Skip to content

පටුනට යන්න

බව්තීස්ම වෙන්න ඔයා ලෑස්තියි කියලා හිතනවද?

බව්තීස්ම වෙන්න ඔයා ලෑස්තියි කියලා හිතනවද?

‘කෙනෙක් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා නම් එය ගොඩනඟා අවසන් කරන්න හැකිද කියා දැනගැනීමට මුලින්ම ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද?’—ලූක් 14:28.

ගීතිකා: 120, 64

මේ ලිපි දෙක ලියලා තියෙන්නේ බව්තීස්ම වෙන එක ගැන හිතන යෞවනයන්ටයි

1, 2. (අ) අපි සතුටු වෙන්නේ මොකක් ගැනද? (ආ) බව්තීස්මය ගැන යෞවනයන්ට පැහැදිලි කරලා දෙන්න දෙමාපියන්ට සහ වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

“මං ඔයාව දන්නේ ඔයා පොඩි කාලේ ඉඳන්. ඔයා බව්තීස්ම වෙන්න කැමතියි කියපු එක ගැන මට හුඟක් සතුටුයි. ඒත් මං ආසයි දැනගන්න ‘ඇයි ඔයාට බව්තීස්ම වෙන්න ඕනෙ’ කියලා.” අවුරුදු 12ක් වයස ක්‍රිස්ටෆර්ගෙන් එහෙම ඇහුවේ වැඩිමහල්ලෙක්. එයා ඇහුවේ ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. හැම අවුරුද්දකම යෞවනයන් දහස් ගාණක් බව්තීස්ම වෙන එක ගැන අපි හැමෝටම දැනෙන්නේ ලොකු සතුටක්. (දේශ. 12:1) ඒත් යෞවනයෙක් බව්තීස්ම වෙන්නේ එයාගෙම කැමැත්තෙන්ද, බව්තීස්ම වෙනවා කියන්නේ මොකක්ද කියලා එයා හරියටම තේරුම් අරන් තියෙනවද කියන දේවල් ගැන දෙමාපියන් සහ වැඩිමහල්ලන් සැලකිලිමත් වෙන්න ඕනේ.

2 කැප වීම සහ බව්තීස්මය අලුත් ජීවිතයක ආරම්භය කියලා බයිබලේ කියනවා. ඒක යෙහෝවා දෙවිගේ ආශීර්වාදවලින් පිරුණු ජීවිතයක්. ඒත් එක්කම සාතන්ගේ ප්‍රහාරවලටත් මුහුණ දෙන්න වෙනවා. (හිතෝ. 10:22; 1 පේතෘ. 5:8) යේසුස්ගේ අනුගාමිකයෙක් වෙනවා කියන දේට ඇතුළත් වෙන්නේ මොනවද කියලා දෙමාපියන් තමන්ගේ දරුවන්ට හොඳින් කියලා දෙන්න ඕනෙ ඒ නිසයි. දෙවිට සේවය කරන්නේ නැති දෙමාපියන් ඉන්න දරුවන්ට වැඩිමහල්ලන් ඒ ගැන කියලා දෙනවා. (ලූක් 14:27-30 කියවන්න.) ගොඩනැඟිල්ලක් ඉදි කරලා අවසන් කරන්න නම් කලින්ම දේවල් හොඳින් සැලසුම් කරන්න ඕනේ. ඒ වගේ “අවසානය දක්වාම” දෙවිට විශ්වාසවන්තව ඉන්න නම් යෞවනයෙක් බව්තීස්ම වෙන්න කලින් යෙහෝවා දෙවිට කැප වෙනවා කියන්නේ මොකක්ද කියලා හොඳට හිතලා ඒකට දේවල් සැලසුම් කරන්න ඕනේ. (මතෙ. 24:13) දෙවිට සදහටම සේවය කරන්න අධිෂ්ඨානයක් ගන්න යෞවනයන්ට උදව් වෙන්නේ මොනවද?

