Skip to content

පටුනට යන්න

බයිබලේ සඳහන් වාර්තා ඔයා හිතට ගන්නවද?

බයිබලේ සඳහන් වාර්තා ඔයා හිතට ගන්නවද?

“ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට අනතුරු ඇඟවීමක් ලෙසය.”—1 කොරි. 10:11.

ගීතිකා: 11, 61

1, 2. යූදා දේශයේ රජවරුන් 4දෙනා ගැන අපි සාකච්ඡා කරන්නේ ඇයි?

පාරක ඇවිදගෙන යද්දී ඔයා දකිනවා කෙනෙක් ලිස්සලා වැටෙනවා. එතනින් යද්දී ඔයා වෙනදට වඩා පරෙස්සම් වෙන්නේ නැද්ද? වෙනත් අය අතින් වුණ වැරදි, අඩුපාඩු ගැන සලකලා බලද්දී අපි කරන්නෙත් ඒ වගේ දෙයක්. එතකොට ඒ වගේ වැරදිවලින් වැළකෙන්න අපිට පුළුවන්. සමහරු අතින් වුණ අඩුපාඩු ගැන බයිබලෙත් සඳහන් වෙනවා. ඒ අපිට වටිනා පාඩම් කියලා දෙන්නයි.

2 අපි කලින් ලිපියේ බලපු යූදා රජවරුන් 4දෙනා දෙවිට මුළු හදවතින්ම සේවය කළා. ඒත් එයාලා අතිනුත් වැරදි වුණා. ඒ අයගේ අද්දැකීම් බයිබලේ සඳහන් කරලා තියෙන්නේ ඒවා ගැන හොඳින් හිතලා වැදගත් පාඩම් ඉගෙනගන්න. එයාලගේ අද්දැකීම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? එයාලා කරපු වැරදිවලින් වැළකෙන්න අපිට පුළුවන් කොහොමද?—රෝම 15:4 කියවන්න.

මිනිසුන්ගේ නුවණ ගැන විශ්වාසය තියන එක භයානකයි!

3-5. (අ) ආසා රජ මුළු හදවතින්ම දෙවිට සේවය කළත් එයා අතින් වුණ වරද මොකක්ද? (ආ) බාෂා රජු යූදා රාජ්‍යයට විරුද්ධව ආපු වෙලාවේ ආසා මිනිසුන්ගේ නුවණ ගැන විශ්වාසය තියන්න ඇත්තේ ඇයි?

3 අපි මුලින්ම ආසා රජු ගැන බලමු. දසලක්ෂයක් සෙබළුන් එක්ක ඉතියෝපීය හමුදාව යුද්දෙට ආපු වෙලාවේ ආසා යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කළා. ඒත් යූදා රාජ්‍යයේ දේශ සීමාවේ තිබුණ රාමා නුවරේ ආරක්ෂාව තව වැඩි කරන්න ඊශ්‍රායෙලයේ රජ වුණ බාෂා පියවර ගත්ත වෙලාවේ ආසා දෙවි ගැන විශ්වාසය තිබ්බේ නැහැ. (2 ලේක. 16:1-3) එයාට ඕනෙ වුණේ බාෂා රාමා නුවරේ පටන්ගත්ත වැඩ නවත්තන්න. ඒක කරන්න පුළුවන් හොඳම විදිහ සිරියාවේ රජුගෙන් උදව් ගන්න එකයි කියලා හිතපු ආසා, එයාට තෑගිබෝග යැව්වා. සිරියානු හමුදාව ඊශ්‍රායෙල් නගරවලට පහර දෙන්න පටන්ගත්තම බාෂා රජ “රාමා නුවරෙහි කළ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නතර කළා.” (2 ලේක. 16:5) තමන් ගත්තේ ඥානවන්ත තීරණයක් කියලා ඒ වෙලාවේ ආසා රජුට හිතෙන්න ඇති.

4 ඒත් ඒ ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කොහොමද? ආසා රජු දෙවි ගැන විශ්වාසය තිබ්බේ නැති එක ගැන දෙවි සතුටු වුණේ නැහැ. දෙවි ආසාව නිවැරදි කරන්න අනාගතවක්තෘ හනානිව යැව්වා. (2 ලේකම් 16:7-9 කියවන්න.) “මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි” කියලා හනානි එයාට කිව්වා. බාෂා රජ රාමා නුවර අත්හැරලා ගියා තමයි. ඒත් ආසා රජුගේ පාලනයේ ඉතුරු කාලය පුරාම හුඟක් යුද්ධ ඇති වුණා.

