Skip to content

පටුනට යන්න

තමන්ගේ සීමාව හඳුනගන්න එක වැදගත්ද?

තමන්ගේ සීමාව හඳුනගන්න එක වැදගත්ද?

“නිහතමානී අය ප්‍රඥාවන්තය.”—හිතෝ. 11:2.

ගීතිකා: 38, 69

1, 2. සාවුල්ට දෙවිගේ අනුමැතිය නැති වුණේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

යෙහෝවා දෙවි සාවුල්ව රජ විදිහට තෝරගද්දී එයා වැඩ කළේ තමන්ගේ සීමාවන් හොඳින් අවබෝධ කරගෙනයි. (1 සාමු. 9:1, 2, 21; 10:20-24) ඒත් එයා රජ වුණාට පස්සේ හිතුවක්කාර විදිහට වැඩ කරන්න පටන්ගත්තා. එක අවස්ථාවක පිලිස්තිවරු දහස් ගාණක් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටනට ආවා. ඒ වෙලාවේ දෙවිට පූජාවක් ඔප්පු කරන්න තමන් එනවා කියලා සාමුවෙල් සාවුල්ට කියලා තිබුණා. ඒත් එයා එන්න පරක්කු වෙද්දී ඊශ්‍රායෙල්වරුන් බය වෙලා සාවුල්ව අත්හැරලා යන්න පටන්ගත්තා. ඒ නිසා සාමුවෙල් එන කල් බලාගෙන ඉන්නේ නැතුව සාවුල්ම ඒ පූජාව ඔප්පු කළා. එයා කළේ එයාට අයිති නැති වැඩක්. ඒ ගැන යෙහෝවා දෙවි සතුටු වුණේ නැහැ.—1 සාමු. 13:5-9.

2 සාමුවෙල් ඇවිත් සාවුල් කරපු වරද ගැන එයාට අවවාද කළා. ඒත් එයා වරද පිළිගත්තේ නැහැ. නිදහසට කරුණු කිව්වා. වරද අනිත් අය පිට පැටෙව්වා. (1 සාමු. 13:10-14) එදා ඉඳන් සාවුල් තමන්ගේ හිතුමතේට වැඩ කරන්න පටන්ගත්තා. ඒ නිසා දෙවිගේ අනුමැතිය එයාට නැති වුණා. (1 සාමු. 15:22, 23) සාවුල් මුලින් හොඳ කෙනෙක් වුණත් පස්සේ දෙවිට අකීකරු වුණා. ඒ නිසා එයා ජීවිතේ අමිහිරි දේවලට මුහුණ දුන්නා.—1 සාමු. 31:1-6.

3. (අ) සීමාව හඳුනගෙන වැඩ කරන එක ගැන හුඟක් අය හිතන්නේ මොකක්ද? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 සාර්ථක වෙන්න නම් තමන් කැපීපේන්න ඕනෙ කියලා අද හුඟක් අය හිතනවා. ඒ නිසා එයාලා තමන්ට කරන්න පුළුවන් දේවලට වඩා වැඩියෙන් දේවල් කරන්න හදනවා. තමන් ගැන මහ ඉහළින් කතා කරනවා. ප්‍රසිද්ධ නළුවෙක් වගේම දේශපාලනඥයෙක් කිව්ව මේ දේ බලන්න. “සීමාව දැනගෙන වැඩ කරන එක මට ගැළපෙන්නේ නෑ. මං කවදාවත් ඒක කරන්නෙත් නෑ.” ඒත් දෙවිගේ සේවකයන් තමන්ගේ සීමාව අවබෝධ කරගෙන වැඩ කරන්න ඕනෙ ඇයි? සීමාව දැනගෙන වැඩ කරනවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අදහස් වෙන්නේ නැත්තේ මොකක්ද? ඒ ප්‍රශ්නවලට මේ ලිපියෙන් උත්තර බලමු. අභියෝගයක් වෙන අවස්ථාවලදීත් අපේ සීමාවන් අවබෝධ කරගෙන වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

සීමාව දැනගෙන වැඩ කරන්න ඕනෙ ඇයි?

