Skip to content

පටුනට යන්න

පොරොන්දු වුණොත් එය ඉටු කරන්න

පොරොන්දු වුණොත් එය ඉටු කරන්න

“ඔබ යෙහෝවා දෙවිට වූ පොරොන්දු ඉටු කළ යුතුයි.”—මතෙ. 5:33.

ගීතිකා: 124, 51

1. (අ) යෙප්තායි, හන්නායි අතරේ තිබුණ සමානකම මොකක්ද? (ලිපියේ මුල් පින්තූර බලන්න.) (ආ) මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

යෙප්තා නිර්භීත නායකයෙක් වගේම දක්ෂ සටන්කරුවෙක්. හන්නා ගෙදරදොරේ වැඩපොළ කරගෙන සැමියාවත් ආදරෙන් බලාගත්ත යහපත් කාන්තාවක්. ඒ දෙන්නම නමස්කාර කළේ යෙහෝවා දෙවිට. යෙප්තායි, හන්නායි දෙන්නම යෙහෝවා දෙවිට විශේෂ පොරොන්දුවක් වුණා. ඒ දෙන්නම එයාලා වුණ පොරොන්දු ඒ විදිහටම ඉටු කළා. එයාලා අපිට හොඳ ආදර්ශයක්. මොකද අපිත් ජීවිතේ විවිධ අවස්ථාවලදී යම් දේවල් ගැන දෙවිට පොරොන්දු වෙනවා. බයිබලේ පොරොන්දුවක් කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? දෙවිට පොරොන්දුවක් දෙන එක සැහැල්ලුවට ගන්න බැරි ඇයි? යෙප්තාගෙනුයි, හන්නාගෙනුයි අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

2, 3. (අ) දෙවිට වෙන පොරොන්දුවක් නැත්නම් භාරයක් කියද්දී අදහස් කරන්නේ මොකක්ද? (ආ) දෙවිට වෙන පොරොන්දු අපි කොහොම සලකන්න ඕනෙ කියලද බයිබලේ කියන්නේ?

2 බයිබලේ දෙවිට වෙන පොරොන්දු නැත්නම් භාර ගැන කතා කරලා තියෙනවා. උදාහරණෙකට කෙනෙක් දෙවි වෙනුවෙන් යම් දෙයක් කරන්න, දෙවිට යම් දෙයක් පරිත්‍යාග කරන්න, යම් සේවයක් කරන්න නැත්නම් යම් දෙයකින් වැළකිලා ඉන්න පොරොන්දු වෙන්න පුළුවන්. පොරොන්දුවක් වෙන්න කෙනෙක් තීරණය කරන්නේ කාගෙවත් බල කිරීම නිසා නෙමෙයි කැමැත්තෙන්මයි. බයිබලේ පෙන්නලා තියෙන විදිහට පොරොන්දුවක් දිවුරුමක් තරම්ම බරපතළයි. (උත්. 14:22, 23; හෙබ්‍රෙ. 6:16, 17) දෙවිට වෙන පොරොන්දු සැහැල්ලුවට ගන්න බැහැ කියලා බයිබලේ සඳහන් දේවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

3 මෝසෙස්ට දුන්න නීතියේ මෙහෙම සඳහන් වෙනවා. “යම් පුරුෂයෙකු යෙහෝවා දෙවිට භාරයක් වුණොත් හෝ යම් දෙයකින් වැළකී සිටින බවට පොරොන්දු වෙමින් ඒ ගැන දිවුරුවොත් ඔහු එම භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි. ඔහු තමා පැවසූ ලෙස සියල්ල ඉටු කළ යුතුයි.” (ගණන්. 30:2) පස්සේ කාලෙක සලමොන් මෙහෙම කිව්වා. “ඔබ දෙවිට පොරොන්දුවක් දුන් විට එය ඉටු කිරීමට ප්‍රමාද නොවිය යුතුය. මන්ද අඥාන කෙනෙකුට කිසිවෙක් කැමති නැත. එබැවින් ඔබ යමක් පොරොන්දු වුවහොත් එය ඉටු කරන්න.” (දේශ. 5:4) දෙවිට පොරොන්දුවක් වෙන එක සැහැල්ලුවට ගන්න බැරි දෙයක් කියලා යේසුත් කිව්වා. ඔහු කිව්වේ මෙහෙමයි. “‘ඔබ දිවුරුමක් දුන් විට එය කඩ නොකර ඉටු කරන්න. ඔබ යෙහෝවා දෙවිට වූ පොරොන්දු ඉටු කළ යුතුයි’ කියා පුරාණයේ විසූ අයට පවසා තිබූ බව ඔබ අසා ඇති.”—මතෙ. 5:33.

4. (අ) දෙවිට පොරොන්දුවක් වෙන එක කොයි තරම් බැරෑරුම්ද? (ආ) යෙප්තා සහ හන්නා ගැන අපි බලන්නේ මොනවද?