5 ආසා රජු අතින් වැරදි වුණත් දෙවි එයාව සැලකුවේ මුළු හදවතින්ම ඔහුට සේවය කරන කෙනෙක් විදිහටයි. ඒ ගැන අපි කලින් ලිපියෙන් දැනගත්තා. (1 රාජා. 15:14) එහෙමයි කියලා එයා ගත්ත වැරදි තීරණේ ප්‍රතිඵලවලින් දෙවි එයාව බේරුවේ නැහැ. දෙවි ගැන විශ්වාසය තියනවා වෙනුවට මේ වෙලාවේ ඇයි එයා තමන් ගැනත් අනිත් මිනිසුන් ගැනත් විශ්වාසය තිබ්බේ? සමහරවිට එයා හිතන්න ඇති යුධ උපක්‍රම පාවිච්චි කරලා සටන දිනන්න පුළුවන් කියලා. නැත්නම් සමහරු දීපු මෝඩ උපදෙස්වලට එයා සවන් දෙන්න ඇති.

6. ආසා අතින් වුණ වරදින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? උදාහරණයක් දෙන්න.

6 ආසා අතින් වුණ වරදින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? ජීවිතේ අමාරු අභියෝග එද්දී යෙහෝවා දෙවිගේ උදව් ඉල්ලන්න අපි පෙලඹෙන්නේ නිතැතින්මයි. ඒත් එදිනෙදා එන එච්චර අමාරු නැහැ වගේ පේන අභියෝගවලදී අපි මොනවද කරන්නේ? ඒවා ජය ගන්න ඔයා උත්සාහ කරන්නේ ඔයාට හොඳයි කියලා හිතෙන විදිහටද? නැත්නම් ඒ සම්බන්ධයෙන් බයිබලේ තියෙන මඟ පෙන්වීම් හොයලා බලලා ඒවා අදාළ කරගන්නවද? හිතන්න, රැස්වීමකට නැත්නම් සමුළුවකට යන්න පවුලේ අය ඔයාට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ වගේ වෙලාවකදී කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඔයා දෙවිගෙන් උදව් ඉල්ලනවද? නැත්නම් හිතන්න, ඔයාගේ රස්සාව නැති වුණා කියලා. කාලයක් තිස්සේ රස්සා හොයලා හොයලා දැන් ඔයාට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා තියෙනවා. රස්සාව ලැබෙන්නේ නැති වෙයි කියලා හිතලා හැම සතියකම ඔයාට අනිවාර්යයෙන්ම රැස්වීම්වලට යන්න ඕනෙ කියලා ඔයා නොකියා ඉන්නවද? අපි මුහුණ දෙන අභියෝගය මොකක් වුණත් ගීතිකාකරුගේ මේ උපදෙස මතක තියාගමු. “ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න. ඔහු මත රඳා සිටින්න. එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි.”—ගීතා. 37:5.

වැරදි අයව ආශ්‍රය කළොත් මොනවා වෙයිද?

7, 8. යෙහෝෂපාට් කරපු වැරදි මොනවද? ලැබුණ ප්‍රතිඵල මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

7 දැන් අපි ආසා රජුගේ පුතා වුණ යෙහෝෂපාට් ගැන බලමු. එයාට හුඟක් හොඳ ගුණාංග තිබුණා. යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරද්දී එයා යහපත් දේවල් කළා. ඒත් එයා වැරදි තීරණත් ගත්තා. උදාහරණෙකට තමන්ගේ පුතාව දුෂ්ට ආහබ් රජුගේ දුවට විවාහ කරලා දෙන්න එයා තීරණය කළා. පස්සේ එයා ආහබ් රජු එක්ක එකතු වෙලා සිරියාවට විරුද්ධව යුද්දෙට ගියා. එහෙම කළේ අනාගතවක්තෘ මිකායා දුන්න අනතුරු ඇඟවීම කනකටවත් ගන්නේ නැතුව. ඒ සටනේදී එයාගේ ජීවිතේ බේරුණේ අනූනමයෙන්. (2 ලේක. 18:1-32) එයා ආපහු ආවම අනාගතවක්තෘ යේහු එයාගෙන් මෙහෙම ඇහුවා. “දුෂ්ටයන්ට උපකාර කරන එක හරි දෙයක් කියලා ඔබ සිතනවාද? යෙහෝවා දෙවිට ද්වේෂ කරන අයට ඇලුම් කරන එක සුදුසුද?”—2 ලේකම් 19:1-3 කියවන්න.

