Skip to content

පටුනට යන්න

මතභේද ආදරෙන් විසඳගන්න

මතභේද ආදරෙන් විසඳගන්න

“එකිනෙකා අතර සමාදානය පවත්වාගන්න.”—මාක් 9:50.

ගීතිකා: 39, 77

1, 2. උත්පත්ති පොතේ වාර්තා වෙන සමහර සිද්ධීන් මොනවද? ඒවා වාර්තා කරලා තියෙන්නේ ඇයි?

බයිබලේ සඳහන් වෙන මතගැටුම් කීපයක් ඔයාට මතකද? උත්පත්ති පොතේ ඒ වගේ සිද්ධීන් කීපයක්ම තියෙනවා. කායින් ආබෙල්ව මරා දාපු එක, (උත්. 4:3-8) තමන්ට පහර දුන්න නිසා ලාමෙක් තරුණයෙක්ව මරා දාපු සිද්ධිය, (උත්. 4:23) ආබ්‍රහම්ගේ සහ ලොත්ගේ එඬේරුන් අතර ඇති වුණු ආරවුල, (උත්. 13:5-7) හාගර් සාරාව පහත් කරලා සලකපු එක, සාරා සහ ආබ්‍රහම් අතර ඇති වුණු අමනාපය, (උත්. 16:3-6) ඉෂ්මායෙල් හැමෝටම විරුද්ධවත් අනිත් හැමෝම එයාට විරුද්ධවත් වැඩ කරපු එක ඒවායින් කීපයක්.—උත්. 16:12.

2 ඒ වගේ සිද්ධීන් බයිබලේ වාර්තා කරලා තියෙන්නේ ඇයි? ඒවා මනඃකල්පිත සිද්ධීන් නෙමෙයි. සැබෑ ජීවිත අද්දැකීම්. ඒ නිසා ඒවාවලින් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එයාලා මුහුණ දුන්නා හා සමාන ප්‍රශ්නවලට අපි මුහුණ දෙද්දී කරන්න ඕනෙ මොනවද, නොකරන්න ඕනෙ මොනවද කියලා තේරුම්ගන්න ඒ සිද්ධීන් අපිට උදව් වෙනවා.—රෝම 15:4.

3. මේ ලිපියෙන් බලන්නේ මොනවද?

3 මතභේද ඇති වුණාම දෙවිගේ සේවකයන් වන අපි ඒවා විසඳගන්න ඕනෙ ඇයි කියලත් ඒක සාර්ථකව කරන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපියේ කතා කරනවා. ඒ වගේම මතභේද විසඳගන්න අදාළ කරගන්න පුළුවන් බයිබල් ප්‍රතිපත්ති කීපයක් ගැනත් බලමු. යෙහෝවා දෙවි සහ අසල්වැසියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න ඒවා අපිට උදව්වක්.

මතභේද ඇති වුණාම ඒවා විසඳගන්න ඕනෙ ඇයි?

4. ලෝකෙ පුරාම පැතිරිලා තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

4 මිනිසුන් අතරේ මෙච්චර බෙදීම්, මතභේද තියෙන්න මූලික හේතුව සාතන්. එහෙම කියන්නේ ඇයි? ඒදන් උයනේදී සාතන් කිව්වේ හොඳ, නරක මොකක්ද කියලා තීරණය කරන්න දෙවි අවශ්‍ය නැහැ. එක් එක් පුද්ගලයාට ඒක කරන්න පුළුවන් සහ එහෙම කරන්න ඕනෙ කියලයි. (උත්. 3:1-5) සාතන්ගේ ඒ මතය පිළිගත්ත එකේ ප්‍රතිඵල ඇස් පනාපිටම පේන්න තියෙනවා. අද මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් හරිම උඩඟුයි, තරඟකාරීයි, තමන් ගැන විතරයි හිතන්නේ. තමන් කරන දේවල් අනිත් අයට කොහොම බලපෑවත් ඒක එයාලට ප්‍රශ්නයක් නෙමෙයි. අද සමාජයේ තියෙන ඒ ආකල්පවලට කෙනෙක් අහු වුණොත් එයා පෙන්නන්නේ එදා සාතන් ඉදිරිපත් කරපු මතයට එයාත් එකඟයි කියලා. ඒ වගේ ආත්මාර්ථකාමී ආකල්ප තියෙන අය ඉක්මනින් රණ්ඩුවලට පැටලෙනවා. “කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි. හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නාගේ අතින් බොහෝ වැරදි සිදු වෙයි” කියන දේ කොච්චර ඇත්තද!—හිතෝ. 29:22.