4. හිතුවක්කාර කෙනෙක් කොයි වගේද?

4 තමන්ගේ සීමාවන් අවබෝධ කරගන්නේ නැති කෙනෙක් වැඩ කරන්නේ හිතුවක්කාර විදිහට. (හිතෝපදේශ 11:2 කියවන්න.) එයා තමන්ට කරන්න අයිතියක් නැති දේවල් කරනවා. එහෙම කරන්නේ උඩඟුකම නිසා නැත්නම් ඉවසීම නැති නිසා වෙන්න පුළුවන්. පාපය උරුම වෙලා තියෙන නිසා අපි හැමෝම සමහර වෙලාවලදී හිතුවක්කාර විදිහට වැඩ කරලා ඇති. ඒ නිසයි දාවිත් දෙවිගෙන් ඉල්ලුවේ “හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීමට ඔබේ සේවකයාට ඉඩ නොදෙන්න” කියලා. (ගීතා. 19:13) ඒත් අපි නිතරම උඩඟු විදිහට වැඩ කරනවා නම් යෙහෝවා දෙවිගේ අනුමැතිය අපිට නැති වෙනවා කියලා සාවුල්ගේ සිද්ධියෙන් අපිට පැහැදිලියි. ගීතාවලිය 119:21 කියන්නේ ‘උඩඟු තැනැත්තන්ට දෙවි තරවටු කරනවා’ කියලයි. ඒ ඇයි?

5. හිතුවක්කාර විදිහට වැඩ කරන එක සැහැල්ලුවට ගන්න බැරි ඇයි?

5 අපි හිතුවක්කාර විදිහට වැඩ කරද්දී ඒකෙන් පේන්නේ අපේ පාලකයා වන යෙහෝවා දෙවි ගැන අපිට කිසිම ගෞරවයක් නැහැ කියලයි. අපිට අයිති නැති දේවල් කරන්න යද්දී අනිත් අයත් එක්ක මතභේද ඇති වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. (හිතෝ. 13:10) හිතුවක්කාර විදිහට වැඩ කරලා අපිට වැරදුණාම අනිත් අය ඉදිරියේ ලැජ්ජාවට පත් වෙන්නත් සිද්ධ වෙනවා. (ලූක් 14:8, 9) අපි සීමාව අවබෝධ කරගෙන වැඩ කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙන්නේ හොඳ හේතු ඇතුවයි.

සීමාව දැනගෙන වැඩ කරන කෙනෙක්

6, 7. තමන්ගේ සීමාව දන්න කෙනෙක් නිහතමානියි කියන්නේ ඇයි?

6 නිහතමානී කෙනෙක් තමන්ට වඩා අනිත් අය උසස් කියලා හිතනවා. (ෆිලි. 2:3) තමන් අතින් වෙන වැරදි පිළිගන්නවා. අනිත් අයගේ අදහස්වලට සවන් දීලා, එයාලගෙන් ඉගෙනගන්නවා. ඒ වගේම නිහතමානී කෙනෙක් හුඟක් වෙලාවට තමන්ට තියෙන සීමාවන් අවබෝධ කරගෙන වැඩ කරනවා. එහෙම අයට යෙහෝවා දෙවි ආදරෙයි.

7 තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන කෙනෙක්ට තමන් ගැනම හොඳ අවබෝධයක් තියෙනවා. තමන්ට කරන්න පුළුවන් දේ සහ බැරි දේ ගැනත් කරන්න අයිතියක් තියෙන සහ අයිතියක් නැති දේවල් ගැනත් එයා දන්නවා. ඒ නිසා අනිත් අයගේ සහය, උදව් එයාට ඕනෙ කියලා එයා තේරුම්ගන්නවා. ඒ හැම දේම එයාට උදව් වෙනවා තමන් අනිත් අයට වඩා උසස් නැහැ කියලා හිතන්න. ඒ අයට ගරු කරන්න. ඒකෙන් පැහැදිලියි තමන්ගේ සීමාවන් දන්න කෙනෙක් නිහතමානියි කියලා.