8 ඒ සිද්ධියෙන් යෙහෝෂපාට් පාඩමක් ඉගෙනගත්තද? නැහැ. දෙවි ගැන හිතේ ආදරයක් තිබුණත් ඔහුව සතුටු කරන්න ලොකු වුවමනාවක් තිබුණත් ආයේ සැරයක් එයා දෙවිට නමස්කාර නොකරපු කෙනෙක් එක්ක ඇසුරු කරන්න පටන්ගත්තා. ඒ ආහබ් රජුගේ පුතා වුණ අහසියා. ඒ දෙන්නා එකතු වෙලා නැව් හදන්න පටන්ගත්තා. ඒත් ඒ නැව්වලින් ප්‍රයෝජනයක් ගන්නත් කලින් ඒවා මුහුදුබත් වුණා.—2 ලේක. 20:35-37.

9. නරක යාළුවන්ව ආශ්‍රය කළොත් අපිට මොනවා වෙයිද?

9 යෙහෝෂපාට්ගේ අද්දැකීමෙන් අපිට මොනවද ඉගෙනගන්න පුළුවන්? එයා “මුළු හදවතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුව” කෙනෙක්. (2 ලේක. 22:9) ඒත් යෙහෝවා දෙවිට ආදරේ නැති අයව ආශ්‍රය කරන්න එයා තෝරගත්ත නිසා හුඟක් අමිහිරි දේවලට මුහුණ දෙන්න එයාට සිද්ධ වුණා. එක අවස්ථාවක එයාගේ ජීවිතෙත් අනතුරේ වැටුණා. මේ උපදෙස කවදාවත් අමතක කරන්න එපා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝ. 13:20) අපි අනිත් අයව ආශ්‍රය කළොත් තමයි යෙහෝවා දෙවි ගැන එයාලට කියලා දෙන්න පුළුවන් වෙන්නේ කියලා හිතෙයි. ඒත් දෙවිට නමස්කාර කරන්නේ නැති අයව කිට්ටුවෙන් ඇසුරු කරන එක භයානක දෙයක්.

10. (අ) විවාහ වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට යෙහෝෂපාට්ගේ අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (ආ) අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

10 විවාහ වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට යෙහෝෂපාට්ගේ අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? හිතන්න, දෙවිට නමස්කාර නොකරන කෙනෙක් ගැන හිතේ කැමැත්තක් ඇති වෙලා තියෙන කෙනෙක් ගැන. සාක්ෂිකරුවන් අතරින් විවාහ වෙන්න කෙනෙක්ව හොයාගන්න බැරි වෙයි කියලා එයාට හිතෙයි. වයස යන්න කලින් බඳින්න කියලා නෑදෑයන් බල කරනවත් ඇති. ඇත්ත, යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ ආදරේ කරන්න, ආදරේ ලබන්න තියෙන අවශ්‍යතාව ඇතුවයි. ඒත් විවාහ වෙන්න සුදුසු කෙනෙක්ව හොයාගන්න බැරි නම් මොකද කරන්නේ? යෙහෝෂපාට් රජුට වුණ දේ ගැන හිතලා බලන්න. එයා නිතරම දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා. (2 ලේක. 18:4-6) ඒත් ආහබ්ව ඇසුරු කරන්න පටන්ගත්තට පස්සේ එයා දෙවිගේ අනතුරු ඇඟවීම් සැහැල්ලුවට ගත්තා. හරි නම් එයා මේ දේ මතක තියාගන්න තිබුණා. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.” (2 ලේක. 16:9) අපිටත් උදව් කරන්න යෙහෝවා දෙවි ආසාවෙන් ඉන්නවා කියලා මතක තියාගමු. දෙවි අපිට ආදරෙයි. ඔහු අපිව තේරුම්ගන්නවා. ආදරේ කරන්න, ආදරේ ලබන්න අපිට තියෙන අවශ්‍යතාව වගේම සහකරුවෙක්, සහකාරියක් එක්ක ජීවිතේ බෙදාගන්න තියෙන ආසාව ඉටු කරන්න දෙවිට පුළුවන්. ඒක ඔයාට විශ්වාසද? යම් දවසක ඔයාගේ ආසාව දෙවි අනිවාර්යයෙන්ම ඉටු කරයි.

