Skip to content

පටුනට යන්න

කොහේ සේවය කළත් වඩා වටින්නේ දෙවි එක්ක තියෙන බැඳීමයි

කොහේ සේවය කළත් වඩා වටින්නේ දෙවි එක්ක තියෙන බැඳීමයි

“ඔබේ වදන් මාගේ සිතේ නිදන් කරගත්තෙමි.”—ගීතා. 119:11.

ගීතිකා: 142, 92

1-3. (අ) අපි හැම වෙලාවෙම මුල් තැන දෙන්න ඕනෙ මොන දේටද? (ආ) අලුත් භාෂාවක් ඉගෙනගන්න අයට තියෙන අභියෝග මොනවද? අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

“සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” ශුභාරංචිය දේශනා කරනවා කියන අනාවැකිය අද ඉටු වෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙහෙස නොබලා කරන සේවය නිසයි. (එළි. 14:6) දෙවිගේ සෙනඟ අතරේ ඉන්න සමහරු මිෂනාරීන් හැටියට සේවය කරනවා. තවත් අය ප්‍රචාරකයන් අඩු රටවලට ගිහින් සේවය කරනවා. තවත් සමහරු තමන්ගේම රටේ වෙනත් භාෂාවක් කතා කරන සභාවක සේවය කරනවා. ඔයාත් වැඩිදෙනෙක්ට දේශනා කරන්න ඕනෙ නිසා වෙන භාෂාවක් ඉගෙනගන්න කෙනෙක්ද?

2 කොහේ සේවය කළත් දෙවිගේ හැම සේවකයෙක්ම ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න. ඒ වගේම ඒ දේ කරන්න තමන්ගේ පවුලේ අයට උදව් කරන්න. (මතෙ. 5:3) ඒත් අපි කාර්යබහුල නිසා පෞද්ගලික අධ්‍යයනය කරන්න කාලේ හොයාගන්න එක අභියෝගයක් වෙන්න පුළුවන්. වෙන භාෂාවක් කතා කරන සභාවක සේවය කරන අයට ඊට අමතරව තවත් අභියෝග තියෙනවා.

3 අලුත් භාෂාව ඉගෙනගන්න එයාලා කාලේ දෙන්න ඕනේ. එහෙමයි කියලා බයිබලේ තියෙන ගැඹුරු කාරණා අධ්‍යයනය කරන එක අතපසු කරන්න එයාලට බැහැ. (1 කොරි. 2:10) අලුත් භාෂාව හොඳට දන්නේ නැති වුණත් ගැඹුරු කාරණා තේරුම්ගන්න කරන්න පුළුවන් මොනවද? බයිබලේ තියෙන ඉගැන්වීම් දරුවන්ගේ හිත්වලට යනවද කියලා වෙනත් භාෂාවක් කතා කරන සභාවක සේවය කරන දෙමාපියන් හිතලා බලන්න ඕනෙ ඇයි?

දෙවිත් එක්ක තියෙන බැඳීමට අනතුරක්!

4. දෙවි එක්ක අපිට තියෙන බැඳීම අනතුරට ලක් වෙන්න පුළුවන් මොකක් නිසාද? උදාහරණයක් දෙන්න.

4 නෙහෙමියාගේ කාලේ වුණ සිද්ධියක් බලන්න. යෙරුසලමට ආයෙත් ආවම නෙහෙමියා දැක්කා එහේ හිටපු සමහර දරුවන්ට හෙබ්‍රෙව් භාෂාව බැහැ කියලා. (නෙහෙමියා 13:23, 24 කියවන්න.) ඒ නිසා ශුද්ධ ලියවිලිවල තිබුණ දේවල් තේරුම්ගන්න ඒ දරුවන්ට පුළුවන්කමක් තිබුණේ නැහැ. යෙහෝවා දෙවි එක්ක, දෙවිගේ සෙනඟ එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඒක එයාලට බාධාවක් වුණා. (නෙහෙ. 8:2, 8) වෙන භාෂාවක් කතා කරන සභාවක සේවය කරන කෙනෙක්ටත් බයිබලේ තියෙන ඉගැන්වීම් ඒ භාෂාවෙන් තේරුම්ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට දෙවිත් එක්ක තියෙන බැඳීම රැකගන්න එක ලේසි නැහැ.

5, 6. සමහර දෙමාපියන් තේරුම් අරන් තියෙන්නේ මොකක්ද? ඒකට හේතුව මොකක්ද?

