Skip to content

පටුනට යන්න

දෙවි එක්ක හවුලේ වැඩ කරන එක සතුටක්!

දෙවි එක්ක හවුලේ වැඩ කරන එක සතුටක්!

“දෙවි සමඟ එකට වැඩ කරන හවුල් සේවකයන් ලෙස ඔබෙන් යම් ඉල්ලීමක් කරන්න කැමැත්තෙමු. එනම් දෙවි පෙන්වා ඇති මහත් කරුණාව පිළිගන්න. එම මහත් කරුණාව ඔබට පෙන්වූයේ ඇයි කියා කිසිදා අමතක නොකරන්න.”—2 කොරි. 6:1.

ගීතිකා: 75, 74

1. යෙහෝවා දෙවි අනිත් අයට කරලා තියෙන ආරාධනය මොකක්ද?

යෙහෝවා දෙවි තරම් උසස් කෙනෙක් තවත් නැහැ. හැම දේම නිර්මාණය කළේ ඔහුයි. ඔහුගේ ප්‍රඥාව, බලය ගැන මිනිසුන්ට හිතාගන්නවත් බැහැ. ඒ ගැන දෙවි යෝබ්ට පැහැදිලි කරලා දුන්නට පස්සේ යෝබ් මෙහෙම කිව්වා. “ඔබට කළ නොහැකි දෙයක් නැති බව මම තේරුම්ගතිමි. ඔබ අරමුණු කළ ඕනෑම දෙයක් ඔබට ඉටු කළ හැකි බව මම දනිමි.” (යෝබ් 42:2) දෙවිට පුළුවන් ඔහු කැමති ඕනම දෙයක් කාගෙවත් උදව් නැතුව කරන්න. ඒත් ඔහු එක්ක එකතු වෙලා ඔහුගේ අරමුණ ඉටු කරන්න එන්න කියලා අනිත් අයටත් ආරාධනා කරන්නේ ඒ අය ගැන ඔහුට තියෙන ආදරේ නිසයි.

2. දෙවි යේසුස්ව හවුල් කරගත්තේ මොන වැදගත් වැඩේටද?

2 හැම දේකටම කලින් යෙහෝවා දෙවි නිර්මාණය කළේ ඔහුගේ පුතා වන යේසුස්වයි. ඊටපස්සේ කරපු හැම නිර්මාණයකටම සහය වෙන්න දෙවි යේසුස්ටත් අවස්ථාව දුන්නා. (යොහ. 1:1-3, 18) යේසුස් ගැන පාවුල් මෙහෙම කිව්වා. “ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති රාජකීය නිලයන්, තනතුරු, පාලන ක්‍රම හෝ අධිකාරීන් ඇතුළු පෙනෙන හා නොපෙනෙන අන් සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය. දෙවි ඔහුව යොදාගෙන ඒ සෑම දෙයක්ම සෑදුවේ ඔහු වෙනුවෙන්ය.” (කොලො. 1:15-17) දෙවි ඔහුගේ පුතාට වැදගත් වැඩක් භාර දුන්නා විතරක් නෙමෙයි ඒ ගැන අනිත් අයටත් කිව්වා. ඒක යේසුස්ට මොන තරම් ගෞරවයක්ද!

3. දෙවි ආදම්ට දුන්න වැඩේ මොකක්ද? ඒ ඇයි?

3 යෙහෝවා දෙවි ඔහු එක්ක වැඩ කරන්න මිනිසුන්ටත් අවස්ථාව දුන්නා. සතුන්ට නම් දාන්න ආදම්ට දුන්න අවස්ථාව ඒකට උදාහරණයක්. (උත්. 2:19, 20) ඒ කාර්යය කරද්දී ආදම්ට කොයි තරම් සතුටක් දැනෙන්න ඇද්ද! ආදම් සතුන්ගේ පෙනුම, උන්ගේ හැසිරීම දිහා හොඳට බලලා ගැළපෙන නම් දැම්මා. සතුන්ව නිර්මාණය කළේ දෙවි නිසා උන්ට නම් දාන්නත් දෙවිට පුළුවන්කම තිබුණා. ඒත් ඒ වැඩේ දෙවි ආදම්ට භාර දුන්න එකෙන් පේන්නේ ඔහු ආදම්ට කොච්චර ආදරේද කියලයි. ඒ වගේම මුළු පොළොවම පාරාදීසයක් කරන වගකීමත් දෙවි ආදම්ට දුන්නා. (උත්. 1:27, 28) ඒත් කාලයක් යද්දී දෙවිත් එක්ක එකතු වෙලා වැඩ කරන එක ඔහු නතර කළා. ඒ තීරණය නිසා ඔහුටත් ඔහුගෙන් පැවතෙන හැමෝටමත් හුඟක් දුක් විඳින්න සිද්ධ වුණා.—උත්. 3:17-19, 23.