යෙහෝවා දෙවිට ආදරේ කරන්නේ නැති අයව කිට්ටුවෙන් ඇසුරු කරන්න එපා (10 ඡේදය බලන්න)

උඩඟු සිතුවිලිවලට කිසිම ඉඩක් දෙන්න එපා!

11, 12. (අ) හෙසකියාගේ හදවතේ තත්වය පැහැදිලි වුණේ එයා කරපු මොන දේ නිසාද? (ආ) යෙහෝවා දෙවි හෙසකියාට සමාව දුන්නේ ඇයි?

11 දැන් අපි හෙසකියා රජු ගැන බලමු. හෙසකියා මැරෙන තරමට අසනීප වුණ වෙලාවේ එයා සුව වෙනවා කියලා දෙවි කිව්වා. ඒකට ලකුණක් විදිහට දෙවි පඩිපෙළට වැටුණ හෙවණැල්ල පඩි 10ක් ආපස්සට යන්න සැලැස්සුවා. ඒ ආශ්චර්යය ගැන දැනගන්න බැබිලෝනියේ අධිපතීන්ට ඕන වුණා. ඒ නිසා ඒ ගැන රජුගෙන් අහන්න එයාලා පණිවිඩකරුවන්ව එව්වා. (2 රාජා. 20:8-13; 2 ලේක. 32:24) “රජුගේ සිතේ සැබෑ තත්වය දැනගැනීම සඳහා සැබෑ දෙවි ඒ අවස්ථාවේදී එයාව අත්හැරියා.” (2 ලේකම් 32:31 කියවන්න.) ඇත්තටම හෙසකියා ඒ වෙලාවේ කරපු දෙයින් එයාගේ හදවතේ තත්වය පැහැදිලි වුණා. එයා වස්තු ගබඩාවේ තිබුණ හැම දේම බැබිලෝනියෙන් ආපු අයට පෙන්නුවා.

12 ඒකෙන් පැහැදිලි වුණේ මොකක්ද? හෙසකියාගේ හිතේ උඩඟුකමක් ඇති වෙලා කියලයි. ඒ නිසා ‘දෙවි තමා වෙනුවෙන් කළ සියලු දේ එයා අමතක කරලා දැම්මා.’ එයා උඩඟු වුණේ ඇයි කියලා බයිබලේ කියන්නේ නැහැ. සමහරවිට එහෙම වෙන්න ඇත්තේ ඇසිරියානු හමුදාව පරද්දන්න පුළුවන් වුණ නිසා වෙන්න ඇති. නැත්නම් දෙවි එයාව සුව කරපු නිසා වෙන්න ඇති. එහෙමත් නැත්නම් හුඟක් ධනය, තේජස එයාට ලැබුණ නිසා වෙන්න ඇති. හෙසකියා මුළු හදින්ම දෙවිට සේවය කරපු කෙනෙක් වුණත් එයා උඩඟු විදිහට වැඩ කරද්දී දෙවි ඒ ගැන සතුටු වුණේ නැහැ. පස්සේ එයා “උඩඟු ආකල්ප අත්හැර නිහතමානී වුණා.” ඒ නිසා දෙවි එයාට සමාව දුන්නා.—2 ලේක. 32:25-27; ගීතා. 138:6.

13, 14. (අ) අපේ හදවතේ තත්වය පැහැදිලි වෙන්නේ මොන වගේ දේවලට මුහුණ දෙද්දීද? (ආ) අපිට ප්‍රශංසා ලැබෙද්දී අපි මොනවද කරන්න ඕනේ?

13 හෙසකියාගෙන් අපිට මොනවද ඉගෙනගන්න පුළුවන්? මතකද හෙසකියාගේ හිතේ උඩඟුකමක් ඇති වෙලා කියලා පැහැදිලි වුණේ කොයි අවස්ථාවේද කියලා? ඒ වෙද්දී ඇසිරියානුවන්ව පරද්දන්න දෙවි එයාට උදව් කරලා වැඩි කල් ගිහින් තිබුණේ නැහැ. දෙවි එයාව සුව කරලා වැඩි කල් ගිහින් තිබුණෙත් නැහැ. අපිත් යම් දේවල් හොඳට කරද්දී අපේ හදවතේ තත්වය දකින්න ඒක අවස්ථාවක් වෙන්න බැරිද? විශේෂයෙන්ම අනිත් අය අපිට ප්‍රශංසා කරද්දී අපේ හිතේ උඩඟුකමක් තියෙනවා නම් ඒක පැහැදිලි වෙනවා. හිතන්න, සහෝදරයෙක් හොඳට සූදානම් වෙලා ලොකු පිරිසක් ඉදිරියේ දේශනයක් දෙනවා කියලා. එයාගේ දේශනය ගැන හැමෝම එයාට ප්‍රශංසා කරනවා. ඒ වෙලාවේ එයා කරන්න ඕනෙ මොකක්ද?

