Skip to content

පටුනට යන්න

අද ඉන්න දෙවිගේ සෙනඟට මඟ පෙන්නන්නේ කවුද?

අද ඉන්න දෙවිගේ සෙනඟට මඟ පෙන්නන්නේ කවුද?

‘ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන අයව අමතක නොකරන්න.’—හෙබ්‍රෙ. 13:7.

ගීතිකා: 125, 43

1, 2. යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ නියෝජිතයන්ට මොනවා හිතෙන්න ඇද්ද?

ඔලීව කන්දට රැස් වෙලා හිටපු යේසුස්ගේ නියෝජිතයන් බලාගෙන ඉද්දීම එයාලගේ මිතුරා, ස්වාමියා වුණ යේසුස්ව ස්වර්ගයට ඔසවගත්තා. ඔහු වලාකුළකින් වැහිලා එයාලට නොපෙනී ගියා. (ක්‍රියා 1:9, 10) අවුරුදු 2ක විතර කාලයක් තිස්සේ යේසුස් එයාලට ඉගැන්නුවා. එයාලව දිරිගැන්නුවා. එයාලා අතරේ පෙරමුණ අරන් වැඩ කළා. ඒත් දැන් යේසුස් එයාලා ළඟ නැහැ. දැන් මොකක් වෙයිද?

2 ස්වර්ගයට යන්න කලින් යේසුස් අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) ඒත් ඒ වගේ කාර්යයක් එයාලා කරන්නේ කොහොමද? යෙහෝවා දෙවි තමන්ගේ බලය දීලා එයාලට උදව් කරනවා කියලා යේසුස් පොරොන්දු වුණා. (ක්‍රියා 1:5) ඒත් ලෝකෙ පුරාම දේශනා කරන්න නම් දේවල් හොඳින් සංවිධානය කරන්න ඕනේ. ඒකට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න ඕනේ. ඒක කරන්නේ කවුද? ඊශ්‍රායෙල්වරුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න අතීතයේදී දෙවි සමහරුන්ව පත් කළා කියලා නියෝජිතයන් දැනගෙන හිටියා. ඒ නිසා දැනුත් අලුත් නායකයෙක්ව දෙවි පත් කරයි කියලා එයාලා හිතන්න ඇති.

3. (අ) යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ නියෝජිතයන් ගත්තේ මොන වැදගත් තීරණයද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවද?

3 යේසුස් ස්වර්ගයට ගිහින් සති 2ක්වත් යන්න කලින් ගෝලයෝ ශුද්ධ ලියවිල්ලෙන් තොරතුරු සෝදිසි කරලා, යෙහෝවා දෙවිගේ උදව් ඉල්ලලා යාච්ඤා කරලා යූදස් ඉස්කාරියොත් වෙනුවට මතියස්ව 12වෙනි නියෝජිතයා විදිහට පත් කළා. (ක්‍රියා 1:15-26) යූදස් වෙනුවට කෙනෙක්ව එයාලා තෝරගත්තේ ඇයි? මොකද නියෝජිතයන් 12ක් ඉන්න එක අත්‍යවශ්‍යයි කියලා ගෝලයෝ තේරුම්ගත්තා. * යේසුස් නියෝජිතයන්ව තෝරගෙන, දෙවිගේ සෙනඟ වෙනුවෙන් වැදගත් වගකීමක් ඉටු කරන්න එයාලව පුහුණු කළා. ඒ වගකීම මොකක්ද? ඒක ඉටු කරන්න යෙහෝවා දෙවි සහ යේසුස් එයාලව සූදානම් කළේ කොහොමද? ඒ වගේ තෝරගත්ත පිරිසක් අදත් ඉන්නවද? අපි අතරේ ‘පෙරමුණ ගෙන කටයුතු කරන අයව,’ විශේෂයෙන්ම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” අපිට අමතක වෙලා නැහැ කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?—හෙබ්‍රෙ. 13:7; මතෙ. 24:45.

පාලක මණ්ඩලයට මඟ පෙන්නන්නේ යේසුස්

4. නියෝජිතයන්ට සහ යෙරුසලමේ හිටපු අනිත් වැඩිමහල්ලන්ට තිබුණ වගකීම මොකක්ද?

