Skip to content

පටුනට යන්න

1933දී සහෝදර ජෝජ් රෝල්ස්ටන් සහ ආතර් විලස් දුෂ්කර පැත්තක සේවයේ යන අතරතුරේ කාර් එකේ රේඩියේටරයට වතුර දාන ගමන්

අතීතයෙන් බිඳක්

“යන්න බැරි දුරක්වත් දුෂ්කර තැනක්වත් නැහැ”

“යන්න බැරි දුරක්වත් දුෂ්කර තැනක්වත් නැහැ”

1937 මාර්තු 26වෙනිදා දූවිල්ලෙන් වැසුණු ට්‍රක් රථයක් හෙමින් හෙමින් සිඩ්නි නගරය දිහාවට ගමන් කළා. ඕස්ට්‍රේලියා මහාද්වීපයේ දුෂ්කර ප්‍රදේශ හරහා කි.මී. 19,300කට වඩා ගමන් කරපු ඒ රථය සිඩ්නි නගරයෙන් පිටත් වෙලා තිබුණේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒ රථයේ ගමන් කළේ දේශගවේශකයන්ද? නැහැ. ඒකේ හිටියේ ආතර් විලස් සහ බිල් නිව්ලන්ඩ්ස් කියන සහෝදරයන් දෙන්නයි. එයාලා ඕස්ට්‍රේලියාවේ විශාල ප්‍රදේශයක් පුරා ශුභාරංචිය දේශනා කරන්න ඇපකැප වෙලා සේවය කරපු පුරෝගාමීන් අතරින් දෙන්නෙක් විතරයි.

ඕස්ට්‍රේලියාවේ හිටපු බයිබල් ශිෂ්‍යයන් * කුඩා පිරිස 1920 ගණන්වල අගභාගය වෙද්දී දේශනා කරලා තිබුණේ වෙරළ තීරයේ තිබුණු නගරවල සහ ඒ අවට ප්‍රදේශවල විතරයි. ඒත් රට මැදට වෙන්න තිබුණ විශාල ප්‍රදේශය පුරාම මිනිසුන් තැනින් තැන ජීවත් වුණා. ඒ ප්‍රදේශ හරිම වියළියි, දුෂ්කරයි. යේසුස්ගේ අනුගාමිකයන් ඒ වගේ “පොළොවේ දුර ඈත කෙළවරවල” ඉන්න මිනිසුන්ටත් ශුභාරංචිය කියන්න ඕනෙ කියලා බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තා. (ක්‍රියා 1:8) එච්චර විශාල කාර්යයක් එයාලා කරන්නේ කොහොමද? තමන් දරන වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කරයි කියලා මුළු හදින්ම විශ්වාස කරපු බයිබල් ශිෂ්‍යයන්, දුෂ්කර ප්‍රදේශවලට ශුභාරංචිය අරන් යන්න අදිටන් කරගත්තා.

පුරෝගාමීන් ඒ කාර්යයට මුලපුරයි

1929දී ක්වීන්ස්ලන්තයේ සහ බටහිර ඕස්ට්‍රේලියාවේ සභාවල සහෝදරයන් දුෂ්කර පැතිවලට යන්න පුළුවන් විදිහට වෑන් රථ කිහිපයක් සකස් කරගත්තා. දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්, වාහනේ කැඩුණොත් හදාගන්න හැකියාව තිබුණු පුරෝගාමීන් ඒ ගමනට මුලපිරුවා. එයාලට පුළුවන් වුණා කවදාවත් දේශනා කරලා නොතිබුණු ප්‍රදේශ රැසකට ශුභාරංචිය අරන් යන්න.

වාහනයක් ගන්න තරම් වත්කමක් තිබුණේ නැති පුරෝගාමීන් දුෂ්කර පැතිවලට බයිසිකල්වලින් යන්න තීරණය කළා. බෙනට් බ්‍රිකල් එහෙම ගිය සහෝදරයෙක්. 1932දී ක්වීන්ස්ලන්තයේ උතුරට වෙන්න තිබුණ දුෂ්කර ප්‍රදේශවල මාස 5ක් පුරා සේවය කරන්න හිතාගෙන එයා ගමන් ඇරඹුවා. ඒ වෙද්දී එයාට වයස 23යි. බ්ලැන්කට්, ඇඳුම්, කෑම වගේම අවශ්‍ය පොත් පත් එයා අරගෙන ගියේ බයිසිකලයෙන්. බයිසිකලේ ටයර් ගෙවුණත් එයා ගමන නතර කළේ නැහැ. යෙහෝවා දෙවි තමන්ට උදව් කරයි කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා. බයිසිකලේ තල්ලු කරගෙන ගමනේ අන්තිම කි.මී. 320 එයා ගියේ හරිම වියළි ප්‍රදේශයක් හරහා. ඒ ප්‍රදේශය හරහා ගිය සමහරු පිපාසයෙන් මිය ගිහින් තියෙනවා. ඊටපස්සේ ගෙවුණු අවුරුදු 30කටත් වැඩි කාලයක් පුරා සහෝදර බ්‍රිකල් බයිසිකලෙන්, මෝටර් සයිකලෙන්, කාර් එකෙන් ගිහින් කි.මී. දහස් ගණනක් පුරා ශුභාරංචිය ව්‍යාප්ත කළා. ආදිවාසීන් ජීවත් වුණු ප්‍රදේශවලට ශුභාරංචිය මුලින්ම අරන් ගිය එයා එහේ සභා පිහිටුවන්නත් උදව් කළා. සහෝදර බ්‍රිකල් ඒ ප්‍රදේශවල හිටපු හුඟදෙනෙක්ගේ ආදරේ දිනාගත්තා.

