Skip to content

පටුනට යන්න

දෙවි ලබා දෙන හැම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්න

දෙවි ලබා දෙන හැම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්න

‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නේ මමය.’—යෙසා. 48:17.

ගීතිකා: 117, 114

1, 2. (අ) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට බයිබලේ ගැන හැඟෙන්නේ කොහොමද? (ආ) ඔයා වැඩියෙන්ම ආස බයිබලේ මොන කොටසටද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට බයිබලේ කියන්නේ හුඟක් වටින පොතක්. අපිට අවශ්‍ය සහනය, මඟ පෙන්වීම් ලැබෙන්නේ බයිබලෙන්. අපිට බලාපොරොත්තුවක් ලැබිලා තියෙන්නෙත් බයිබලේ නිසයි. (රෝම 15:4) ඒකේ තියෙන්නේ මිනිසුන්ගේ අදහස් නෙමෙයි ඒක “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්.”—1 තෙස. 2:13.

2 බයිබලේ සමහර කොටස්වලට අනිත් ඒවාට වඩා අපි ආසයි. ඒ වගේ ආස කරන කොටස් අපි හැමෝටම තියෙනවා. උදාහරණෙකට යේසුස් වැඩ කරපු විදිහෙන් යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ හොඳින්ම තේරුම්ගන්න පුළුවන් නිසා සමහරු මතෙව්, මාක්, ලූක් සහ යොහන් කියන පොත් 4ට ආසයි. (යොහ. 14:9) තවත් අය “තව කෙටි කලකින් සිදු වීමට නියමිත දේවල්” සඳහන් වෙලා තියෙන එළිදරව් වගේ අනාවැකි පොත්වලට කැමතියි. (එළි. 1:1) සමහරු ගීතාවලිය පොත කියවලා ලොකු සහනයක් ලබනවා. ප්‍රයෝජනවත් උපදෙස් තියෙන හිතෝපදේශ පොත සමහරුන්ට විශේෂයි. එහෙම බලද්දී බයිබලේ කියන්නේ හැමෝටම වටින පොතක්.

3, 4. (අ) අපේ ප්‍රකාශන ගැන අපිට හැඟෙන්නේ කොහොමද? (ආ) විශේෂ කණ්ඩායම් වෙනුවෙන්ම සකස් කරලා තියෙන ප්‍රකාශන මොනවද?

3 අපිට බයිබලේ හුඟක් වටින නිසා බයිබලේ තොරතුරු තියෙන අපේ ප්‍රකාශන අපි සලකන්නෙත් හුඟක් වටින ඒවා හැටියටයි. අපිට ලැබෙන පොත්, සඟරා සහ අනිත් හැම ප්‍රකාශනයක්ම දෙවි දෙන වටිනා සැපයුම්. දෙවි එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න, ඔහු ගැන අපිට තියෙන විශ්වාසය තව වැඩි කරගන්න ඒවා උදව් වෙනවා.—තීත. 2:2.

4 අපේ ප්‍රකාශන වැඩි හරියක් ලියලා තියෙන්නේ පොදුවේ හැම සාක්ෂිකරුවෙක්ටම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදිහටයි. ඒත් තරුණ අය, දෙමාපියන් වගේ විශේෂ කණ්ඩායමක් වෙනුවෙන්ම ලියපු ප්‍රකාශනත් තියෙනවා. අපේ වෙබ් අඩවියේ තියෙන හුඟක් ලිපි, වීඩියෝ සකස් කරලා තියෙන්නේ සාක්ෂිකරුවන් නොවන අය සඳහායි. විවිධ අයට ගැළපෙන විදිහට සකස් කරපු හුඟක් ප්‍රකාශන තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? යෙහෝවා දෙවි සියලුම ජනයාට අවශ්‍ය මඟ පෙන්වීම් දෙනවා කියලා වුණු පොරොන්දුව ඔහු ඉටු කරනවා කියන දේ නේද?—යෙසා. 25:6.

5. දෙවි අගය කරන්නේ අපි කරන මොන දේද?