8. කෙනෙක් තමන්ගේ සීමාව අවබෝධ කරගෙන නැහැ කියලා පැහැදිලි වෙන්නේ මොන වගේ දේවලින්ද?

8 තමන් නිහතමානියි, සීමාව තේරුම් අරන් වැඩ කරනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් දන්නෙම නැතුව එයා අහංකාර විදිහට හිතන්න පටන් අරන් වෙන්න බැරිද? එහෙමනම් ඒක දැනගන්නේ කොහොමද? සමහරවිට සභාවේ වගකීම් දරන නිසා නැත්නම් වගකීම් දරන සහෝදරයන්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන නිසා අනිත් අයට වඩා තමන් උසස් කියලා එයාට හිතෙයි. (රෝම 12:16) එහෙම නැත්නම් අනිත් අයගේ අවධානය ඇදගන්න විදිහට දේවල් කරන්න එයා පටන්ගනියි. (1 තිමෝ. 2:9, 10) අනිත් අය කරන්න ඕනෙ මොනවද නොකරන්න ඕනෙ මොනවද කියලා එයාලට නිතරම උපදෙස් දෙන්න පටන්ගනියි.—1 කොරි. 4:6.

9. සමහර අය හිතුවක්කාර විදිහට වැඩ කරන්න පටන්ගන්නේ ඇයි? උදාහරණයක් කියන්න.

9 වැරදි සිතුවිලි, හැඟීම් පාලනය කරගත්තේ නැත්නම් ඕනෙම කෙනෙක් හිතුවක්කාර විදිහට වැඩ කරන්න පෙලඹෙන්න ඉඩ තියෙනවා. තමන්ටම ගෞරවය ලබාගන්න තියෙන ආසාව නිසා, ඊර්ෂ්‍යාව නිසා, කේන්තිය පාලනය කරගන්නේ නැති නිසා හුඟක් අය හිතුවක්කාර විදිහට වැඩ කරන්න පටන් අරන් තියෙනවා. අබ්සලොම්, උසියා, නෙබුකද්නෙෂර් ඒකට හොඳ උදාහරණ. අහංකාර විදිහට වැඩ කරපු එයාලට යෙහෝවා දෙවි හික්මවීම් දුන්නා.—2 සාමු. 15:1-6; 18:9-17; 2 ලේක. 26:16-21; දානි. 5:18-21.

10. අපි අනිත් අයගේ චේතනා විනිශ්චය කරන්න හොඳ නැත්තේ ඇයි? උදාහරණයක් කියන්න.

10 තමන්ගේ සීමාව හඳුනගන්නේ නැතුව වැඩ කරන්න තවත් කාරණා හේතු වෙන්න පුළුවන්. අබිමෙලෙක් සහ පේතෘස් ගැන හිතන්න. (උත්. 20:2-7; මතෙ. 26:31-35) එයාලා උඩඟු අයද? එහෙම නැත්නම් එයාලා ඒ විදිහට වැඩ කළේ තොරතුරු ගැන හරි අවබෝධයක් තිබුණේ නැති නිසාද? දුරදිග බැලුවේ නැති නිසාද? අපිට අනිත් අයගේ හිත් කියවන්න බැහැ. ඒ නිසා කෙනෙක් යම් දෙයක් කළේ මොන චේතනාවෙන්ද කියලා විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ.—යාකොබ් 4:12 කියවන්න.

දෙවිගේ සංවිධානයේ ඔයාට හිමි තැන හඳුනගන්න

11. අපි තේරුම්ගන්න ඕනෙ මොකක්ද?