5. මතභේද ඇති වෙද්දී කටයුතු කරන්න ඕන විදිහ ගැන යේසුස් කිව්වේ මොනවද?

5 යේසුස්ගේ ඉගැන්වීම් ඊට වඩා හුඟක් වෙනස්. කන්ද උඩ දේශනයේදී ඔහු ඉගැන්නුවේ සාමය ඇති කරගන්න වෙහෙසෙන්න කියලයි. ඒකෙන් තමන්ට අවාසියක් වෙනවා කියලා පේන්න තිබුණත් එහෙම කරන්න කියලා ඔහු කිව්වා. උදාහරණෙකට ඔහු තමන්ගේ අනුගාමිකයන්ට කිව්වේ මෘදු, සමාදානය ඇති කරන අය වෙන්න කියලයි. කේන්ති ගන්න හේතු වන දේවල් අයින් කරන්න කියලත් මතභේදයක් ඇති වුණාම ඉක්මනින්ම ඒක විසඳගන්න කියලත් සතුරන්ට වුණත් ආදරේ කරන්න කියලත් යේසුස් කිව්වා.—මතෙ. 5:5, 9, 22, 25, 44.

6, 7. (අ) මතභේදයක් ඇති වුණාම ඒක ඉක්මනින්ම විසඳගන්න ඕනෙ ඇයි? (ආ) අපි හිතන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද?

6 අපි යාච්ඤා කළත් රැස්වීම් ගියත් සේවයේ හවුල් වුණත් අනිත් අය එක්ක සමාදානය ඇති කරගන්නේ නැත්නම් අපි කරන ඒ කිසිම දෙයක් දෙවි පිළිගන්නේ නැහැ. (මාක් 11:25) අනිත් අය අතින් වෙන අඩුපාඩුවලට සමාව දෙන්න අපි අකමැති නම් දෙවිගේ යාළුවෙක් වෙන්න අපිට බැහැ.—ලූක් 11:4; එෆීස 4:32 කියවන්න.

7 අනිත් අයට සමාව දෙයි කියලත් එයාලා එක්ක සමාදානයෙන් ඉඳියි කියලත් යෙහෝවා දෙවි අපි හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ‘මං සමාව දෙන්න කැමති කෙනෙක්ද? සහෝදරයන් මගේ හිත රිද්දුවත් එයාලව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න මං කැමතිද’ කියලා අපි අවංකව හිතලා බලන්න ඕනේ. සමාව දීම සම්බන්ධයෙන් තව දියුණු වෙන්න ඕනෙ කියලා ඔයාට හැඟෙනවා නම් අවශ්‍ය වෙනස්කම් කරගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. අපේ ආදරණීය දෙවි ඔයාට සවන් දීලා උදව් කරනවා නිසැකයි.—1 යොහ. 5:14, 15.

ඇති වුණු අමනාපය අමතක කරන්න පුළුවන්ද?

8, 9. කවුරු හරි අපේ හිත රිද්දුවොත් අපි මොනවද කරන්න ඕනේ?