5 බයිබලෙත් අපේ ප්‍රකාශනත් කියවන්න තව කාලේ තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා අපෙන් වැඩිදෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ නිසා අපිට ලැබෙන හැම ප්‍රකාශනයක්ම කියවන්න එකම විදිහේ කාලයක් වෙන් කරන්න අපිට බැරුව ඇති. ඒ වුණත් අපිට ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන් ඒවා කියවලා අධ්‍යයනය කරනවා නම් දෙවි ඒ ගැන අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. (එෆී. 5:15, 16) ඒත් අපි පරෙස්සම් වෙන්න ඕනෙ පැත්තකුත් තියෙනවා.

6. දෙවි ලබා දෙන සමහර සැපයුම්වලින් ප්‍රයෝජන නොගන්න අපි පෙලඹෙන්න පුළුවන් මොකක් නිසාද?

6 අපි පරෙස්සම් වුණේ නැත්නම් බයිබලේ සමහර කොටස්, සමහර ප්‍රකාශන අපිට අදාළ නැහැ කියලා හිතෙන්න පුළුවන්. උදාහරණෙකට බයිබලේ තියෙන යම් කොටසක් ඔයාට එච්චර අදාළ වෙන්නේ නැහැ වගේද? යම් ප්‍රකාශනයක් ලියලා තියෙන විශේෂ පාඨක පිරිසට ඔයා ඇතුළත් වෙන්නේ නැද්ද? ඒ වගේ වෙලාවලදී ඔයා ඒක කියවන්නේ උඩින් පල්ලෙන්ද නැත්නම් කියවන්නෙම නැද්ද? එහෙම කළොත් සමහරවිට ඔයාට ප්‍රයෝජනවත් වෙන තොරතුරු ඔයාට මඟහැරෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් මොනවද කරන්න ඕනේ? හැම සැපයුමක්ම අපිට ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන් කියලා නිතරම මතකයේ තියාගමු. බයිබලේ මෙහෙම කියනවා. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නේ මමය.’ (යෙසා. 48:17) යෙහෝවා දෙවි අපිට ලබා දෙන හැම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්න අපිට උදව් වෙන දේවල් 3ක් දැන් බලමු.

බයිබලය කියවන්න යෝජනා

7. බයිබලේ කියවද්දී එක අදහසකට කොටු වෙන්න හොඳ නැත්තේ ඇයි?

7 එක අදහසකට කොටු වෙන්න එපා. බයිබලේ තියෙන සමහර කොටස් ලියලා තියෙන්නේ යම් කෙනෙකුට නැත්නම් යම් පිරිසකට වෙන්න පුළුවන්. ඒත් බයිබලේ පැහැදිලිවම කියන්නේ ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමට ප්‍රයෝජනවත්ය’ කියලා. (2 තිමෝ. 3:16) ඒ නිසා බයිබලේ මොන කොටස කියෙව්වත් මට ඉගෙනගන්න දෙයක් තියෙනවා කියන හැඟීමෙන් ඒක කියවන්න. පේන්න තියෙන දේට වඩා දෙයක් ඒකේ තියෙනවා කියලා හිතන්න. එක සහෝදරයෙක් බයිබලේ කියවද්දී යම් වාර්තාවකින් ඉගෙනගන්න තියෙන්නේ එක පාඩමක් විතරක් නෙමෙයි ඒකෙන් ඉගෙනගන්න හුඟක් පාඩම් තියෙනවා කියලා මතක තියාගත්තා. ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් පාඩම්වලට විතරක් සීමා වෙන්නේ නැතුව වෙනත් පැති ගැන හිතන්න ඒක එයාට උදව් වුණා. ඒ නිසා එක අදහසකට කොටු නොවී ඉන්න උදව් කරන්න කියලත් දෙවි අපිට උගන්වන්න හදන පාඩම් තේරුම්ගන්න අවශ්‍ය ප්‍රඥාව දෙන්න කියලත් බයිබලේ කියවන්න කලින් යාච්ඤා කරන එක හරිම වැදගත්.—එස්රා 7:10; යාකොබ් 1:5 කියවන්න.