11 යෙහෝවා දෙවි පිළිවෙළකට වැඩ කරන දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුගේ සංවිධානයේ ඉන්න හැම කෙනෙක්ටම ඔහු නියමිත වැඩ කොටසක් දීලා තියෙනවා. අපි හැම කෙනෙක්වම දෙවිට වටිනවා. තමන්ගේ සීමාවන් අවබෝධ කරගෙන වැඩ කරන කෙනෙක් දෙවි තමන්ට දීලා තියෙන වගකීම මොකක්ද කියලා තේරුම් අරන් ඒ අනුව වැඩ කරනවා. අපි හැමෝටම යෙහෝවා දෙවි යම් හැකියාවන්, දීමනා දීලා තියෙනවා. යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න, අනිත් අය වෙනුවෙන් යහපත් දේවල් කරන්න ඒවා පාවිච්චි කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. (රෝම 12:4-8) තමන්ගේ සීමාවන් අවබෝධ කරගත්ත කෙනෙක් ඒ හැකියාවන්, දීමනා පාවිච්චි කරන්නේ දෙවි බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්නයි.—1 පේතෘස් 4:10 කියවන්න.

දෙවිට කරන සේවයේ වෙනස්කම් වෙද්දී යේසුස්ගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද? (12-14 ඡේද බලන්න)

12, 13. දෙවිට කරන සේවයේ යම් වෙනස්කම් වෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

12 කාලෙන් කාලෙට අපි දෙවිට කරන සේවයේ යම් වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වගේ වෙනස්කම්වලට යේසුත් මුහුණ දුන්නා. කාලයක් තිස්සේ යේසුස් ස්වර්ගයේ යෙහෝවා දෙවි එක්ක හිටියේ තනියම. (හිතෝ. 8:22) ඊටපස්සේ දේවදූතයන්ව, විශ්වය, මිනිසුන්ව නිර්මාණය කරන්න ඔහු සහය වුණා. (කොලො. 1:16) කාලයක් ගත වුණාට පස්සේ යේසුස්ව මිනිසෙක් විදිහට පොළොවට එව්වා. ළදරුවෙක්ගේ ඉඳන් වැඩිහිටියෙක් දක්වා තියෙන විවිධ අවධීන් ඔහු පහු කළා. (ෆිලි. 2:7) තමන්ගේ ජීවිතය පූජා කළාට පස්සේ ඔහු ආයෙත් ස්වර්ගයට ගිහින් 1914 දේවරාජ්‍යයේ රජු හැටියට පත් කරන කල් බලාගෙන හිටියා. (හෙබ්‍රෙ. 2:9) අනාගතයේදී යේසුස් අවුරුදු දාහක් රජකම් කළාට පස්සේ පාලනය ආපහු යෙහෝවා දෙවිට භාර දෙනවා. එහෙම කරන්නේ “දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කිරීම සඳහායි.”—1 කොරි. 15:28.

13 අපිත් විවිධ වෙනස්කම්වලට මුහුණ දෙනවා. සමහර වෙනස්කම් වෙන්නේ අපි ගන්න තීරණ නිසයි. තනිකඩ කෙනෙක් විවාහ වෙන්න තීරණය කළා කියලා හිතන්න. යුවළක් දරුවන් හදන්න තීරණය කළා කියලා හිතන්න. නැත්නම් ජීවිතේ සරල කරගන්න තීරණය කළා කියලා හිතන්න. ඒ හැම අවස්ථාවකදීම එයාලා වෙනස්කම්වලට මුහුණ දෙනවා. වගකීමුත් වෙනස් වෙනවා. අපි මුහුණ දෙන තත්වයන් නිසාත් දෙවිට කරන සේවයේ වෙනස්කම් වෙන්න පුළුවන්. කෙනෙක්ට දැන් දෙවිට වැඩි සේවයක් කරන්න පුළුවන් ඇති. ඒත් තවත් කෙනෙක්ගේ සෞඛ්‍ය තත්වය නැත්නම් මහලු වයස නිසා ඒ වගේ සේවයක් කරන්න බැරි වෙයි. අපි කොයි වයසේ හිටියත් හොඳ සෞඛ්‍ය තත්වයක් තිබුණත් නැතත් අපිට දෙවි වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඔහු දන්නවා. ඊට වඩා වැඩියෙන් ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවි වෙනුවෙන් අපි කරන ඕනම දෙයක් ඔහුට වටිනවා.—හෙබ්‍රෙ. 6:10.