5 වෙන භාෂාවක් කතා කරන සභාවල සේවය කරන සමහර දෙමාපියන්ට තේරිලා තියෙනවා එයාලගේ දරුවන් නමස්කාරයට සම්බන්ධ දේවල් කලින් තරම් උනන්දුවකින් කරන්නේ නැහැ කියලා. ඒකට හේතුව භාෂාව අමාරු නිසා රැස්වීම්වල උගන්වන දේවල් එයාලගේ හිතට යන්නේ නැති එක. පවුලේ අය එක්ක දකුණු ඇමරිකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය පේද්‍රෝ [1] මෙහෙම කියනවා. “නමස්කාරයට සම්බන්ධ දේවල් කටපාඩම් කරලා වැඩක් නැහැ. ඒක එන්න ඕනෙ හදවතින්මයි.”—ලූක් 24:32.

6 යම් දෙයක් වෙන භාෂාවකින් කියවනවට වඩා මව් භාෂාවෙන්ම කියවද්දී ඒක අපේ හිතට දැනෙනවා වැඩියි. වෙන භාෂාවකින් කතා කරද්දී අදහස් හුවමාරු කරන එකත් ලේසි නැහැ. අමාරුවෙන් අදහස් හුවමාරු කරගන්න හදද්දී ඒක අපේ මනසට බරක් නිසා නමස්කාරයට සම්බන්ධ දේවල් කරන්න තියෙන ආසාව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා වෙන භාෂාවක් කතා කරන සභාවක සේවය කරන අතරේ දෙවි එක්ක තියෙන බැඳීම රැකගන්න පුළුවන් හැම දේම කරන්න.—මතෙ. 4:4.

දෙවි එක්ක තිබුණ බැඳීම එයාලා රැකගත්තා

7. බැබිලෝනිවරු දානියෙල්ට කළේ මොන වගේ බලපෑමක්ද?

7 වහලුන් හැටියට බැබිලෝනියට අරන් ගිය දානියෙල්ටයි, එයාගේ යාළුවන්ටයි “කල්දිවරුන්ගේ සියලු භාෂා” උගන්වලා බැබිලෝනියේ නම් දුන්නා. (දානි. 1:3-7) බැබිලෝනිවරුන් උත්සාහ කළේ එයාලගේ ආගම අදහන්න, චාරිත්‍ර පිළිපදින්න හෙබ්‍රෙව් තරුණයන්ව පොලඹවන්නයි. දානියෙල්ට එහෙදී දුන්න නමට බැබිලෝනියේ ප්‍රධාන දෙවියාගේ නම ඇතුළත් වුණා. සමහරවිට රජට ඕන වෙන්න ඇත්තේ යෙහෝවා දෙවිට වඩා එයාලගේ දෙවියා බලවත් කියලා දානියෙල්ට කාවද්දන්න වෙන්න ඇති.—දානි. 4:8.

8. යෙහෝවා දෙවි එක්ක තිබුණ බැඳීම දානියෙල් රැකගත්තේ කොහොමද?

8 බැබිලෝනියේ රජ නියම කරපු රසවත් කෑම දානියෙල්ට ලැබුණා. ඒත් දෙවිගේ නීතියට අනුව ඒවා අපවිත්‍රයි කියලා දැනගෙන හිටපු නිසා ඒවා නොකා ඉන්න එයා “හදවතින්ම අදිටන් කරගත්තා.” (දානි. 1:8) වෙන රටක හිටියත් දෙවිත් එක්ක තියෙන බැඳීම රැකගන්න දානියෙල්ට පුළුවන් වුණේ තමන්ගේ මව් භාෂාව වුණ හෙබ්‍රෙව් භාෂාවෙන් තිබුණ “ලියවිලි” එයා නිතිපතා අධ්‍යයනය කරපු නිසයි. (දානි. 9:2) බැබිලෝනියට ගිහින් අවුරුදු 70කට විතර පස්සෙත් එහේ අය එයාට දානියෙල් කියන හෙබ්‍රෙව් නමින් කතා කරපු එකෙන් පේන්නේ එයා දෙවිගෙන් ඈත් වුණේ නැහැ කියලයි.—දානි. 5:13.

9. 119වෙනි ගීතිකාවේ ලේඛකයාට දේවවචනය ගැන හැඟුණේ කොහොමද?