4 ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ ඉඳන් නියෝජිතයන් ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ අරන් වැඩ කරන්න පටන්ගත්තා. එදා “පේතෘස් එකොළොස්දෙනා සමඟ නැඟිට” ලොකු සෙනඟක් අමතලා ගැලවීම ලබාගන්න තියෙන මාර්ගය ගැන ඉගැන්නුවා. (ක්‍රියා 2:14, 15) ඒ සෙනඟ අතරේ හිටපු හුඟදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වුණා. අලුතෙන් බව්තීස්ම වුණ ඒ අය “යේසුස්ගේ නියෝජිතයන් ඉගැන්වූ දේවලට හොඳ අවධානයක් දුන්නා.” (ක්‍රියා 2:42) සභාවට ලැබුණ සම්මාදම් හරි විදිහට පාවිච්චි කරන වගකීම තිබුණෙත් නියෝජිතයන්ට. (ක්‍රියා 4:34, 35) “යාච්ඤාව සඳහාත් දෙවි පවසා ඇති දේවල් ඉගැන්වීමේ කාර්යය සඳහාත්” එයාලා සම්පූර්ණ කාලය වැය කළා. (ක්‍රියා 6:4) එයාලා අද්දැකීම් තිබුණ අයව අලුත් ප්‍රදේශවලට ගිහින් ශුභාරංචිය දේශනා කරන්න පිටත් කළා. (ක්‍රියා 8:14, 15) කාලයක් යද්දී වැඩිමහල්ලන් විදිහට සේවය කරපු, අභිෂේක ලත් තවත් අය සභාවේ වැඩකටයුතු බලාගන්න වගකීම ඉටු කරන්න නියෝජිතයන්ට එකතු වුණා. පාලක මණ්ඩලය හැදුණේ එයාලගෙන්. හැම සභාවකටම මඟ පෙන්වීම් ලබා දුන්නේ එයාලයි.—ක්‍රියා 15:2.

5, 6. (අ) පාලක මණ්ඩලයට දෙවි තමන්ගේ බලයෙන් උදව් කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) පාලක මණ්ඩලයට දේවදූතයන් උදව් කළේ කොහොමද? (ඇ) පාලක මණ්ඩලයට දේවවචනයෙන් මඟ පෙන්වීම් ලැබුණේ කොහොමද?

5 යේසුස් මාර්ගයෙන් පාලක මණ්ඩලයට මඟ පෙන්වීම් දෙන්නේ යෙහෝවා දෙවි කියලා මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් දැනගෙන හිටියා. ඒකට තිබුණ සාක්ෂි මොනවද? (1) දෙවි තමන්ගේ බලයෙන් පාලක මණ්ඩලයට උදව් කළා. (යොහ. 16:13) එදා හිටපු අභිෂේක ලත් හැම කෙනෙක්ටම දෙවි බලය දුන්නා. ඒත් නියෝජිතයන්ට සහ යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන්ට සභාවේ වැඩකටයුතු බලාගන්න වගකීම ඉටු කරන්න දෙවි විශේෂයෙන් බලය දුන්නා. උදාහරණෙකට චර්මච්ඡේදනය ගැන ඇති වෙලා තිබුණ ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණයක් ගන්න ක්‍රි.ව. 49දී දෙවි තමන්ගේ බලය මාර්ගයෙන් පාලක මණ්ඩලයට උදව් කළා. එයාලා ගත්ත තීරණයට සභාවල අය කීකරු වෙද්දී “සභාවල සිටි සියලුදෙනාගේ විශ්වාසය ශක්තිමත් වූ අතර එහි සිටි අයගේ ගණනද දිනෙන් දින වැඩි වුණා.” (ක්‍රියා 16:4, 5) ගත්ත තීරණය ගැන සඳහන් කරලා පාලක මණ්ඩලය සභාවලට යවපු ලිපිය කියවද්දී සහෝදරයන් ගැන එයාලට තිබුණ ආදරේ, දෙවි ගැන තිබුණ විශ්වාසය කොයි තරම්ද කියලා පැහැදිලියි. ඒකෙන් තේරෙන්නේ දෙවිගේ බලය එයාලට උදව් කළා කියලයි.—ක්‍රියා 15:11, 25-29; ගලා. 5:22, 23.