8 අපි හැමෝම පාපය උරුම කරගත්ත අය නිසා කෙනෙක් ඔයාගේ හිත රිදෙන දෙයක් කියන්න, කරන්න ඉඩ තියෙනවා. (දේශ. 7:20; මතෙ. 18:7) ඒ වගේ වෙලාවකදී ඔයා මොනවද කරන්නේ? මේ සිද්ධිය ගැන හිතන්න. සාක්ෂිකරුවන් පිරිසක් පවත්වපු සාදයකදී සහෝදරියක් සහෝදරයන් දෙන්නෙකුට කියපු දෙයක් නිසා ඒ එක සහෝදරයෙක් හිටියේ අමනාපයෙන්. ඒ සහෝදරිය කතා කරපු විදිහ හරි නැහැ කියලයි එයාට හිතුණේ. ඒ නිසා එයා අනිත් සහෝදරයා එක්ක ඒක විවේචනය කරන්න පටන්ගත්තා. එතකොට අනිත් සහෝදරයා එයාට මතක් කළා ඒ සහෝදරිය හුඟක් කරදර මැද අවුරුදු 40ක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කරලා තියෙනවා කියලා. රිද්දන්න හිතාගෙන සහෝදරිය එහෙම කියන්න නැතුව ඇති කියලත් එයා කිව්වා. අමනාප වුණු සහෝදරයා ඒක පිළිගත්තා. ප්‍රශ්නය දුර දිග නොයා එතනින් ඉවර වුණා.

9 ඒ සිද්ධියෙන් තේරෙන්නේ මොකක්ද? මතභේදයක්, අමනාපයක් දුර දිග ගෙනියනවද නැද්ද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ කියලා ඒකෙන් පැහැදිලියි. අනිත් අයට ආදරේ කරන කෙනෙක් එයාලා අතින් වෙන පොඩි පොඩි අඩුපාඩු ගණන් ගන්නේ නැහැ. (හිතෝපදේශ 10:12; 1 පේතෘස් 4:8 කියවන්න.) ‘වරදක් අමතක කරලා දාන්න’ ඔයාට පුළුවන් නම් යෙහෝවා දෙවි ඒක දකින්නේ ඔයාට තියෙන “අලංකාර ගුණාංගයක්” හැටියටයි. (හිතෝ. 19:11; දේශ. 7:9) ඒ නිසා කෙනෙක් කියපු, කරපු දෙයක් නිසා ඔයාගේ හිතේ අමනාපයක් ඇති වුණොත් මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහගන්න. ‘මට මේක අමතක කරලා දාන්න බැරිද? මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනෙද?’

10. (අ) තමන් ගැන කරපු විවේචන ආරංචි වුණාම සහෝදරියක් කළේ මොකක්ද? (ආ) හිතේ සාමය නැති කරගන්නේ නැතුව ඉන්න එයාට උදව් වුණේ බයිබලේ තිබුණු මොන දේද?

10 අනිත් අය අපි ගැන වැරදි දෙයක් කිව්වොත් ඒක අමතක කරන්න ලේසි නැහැ. පුරෝගාමි සහෝදරියක් වන ලූසිගේ අද්දැකීම බලන්න. එයා සේවය කරන විදිහ ගැනත් සේවයේදී එයා කාලය පාවිච්චි කරන විදිහ ගැනත් සමහරු එයාව විවේචනය කළා. ඒක ආරංචි වුණාම එයාගේ හිත හුඟක් රිදුණා. ඒ නිසා ඒ ගැන එයා අවබෝධයෙන් වැඩ කරන සහෝදරයන් කීපදෙනෙක් එක්ක කතා කළා. අනිත් අය කරන විවේචන ගැන හිතන එක නතර කරලා යෙහෝවා දෙවි එයා ගැන මොනවද හිතන්නේ කියන එකට වැඩි අවධානයක් දෙන්න ඒ සහෝදරයන් එයාට බයිබලෙන් උදව් කළා. මතෙව් 6:1-4 (කියවන්න.) කියෙව්වම එයාට තේරුණා දෙවිව සතුටු කරන එකයි වැඩියෙන්ම වටින්නේ කියලා. ඊටපස්සේ අනිත් අය කරපු විවේචන ගැන එයා හිතන්න ගියේ නැහැ. අනිත් අය මොනවා කිව්වත් ලූසි දැන් සතුටින් දෙවිට සේවය කරනවා. මොකද එයා දන්නවා එයා දෙවිට සේවය කරන්නේ එයාගේ උපරිමයෙන් කියලා.

අමතක කරන්න බැහැ කියලා හිතෙනවද?