4. දෙවිගේ අරමුණ ඉටු කරන්න තවත් අය හවුල් වුණේ කොහොමද?

4 යෙහෝවා දෙවි ඔහු එක්ක වැඩ කරන්න තවත් අයට අවස්ථාව දුන්නා. නෝවා නැවක් හදලා ඔහුගෙත් පවුලේ අයගෙත් ජීවිත බේරගත්ත නිසා මිනිස් වර්ගයා විනාශ නොවී දිගටම පැවතුණා. මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගත්තා. යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට අරන් ගියා. සලමොන් දේවමාලිගාව හැදුවා. මරියා යේසුස්ගේ මව විදිහට ඔහුව රැකබලා ගත්තා. දෙවිට විශ්වාසවන්තව හිටපු ඒ අයටත් තව හුඟක් අයටත් දෙවි එක්ක එකට වැඩ කරලා ඔහුගේ අරමුණ ඉටු කරන්න සහය වෙන්න දෙවි අවස්ථාව දුන්නා.

5. අපිට හවුල් වෙන්න පුළුවන් මොන වැඩේටද? ඒ සඳහා දෙවිට අපිව හවුල් කරගන්න ඕනෙමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

5 යෙහෝවා දෙවි අද ඉන්න අපිටත් ඔහුගේ රාජ්‍යයේ වැඩවලට සහය වෙන්න අවස්ථාව දීලා තියෙනවා. දෙවි වෙනුවෙන් අපිට හුඟක් දේවල් කරන්න පුළුවන්. අපි හැමෝටම එකම විදිහට සේවය කරන්න බැරි වුණත් ශුභාරංචිය දේශනා කරන කාර්යයට හවුල් වෙන්න අපි හැමෝටම අවස්ථාව තියෙනවා. ඕනෙ නම් අපි නැතුව වුණත් ඒක දෙවිට කරන්න පුළුවන්. ස්වර්ගයේ ඉඳන් මිනිසුන්ට කතා කරලා ඒ ගැන කියන්න දෙවිට බැරිකමක් නැහැ. ගල් ලවා වුණත් දෙවිට දේවරාජ්‍යය ගැන දැනුම් දෙන්න පුළුවන් කියලා යේසුත් කිව්වා. (ලූක් 19:37-40) ඒත් දෙවිගේ “හවුල් වැඩකරුවන්” වෙන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙනවා. (1 කොරි. 3:9) “දෙවි සමඟ එකට වැඩ කරන හවුල් සේවකයන් ලෙස ඔබෙන් යම් ඉල්ලීමක් කරන්න කැමැත්තෙමු. එනම් දෙවි පෙන්වා ඇති මහත් කරුණාව පිළිගන්න. එම මහත් කරුණාව ඔබට පෙන්වූයේ ඇයි කියා කිසිදා අමතක නොකරන්න” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (2 කොරි. 6:1) දෙවිත් එක්ක වැඩ කරන්න ලැබුණු ආරාධනාව අපිට ලැබුණු ලොකු වරප්‍රසාදයක්! ඒකෙන් අපි ලොකු සතුටක් අද්දකිනවා. ඒ කොහොමද?

සතුටක් ලබන්නේ කොහොමද?

6. පියා එක්ක හවුලේ වැඩ කරලා ලබපු සතුට යේසුස් විස්තර කළේ කොහොමද?

6 දෙවිගේ සේවකයන් දෙවි එක්ක වැඩ කරලා හැමදාමත් ලැබුවේ ලොකු සතුටක්. පොළොවට එන්න කලින් යේසුස් මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවිගේ මුල්ම නිර්මාණය මමයි. මම ඔහු ළඟින්ම සිට ඔහුගේ ප්‍රධාන සේවකයා ලෙස කටයුතු කළෙමි. මම නිතරම ඔහු ඉදිරියේ සතුටින් සිටියෙමි. දිනපතාම ඔහු විශේෂයෙන්ම මා ගැන ප්‍රීති වුණේය.’ (හිතෝ. 8:22, 30) පියා එක්ක වැඩ කරද්දී යේසුස්ට හුඟක් දේවල් කරන්න පුළුවන් වුණා. දෙවිගේ ආදරෙත් ඔහු හැම දවසකම අද්දැක්කා. ඒ නිසා ඔහු ලැබුවේ ලොකු සතුටක්.

