Skip to content

පටුනට යන්න

දෙවි පෙන්නන මහත් කරුණාව අගය කරන්න

දෙවි පෙන්නන මහත් කරුණාව අගය කරන්න

‘අප සියලුදෙනාටම නොඅඩුව මහත් කරුණාව ලැබිණ.’—යොහ. 1:16.

ගීතිකා: 95, 13

1, 2. (අ) මිදිවත්තේ අයිතිකරු ගැන යේසුස් කියපු උපමාව විස්තර කරන්න. (ආ) ත්‍යාගශීලීකම සහ මහත් කරුණාව පෙන්නන කෙනෙක් කොයි වගේද කියලා ඒ උපමාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

මිදිවත්තක අයිතිකරුවෙක් එයාගේ වත්තේ වැඩ කරන්න සේවකයන්ව කුලියට ගන්න හිමිදිරි උදෑසනින්ම වෙළඳපොළට යනවා. එතන හිටපු සේවකයන් පිරිසක් එයා පොරොන්දු වෙන ගාණට වැඩ කරන්න එකඟ වෙනවා. ඒත් සේවකයන් මදි වුණ නිසා අයිතිකරු දවසේ විවිධ වෙලාවලදී වෙළඳපොළට ගිහින් සේවකයන්ව කුලියට ගන්නවා. එයා ඒ හැමෝටම සාධාරණ ගාණක් පොරොන්දු වෙනවා. හවස් වෙද්දී අයිතිකරු සේවකයන්ට මුදල් ගෙවනවා. හැමෝටම ඒ කියන්නේ උදේ ඉඳන් වැඩ කරපු අයටයි පැයක් විතරක් වැඩ කරපු අයටයි එයා ගෙවන්නේ එකම ගාණ. ඒත් මුළු දවසම වැඩ කරපු අය ඒ ගැන මැසිවිලි නඟනවා. එතකොට අයිතිකරු මෙහෙම අහනවා. ‘මං කියපු ගාණට ඔයාලා එකඟ වුණා නේද? මගේ සේවකයන්ට මං කැමති ගාණක් දෙන්න මට අයිතියක් නැද්ද? ඔයාලා දුෂ්ට විදිහට වැඩ කරන්නේ මං ත්‍යාගශීලී වුණ නිසාද?’—මතෙ. 20:1-15.

2 යේසුස් ඒ උපමාවෙන් යෙහෝවා දෙවිගේ ලස්සන ගතිලක්ෂණයක් ගැන මතක් කරනවා. ඒ දෙවි පෙන්නන “මහත් කරුණාවයි.” (2 කොරින්ති 6:1 කියවන්න.) දවසම වැඩ කරපු අයට ලැබුණ කුලිය පැයක් නැත්නම් පැය කීපයක් වැඩ කරපු අය ලබන්න වටින්නේ නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් අයිතිකරු හරිම කරුණාවන්ත, ත්‍යාගශීලී කෙනෙක්. ඒ නිසයි හැමෝටම එකම ගාණ ගෙව්වේ. එයා පෙන්නපු කරුණාවෙන් යෙහෝවා දෙවි පෙන්නන මහත් කරුණාව මොන වගේද කියලා තේරුම්ගන්න පුළුවන්. එක විශාරදයෙක් මහත් කරුණාව සමාන කරලා තියෙන්නේ යම් කෙනෙක් තව කෙනෙකුට දෙන තෑග්ගකටයි. ඒ කෙනා ඒ තෑග්ග ලබන්න ඇත්තටම වටින්නේ නැහැ. ඒක ලබන්න එයාට කිසිම සුදුසුකමකුත් නැහැ.

දෙවි දුන්න වටිනාම තෑග්ග

3, 4. යෙහෝවා දෙවි මිනිසුන්ට මහත් කරුණාව පෙන්නුවේ ඇයි? ඒක කළේ කොහොමද?