බයිබලේ කියවද්දී ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයා වෑයම් කරනවද? (7 ඡේදය බලන්න)

8, 9. (අ) බයිබලේ කියවද්දී අපිට හිතන්න පුළුවන් මොන ප්‍රශ්න ගැනද? (ආ) වැඩිමහල්ලන් සඳහා තියෙන සුදුසුකම්වලින් අපිට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

8 ප්‍රශ්න අහගන්න. ඔයා බයිබලේ කියවද්දී ටිකක් නැවතිලා මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මේ කොටසෙන් මට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද? මේ තොරතුරු මට අදාළ කරගන්න පුළුවන් කොහොමද? අනිත් අයට උදව් කරන්න මේ තොරතුරු යොදාගන්න පුළුවන් කොහොමද?’ ඒ ප්‍රශ්න ගැන හිතනවා නම් බයිබල් කියවීමෙන් හුඟක් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන්. උදාහරණයක් බලමු. බයිබලේ වැඩිමහල්ලන්ට තියෙන්න ඕනෙ සුදුසුකම් ගැන විස්තරයක් තියෙනවා. (1 තිමෝති 3:2-7 කියවන්න.) අපෙන් වැඩිදෙනෙක් වැඩිමහල්ලන් නෙමෙයි. ඒ නිසා ඒ කොටසෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ කියලා සමහරවිට හිතෙන්න පුළුවන්. ඒත් ඒක කියවද්දී කලින් සඳහන් කරපු ප්‍රශ්න 3 ගැන හිතන එකේ තියෙන ප්‍රයෝජන දැන් බලමු.

9 මේ කොටසෙන් මට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද? වැඩිමහල්ලන්ට තියෙන්න ඕනෙ සුදුසුකම් ගැන සඳහන් කරපු එකෙන් සභාව රැකබලා ගන්න අයගෙන් යෙහෝවා දෙවි උසස් ප්‍රමිති බලාපොරොත්තු වෙනවා කියලා දෙවි අපි හැමෝටම පෙන්නලා තියෙනවා. “තමාගේ පුත්‍රයාගේ රුධිරයෙන්” මිල දී ගත්ත සභාව දෙවිට හුඟක් වටිනවා කියලා ඒකෙන් පේනවා. (ක්‍රියා 20:28) වැඩිමහල්ලන් සභාවට හොඳ ආදර්ශයක් වෙයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. සභාවට සලකන විදිහ ගැන ඒ අය දෙවිට ගණන් දෙන්න ඕනේ. එයාලගේ රැකවරණය යටතේ අපි සුරක්ෂිතව ඉන්නවා දකින්නයි දෙවි කැමති. (යෙසා. 32:1, 2) ඒ සුදුසුකම් ගැන කියවද්දී යෙහෝවා දෙවි අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

10, 11. (අ) වැඩිමහල්ලන් සඳහා තියෙන සුදුසුකම් ගැන කියවද්දී ඒ තොරතුරු අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? (ආ) අනිත් අයට උදව් කරන්න ඒ තොරතුරු යොදාගන්න පුළුවන් කොහොමද?

10 මේ තොරතුරු මට අදාළ කරගන්න පුළුවන් කොහොමද? ඔයා වැඩිමහල්ලෙක් නම් විටින් විට ඒ සුදුසුකම් ගැන කියවලා තව දියුණු කරගන්න පුළුවන් පැති ගැන හිතන්න. ඔයා සභාවේ “වගකීම් දැරීමට වෑයම්” කරන කෙනෙක් නම් ඒ සුදුසුකම් අත් කරගන්න උපරිම උත්සාහයක් දරන්න. (1 තිමෝ. 3:1) ඒ අයට විතරක් නෙමෙයි අපි හැමෝටම ඒ සුදුසුකම්වලින් ඉගෙනගන්න පුළුවන්. උදාහරණෙකට සාධාරණකම, හොඳ සිහි කල්පනාවෙන් වැඩ කරන එක දෙවි අපි හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා. (ෆිලි. 4:5; 1 පේතෘ. 4:7) වැඩිමහල්ලන් “රැළට ආදර්ශයක්” වෙද්දී අපිට පුළුවන් ඒ අයගෙන් ඉගෙනගන්න. එයාලගේ “විශ්වාසය ආදර්ශයට ගන්න.”—1 පේතෘ. 5:3; හෙබ්‍රෙ. 13:7.

