Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට මඟ පෙන්වයි

යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට මඟ පෙන්වයි

“යෙහෝවා දෙවි වන මම නිරතුරුවම ඔබට මඟ පෙන්වමි.”—යෙසා. 58:11.

ගීතිකා: 152, 22

1, 2. (අ) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහ අනිත් ආගම් අතර තියෙන එක වෙනසක් මොකක්ද? (ආ) මේ ලිපියෙනුත් ඊළඟ ලිපියෙනුත් බලන්නේ මොනවා ගැනද?

“ඔයාලගේ ආගමේ නායකයා කවුද?” ඒක මිනිසුන් නිතරම වගේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් අහන ප්‍රශ්නයක්. එයාලා එහෙම අහන්නේ හැම ආගමකම නායකයෙක් නැත්නම් නායිකාවක් ඉන්න නිසයි. ඒත් අපේ නායකයා මනුෂ්‍යයෙක් නෙමෙයි. අපේ නායකයා යේසුස් ක්‍රිස්තුස්. ඔහු දේවල් කරන්නේ තමන්ගේ පියා වන යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුවයි.—මතෙ. 23:10.

2 දෙවිගේ සෙනඟ අතරේ පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන් කණ්ඩායමකුත් ඉන්නවා. ඒ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා.” (මතෙ. 24:45) ඒත් යේසුස් මාර්ගයෙන් ඇත්තටම අපිට මඟ පෙන්නන්නේ යෙහෝවා දෙවි කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? අපි මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් බලන්නේ තමන්ගේ සෙනඟ අතරේ පෙරමුණ අරන් වැඩ කරන්න යෙහෝවා දෙවි සමහර අයට මඟ පෙන්නපු විදිහයි. ඒ අයට මඟ පෙන්නුවේ යෙහෝවා දෙවි කියන කාරණය තේරුම්ගන්න උදව් වෙන පැති 3ක් ගැනත් අපි බලනවා. අද අපිට මඟ පෙන්නන්නෙත් යෙහෝවා දෙවිමයි කියන කාරණය එතකොට අපිට තවත් තහවුරු වෙයි.—යෙසා. 58:11.

දෙවි බලය දීලා උදව් කළා

3. ඊශ්‍රායෙල් සෙනඟට මඟ පෙන්නන්න මෝසෙස්ට උදව් වුණේ මොකක්ද?

3 දෙවි තමන්ගේ බලය දුන්නා. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟගේ නායකයා විදිහට මෝසෙස්ව පත් කළා. ලැබුණ ඒ බැරෑරුම් වගකීම ඉටු කරන්න යෙහෝවා දෙවි තමන්ගේ “බලය” එයාට දුන්නා. (යෙසායා 63:11-14 කියවන්න.) දෙවි ඒ විදිහට මෝසෙස්ට උදව් කරපු නිසා සෙනඟට ඇත්තටම මඟ පෙන්නුවේ යෙහෝවා දෙවියි.

4. මෝසෙස්ට දෙවිගේ බලය ලැබුණා කියලා පැහැදිලි වුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 මෝසෙස්ට දෙවිගේ බලය ලැබුණා කියලා සෙනඟට පැහැදිලිව දකින්න පුළුවන් වුණාද? ඔව්. මෝසෙස් ආශ්චර්යයන් කළා. ඊජිප්තුවේ හිටපු බලවත්ම රජ වුණ පාරාවෝ ඉදිරියේ බය නැතුව දෙවිගේ නම ගැන කිව්වා. දෙවිගේ බලය එයාට ලැබුණේ නැත්නම් ඒ දේවල් කරන්න එයාට පුළුවන් වෙයිද? (නික්. 7:1-3) ඒ කාලේ හිටපු පාලකයන් ආත්මාර්ථකාමී, දුෂ්ට අය වුණත් මෝසෙස් ඒ වගේ නායකයෙක් නෙමෙයි. එයා සෙනඟ එක්ක ආදරෙන්, ඉවසීමෙන් වැඩ කළා. එහෙම කරන්න එයාට පුළුවන් වුණෙත් දෙවි තමන්ගේ බලය මාර්ගයෙන් එයාට උදව් කරපු නිසයි. (නික්. 5:2, 6-9) තමන්ගේ සෙනඟගේ නායකයා විදිහට මෝසෙස්ව තෝරගත්තේ දෙවිමයි කියලා මෝසෙස් වැඩ කරපු විදිහෙන් පැහැදිලි වුණා.

