Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ලාදුරු රෝගීන් එක්ක යේසුස් කටයුතු කළේ කොහොමද?

අතීතයේ හිටිය යුදෙව්වන් ලාදුරු රෝගයට බයෙන් හිටියේ. මොකද ඒ රෝගය ස්නායුවලට බලපාලා කෙනෙක් සදාකාලිකව විරූපී වෙන්න පුළුවන්. ඒකට බෙහෙත් තිබුණෙත් නැහැ. ඒ වගේම ලාදුරු රෝගියෙක් අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්නත් තමන් ලාදුරු රෝගියෙක් කියලා දැනුම් දෙන්නත් ඕන වුණා.—ලෙවී කතාව 13:45, 46.

යුදෙව් ආගමික නායකයන් ලාදුරු රෝගීන් සම්බන්ධයෙන් බයිබලයේ දීලා තියෙන නීතිවලට අමතරව දැඩි නීති පැනෙව්වා. උදාහරණෙකට ඔවුන්ගේ නීතියට අනුව ලාදුරු රෝගියෙක්ට ඉන්න වුණේ අනිත් අයට වඩා අඩි 6ක් විතර ඈතින්. තදින් හුළං හමන වෙලාවක නම් අඩි 150ක් විතර ඈතින් ඉන්න වුණා. “ඔහු ජීවත් විය යුත්තේ කඳවුරෙන් පිටතය” කියලා බයිබලයේ සඳහන් වන දේ ආයුධයක් කරගත්ත අය (තල්මුඩය සම්බන්ධයෙන් විශාරදයන්) කිව්වේ ලාදුරු රෝගීන් නගරයේ පවුරෙන් පිට ඉන්න ඕනෙ කියලයි. නගරයක් ඇතුළේ ලාදුරු රෝගීන් ඉන්නවා දැක්කොත් ආගමික නායකයන් එයාලට ගල් ගහලා “මිනිසුන්ව අපවිත්‍ර කරන්නේ නැතුව මෙතනින් යනවා” කියලා එයාලව එළවලා දැම්මා.

ඒත් යේසුස් කටයුතු කළේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. ඔවුන්ව එළවලා දානවා වෙනුවට කැමැත්තෙන්ම ඔවුන්ව ස්පර්ශ කළ යේසුස් ඔවුන්ව සුව කළා.—මතෙව් 8:3.

යුදෙව් ආගමික නායකයන් දික්කසාදයට අවසර දුන් හේතු මොනවාද?

ක්‍රි.ව. 71/72 කාලයට අයත් දික්කසාද සහතිකයක්

දික්කසාදය ක්‍රි.ව. පළවෙනි සියවසේ හිටිය ආගමික නායකයන්ගේ මතභේදයට ලක් වුණ විෂයක්. ඒ නිසා යේසුස්ගේ වරදක් අල්ලගන්න හිතාගෙන පරිසිවරු ඇහුවා “කුමන හේතුවක් නිසා හෝ මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූල දෙයක්ද” කියලා.—මතෙව් 19:3.

මෝසෙස්ගේ නීතියට අනුව සැමියෙක්ට බිරිඳව දික්කසාද කරන්න අවසර තිබුණේ ඇය ‘නොමනා ආකාරයකින් හැසිරෙනවා’ නම් විතරයි. (ද්විතීය කතාව 24:1) යේසුස්ගේ කාලයේදී මෝසෙස්ගේ නීතියේ තිබුණ ඒ දේ ගැන පරස්පර විරෝධී අදහස් දරපු කණ්ඩායම් දෙකක් හිටියා. බිරිඳව දික්කසාද කරන්න පුළුවන් එකම හේතුව අනාචාරය කියලයි ෂම්මයිගේ කණ්ඩායමේ අය කිව්වේ. ඒත් හිලෙල්ගේ කණ්ඩායමේ අය කිව්වේ ඕනම පොඩි වරදකදී වුණත් බිරිඳව දික්කසාද කරන්න නීතියෙන් අවසර තියෙනවා කියලයි. ඒ ඉගැන්වීමට අනුව බිරිඳට වඩා ලස්සන කෙනෙක්ව හම්බ වුණොත් නැත්නම් බිරිඳ හදපු කෑම රස නැත්නම් වගේ හේතු නිසාත් දික්කසාද කරන්න අවසර ලැබුණා.

පරිසිවරුන් අහපු ප්‍රශ්නෙට යේසුස් උත්තර දුන්නේ ‘වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙනවා’ කියලයි.—මතෙව් 19:6, 9.