11 අනිත් අයට උදව් කරන්න මේ තොරතුරු යොදාගන්න පුළුවන් කොහොමද? වැඩිමහල්ලන් පූජකයන්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා බයිබලේ පාඩම් කරන අයට, උනන්දුව දක්වන අයට තේරුම් කරලා දෙන්න සුදුසුකම් තියෙන ඒ ලැයිස්තුව යොදාගන්න පුළුවන්. සභාව වෙනුවෙන් වැඩිමහල්ලන් කොයි තරම් මහන්සි වෙනවද කියලා මතක් කරගන්නත් ඒක අපිට උදව් වෙනවා. එයාලට ගෞරව කරන්න ඒ නිසා අපි පෙලඹෙයි. (1 තෙස. 5:12) එයාලට කීකරු වෙද්දී සතුටින් සේවය කරන්න එයාලත් පෙලඹෙයි.—හෙබ්‍රෙ. 13:17.

12, 13. (අ) අපිට ගවේෂණය කරන්න පුළුවන් මොන වගේ තොරතුරුද? (ආ) බැලූ බැල්මට හඳුනගන්න බැරි පාඩම් තේරුම්ගන්න අමතර තොරතුරු හොයන එක උදව්වක්. ඒකට උදාහරණයක් දෙන්න.

12 ගවේෂණය කරන්න. බයිබලේ අධ්‍යයනය කරද්දී මේ ප්‍රශ්නවලටත් උත්තර හොයන්න අපිට පුළුවන්.

  • මේ කොටස ලිව්වේ කවුද?

  • මේක ලිව්වේ කොහේදීද? කවදද?

  • මේක ලියපු කාලේ සිද්ධ වුණු වැදගත් සිදුවීම් මොනවද?

බැලූ බැල්මට හඳුනගන්න බැරි පාඩම් තේරුම්ගන්න ඒ තොරතුරු අපිට උදව් වෙයි.

13 උදාහරණෙකට එසකියෙල් 14:13, 14 අපි කියවනවා කියලා හිතමු. “යම් දේශයක් මට විරුද්ධව පව් කර මට ද්‍රෝහි වුණොත් මම ඒ දේශයට විරුද්ධව මාගේ හස්තය ඔසවා එහි ඇති ආහාර ගබඩාවන් විනාශ කර දමන්නෙමි. මම ඒ දේශය තුළ සාගතයක් ඇති වීමට සලස්වා එහි සිටින මිනිසුන්ව හා සතුන්ව නැති කර දමන්නෙමි. ‘නෝවා, දානියෙල් හා යෝබ් යන තිදෙනා එම දේශයේ සිටියා නම් ඔවුන්ගේ ධර්මිෂ්ඨකම නිසා ඔවුන්ට ගලවාගත හැකි වන්නේ ඔවුන්ගේ ජීවිත පමණි.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය.” ඒ ගැන තොරතුරු ගවේෂණය කළොත් එසකියෙල් ඒක ලිව්වේ ක්‍රි.පූ. 612දී විතර කියලා දැනගන්න ලැබෙයි. නෝවා සහ යෝබ් මිය ගිහින් ඒ වෙද්දී සියවස් ගාණක් ගත වෙලා. ඒත් දෙවිට ඒ දෙන්නගේ විශ්වාසවන්තකම අමතක වෙලා තිබුණේ නැහැ. ඒක ලියද්දී දානියෙල් ජීවතුන් අතර හිටියා. ඒ වෙද්දී එයාට අවුරුදු 20ක් විතර ඇති. ඒත් දානියෙලුත් නෝවා, යෝබ් වගේ ධර්මිෂ්ඨයෙක් කියලයි එතන කියන්නේ. ඒකෙන් පේන්නේ යෞවනයන් ඇතුළු හැමෝම දෙවිට විශ්වාසවන්තව ඉන්න දරන වෑයම යෙහෝවා දෙවි දකිනවා වගේම ඔහු ඒක හුඟක් අගය කරනවා කියලයි.—ගීතා. 148:12-14.