14. වෙනස්කම්වලට මුහුණ දෙද්දී අපේ සීමාවන් අවබෝධ කරගෙන ඉන්න එක උදව් වෙන්නේ කොහොමද?

14 යෙහෝවා දෙවි දුන්න හැම පැවරුමක්ම යේසුස් කළේ සතුටින්. ඔහුව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්. (හිතෝ. 8:30, 31) තමන්ගේ සීමාවන් අවබෝධ කරගෙන ඉන්න කෙනෙක් එයාට සභාවේ දැන් තියෙන වගකීම්, පැවරුම් ගැන සෑහීමට පත් වෙනවා. එයා අනිත් අය කරන සේවය, එයාලට තියෙන වගකීම් එක්ක තමන්ව සසඳන්නේ නැහැ. ඒ වෙනුවට එයා අවධානය දෙන්නේ දෙවිගෙන් තමන්ට ලැබිලා තියෙන පැවරුමට. ඒ වගේම අනිත් අයටත් දෙවි විවිධ වගකීම් දීලා තියෙනවා කියලා එයා තේරුම්ගන්නවා. ඒ නිසා එයා අනිත් අයට ඒ වගකීම් ඉටු කරන්න සහය දෙනවා.—රෝම 12:10.

කොටු වෙන්න එපා

15. ගිඩියොන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

15 ගිඩියොන් තමන්ගේ සීමාවන් අවබෝධ කරගෙන වැඩ කරපු කෙනෙක්. මිදියන්වරුන්ගෙන් ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න පැවරුම දෙවි එයාට දුන්න වෙලාවේ එයා කිව්වේ මෙහෙමයි. “අපේ පවුල මනස්සේ ගෝත්‍රයේ කුඩාම පවුලයි. මගේ පියාගේ දරුවන්ගෙන් මම තමයි කුඩාම තැනැත්තා.” (විනි. 6:15) ඒත් එයා දෙවිව විශ්වාස කරලා පැවරුම භාරගත්තා. ඒක කරද්දී දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්න එයා වෑයමක් ගත්තා. දෙවිගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවා. (විනි. 6:36-40) ගිඩියොන් ශක්ති සම්පන්න, එඩිතර කෙනෙක්. ඒත් එයා වැඩ කළේ හොඳට හිතලා බලලා. (විනි. 6:11, 27) දෙවිගෙන් ලැබුණ පැවරුම පාවිච්චි කරලා තමන්ට ගෞරවය ලබාගන්න හැදුවෙත් නැහැ. පැවරුම ඉටු කළාට පස්සේ එයා ගෙදර ගියා.—විනි. 8:22, 23, 29.

16, 17. තමන්ගේ සීමාවන් අවබෝධ කරගන්න කෙනෙක් සේවයේ ලබන දියුණුව සලකන්නේ කොහොමද?

16 කෙනෙක් අලුත් පැවරුම් භාරගන්නවා නම් සභාවේ වගකීම් දරන්න වෑයම් කරනවා නම් එයා තමන්ගේ සීමාවන් අවබෝධ කරගත්ත කෙනෙක් නෙමෙයිද? එහෙම හිතන එක වැරදියි. මොකද දෙවිගේ සේවයේ දියුණුවක් ලබන්න කියලා බයිබලේ අපිට උනන්දු කරනවා. (1 තිමෝ. 4:13-15) ඒක කරන්න පුළුවන් අලුත් පැවරුමක් ලැබුණොත් විතරද? නැහැ. යේසුස් වගේ වෙන්න අපි තව උත්සාහ කරන එකෙන්, දෙවිට සහ අනිත් අයට තව වැඩියෙන් සේවය කරන්න පුළුවන් වෙන විදිහට අපේ හැකියාවන් වර්ධනය කරගන්න එකෙන් අපි හැමෝටම දියුණුවක් ලබන්න පුළුවන්.

