Skip to content

පටුනට යන්න

ඔයා ප්‍රඥාවන්ත කෙනෙක්ද?

ඔයා ප්‍රඥාවන්ත කෙනෙක්ද?

එකමත් එක පිටිසර ගමක දුප්පත් පිරිමි ළමයෙක් හිටියා. එයා මෝඩයි කියලා හිතලා ගමේ අය නිතරම එයාව විහිළුවට ගත්තා. ගමට අමුත්තෝ ආවාම එයාලට පේන්න පොඩි රන් කාසියකුයි, ටිකක් ලොකු රිදී කාසියකුයි ගමේ අය ළමයාට පෙන්නලා එකක් තෝරගන්න කියනවා. රන් කාසියේ වටිනාකම රිදී කාසිය වගේ දෙගුණයක්. කැමති කාසියක් තෝරගන්න කියලා ගමේ අය කිව්වම ළමයා රිදී කාසිය අරන් දුවනවා.

ගමට ආපු අමුත්තෙක් දවසක් ළමයාගෙන් ඇහුවා “රන් කාසිය රිදී කාසිය වගේ දෙගුණයක් වටිනවා කියලා ඔයා දන්නැද්ද” කියලා. “මං දන්නවා” කියලා ළමයා කිව්වා. “එහෙනම් ඇයි ඔයා රිදී කාසිය ගන්නේ? රන් කාසිය ගත්තොත් ඔයාට වාසියිනේ” කියලා අමුත්තා කිව්වා. එතකොට ළමයා මෙහෙම කිව්වා. “මං රන් කාසිය ගත්තොත් එයාලා මේ සෙල්ලම නවත්තයි. ඔයා දන්නවද මං ළඟ රිදී කාසි කීයක් තියෙනවද කියලා?” ඒ කතන්දරේ ඉන්න ළමයා ළඟ වටින ගතිලක්ෂණයක් තිබුණා. ඒ තමයි ප්‍රඥාව. ඒක අපි හැමෝම වර්ධනය කරගන්න ඕනෙ ගතිලක්ෂණයක්.

බයිබලේ කියන්නේ “ප්‍රඥාවද ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න. ඔබ කිසි අනතුරකට භය නොවී සුරක්ෂිතව ගමන් කරනු ඇත. ඔබේ පාද කිසිවක පැටලෙන්නේද නැත” කියලයි. (හිතෝ. 3:21, 23) “ප්‍රඥාව” කියන්නේ මොකක්ද, ප්‍රඥාවන්තව වැඩ කරන්නේ කොහොමද කියලා දන්නවා නම් ඒක ජීවිතේ ආරක්ෂා කරගන්න උදව්වක්. දෙවිට සේවය කරමින් යන මේ ගමනේදී එන අභියෝග ජය ගන්නත් ඒක උදව්වක්.

ප්‍රඥාවන්ත කෙනෙක් කොයි වගේද?

ප්‍රඥාවන්ත කෙනෙක් නිකම්ම දැනුම, අවබෝධය තියෙන කෙනෙක් නෙමෙයි. කෙනෙක් තොරතුරු රැස් කරගද්දී එයා දැනුම ලබාගන්නවා. ඒ තොරතුරු එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න එක අවබෝධයයි. දැනුම, අවබෝධ කරගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්නවා නම් කෙනෙක් ප්‍රඥාවන්තයි කියලා කියන්න පුළුවන්.

හිතන්න, ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොත කියවලා ඒකේ තියෙන දේවල් ඉක්මනින් තේරුම්ගන්න කෙනෙක් ගැන. පාඩමේදී අහන ප්‍රශ්නවලට එයා හරි උත්තරත් දෙනවා. රැස්වීම් එන්නත් පටන්ගන්නවා. අදහසුත් ඉදිරිපත් කරනවා. එයා හොඳ දියුණුවක් ලබනවා වගෙයි පේන්නේ. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ එයා ප්‍රඥාවන්තයි කියලා. සමහරවිට එයා හොඳ මොළකාරයෙක් වෙන්න ඇති. එයා ඇත්තටම ප්‍රඥාවන්තයි කියලා කියන්න පුළුවන් බයිබලෙන් ලබාගන්න දැනුම, අවබෝධය එයාගේ ජීවිතේට අදාළ කරගද්දියි. එයා තීරණ ගන්නේ හොඳට දුර දිග බලලා කියලා පැහැදිලියි නම්, ඒ තීරණ නිසා හොඳ ප්‍රතිඵල අද්දකිනවා නම් ඒ කියන්නේ එයා ප්‍රඥාවන්තව වැඩ කරනවා කියලයි.