9 119වෙනි ගීතිකාවේ ලේඛකයාට විරුද්ධව අධිපතීන් කුමන්ත්‍රණය කළත් එයා සැලුණේ නැහැ. අනිත් අය වගේ එයා දෙවිගේ නීති කඩ කළේ නැහැ. එහෙම කරන්න පුළුවන් වුණේ එයා ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරපු නිසයි. (ගීතා. 119:23, 61) හදවතට කතා කරන්න දේවවචනයට ඉඩ දුන්න නිසයි.—ගීතාවලිය 119:11, 46 කියවන්න.

යෙහෝවා දෙවි එක්ක ඔයාට තියෙන බැඳීම රැකගන්න

10, 11. (අ) බයිබලේ අධ්‍යයනය කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? (ආ) ඒක කරන්න පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

10 අපි කොච්චර කාර්යබහුල වුණත් පෞද්ගලික අධ්‍යයනයට, පවුලේ නමස්කාරයට කාලේ හොයාගන්නම ඕනේ. (එෆී. 5:15, 16) ඒ දේවල් කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නිකම්ම පිටු ගාණක් කියවලා ඉවර කරන එකවත් රැස්වීමේදී අදහසක් ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන එකවත් නෙමෙයි. අපිට ඕනෙ අපේ හදවතට කතා කරන්න දේවවචනයට ඉඩ දෙන්න. අපේ විශ්වාසය ශක්තිමත් වෙන්නේ එතකොටයි.

11 ඒක කරන්න නම් අපි අධ්‍යයනය කරද්දී ඒ තොරතුරු අනිත් අයව දිරිගන්වන්න පාවිච්චි කරන්න පුළුවන් පැති ගැන හිතනවා වගේම ඒවා අපිට පෞද්ගලිකව ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් හිතන්න ඕනේ. (ෆිලි. 1:9, 10) අපි තේරුම්ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ අපි රැස්වීම්වලට, සේවයට, දේශනයකට සූදානම් වෙද්දී හුඟක් වෙලාවට අපි කරන්නේ ඒ තොරතුරු අපිට අදාළ වෙන පැති ගැන හිතනවට වඩා අනිත් අයට අදාළ වෙන පැති ගැන හිතන එකයි. මේ උදාහරණේ බලන්න. කෝකියෙක්ට ඕනෙ අනිත් අයට රසට කෑම දෙන්න. ඒ නිසා එයා හදන හැම කෑමක්ම පිළිගන්වන්න කලින් ඒවාවලින් ටිකක් කාලා බලනවා. ඒත් ඒ ටික කෑවා කියලා එයාට නිරෝගීව ඉන්න පුළුවන්ද? බැහැ. එයා හැමදාම එයාටම කියලා පෝෂ්‍යදායී කෑම හදාගෙන කන්න ඕනේ. ඒ වගේ අපිත් රැස්වීම්වලට, සේවයට, වෙනත් පැවරුමක් කරන්න සූදානම් වෙන එක විතරක් මදි. දෙවි එක්ක තියෙන බැඳීම දිගටම රැකගන්න නම් නිතිපතා බයිබලේ අධ්‍යයනය කරන්නම ඕනේ. ඊටපස්සේ ‘දෙවි මට කියන්න හදන්නේ මොනවද’ කියලා හිතන්නත් ඕනේ.

12, 13. මව් භාෂාවෙන්ම බයිබලේ කියවන එක ප්‍රයෝජනවත් කියලා හුඟක් අයට හැඟෙන්නේ ඇයි?

12 වෙන භාෂාවක් කතා කරන සභාවල සේවය කරන හුඟක් අය තේරුම් අරන් තියෙනවා තමන්ගේ “මව් භාෂාවෙන්ම” නිතිපතා බයිබලේ අධ්‍යයනය කරන එක ප්‍රයෝජනවත් කියලා. (ක්‍රියා 2:8) පැවරුම අත් නෑර, හොඳින් කරන්න නම් ඒ රටේ භාෂාවෙන් පවත්වන රැස්වීම්වලින් ලැබෙන පෝෂණය විතරක් මදි, තමන්ගේම භාෂාවෙන් දේවල් අධ්‍යයනය කරන්න ඕනෙ කියලා මිෂනාරිවරුන් හොඳින් දන්නවා.

13 අවුරුදු 8ක් තිස්සේ පර්සියානු භාෂාව ඉගෙනගන්න එලේන් මෙහෙම කියනවා. “මං පර්සියානු භාෂාවෙන් රැස්වීම්වලට ලෑස්ති වෙද්දී වැඩි අවධානයක් දෙන්නේ භාෂාවට. කියවන දේවල් තේරුණත් ඒවා මගේ හිතට යනවා කියලා කියන්න බැහැ. ඒ නිසයි මං මගේ භාෂාවෙන් බයිබලේ, ප්‍රකාශන අධ්‍යයනය කරන්න කාලේ ගන්නේ.”