බයිබලේ තියෙන සත්‍යය කියලා දෙන එක තරම් තෘප්තිමත් වැඩක් තවත් තියෙනවද? (7 ඡේදය බලන්න)

7. දේශනා සේවය නිසා අපි සතුටක් ලබන්නේ කොහොමද?

7 යමක් ලැබෙද්දී වගේම අනිත් අයට දේවල් දෙද්දීත් ලොකු සන්තෝෂයක් ලැබෙනවා කියලා යේසුස් කිව්වා. (ක්‍රියා 20:35) සත්‍යය පණිවිඩය ලැබුණම අපි කොයි තරම් සතුටු වුණාද! ඒත් ඒක අනිත් අය එක්ක බෙදාගන්න එකෙනුත් අපිට ඒ වගේම සතුටක් ලබන්න පුළුවන්. ඒ කොහොමද? එයාලා බයිබලේ තියෙන දේවල් තේරුම් අරන් සතුටු වෙද්දී, දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගද්දී, එයාලා හිතන විදිහ, ජීවත් වෙන විදිහ වෙනස් කරගද්දී ඒක අපිට මොන තරම් සතුටක්ද! මිනිසුන්ට දෙවිගේ යාළුවන් වෙන්නත් සදාකාල ජීවිතය ලබාගන්නත් උදව් කරන එක තමයි අපිට කරන්න පුළුවන් වැදගත්ම සහ තෘප්තිමත්ම වැඩේ.—2 කොරි. 5:20.

8. දෙවි එක්ක එකට වැඩ කරන එක ගැන සමහරුන්ට හැඟෙන්නේ කොහොමද?

8 අපි අනිත් අයට දෙවි ගැන කියලා දෙද්දී ඒකෙන් දෙවි සතුටු වෙනවා කියලත් අපේ වෑයම ඔහු අගය කරනවා කියලත් අපි දන්නවා. ඒකත් සතුටට හේතුවක්. (1 කොරින්ති 15:58 කියවන්න.) මාර්කෝ මෙහෙම කියනවා. “මං මගේ උපරිමය කරන්නේ මං කරන දේ ටික දවසකින් අමතක කරලා දාන කෙනෙක්ට නෙමෙයි මාව හුඟක් අගය කරන යෙහෝවා දෙවිටයි කියලා දැනගෙන ඉන්න එක තරම් සතුටක් තවත් නැහැ.” ෆ්‍රාන්කෝ කියන්නේ මෙහෙමයි. “දෙවි ඔහුගේ වචනයෙනුත් වෙනත් විදිවලිනුත් අපිව පෝෂණය කරන විදිහෙන් ඔහු දවස ගානේ අපිට මතක් කරන්නේ අපිට ආදරෙයි කියලයි. අපි කරන දේවල් ඔහුට හුඟක් වටිනවා කියලයි. දෙවි එක්ක එකට වැඩ කරන එකෙන් ලොකු සතුටක් වගේම ජීවිතේට අරමුණක් තියෙනවා කියලා මට දැනෙන්නේ ඒ හින්දයි.”

දෙවිටත් අනිත් අයටත් තව ළං වෙන්නේ කොහොමද?

9. යෙහෝවා දෙවි සහ යේසුස් අතරේ තිබුණේ මොන වගේ බැඳීමක්ද?

9 අපි ආදරේ කරන අය එක්ක වැඩ කරද්දී අපි එයාලට කිට්ටු වෙනවා. එයාලා හිතන විදිහ, ගුණාංග තවත් හොඳට තේරුම්ගන්න පුළුවන් වෙනවා. එයාලගේ ඉලක්ක, ඒවා ජය ගන්න දරන වෑයම ගැනත් දැනගන්න ලැබෙනවා. යේසුස් යෙහෝවා දෙවි එක්ක අවුරුදු බිලියන ගාණක් එකට වැඩ කළා. ඒ දෙන්නා අතරේ මොන තරම් ආදරයක්, සෙනෙහසක් තියෙන්න ඇද්ද! කිසිම දේකට බැහැ ඒ දෙන්නා අතරේ තියෙන බැඳීම කඩන්න. “මගේ පියාණන් සහ මම පූර්ණ එකඟතාවකින් සිටිනවා” කියන යේසුස් කියපු වචනවලිනුත් තේරෙන්නේ ඒ බැඳීම කොයි තරම් ශක්තිමත්ද කියලයි.—යොහ. 10:30.