6 (2) පාලක මණ්ඩලයට දේවදූතයන්ගෙන් උදව් ලැබුණා. කොහොමද අපි එහෙම කියන්නේ? කොර්නේලියස් කියන්නේ චර්මච්ඡේදනය වෙලා හිටියේ නැති, වෙනත් ජාතියකට අයත් කෙනෙක්. පේතෘස්ව එයාගේ නිවසට එක්කගෙන එන්න කියලා දේවදූතයෙක් එයාට කිව්වා. පේතෘස් කොර්නේලියස්ටයි එයාගේ පවුලේ අයටයි දෙවිගේ පණිවිඩය කිව්වම දෙවිගේ බලය එයාලට ලැබුණා. ඊටපස්සේ එයාලා බව්තීස්ම වුණා. ඒ සිද්ධිය නියෝජිතයන්ටයි අනිත් සහෝදරයන්ටයි උදව් වුණා චර්මච්ඡේදනය වෙලා නැති, වෙනත් ජාතීන්ට අයත් අයවත් දැන් දෙවි සභාවට පිළිගන්නවා කියන දේ තේරුම්ගන්න. (ක්‍රියා 11:13-18) පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම් යටතේ සිද්ධ වුණ දේශනා කිරීමේ කාර්යයටත් දේවදූතයන්ගෙන් උදව් ලැබුණා. (ක්‍රියා 5:19, 20) (3) පාලක මණ්ඩලයට දේවවචනයෙන් මඟ පෙන්වීම් ලැබුණා. විශ්වාසයන් ගැන ඇති වුණ ප්‍රශ්න එයාලා විසඳුවේ, සභාවලට යම් මඟ පෙන්වීම් දුන්නේ ශුද්ධ ලියවිලිවල තිබුණ තොරතුරු හොඳින් සෝදිසි කරලා බලලයි.—ක්‍රියා 1:20-22; 15:15-20.

7. මුල් සියවසේදී සභාවට මඟ පෙන්නුවේ යේසුස් කියන්නේ ඇයි?

7 සභාවේ වැඩකටයුතු ගැන තීරණ ගන්න පාලක මණ්ඩලයට අධිකාරියක් තිබුණත් එයාලගේ නායකයා යේසුස් කියලා එයාලා තේරුම් අරන් හිටියා. එහෙම කියන්නේ ඇයි? පාවුල් කිව්වා “සමහරුන්ව නියෝජිතයන්” විදිහට පත් කළේ යේසුස් කියලා. ඒ වගේම සභාවේ “හිස” ඒ කියන්නේ නායකයා ක්‍රිස්තුස් කියලත් එයා කිව්වා. (එෆී. 4:11, 15) එයාලා නියෝජිතයෙක්ගේ නමින් සභාව හඳුන්වනවා වෙනුවට දෙවිගේ මඟ පෙන්වීමට එකඟව තමන්ව ක්‍රිස්තියානීන් කියලා හඳුන්වන්න පටන්ගත්තා. (ක්‍රියා 11:26) නියෝජිතයන් සහ පෙරමුණ ගත්ත අනිත් අය බයිබලේ පදනම් කරගෙන උගන්වපු දේවලට ඇලිලා ඉන්න එක වැදගත් කියලා පාවුල් පිළිගත්තා. ඒත් එක්කම එයා මතක් කළා “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්” කියලා. සෑම පුරුෂයෙක්ම කියද්දී පාලක මණ්ඩලයේ සාමාජිකයනුත් ඇතුළත් වුණා. ඊටපස්සේ පාවුල් කිව්වා “ක්‍රිස්තුස්ගේ හිස දෙවි” කියලා. (1 කොරි. 11:2, 3) සභාවේ නායකයා විදිහට යෙහෝවා දෙවි යේසුස්ව පත් කරලා තියෙනවා කියලා ඒකෙන් පැහැදිලි වුණා.

“මේක මිනිසුන්ගේ වැඩක් නෙමෙයි”

8, 9. සහෝදර රසල් කරපු වැදගත් කාර්යය මොකක්ද?

