Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | සැබෑ සහනයක් කොහෙන්ද?

දුක් කරදර මැද සහනය

දුක් කරදර මැද සහනය

අපිට එක එක කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඒ හැම එකක්ම අපිට දැන් කතා කරන්න බැහැ. හැබැයි මුල්ම ලිපියේ සඳහන් කරපු අය අද්දැක්ක ප්‍රශ්න හතර ගැන අපි බලමු. ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන අයට දෙවිගෙන් සහනයක් ලැබිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න.

රස්සාව නැති වෙද්දී

“ඕනම රස්සාවක් කරන්න මං කැමති වුණා. අනවශ්‍ය වියදම් කපලා දැම්මා.”—ජොනතන්

සෙත් මෙහෙම කිව්වා. * “මගෙයි නෝනගෙයි රස්සාවල් නැති වුණේ එකම කාලෙක. අනිත් අය දීපු දේවලිනුයි, පොඩි පොඩි රස්සාවල් කරලා හම්බ කරගත්ත සල්ලිවලිනුයි තමයි අවුරුදු දෙකක්ම අපේ ජීවිතේ ගැටගහගත්තේ. ප්‍රිසිලා හුඟක් කලකිරුණා. මට හිතුණෙත් මගෙන් ඇති වැඩක් නැහැ කියලයි.

“ඒත් අපිට පුළුවන් වුණා ඒකට මුහුණ දෙන්න. හෙට දවස ගැන කනස්සලු වෙන්න හොඳ නැහැ කියලා මතෙව් 6:34 යේසුස් කියපු දේ ප්‍රිසිලා හැම වෙලේම මතක් කරගත්තා. දිගටම යාච්ඤා කරපු එකෙනුත් එයාට ශක්තිය ලැබුණා. මට සහනයක් වුණේ ගීතාවලිය 55:22. එතන කියන විදිහට මමත් මගේ හැම කරදරයක්ම දෙවිට භාර දුන්නා. මට තේරුණා දෙවියන් මාව බලාගන්නවා කියලා. දැන්නම් මට රස්සාවක් තියෙනවා. ඒත් මතෙව් 6:20-22 කියන විදිහට අපි අපේ ජීවිතේ හුඟක් සරල කරගෙනයි ඉන්නේ. ඒ හැම දේටම වඩා අපිට වටින්නේ අපි දෙන්නටම දෙවියන් එක්ක තිබුණු බැඳීමත් අපි දෙන්නා අතරේ තියෙන බැඳීමත් තවත් ශක්තිමත් වුණ එකයි.”

ජොනතන් කිව්වේ මෙහෙමයි. “අපේ ව්‍යාපාරය බංකොලොත් වුණු වෙලේ මට දැනුණේ අපේ මුළු අනාගතයම අඳුරු වුණා වගෙයි. රටේ ආර්ථිකය කඩා වැටුණු නිසා අවුරුදු 20ක් තිස්සේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත හැම දේම වතුරේ ගියා. සල්ලි ප්‍රශ්න නිසා මමයි නෝනයි රණ්ඩු වුණා. ක්‍රෙඩිට් කාඩ් එකෙත් සල්ලි ඉවර වෙලා ඇති කියලා හිතුණ නිසා ඒකෙන් බඩු ගන්නත් බයක් දැනුණා.

“ඒත් කරන්න ඕන දේ තේරුම්ගන්න බයිබලයේ තිබුණු තොරතුරුත් දෙවිගෙන් ලැබුණු බලයත් අපිට උදව් වුණා. ඕනම රස්සාවක් කරන්න මං කැමති වුණා. අනවශ්‍ය වියදම් කපලා දැම්මා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපේ සහෝදර සහෝදරියන්ගේ උදව්වත් ලැබුණා. ආත්ම ශක්තිය ආයෙත් ඇති කරගන්න උදව් කරපු එයාලා අමාරුම කාලෙදී අපිත් එක්කම හිටියා.”

විවාහය දෙකඩ වෙද්දී

රාකෙල් මෙහෙම කිව්වා. “මහත්තයා මාව දාලා ගියාම මට ලොකු වේදනාවකුත් කේන්තියකුත් දැනුණා. ඒක දරාගන්න මට ලේසි වුණේ නෑ. ඒත් මං දෙවිට තවත් ළං වුණු නිසා දෙවියන් මාව සැනසුවා. හැමදාම මං යාච්ඤා කරපු නිසා මට ලොකු සහනයක් දැනුණා. මට දැනුණේ හරියට දෙපළු වෙලා තිබුණු මගේ හදවත දෙවියන් ආපහු එක් කළා වගෙයි.