17 තමන්ගේ සීමාවන් අවබෝධ කරගෙන වැඩ කරන කෙනෙක් යම් පැවරුමක් භාරගන්න කලින් ඒ පැවරුමට ඇතුළත් වෙන්නේ මොනවද කියලා හොයලා බලනවා. ඒ ගැන යාච්ඤා කරනවා. ඒක ඉටු කරන්න තමන්ට පුළුවන්ද කියලා කාරණා හොඳින් කිරලා මැනලා බලනවා. දැනටමත් තියෙන වගකීම් පැහැරහරින්නේ නැතුව අලුත් පැවරුම ඉටු කරන්න පුළුවන්ද? දැනට කරන සමහර වගකීම් තව අයට භාර දෙන්න පුළුවන්ද? ඒ විදිහට කාරණා ගැන අවංකව හිතලා බැලුවට පස්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ පැවරුම හොඳින් ඉටු කරන්න මේ වෙලාවේ තමන්ට බැහැ කියලා. එයා තමන්ගේ සීමාවන් අවබෝධ කරගත්ත කෙනෙක් නම් ඒ පැවරුම භාර නොගන්න තීරණය කරයි.

18. (අ) අලුත් පැවරුමක් ලැබුණම තමන්ගේ සීමාවන් අවබෝධ කරගත්ත කෙනෙක් කරන්නේ මොකක්ද? (ආ) අපේ සීමාවන් අවබෝධ කරගන්න රෝම 12:3 උදව් වෙන්නේ කොහොමද?

18 යෙහෝවා දෙවි අපිට කියන්නේ ‘ඔහු ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න’ කියලයි. (මීකා 6:8) එහෙම කෙනෙක් අලුත් පැවරුමක් ලැබුණම ගිඩියොන් වගේ දෙවිට ඒ ගැන යාච්ඤා කරලා බයිබලේ සහ සංවිධානය මාර්ගයෙන් දෙවි දෙන මඟ පෙන්වීම් හොඳින් තේරුම්ගන්න උත්සාහ කරනවා. එයා කලින් හිතපු විදිහ වෙනස් කරගෙන කාරණා දිහා දෙවි බලන විදිහට බලන්න උත්සාහ කරනවා. අපි මතක තියාගන්න ඕනෙ ලැබෙන ඕනම පැවරුමක් සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ අපේ දක්ෂකමක් නිසා නෙමෙයි දෙවි යටහත්පහත්ව අපිට උදව් කරන නිසයි කියලා. (ගීතා. 18:35) තමන්ගේ සීමාවන් අවබෝධ කරගත්ත කෙනෙක් තමන් ගැන වුවමනාවට වඩා හිතන්නෙවත් තමන්ව අඩු තක්සේරු කරගන්නෙවත් නැහැ.—රෝම 12:3 කියවන්න.

19. අපි අපේ සීමාවන් අවබෝධ කරගෙන වැඩ කරන්න ඕනෙ ඇයි?

19 තමන්ගේ සීමාවන් අවබෝධ කරගත්ත කෙනෙක් හැම ගෞරවයක්ම දෙන්නේ යෙහෝවා දෙවිට. මොකද හැම දේකම නිර්මාතෘ වගේම විශ්වයේ ඉන්න උසස්ම කෙනා යෙහෝවා දෙවි කියලා එයා දන්නවා. (එළි. 4:11) තමන්ගේ සීමාවන් අවබෝධ කරගත්ත කෙනෙක් ලැබෙන ඕනම පැවරුමක් සතුටින් කරනවා. අනිත් අයගේ හැඟීම්වලට, එයාලගේ අදහස්වලට ගරු කරනවා. ඒකෙන් එකමුතුකම තව වැඩි වෙනවා. ඒ වගේම එහෙම කෙනෙක් දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලන නිසා එයා අතින් බරපතළ වැරදි වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. තමන්ගේ සීමාවන් අවබෝධ කරගන්න අය ගැන යෙහෝවා දෙවි සතුටු වෙන එක පුදුමයක්ද! දෙවිගේ සේවකයන් විදිහට අපි හැමෝටම ඕනෙ අපේ සීමාවන් තේරුම් අරන් වැඩ කරන්නයි. අභියෝගයක් වෙන අවස්ථාවලදීත් ඒක කරන්න පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.