8 1870 ගණන්වල බයිබලේ අධ්‍යයනය කරපු චාල්ස් ටේස් රසල් ඇතුළු පිරිසට ඕනෙ වුණේ බයිබලෙන් තමන් ඉගෙනගත්ත දේවලට අනුව දෙවිට නමස්කාර කරන්නයි. ඒ දේම කරන්න අනිත් අයට උදව් කරන්නත් එයාලට ඕනෙ වුණා. ඒකට විවිධ භාෂා කතා කරන අයත් ඇතුළත්. ඒ නිසා එයාලා 1884දී “සයන්ස් වොච් ටවර් ට්‍රැක්ට් සොසයිටි” කියන නීතික සංස්ථාව පිහිටෙව්වා. * ඒකේ සභාපති වුණේ සහෝදර රසල්. එයා බයිබලය හොඳින් අධ්‍යයනය කරපු කෙනෙක්. ත්‍රිත්වය ගැන, අමරණීය ආත්මය ගැන පල්ලියේ උගන්වන දේවල් අමූලික බොරුයි කියලා එයා බය නැතුව අනිත් අයට කිව්වා. යේසුස්ගේ නැවත පැමිණීම අපිට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කියලත් “ජාතීන් සඳහා නියමිත වූ කාලය” 1914දී අවසන් වෙනවා කියලත් එයා තේරුම්ගත්තා. (ලූක් 21:24) තමන්ගේ කාලය, ශක්තිය, මුදල් සහෝදර රසල් කැප කළේ බයිබලේ තියෙන වටිනා සත්‍යයන් අනිත් අයට කියලා දෙන්න. ඒ කාලෙදී පෙරමුණ අරන් වැඩ කරන්න සහෝදර රසල්ව පාවිච්චි කළේ යෙහෝවා දෙවි සහ යේසුස් කියලා හොඳින්ම පැහැදිලියි.

9 සහෝදර රසල්ට මිනිසුන් අතරේ කැපීපේන්න ඕනෙ වුණේ නැහැ. 1896දී එයා ලියපු දෙයකින් ඒක පැහැදිලියි. එයා කිව්වා එයාවත් පෙරමුණ ගත්ත අනිත් අයවත් අනවශ්‍ය ගෞරවයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. එයාලට විශේෂ නම් අවශ්‍ය නැහැ කියලත් එයාලගේ නම්වලින් ගෝලයන්ව හඳුන්වන්න ඕනෙ නැහැ කියලත් එයා කිව්වා. “මේක මිනිසුන්ගේ වැඩක් නෙමෙයි” කියලත් එයා කිව්වා.

10. (අ) යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පත් කළේ කවදද? (ආ) “වොච් ටවර්” නීතික සංස්ථාවේ අධ්‍යක්ෂකවරු පාලක මණ්ඩලයේ සාමාජිකයන්ම වෙන්න ඕනෙ නැහැ කියලා පැහැදිලි වුණේ කොහොමද?

