Skip to content

පටුනට යන්න

“යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න”

“යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න”

‘යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න. විශ්වාසවන්තව කටයුතු කරන්න.’—ගීතා. 37:3.

ගීතිකා: 133, 63

1. යෙහෝවා දෙවි අපිව නිර්මාණය කළේ මොන හැකියාවන් ඇතුවද?

යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ හරිම පුදුමාකාර විදිහට. දෙවි අපිට සිතීමේ හැකියාව දුන්නා. ඒ නිසා අනාගතය ගැන සැලසුම් කරන්න, ගැටලු විසඳගන්න අපිට පුළුවන්. (හිතෝ. 2:11) සැලැස්මකට අනුව වැඩ කරලා ජීවිතේ ඉලක්ක ජය ගන්න අවශ්‍ය හැකියාව, ශක්තිය දෙවි අපිට දුන්නා. (ෆිලි. 2:13) ඒ විතරක් නෙමෙයි ඔහු අපිට හෘදය සාක්ෂියක් දීලා තියෙනවා. හරි වැරැද්ද නිවැරදිව හඳුනගෙන වැරදි දේවල් නොකර ඉන්නත් අඩුපාඩු හදාගන්නත් හෘදය සාක්ෂිය අපිට උදව්වක්.—රෝම 2:15.

2. දෙවි කැමති අපේ හැකියාවන් අපි කොහොම පාවිච්චි කරනවටද?

2 අපේ හැකියාවන්වලින් අපි ප්‍රයෝජන ගනියි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. මොකද දෙවි අපිට ආදරෙයි. ඔහු දන්නවා ඒ හැකියාවන් පාවිච්චි කළොත් අපිට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. ඒ හැකියාවන් යොදාගෙන යහපත් දේවල් කරන්න කියලා දෙවි අපිට මතක් කරන්නේ ඒ නිසයි. උදාහරණෙකට “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි” කියලත් “ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න” කියලත් හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් වෙනවා. (හිතෝ. 21:5; දේශ. 9:10) ග්‍රීක ලියවිල්ලේ කියන්නේ ‘අපට ප්‍රස්තාව ලැබෙන සෑම අවස්ථාවකදීම සියලුදෙනාටම යහපත් දේවල් කරමු’ කියලයි. ‘සෑම කෙනෙකුටම විවිධාකාර දීමනා ලබා දී තිබෙන නිසා එම දීමනා එකිනෙකාට සේවය කිරීම සඳහා භාවිත කරන්න’ කියලත් සඳහන් වෙනවා. (ගලා. 6:10; 1 පේතෘ. 4:10) අපි යහපත් දේවල් කරනවා දකින්න යෙහෝවා දෙවි කැමතියි කියලා පැහැදිලියි.

3. මිනිසුන්ට කරන්න බැරි දේවල් මොනවද?

3 මිනිසුන් විදිහට අපිට කරන්න බැරි දේවලුත් තියෙනවා කියලා යෙහෝවා දෙවි හොඳට දන්නවා. උරුම වෙලා තියෙන පාපය, මරණය නැති කරන්න අපිට බැහැ. හැම කෙනෙක්ටම තීරණ ගන්න නිදහස තියෙන නිසා අනිත් අය කරන කියන දේවල් පාලනය කරන්නත් අපිට බැහැ. (1 රාජා. 8:46) අපිට කොච්චර අද්දැකීම් තිබුණත් කොච්චර දැනුම තිබුණත් යෙහෝවා දෙවි එක්ක බලද්දී අපි අතදරුවෝ වගේ.—යෙසා. 55:9.

ප්‍රශ්නවලට මුහුණ දෙද්දී “යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න”

4. මේ ලිපියේ සාකච්ඡා කරන්නේ මොනවද?

4 ජීවිතේ හැම කාරණයකදීම අපි යෙහෝවාදෙවිගේ මඟ පෙන්වීම් පතන්න ඕනේ. අපිට කරන්න බැරි දේවල් අපි වෙනුවෙන් කරන්න දෙවිට පුළුවන් කියන විශ්වාසය තියෙන්නත් ඕනේ. එහෙමයි කියලා අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් නොකර ඉන්න අපිට බැහැ. ප්‍රශ්න විසඳගන්න, අනිත් අයට උදව් කරන්න අපිට පුළුවන් හැම දේම කරන්න ඕනේ. (ගීතාවලිය 37:3 කියවන්න.) ඒ කියන්නේ යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියන ගමන් යහපත් දේවල් කරන්න ඕනෙ කියන එකයි. අතීතයේ හිටපු නෝවා, දාවිත් සහ දෙවිගේ තවත් සේවකයන් ඒ දේ කළා. අපිට කරන්න පුළුවන් දේවල් සහ කරන්න බැරි දේවල් අතර වෙනස හඳුනගන්න එයාලගේ ආදර්ශ උදව් වෙනවා. දැන් ඒ ගැන බලමු.