10. දේශනා සේවය නිසා දෙවිටත් අනිත් අයටත් තව ළං වෙන්නේ කොහොමද?

10 තමන්ගේ ගෝලයන්ව රැකබලා ගන්න කියලා දෙවිගෙන් ඉල්ලපු යේසුස්, ඒකට හේතුව මෙහෙම විස්තර කළා. “අප දෙදෙනා අතර පූර්ණ බැඳීමක් තිබෙනවා වගේ ඔවුන් අතරත් පූර්ණ බැඳීමක් ඇති වෙයි.” (යොහ. 17:11) දෙවි දීලා තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙද්දී දෙවි ගැන අනිත් අයට කියලා දෙද්දී දෙවිගේ පුදුමාකාර ගතිලක්ෂණ ගැන අපිට තව තවත් දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔහුව විශ්වාස කරලා වැඩ කරන එකත් ඔහුගේ මඟ පෙන්වීම් පිළිපදින එකත් මොන තරම් ඥානවන්තද කියලා අද්දකින්න ලැබෙනවා. අපි ඒ විදිහට දෙවිට ළං වෙද්දී ඔහුත් අපිට ළං වෙනවා. (යාකොබ් 4:8 කියවන්න.) අපේ සහෝදරයන් එක්ක තියෙන බැඳීමත් තව වැඩි වෙනවා. මොකද එයාලා මුහුණ දෙන්නෙත් අපි මුහුණ දෙනවා වගේම ප්‍රශ්නවලට. එයාලා ලබන්නෙත් අපි ලබනවා වගේම සතුටක්. එයාලට තියෙන්නෙත් අපිට තියෙනවා හා සමාන ඉලක්ක. එකට වැඩ කරන්න, එකට සතුටු වෙන්න, එකට දුක බෙදාගන්න එයාලා අපි එක්ක ඉන්නවා. ඔක්ටේවියා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි එක්ක එකට වැඩ කරද්දී අනිත් අයට කිට්ටු වෙන්නත් මට පුළුවන්. මොකද අපි හැමෝටම තියෙන්නේ එකම අරමුණක්.” ඔයාට හැඟෙන්නෙත් එහෙමද? යෙහෝවා දෙවි සතුටු වෙන විදිහට වැඩ කරන්න අපේ සහෝදරයන් දරන වෑයම දකිද්දී ඉබේම වගේ අපි එයාලට ළං වෙනවා.

11. පාරාදීසයේදී යෙහෝවා දෙවිටත් සහෝදරයන්ටත් තව ළං වෙන්න අපිට පුළුවන් වෙන්නේ කොහොමද?

11 යෙහෝවා දෙවි එක්කත් අපේ සහෝදරයන් එක්කත් අපිට තියෙන බැඳීම දැනටමත් ශක්තිමත්. පාරාදීසයේදී ඒක තවත් ශක්තිමත් වෙනවා. එදාට අපිට කරන්න මොන තරම් වැඩ තියෙයිද! නැවත නැඟිටුවන අයව පිළිගන්න, එයාලට දෙවි ගැන කියලා දෙන්න, පොළොව පාරාදීසයක් කරන්න හැමෝම එකට එකතු වෙලා වැඩ කරද්දී කොයි තරම් සතුටක් දැනෙයිද! ඒ විතරක් නෙමෙයි යේසුස්ගේ පාලනය යටතේ අපි ක්‍රමානුකූලව පරිපූර්ණ අය වෙනවා. එදාට පොළොවේ ඉන්න හැමෝම අතරේ කිට්ටු බැඳීමක් තියෙයි. “ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරන” යෙහෝවා දෙවිටත් අපි තව තවත් ළං වෙයි.—ගීතා. 145:16.

අපිට ආරක්ෂාවක් ලැබෙන්නේ කොහොමද?

