Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දෙවියන් ඔයාට දීපු වටිනාම තෑග්ග

දෙවියන් දීපු තෑග්ග අගය කරන්න ඔයාට පුළුවන් කොහොමද?

දෙවියන් දීපු තෑග්ග අගය කරන්න ඔයාට පුළුවන් කොහොමද?

‘ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි. ඔහු මිය ගියේ ඔහුගේ මරණය නිසා ජීවත් වන සියලුදෙනා තමන් වෙනුවෙන් ජීවත් නොවී තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා උදෙසා ජීවත් වීම සඳහාය.’—2 කොරින්ති 5:14, 15.

අපිට තෑග්ගක් ලැබුණම ඒ වෙනුවෙන් අපි ස්තුති කරන්න ඕනේ. යේසුස් ඒ ගැන කාවැද්දුවා. දවසක් ලාදුරු හැදිලා තිබුණු 10දෙනෙක්ව ඔහු සුව කළා. හැබැයි ස්තුති කරන්න ආපහු ආවේ එක් කෙනෙක් විතරයි. එතකොට යේසුස් මෙහෙම ඇහුවා. ‘දහදෙනාම සුව වුණා නේද? අනික් නවදෙනා කොහේද?’ (ලූක් 17:12-17) සැලකිලිමත් වුණේ නැත්නම් අනිත් අය අපිට කරන හොඳ දේවල් අපිට ඉක්මනින්ම අමතක වෙන්න පුළුවන්.

යේසුස්ගේ ජීවිත පූජාව එතෙක් මෙතෙක් දීපු වටිනාම තෑග්ගයි. දෙවියන් ඔයා වෙනුවෙන් කරපු ඒ දේට ඔයාගේ අගය පෙන්වන්න පුළුවන් කොහොමද?

  • තෑග්ග දීපු කෙනාව දැන හඳුනා ගන්න. යේසුස්ගේ ජීවිත පූජාවෙන් මිනිසුන් හැමෝටම සදාකාල ජීවිතය ඉබේම ලැබෙන්නේ නැහැ. යේසුස් කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.” (යොහන් 17:3) ඔයා පුංචි කාලෙදී කෙනෙක් ඔයාගේ ජීවිතය බේරගත්තා කියලා ඔයා දැනගත්තොත් ඒ කෙනා කවුද, එයා එහෙම කළේ ඇයි කියලා ඔයා හොයලා බලන්නේ නැද්ද? ඔයාගේ ජීවිතය බේරගන්න යේසුස්ගේ ජීවිත පූජාව දීපු යෙහෝවා දෙවියන්ට ඕනෙ ඔයා ඔහු ගැන හොයලා බලලා ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නවාටයි. “දෙවිට ළං වන්න” කියලා ඔහුම අපිට කියන්නේ ඒ නිසයි.—යාකොබ් 4:8.

  • යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන්න. “පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙනවා.” (යොහන් 3:36) විශ්වාසය කියන්නේ හැඟීමක් විතරක් නෙවෙයි. ඒක ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ. (යාකොබ් 2:17) කෙනෙක් තෑග්ගක් දෙද්දී ඔයා ඒක ගත්තොත් තමයි ඒක ඔයාට අයිති වෙන්නේ. යේසුස්ගේ ජීවිත පූජාවටත් ඒක අදාළයි. ඒක ඔයාටම ලැබුණු තෑග්ගක් කරගන්න නම් දෙවියන් කැමති ඔයා කොයි විදිහට ජීවත් වෙනවාටද කියලා දැනගෙන ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ. * නිදොස් හෘදය සාක්ෂියක් වගේම වැරදිවලට සමාවත් දෙවියන්ගෙන් ඉල්ලන්න. ජීවිත පූජාව ගැන විශ්වාස කරන හැමෝටම සාමය, සතුට පිරි ජීවිතයක් ලැබෙනවා කියන එක සැක කරන්නේ නැතුව දෙවියන්ට ළං වෙන්න.—හෙබ්‍රෙව් 11:1.

  • යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවට සහභාගි වෙන්න. දෙවියන් අපි වෙනුවෙන් කරපු දේ අවුරුදු පතා සිහි කරයි කියලා යේසුස් බලාපොරොත්තු වුණා. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා. “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.” (ලූක් 22:19) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2017 අප්‍රියෙල් 11වෙනි අඟහරුවාදා හිරු බැස ගියාට පස්සේ යේසුස්ගේ මරණය සිහි කරනවා. පැයක විතර කාලයක් ඇතුළත පැවැත්වෙන ඒ අවස්ථාවට යේසුස්ගේ මරණය සහ ඒ තුළින් ලැබෙන ආශීර්වාද ගැන කරන දේශනයකුත් ඇතුළත්. ගිය අවුරුද්දේ ලොව පුරා ඉන්න කෝටි 2ක විතර සෙනඟක් ඒ අවස්ථාවට සහභාගි වුණා. දෙවියන් දීපු වටිනාම තෑග්ග වෙනුවෙන් ඔහුට ස්තුති කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔයාටත් ආරාධනා කරන්න කැමතියි.

^ 7 ඡේ. දෙවියන්ව දැන හඳුනා ගන්නත් ඔහුට ළං වෙන්නත් පුළුවන් හොඳම විදිහ තමයි බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගන්න එක. ඒක කරන්න පුළුවන් විදිහ ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් අහන්න. නැත්නම් www.pr418.com/si කියන අපේ වෙබ් අඩවියට යන්න.