පර්වතයක් මත සහ වැලි මත තම නිවෙස් ගොඩනැඟූ මිනිසුන් දෙන්නෙක් ගැන යේසුස් උපමාවක් කිව්වා. (මතෙ. 7:24-27) පර්වතය මත නිවස ගොඩනැඟූ මිනිසාව හඳුන්වන්නේ “නුවණැති” කෙනෙක් හැටියටයි. මොකද එයා බැලුවේ ලාභේ, ඉක්මන නෙමෙයි. වැලි මත ගොඩනැඟුවොත් ඒක අනාගතයට කොයි විදිහට බලපායිද කියලයි එයා හිතලා බැලුවා. කුණාටුවක් ආවත් ඒ ගෙට හානියක් වුණේ නැත්තේ ඒ නිසයි. ප්‍රඥාවන්තව වැඩ කරන්න අපි ඉගෙනගන්නේ කොහොමද? දිගටම අපේ ජීවිතෙන් ඒක පෙන්නන්නේ කොහොමද?

ප්‍රඥාවන්තව වැඩ කරන්න නම් . . .

මීකා 6:9 මෙහෙම කියනවා. “ප්‍රඥාවන්ත තැනැත්තා දෙවිගේ නාමය කෙරෙහි ගරුබිය පෙන්වයි.” ප්‍රඥාවන්ත වෙන්න නම් තියෙන්න ඕනෙ මුල්ම දේ යෙහෝවා දෙවි ගැන ගරුබියක්. කෙනෙක්ට ගරු කරන්න නම් එයා ගැන, එයා හිතන විදිහ ගැන අපි තේරුම්ගන්න ඕනේ. එතකොට තමයි එයා ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. එයාගෙන් ඉගෙනගන්න, එයාව ආදර්ශයට ගන්න අපි පෙලඹෙන්නේ. යෙහෝවා දෙවි ගැන ගරුබියක් පෙන්වන්න නම් අපි නිකම්ම දෙවිගේ නම දැනගෙන මදි. දෙවි මොන වගේ කෙනෙක්ද, ඔහුගේ ප්‍රතිපත්ති මොනවද කියලා ඉගෙනගන්න ඕනේ. දෙවිත් එක්ක තියෙන බැඳීම අගය කරනවා නම් අපි අද කරන දේවල් අනාගතයේදී ඒ බැඳීමට කොහොම බලපායිද කියලා හිතලා බලනවා. තීරණයක් ගන්න කලින් දෙවිගේ ප්‍රමිති සැලකිල්ලට ගන්නවා. එහෙම කරද්දී ප්‍රඥාවන්තව වැඩ කරන්න අපි ඉගෙනගන්නවා.

“නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි. ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි” කියලා හිතෝපදේශ 18:1 කියනවා. අපි පරෙස්සම් වුණේ නැත්නම් දන්නෙම නැතුව යෙහෝවා දෙවිගෙන්, ඔහුගේ සෙනඟගෙන් ඈත් වෙන්න පුළුවන්. දෙවිට ගරුබිය දක්වන අයව අපි නිතරම ආශ්‍රය කරන්න ඕනෙ ඒ නිසයි. රැස්වීම්වලට ගිහින් සභාවේ අය එක්ක කාලය ගත කරන එක ප්‍රඥාවන්ත වෙන්න උදව්වෙන තවත් දෙයක්. ඒත් නිකම්ම රැස්වීම් යනවා වෙනුවට උගන්වන දේවලට හොඳ අවධානයක් දීලා, ඒවා අදාළ කරගන්න ඕනෙ පැති ගැන කල්පනා කරන එක වැදගත්.

ඒ විතරක් නෙමෙයි හිතේ තියෙන හැම දෙයක්ම දෙවිට යාච්ඤා කරලා කියනවා නම් අපි දෙවිගෙන් ඈත් වෙන්නේ නැහැ. (හිතෝ. 3:5, 6) බයිබලය, දෙවිගේ සංවිධානයෙන් ලැබෙන ප්‍රකාශන අපි කියවද්දී අපේ ජීවිතේට අදාළ වෙන පැති ගැන හිතනවා නම් අපි දැන් කරන දේවල් අනාගතයේදී කොහොම බලපායිද කියලා තේරුම්ගන්න අපිට පුළුවන්. ඊටපස්සේ ඒ අනුව තීරණ ගන්න. අද්දැකීම් තියෙන සහෝදරයන් උපදෙස් දෙද්දී ඒවා පිළිගන්න. (හිතෝ. 19:20) ඒ දේවල් කරද්දී ‘සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකර’ ඒක තව වර්ධනය කරගන්න අපිට පුළුවන්.