3. (අ) බව්තීස්මය කොච්චර වැදගත් පියවරක්ද කියලා යේසුස් සහ පේතෘස් කියපු දේවලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (මතෙ. 28:19, 20; 1 පේතෘ. 3:21) (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද? ඒ ඇයි?

3 ඔයාත් බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? ඒක හොඳ ඉලක්කයක්! යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න ලැබෙන එක මොන තරම් ගෞරවයක්ද! ඒ විතරක් නෙමෙයි යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න නම් ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම බව්තීස්මය කියන්නේ ගැලවීම ලබන්න ගන්න ඕනෙ වැදගත් පියවරක්. (මතෙ. 28:19, 20; 1 පේතෘ. 3:21) ඔයා බව්තීස්ම වෙද්දී අනිත් අය දැනගන්නවා සදාකාලයටම දෙවිට සේවය කරන්න ඔයා පොරොන්දු වෙලා කියලා. ඔයාට ඕනෙ හැමදාටම ඒ පොරොන්දුව රකින්න. මේ ප්‍රශ්න ගැන හිතන එක බව්තීස්ම වෙන්න ඔයා ලෑස්තිද කියලා තේරුම්ගන්න ඔයාට උදව් වෙයි. (1) මං දේවල් කරන විදිහෙන් ඒ තීරණය ගන්න මං ලෑස්තියි කියලා පැහැදිලිද? (2) බව්තීස්ම වෙන්න ඇත්තටම මං තුළ කැමැත්තක් තියෙනවද? (3) යෙහෝවා දෙවිට කැප වෙනවා කියන්නේ මොකක්ද කියලා මං ඇත්තටම තේරුම් අරන් ඉන්නවද?

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ

4, 5. (අ) බව්තීස්ම වෙන්න පුළුවන් වයසින් වැඩි අයටයි කියලා හිතන්න හොඳ නැත්තේ ඇයි? (ආ) අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් මොන වගේද?

4 බව්තීස්ම වෙන්න පුළුවන් යම් වයසකට ආවම විතරයි කියලා බයිබලේ කියන්නේ නැහැ. හිතෝපදේශ 20:11 කියන්නේ “දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය” කියලයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ දරුවෙක්ට වුණත් හරි දේ මොකක්ද කියලා තේරුම්ගන්න වගේම යෙහෝවා දෙවිට ජීවිතේ කැප කරනවා කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන් කියන එකයි. ඔයාත් අවබෝධයෙන් වැඩ කරන, යෙහෝවා දෙවිට ජීවිතේ කැප කරපු යෞවනයෙක්ද? එහෙමනම් බව්තීස්මය කියන්නේ ඔයාට ගන්න පුළුවන් වැදගත්ම පියවරක්.—හිතෝ. 20:7.

5 කෙනෙක් අවබෝධයෙන් වැඩ කරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ එයාගේ වයස, ඇඟපතේ තරම අනුව නෙමෙයි. බයිබලේ කියන්නේ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් හරි වැරැද්ද අතර වෙනස අඳුනගන්න අරමුණෙන් එයාගේ “වටහාගැනීමේ හැකියාව” හොඳින් පුහුණු කරගෙන තියෙනවා කියලයි. (හෙබ්‍රෙ. 5:14) එහෙම කෙනෙක් හරි දේ මොකක්ද කියලා දන්නවා විතරක් නෙමෙයි ඒක කරන්න හදවතින්ම අදිටන් කරගෙන ඉන්නවා. ඒ නිසා එයාව ලේසියෙන් නරක දේකට පොලඹවන්න බැහැ. ඒ වගේම කවුරුත් පස්සෙන් ඉඳන් හරි දේ මේකයි, මේක කරන්න කියලා එයාට කියන්න ඕනෙ නැහැ. එහෙමනම් දෙමාපියන් ළඟ හිටියත් නැතත් බව්තීස්ම වෙන යෞවනයෙක් හැම වෙලේම හරි දේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.—ෆිලිප්පි 2:12 බලන්න.