හැම ප්‍රකාශනයකින්ම ප්‍රයෝජන ගන්න

14. යෞවනයන් සඳහා තියෙන ප්‍රකාශනවලින් එයාලට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද? ඒවායින් අනිත් අයටත් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

14 යෞවනයන් සඳහා තියෙන ප්‍රකාශන. බයිබලේ තියෙන හැම කොටසකින්ම අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා අපි දැනගත්තා. ඒ හා සමානව අපේ හැම ප්‍රකාශනයකින්ම ප්‍රයෝජන ගන්නත් අපිට පුළුවන්. උදාහරණ කීපයක් බලමු. පහුගිය අවුරුදු කීපය ඇතුළත යෙහෝවා දෙවි යෞවනයන්ට ප්‍රයෝජනවත් වෙන තොරතුරු හුඟක් ලබා දුන්නා. [1] ඉස්කෝලේදී එන පීඩනවලට, යොවුන් වියට ආවේණික අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න යෞවනයන්ට ඒ තොරතුරු ප්‍රයෝජනවත්. ඒත් ඒ ලිපි අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඒවා කියවද්දී යෞවනයන් මුහුණ දෙන අභියෝග ගැන දැනුවත් වෙන්න වගේම එයාලට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න අපිට පුළුවන්.

15. යෞවනයන් සඳහා තියෙන තොරතුරු ගැන වැඩිහිටියනුත් දැනුවත් වෙන්න ඕනෙ ඇයි?

15 ‘යෞවනයන්ට තියෙන ලිපි අපිට වැඩක් නැහැ’ කියලා වැඩිහිටියන් හිතන්න හොඳ නැහැ. ඒ ලිපිවල කතා කරන අභියෝගවලට හැම ක්‍රිස්තියානියෙක්ම වගේ මුහුණ දෙනවා. උදාහරණෙකට විශ්වාසයන් ගැන නොබියව කතා කරන්න, හැඟීම් පාලනය කරගන්න, මිතුරන්ගෙන් එන පීඩනවලට හසු නොවී ඉන්න, නරක ආශ්‍රයෙන්, විනෝදයට කරන නරක දේවලින් වැළකිලා ඉන්න අපි හැමෝටම උදව් ඕනේ. ඒ ලිපි ලියලා තියෙන්නේ යෞවනයන්ට වුණත් තොරතුරු අරන් තියෙන්නේ බයිබලෙන් නිසා හැම කෙනෙක්ටම ඒවාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්.

16. අපේ ප්‍රකාශන යෞවනයන්ට උදව් වෙන තවත් විදිහක් මොකක්ද?

16 යෞවනයන්ට ලියලා තියෙන ප්‍රකාශන දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් එයාලට උදව් වෙනවා. (දේශනාකාරයා 12:1, 13 කියවන්න.) වැඩිහිටියන්ටත් ඒවාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. උදාහරණෙකට 2009 අප්‍රියෙල් ‘පිබිදෙව්!’ කලාපයේ “යෞවන අය අසති - බයිබලය කියවීමෙන් ප්‍රීතියක් ලබන්නේ කොහොමද?” කියන ලිපිය ගැන හිතන්න. ඒ ලිපියේ තිබුණු යෝජනා සහ කපලා ළඟ තියාගන්න සකස් කරලා තිබුණු කොටුව අධ්‍යයනය සඳහා හුඟක් ප්‍රයෝජනවත්. එක මවක් මෙහෙම කියනවා. “බයිබලේ කියවන එක මට කවදත් අමාරු දෙයක් වුණා.” ඒත් එයා ඒ ලිපියේ තිබුණු යෝජනා අදාළ කරගත්තා. බයිබලේ පොත් එකිනෙකට සම්බන්ධ වෙන විදිහ තේරුම්ගන්නත් මනසේ පින්තූරයක් ඇඳෙන විදිහට ඒක කියවන්නත් ඒ නිසා එයාට පුළුවන් වුණා. “දැන් මං බයිබලේ කියවන්නේ හරිම ආසාවෙන්. මීට කලින් බයිබලේ කියවද්දී මේ තරම් සතුටක් මං ලැබුවේ නෑ” කියලා එයා කියනවා.