12. දේශනා සේවය අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

12 දෙවි එක්ක තියෙන බැඳීම රැකගන්න අපි ලොකු උත්සාහයක් දරන්න ඕනේ. මොකද අපි පව්කාරයන්. අපි ජීවත් වෙන්නෙත් සාතන්ගේ පාලනය යටතේ තියෙන සමාජයක. ඒ නිසා මේ සමාජයේ අය හිතන විදිහට හිතන්න අපි පෙලඹෙන්න පුළුවන්. ඒ බලපෑමට අහු නොවී ඉන්න අපි ලොකු වෑයමක් දරන්න ඕනේ. ඒක හරියට උඩුගම් බලා පීනනවා වගේ. ඒත් යෙහෝවා දෙවි ගැනත් බයිබලේ තියෙන දේවල් ගැනත් අපි නිතරම කතා කරනවා නම් අපිට ඒක කරන්න පහසු වෙනවා. මොකද එතකොට අපේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙන්නේ වැදගත්, යහපත් දේවලට මිසක් අපේ විශ්වාසය දුර්වල කරන දේවලට නෙමෙයි. (ෆිලි. 4:8) දේශනා සේවයේ හවුල් වෙද්දී දෙවිගේ පොරොන්දු ගැනත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැනත් අපිට නිතර නිතර මතක් වෙන නිසා අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා. ඒ වගේම සාතන්ගෙන් සහ දුෂ්ට සමාජයෙන් එන බලපෑම්වලින් ආරක්ෂා වෙන්න ඕනෙ කරන ගුණාංග වර්ධනය කරගන්නත් දේශනා සේවය අපිට උදව්වක්.—එෆී. 6:14-17 කියවන්න.

13. දේශනා සේවය ගැන ජොඑල්ට හැඟුණේ කොහොමද?

13 දේශනා කරන්න, බයිබලේ අධ්‍යයනය කරන්න, සභාවේ අයට උදව් කරන්න අපි වැඩි කාලයක් වැය කරනවා නම් ඒක අපිට ආරක්ෂාවක්. මොකද එතකොට අපේ ප්‍රශ්න ගැන හිතහිත ඉන්න අපිට කාලයක් නැහැ. ජොඑල් කියන දේ බලන්න. “අපි ජීවත් වෙන්නේ මොන තරම් දරුණු ලෝකෙකද කියලා මතක් කරගන්න දේශනා සේවය මට උදව් වෙනවා. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරන්න නිසා මං කොච්චර ප්‍රයෝජන ලබලා තියනවද කියලා ඒකෙන් මට මතක් වෙනවා. නිහතමානී වෙන්නත් යෙහෝවා දෙවි මත රඳා ඉන්නත් සහෝදරයන්ගේ උදව් මට ඕනෙ කියලා තේරුම්ගන්නත් ඒක මට උදව්වක්. “

14. අත් නෑර සේවය කරද්දී දෙවි ඔහුගේ බලයෙන් උදව් කරනවා කියන එක පැහැදිලි වෙන්නේ කොහොමද?

14 දෙවි ඔහුගේ බලය අපිට දීලා උදව් කරනවා කියන දේ ගැන අපිට තියෙන විශ්වාසය දේශනා සේවයේ යද්දී තවත් වැඩි වෙනවා. මේ උදාහරණෙ බලන්න. ඔයා ඉන්න පැත්තේ අයට පාන් බෙදන්න ඔයාට භාර දෙනවා. ඒකට ඔයාට වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒක කරන්න ඕනෙ ඔයාගෙම වියදමින්. හුඟක් අය කැමති නැහැ පාන් ගන්න. පාන් ගේනවා කියලා සමහරු ඔයාට බණිනවා. ඔයා කොච්චර කාලයක් ඒ රස්සාව කරයිද? වැඩි දවසක් යන්න කලින් ඔයාට ඒක එපා වෙයි. දැන් ඒක දේශනා සේවයට සම්බන්ධ කරන්න. අපේ කාලය, ශ්‍රමය වැය කරගෙන අපි ගෙනියන්නේ හුඟක් අය අහන්න අකමැති පණිවිඩයක්. සමහරු අපිට විහිළු කරනවා. තවත් අය බණිනවා. ඒත් අපි ඒ සේවය නවත්තන්නේ නැතුව දිගටම කරනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ දෙවි ඔහුගේ බලයෙන් ඒ වැඩේ කරන්න අපිට උදව් කරනවා කියන එක නෙමෙයිද?

හිතේ තියෙන ආදරේ පෙන්නමු

15. දේශනා සේවය සහ දෙවිගේ අරමුණු අතර ඇති සම්බන්ධය මොකක්ද?