3 ‘නොමිලේ ලැබෙන දෙවිගේ මහත් කරුණාව’ ගැන බයිබලේ කතා කරලා තියෙනවා. (එෆී. 3:7) ඒ මහත් කරුණාව දෙවි පෙන්නුවේ කොහොමද? යෙහෝවා දෙවිට සීයට සීයක්ම කීකරු වෙන්න අපිට බැරි නිසා ඔහුගේ කරුණාව ලබන්න අපි වටින්නේ නැහැ. අපි සුදුසු මැරෙන්නයි. සලමොන් රජ කිව්වේ “කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක” කියලයි. (දේශ. 7:20) “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති. ඇත්තෙන්ම අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි” කියලා පාවුලුත් කිව්වා.—රෝම 3:23; 6:23අ.

4 ඒත් යෙහෝවා දෙවි අපිට ගොඩක් ආදරේ නිසා ඔහුගේ “එකම පුත්‍රයාගේ” ජීවිතය අපි වෙනුවෙන් දුන්නා. දෙවි මහත් කරුණාව පෙන්නපු ශ්‍රේෂ්ඨතම විදිහ ඒකයි. (යොහ. 3:16) පාවුල් ඒ ගැන මෙහෙම කිව්වා. යේසුස් “තම ජීවිතය පුද කළ නිසා ඔහුට තේජස සහ ගෞරවය නමැති ඔටුන්න පළඳවා ඇත. ඔහු සෑම මිනිසෙකු වෙනුවෙන්ම මරණයට පත් විය. එසේ කළේ දෙවිගේ මහත් කරුණාව සියලුදෙනාටම ලබා දීම සඳහාය.” (හෙබ්‍රෙ. 2:9) “ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.”—රෝම 6:23ආ.

5, 6. (අ) අපිව පාලනය කරන්න පාපයට ඉඩ දුන්නොත් වෙන්නේ මොකක්ද? (ආ) දෙවිගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන ගද්දී අද්දකින ආශීර්වාද මොනවද?

5 අපිට පාපය සහ මරණය උරුම වුණේ කොහොමද? බයිබලේ ඒ ගැන කියන්නේ “එක මිනිසෙකු කළ වරදින් මරණය රජකම් කරන්න පටන්ගත්තා” කියලයි. ඒ මිනිසා ආදම්. අපි ආදම්ගෙන් පැවතෙන නිසා පාපය සහ මරණය අපිටත් උරුම වුණා. (රෝම 5:12, 14, 17) ඒත් අපිව පාලනය කරන්න පාපයට ඉඩ නොදී ඉන්න අපිට පුළුවන්. ඒ කොහොමද? යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් යෙහෝවා දෙවි පෙන්නන මහත් කරුණාවෙන් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන්. බයිබලේ කියන්නේ මෙහෙමයි. “මිනිසුන් පව්කාරයන් බව තහවුරු වුණත් දෙවිගේ මහත් කරුණාව සියල්ලට වඩා ප්‍රබලය. එසේ වූයේ මිනිසුන්ගේ පව්කාර ස්වභාවය සහ මරණය එකට රජකම් කරනවා වෙනුවට මහත් කරුණාව රජකම් කිරීම සඳහාය. එහෙයින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරයි. එහි ප්‍රතිඵලය සදාකාල ජීවනයයි.”—රෝම 5:20, 21.

6 අපි තුළ තාමත් පව්කාර ස්වභාවය තියෙන නිසා අපි අතින් වැරදි වෙනවා. ඒත් අපි ඒ ගැන පසුතැවිලා දෙවිගෙන් සමාව ඉල්ලනවා නම් පාපයට අපිව පාලනය කරන්න ඉඩ නොදී ඉන්න අපිට පුළුවන්. පාවුල් මෙහෙම කිව්වේ ඒ නිසයි. “පව්කාර ස්වභාවයට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න. මන්ද තවදුරටත් ඔබ නීතිය යටතේ සිටින අය නොවේ. ඒ වෙනුවට ඔබ අද්දකිමින් සිටින්නේ දෙවිගේ මහත් කරුණාවයි.” (රෝම 6:14) ඒත් දෙවිගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන ගන්න නම් ‘අපි දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා හා පව්කාර ආශාවන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේ සමාජය තුළ හොඳ සිහිකල්පනාවෙන්, ධර්මිෂ්ඨකමින් හා දේවභක්තියෙන් ජීවත් වෙන්නත් ඕනේ.’තීත. 2:11, 12.

