Skip to content

පටුනට යන්න

යේසුස්ගේ පෙනුම ඇත්තටම මොන වගේද?

යේසුස්ගේ පෙනුම ඇත්තටම මොන වගේද?

යේසුස්ගේ පෙනුම ඇත්තටම මොන වගේද කියලා කියන්න නම් ඔහුගේ රුව බලාගෙන ඇඳපු චිත්‍රයක් හරි හදපු මෘර්තියක් හරි තියෙන්න ඕනේ. ඒත් යේසුස් කවදාවත් එහෙම දේකට පෙනී ඉඳලා නැහැ. ඒ වුණත් සියවස් ගණනාවක් පුරා සිත්තරුන් යේසුස්ගේ රුව එයාලගේ තෙලිතුඩින් සිතුවම් කරලා තියෙනවා.

එයාලා යේසුස්ගේ පෙනුම මොන වගේද කියලා හරියටම දැනගෙන හිටියේ නැතත් එයාලගේ සංස්කෘතිය, ආගමික විශ්වාසයන් සහ එයාලට ඒ චිත්‍ර අඳින්න කියලා කියපු අයගේ කැමැත්ත අනුව යේසුස්ගේ හැඩරුව හිතින් මවාගෙන චිත්‍රයට නැඟුවා. ඒත් යේසුස් ගැනත් ඔහුගේ ඉගැන්වීම් ගැනත් මිනිසුන්ට තියෙන විශ්වාසයන්වලට ඒ චිත්‍ර ලොකු බලපෑමක් කරලා තියෙනවා. ඔහු ගැන වැරදි වටහාගැනීම් ඇති කරගන්නත් ඒවා හේතු වෙලා තියෙනවා.

සමහරු යේසුස්ව චිත්‍රයට නඟලා තියෙන්නේ දිග කොණ්ඩයක් සහ හීනි රැවුලක් තියෙන දුකෙන් ඉන්න මලානික පෙනුමක් තියෙන කෙනෙක් විදිහට. තවත් අය හිසට උඩින් රැස් වළල්ලක් විහිදෙන, මිනිසුන්ගෙන් වෙන් වෙලා ඉන්න, අමුතු බලයක් තියෙන කෙනෙක් විදිහටත් යේසුස්ව චිත්‍රයට නඟලා තියෙනවා. ඒත් යේසුස්ගේ පෙනුම මොන වගේද කියලා දැනගන්න උදව් වෙන හෝඩුවාවන් බයිබලයේ තියෙනවා. දැන් ඔහු ඉන්නේ මොන වගේ තත්වයකද කියලා දැනගන්නත් ඒවා උදව් වෙනවා.

“ඔබ මා වෙනුවෙන් ශරීරයක් සූදානම් කළේය”

පේන විදිහට යේසුස් ඒ වචන කිව්වේ බව්තීස්ම වුණ වෙලාවේ. (හෙබ්‍රෙව් 10:5; මතෙව් 3:13-17) ඔහුට තිබුණේ මොන වගේ ශරීරයක්ද? ගාබ්‍රියෙල් දේවදූතයා යේසුස් ගැන මරියාට මෙහෙම කිව්වා. ‘ඔබේ කුසේ දරුවෙක් පිළිසිඳගනියි. ඔහු දෙවිගේ පුත්‍රයායි.’ (ලූක් 1:31, 35) ආදම්වත් හැඳින්නුවේ ‘දෙවිගේ පුතෙක්’ විදිහට. එහෙමනම් යේසුස් කියන්නේ ආදම් වගේම පරිපූර්ණ කෙනෙක්. (ලූක් 3:38; 1 කොරින්ති 15:45) යේසුස්ට පිරිපුන් ශක්තිමත් ශරීරයක් තිබුණා කියලා ඒකෙන් පැහැදිලියි. ඔහුගේ මව මරියා වගේ යුදෙව්වෙක්ට තිබුණ හැඩරුව ඔහුටත් තියෙන්න ඇති.