දරුවාගේ හැඟීම් තේරුම්ගන්න

14. දෙමාපියන් අවධානයෙන් ඉන්න ඕන මොන දේ ගැනද? ඒ ඇයි?

14 සත්‍ය ඉගැන්වීම් දරුවාගේ හිතට යනවද කියලා දෙමාපියන් හොඳ අවධානයකින් ඉන්න ඕනේ. සර්ජ් සහ මියුරියල් අවුරුදු 3කට වැඩි කාලයක් වෙනත් භාෂාවක් කතා කරන සභාවක සේවය කළා. එයාලගේ පුතාට අවුරදු 17ක් විතර වෙද්දී එයා රැස්වීම්, සේවයේ යන්නේ ආසාවකින් නෙමෙයි කියලා එයාලට තේරුණා. මියුරියල් මෙහෙම කියනවා. “ඉස්සර පුතා සේවයේ ගියේ ආසාවෙන්. ඒත් සේවයේ ගිහින් එයාගේම භාෂාවෙන් කතා කරන්න බැරි එක එයාට වදයක් වුණා.” සර්ජ් මෙහෙම කියනවා. “සේවය කරන්න පුතාට තිබුණ ආසාව අඩු වෙන්නේ භාෂාව නිසයි කියලා අපිට තේරුණම කලින් සභාවට ආයෙත් යන්න අපි තීරණය කළා.”

සත්‍ය ඉගැන්වීම් දරුවාගේ හිතට කාවද්දන්න (14 සහ 15 ඡේද බලන්න)

15. (අ) මව් භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවකට ආයෙත් යනවද කියලා තීරණය කරන්න දෙමාපියන්ට උදව් වෙන්නේ මොනවද? (ආ) ද්විතීය කතාව 6:5-7 දෙමාපියන්ට දෙන උපදෙස මොකක්ද?

15 මව් භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවකට ආයෙත් යනවද නැද්ද කියන තීරණය ගන්න මේ පැති ගැන හිතන එක දෙමාපියන්ට උදව්වක්. මුලින්ම හිතන්න දරුවන්ට දෙවිට ළං වෙන්න උදව් කරන ගමන්ම භාෂාවකුත් උගන්වන්න තමන්ට කාලය, ශක්තිය තියෙනවද කියලා. සමහරවිට දෙමාපියන්ට තේරෙයි දරුවන් රැස්වීම් යන්නේ, සේවයේ යන්නේ ආසාවෙන් නෙමෙයි කියලා. එයාලා සභාවේ ඉන්නේ එච්චර සතුටින් නෙමෙයි කියලා. ඒ පැති ගැන හිතන එක හොඳ තීරණයක් ගන්න උදව් වෙයි. යෙහෝවා දෙවි එක්ක දරුවෝ ශක්තිමත් බැඳීමක් ඇති කරගෙන කියලා තේරුණම වෙන භාෂාවක් කතා කරන සභාවකට ආයෙත් යන්න සමහරවිට පුළුවන් වෙයි.—ද්විතීය කතාව 6:5-7 කියවන්න.

16, 17. යෙහෝවා දෙවිට ළං වෙන්න දරුවන්ට උදව් කරන්න සමහර දෙමාපියන් කරලා තියෙන්නේ මොනවද?

16 වෙන භාෂාවක් කතා කරන සභාවක සේවය කරන අතරේ තමන්ගේ මව් භාෂාවෙන් දරුවන්ට දෙවි ගැන උගන්වන්න සමහර දෙමාපියන් විවිධ ක්‍රම පාවිච්චි කරනවා. චාල්ස් දුවලා 3දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. එයාලා යන්නේ ලිංගාලා භාෂාව කතා කරන සභාවකට. එයා මෙහෙම කියනවා. “අපි දුවලා එක්ක පාඩම කරන්නේ, පවුලේ නමස්කාරය කරන්නේ අපේ මව් භාෂාවෙන්. සේවයේදී ලිංගාලා භාෂාවෙන් කතා කරන විදිත් අපි පුරුදු වෙනවා. ඒ භාෂාවෙන් එක එක ගේම්ස් කරනවා. එතකොට විනෝද වෙන ගමන් භාෂාවත් ඉගෙනගන්නවා.”