“විවිධාකාරව දක්නට ලැබෙන දෙවිගේ මහත් කරුණාව”

7, 8. දෙවිගේ මහත් කරුණාව ‘විවිධාකාරව දකින්න ලැබෙනවා’ කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූර බලන්න.)

7 “සෑම කෙනෙකුටම විවිධාකාර දීමනා ලබා දී තිබෙන නිසා විවිධාකාරව දක්නට ලැබෙන දෙවිගේ මහත් කරුණාව ලබා ඇති යහපත් භාරකරුවන් ලෙස එම දීමනා එකිනෙකාට සේවය කිරීම සඳහා භාවිත කරන්න” කියලා පේතෘස් කිව්වා. (1 පේතෘ. 4:10) දෙවිගේ මහත් කරුණාව ‘විවිධාකාරව දකින්න ලැබෙනවා’ කියන්නේ මොකක්ද? අපි මොන දුෂ්කරතාවට මුහුණ දුන්නත් ඒවා විඳදරාගන්න දෙවි අපිට උදව් කරනවා කියන එකයි. (1 පේතෘ. 1:6) ඒකෙන් ගොඩ එන්න අවශ්‍යම දේ දෙවි අනිවාර්යයෙන්ම අපිට දෙනවා.

8 ‘අපි සියලුදෙනාටම නොඅඩුව මහත් කරුණාව ලැබිණ’ කියලා යොහන් කිව්ව දේ කොච්චර ඇත්තද! (යොහ. 1:16) දෙවි විවිධ විදිවලින් පෙන්නන කරුණාව නිසා අපි ගොඩක් ආශීර්වාද අද්දකිනවා. ඒ ආශීර්වාද මොනවද කියලා දැන් බලමු.

9. දෙවිගේ මහත් කරුණාව නිසා අපිට ලැබෙන්නේ මොකක්ද? ඒක අගය කරන්න පුළුවන් කොහොමද?

9 අපේ පව්වලට සමාව ලැබෙනවා. අපේ පව්වලට සමාව ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවි පෙන්නන මහත් කරුණාව නිසයි. ඒත් දෙවි සමාව දෙන්නේ අපි අවංකවම පසුතැවිලා, වැරදි ආශාවන් පාලනය කරගන්න දිගටම වෑයම් කරනවා නම් විතරයි. (1 යොහන් 1:8, 9 කියවන්න.) අභිෂේක ලත් අයට පාවුල් කිව්වේ “දෙවි අපව අන්ධකාරයේ ග්‍රහණයෙන් නිදහස් කර තම ප්‍රේමණීය පුත්‍රයාගේ රාජ්‍යය යටතට අපව රැගෙන ආවේය. ඔහුගේ පුත්‍රයා ගෙවූ වන්දියෙන් අපට නිදහස එනම්, අපගේ පව්වලට සමාව ලැබී තිබේ” කියලයි. (කොලො. 1:13, 14) දෙවි පෙන්නන දයාව අපි අගය කරනවා නම් ඔහුට ප්‍රශංසා කරන්න අපි පෙලඹෙනවා. අපේ පව්වලට දෙවි සමාව දෙන නිසා තව හුඟක් ආශීර්වාද අද්දකින්නත් අපිට පුළුවන්.

10. දෙවිගේ මහත් කරුණාව නිසා අපි අද්දකින්නේ මොකක්ද?