5. තමන්ගේ සෙනඟ අතරේ පෙරමුණ ගන්න තවත් පුරුෂයන්ට දෙවි උදව් කළේ කොහොමද?

5 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පෙරමුණ ගන්න තවත් පුරුෂයන්ව පත් කළා. යොෂුවා, ගිඩියොන්, දාවිත් ඒ වගේ අය. දෙවි තමන්ගේ බලයෙන් එයාලට උදව් කළා කියලා පැහැදිලියි. මොකද “යොෂුවා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ නිසා ප්‍රඥාවන්තව කටයුතු කිරීමට ඔහුට හැකි වුණා.” (ද්වි. 34:9) “යෙහෝවා දෙවිගේ බලය ගිඩියොන් තුළ ක්‍රියාත්මක වුණා.” (විනි. 6:34) ඒ වගේම “යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තා.” (1 සාමු. 16:13) තමන්ට උදව් කරන්න, මඟ පෙන්නන්න එයාලා දෙවිගේ බලයට ඉඩ දුන්නා. ඒ නිසයි තමන්ගේ හැකියාවෙන් කරන්න බැරි දේවල් එයාලට කරන්න පුළුවන් වුණේ. (යොෂු. 11:16, 17; විනි. 7:7, 22; 1 සාමු. 17:37, 50) එයාලට බලය දුන්නේ යෙහෝවා දෙවිමයි කියලා එයාලා කරපු දේවලින් හොඳින්ම පැහැදිලි වුණා. ඒ දේවලට ගෞරවය දෙවිට ලැබුණේ ඒ නිසයි.

6. පෙරමුණ ගත්ත අයට සෙනඟ කීකරු වෙයි කියලා දෙවි බලාපොරොත්තු වුණේ ඇයි?

6 මෝසෙස්, යොෂුවා, ගිඩියොන්, දාවිත් වගේ අයට දෙවිගේ බලය ලැබුණා කියන්න පැහැදිලි සාක්ෂි තිබුණ නිසා සෙනඟ එයාලා දුන්න මඟ පෙන්වීම්වලට ගරු කරයි කියලා දෙවි බලාපොරොත්තු වුණා. දවසක් ඊශ්‍රායෙල් සෙනඟ මෝසෙස්ට විරුද්ධව මැසිවිලි නඟද්දී දෙවි කිව්වේ “මේ සෙනඟ තව කොතරම් කාලයක් මේ විදිහට මට අගෞරව කරයිද” කියලයි. (ගණන්. 14:2, 11) තමන්ව නියෝජනය කරන්න ඒ අයව තෝරගත්තේ යෙහෝවා දෙවියි. සෙනඟ එයාලගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී එයාලා ඇත්තටම කීකරු වුණේ දෙවිටයි.

දේවදූතයන්ගේ උදව් ලැබුණා

7. දේවදූතයන් මෝසෙස්ට උදව් කළේ කොහොමද?

7 දේවදූතයන් උදව් කළා. (හෙබ්‍රෙව් 1:7, 14 කියවන්න.) මෝසෙස්ට මඟ පෙන්වීම් දෙන්න දෙවි දේවදූතයන්ව පාවිච්චි කළා. ඊශ්‍රායෙල් සෙනඟව නිදහස් කරගෙන පොරොන්දු දේශයට අරන් යන වගකීම ඉටු කරන්නේ මෝසෙස් කියලා දෙවි එයාට දැන්නුවේ දේවදූතයෙක් මාර්ගයෙන්. (ක්‍රියා 7:35) ඊළඟට දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ඇතුළත් නීතිය දේවදූතයන් මාර්ගයෙන් මෝසෙස්ට දුන්නා. (ගලා. 3:19) තවත් අවස්ථාවක දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වා. “මා ඔබට පෙන්වන තැනට මේ සෙනඟව ගෙන යන්න. මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගමන් කරයි.” (නික්. 32:34) ඒ දේවදූතයාව සෙනඟ දැක්කා කියලා බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. ඒත් මෝසෙස් සෙනඟට උපදෙස්, මඟ පෙන්වීම් දුන්න විදිහෙන් එයාට දේවදූතයන්ගේ උදව් ලැබුණා කියලා පැහැදිලියි.

