Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

“දේවරාජ්‍යයේ ප්‍රචාරකයෙනි, අවදි වෙන්න!”

“දේවරාජ්‍යයේ ප්‍රචාරකයෙනි, අවදි වෙන්න!”

1937 දෙසැම්බර් ‘රාජ්‍ය සේවාවේ’ * එංගලන්ත කලාපයේ “දේවරාජ්‍යයේ ප්‍රචාරකයෙනි, අවදි වෙන්න!” කියන ප්‍රබල සිහිගැන්වීම පළ වුණා. ඒකේ සඳහන් වුණේ “ගත වුණු අවුරුදු 10 ඇතුළත කැපීපෙනෙන වර්ධනයක් දකින්න ලැබුණේ නැහැ” කියලයි. ‘රාජ්‍ය සේවාවේ’ මුල් පිටුවේ පළ වුණු 1928 ඉඳන් 1937 දක්වා සේවා වාර්තාවෙන් ඒ කාරණය ඇත්තක් කියලා ඔප්පු වුණා.

පුරෝගාමීන්ගේ ගණන වැඩිද?

බ්‍රිතාන්‍යයේ සේවයේ වර්ධනයක් දකින්න ලැබුණේ නැත්තේ ඇයි? අවුරුදු ගණනක් ගත වුණත් සේවය වැඩියෙන් කරන්න ප්‍රචාරකයන් පියවර ගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍යයේ පුරෝගාමීන් 200ක් විතර හිටියොත් හොඳටම ඇති කියලත් එයාලා සේවය කරන්න ඕනෙ ප්‍රචාරකයන් නැති ප්‍රදේශවල කියලත් ශාඛා කාර්යාලයෙන් තීරණය කරලා තිබුණා. පුරෝගාමි සේවය කරන්න ආසාවෙන් හිටපු අයට උනන්දු කළේ යුරෝපයේ වෙනත් රටවලට ගිහින් සේවය කරන්න කියලයි. ඒ නිසා හුඟක් පුරෝගාමීන් භාෂාව දන්නේ නැති වුණත් සේවය කරන්න වෙනත් රටවලට ගියා.

වෙනස් වෙන්න කාලේ ඇවිත්

1937 ‘රාජ්‍ය සේවාවේ’ ප්‍රචාරකයන්ට ඉලක්කයක් දුන්නා. ඒ 1938 අවුරුද්ද ඇතුළත සේවය සඳහා පැය මිලියනයක් වෙන් කරමු කියන ඉලක්කයයි. මාසෙකට ප්‍රචාරකයෙක් පැය 15ක්, පුරෝගාමියෙක් පැය 110ක් සේවය සඳහා වෙන් කළොත් ඒ ඉලක්කයට ළං වෙන්න පුළුවන් කියලා ඒකේ සඳහන් වුණා. සතියේ සමහර දවස්වල පැය 5ක් සේවය කරන්න සැලසුම් කරන්න කියලත් සතියේ දවස්වල හවස් වරුව නැවත බැලීම් සඳහා වෙන් කරන්න කියලත් යෝජනා කරලා තිබුණා.

පුරෝගාමීන් සේවයේ උද්‍යෝගයෙන් හවුල් වුණා

සේවය වැඩියෙන් කරන්න ලැබුණු ඒ යෝජනා නිසා හුඟදෙනෙක්ට අලුත් පණක් ලැබුණා. සහෝදරි හිල්ඩා පැජෙට් * මෙහෙම කිව්වා. “ලෝක මූලස්ථානයෙන් ලැබුණු ඒ සිහිගැන්වීම ඒ වෙලාවේ අපිට ඕනම වෙලා තිබුණු දෙයක්.” සහෝදරි වොලස් කිව්වේ මෙහෙමයි. “දවසකට පැය 5ක් සේවය කරන්න දීපු යෝජනාව නියමයි. දවසම දෙවි වෙනුවෙන් වෙන් කරන්න ලැබුණු එක තරම් සතුටක් තවත් නෑ. මහන්සි දැනුණත් අපි ගෙදර ආවේ හරිම සතුටින්.” කල් දාන්නේ නැතුව ඒ සිහිගැන්වීමට කීකරු වෙන්න ඕනෙ කියලා තරුණ වයසේ හිටපු ස්ටීවන් මිලර් තේරුම්ගත්තා. පුළුවන් කාලේ උපරිමයෙන් සේවය කරන්න එයා තීරණය කළා. බයිසිකල්වලින් ගිහින් දවස පුරාම සේවය කරපු හැටි, තැටිගත කරපු දේශන සමහර දවස්වල හවසට වාදනය කරපු හැටි එයාට හොඳට මතකයි. එයාලා පණිවිඩය සඳහන් කරපු පුවරු එල්ලගෙන, සඟරා අතේ තියාගෙන වීථි සේවය කළා.