10 දෙවි එක්ක සමාදාන වෙන්න පුළුවන්. පව්කාර ස්වභාවය උරුම වෙලා තියෙන නිසා ‘අපි හිටියේ දෙවිගේ සතුරන් විදිහටයි. ඒත් දෙවි සමඟ සමාදාන වීමේ ප්‍රස්තාව ඔහුගේ පුත්‍රයාගේ මරණය තුළින් අපට උදා වුණා.’ (රෝම 5:10) ජීවිත පූජාව නිසා දෙවි එක්ක සමාදාන වෙන්න ලැබිලා තියෙන ප්‍රස්තාව දෙවිගේ මහත් කරුණාව අද්දකින විදිහක් කියලා පාවුල් අභිෂේක ලත් අයට කිව්වා. එයා කිව්වේ “අප තුළ තිබෙන විශ්වාසය පදනම් කරගෙන අපව දැන් ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර තිබෙන නිසා අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපි දෙවි සමඟ සමාදානය භුක්ති විඳිමු. අප යේසුස් කෙරෙහි විශ්වාසය තබන නිසා දෙවි වෙතට ළං වී ඔහුගේ මහත් කරුණාව අද්දැකීමට ප්‍රස්තාව දැන් අපට උදා වී ඇත” කියලයි.—රෝම 5:1, 2.

දෙවි මහත් කරුණාව පෙන්නන විදි: ශුභාරංචිය අහන්න ලැබෙන එක (11 ඡේදය බලන්න)

11. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න අභිෂේක ලත් අය වෙනත් අයට උදව් කරන්නේ කොහොමද?

11 ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න පුළුවන්. අවසාන කාලෙදී “ගැඹුරු අවබෝධය ඇති අය” ඒ කියන්නේ අභිෂේක ලත් අය ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න බොහෝදෙනෙකුට උදව් කරනවා’ කියලා අනාවැකියක තියෙනවා. (දානියෙල් 12:3 කියවන්න.) ශුභාරංචිය දේශනා කරලා, මිලියන ගාණක් දෙනාට දෙවිගේ නීති ගැන උගන්වලා එයාලා ඒක කරනවා. (යොහ. 10:16) ඒත් දෙවි මහත් කරුණාව පෙන්නුවේ නැත්නම් කාටවත් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න බැහැ. පාවුල් මෙහෙම කිව්වා. “දෙවිගේ මහත් කරුණාවෙන් ඔවුන්ව ධර්මිෂ්ඨ අය ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එය දෙවි නොමිලේ ලබා දෙන දීමනාවකි. එය ලබාගත හැකි වන්නේ ක්‍රිස්තුස් යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙනි. අපගේ පව්කාර ස්වභාවයෙන් අපව නිදහස් කිරීමට ඔහුගේ ජීවිතය වන්දියක් ලෙස ගෙවන ලදි.”—රෝම 3:23, 24.

දෙවිට යාච්ඤා කරන්න ලැබෙන එක (12 ඡේදය බලන්න)

12. යාච්ඤාව දෙවිගේ මහත් කරුණාව අද්දකින විදිහක් කියන්නේ ඇයි?

12 දෙවි එක්ක කතා කරන්න අපිට පුළුවන්. “මහත් කරුණාව පෙන්වන තැනැත්තාණන්ගේ සිංහාසනය වෙතට ළඟා වී කිසි බියක් සැකක් නොමැතිව නිදහසේ ඔහුට යාච්ඤා කිරීමට අපට පුළුවන්” වෙලා තියෙන්නේ දෙවිගේ කරුණාව නිසයි. (හෙබ්‍රෙ. 4:16අ) ‘ක්‍රිස්තුස් කෙරෙහි අපට විශ්වාසයක් තියෙන නිසා අපට ඔහු මාර්ගයෙන් කිසි බියක් සැකක් නැතුව දෙවි සමඟ නිදහසේ කතා කිරීමටත් මහත් විශ්වාසයකින් යුතුව දෙවි වෙතට පිවිසීමේ හැකියාවත් ලැබිලා තියෙනවා.’ ඒක උතුම් වරප්‍රසාදයක්!—එෆී. 3:12.

අවශ්‍ය වෙලාවේදීම උදව් ලැබෙන එක (13 ඡේදය බලන්න)

13. “උපකාර අවශ්‍ය වේලාවේදී” දෙවිගේ මහත් කරුණාව අපි අද්දකින්නේ කොහොමද?

