Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | සැබෑ සහනයක් කොහෙන්ද?

දෙවියන් අපිව සනසවන විදිහ

දෙවියන් අපිව සනසවන විදිහ

බයිබලයේ යෙහෝවා * දෙවිව හඳුන්වලා තියෙන්නේ “සියලු සැනසිල්ලේ දෙවි” විදිහටයි. (2 කොරින්ති 1:3, 4) ඕනෙම ආකාරයක දරුණු විපතකින් පීඩා විඳින ඕනෙම කෙනෙකුව සනසවන්න අපේ ආදරණීය දෙවි පියාණන්ට පුළුවන් කියලා බයිබලයේ කියනවා.

අපි දොස්තර කෙනෙක්ව මුණගැහෙන්න ගියේ නැත්නම් අපිට උදව් කරන්න එයාට පුළුවන් වෙයිද? බයිබලයේ කියන්නේ “දෙදෙනෙකු ගමනක් යෑමට නියම කරගත් දවසේදී මුණගැසුණොත් මිසක ඔවුන්ට එම ගමන යා හැකිද” කියලයි. (ආමොස් 3:3) ඒ වගේ දෙවිගෙන් සහනයක් ලබන්න නම් අපේ පැත්තෙනුත් අපි දෙයක් කරන්න ඕනේ. බයිබලයේ අපිට උනන්දු කරන්නේ “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලයි.—යාකොබ් 4:8.

ඒත් දෙවියන් අපිට ළං වෙයි කියලා ස්ථීර වෙන්න පුළුවන් කොහොමද? අපිට උදව් කරන්න ඔහු ආසාවෙන් ඉන්නවා කියලා කිහිප වතාවක්ම ඔහු කියලා තියෙනවා. ( කොටුව බලන්න.) අනික දෙවිගෙන් සහනය ලබපු අයගේ අද්දැකීම් අපිට ඕන තරම් තියෙනවා.

දාවිත් රජත් විපත්වලට මුහුණ දෙද්දී දෙවිගෙන් උදව් ඉල්ලුවා. “ඔබේ උපකාරය පතා මා කරන කන්නලව්වලට සවන් දෙන්න” කියලයි දාවිත්, දෙවිගෙන් ඉල්ලුවේ. දෙවියන් උත්තර දුන්නාද? ඔව්. දාවිත් ඒ ගැන මෙහෙම කිව්වා. “ඔහු මට උපකාර කළේය. එබැවින් මාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.”—ගීතාවලිය 28:2, 7.

යේසුස් මිනිසුන්ව සනසවපු විදිහ

මිනිසුන්ව සනසවන්න දෙවියන් යොදාගත්ත ප්‍රධානම කෙනා යේසුස්. ඔහු යේසුස්ට භාර දීපු දේවල් අතරට ‘බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන’ එකත් ‘වැලපෙන සියල්ලන්ව සනසන’ එකත් ඇතුළත් වුණා. (යෙසායා 61:1, 2) බයිබලයේ කලින්ම කියලා තිබුණා වගේ “වෙහෙස වූ බරින් පීඩිත වූ” අය ගැන යේසුස් විශේෂයෙන් සැලකිලිමත් වුණා.—මතෙව් 11:28-30.

ඥානවන්ත මඟ පෙන්වීම් දීලා, ආදරයෙන් සලකලා, රෝග සුව කරලා යේසුස් මිනිසුන්ට සහනයක් වුණා. දවසක් ලාදුරු රෝගියෙක් යේසුස් ළඟට ඇවිත් “ඔබ කැමති නම් ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න” කියලා කිව්වාම දයානුකම්පාවෙන් පෙලඹුණු යේසුස් ඒ කෙනාට කිව්වේ “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියලයි. (මාක් 1:40, 41) ඒ වෙලාවෙම ලාදුරු රෝගය සුව වුණා.

එදා වගේ යේසුස් අද අපි ළඟට ඇවිත් අපිව සනසවන්නේ නැහැ. ඒත් ඔහුගේ පියාණන් වන “සියලු සැනසිල්ලේ දෙවි” යෙහෝවා සහනය අවශ්‍ය කරන හැමෝටම දිගටම සහනය ලබා දෙනවා. (2 කොරින්ති 1:3) දෙවියන් මිනිසුන්ව සනසවන ක්‍රම හතරක් ගැන දැන් බලමු.

  • බයිබලය. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.”—රෝම 15:4.

  • දෙවිගේ බලය. යේසුස් මිය ගිහින් ටික දවසක් යද්දී මුළු ක්‍රිස්තියානි සභාවම සාමය පිරුණු කාලයක් අද්දැක්කා. ඒ ඇයි? බයිබලයේ ඒ ගැන කියන්නේ ඔවුන් ‘යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්, දෙවි ලබා දුන් බලයෙන් මහත් සැනසීමක්’ ලැබුවා කියලයි. (ක්‍රියා 9:31) දෙවිගේ බලය ප්‍රබලයි. ඕනෙම විපතකින් පීඩා විඳින අයව සනසවන්න දෙවිගේ බලයට පුළුවන්.

  • යාච්ඤාව. බයිබලයේ මෙහෙම කියනවා. ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’—ෆිලිප්පි 4:6, 7.

  • සෙසු සහෝදර සහෝදරියන්. යෙහෝවා දෙවියන් අපිට ඇත්තටම ආදරේ කරන අපේ සහෝදර සහෝදරියන් මාර්ගයෙන් අපිව සනසවනවා. පාවුල් තමන් එක්ක සේවය කරපු අයව හැඳින්නුවේ ‘බොහෝ අගහිඟකම්වලට හා පීඩාවලට’ මුහුණ දීපු කාලේ “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” වුණු අය හැටියටයි.—1 තෙසලෝනික 3:7; කොලොස්සි 4:11.

ඒ ක්‍රම හතරෙන් සැනසීමක් ලැබෙන්නේ කොහොමද කියලා ඔයාට හිතෙයි. කලින් කතා කරපු අමාරු තත්වයන්වලට මුහුණ දීපු අයගේ අද්දැකීම් ගැන දැන් බලමු. “මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මමද ඔබව සනසන්නෙමි” කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව අදටත් ඔහු ඒ විදිහටම ඉටු කරනවා කියලා තේරුම්ගන්න ඔයාට ඒක උදව් වෙයි.—යෙසායා 66:13.

^ 3 ඡේ. සැබෑ දෙවිගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.