6, 7. (අ) දානියෙල් මුහුණ දුන්න අභියෝග මොනවද? (ආ) දානියෙල් අවබෝධයෙන් වැඩ කළා කියන්නේ ඇයි?

6 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න යෞවනයෙක්ට පුළුවන්ද? දානියෙල් ගැන හිතන්න. දෙමාපියන්ගෙන් වෙන් කරලා බැබිලෝනියට අරන් යද්දී දානියෙල් යෞවනයෙක්. බැබිලෝනියේ හිටියේ යෙහෝවා දෙවිගේ නීතිවලට කීකරු නැති සෙනඟක්. එහෙදී එයාට යම් විශේෂ සැලකිලිත් ලැබුණා. රජුට සේවය කරන්න තෝරගත්ත කීපදෙනා අතරේ එයාත් හිටියා. (දානි. 1:3-5, 13) ඊශ්‍රායෙලයේ තිබුණට වඩා තත්වයක්, පිළිගැනීමක් දානියෙල්ට බැබිලෝනියේදී ලැබුණා.

7 එයා හිතපු විදිහ වෙනස් කරන්න, දෙවි ගැන එයාට තිබුණු විශ්වාසය නැති කරන්න ඒ දේවලට එයා ඉඩ දුන්නද? නැහැ. යෙහෝවා දෙවිගේ නීති කඩ වෙන කිසිම දෙයක් නොකර ඉන්න “දානියෙල් තම හදවතින්ම අදිටන් කරගත්තා” කියලා බයිබලේ කියනවා. (දානි. 1:8) දානියෙල් අවබෝධයෙන් වැඩ කරපු කෙනෙක් කියලා ඒකෙන් පැහැදිලියි.

අවබෝධයෙන් වැඩ කරන යෞවනයෙක් කටුස්සෙක් වගේ පාට මාරු කරන්නේ නැහැ (8 ඡේදය බලන්න)

8. දානියෙල්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?

8 දානියෙල්ගෙන් ඔයාට මොනවද ඉගෙනගන්න පුළුවන්? ඔයා අවබෝධයෙන් වැඩ කරන යෞවනයෙක් නම් අමාරු අවස්ථාවලදී වුණත් ප්‍රතිපත්ති බාල කරන්නේ නැතුව හරි දේ කරනවා. ඒ වගේම පරිසරයට අනුව පාට මාරු කරන කටුස්සෙක් වගේ නමස්කාර මධ්‍යස්ථානයේදී එක විදිහකටත් ඉස්කෝලෙදී තව විදිහකටත් ඔයා හැසිරෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඔයා උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්නයි.—එෆීස 4:14, 15 කියවන්න.

9, 10. (අ) විශ්වාසය සෝදිසියට ලක් වුණු අවස්ථාවකට ඔයා මුහුණ දීපු විදිහ ගැන හිතන එක ප්‍රයෝජනවත් ඇයි? (ආ) බව්තීස්මය කියන්නේ මොකක්ද?

9 ඒ කියන්නේ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් අතින් වැරදි වෙන්නේ නැහැ කියන එකද? නැහැ. අපි පව්කාරයන් නිසා වයස් භේදයක් නැතුව අපි ඕනෑම කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. (දේශ. 7:20) ඒත් වැදගත් වෙන්නේ යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති රකින්න අපිට කොච්චර වුවමනාවක් තියෙනවද කියන එකයි. ඔයා බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න යෞවනයෙක් නම් දෙවිගේ ප්‍රතිපත්ති රකින්න ඔයාට තියෙන අධිෂ්ඨානය කොච්චර ශක්තිමත්ද කියලා තේරුම්ගන්න එක වැදගත්. ‘පහුගිය කාලේ මං දෙවිට කීකරුව වැඩ කළාද’ කියලා හිතන එක ඒකට උදව්වක්. ඔයාගේ විශ්වාසය සෝදිසියට ලක් වුණු අවස්ථාවක් මතකද? ඔයා ඒකට මුහුණ දුන්නේ කොහොමද? ඒ වෙලාවේ කරන්න ඕන හරි දේ ඔයා අඳුනගත්තද? ඔයාගේ හැකියාවන් පාවිච්චි කරලා සමාජයේ හොඳ තැනකට එන්න කියලා කවුරු හරි ඔයාට දිරිගැන්නුවද? ඒ වගේ වෙලාවක දානියෙල් වගේ දෙවිගේ කැමැත්ත තේරුම්ගන්න ඔයාටත් පුළුවන් වුණාද?—එෆී. 5:17.

