දරුවාට තව හොඳින් උදව් කරන්න ඔයාට පුළුවන්. ‘කාමුක දර්ශන බලන එක වැරදි ඇයි කියලා දරුවා දන්නවද? ඒ වගේ දෙයක් බලන්න එයා තුළ පෙලඹීමක් ඇති කරන්න පුළුවන් මොන වගේ දේවලටද? ඒ ගැන කුතුහලයක් ඇති වුණාම එයා මාත් එක්ක ඒ ගැන කතා කරයිද? ඕනම දෙයක් අපි එක්ක කතා කරන්න පුළුවන් කියලා දරුවාට දැනෙන විදිහටද මං වැඩ කරන්නේ?’ ඒ ප්‍රශ්න ගැන හොඳට හිතලා බලන්න. දරුවා පුංචි වුණත් එයාට මෙහෙම කියන්න ඔයාට පුළුවන්. “ලිංගික දේවල් ගැන ඔයාගේ කුතුහලය අවුස්සන මොනවා හරි දෙයක් දැක්කොත් ඇවිත් මාත් එක්ක කතා කරන්න බය වෙන්නවත් ලැජ්ජා වෙන්නවත් එපා. ඔයාට උදව් කරන්න මං ඕනම වෙලාවක ලෑස්තියි.”

14 විනෝද වෙන්න ඔයා දේවල් තෝරගද්දී දරුවාට ආදර්ශයක් වෙන්න. “අවවාදයට වඩා ආදර්ශයෙන් දරුවා හුඟක් දේවල් ඉගෙනගන්නවා” කියලා තාත්තා කෙනෙක් කියනවා. සංගීතය, චිත්‍රපටි, පොත් පත් තෝරගද්දී දෙවි සතුටු වෙන විදිහේ දේවල් ඔයා තෝරගන්නවා නම් දරුවාත් ඔයාව ආදර්ශයට ගනියි.—රෝම 2:21-24.

දෙවි ඔයාගේ ඉල්ලීමට කන් දෙනවා

15, 16. (අ) දරුවාව පුහුණු කරන්න දෙවි ඔයාට උදව් කරනවා කියලා නිසැක ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

15 දෙමාපියන් විදිහට දෙවි දුන්න වගකීම හොඳට කරන්න උදව් ඉල්ලලා මානෝවා කරපු යාච්ඤාවට ‘සැබෑ දෙවි ඇහුම්කන් දුන්නා.’ (විනි. 13:9) අම්මේ තාත්තේ, යෙහෝවා දෙවි ඔයාගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙනවා. දරුවාව හොඳින් පුහුණු කරන්න ඔයාට උදව් කරනවා. දරුවාට ආදරේ පෙන්නන්න, නිහතමානීව වැඩ කරන්න, වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරන්න ඔයා ගන්න උත්සාහයට දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.

16 දරුවා පුංචි කාලේදී විතරක් නෙමෙයි යෞවන වයසට ආවමත් එයාව පුහුණු කරන්න යෙහෝවා දෙවි ඔයාට උදව් කරනවා. යෞවන දරුවන්ව පුහුණු කරන්න යේසුස්ගේ ආදර්ශය ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

^ 5 ඡේ. හික්මවීම් කියද්දී ඒකට මඟ පෙන්වීම්, පුහුණුව, නිවැරදි කිරීම් සමහර වෙලාවට දඬුවමක් දෙන එකත් ඇතුළත් කියලා බයිබලේ කියනවා. දරුවන්ට හික්මවීම් දෙන්න ඕනෙ ආදරෙන්. කේන්තියෙන් නෙමෙයි.

^ 7 ඡේ. ඒ කාලේ දරුවෝ එයාලගේ තාත්තාට කතා කළේ “අබ්බා” කියලයි. ඒ වචනයේ ආදරයයි, ගෞරවයයි දෙකම ගැබ් වෙලා තියෙනවා.—The International Standard Bible Encyclopedia.