17, 18. මහජනයා සඳහා සකස් කරලා තියෙන ලිපිවලින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

17 මහජනයා සඳහා තියෙන ලිපි. ‘මුරටැඹ’ පාඩම් කලාපය වගේ සාක්ෂිකරුවන් වෙනුවෙන්ම සකස් කරලා තියෙන සඟරාවලට අමතරව මහජනයා වෙනුවෙන් සකස් කරපු සඟරාත් තියෙනවා. ඒවාවලින් අපිටත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ කොහොමද කියලා උදාහරණෙකින් බලමු. ඔයා ආරාධනා කරපු කෙනෙක් මුල් වතාවට රැස්වීමට ආවා කියලා හිතමු. ඔයාට හුඟක් සතුටුයි. කථිකයා දේශනය දෙන වෙලාවේදී ඔයා ඒ දේශනය අහන්නේ මුල් වතාවට ආපු ඒ කෙනාව හිතේ තියාගෙනයි. ඒ තොරතුරු ගැන එයාට කොහොම හැඟෙයිද, එයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඒ තොරතුරු උදව් වෙන්නේ කොහොමද කියලා ඔයා හිතනවා. එහෙම හිතද්දී ඒ දේශනයේ කතා කරපු විෂය ගැන කලින්ට වඩා ලොකු අගයක් ඔයා තුළ ඇති වෙයි.

18 මහජනයා වෙනුවෙන්ම සකස් කරපු ලිපි කියවද්දී අපිට ඇති වෙන්නෙත් ඒ වගේ හැඟීමක්. උදාහරණෙකට ‘මුරටැඹ’ පොදු කලාපයේ සහ jw.org වෙබ් අඩවියේ තියෙන ලිපිවල බයිබලේ සඳහන් තොරතුරු ඕනෙම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් විදිහට සරලව විස්තර කරලා තියෙනවා. ඒවා කියවද්දී අපේ අවබෝධය වැඩි වෙනවා වගේම අපි දැනටමත් දන්න බයිබල් සත්‍යයන් ගැන අපිට තියෙන ඇල්මත් වැඩි වෙනවා. සේවයේ ගිහින් අපේ විශ්වාසයන් ගැන අලුත් පැතිවලින් කතා කරන්න පුළුවන් කොහොමද කියලා හිතලා බලන්නත් ඒවා උදව් වෙනවා. නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා අපිට තියෙන විශ්වාසය ‘පිබිදෙව්!’ සඟරාවෙන් තව වැඩි කරනවා. අපේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරද්දී ඒවාට උත්තර දෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්නත් ඒ සඟරාව අපිට උදව් වෙනවා.—1 පේතෘස් 3:15 කියවන්න.

19. යෙහෝවා දෙවි ලබා දෙන දේවලට අපේ අගය පෙන්නන්න පුළුවන් කොහොමද?

19 යෙහෝවා දෙවි කිසි හිඟයක් නැතුව අපේ ප්‍රයෝජනය සඳහා අපිට අවශ්‍ය උපදෙස්, මඟ පෙන්වීම් සපයනවා කියලා පැහැදිලියි. (මතෙ. 5:3) දෙවි ලබා දෙන හැම තොරතුරක්ම හොඳින් කියවමු. ඒවා අපේ ජීවිතවලට අදාළ කරගමු. අපි එහෙම කරනවා නම් යෙහෝවා දෙවි ලබා දෙන හැම සැපයුමක්ම අපි හුඟක් අගය කරනවා කියලා පෙන්නන්න අපිට පුළුවන්.—යෙසා. 48:17.

^ [1] (14 ඡේදය) ඒවාට ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 1වන සහ 2වන පොත්, දැන් අපේ වෙබ් අඩවියේ පළවෙන ‘යොවුන් සිතේ ගැටලු’ කියන ලිපි මාලාව ඇතුළත්.