10 ඒ ප්‍රශ්න ගැන හිතද්දී ඔයාටම තේරෙයි බව්තීස්මය කියන්නේ සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. බව්තීස්මය කියන්නේ මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ආදරේ කරන්න, හැමදාටම දෙවිට සේවය කරන්න ඔයා වුණු පොරොන්දුව ප්‍රසිද්ධියේ අනිත් අයට දැනුම් දෙන එකයි. (මාක් 12:30) ඒ පොරොන්දුවට අනුව දිගටම ජීවත් වෙන එක බව්තීස්ම වෙන හැමෝගෙම අදිටන වෙන්න ඕනේ.—දේශනාකාරයා 5:4, 5 කියවන්න.

ආසාව එන්න ඕනෙ ඔයාගෙම හිතින්

11, 12. (අ) බව්තීස්ම වෙන්න හිතන කෙනෙක් නිසැක වෙන්න ඕනෙ මොකක් ගැනද? (ආ) බව්තීස්මය ගැන දෙවි හිතන විදිහට හිතන්න උදව් වෙන්නේ මොකක්ද?

11 යෞවනයන් ඇතුළුව යෙහෝවා දෙවිගේ හැම සේවකයෙක්ම දෙවිට සේවය කරන්නේ “කැමැත්තෙන්මයි.” (ගීතා. 110:3) ඒ නිසා බව්තීස්ම වෙන්න ඔයා තීරණයක් ගන්නවා නම් ඒ ආසාව ආවේ ඔයාගෙම හිතින් කියලා නිසැක වෙන්න ඕනේ.

12 ඔයා පොඩි කාලේ ඉඳන් සත්‍යයේ ඇතිදැඩි වුණු කෙනෙක් නම් ඔයාගේ පවුලේ අය, සභාවේ යාළුවන් බව්තීස්ම වෙනවා ඔයා දැකලා ඇති. ඒත් ඒ අය බව්තීස්ම වුණු නිසා ඔයාත් බව්තීස්ම වෙන්න ඕනෙ කියලා හිතන්න එපා. දැන් ඔයා ඉන්නේ වැඩිදෙනෙක් බව්තීස්ම වෙන වයසේ නිසා ඉක්මනට බව්තීස්ම වෙන්න ඕනෙ කියලත් හිතන්න එපා. ඒ කාරණය ගැන යෙහෝවා දෙවි හිතන විදිහට හිතන්න ඔයාට පුළුවන් කොහොමද? බව්තීස්ම වෙන එක වැදගත් ඇයි කියලා කාලේ අරන් හොඳට හිතන්න. ඒ දේ නිතරම කරන්න. ඒකට උදව් වෙන තොරතුරු හුඟක් මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් තියෙනවා.

13. බව්තීස්ම වෙන්න ගත්ත තීරණය ඔයාගෙම හිතින් ආපු එකක්ද කියලා දැනගන්නේ කොහොමද?