“බයිබලයේ තිබුණු තොරතුරු නිසා මගේ කේන්තිය පාලනය කරගන්නත් පුළුවන් වුණා. ‘නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න, දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න’ කියලා බයිබලයේ තියෙන දේ අදාළ කරගන්නයි මං උත්සාහ කළේ.”—රෝම 12:21.

“ඕනෙම දෙයක් ‘අත්හැරලා දාන්න කාලයක් තියෙනවා.’ දැන් මං ජීවිතේ ගැන හිතන්නේ අලුත් විදිහකට.”—රාකෙල්

“වැටුණු තැනින් නැඟිටලා ඉස්සරහට යන්න මගේ යාළුවෙක් මට උදව් කළා. එයා දේශනාකාරයා 3:6 මට පෙන්නලා හරිම ආදරෙන් පැහැදිලි කළා ඕනෙම දෙයක් ‘අත්හැරලා දාන්න’ කාලයක් තියෙනවා කියලා. බැලූ බැල්මට ඒක කරන එක ලේසි නැති වුණත් ඒ වෙලාවේ ඇත්තටම මට ඒ උපදෙස තමයි ඕනම කරලා තිබුණේ. දැන් මං ජීවිතේ ගැන හිතන්නේ අලුත් විදිහකට.”

එලිසබෙත් කිව්වේ මෙහෙමයි. “ඔයාගේ පවුල දෙකඩ වුණොත් අනිවාර්යයෙන්ම ඔයාට අනිත් අයගේ උදව් ඕනේ. මගේ යාළුවෙක් හැම දවසකම මට උදව් කළා. එයා මාත් එක්ක ඇඬුවා, මාව සැනසුවා. එයාගේ ආදරේ මට තදින්ම දැනුණා. වේදනාව දරාගන්න යෙහෝවා දෙවියන් එයාව පාවිච්චි කළා කියලයි මට හිතෙන්නේ.”

අසනීප සහ මහලු වයස

“මං දිගටම යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. මට දැනෙන්නේ දෙවියන් මට බලය දීලා මාව ශක්තිමත් කරනවා වගෙයි.”—ලුයිස්

මුල් ලිපියේ කතා කරපු ලුයිස්ට දරුණු හෘදයාබාධයක් තියෙනවා. එයා දෙපාරක්ම මැරෙන්න ගිහින් යන්තම් ගොඩ ආපු කෙනෙක්. දැන් දවසට පැය 16ක්ම කෘතිමව ඔක්සිජන් දෙන්න ඕනේ. එයා මෙහෙම කියනවා. “මං දිගටම යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. මට දැනෙන්නේ දෙවියන් මට බලය දීලා මාව ශක්තිමත් කරනවා වගෙයි. දිගටම ජීවත් වෙන්න යාච්ඤාව ලොකු දිරියක්. දෙවියන් මං ගැන සැලකිලිමත් කියලත් මට දැනෙනවා.”

වයස 80ගණන්වල ඉන්න පෙට්ට්‍රා මෙහෙම කියනවා. “මං කරන්න ආස දේවල් නම් හුඟක් තියෙනවා. ඒත් දැන් මගේ අතපය වාරු නැහැ. දවසින් දවස මගේ ශක්තිය අඩු වෙනවා. මං දැන් ජීවත් වෙන්නේ බෙහෙත්වලින්. තමන්ට මුහුණ දෙන්න වෙන දේ පුළුවන් නම් අයින් කරන්න කියලා යේසුස් ඔහුගේ පියාණන්ගෙන් ඉල්ලපු විදිහ මට නිතරම මතක් වෙනවා. ඒක දරාගන්න යෙහෝවා දෙවියන් යේසුස්ට ශක්තිය දුන්නා. ඒ වගේ දෙවියන් මාවත් ශක්තිමත් කරනවා. දවස ගාණේ මං යෙහෝවා දෙවිට යාච්ඤා කළාම මට පුදුම සහනයක් දැනෙනවා.”—මතෙව් 26:39.

අවුරුදු 30ක් විතර බරපතළ ස්නායු රෝගයකින් දුක් විඳින හූලියාන් කිව්වේ මෙහෙමයි. “ප්‍රධානියෙකුගේ පුටුවේ ඉඳන් මට රෝද පුටුවට මාරු වෙන්න වුණා. ඒත් දැන් මගේ ජීවිතේ අර්ථවත්. අනිත් අය වෙනුවෙන් දේවල් කරලා ලොකු සතුටක් ලබනවා. අපිට ඕනම කරන වෙලාවේදී දෙවියන් අපිව ශක්තිමත් කරනවා කියලා දීපු පොරොන්දුව මං අද්දකිනවා. පාවුල් කිව්ව දේ මටත් කියන්න පුළුවන්. ‘මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.’”—ෆිලිප්පි 4:13.