8. යොෂුවාටයි හෙසකියාටයි දේවදූතයන් උදව් කළේ කොහොමද?

8 දෙවිගේ සෙනඟ කානානිවරුන් එක්ක කරපු සටන්වලදී පෙරමුණ ගත්තේ යොෂුවා. ඒ වගේ සටනකට යන්න කලින් දෙවි ඔහුගේ “සේනාවේ අධිපති” මාර්ගයෙන් එයාව ශක්තිමත් කළා. ඒ නිසා ඒ සටන ජය ගන්න ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා. (යොෂු. 5:13-15; 6:2, 21) හෙසකියා පාලනය කරපු කාලේ විශාල ඇසිරියානු හමුදාවක් යෙරුසලම වැටලුවම එක රැයකින් “යෙහෝවා දෙවිගේ දූතයා ඇසිරියානු කඳවුරේ භටයන් එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමුවා.”—2 රාජා. 19:35.

9. දෙවි පත් කරපු අය අතින් අඩුපාඩුකම් වුණත් දෙවි ඊශ්‍රායෙල්වරුන්ගෙන් බලාපොරොත්තු වුණේ මොකක්ද?

9 දේවදූතයන්ගෙන් උදව් ලැබුණට දෙවි පත් කරපු අය අතින් සමහර වෙලාවලදී අඩුපාඩුකම් වුණා. එක අවස්ථාවක දෙවිට දෙන්න ඕනෙ ගෞරවය මෝසෙස් දෙවිට දුන්නේ නැහැ. (ගණන්. 20:12) ගිබියොන්වරුන් එක්ක ගිවිසුමක් ඇති කරගන්න කලින් යොෂුවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවේ නැහැ. (යොෂු. 9:14, 15) හෙසකියා රජ එක අවස්ථාවක උඩඟු විදිහට වැඩ කළා. (2 ලේක. 32:25, 26) ඒ වගේ අඩුපාඩුකම් වුණත් ඊශ්‍රායෙල් සෙනඟ එයාලට කීකරු වෙයි කියලා දෙවි බලාපොරොත්තු වුණා. දෙවි දේවදූතයන් මාර්ගයෙන් ඒ අයට උදව් කරනවා කියන්න පැහැදිලි සාක්ෂි තිබුණ නිසා ඊශ්‍රායෙල් සෙනඟට මඟ පෙන්නුවේ යෙහෝවා දෙවි මිසක් වෙන කවුරුත් නෙමෙයි.

දේවවචනයෙන් මඟ පෙන්වීම් ලැබුණා

10. නීතිය මාර්ගයෙන් දෙවි මෝසෙස්ට මඟ පෙන්නුවේ කොහොමද?

10 දේවවචනයෙන් මඟ පෙන්වීම් ලැබුණා. ඊශ්‍රායෙල්වරුන්ට උපදෙස්, මඟ පෙන්වීම් දුන්නේ මෝසෙස්. ඒත් ඒ හැම මඟ පෙන්වීමක්ම එයා ගත්තේ දෙවි දුන්න නීතියෙන්. ඒකයි නීතිය “දෙවි මෝසෙස්ට දුන් නීතිය” හැටියට බයිබලේ හඳුන්වලා තියෙන්නේ. (1 රාජා. 2:3) ඒ නීතියට කීකරු වෙන්න මෝසෙස්ටත් සිද්ධ වුණා. (2 ලේක. 34:14) උදාහරණෙකට ශුද්ධ කූඩාරම හදන විදිහ ගැන දෙවි මඟ පෙන්වීම් දුන්නම මෝසෙස් “යෙහෝවා දෙවි අණ කළ සියල්ල එලෙසම කළා.”—නික්. 40:1-16.

11, 12. (අ) නායකත්වය ගත්ත යොෂුවාටයි රජවරුන්ටයි දෙවි කරන්න කිව්වේ මොකක්ද? (ආ) පෙරමුණ ගත්ත අයට දේවවචනය මඟ පෙන්නුවේ කොහොමද?