13 බව්තීස්ම වෙන්න ගත්ත තීරණය ඔයාගෙම හිතින් ආපු එකක්ද කියලා දැනගන්න පුළුවන් එක විදිහක් තමයි ඔයාගේ යාච්ඤාව. ඔයා නිතරම දෙවිට යාච්ඤා කරනවද? යාච්ඤාවලදී ඔයාගේ හිතේ තියෙන දේවල් නිශ්චිතව දෙවිට කියනවද? ඒ ප්‍රශ්න ගැන හිතද්දී ඔයාට දෙවි එක්ක තියෙන්නේ මොන වගේ බැඳීමක්ද කියලා ඔයාටම තේරෙයි. (ගීතා. 25:4) හුඟක් වෙලාවට දෙවි අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ බයිබලෙන්. ඒ නිසා යෙහෝවා දෙවිට ළං වෙන්න, ඔහුට මුළු හිතින්ම සේවය කරන්න කැමැත්තක් ඔයාට තියෙනවද කියලා දැනගන්න ඔයාගේ අධ්‍යයන පුරුදු ඔයාට උදව් වෙයි. (යොෂු. 1:8) මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං පුරුද්දක් විදිහට බයිබලේ අධ්‍යයනය කරන කෙනෙක්ද? මං පවුලේ නමස්කාරයට හවුල් වෙන්නේ කැමැත්තෙන්මද?’ ඒ ප්‍රශ්න ගැන හිතද්දී බව්තීස්ම වෙන්න ගත්ත තීරණය ඔයාගෙම හිතින් ආපු එකක්ද කියලා ඔයාට තේරෙයි.

කැප වීම කියන්නේ මොකක්ද?

14. කැප වීම සහ බව්තීස්මය අතර තියෙන වෙනස පැහැදිලි කරන්න.

14 කැප වීම සහ බව්තීස්මය අතර තියෙන වෙනස සමහර යෞවනයන් තේරුම් අරන් නැහැ. සමහරු කියනවා එයාලා දැනටමත් ජීවිතේ දෙවිට කැප කරලයි තියෙන්නේ, ඒත් බව්තීස්ම වෙන්න තාම ලෑස්ති නැහැ කියලා. ඒක වෙන්න පුළුවන්ද? කැප වීම කියන්නේ සදාකාලයටම දෙවිට සේවය කරනවා කියලා ඔයා යාච්ඤාවෙන් දෙවිට පොරොන්දු වෙන එකටයි. බව්තීස්මය කියන්නේ ඔයා වුණු ඒ පොරොන්දුව ප්‍රසිද්ධියේ දන්වන එකයි. ඒ නිසා දෙවිට ජීවිතේ කැප කරනවා කියන්නේ මොකක්ද කියලා බව්තීස්ම වෙන්න කලින් ඔයා අවබෝධ කරගන්න ඕනේ.

15. කැප වීමෙන් අදහස් කරන්නේ මොකක්ද?

15 ජීවිතේ දෙවිට කැප කරද්දී ඔයා පොරොන්දු වෙනවා දැන් ඔයා අයිති යෙහෝවා දෙවිට කියලා. ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ දෙවිට සේවය කරන එකයි කියලා. (මතෙව් 16:24 කියවන්න.) ඒක හුඟක් බැරෑරුම් පොරොන්දුවක්. (මතෙ. 5:33) එහෙමනම් දැන් ඔයාගේ ජීවිතේ අයිති ඔයාට නෙමෙයි දෙවිටයි කියලා පෙන්නන්නේ කොහොමද?—රෝම 14:8.

16, 17. (අ) ජීවිතේ දෙවිට කැප කරනවා කියන දේ තේරුම්ගන්න උදව් වෙන උදාහරණයක් කියන්න. (ආ) කැප වෙද්දී කෙනෙක් ඇත්තටම දෙවිට කියන්නේ මොකක්ද?

16 මේ උදාහරණේ බලන්න. යාළුවෙක් තෑග්ගක් විදිහට ඔයාට කාර් එකක් දෙනවා. කාර් එකේ ලියකියවිලි දෙන ගමන් එයා කියනවා “මේ කාර් එක දැන් අයිති ඔයාට” කියලා. ඒත් ඊළඟට එයා මෙහෙම කියනවා. “හැබැයි කාර් එකේ යතුර මං තියාගන්නවා. මේක එළවන්නෙත් මං.” ඒ තෑග්ග ගැන ඔයාට කොහොම හැඟෙයිද? ඒක දීපු යාළුවා ගැන මොනවා හිතෙයිද?