14 ප්‍රශංසා ලැබෙද්දී යේසුස් කියපු මේ දේ මතක තියාගන්න එක කොච්චර වටිනවද! “ඔබට පවරා තිබෙන සෑම දෙයක්ම කළ පසු, ‘අපි නිකම්ම නිකම් දාසයෝ පමණයි. අපි මේ කළේ අප කළ යුතු දේ විතරයි’ කියා පවසන්න.” (ලූක් 17:10) හෙසකියාගේ හිතේ උඩඟුකමක් ඇති වුණේ දෙවි එයා වෙනුවෙන් කරපු දේවල් එයා අමතක කරපු නිසයි. අපි කරපු දෙයක් ගැන අනිත් අය අපිට ප්‍රශංසා කරද්දී උඩඟු නොවී ඉන්න නම් යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන අපි නිතරම හිතන්න ඕනේ. අපිට අවධානය ගන්නවා වෙනුවට දෙවි ගැන, ඔහු අපිට උදව් කරපු විදිහ ගැන කතා කරන්න. දෙවි බයිබලය, ඔහුගේ බලය දුන්නේ නැත්නම් අපිට දක්ෂ විදිහට දේවල් කරන්න බැහැ.

තීරණ ගද්දී සැලකිලිමත් වෙන්න

15, 16. යොෂියාට තමන්ගේ ජීවිතේ අහිමි වුණේ ඇයි?

15 දැන් යොෂියා රජු ගැන බලමු. එයා හොඳ රජ කෙනෙක්. ඒත් එයා ගත්ත වැරදි තීරණයක් නිසා එයාට එයාගේ ජීවිතේ නැති වුණා. (2 ලේකම් 35:20-22 කියවන්න.) තමන්ට යොෂියා එක්ක යුද්ධ කරන්න ඕනෙ නැහැ කියලා ඊජිප්තුවේ රජ වුණ නෙකෝ කියලා තිබුණා. ඒත් යොෂියා තීරණය කළා යුද්දෙට යන්න. බයිබලේ කියන්නේ ‘නෙකෝ රජු මාර්ගයෙන් ඒ දේ පැවසුවේ දෙවි’ කියලයි. එහෙමනම් යොෂියා රජ නෙකෝට විරුද්ධව යුද්දෙට ගියේ ඇයි? ඒ ගැන බයිබලේ මුකුත් සඳහන් වෙන්නේ නැහැ.

16 හරි නම් යොෂියාට කරන්න තිබුණේ නෙකෝ තමන්ට කියපු දේ ඇත්තටම දෙවිගේ පණිවිඩයක්ද කියලා හොයලා බලන එකයි. එයාට යෙරෙමියාගෙන් නැත්නම් වෙන අනාගතවක්තෘවරයෙකුගෙන් ඒ ගැන අහන්න තිබුණා. (2 ලේක. 35:23, 25) ඒ විතරක් නෙමෙයි තීරණයක් ගන්න කලින් කාරණා ගැන හොඳට හිතලා බලන්න තිබුණා. නෙකෝ යුද්ධ කරන්න ආවේ යෙරුසලමටවත් දෙවිගේ සෙනඟටවත් විරුද්ධව නෙමෙයි. එයා ගියේ කර්කෙමිෂ්වලට. අනිත් එක එයා යෙහෝවා දෙවිට, ඔහුගේ සෙනඟට නින්දා අපහාස කළේ නැහැ. තීරණයක් ගන්න කලින් යොෂියා ඒ කාරණා ගැන හිතුවේ නැහැ. මොකක්ද පාඩම? යම් අභියෝගයකට මුහුණ දෙද්දී තීරණයක් ගන්න කලින් දෙවි බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්න අපි උත්සාහ කරන්න ඕනේ.

17. අභියෝගවලට මුහුණ දෙද්දී යොෂියා අතින් වුණ වරද නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද?