පවුල් ජීවිතේදී ප්‍රඥාවන්තව වැඩ කරන්න

ප්‍රඥාවන්තව වැඩ කරද්දී පවුල් බැඳීම් ආරක්ෂා වෙනවා. උදාහරණෙකට බිරිඳකට උනන්දු කරන්නේ සැමියාට “ගැඹුරු ගෞරවයක්” දක්වන්න කියලයි. (එෆී. 5:33) ඒත් හිතන්න, සැමියෙක් බිරිඳව බය කරලා, බල කරලා ඒ ගෞරවය ලබාගන්න හදනවා කියලා. රණ්ඩු කරන්න ඕනෙ නැති නිසා සැමියා ඉන්න තැනදී බිරිඳ එයාට ගරු කරනවා වගේ පෙන්නයි. ඒත් සැමියා නැති තැනදී එයාට ගරු කරයි කියලා හිතන්න බැහැ. එහෙමනම් බිරිඳගේ ගෞරවය දිනාගන්න විදිහට වැඩ කරන සැමියෙක් මොන වගේද? ‘පවුලේ බැඳීම දිගටම ආරක්ෂා කරගන්න නම් මම වැඩ කරන්න ඕනෙ කොහොමද’ කියලා එයා හිතනවා. ආදරේ, කරුණාව වගේ දෙවිගේ බලයේ උදව්වෙන් ඇති වෙන ගුණාංග වර්ධනය කරගන්න එයා ලොකු වෑයමක් දරනවා. ඒ වගේ සැමියෙක්ට ගරු කරන්න බිරිඳක් පෙලඹෙන්නේ නිතැතින්මයි. සැමියා ගෞරවය දිනාගන්න විදිහට වැඩ කළත් නැතත් එයාට ගැඹුරු ගෞරවයක් පෙන්නයි කියලා දෙවිට සේවය කරන බිරිඳකගෙන් දෙවි බලාපොරොත්තු වෙනවා.—ගලා. 5:22, 23.

සැමියාට උනන්දු කරලා තියෙන්නේ බිරිඳට ආදරේ කරන්න කියලා. (එෆී. 5:28, 33) හිතන්න, බිරිඳක් පවුලේ සිද්ධ වෙන සමහර දේවල් සැමියාගෙන් හංගනවා කියලා. එහෙම කරන්නේ ඒවා දැනගත්තොත් සැමියාට කේන්ති යයි, එයාගේ ආදරේ අඩු වෙයි කියලා හිතලා වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ බිරිඳක් ප්‍රඥාවන්තයිද? ඒ ගැන සැමියාට ආරංචි වුණාම බිරිඳ ගැන තියෙන ආදරේ වැඩි වෙයිද? ඊට වෙනස්ව ප්‍රඥාවන්ත බිරිඳක් සුදුසු වෙලාවක් හොයාගෙන, සන්සුන්ව, වෙච්ච හැම දේම සැමියාට කියනවා. බිරිඳගේ අවංකකම දකිද්දී සැමියාගේ ආදරේ තව වැඩි වෙයි.

අද ඔයා දරුවාව නිවැරදි කරන විදිහ අනාගතයට බලපානවා

දරුවන් දෙමාපියන්ට කීකරු වෙන්න ඕනේ. ඒත් දෙමාපියන් දරුවන්ව නිවැරදි කරන්න ඕනෙ දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුවයි. (එෆී. 6:1, 4) ඒ කියන්නේ නීති ලැයිස්තුවක් දරුවට දෙන එක නෙමෙයි. දරුවෙක් එයාට දාලා තියෙන නීති ගැන, ඒවා කැඩුවොත් ලැබෙන දඬුවම් ගැන දැනගෙන ඉඳලා මදි. ඒ වෙනුවට දරුවන් කීකරු වෙන්න ඕනෙ ඇයි කියලා ප්‍රඥාවන්ත දෙමාපියන් තේරුම් කරලා දෙනවා.