ඒ කාලේ හිටපු යුදෙව්වන් මූණ පුරා රැවුල වැව්වා. එයාලා ඒක සැලකුවේ ගෞරවාන්විත දෙයක් විදිහට. ඒත් එයාලා ඕනෑවට වඩා දිගටවත් අපිළිවෙළටවත් රැවුල වැවුවේ නැහැ. යේසුත් මූණ පුරා රැවුල වැව්වා. ඔහුත් අනිවාර්යයෙන්ම රැවුල සහ කොණ්ඩය පිළිවෙළකට කපලා තියාගන්න ඇති. කොණ්ඩය කැපුවේ නැත්තේ නසරීතවරුන් විතරයි.—ගණන් කතාව 6:5; විනිශ්චයකරුවෝ 13:5.

යේසුස්ගේ ජීවිතේ මුල් අවුරුදු 30න් වැඩි හරියක්ම ඔහු කළේ වඩු වැඩ. (මාක් 6:3) බර වැඩ කරන්න යේසුස්ට පුළුවන් වුණේ ශක්තිමත් සිරුරක් තිබුණ නිසයි. එක අවස්ථාවකදී ඔහු ‘ලණුවලින් කසයක් හදාගෙන, බැටළුවන්ව හා ගවයන්ව විකුණමින් හිටිය සියලුදෙනාව දේවමාලිගාවෙන් එළවලා මුදල් මාරු කරන්නන්ගේ කාසි බිමට හළලා එයාලගේ මේසත් පෙරළලා දැම්මා.’ (යොහන් 2:14-17) ඒ වගේ දෙයක් කරන්න දුර්වල සිරුරක් තිබුණ කෙනෙකුට බැහැ. දෙවියන් දුන්න ශරීරය යේසුස් යොදාගත්තේ ඔහුගේ පැවරුම ඉටු කරන්න. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.” (ලූක් 4:43) ඔහු පලස්තීනය පුරාම ඇවිදගෙන ගිහින් ශුභාරංචිය දේශනා කළා. එහෙම කරන්න පුළුවන් නිරෝගී කෙනෙකුට විතරයි.

“මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි”

යේසුස්ගේ ඒ ආරාධනාව “වෙහෙස වූ බරින් පීඩිත වූ” අය පිළිගත්තේ හරිම සතුටින්. (මතෙව් 11:28-30) ඔහුගේ කාරුණික පෙනුම නිසාත් හොඳ හැසිරීම නිසාත් ඔහු ළඟට යන්න ඒ අය බය වුණේ නැහැ. ඔහුගෙන් ඉගෙනගන්න ගිය අයට ඔහුගේ ආදරය, කරුණාව දැනුණා. පුංචි දරුවොත් ඔහු එක්ක කාලය ගත කළේ සතුටින්.—මාක් 10:13-16.

යේසුස් මැරුණු දවසේ ඔහු හුඟක් දුක් වින්දා තමයි. ඒත් ඔහු දුකින් කාලේ ගත කරපු කෙනෙක් නෙවෙයි. උදාහරණයකට ඔහු කානා නුවරේ තිබුණු විවාහ උත්සවයකට ගියා. (යොහන් 2:1-11) මිනිසුන් එකතු වුණු තවත් අවස්ථාවලදී ඔහු හිතට දැනෙන විදිහට හුඟක් වටිනා දේවල් ඉගැන්නුවා.—මතෙව් 9:9-13; යොහන් 12:1-8.

යේසුස් වැඩියෙන්ම සතුටු වුණේ සදාකාල ජීවනය ගැන අනිත් අයට කියලයි. (යොහන් 11:25, 26; 17:3) ඒ බලාපොරොත්තුව නිසා අනිත් අය ලැබුවෙත් ලොකු සතුටක්. ගෝලයන් 70දෙනෙක් ශුභාරංචිය දේශනා කරලා ලබපු අද්දැකීම් කියද්දී යේසුස් “මහත් ප්‍රීතියකින්” මෙහෙම කිව්වා. ‘දෙවි ඔබේ නම් ස්වර්ගයෙහි සටහන් කර තිබෙන නිසා ඔබ ප්‍රීති විය යුතුයි.’—ලූක් 10:20, 21.