11, 12. (අ) තමන් එක්ක ‘සහෝදරයාට යම් ගැටලුවක්’ තියෙනවා කියලා කෙනෙක්ට තේරුණොත් මොනවද කරන්න ඕනේ? (ආ) ආබ්‍රහම් වැඩ කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

11 “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.” (යාකො. 3:2) ඔයා කියපු, කරපු දෙයක් නිසා සහෝදරයෙකුගේ හිත රිදිලා කියලා තේරුණොත් ඔයා මොකද කරන්නේ? යේසුස් මෙහෙම කිව්වා. “ඔබ යමක් පරිත්‍යාග කිරීමට පූජාසනය ළඟට යන විට ඔබේ සහෝදරයාට ඔබ සමඟ යම් ගැටලුවක් තිබෙන බව එහිදී ඔබට මතක් වෙයි නම්, පරිත්‍යාග කිරීමට රැගෙන ආ දේ පූජාසනය ඉදිරිපිට තබන්න. මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න. ඉන්පසුව ඇවිත් ඒ දේ පරිත්‍යාග කරන්න.” (මතෙ. 5:23, 24) යේසුස් කියපු විදිහට ඔයා ගිහින් ඒ සහෝදරයා එක්ක කතා කරන්න. ඔයාගේ අරමුණ වෙන්න ඕනෙ ඇති වෙලා තියෙන ප්‍රශ්නෙට යම් දුරකට එයාත් වගකියන්න ඕනෙ කියලා තේරුම් කරලා දෙන එක නෙමෙයි. ඔයාගේ වරද පිළි අරන් එයා එක්ක සමාදානය ඇති කරගන්න එකයි. වැඩියෙන්ම වටින්නේ සහෝදරයන් එක්ක සමාදානයෙන් ඉන්න එකයි කියලා මතක තියාගමු.

12 මතගැටුමක් ඇති වුණත් දිගටම සමාදානය පවත්වගන්න පුළුවන් කොහොමද කියලා බයිබලේ පෙන්නලා තියෙනවා. ආබ්‍රහම් ගැන හිතන්න. එයාටත් ලොත්ටත් හුඟක් සතුන් හිටපු නිසා ඒ සතුන්ට ඉන්න ඉඩකඩ මදි වුණා. ඒ නිසා ඒ දෙන්නා යටතේ හිටපු එඬේරුන් අතරේ මතගැටුමක් ඇති වුණා. ඒ වෙලාවේ ආබ්‍රහම් දේශයේ හොඳම කොටස තෝරගන්න ලොත්ට ඉඩ දුන්නේ ඒ දෙන්නා අතරේ තිබුණු සමාදානය නැති වෙනවට එයා අකමැති වුණු නිසයි. (උත්. 13:1, 2, 5-9) ආබ්‍රහම්ගේ පරිත්‍යාගශීලිකම නිසා එයාට පාඩුවක් වුණාද? නැහැ. ඒ සිද්ධිය වුණත් එක්කම වගේ ආබ්‍රහම්ට නැති වුණාට වඩා හුඟක් දේවල් දෙන්න දෙවි පොරොන්දු වුණා. (උත්. 13:14-17) මොකක්ද පාඩම? අපිට යම් පාඩුවක් වුණත් මතගැටුම් ආදරෙන් විසඳගන්න අපි උත්සාහ කරනවා නම් යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කරනවා. [1]

13. සහෝදරයෙක් තමන්ට සැරපරුෂ විදිහට කතා කරපු කෙනෙක් එක්ක කටයුතු කළේ කොහොමද? එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