අභියෝග මැද ඉදිරියට

භූමි ප්‍රදේශයත් එක්ක බලද්දී අඩු ජනගහනයක් ජීවත් වෙන රටවලින් එකක් ඕස්ට්‍රේලියාව. විශේෂයෙන්ම එහේ දුෂ්කර පළාත්වල මිනිසුන් ජීවත් වෙන්නේ තැනින් තැන. ඒ වගේ දුර ඈත පැතිවල ඉන්න අයටත් ශුභාරංචිය කියන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොකු වෑයමක් දැරුවා.

ඒ වගේ වෑයමක් දරපු සහෝදරයන් දෙන්නෙක් ස්ටුවට් කෙල්ටි සහ විලියම් ටොරිංටන්. 1933දී එයාලා ශුභාරංචිය දේශනා කරන්න ඇලිස් ස්ප්‍රින්ග්ස් බලා පිටත් වුණා. ඒ ගමන එයාලට යන්න වුණේ වැලි කඳුවලින් පිරුණු සිම්ප්සන් කාන්තාරය හරහා. ගමන අතරමඟදී එයාලගේ පොඩි කාර් එක කැඩුණා. ඒ නිසා ඒක අත්හැරලා දාලා එයාලා ගමන දිගටම ගියා. ආබාධිතයෙක් වුණු සහෝදර කෙල්ටි ගමනේ ඉතුරු ටික ගියේ ඔටුවෙක්ගේ පිටේ. පිටිසර පැත්තක් වුණු විලියම් ක්‍රීක්වලදී පොඩි හෝටලයක් කරගෙන හිටපු චාල්ස් බර්න්හාට්ව එයාලට මුණගැහුණා. ශුභාරංචිය පිළිගත්ත එයා හෝටලය විකුණලා අවුරුදු 15ක් පුරා වියළි, හුදෙකලා ප්‍රදේශවල තනියම පුරෝගාමි සේවය කළා.

1936දී දුෂ්කර පැත්තක සේවයේ යන්න සූදානම් වෙන සහෝදර ආතර් විලස්

කඳු වගේ අභියෝග ආවත් ඒවා ජය ගන්න ඒ පුරෝගාමීන්ට පුළුවන් වුණේ එයාලා නොසැලී විඳදරාගත්ත නිසයි. එක අවස්ථාවක කි.මී. 32ක දුරක් ගමන් කරන්න සහෝදර ආතර් විලස්ටයි බිල් නිව්ලන්ඩ්ස්ටයි සති 2ක් ගියා. මොකද ඇද හැළුණු මහ වැසි නිසා මුළු කාන්තාරයම මඩ වගුරක් වෙලයි තිබුණේ. සමහර අවස්ථාවලදී එයාලට ගිනි අව්වේ පිච්චි පිච්චි වැලි කඳු උඩින් ට්‍රක් එක තල්ලු කරන්න වුණා. රළු නිම්න දිගේ, වැල්ලෙන් පිරුණු ගං ඉවුරු දිගේ එයාලා ට්‍රක් රථය පදවගෙන ගියා. නිතරම වගේ ඒ ට්‍රක් එක කැඩුණා. එහෙම වුණාම ඒක හදන්න අවශ්‍ය අමතර කොටස් ගේන්න එයාලා පයින් හරි බයිසිකලයෙන් හරි ළඟම තිබුණු නගරයට යනවා. අමතර කොටස් ලැබෙන කල් එයාලා සති ගණන් බලන් ඉන්නවා. ඒ මොන බාධා ආවත් එයාලා සැලුණේ නැහැ. සහෝදර විලස් “ද ගෝල්ඩන් ඒජ්” සඟරාවේ තිබුණු අදහසක් එයාගේ වචනවලින් කිව්වේ මෙහෙමයි. “දෙවිගේ සාක්ෂිකරුවන්ට යන්න බැරි දුරක්වත් දුෂ්කර තැනක්වත් නැහැ.”

දිගු කාලයක් පුරා පුරෝගාමි සේවය කරපු සහෝදර චාල්ස් හැරිස් මෙහෙම කිව්වා. “හුදෙකලා ප්‍රදේශවල සේවය කරද්දී මුහුණ දීපු අභියෝග නිසා මං යෙහෝවා දෙවිට තවත් ළං වුණා. දේවල් අඩුවෙන් තියෙන තරමට සේවය කරන්න පහසුයි. එළිමහනේ වුණත් නිදාගන්න යේසුස් සූදානමින් හිටියා නම් ශුභාරංචිය වෙනුවෙන් අපිත් ඒ වගේ කැප කිරීම් කරන්න කැමැත්තෙන් ඉන්න ඕනේ.” පුරෝගාමීන් හුඟදෙනෙක් ඒ දේ කළා. වෙහෙස නොබලා එයාලා කරපු සේවය නිසා ඕස්ට්‍රේලියා මහාද්වීපයේ අස්සක් මුල්ලක් නෑර ශුභාරංචිය ව්‍යාප්ත වුණා. විශාල පිරිසකට දේවරාජ්‍යයේ යටත්වැසියන් වෙන අවස්ථාව ඒකෙන් උදා වුණා.

^ 4 ඡේ. 1931 ඉඳන් බයිබල් ශිෂ්‍යයන්ව හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා.—යෙසා. 43:10.