හිතන්න, දරුවෙක් අම්මාට හරි තාත්තාට හරි කිසි ගරුසරුවක් නැතුව කතා කරනවා කියලා. ඒ වෙලාවේ කේන්ති අරන් දරුවට බැන්නොත්, ගැහුවොත් එයාට ලැජ්ජා හිතෙයි. බය නිසා කට වහගෙන ඉඳියි. ඒත් එයාගේ හිතේ දෙමාපියන් ගැන ඇති වෙන්නේ තරහක්. එයා දෙමාපියන්ගෙන් ඈත් වෙන්නත් ඒක හේතු වෙයි.

ප්‍රඥාවන්තව වැඩ කරන දෙමාපියන් දරුවන්ව නිවැරදි කරන්න කලින් ඒක කරන්නේ කොහොමද, ඒක දරුවට කොහොම බලපායිද කියලා හිතනවා. දරුවා වරදක් කළාම ඉක්මන් වෙලා දඬුවම් කරන එක ප්‍රඥාවන්ත නැහැ. ඒ වෙනුවට දරුවට එයාගේ වරද ගැන ආදරෙන් පැහැදිලි කරන්න. කීකරුකම දෙවි එයාගෙන් බලාපොරොත්තු වෙනවා කියලත් ඒක එයාගෙම හොඳටයි කියලත් තේරුම් කරන්න. දෙමාපියන්ට ගරු කරන එකෙන් තමන් යෙහෝවා දෙවිට ගරු කරනවා කියලා එතකොට එයා තේරුම්ගනියි. (එෆී. 6:2, 3) ආදරෙන් කියලා දෙද්දී උගන්වන දේ දරුවාගේ හිතට කාවදිනවා. එයාව නිවැරදි කරන්නේ ආදරේ නිසයි කියලා දැනෙද්දී දෙමාපියන්ට තියෙන ගෞරවයත් වැඩි වෙයි. ඒ විදිහට නිවැරදි කරද්දී බරපතළ කාරණයකදී වුණත් දෙමාපියන්ගෙන් උදව් ඉල්ලන්න දරුවා පෙලඹෙයි.

හිත රිදෙයි කියලා හිතලා සමහර දෙමාපියන් දරුවාව නිවැරදි කරන්නේ නැහැ. ඒත් ඒකෙන් අනාගතයේදී දරුවා ප්‍රයෝජන ලබයිද? එයා දෙවිට ගරුබිය දක්වයිද? දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එක ඥානවන්ත දෙයක් කියලා තේරුම්ගනියිද? එයාට මඟ පෙන්නන්න, නිවැරදි කරන්න දෙවිට ඉඩ දෙයිද? නැත්නම් දෙවිගෙන් ඈත් වෙයිද?—හිතෝ. 13:1; 29:21.

දක්ෂ කැටයම්කරුවෙක් නිර්මාණයක් කරන්න කලින් එයා කරන්න අදහස් කරන්නේ මොන වගේ නිර්මාණයක්ද, ඒක කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. සැලැස්මක් නැතුව හිතෙන හිතෙන තැන්වලට ගල් කට්ටෙන් කොටලා හොඳ නිර්මාණයක් කරන්න බැහැ කියලා එයා දන්නවා. ප්‍රඥාවන්ත දෙමාපියනුත් ඒ වගේ. එයාලා දෙවිගේ ප්‍රතිපත්ති ඉගෙනගන්නවා. ඒවා අදාළ කරගන්න පුළුවන් විදි ගැන හිතනවා. එතකොට දෙවි ගැන ගරුබියක් ඇති වෙනවා. දෙවිටත්, සංවිධානයටත් ළං වෙලා ඉන්න නිසා ප්‍රඥාවන්තව වැඩ කරන්න එයාලා ඉගෙනගන්නවා. පවුල රැකගන්න ඒක උදව්වක්.

හැම දවසකම අපි තීරණ ගන්නවා. සමහර ඒවා අපේ අනාගතයට බලපානවා. ඉක්මන් වෙලා තීරණ ගන්නවා වෙනුවට ඒ තීරණ අනාගතයට කොහොම බලපායිද කියලා හිතලා බලන එක වැදගත්. තීරණයක් ගන්න කලින් දෙවිගේ මඟ පෙන්වීම් පතන්න. දෙවිගේ ප්‍රඥාවන්ත ඔවදන් අදාළ කරගන්න. එතකොට දිගටම ප්‍රඥාවන්තව වැඩ කරන්නත් ජීවිතය රැකගන්නත් පුළුවන්.—හිතෝ. 3:21, 22.