අලුත් භාෂාව ඉගෙනගන්න, රැස්වීමේදී අදහස් ඉදිරිපත් කරන්න වෑයම් කරන්න (16 සහ 17 ඡේද බලන්න)

17 කෙවින්ට අවුරුදු 8ක සහ අවුරුදු 5ක දුවලා දෙන්නෙක් ඉන්නවා. එයාලා යන්නේ වෙන භාෂාවක් කතා කරන සභාවකට නිසා රැස්වීම්වලදී උගන්වන දේවල් දුවලට හොඳටම තේරෙන්නේ නැහැ. එයා මෙහෙම කියනවා. “අපි දුවලා දෙන්නට වෙන වෙනම පාඩමක් කරනවා. ඒක කරන්නේ ප්‍රංශ භාෂාවෙන්. ඒකනේ අපේ මව් භාෂාව. මාසෙකට සැරයක් ප්‍රංශ භාෂාවෙන් තියෙන රැස්වීමකටත් යනවා. නිවාඩු කාලෙට මව් භාෂාවෙන් තියෙන සමුළුවලටත් යනවා.”

18. (අ) දරුවන්ට උදව් කරද්දී රෝම 15:1, 2 තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න පුළුවන් කොහොමද? (ආ) දෙමාපියන් දීලා තියෙන සමහර යෝජනා මොනවද? (අමතර සටහන බලන්න.)

18 දෙවිගේ යාළුවෙක් වෙන්න දරුවන්ට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ දන්නේ දෙමාපියන්. ඒ නිසා පවුලේ යහපත වෙනුවෙන් මොනවද කරන්නේ කියලා තීරණය කරන්න ඕනෙ එයාලයි. [2] (ගලා. 6:5) මියුරියල්ටයි එයාගේ සැමියාටයි වෙන භාෂාවක් කතා කරන සභාවක සේවය කරන්න ලොකු ආසාවක් තිබුණත් ඊට වඩා වටින්නේ පුතාට දෙවිත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න උදව් කරන එකයි කියලා එයාලා තේරුම්ගත්තා. (රෝම 15:1, 2 කියවන්න.) සර්ජ් මෙහෙම කියනවා. “අපේ මව් භාෂාව කතා කරන සභාවට ගියාට පස්සේ පුතා ආයෙත් නමස්කාරයට සම්බන්ධ දේවල් උනන්දුවෙන් කරන්න පටන්ගත්තා. එයා බව්තීස්ම වුණා. දැන් එයා ස්ථාවර පුරෝගාමියෙක්. වෙන භාෂාවක් කතා කරන සභාවකට යන එක ගැනත් එයා හිතනවා.”

දෙවිගේ වදන් ඔයාගේ හිතේ නිදන් කරගන්න

19, 20. දේවවචනය අපි අගය කරනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

19 දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න නම් අපි බයිබලේ අපේම භාෂාවෙන් කියවන්න ඕනෙ කියලා දෙවි දන්නවා. “සෑම තරාතිරමකම” අයට දෙවි ගැන නිවැරදි දැනුමක් ලබාගන්න පුළුවන් වෙන විදිහට දෙවි බයිබලේ භාෂා සිය ගාණකින් මිනිසුන් අතට පත් කරලා තියෙන්නේ ඒ නිසයි. (1 තිමෝ. 2:4) දෙවි හැම කෙනෙක්ටම එක වගේ ආදරෙයි කියලත් ඒකෙන් තේරෙනවා.

20 දිගටම යෙහෝවා දෙවිට ළං වෙලා ඉන්න අපි හැමෝම ලොකු වෑයමක් දරන්න ඕනේ. ඒක කරන්න අපේම භාෂාවෙන් බයිබලේ නිතිපතා කියවලා අධ්‍යයනය කරන එක වැදගත්. එතකොට දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න අපේ පවුලේ අයට උදව් කරන්න විතරක් නෙමෙයි දේවවචනය ගැන කොච්චර ලොකු අගයක් අපේ හිතේ තියෙනවද කියලා පෙන්නන්නත් අපිට පුළුවන්.—ගීතා. 119:11.

^ [1] (5 ඡේදය) නම් වෙනස් කර ඇත.

^ [2] (18 ඡේදය) හොඳ තීරණයක් ගන්න දෙමාපියන්ට උදව් වෙන ප්‍රතිපත්ති ගැන දැනගන්න 2002 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ කලාපයේ “පිටරටකදී දරු දැරියන් ඇති දැඩි කිරීමේ අභියෝග හා ආශීර්වාද” කියන ලිපිය බලන්න.