17 කැප වීමේදී කෙනෙක් කරන්නෙත් එයාගේ ජීවිතේ අයිතිය දෙවිට භාර දෙන එකයි. ඒ පොරොන්දුව ඒ විදිහටම රකියි කියලා දෙවි ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒක සාධාරණයි. ඒත් එයා දෙවිට සේවය කරන්නේ නැති කෙනෙක් එක්ක රහසින් යාළු වෙනවා කියලා හිතමු. නැත්නම් සේවයේ යන්න, රැස්වීම් යන්න කාලේ හොයාගන්න බැරි වෙන විදිහේ රස්සාවක් හොයාගත්තා කියලා හිතමු. එතකොට එයා කරන්නේ දෙවිට වුණු පොරොන්දුව කඩ කරන එකයි. ඒක හරියට කාර් එක තෑගි දීලා ඒකේ යතුර තියාගන්නවා වගේ දෙයක්. දෙවිට ජීවිතේ කැප කරන වෙලාවේ අපි දෙවිට කියන්නේ “දැන් මගේ ජීවිතේ අයිති මට නෙමෙයි ඔබට” කියලයි. ඊටපස්සේ අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනෙ අපි කැමති දේ පැත්තකට දාලා දෙවිට ඕන දේ කරන්නයි. යේසුස් කළෙත් ඒකයි. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා. “මම ස්වර්ගයෙන් ආවේ මගේ කැමැත්ත ඉටු කිරීමට නොව මාව එවූ තැනැත්තාගේ කැමැත්ත ඉටු කිරීමටයි.”—යොහ. 6:38.

18, 19. (අ) බව්තීස්ම වෙන එක වරප්‍රසාදයක් කියලා රෝස් සහ ක්‍රිස්ටෆර්ගේ අද්දැකීම්වලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) බව්තීස්මය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

18 බව්තීස්මය බැරෑරුම් තීරණයක් කියලා පැහැදිලියි. ඒත් දෙවිට ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන්න ලැබෙන එක වටිනා වරප්‍රසාදයක්! දෙවිට කැප වෙනවා කියන එකෙන් අදහස් කරන දේ හොඳට අවබෝධ කරගත්ත, යෙහෝවා දෙවිට ආදරේ කරන යෞවනයෙක් දෙවිට ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන්න අදිමදි කරන්නේ නැහැ. ගත්ත තීරණය ගැන කවදාවත් පසුතැවෙන්නෙත් නැහැ. රෝස් කියන යෞවනිය මෙහෙම කියනවා. “මං යෙහෝවා දෙවිට හුඟක් ආදරෙයි. දෙවිට සේවය කරන එක තරම් සතුටක් ලබන්න පුළුවන් තවත් දෙයක් මට හිතාගන්නවත් බෑ. බව්තීස්ම වෙන්න ගත්ත තීරණය තමයි මං ගත්ත හොඳම තීරණය.”

19 මේ ලිපිය පටන්ගද්දී සඳහන් කරපු ක්‍රිස්ටෆර්ව මතකද? බව්තීස්ම වෙන්න ගත්ත තීරණය ගැන එයාට හැඟෙන්නේ කොහොමද? අවුරුදු 12දී ගත්ත ඒ තීරණය ගැන එයා හුඟක් සතුටු වෙනවා. අවුරුදු 17දී ස්ථාවර පුරෝගාමියෙක් විදිහටත් අවුරුදු 18දී සහායක සේවකයෙක් විදිහටත් සේවය කරන්න එයාට පුළුවන් වුණා. දැන් එයා බෙතෙල් එකේ සේවය කරනවා. “බව්තීස්ම වෙන එක තමයි හරිම තීරණේ. යෙහෝවා දෙවි වෙනුවෙනුත් ඔහුගේ සංවිධානය වෙනුවෙනුත් හුඟක් දේවල් කරන්න මට පුළුවන්. ඒක තමයි මං ලබන ලොකුම තෘප්තිය” කියලා එයා කියනවා. ඔයාත් බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? ඒකට ලෑස්ති වෙන්න ඔයා කරන්න ඕන දේවල් මොනවද කියලා ඊළඟ ලිපියෙන් දැනගමු.