17 යම් අභියෝගයකට මුහුණ දෙද්දී තීරණයක් ගන්න කලින් ඒකට සම්බන්ධ වෙන බයිබල් ප්‍රතිපත්ති ගැනත් ඒවා අදාළ කරගන්න පුළුවන් විදිහ ගැනත් හිතන්න. සමහර කාරණාවලදී අපේ ප්‍රකාශනවලින් තව තොරතුරු හොයන්න වෙයි. ඒ කාරණය ගැන වැඩිමහල්ලෙක් එක්ක කතා කරන්නත් පුළුවන්. ඒ තත්වයට අදාළ වෙන තවත් බයිබල් ප්‍රතිපත්ති ගැන හිතන්න අපිට උදව් කරන්න එයාට පුළුවන්. මේ උදාහරණේ බලන්න. දෙවිට නමස්කාර කරන්නේ නැති සැමියෙක් ඉන්න සහෝදරියක් සේවයේ යන්න යම් දවසක් වෙන් කරගෙන ඉන්නවා. (ක්‍රියා 4:20) ඒ දවසේ සැමියා එයාගෙන් අහනවා “අපි කාලෙකින් කොහෙවත් ගියෙත් නැහැනේ. අද අපි දෙන්නා කොහේ හරි යමුද” කියලා. ඒ වෙලාවේ තීරණයක් ගන්න තමන්ට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැන සහෝදරිය හිතනවා. දෙවිට කීකරු වෙන එකෙත් යේසුස් දීපු ආඥාවට කීකරු වෙන එකෙත් වැදගත්කම ගැන කතා කරන බයිබල් පද එයාට මතක් වෙයි. (මතෙ. 28:19, 20; ක්‍රියා 5:29) ඒත් එක්කම බිරිඳ සැමියාට යටත් වෙන්න ඕනෙ කියලත් දෙවිගේ සේවකයන් වැඩ කරන්න ඕනෙ සාධාරණව කියලත් එයාට මතක් වෙයි. (එෆී. 5:22-24; ෆිලි. 4:5) එයාගේ සැමියාට ඕනෙ එයා සේවයේ යන එක සම්පූර්ණයෙන්ම නතර කරන්නද? නැත්නම් එයාත් එක්ක ටිකක් කාලේ ගත කරන්නද? යෙහෝවා දෙවිගේ සේවකයන් විදිහට අපි හැමෝටම ඕනෙ තීරණ ගද්දී සාධාරණ වෙන්න. ඒ තීරණ ගැන දෙවි සතුටු වෙනවා දකින්න.

දෙවිට මුළු හදින්ම සේවය කරන එකේ සතුට අද්දකින්න

18. යූදා දේශයේ රජවරුන් 4දෙනාගෙන් ඔයා ඉගෙනගන්නේ මොනවද?

18 යූදා රජවරුන් 4දෙනා අතින් වුණ වැරදි අපි අතිනුත් වෙන්න පුළුවන්. සමහරවිට අපි (1) අපේම නුවණ ගැන විශ්වාස කරලා වැඩ කරයි, (2) වැරදි අයව ආශ්‍රය කරයි, (3) උඩඟු විදිහට වැඩ කරයි, (4) දෙවිගේ කැමැත්ත තේරුම්ගන්නේ නැතුව තීරණ ගනියි. ඒ වගේ අඩුපාඩුකම් වුණත් දෙවිගේ හිත සතුටු කරන්න අපිට බැහැ කියලා හිතන්න හොඳ නැහැ. මොකද අපේ හොඳ ගුණාංග දෙවි දකිනවා. හරියට ඒ රජවරුන් 4දෙනාගේ හොඳ දෙවි දැක්කා වගේ. ඒ වගේම අපි දෙවිට කොච්චර ආදරේද කියලත් මුළු හදින්ම දෙවිට සේවය කරන්න අපිට කොයි තරම් කැමැත්තක් තියෙනවද කියලත් දෙවි දකිනවා. වැරදි තීරණ ගන්න එකෙන් වැළකෙන්න අපිට උදව් වෙන සිද්ධීන් ඔහු බයිබලේට ඇතුළත් කරලා තියෙන්නේ ඒ නිසයි. ඒ සිද්ධීන් ගැන අපි හොඳට හිතමු. ඒවා අපි වෙනුවෙන් වාර්තා කරපු එක ගැන දෙවිට ස්තුති කරමු.