10 සහෝදර රසල් මිය ගිහින් අවුරුදු 3කට පස්සේ ඒ කියන්නේ 1919දී යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පත් කළා. ඒ ඇයි? තමන්ගේ අනුගාමිකයන්ට “නියම වේලාවට ආහාර දෙන්නයි.” (මතෙ. 24:45) ඒ කාලේ ලෝක මූලස්ථානයේ සේවය කරපු අභිෂේක ලත් සහෝදරයන්ගෙන් හැදුණ පොඩි කණ්ඩායමක් යේසුස්ගේ අනුගාමිකයන්ට බයිබලේ සඳහන් ඉගැන්වීම් පැහැදිලි කරලා දුන්නා. 1940 ගණන්වලදී අපේ ප්‍රකාශනවල “පාලක මණ්ඩලය” කියන යෙදුම පාවිච්චි කරන්න පටන්ගත්තා. ඒ කාලෙදී සහෝදරයන් හිතුවේ “වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි” කියන නීතික සංස්ථාවේ අධ්‍යක්ෂකවරුන්ගෙන් පාලක මණ්ඩලය හැදිලා තියෙනවා කියලයි. ඒත් 1971දී එයාලා තේරුම්ගත්තා පාලක මණ්ඩලයේ සාමාජිකයන් නීතික සංස්ථාවේ අධ්‍යක්ෂකවරුන් වෙන්න අවශ්‍ය නැහැ කියලා. මොකද “වොච් ටවර්” සමිතිය තිබුණේ නීතික කටයුතු සඳහායි. එදා ඉඳන් පාලක මණ්ඩලයේ සාමාජිකයන් වුණේ නීතික සංස්ථාවේ අධ්‍යක්ෂකවරුන් විදිහට සේවය කළේ නැති, අභිෂේක ලත් අයයි. මෑත කාලේ ඉඳන් “වෙනත් බැටළුවන්ට” අයිති සහෝදරයනුත් “වොච් ටවර්” සමිතියේ සහ දෙවිගේ සෙනඟ පාවිච්චි කරන අනිත් නීතික සංස්ථාවල අධ්‍යක්ෂකවරුන් විදිහට සේවය කරනවා. ඒ නිසා පාලක මණ්ඩලයට ඉගැන්වීමේ කාර්යයට වැඩි අවධානයක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. (යොහ. 10:16; ක්‍රියා 6:4) “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කියන්නේ අභිෂේක ලත් සහෝදරයන් ටිකදෙනෙක්ගෙන් හැදුණ පාලක මණ්ඩලයටයි කියලා 2013 ජූලි 15 ‘මුරටැඹ’ කලාපයේ පැහැදිලි කළා.

1950 ගණන්වල පාලක මණ්ඩලය

11. පාලක මණ්ඩලය තීරණ ගන්නේ කොහොමද?

11 පාලක මණ්ඩලය තීරණ ගන්නේ කණ්ඩායමක් විදිහට. එයාලා හැම සතියකම රැස් වෙලා දේවල් සාකච්ඡා කරනවා. ඒ විදිහට රැස් වෙන එක හොඳින් අදහස් හුවමාරු කරගන්න, එක්සත්කම රැකගන්න එයාලට උදව්වක්. (හිතෝ. 20:18) අනිත් සාමාජිකයන්ට වඩා තමන් උසස් කියලා පාලක මණ්ඩලයේ කිසිම කෙනෙක් හිතන්නේ නැහැ. ඒ නිසා පාලක මණ්ඩලයේ සහෝදරයන් මාරුවෙන් මාරුවට ඒ රැස්වීම්වල පෙරමුණ ගන්න වගකීම ඉටු කරනවා. ඒ වගකීම ඉටු කරන කෙනා අවුරුද්දකට සැරයක් මාරු වෙනවා. (1 පේතෘ. 5:1) පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් හැදිලා තියෙන කමිටු හයෙත් පෙරමුණ ගන්න කෙනා අවුරුද්දකට සැරයක් මාරු වෙනවා. ‘මමයි නායකයා’ කියලා පාලක මණ්ඩලයේ ඉන්න කිසිම සහෝදරයෙක් හිතන්නේ නැහැ. ඒ එක් එක් සාමාජිකයාත් දාසයාගෙන් පෝෂණය ලබන “මෙහෙකරුවන්ට” අයිතියි. එයාලත් දාසයා දෙන මඟ පෙන්වීම් පිළිපදිනවා.

විශ්වාසවන්ත දාසයාව 1919 පත් කරපු දා ඉඳන් එයාලා දෙවිගේ සෙනඟට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා (10 සහ 11 ඡේද බලන්න)

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?”

12. ඊළඟට බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

12 පාලක මණ්ඩලයට දෙවි දේවල් කෙළින්ම එළිදරව් කරන්නේ නැහැ. ඒකේ ඉන්න අය පරිපූර්ණ අයත් නෙමෙයි. ඒ නිසා බයිබලේ සඳහන් කාරණා පැහැදිලි කරද්දී, සංවිධානයට යම් මඟ පෙන්වීම් දෙද්දී එයාලට වරදින්න පුළුවන්. උදාහරණෙකට ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන ප්‍රකාශනයේ “අපේ විශ්වාසයන් වඩාත් පැහැදිලි වී ඇති අයුරු” කියන මාතෘකාව බලන්න. ඒකේ මෑත කාලවලදී අපේ අවබෝධය තවත් පැහැදිලි වුණ විෂයන් ගැන ලැයිස්තුවක් තියෙනවා. ඔහු පත් කරන විශ්වාසවන්ත දාසයාට කිසිම විදිහකින් වරදින්නේ නැහැ කියලා යේසුස් කිව්වේ නැහැ. එහෙමනම් අපිට මඟ පෙන්නන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කියලා අපි දන්නේ කොහොමද? (මතෙ. 24:45) පාලක මණ්ඩලය තමයි විශ්වාසවන්ත දාසයා කියලා කියන්න තියෙන සාක්ෂි මොනවද? දැන් අපි සාක්ෂි 3ක් බලමු.