13 ඕනෙම කරන වෙලාවලදී උදව් ලැබෙනවා. උපකාර අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ ගැන දෙවිට කියන්න අපිට පුළුවන්. එතකොට “ඔහුගේ දයාව හා මහත් කරුණාව” අපි අද්දකියි. (හෙබ්‍රෙ. 4:16ආ) දුෂ්කරතා එද්දී අපි දෙවිට කන්නලව් කරනවා නම් අපිට උදව් කරන්න දෙවි බැඳිලා නැති වුණත් ඔහු කැමැත්තෙන්ම උදව් කරනවා. හුඟක් වෙලාවට දෙවි ඒක කරන්නේ අපේ සහෝදරයන් මාර්ගයෙන්. දෙවිගේ උදව් තියෙන නිසා “ධෛර්යය උපදවාගෙන, ‘මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද’” කියලා කියන්න අපිට පුළුවන්.—හෙබ්‍රෙ. 13:6.

14. දෙවිගේ මහත් කරුණාව නිසා අපේ හිත්වලට සහනය ලැබෙන්නේ කොහොමද?

14 හිත්වලට සහනය ලැබෙනවා. අපි මානසිකව වැටිලා ඉද්දී දෙවි අපේ හිත්වලට සහනය ලබා දීලා මහත් කරුණාව පෙන්නනවා. (ගීතා. 51:17) පීඩාවලට මුහුණ දෙමින් හිටපු තෙසලෝනික සභාවේ අයට පාවුල් කිව්වේ මෙහෙමයි. ‘අපට ප්‍රේම කරන, මහත් කරුණාවක් පෙන්වීමෙන් සදාකාල සැනසිල්ලකුත් දීප්තිමත් බලාපොරොත්තුවකුත් ලබා දුන් යේසුස් ක්‍රිස්තුස්ගෙන් හා අපගේ පියාණන් වන දෙවිගෙන්, ඔබේ සිත්වලට සැනසීමද ශක්තියද ලබා දෙන්න කියා ඉල්ලමු.’ (2 තෙස. 2:16, 17) යෙහෝවා දෙවි අපිට ආදරෙයි කියලත් අපි ගැන සැලකිලිමත් කියලත් දැනගෙන ඉන්න එකම සහනයක් නෙමෙයිද!

15. දෙවිගේ මහත් කරුණාව නිසා අපිට තියෙන බලාපොරොත්තුව මොකක්ද?

15 සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව තියෙනවා. දෙවි මහත් කරුණාව පෙන්නුවේ නැත්නම් අපිට කිසිම බලාපොරොත්තුවක් නැහැ. මොකද අපි පව්කාරයන්. (ගීතාවලිය 49:7, 8 කියවන්න.) ඒත් යෙහෝවා දෙවි අපිට ලස්සන බලාපොරොත්තුවක් දීලා තියෙනවා. යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “මගේ පියාණන්ගේ කැමැත්ත නම් පුත්‍රයාව දැක ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීමයි.” (යොහ. 6:40) “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගැලවීම ගෙන දෙන දෙවිගේ මහත් කරුණාව එළිදරව් වී ඇත” කියලා පාවුලුත් කිව්වා.—තීත. 2:11.

දෙවිගේ කරුණාව වැරදි කරන්න හේතුවක් කරගන්න එපා!

16. සමහරු දෙවිගේ කරුණාව නිදහසට හේතුවක් කරගත්තේ කොහොමද?

16 යෙහෝවා දෙවිගේ මහත් කරුණාව නිසා අපිට හුඟක් ආශීර්වාද ලැබෙනවා. ඒත් ඔහු පෙන්නන කරුණාව වැරදි කරන්න නිදහසට හේතුවක් කරගන්න හොඳ නැහැ. අතීතයේ හිටපු සමහරු ‘දෙවිගෙන් ලැබී තිබෙන මහත් කරුණාව නින්දිත ක්‍රියාවල නිරත වීම සඳහා නිදහසට හේතුවක් කරගත්තා.’ (යූද් 4) එයාලා හිතුවේ තමන් කොච්චර වැරදි කළත් කමක් නැහැ දෙවි සමාව දෙනවා කියලයි. ඒ විතරක් නෙමෙයි එයාලා අනිත් අයවත් ඒ වැරදිවලට හවුල් කරගන්න හැදුවා. අදත් කෙනෙක් ඒ විදිහට හිතනවා නම් එයා ‘දෙවි තම මහත් කරුණාවෙන් ලබා දුන් තම බලය සම්පූර්ණයෙන් නොසලකාහැර එයට පිටු පාමින් සිටින කෙනෙක්.’—හෙබ්‍රෙ. 10:29.