ආදරය කරන කෙනෙක් මිය ගියාම

ආන්ටොන්යො මෙහෙම කියනවා. “ඇක්සිඩන්ට් එකකින් මගේ තාත්තා මැරුණු වෙලේ මට ඒක විශ්වාස කරන්නත් බැරි වුණා. තාත්තා පාරේ ඇවිදගෙන යද්දියි ඒක වෙලා තියෙන්නේ. මට කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුණේ නෑ. දවස් පහක්ම කෝමා තත්වයේ ඉඳලා තාත්තා මැරුණා. අම්මා ඉස්සරහා හිත ගල් කරගෙන හිටියත් තනි වුණු වෙලාවට මං අඬපු වාර අනන්තයි. ‘ඇයි, ඇයි එහෙම වුණේ’ කියලා මං හැම වෙලේම හිතුවා.

“ඒ කටුක කාලය පුරාම මං යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවේ දුක දරාගන්නත් හිතේ සාමය ඇති කරගන්නත් මට උදව් කරන්න කියලයි. කාලයක් යද්දී මගේ හිත හදාගන්න පුළුවන් වුණා. නොහිතන දේවල් අපෙන් ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් කියලා බයිබලයේ කියලා තියෙන දේ මං මතක් කරගත්තා. දෙවියන් කවදාවත් බොරු කියන්නේ නැති නිසා ඔහු අනිවාර්යයෙන්ම මගේ තාත්තාව නැවත නැඟිටුවනවා කියලා මට හොඳටම විශ්වාසයි.”—දේශනාකාරයා 9:11; යොහන් 11:25; තීතස් 1:2.

“ගුවන් අනතුරෙන් අපේ පුතා නැති වුණු දුක තවමත් අපේ හිතේ තිබුණත් අපි එකට ගත කරපු සුන්දර මතකයන් ගැන අපි අදටත් සතුටු වෙනවා.”—රොබට්

මුල් ලිපියේ කතා කරපු රොබට් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිට යාච්ඤා කරපු නිසා මටත් මගේ බිරිඳටත් ෆිලිප්පි 4:6, 7 පදවල කතා කරන මනසේ සාමය අද්දකින්න පුළුවන් වුණා. නැවත නැඟිටීම ගැන අපිට තිබුණු බලාපොරොත්තුව වාර්තාකරුවන්ට පැහැදිලි කරන්න ඒක අපිට උදව් වුණා. ගුවන් අනතුරෙන් අපේ පුතා නැති වුණු දුක තවමත් අපේ හිතේ තිබුණත් අපි එකට ගත කරපු සුන්දර මතකයන් ගැන අදටත් අපි සතුටු වෙනවා.

“අපි ඒ අනතුර ගැන කියද්දී අපේ හිතේ දෙවියන් ගැන තිබුණු විශ්වාසය පැහැදිලිවම පෙනුණා කියලා ඒ සිද්ධිය ටීවී එකෙන් බලපු අපේ සහෝදර සහෝදරියන් අපිට කිව්වා. අපිට එහෙම කරන්න පුළුවන් වුණේ එයාලා අපි වෙනුවෙන් යාච්ඤා කරපු නිසයි කියලා අපි එයාලාට කිව්වා. එයාලා මාර්ගයෙන් අපිව ශක්තිමත් කළේ යෙහෝවා දෙවියන් කියලා නම් මට කිසිම සැකයක් නැහැ.”

මොන ප්‍රශ්නෙකට මුහුණ දුන්නත් අපිව සනසවන්න දෙවිට පුළුවන් කියන දේ ඒ අද්දැකීම්වලින් පැහැදිලියි. මොන ප්‍රශ්නෙකට මුහුණ දෙමින් හිටියත් ඔයාව සනසවන්න යෙහෝවා දෙවිට පුළුවන්. * ඒ නිසා කල් දාන්නේ නැතුව, අදම යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන්න. මොකද “සියලු සැනසිල්ලේ දෙවි” ඔහුයි.—2 කොරින්ති 1:3.

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 23 ඡේ. දෙවියන්ට ළං වෙලා ඔහුගෙන් සැබෑ සහනයක් ලබන්න ඔයාත් කැමති නම් ඔයාගේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කතා කරන්න. නැත්නම් ළඟම තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලියන්න.