11 ඊශ්‍රායෙල් ජාතියේ නායකයා හැටියට පත් වුණ මුල් කාලේ ඉඳන්ම යොෂුවා ළඟ නීතිය සඳහන් වුණ ලියවිල්ලක් තිබුණා. “මේ නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින පිණිස දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න” කියලා දෙවි එයාට කිව්වා. (යොෂු. 1:8) ඊශ්‍රායෙල් සෙනඟව පාලනය කරපු රජවරුන්ගෙනුත් දෙවි ඒ දේම බලාපොරොත්තු වුණා. හැමදාම දෙවිගේ නීතිය කියවන්න කියලත් ඒකේ පිටපතක් හදන්න කියලත් දෙවි එයාලට කිව්වා. “නීතියේ සඳහන් සියලු අණපනත් හා නියෝගවලට කීකරු වෙන” එක එයාලට අනිවාර්යය දෙයක් වුණා.—ද්විතීය කතාව 17:18-20 කියවන්න.

12 දේවවචනය කියවන එක ඒ අයට උදව් වුණේ කොහොමද? මේ සිද්ධිය බලන්න. යොෂියා රජුගේ ලේකම්ට දෙවිගේ නීතිය සඳහන් වුණ ලියවිල්ලක් හම්බ වුණා. * ඒක එයා රජුට ඇහෙන්න කියවද්දී ඒකේ තිබුණ දේවල් රජුගේ හිතට කොච්චර කාවැදුණද කියනවා නම් ‘ඒ ලියවිල්ලෙහි සඳහන් දේ ඇසූ වහාම රජ තම වස්ත්‍ර ඉරාගත්තා.’ ඊටපස්සේ ඒකේ සඳහන් දේවලට කීකරු වෙන්න එයා පියවර ගත්තා. බොරු නමස්කාරය සඳහා හදලා තිබුණ හැම දෙයක්ම විනාශ කරලා කලින් කවදාවත් පවත්වපු නැති විදිහේ විශාල පාස්කු උත්සවයක් පවත්වන්න එයා සැලසුම් කළා. (2 රාජා. 22:11; 23:1-23) යොෂියා රජ සහ පෙරමුණ ගත්ත අනිත් විශ්වාසවන්ත අය දේවවචනයේ තිබුණ මඟ පෙන්වීම්වලට කීකරු වුණ නිසා දෙවි බලාපොරොත්තු වුණ දේ ගැන තව හොඳින් සෙනඟව දැනුවත් කරන්න එයාලට පුළුවන් වුණා.

13. දෙවි පත් කරපු නායකයන් වෙනත් ජාතීන්ගේ පාලකයන්ට වඩා වෙනස් වුණේ මොන පැතිවලින්ද?

13 දෙවිගේ සෙනඟව බලාගත්ත විශ්වාසවන්ත රජවරුන් අවට ජාතීන්ගේ පාලකයන්ට වඩා වෙනස් කියලා සෙනඟට පැහැදිලිව දකින්න තිබුණා. තමන්ගේ රජවරුන් දිරිගැන්නුවේ යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරන්න කියලයි. ශාරීරිකව පිරිසිදුව ඉන්න කියලයි. ඒ වගේම අනාචාර ක්‍රියාවලින් වැළකිලා ඉන්න කියලයි. ඒත් අවට ජාතීන් ගැන හිතන්න. උදාහරණෙකට කානානිවරුන්ගේ පාලකයන් ඇතුළු යටත්වැසියන් කළේ හරිම පහත් දේවල්. එයාලා තමන්ගේම පවුලේ අය එක්ක, සත්තු එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. සමලිංගික ඇසුරේ යෙදුණා. දෙවිවරුන්ට දරුවන්ව පූජා කළා. රූප නමස්කාරයේ යෙදුණා. (ලෙවී. 18:6, 21-25) පිරිසිදුකම සම්බන්ධයෙන් උසස් ප්‍රමිති බැබිලෝනිවරුන්ට සහ ඊජිප්තුවරුන්ට තිබුණෙත් නැහැ. (ගණන්. 19:13) ඒ පාලකයන් මඟ පෙන්නුවේ තමන්ගේ දැනුමට අනුව. ඒ නිසා එයාලට දුර දිග බලලා දේවල් කරන්න බැරි වුණා. ඒ දේවලින් පැහැදිලි වුණා ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවේ යෙහෝවා දෙවි මිසක් මිනිසුන් නෙමෙයි කියලා.