13. පාලක මණ්ඩලයට දෙවි තමන්ගේ බලයෙන් උදව් කරලා තියෙන්නේ කොහොමද?

13 දෙවි තමන්ගේ බලයෙන් උදව් කරනවා. කලින් තේරුම්ගන්න බැරි වුණ බයිබල් සත්‍යයන් තේරුම්ගන්න දෙවි තමන්ගේ බලය මාර්ගයෙන් පාලක මණ්ඩලයට උදව් කරලා තියෙනවා. උදාහරණෙකට අපේ අවබෝධය තවත් පැහැදිලි වුණ විෂයන් ගැන හිතන්න. “දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා” ඒ විදිහට තේරුම්ගන්න, ඒවා පැහැදිලි කරලා දෙන්න වෙන කාටවත් පුළුවන් වෙලා නැහැ. (1 කොරින්ති 2:10 කියවන්න.) පාවුල් කිව්වේ “අප ඒ දේවල් දැනගත්තේ අපගේම නුවණින්වත් යම් මිනිසෙකු ඒවා ගැන අපට කියා දුන් නිසාවත් නොවේ. අප ඒ දේවල් අවබෝධ කරගත්තේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින්” කියලා. අද ඉන්න පාලක මණ්ඩලයට හැඟෙන්නෙත් ඒ විදිහටමයි. (1 කොරි. 2:13) සියවස් ගාණක් පුරා සත්‍ය ඉගැන්වීම් යටපත් වුණත් 1919 ඉඳන් බයිබලේ සඳහන් ඉගැන්වීම් ගැන තියෙන අවබෝධය තව තවත් වැඩි වෙලා තියෙන්නේ ඒවා තේරුම්ගන්න දෙවි තමන්ගේ බලය මාර්ගයෙන් පාලක මණ්ඩලයට උදව් කරන නිසයි.

14. එළිදරව් 14:6, 7 සඳහන් විදිහට පාලක මණ්ඩලයටත් දෙවිගේ සෙනඟටත් දේවදූතයන් උදව් කරන්නේ කොහොමද?

14 දේවදූතයන් උදව් කරනවා. ලෝකෙ පුරාම ශුභාරංචිය දේශනා කරන මිලියන 8කටත් වඩා වැඩි ප්‍රචාරකයන්ට මඟ පෙන්වීම් දෙන බැරෑරුම් වගකීම තියෙන්නේ පාලක මණ්ඩලයට. ඒත් දේවදූතයන්ගෙන් උදව් ලැබුණේ නැත්නම් ඒ කාර්යය මේ තරම් සාර්ථකව කරන්න පුළුවන් වෙයිද? (එළිදරව් 14:6, 7 කියවන්න.) දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරලා ඉවර වෙනවත් එක්කම සාක්ෂිකරුවන්ව මුණගැහුණ අයගේ අද්දැකීම් අපි කොයි තරම් නම් අහලා තියෙනවද! * දරුණු විරුද්ධවාදිකම් තියෙන පැතිවල වුණත් ශුභාරංචිය දේශනා කරන්න, බයිබල් පාඩම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දේවදූතයන්ගේ උදව් තියෙන නිසයි.

15. පාලක මණ්ඩලය සහ පල්ලිවල නායකයන් අතරේ තියෙන වෙනස මොකක්ද? උදාහරණයක් කියන්න.