“නමුත් ඔබ එවැනි අයට වඩා වෙනස් අය විය යුතුයි”

යේසුස්ගේ කාලේ හිටපු ආගමික නායකයන් එයාලට අවධානය ගන්නත් එයාලගේ අධිකාරිය ප්‍රදර්ශනය කරන්නත් හුඟක් දේවල් කළා. (ගණන් කතාව 15:38-40; මතෙව් 23:5-7) ඒත් යේසුස් ඔහුගේ නියෝජිතයන්ට කිව්වේ ‘මිනිසුන්ව දරුණු විදිහට පාලනය කරන්න’ එපා කියලයි. (ලූක් 22:25, 26) ඒ වගේම “විශේෂ සළු ඇඳගෙන එහා මෙහා ඇවිදීමටත් වෙළඳපොළවලදී ආචාර ලබන්නත් කැමති නීතිය පිටපත් කරන්නන්ගෙන් පරෙස්සම් වන්න” කියලත් ඔහු අනතුරු ඇඟෙව්වා.—මාක් 12:38.

යේසුස් මිනිසුන් එක්ක ඉද්දී ඔහු විශේෂ කෙනෙක් විදිහට කැපීපෙනුණේ නැහැ. (යොහන් 7:10, 11) නියෝජිතයන් 11දෙනා අතරත් ඔහුට කැපීපෙනෙන හැඩරුවක් තිබුණේ නැහැ. යේසුස්ව අත්අඩංගුවට ගන්න ආපු අයට ඔහුව හඳුනගන්න “ලකුණක්” විදිහට යූදස් යේසුස්ව සිඹගත්ත එකෙන් ඒක පැහැදිලි වෙනවා.—මාක් 14:44, 45.

යේසුස්ට තිබුණේ වැඩිදෙනෙක් ඔහුව චිත්‍රයට නඟලා තියෙනවා වගේ පෙනුමක් නෙවෙයි කියලා අපි බලපු තොරතුරුවලින් පැහැදිලි වෙනවා. කොහොමවුණත් වඩා වැදගත් වෙන්නේ ඔහුගේ පෙනුම ගැන හිතනවාට වඩා දැන් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න එකයි.

“තව ටික දවසකින් පසු ලෝකය මාව තවත් දකින්නේ නැහැ”

යේසුස් ඒ වචන කියපු දවසේ ඔහු මිය ගියාට පස්සේ ඔහුගේ සිරුර තැන්පත් කළා. (යොහන් 14:19) ඔහු එදා ‘බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කළා.’ (මතෙව් 20:28) ඒත් තුන්වෙනි දවසේ දෙවියන් ඔහුට “ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙස” ආයෙත් ජීවිතය දුන්නා. ඒ වුණත් දෙවියන් ටික දවසකට ‘මිනිසුන් ඉදිරියේ පෙනී සිටීමට ඔහුට අවස්ථාව දුන්නා.’ (1 පේතෘස් 3:18; ක්‍රියා 10:40) ඒ අවස්ථාවලදී ඔහුගේ පෙනුම මොන වගේ තියෙන්න ඇතිද? ඔහුට කිට්ටුවෙන්ම හිටපු අයට වුණත් ඔහුව හඳුනගන්න බැරි වුණා. මරියා මග්දලේනා හිතුවේ ඔහු උයනේ සේවකයෙක් කියලයි. එම්මාවුස් ගමට යන ගෝලයෝ දෙන්නා හිතුවේ ඔහු අමුත්තෙක් කියලයි. මිය යන්න කලින් ඔහුට තිබුණ පෙනුමට වඩා වෙනස් පෙනුමක් ඔහුට තිබුණා කියලා ඒකෙන් පැහැදිලියි.—ලූක් 24:13-18; යොහන් 20:1, 14, 15.

දැන් යේසුස් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න යේසුස් මිය ගිහින් අවුරුදු 60කට විතර පස්සේ යොහන් දැක්ක දර්ශනයක් උදව් වෙනවා. යොහන් යේසුස්ව දැක්කේ කුරුසයක ඇණ ගහපු අසරණ මිනිසෙක් විදිහට නෙවෙයි. “රජවරුන්ගේ රජු, ස්වාමිවරුන්ගේ ස්වාමියා” විදිහටයි. දේවරාජ්‍යයේ රජ විදිහට ඔහු ළඟදීම ඔහුගේ සතුරන්ව විනාශ කරලා මිනිසුන්ට සදාකාලයටම ආශීර්වාද ලබා දෙනවා.—එළිදරව් 19:16; 21:3, 4.