14. සෙනඟ අතරේ පෙරමුණ ගත්ත සමහරුන්ට දෙවි හික්මවීම් දුන්නේ ඇයි?

14 අතීතයේ දෙවිගේ සෙනඟව පාලනය කරපු සමහර රජවරුන් දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වුණේ නැහැ. දෙවි තමන්ගේ බලය මාර්ගයෙන්, දේවදූතයන් සහ දේවවචනය මාර්ගයෙන් දීපු මඟ පෙන්වීම් එයාලා පිළිගත්තේ නැහැ. ඒ වගේ අයට දෙවි හික්මවීම් දුන්නා. සමහරුන්ව එයාලගේ වගකීමෙන් අයින් කළා. (1 සාමු. 13:13, 14) පස්සේ කාලෙක යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟව බලාගන්න කිසිම අඩුවක් නැති නායකයෙක්ව පත් කළා.

කිසිම අඩුවක් නැති නායකයෙක්

15. (අ) කිසිම අඩුවක් නැති නායකයෙක්ව පත් කරනවා කියලා අනාගතවක්තෘවරු කියපු දේවලින් තේරුණේ කොහොමද? (ආ) ඒ නායකයා කවුද?

15 තමන්ගේ සෙනඟව බලාගන්න කිසිම අඩුවක් නැති නායකයෙක්ව පත් කරනවා කියලා දෙවි සියවස් ගාණක් පුරා කිව්වා. උදාහරණෙකට මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා “ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි” කියලා. (ද්වි. 18:15) ඒ කෙනා “නායකයා හා අධිපතියා” විදිහට වැඩ කරනවා කියලා යෙසායා කිව්වා. (යෙසා. 55:4) දෙවිගේ සෙනඟගේ “නායකයා” වන ගැලවුම්කරු ගැන දානියෙල් කතා කළා. (දානි. 9:25) දෙවිගේ සෙනඟ වෙනුවෙන් දෙවි පත් කරපු ‘නායකයා’ තමන් කියලා පොළොවේ ඉද්දී යේසුස්ම කිව්වා. (මතෙව් 23:10 කියවන්න.) දෙවි තෝරගත්ත කෙනා යේසුස් කියලත් දෙවි එයාලට මඟ පෙන්නන්නේ යේසුස් මාර්ගයෙන් කියලත් ගෝලයන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. එයාලා කැමැත්තෙන්ම යේසුස්ගේ අඩිපාරේ ගියා. (යොහ. 6:68, 69) ඒ ගැන ගෝලයන්ට ස්ථිර වුණේ කොහොමද?

16. යේසුස්ට දෙවිගේ බලය ලැබුණා කියන්න තියෙන සාක්ෂි මොනවද?

16 දෙවි තමන්ගේ බලය යේසුස්ට දුන්නා. යේසුස් බව්තීස්ම වුණ වෙලාවේ “අහස විවර වී දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිට පැමිණි ආකාරය යොහන් දැක්කා.” ඒ වෙලාවේ ඉඳන් ‘දෙවිගේ බලය යේසුස් තුළ ක්‍රියාත්මක වුණා.’ (මාක් 1:10-12) දේවසේවය කරපු කාලේ පුරාම හොඳින් උගන්වන්න, ආශ්චර්යයන් කරන්න දෙවි තමන්ගේ බලය දීලා යේසුස්ට උදව් කළා. (ක්‍රියා 10:38) මිනිසුන්ට ආදරෙන් සලකන්න, සතුට දිගටම තියාගන්න, නොසැලෙන විශ්වාසයකින් ඉන්න දෙවිගේ බලය ඔහුට උදව් කළා. (යොහ. 15:9; හෙබ්‍රෙ. 12:2) දෙවිගේ බලය යේසුස්ට තියෙනවා කියලා පැහැදිලි වුණ සාක්ෂි ඔහුට තරම් වෙන කිසිම නායකයෙක්ට තිබුණේ නැහැ. නායකයා විදිහට දෙවි තෝරගත්තේ යේසුස්ව කියලා ස්ථිරයි.