දුෂ්ට මිනිසුන්ගෙන් වට වුණ ලොවක

5. නෝවා ජීවත් වුණේ මොන වගේ සමාජයකද?

5 නෝවා ජීවත් වුණ කාලේ “පොළොව සැහැසික ක්‍රියාවලින් පිරී තිබුණා.” මිනිසුන් ඉවක්බවක් නැතුව අනාචාරයේ යෙදුණා. (උත්. 6:4, 9-13) යෙහෝවා දෙවි ඒ දුෂ්ට සමාජය විනාශ කරනවා කියලා නෝවා දැනගෙන හිටියත් මිනිසුන් ජීවත් වුණ විදිහ දකිද්දී නෝවා දුක් වෙන්න ඇති. ඒත් ඒ වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද කියලා එයා තේරුම්ගත්තා.

විරුද්ධවාදිකම් (6-9 ඡේද බලන්න)

6, 7. (අ) නෝවාට කරන්න බැරි දේවල් මොනවද? (ආ) අපි ඉන්න තත්වය නෝවා හිටපු තත්වයට සමාන වෙන්නේ කොහොමද?

6 නෝවාට කරන්න බැරි දේවල්. ජලගැල්ම ගැන දෙවි දුන්න අනතුරු ඇඟවීම නෝවා අත් නෑර දේශනා කළා. ඒත් ඒ පණිවිඩය පිළිගන්න කියලා මිනිසුන්ට බල කරන්නවත් ජලගැල්ම ඉක්මනින් ගේන්නවත් තමන්ට බැහැ කියලා එයා තේරුම්ගත්තා. ඒ නිසා දෙවි නියමිත වෙලාවේදී හැම දුෂ්ටකමක්ම අයින් කරන්න පියවර ගනියි කියන විශ්වාසයෙන් නෝවා ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් වුණා.—උත්. 6:17.

7 අපි ඉන්නෙත් දුෂ්ටකම් පිරුණ ලෝකෙක. ඒත් හැම දුෂ්ටකමක්ම අවසන් කරනවා කියලා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. (1 යොහ. 2:17) එදා නෝවා වගේ අද අපිත් දේශනා කරනවා. ඒත් “රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” පිළිගන්න කියලා මිනිසුන්ට බල කරන්න අපිට බැහැ. “මහත් පීඩාව” ගේන දවස ඉක්මන් කරන්නත් අපිට බැහැ. (මතෙ. 24:14, 21) ඒත් යෙහෝවා දෙවි ඔහුගේ පොරොන්දුව ඉටු කරනවා කියලා නෝවාට වගේ අපිටත් ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. (ගීතා. 37:10, 11) දෙවි තීරණය කරලා තියෙන දවසටම ඒ විනාශය ගේනවා. දවසකින්වත් දෙවි ඒක කල් දන්නේ නැහැ කියලා අපිට ස්ථිරයි.—හබ. 2:3.

8. නෝවා අවධානය දුන්නේ මොනවටද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

8 නෝවාට කරන්න පුළුවන් දේවල්. තමන්ට කරන්න බැරි දේවල් ගැන හිතලා බලාපොරොත්තු අත්හරිනවා වෙනුවට නෝවා තමන්ට කරන්න පුළුවන් දේවලට අවධානය දුන්නා. “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ නෝවා” දෙවි දුන්න අනතුරු ඇඟවීම ඒ විදිහටම අනිත් අයට කිව්වා. (2 පේතෘ. 2:5) විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න ඒක එයාට උදව් වුණා. දේශනා කරනවට අමතරව නැවක් හදන්න කියලා දෙවි දුන්න පැවරුම එයා විශ්වාසවන්තව කළා.—හෙබ්‍රෙව් 11:7 කියවන්න.

9. නෝවාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

9 නෝවා වගේ අපිත් “ස්වාමීන් වෙනුවෙන්” වෙහෙස නොබලා සේවය කරනවා. (1 කොරි. 15:58) නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන එක, නඩත්තු කරන එක ඒ සේවයට ඇතුළත්. ශාඛා කාර්යාලවල, ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලවල නැත්නම් සමුළුවල විවිධ අංශවල ලැබෙන පැවරුම් ඉටු කරන එකත් ඒකට අයිතියි. ඒ මොන දේ කළත් ශුභාරංචිය දේශනා කරන කාර්යය අපි අතපසු කරන්නේ නැහැ. දෙවිගේ පොරොන්දු ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න ඒක අපිට උදව්වක්. සහෝදරියක් මෙහෙම කිව්වා. “දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැන මිනිසුන්ට කියද්දී අපිට තේරෙනවා එයාලට ඇත්තටම අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා. එයාලා හිතන්නේ එයාලගේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නැහැ කියලා.” දේශනා සේවයේ හවුල් වෙන තරමට අනාගතය ගැන අපිට තියෙන බලාපොරොත්තුව සැබෑ එකක් වෙනවා. මොන බාධා ආවත් විඳදරාගෙන දිගටම ධාවන තරඟයේ යෙදෙන්න ඒක අපිට උදව්වක්.—1 කොරි. 9:24.

අපි අතින් වරදක් වුණොත්

10. දාවිත් කරපු බරපතළ වරද මොකක්ද?

10 දාවිත් දෙවිට විශ්වාසවන්තව ජීවත් වුණ කෙනෙක්. යෙහෝවා දෙවිත් එයාට හුඟක් ආදරේ කළා. (ක්‍රියා 13:22) ඒත් එයා අතින් බරපතළ වරදක් වුණා. දවසක් එයා බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණා. තමන් කරපු වරද වහගන්න හිතාගෙන බැත්ෂෙබාගේ සැමියා වුණ උරියාව යුද්දෙදී මිය යන විදිහට දාවිත් දේවල් සැලසුම් කළා. ඒ සැලසුම ඇතුළත් ලිපිය දාවිත් යැව්වේ උරියා අතේමයි. (2 සාමු. 11:1-21) ඒත් එයාගේ වරද හෙළි වුණා. (මාක් 4:22) එතකොට දාවිත් මොකක්ද කළේ?

කරපු වරදක් (11-14 ඡේද බලන්න)

11, 12. (අ) දාවිත්ට කරන්න බැරි වුණේ මොනවද? (ආ) අපි අවංකව පසුතැවෙනවා නම් දෙවි මොනවද කරන්නේ?

11 දාවිත්ට කරන්න බැරි දේවල්. ආපස්සට ගිහින් තමන් කරපු වරද හදන්න දාවිත්ට බැහැ. ඒ වරද නිසා අද්දකින්න වෙන අමිහිරි ප්‍රතිඵලවලින් බේරෙන්නත් එයාට බැහැ. සමහර ප්‍රතිඵල එයාගේ මුළු ජීවිත කාලෙටම බලපෑවා. (2 සාමු. 12:10-12, 14) ඒ නිසා තමන් අවංකව පසුතැවුණොත් යෙහෝවා දෙවි සමාව දෙනවා කියලත් අමිහිරි ප්‍රතිඵල දරාගන්න දෙවි ශක්තිය දෙනවා කියලත් දාවිත් ලොකු විශ්වාසයකින් ඉන්න එක අත්‍යවශ්‍ය වුණා.

12 අපි පව්කාරයන් නිසා අපි හැමෝම අතින් වැරදි වෙනවා. සමහර වැරදි බරපතළයි. සමහර ඒවා ආයේ හරිගස්සන්නත් බැහැ. ඒවා නිසා ඇති වෙන ප්‍රතිඵලවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙයි. (ගලා. 6:7) ඒත් අවංකව පසුතැවෙන අයට දෙවි සමාව දෙනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. වරද නිසා මුහුණ දෙන්න වෙන අසීරු දේවල් විඳදරාගන්න දෙවි අපිට ශක්තිය දෙනවා කියලත් අපිට විශ්වාසයි.—යෙසායා 1:18, 19; ක්‍රියා 3:19 කියවන්න.

13. දාවිත් බිඳුණ බැඳීම ආයෙත් ශක්තිමත් කරගත්තේ කොහොමද?