15 දෙවිගේ අරමුණට දේශනා සේවය සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔහුගේ අරමුණ මිනිසුන් සදහටම ජීවත් වෙන එක. ආදම් පව් කළා කියලා ඒක වෙනස් වුණේ නැහැ. (යෙසා. 55:11) මිනිසුන්ව පාපයෙන් හා මරණයෙන් බේරගන්න දෙවි සැලැස්මක් ඇති කළා. යේසුස් පොළොවට ඇවිල්ලා ඔහුගේ ජීවිතේ පූජා කළේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට. ඒත් ඒකෙන් ප්‍රයෝජන ගන්න නම් මිනිසුන් දෙවිට කීකරු වෙන්න ඕනේ. දෙවි මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා පොළොවේ ඉද්දී යේසුස් කියලා දුන්නේ ඒ නිසයි. ඒ දේම කරන්න කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ටත් කිව්වා. අපි සේවයේ යද්දී, දෙවිට ළං වෙන්න අනිත් අයට උදව් කරද්දී අපි කරන්නේ මිනිසුන්ව බේරගන්න දෙවි ඇති කරලා තියෙන සැලැස්මට සහය වෙමින් දෙවි එක්ක එකට වැඩ කරන එකයි.

16. උතුම්ම ආඥා 2ට දේශනා සේවය සම්බන්ධ වෙන්නේ කොහොමද?

16 සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන් විදිහ ගැන අනිත් අයට කියලා දෙද්දී ඒකෙන් පේන්නේ අපිට ඒ අය ගැන තියෙන ආදරෙයි. “සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” දකින්න ආසාවෙන් ඉන්න යෙහෝවා දෙවිට අපි කොච්චර ආදරේද කියලත් ඒකෙන් ඔප්පු වෙනවා. (1 තිමෝ. 2:4) උතුම්ම ආඥාව මොකක්ද කියලා ඇහුවම යේසුස් මෙහෙම කිව්වා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි. දෙවෙනි ආඥාවත් ඒ හා සමානව වැදගත්. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’” (මතෙ. 22:37-39) ශුභාරංචිය ගැන අනිත් අයට කියනවා නම් අපිට ඒ ආඥා 2ටම කීකරු වෙන්න පුළුවන්.—ක්‍රියා 10:42 කියවන්න.

17. දේශනා කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

17 අපි මොන තරම් ආශීර්වාද ලත් සෙනඟක්ද! යෙහෝවා දෙවි අපිට භාර දීලා තියෙන්නේ අපිට සතුටක් ගේන, දෙවිටත් සහෝදරයන්ටත් ළං වෙන්න සහ දෙවි එක්ක තියෙන බැඳීම දිගටම රැකගන්න උදව් වෙන වැඩක්. ඒ වගේම දෙවිටත් අනිත් අයටත් අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න ඒකෙන් අපිට පුළුවන්. ලොව පුරා දෙවිට සේවය කරන මිලියන ගාණක් දෙනා විවිධ අභියෝග, ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ අය මහලු වුණත් තරුණ වුණත් දුප්පත් වුණත් පොහොසත් වුණත් හොඳ ශරීර ශක්තියක් තිබුණත් නැතත් ඒ හැමෝම එයාලගේ උපරිමයෙන් දෙවි ගැන අනිත් අයට කියනවා. ඔයාට හැඟෙන්නෙත් චැන්ටෙල්ට හැඟුණ විදිහටද කියලා බලන්න. “මේ විශ්වයේ ඉන්න බලවත්ම, සන්තෝෂවත්ම, හැම දේකම නිර්මාතෘ මට මෙහෙම කියනවා. ‘යන්න, ගිහින් මං වෙනුවෙන් කතා කරන්න. ඒකට මං ඔයාට උදව් කරන්නම්. ඔයාට ඕනෙ කරන ශක්තිය, පුහුණුව, මඟ පෙන්වීම් මං දෙන්නම්. මගේ වචනය වන බයිබලෙත් ඔයාට දෙන්නම්. ස්වර්ගයේ ඉන්න හැමෝගෙමත් පොළොවේ ඉන්න මගේ සෙනඟගෙත් උදව් ඔයාට දෙන්නම්. මං ගැන ඔයාගේ හදවතින්ම කතා කරන්න.’ දෙවි මගෙන් ඉල්ලන ඒ දේ කරන්න ලැබෙන එකත් දෙවි එක්ක එකට වැඩ කරන්න ලැබෙන එකත් මොන තරම් වරප්‍රසාදයක්ද!”