13 මේ අද්දැකීම බලන්න. සහෝදරයෙක්ට සමුළුවක අංශයක් අලුතින් භාර දුන්නා. එයා තවත් සහෝදරයෙකුට කෝල් කරලා ඇහුවා ඒ අංශයේ වැඩ කරන්න කැමතිද කියලා. ඒ වෙලාවේ ඒ සහෝදරයා සැරපරුෂ විදිහට කතා කරලා ෆෝන් එක තිබ්බා. එහෙම කළේ ඒ අංශය කලින් භාරව හිටපු සහෝදරයා එක්ක එයා තරහෙන් හිටපු නිසයි. එයා කතා කරපු විදිහ ගැන අංශභාර සහෝදරයා තරහා ගත්තේ නැතත් ඒක නිකම්ම අමතක කරලා දාන්නත් එයාට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා පැයකට විතර පස්සේ එයා ආයෙත් ඒ සහෝදරයාට කෝල් කරලා ඇහුවා හම්බ වෙලාම ඒ ගැන කතා කරමුද කියලා. ඊළඟ සතියේ එයාලා නමස්කාර මධ්‍යස්ථානයේදී හම්බ වෙලා යාච්ඤාවක් කරලා පැයක් විතර කතාබහ කළා. කලින් ඇති වුණු ප්‍රශ්නය ගැන කියද්දී එයා හොඳට අහගෙන හිටියා විතරක් නෙමෙයි බයිබල් පද කීපයකුත් සාකච්ඡා කළා. ප්‍රතිඵලය? සමාදානය ඇති කරගන්න එයාලට පුළුවන් වුණා වගේම දෙන්නම සමුළුවේ මහන්සි වෙලා වැඩ කළා. අංශභාර සහෝදරයා තමන් එක්ක කාරුණිකව කතා කරපු එක එයා හුඟක් අගය කළා.

වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න ඕනෙද?

14, 15. (අ) මතෙව් 18:15-17 තියෙන උපදෙස අදාළ කරගන්න ඕනෙ කොයි අවස්ථාවේදීද? (ආ) යේසුස් කියපු පියවර 3 මොනවද? ඒ පියවර 3 ගන්න ඕනෙ මොන අරමුණින්ද?

14 දෙන්නෙක් අතර ඇති වෙන මතභේද හුඟක් අවස්ථාවලදී ඒ දෙන්නටම කතා කරලා විසඳගන්න පුළුවන්. ඒක තමයි කරන්න ඕනෙ දේ. ඒත් හැම වෙලාවෙම ඒක කරන්න බැරි වෙයි. මතෙව් 18:15-17 (කියවන්න.) සඳහන් වෙන විදිහට සමහර කාරණා විසඳගන්න අනිත් අයගේ උදව් ගන්න වෙනවා. යේසුස් එතන කතා කරන “පාපය” දෙන්නෙක් අතර ඇති වෙන පොඩි මතභේදයක් නෙමෙයි. එහෙම කියන්නේ ඇයි? යේසුස් කිව්වේ පාපය කරපු කෙනා එක්ක ප්‍රශ්නෙට සම්බන්ධ අනිත් කෙනා, සාක්ෂිකරුවන්, වගකීම් දරන සහෝදරයන් කතා කළාට පස්සෙත් එයා පසුතැවෙන්න අකමැති වුණොත් “වෙනත් ජාතිකයෙකු හා බදු එකතු කරන්නෙකු හා සමානව ඔහුට සැලකිය යුතුයි” කියලයි. අද ඒකෙන් අදහස් කරන්නේ සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමයි. ඒ පාපයට වංචාවක්, චරිත ඝාතනයක් වගේ දේවල් ඇතුළත් වෙන්න පුළුවන්. ඒත් ඒකට අනාචාරය, සමලිංගික ඇසුර, අසත්‍ය ඉගැන්වීම් පතුරුවන එක, රූප නමස්කාරය වගේ දේවල් ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වගේ පව් අනිවාර්යයෙන්ම හසුරුවන්න ඕනෙ වැඩිමහල්ලන්.

සහෝදරයාව දිනාගන්න නම් එයාත් එක්ක කීප වතාවක්ම කතා කරන්න වෙයි (15 ඡේදය බලන්න)