යේසුස් බව්තීස්ම වුණ අලුතම වගේ දේවදූතයන් ඔහුට උදව් කළේ කොහොමද? (17 ඡේදය බලන්න)

17. දේවදූතයන් යේසුස්ට උදව් කළේ කොහොමද?

17 දේවදූතයන් යේසුස්ට උදව් කළා. යේසුස් බව්තීස්ම වුණ අලුතම වගේ “දේවදූතයෝ ඇවිත් ඔහුට උපස්ථාන කළා.” (මතෙ. 4:11) යේසුස්ගේ මරණයට පැය කීපයකට කලින් “ස්වර්ගයෙන් දේවදූතයෙක් පැමිණ ඔහුව ශක්තිමත් කළා.” (ලූක් 22:43) උදව් අවශ්‍ය ඕනෙම වෙලාවකදී යෙහෝවා දෙවි දේවදූතයන් මාර්ගයෙන් තමන්ට උදව් කරනවා කියලා යේසුස්ට ලොකු විශ්වාසයක් තිබුණා.—මතෙ. 26:53.

18, 19. දේවවචනයෙන් යේසුස්ට මඟ පෙන්වීම් ලැබුණා කියන්නේ ඇයි?

18 දේවවචනයෙන් යේසුස්ට මඟ පෙන්වීම් ලැබුණා. පොළොවේ ජීවත් වුණ කාලේ පුරාම යේසුස් දේවවචනයෙන් ලැබුණ මඟ පෙන්වීම්වලට අනුවයි දේවල් කළේ. දේවවචනයට ඔහු කොච්චර කීකරු වුණාද කියනවා නම් වධකණුවක මරණය පවා අද්දකින්න කැමති වුණා. ඔහු අවසන් හුස්ම හෙළන්න මොහොතකට කලින් කිව්වෙත් ගැලවුම්කරු ගැන අනාවැකියක සඳහන් දෙයක්. (මතෙ. 4:4; 27:46; ලූක් 23:46) ඒත් ඒ කාලේ හිටපු ආගමික නායකයන් යේසුස්ට වඩා හාත්පසින්ම වෙනස්. එයාලගේ ඉගැන්වීම් ශුද්ධ ලියවිල්ලේ ඉගැන්වීම්වලට එකඟ නැති වෙද්දී දෙවිගේ ඉගැන්වීම් එයාලා ප්‍රතික්ෂේප කළා. දෙවි යෙසායා මාර්ගයෙන් එයාලා ගැන කියලා තිබුණ දෙයක් එක අවස්ථාවකදී යේසුස් මතක් කළා. “මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා වෙතින් බොහෝ ඈත්ව තිබේ. ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥා පමණයි.” (මතෙ. 15:7-9) දේවවචනයට කීකරු වෙන්නේ නැති අයව දෙවි තමන්ගේ සෙනඟව බලාගන්න පත් කරයිද?

19 අනිත් අයට උගන්වද්දීත් යේසුස් නිතරම පාවිච්චි කළේ දේවවචනයයි. ආගමික නායකයන් දෙවිගේ ඉගැන්වීම් ගැන ප්‍රශ්න කරද්දී යේසුස් උත්තර දුන්නේ තමන්ගේ දැනුමෙන්වත් අද්දැකීම්වලින්වත් නෙමෙයි දේවවචනය පාවිච්චි කරලයි. (මතෙ. 22:33-40) ඕනෙ නම් යේසුස්ට තිබුණා ස්වර්ගයේ ඉද්දී කරපු දේවල් ගැන, විශ්වය නිර්මාණය කරපු විදිහ ගැන රසවත් තොරතුරු මිනිසුන් එක්ක බෙදාගන්න. ඒත් යේසුස්ට ඕනෙ වුණේ “ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල නියම අර්ථය අවබෝධ කරගන්න” අනිත් අයට උදව් කරන්න. ඒ නිසයි එයා දේවවචනයට හැම වෙලාවෙම අවධානය දුන්නේ. (ලූක් 24:32, 45) යේසුස්ට දේවවචනය ගැන කොයි තරම් ආදරයක් තිබුණද!