13 දාවිත්ට කරන්න පුළුවන් දේවල්. බිඳුණ බැඳීම ආයෙත් ශක්තිමත් කරගන්න දෙවි දුන්න උදව් දාවිත් පිළිගත්තා. දෙවි නාතන් මාර්ගයෙන් එයාව නිවැරදි කරද්දී එයා ඒ හික්මවීම පිළිගත්ත එකෙන් ඒක පැහැදිලියි. (2 සාමු. 12:13) දාවිත් දෙවිට යාච්ඤා කරලා එයා කරපු වරද පිළිගත්තා. ආයෙත් දෙවි එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න එයාට තියෙන ආසාව ගැනත් කිව්වා. (ගීතා. 51:1-17) දුකෙන් යටපත් වෙනවා වෙනුවට දාවිත් එයාගේ අඩුපාඩු හදාගත්තා. එකම වරද එයා ආයේ කළේ නැත්තේ ඒ නිසයි. මිය යන කල්ම එයා දෙවිට විශ්වාසවන්තව හිටියා. එයාගේ විශ්වාසවන්තකම දෙවිගේ මතකයෙන් ගිලිහෙන්නේ නැහැ.—හෙබ්‍රෙ. 11:32-34.

14. දාවිත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

14 අපි අතින් බරපතළ වරදක් වුණොත් අපි අවංකව පසුතැවිලා යෙහෝවා දෙවි ඉදිරියේ වරද පිළිගන්න ඕනේ. දෙවිගෙන් සමාව ඉල්ලන්න ඕනේ. (1 යොහ. 1:9) වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන එකත් වැදගත්. මොකද අවශ්‍ය මඟ පෙන්වීම් බයිබලෙන් දෙන්න එයාලට පුළුවන්. (යාකොබ් 5:14-16 කියවන්න.) දෙවි දෙන උදව් පිළිගද්දී අපි පෙන්නන්නේ අපිට සමාව දෙනවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව අපි විශ්වාස කරනවා කියලයි. වෙච්ච වරදින් පාඩමක් ඉගෙනගෙන අත් නෑර දෙවිට සේවය කරන්න අදිටන් කරගමු.—හෙබ්‍රෙ. 12:12, 13.

වෙනත් අසීරු දේවලට මුහුණ දෙද්දී

අසනීප (15 ඡේදය බලන්න)

15. හන්නාගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

15 අසීරු දේවලට මුහුණ දෙද්දී දෙවි ගැන විශ්වාසය තියලා තමන්ට පුළුවන් දේ කරපු තවත් අය හිටියා. හන්නා ඒ වගේ කෙනෙක්. එයාට දරුවෝ හිටියේ නැහැ. එයා වඳ ස්ත්‍රියක්. ඒත් ඒ ගැන එයාට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. යෙහෝවා දෙවි එයාට සහනයක් වෙයි කියලා හන්නා විශ්වාස කළා. එයා දෙවිට නමස්කාර කරන්න ශුද්ධ කූඩාරමට ගියා. එයාගේ හිතේ තිබුණ දුක දෙවිට කිව්වා. (1 සාමු. 1:9-11) හන්නාව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්. අසනීපයකට නැත්නම් අපේ පැත්තෙන් අපිට කිසිම දෙයක් කරන්න බැරි දුෂ්කර දේකට මුහුණ දෙද්දී හිතට දැනෙන කනස්සල්ල දෙවිට භාර දීලා ඔහු අපිව බලාගන්නවා කියන විශ්වාසයෙන් ඉමු. (1 පේතෘ. 5:6, 7) රැස්වීම්වලින්, දෙවි දීලා තියෙන අනිත් සැපයුම්වලින් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් හැම දේම කරමු.—හෙබ්‍රෙ. 10:24, 25.

දෙවිගෙන් ඈත් වුණ දරුවන් (16 ඡේදය බලන්න)

16. සාමුවෙල්ගෙන් දෙමාපියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවද?

16 අද දෙවිට විශ්වාසවන්තව සේවය කරන සමහර දෙමාපියන්ගේ දරුවන් දෙවිගෙන් ඈත් වෙලා. ඒ දෙමාපියන්ට සාමුවෙල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? වැඩිහිටි වයසේ හිටපු තමන්ගේ පුතාලව බලෙන් දෙවිට කීකරු කරවන්න සාමුවෙල්ට බැහැ. (1 සාමු. 8:1-3) පුතාලා දෙවිගේ ප්‍රමිති කඩ කරලා අකීකරු විදිහට වැඩ කරද්දී එයා ඒ කාරණය දෙවිට භාර දුන්නා. ඒ අමාරු අවස්ථාවේදීත් දෙවිට විශ්වාසවන්තව ඉන්න තමන්ට පුළුවන් හැම දේම සාමුවෙල් කළා. (හිතෝ. 27:11) දරුවන් දෙවිගෙන් ඈත් වුණාම දෙමාපියන්ට ඒක ලොකු දුකක්. ඒත් අකීකරු පුතා ගැන යේසුස් කිව්ව උපමාවේ ඉන්න තාත්තා වගේ යෙහෝවා දෙවිත් පසුතැවිලා ආයෙත් එන අයව ආදරෙන් පිළිගන්න බලාගෙන ඉන්නවා කියලා ඒ දෙමාපියන්ට තියෙන්නේ ලොකු විශ්වාසයක්. (ලූක් 15:20) එයාලත් දෙවිට ළැදිව ඉන්න ලොකු වෑයමක් දරනවා. එයාලගේ ආදර්ශය දැකලා හරි දරුවන් ආයෙත් එයි කියන විශ්වාසය එයාලට තියෙනවා.