15 සහෝදරයෙක්ට තියෙන ආදරේ නිසා එයාට උදව් කරන්න ඕනෙ කොහොමද කියලා පෙන්නන්නයි යේසුස් ඒ උපදෙස දුන්නේ. (මතෙ. 18:12-14) පියවර 3කින් ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන්. (1) වෙන අයව සම්බන්ධ කරගන්නේ නැතුව සහෝදරයා එක්ක සමාදානය ඇති කරගන්න උත්සාහ කරන එක. එහෙම කරන්න සමහරවිට කීප වතාවක්ම එයා එක්ක කතා කරන්න වෙයි. එහෙම කරලත් සමාදානය ඇති කරගන්න බැරි නම් මොකද කරන්නේ? (2) ඔයාලා දෙන්නගේ ප්‍රශ්නේ ගැන හොඳට දන්න නැත්නම් යම් වරදක් වෙලා තියෙනවද නැද්ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් එක්ක ගිහින් එයාත් එක්ක කතා කරන්න. එහෙම කරලා ප්‍රශ්නේ විසඳුණොත් ඔයා ‘ඔයාගේ සහෝදරයාව දිනාගෙන තියෙනවා.’ ඒත් ඒ කෙනා එක්ක කීප වතාවක්ම කතා කරලත් ප්‍රශ්නේ විසඳගන්න බැරි නම් විතරක් (3) ඒ ගැන වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න.

16. යේසුස් දුන්න උපදෙස අදාළ කරගන්නවා නම් මතභේදයක් ආදරෙන් වගේම හොඳින් විසඳගන්න පුළුවන් කියන්නේ ඇයි?

16 හුඟක් අවස්ථාවලදී මතෙව් 18:15-17 සඳහන් 1වෙනි පියවරේදීම නැත්නම් 2වෙනි පියවරේදීම ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙනවා. ඒක සතුටට කරුණක්. ඒ ඇයි? හුඟක් අවස්ථාවලදී වරද කරපු කෙනා එයාගේ වරද තේරුම් අරන් ඒක හදාගන්නවා. ඒ නිසා එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වරදට ලක් වුණු කෙනාත් වරද කළ කෙනාට සමාව දෙන්න තීරණය කරයි. එහෙම කරන්නේ සමාදානය ඇති කරගන්න තියෙන කැමැත්ත නිසයි. යේසුස් දුන්න උපදෙස දිහා බලද්දී පැහැදිලි වෙන දේ තමයි ප්‍රශ්නයක් වුණු ගමන්ම වැඩිමහල්ලන් ළඟට යන්න අවශ්‍ය නැහැ කියන එක. මුල් පියවර 2 අනුගමනය කළාට පස්සේ විතරයි ප්‍රශ්නයක් වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම වරදක් කරලා තියෙනවා කියලා පැහැදිලි සාක්ෂි තියෙන්නත් ඕනේ.

17. අනිත් අයත් එක්ක සමාදානයෙන් ඉන්න වෑයම් කරන අයට ලැබෙන ආශීර්වාද මොනවද?

17 පාපය උරුම වෙලා තියෙන තාක් කල් අපි අතින් අනිත් අයට වැරදි, අඩුපාඩුකම් වෙයි. යාකොබ් මෙහෙම කියනවා. “යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් මුළු ශරීරයම හොඳින් පාලනය කරන, කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන.” (යාකො. 3:2) මතභේද විසඳගන්න නම් “සමාදානය සොයා, එය ලුහුබඳින්න” ඕනේ. (ගීතා. 34:14) දිගටම අනිත් අය එක්ක සමාදානය ඇති කරගන්නවා නම් සහෝදර සහෝදරියන්ගේ කිට්ටු යාළුවන් වෙන්න අපිට පුළුවන්. ඒකෙන් අපි අතරේ තියෙන එක්සත්කමත් රැකෙනවා. (ගීතා. 133:1-3) වැදගත්ම දේ “සමාදානය ලබා දෙන දෙවි” වන යෙහෝවාගේ කිට්ටු යාළුවෙක් වෙන්න අපිට පුළුවන් වෙන එකයි. (රෝම 15:33) ඒ හැමආශීර්වාදයක්ම ලබන්න පුළුවන් වෙන්නේ මතභේද ආදරෙන් විසඳගත්තොත් විතරයි.

^ [1] (12 ඡේදය) යාකොබ් ඒසව් එක්කත්, (උත්. 27:41-45; 33:1-11) යෝසෙප් එයාගේ සහෝදරයන් එක්කත් (උත්. 45:1-15) ගිඩියොන් එෆ්‍රායිම්වරුන් එක්කත් (විනි. 8:1-3) මතගැටුම් ආදරෙන් විසඳගත්තා. එහෙම කරපු තවත් අයව ඔයාට මතක් වෙනවා ඇති.