17. පේතෘස් දුන්න අවවාදය මොකක්ද?

17 ‘දෙවි සමාව දෙන නිසා කොච්චර වැරදි කළත් කමක් නැහැ’ කියන සිතුවිල්ල සාතන් සමහරුන්ගේ හිත්වලට දාලා තියෙනවා. ඇත්ත, යෙහෝවා දෙවි අවංකව පසුතැවෙන අයට සමාව දෙනවා. ඒත් වැරදි ආශාවන්ට විරුද්ධව අපි ලොකු සටනක් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. පේතෘස් මෙහෙම අවවාද කළා. “ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබට ඒ දේවල් ගැන කල්තියාම අවබෝධයක් ලැබී ඇති නිසා සෝදිසියෙන් සිටින්න. කිසි ප්‍රතිපත්තියකට ගරු නොකරන එවැනි අය කරන වැරදිවලට හසු නොවන්න. ඔබේ ස්ථිර අධිෂ්ඨානය නැති කර නොගැනීමට වගබලා ගන්න. අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් ලැබෙන මහත් කරුණාව සහ දැනුම දිගටම ලබාගන්න.”—2 පේතෘ. 3:17, 18.

මහත් කරුණාව අද්දකින අපිට තියෙන වගකීම්

18. දෙවිගේ මහත් කරුණාව අද්දකින අපිට තියෙන වගකීම් මොනවද?

18 යෙහෝවා දෙවි පෙන්නන මහත් කරුණාව අපි අගය කරනවා නම් අපිට ලැබිලා තියෙන දීමනා දෙවිව ගෞරවයට පත් කරන්නත් අනිත් අයට උදව් කරන්නත් අපි යොදාගන්නවා. ඒක අපේ වගකීමක්. ඒක කරන්න පුළුවන් විදිහ ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. ‘අපට විවිධාකාර දීමනා ලබා දී ඇත. ඒ ඔහුගේ මහත් කරුණාව නිසාය. අපට සේවයක් පිරිනැමීමේ ප්‍රස්තාව ලැබී ඇත්නම් ඒ සේවය දිගටම ඉටු කරමු. එසේ නැතහොත් කෙනෙක් උගන්වනවා නම් ඔහු දිගටම තම ඉගැන්වීමේ කාර්යයෙහි නිරත විය යුතුයි. කෙනෙක් උපදෙස් හා අවවාද ලබා දෙනවා නම් ඔහු දිගටම එලෙස කළ යුතුයි. එලෙසම අනුන්ට දයාව පෙන්වන තැනැත්තා එය සතුටින් කළ යුතුයි.’ (රෝම 12:6-8) අපි දෙවිගේ කරුණාව අද්දකින නිසා වෙහෙස නොබලා ශුභාරංචිය දේශනා කරන එක, අනිත් අයට උගන්වන එක, සහෝදරයන්ව දිරිගන්වන එක වගේම අපේ හිත රිද්දන අයට සමාව දෙන එක අපේ වගකීම්වලට ඇතුළත්.

19. ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?

19 යෙහෝවා දෙවිගේ මහත් කරුණාව අද්දකින අය විදිහට ‘දෙවිගේ මහත් කරුණාව පිළිබඳ ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දෙන්න’ අපි අපේ උපරිමය කරන්න ඕනේ. (ක්‍රියා 20:24) අපිට තියෙන ඒ වගකීම ගැන ඊළඟ ලිපියෙන් බලමු.