ආර්ථික ප්‍රශ්න (17 ඡේදය බලන්න)

17. දුප්පත් වැන්දඹුවගේ ආදර්ශය අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

17 යේසුස්ගේ කාලේ හිටපු දුප්පත් වැන්දඹුව ගැන හිතන්න. (ලූක් 21:1-4 කියවන්න.) දේවමාලිගාවේ වුණ වංචා නවත්තන්න එයාට පුළුවන්කමක් තිබුණේ නැහැ. (මතෙ. 21:12, 13) එයාගේ ආර්ථිකය හොඳ මට්ටමකට ගේන්න එයාට කරන්න පුළුවන් දෙයක් තිබුණෙත් නැහැ. ඒත් එයා “කුඩා කාසි දෙකක්” සැබෑ නමස්කාරයේ වැඩකටයුතු වෙනුවෙන් කැමැත්තෙන්ම දුන්නා. එයාගේ ජීවිතේ ගෙනියන්න එයාට තිබුණේ එච්චරමයි. යෙහෝවා දෙවි ගැන එයාට කොයි තරම් විශ්වාසයක් තිබුණද! දෙවිගේ දේවලට මුල් තැන දුන්නොත් දෙවි අනිවාර්යයෙන්ම එයාව බලාගන්නවා කියලා එයා මුළු හදින්ම විශ්වාස කළා. අපිත් දේවරාජ්‍යයට මුල් තැන දෙනවා නම් යෙහෝවා දෙවි අපිවත් බලාගන්නවා කියලා නිසැකයි.—මතෙ. 6:33.

18. සහෝදර මැල්කම්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

18 කරන්න බැරි දේවල් ගැන ළත වෙනවා වෙනුවට කරන්න පුළුවන් දේවලට මනස යොමු කරපු හුඟදෙනෙක් අපි අතරේ ඉන්නවා. දෙවි ගැන එයාලට තියෙන විශ්වාසය ඒකෙන් තේරෙනවා. සහෝදර මැල්කම් ඒ වගේ කෙනෙක්. මිය යන කල්ම එයා දෙවිට විශ්වාසවන්තව හිටියා. එයාගේ ජීවිතේ හොඳ කාලවල් වගේම අමාරු කාලවලුත් තිබුණා. එයා මෙහෙම කිව්වා. “ජීවිතේ අපි හිතන්නේ නැති දේවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒත් යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරනවා නම් දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. පුළුවන් උපරිමයෙන් සේවය කරන්න උදව් ඉල්ලලා දෙවිට යාච්ඤා කරන්න. කරන්න බැරි දේ ගැන නෙමෙයි කරන්න පුළුවන් දේ ගැන හිතන්න.” *

19. (අ) 2017 වාර්ෂික පදය අපිට හොඳින්ම ගැළපෙන්නේ ඇයි? (ආ) වාර්ෂික පදයේ සඳහන් දේ ඔයා අදාළ කරගන්නේ කොහොමද?

19 මේ දුෂ්ට සමාජය “තව තවත් නරක අතට හැරෙන” නිසා දවසින් දවස අපිට එන අභියෝගත් වැඩි වෙනවා. (2 තිමෝ. 3:1, 13) ඒ නිසා අභියෝග ගැන හිතලා කනස්සල්ලෙන් යටපත් වෙනවා වෙනුවට යෙහෝවා දෙවි ගැන නොසැලෙන විශ්වාසයකින් ඉමු. බැරි දේවලට නෙමෙයි කරන්න පුළුවන් දේවලට අවධානය දෙමු. 2017 වාර්ෂික පදයේ සඳහන් මේ වදන් අපිට හොඳින්ම ගැළපෙනවා. “යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න.”—ගීතා. 37:3.

2017 වාර්ෂික පදය: “යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න”—ගීතා. 37:3