“අපිට පුරෝගාමීන් 1,000ක් ඕනේ” කියලත් ‘රාජ්‍ය සේවාවේ’ පළ වුණා. පුරෝගාමීන් සඳහා කලින් තිබුණු සැලැස්මේ වෙනසක් කරපු නිසා සභාවක් යටතේ සේවය කරන්න එයාලට මඟ පෙන්නුවා. එතකොට සභාවලට සහය දෙන්න, සභාවන් ශක්තිමත් කරන්න එයාලට පුළුවන්. සහෝදරි එලස් මෙහෙම කිව්වා. “පුරෝගාමි සේවය කරන්න කාලේ දැන් කියලා හුඟක් සහෝදරයෝ තේරුම්ගත්තා. එතකොට මට වයස 13ක් වුණත් මටත් ඕන වුණේ පුරෝගාමි සේවය කරන්න.” වයස 15ක් වෙද්දී ඒ කියන්නේ 1940දී එයා ඒ ඉලක්කය ජය ගත්තා. පස්සේ කාලෙක එයාත් එක්ක විවාහ වුණු පීටර්ත් පුරෝගාමි සේවය ගැන හිතලා බැලුවේ ‘රාජ්‍ය සේවාවේ’ පළ වුණු තොරතුරු නිසයි. එයා 1940දී පුරෝගාමි සේවය පටන්ගන්න ස්කාර්බරෝවලට ගියා.

ජොන්සන් යුවළ පුරෝගාමි සේවය පටන්ගත්තෙත් ඒ කාලේ. එයාලගේ ගේ, බඩු මුට්ටු විකුණලා ඒ සල්ලි සේවය සඳහා පාවිච්චි කරන්න එයාලා තීරණය කළා. සහෝදර ජොන්සන් රස්සාවෙන් අස් වුණා. මාසයක් ඇතුළත ඒ දෙන්නා පුරෝගාමි සේවය පටන්ගත්තා. “ඒ තීරණය ගන්න අපි බය වුණේ නෑ. අපි ඒ හැම දේම කළේ ආසාවෙන්.”

නවාතැන් සඳහා අලුත් සැලැස්මක්

පුරෝගාමීන්ගේ ගණන දවසින් දවස වැඩි වෙද්දී එයාලට සහය දෙන්න පුළුවන් විවිධ ක්‍රම ගැන වගකීම් දරන සහෝදරයන් හිතුවා. වියදම් අඩු කරගන්න ඕනෙ නිසා පුරෝගාමීන් කීපදෙනෙකුට එක නිවසක පදිංචි වෙලා සේවය කරන්න කියලා එයාලා යෝජනා කළා. 1938දී ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න චාරිකා සේවය කළ සහෝදර ජිම් පියවර ගත්තා. ෂෙෆීල්ඩ් නගරයේ ලොකු නිවසක් කුලියට අරන් පුරෝගාමීන් 10දෙනෙක් ඒකේ පදිංචි වුණා. ඒ ගෙදරට අවශ්‍ය සමහර බඩු මුට්ටු, පුරෝගාමීන්ට වියදම් පියවගන්න අවශ්‍ය සල්ලි ළඟපාත සභාවේ සහෝදරයනුත් ලබා දුන්නා. ජිම් මෙහෙම කිව්වා. “එයාලට සේවය කරන්න නගරේ විවිධ තැන් බෙදලා දීලා තිබුණා. හැමදාම එයාලා ඒ පැතිවලට ගිහින් දේශනා කළා. එහෙම යන්න කලින් දිනපදය සාකච්ඡා කරන්න එයාලා අමතක කළේ නැහැ.”

බ්‍රිතාන්‍යයේ හුඟදෙනෙක් පුරෝගාමි සේවය පටන්ගත්තා

පැය මිලියනයක් වාර්තා කරන්න දුන්න ඉලක්කය ජය ගන්න පුරෝගාමීන්ගෙන් වගේම ප්‍රචාරකයගෙන් ලැබුණේ නොමද සහයක්. ප්‍රතිඵලයක් විදිහට සේවයේ හැම අංගයකම ලොකු වර්ධනයකුත් අවුරුදු 5ක් ඇතුළත ප්‍රචාරකයන්ගේ ගණන 3 ගුණයක විතර වැඩි වීමකුත් දකින්න ලැබුණා. සේවය වැඩි කරන්න ලැබුණු මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා දෙවිගේ සෙනඟගේ විශ්වාසය ශක්තිමත් වුණා. යුද්දේ නිසා මුහුණ දෙන්න වුණු දුෂ්කරතා විඳදරාගන්න උදව් වුණේ ඒ විශ්වාසයයි.

මේ වෙද්දීත් බ්‍රිතාන්‍යයේ පුරෝගාමීන්ගේ ගණන දවසින් දවස වැඩි වෙමින් තියෙනවා. පහුගිය අවුරුදු 10 ඇතුළත කීප වතාවක්ම පුරෝගාමීන්ගේ උපරිම සංඛ්‍යාව වාර්තා වුණා. දැනට වාර්තා වෙලා තියෙන වැඩිම සංඛ්‍යාව 2015 ඔක්තෝබර් මාසයේ වාර්තා වුණු 13,224යි. පූර්ණකාලීන සේවය කියන්නේ ජීවිතේ ගත කරන්න පුළුවන් හොඳම විදිවලින් එකක් කියලා ඒ පුරෝගාමීන් තේරුම් අරන් ඉන්නවා.

^ 3 ඡේ. කලින් හැඳින්නුවේ “ඉන්ෆෝමන්ට්” කියලා.

^ 8 ඡේ. සහෝදරි පැජෙට්ගේ ජීවිත කතාව 1995 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ කලාපයේ 19-24 පිටුවල පළ වුණා.