20. (අ) යේසුස්ගේ හිතේ දෙවි ගැන තිබුණ ගෞරවය පැහැදිලි වුණේ කොහොමද? (ආ) 1වෙනි හෙරොද් අග්‍රිපාට වඩා යේසුස් වෙනස් වුණේ කොහොමද?

20 යේසුස් උගන්වපු දේවල් අහලා මිනිසුන් පුදුම වුණා. ඒත් ඒ ගෞරවය ඔහු කවදාවත් තමන්ට ලබාගත්තේ නැහැ. ඔහු ගෞරවය දුන්නේ ඔහුගේ ගුරුවරයා වුණ යෙහෝවා දෙවිට. (ලූක් 4:22) යේසුස්ට ප්‍රශංසා කරන්න හිතාගෙන දවසක් පොහොසත් මිනිසෙක් “යහපත් ගුරුතුමනි” කියලා ඔහුව ඇමතුවා. ඒත් යේසුස් නිහතමානීව කිව්වේ “ඔබ මට යහපත් කියා පවසන්නේ ඇයි? යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි” කියලයි. (මාක් 10:17, 18) ඒ සිද්ධිය වෙලා අවුරුදු 8කට විතර පස්සේ යුදයේ පාලකයා හැටියට පත් වුණ 1වෙනි හෙරොද් අග්‍රිපා රජ වැඩ කළේ යේසුස්ට වඩා හුඟක් වෙනස් විදිහට. මිල අධික, ලස්සන රාජකීය ඇඳුමකින් සැරසිලා විශේෂ රැස්වීමකට එයා සහභාගි වුණ වෙලාවේ මිනිසුන් එයාව දැකලා, එයා කියපු දේවල් අහලා “මෙය නම් මිනිසෙකුගේ කටහඬක් වෙන්න බැහැ. මෙය දෙවි කෙනෙකුගේ කටහඬක් විය යුතුයි” කියලා කිව්වා. තමන්ට ලැබුණ ප්‍රශංසා ගැන එයා හුඟක් සතුටු වුණා. ඒත් ‘ඒ අවස්ථාවේදී එයා ඒ ගෞරවය දෙවිට දුන්නේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවිගේ දූතයෙක් විගස ඇවිත් එයාට පහර දුන්නා. එවිට එයාගේ සිරුර පුරාම පණුවන් ගසා එයා මිය ගියා.’ (ක්‍රියා 12:21-23) හෙරොද්ව නායකයා හැටියට පත් කළේ යෙහෝවා දෙවි නෙමෙයි කියලා පැහැදිලියි. ඒත් නායකයා හැටියට යේසුස්ව පත් කළේ යෙහෝවා දෙවි කියලා කියන්න ඕනෑ තරම් සාක්ෂි තිබුණා. යේසුස් හැම වෙලාවෙම තමන්ගේ සෙනඟගේ ශ්‍රේෂ්ඨතම පාලකයා වන යෙහෝවා දෙවිව ගෞරවයට පත් කළා.

21. ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

21 යෙහෝවා දෙවි යේසුස්ව නායකයා විදිහට පත් කළේ අවුරුදු කීපයකට නෙමෙයි. නැවත නැඟිටීමෙන් පස්සේ ඔහු කිව්වේ ‘ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා’ කියලයි. (මතෙ. 28:18-20) ඒත් යේසුස් දැන් ඉන්නේ ස්වර්ගයේ. අපිට ඔහුව පේන්නේ නැහැ. එහෙමනම් පොළොවේ ඉන්න දෙවිගේ සෙනඟට යේසුස් මඟ පෙන්නන්නේ කොහොමද? යේසුස්ගේ නායකත්වය යටතේ මේ පොළොවේ පෙරමුණ අරන් වැඩ කරන්න දෙවි තෝරගෙන තියෙන්නේ කාවද? ඒ අය කවුද කියලා හඳුනගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර ඊළඟ ලිපියෙන් බලමු.

^ 12 ඡේ. මෝසෙස් විසින්ම ලියපු ලියවිල්ල වෙන්න ඇති.