15 දේවවචනයෙන් මඟ පෙන්වීම් ලැබෙනවා. (යොහන් 17:17 කියවන්න.) 1973දී සිද්ධ වුණ වෙනස්කමක් බලන්න. “දුම් බීමට ඇබ්බැහි වුණ කෙනෙක් ඒ පුරුද්ද අත්හැරියේ නැත්නම් එයාට බව්තීස්ම වෙන්න පුළුවන්ද” කියන ප්‍රශ්නය ඒ අවුරුද්දේ පළ වුණ ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ අහලා තිබුණා. (ඉංග්‍රීසියෙන්) එහෙම කෙනෙක්ට බව්තීස්ම වෙන්න සුදුසුකම් නැහැ කියලා බයිබල් ප්‍රතිපත්ති පාවිච්චි කරලා ඒකේ පැහැදිලි කළා. බව්තීස්ම වුණ කෙනෙක් ඒ පුරුද්ද අත්හරින්නේ නැත්නම් එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න ඕනෙ ඇයි කියලා පෙන්නන බයිබල් පද කීපයකුත් ඒ ලිපියේ තිබුණා. (1 කොරි. 5:7; 2 කොරි. 7:1) ඒ වගේ ස්ථිර තීරණයක් ගත්තේ දේවවචනයේ තියෙන අදහස් සැලකිල්ලට අරන් මිසක් මිනිසුන්ගේ අදහස් සැලකිල්ලට අරන් නෙමෙයි කියලත් ඒකේ සඳහන් වුණා. වෙන කිසිම ආගමික සංවිධානයක් දේවවචනයට කීකරු වෙන්න ඒ තරම් වෑයමක් දරලා තියෙනවද? විශේෂයෙන්ම ඒකේ සාමාජිකයන්ට යම් වෙනස්කමකට කීකරු වෙන්න අමාරු අවස්ථාවලදී ඒ දේ කරලා තියෙනවද? මෑතකදී ආගම් ගැන ලියපු පොතක මේ වගේ අදහසක් සඳහන් වුණා. “පල්ලිවල නායකයන් නිතරම එයාලගේ ඉගැන්වීම් සමාජයේ රැල්ලට අනුව වෙනස් කරනවා. ඒ ආගම්වල සාමාජිකයනුත් ඒ වෙනස්කම් අනුමත කරනවා.” ඒත් පාලක මණ්ඩලය හැම තීරණයක්ම ගන්නේ දේවවචනයේ තියෙන මඟ පෙන්වීම් සැලකිල්ලට අරන් මිසක් වැඩිදෙනෙක්ගේ කැමැත්තට අනුව නෙමෙයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ අපිට ඇත්තටම මඟ පෙන්නන්නේ යෙහෝවා දෙවි කියලයි.

‘ඔබ අතරෙහි පෙරමුණ ගන්න අයව අමතක නොකරන්න’

16. පාලක මණ්ඩලයේ අයව අපි අමතක කරන්නේ නැහැ කියලා පෙන්නන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

16 හෙබ්‍රෙව් 13:7 කියවන්න. ‘ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන අයව අමතක නොකරන්න’ කියලා අපිට බයිබලේ උනන්දු කරනවා. එයාලා වෙනුවෙන් යාච්ඤා කරන එක ඒ දේ කරන්න පුළුවන් එක විදිහක්. (එෆී. 6:18) එයාලට බැරෑරුම් වගකීම් හුඟක් තියෙනවා. දේවවචනයෙන් දෙවිගේ සේවකයන්ව පෝෂණය කරන එක, ලෝකෙ පුරාම සිද්ධ වෙන දේශනා සේවයට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන එක, සම්මාදම් ඥානවන්තව පාවිච්චි කරන එක ඒ වගකීම්වලට ඇතුළත්. ඒ නිසා අපේ යාච්ඤාවලදී එයාලව මතක් කරන එක කොච්චර වැදගත්ද!

17, 18. (අ) පාලක මණ්ඩලයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අපිට පුළුවන් කොහොමද? (ආ) සේවයේ හවුල් වෙන එක යේසුස්ටයි පාලක මණ්ඩලයටයි සහය වෙන්න පුළුවන් විදිහක් කියන්නේ ඇයි?

17 පාලක මණ්ඩලයෙන් ලැබෙන උපදෙස්වලට, මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී අපි එයාලව අමතක කරලා නැහැ කියලා පෙන්නනවා. අපේ ප්‍රකාශන, රැස්වීම්, සමුළු මාර්ගයෙන් පාලක මණ්ඩලය අපිට මඟ පෙන්වීම් දෙනවා. චාරිකා සේවකයන්ව පත් කරන්නෙත් පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ. ඒ චාරිකා සේවකයන් වැඩිමහල්ලන්ව පත් කරනවා. තමන්ට ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී වැඩිමහල්ලන් සහ චාරිකා සේවකයන් පෙන්නන්නේ එයාලට පාලක මණ්ඩලය අමතක වෙලා නැහැ කියලයි. යේසුස් පත් කරලා තියෙන ඒ අයට කීකරු වෙද්දී අපි ගරු කරන්නේ අපේ නායකයා වන යේසුස්ට.—හෙබ්‍රෙ. 13:17.

18 අපිට පාලක මණ්ඩලය අමතක වෙලා නැහැ කියලා පෙන්නන්න පුළුවන් තවත් විදිහක් දේශනා සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන එක. හෙබ්‍රෙව් 13:7 අපිට උනන්දු කරන්නේ අපි අතරේ පෙරමුණ ගන්න අයගේ විශ්වාසය ආදර්ශයට ගන්න කියලයි. පාලක මණ්ඩලයේ සහෝදරයන් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරලා, ඒ දේම කරන්න අනිත් අයව උනන්දු කරලා එයාලට නොසැලෙන විශ්වාසයක් තියෙනවා කියලා ඔප්පු කරලා තියෙනවා. ඒ වැදගත් කාර්යය කරන්න අපි එයාලට සහය දෙනවද? ඒ දේ අපි කරනවා නම් යේසුස් මේ වදන් කියද්දී අපිට ලොකු සතුටක් දැනෙයි. “මගේ මේ සහෝදරයන් අතරින් සුළුම තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.”—මතෙ. 25:34-40.

19. අපේ නායකයා වන යේසුස්ට කීකරු වෙන්න ඔයා අදිටන් කරගෙන ඉන්නේ ඇයි?

19 යේසුස් ස්වර්ගයට ගියේ ඔහුගේ අනුගාමිකයන්ව අත්හැරලා දාලා නෙමෙයි. (මතෙ. 28:20) පොළොවේ ඉද්දී දෙවිගේ සේවයේ පෙරමුණ අරන් දේවල් කරන්න දෙවිගේ බලය, දේවදූතයන්, දේවවචනය තමන්ට කොච්චර උදව් වුණාද කියලා යේසුස් අද්දැක්කා. ඒ නිසා ඔහු අදත් ඒ විදිවලින්ම විශ්වාසවන්ත දාසයාට උදව් කරනවා. පාලක මණ්ඩලය “බැටළු පැටවා” වන යේසුස් ‘කොතැනකට ගියත් දිගටම ඔහු පසුපස යනවා.’ (එළි. 14:4) එහෙම බලද්දී පාලක මණ්ඩලයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙද්දී අපි ඇත්තටම කීකරු වෙන්නේ අපේ නායකයා වන යේසුස්ට. ළඟදීම ඔහු අපිව පාරාදීසයට ගෙන යයි. (එළි. 7:14-17) ඒ වගේ පොරොන්දුවක් දෙන්න වෙන කිසිම පාලකයෙක්ට පුළුවන්ද?

^ 3 ඡේ. පේන විදිහට දෙවිගේ අරමුණ වුණේ යේසුස්ගේ නියෝජිතයන් 12දෙනෙකුගෙන් නව යෙරුසලමේ “අත්තිවාරම් ගල් දොළහා” දාන එකයි. (එළි. 21:14) ඒ නිසා විශ්වාසවන්තව ඉඳලා ඒ අයගෙන් කෙනෙක් මිය ගියාම එයා වෙනුවට තව නියෝජිතයෙක්ව පත් කරන්න ඕනෙ වුණේ නැහැ.

^ 8 ඡේ. 1955 ඉඳන් ඒ සංස්ථාව හඳුන්වන්නේ “වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් පෙන්සිල්වේනියා” කියලා.