4 අපි යෙහෝවා දෙවිට වෙන ඕනෑම පොරොන්දුවක් බැරෑරුම් දෙයක් විදිහට සලකන්න ඕනෙ කියලා පැහැදිලියි. මොකද අපි ඒ පොරොන්දු සැහැල්ලුවට ගන්නවා නම් දෙවිත් එක්ක අපිට තියෙන බැඳීමට ඒක බලපානවා. “යෙහෝවා දෙවිගේ කන්දට නැඟිය හැක්කේ කාටද? ඔහුගේ ශුද්ධස්ථානයට ඇතුල් විය හැක්කේ කාටද” කියලා දාවිත් ඇහුවා. ඊටපස්සේ එයාම මෙහෙම කිව්වා. “වංක ලෙස දිවුරුම් නොදුන් තැනැත්තාටය.” (ගීතා. 24:3, 4) යෙප්තායි, හන්නායි දෙවිට පොරොන්දු වුණේ මොනවද? ඒවා ඉටු කරන්න එයාලට ලේසි වුණාද?

එයාලා පොරොන්දු ඉටු කළා

5. යෙප්තා වුණ පොරොන්දුව මොකක්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

5 යෙහෝවා දෙවිගේ සෙනඟට සතුරුකම් කරපු අම්මොන්වරුන්ට විරුද්ධව යුද්දෙට යන්න කලින් ඒක දිනන්න උදව් කරන්න කියලා යෙප්තා දෙවිට කන්නලව් කළා. ඒ වෙලාවේ එයා දෙවිට පොරොන්දුවක් වුණා. (විනි. 10:7-9) එයා මෙහෙම පොරොන්දු වුණා. “ඔබ අම්මොන්වරුන්ව මගේ අතට හසු කර දුන්නොත් යුද්ධයෙන් ජය ලබාගෙන මම මගේ නිවසට යන විට මාව හමු වීමට මුලින්ම පැමිණෙන කෙනාව යෙහෝවා දෙවි වන ඔබට පූජා කරනවා.” යෙප්තාගේ යාච්ඤාවට ඇහුම්කන් දුන්න දෙවි, එයාට දිනන්න උදව් කළා. යුද්දේ ඉවර වෙලා යෙප්තා ගෙදර එද්දී එයාව හම්බ වෙන්න මුලින්ම ආවේ එයා හුඟක් ආදරේ කරපු එයාගේ දුව. දැන් යෙප්තාට ‘දෙවිට පූජා කරන්න’ වෙන්නේ දුවවයි. (විනි. 11:30-34) ඒ පොරොන්දුව දුවට බලපෑවේ කොහොමද?

6. (අ) පොරොන්දුව ඉටු කරන එක යෙප්තාටයි, දුවටයි ලේසි දෙයක් වුණාද? (ආ) ද්විතීය කතාව 23:21, 23 සහ ගීතාවලිය 15:4 සඳහන් දේවලින් පොරොන්දු ගැන අපි ඉගෙනගන්නේ මොනවද?

6 යෙප්තා දෙවිට වුණ පොරොන්දුව ඉටු කරන්න නම් එයාගේ දුව ශුද්ධ කූඩාරමේ සේවය කරන්න යන්න ඕනේ. ඒක එයා හැමදාටම කරන්න ඕනේ. ඒක හිතන්නේ බලන්නේ නැතුව වුණ පොරොන්දුවක්ද? නැහැ. තමන්ව හම්බ වෙන්න මුලින්ම තමන්ගේ දුව එන්න පුළුවන් කියලා එයා දැනගෙන ඉන්න ඇති. ඒක එයා දැනගෙන හිටියත් නැතත් දෙවිට වුණ පොරොන්දුව ඉටු කරන එක යෙප්තාටවත් දුවටවත් ලේසි දෙයක් වුණේ නැහැ. දුවව දැක්කම “මට දැනෙන මේ දුක විස්තර කරන්න මට වචන නැහැ” කියලා යෙප්තා කිව්වා. කවදාවත් විවාහ වෙන්න ලැබෙන්නේ නැති නිසා ඒ ගැන දුක් වෙන්න කාලයක් දෙන්න කියලා දුව යෙප්තාට කිව්වා. ඒ ඇයි? යෙප්තාට පුතාලා හිටියේ නැහැ. දැන් දුවටත් විවාහ වෙන්නවත් දරුවන් හදන්නවත් බැහැ. ඒ නිසා යෙප්තාගේ පෙළපත එතනින් අවසන් වෙනවා. ඒත් තමන්ට හැඟෙන දේට වඩා දෙවිට වුණ පොරොන්දුව ඉටු කරන එක වැදගත් කියලා ඒ දෙන්නම තේරුම්ගත්තා. “මම දුන් ඒ පොරොන්දුව කඩ කරන්න නම් මට කොහොමටවත් බැහැ” කියලා යෙප්තා කිව්වා. දුව කිව්වේ “ඒ පොරොන්දුව ඉටු කරන්න මම කැමතියි” කියලා. (විනි. 11:35-39) කොයි තරම් අමාරු වුණත් දෙවිට වුණ පොරොන්දුව කඩ කරන්න එයාලා හිතුවේවත් නැහැ. තාත්තායි, දුවයි දෙන්නම දෙවිට කොයි තරම් ළැදිද!—ද්විතීය කතාව 23:21, 23; ගීතාවලිය 15:4 කියවන්න.

7. (අ) හන්නා දෙවිට වුණ පොරොන්දුව මොකක්ද? එහෙම පොරොන්දු වුණේ ඇයි? හන්නා අද්දැක්කේ මොකක්ද? (ආ) හන්නා වුණ පොරොන්දුව සාමුවෙල්ට බලපාන්නේ කොහොමද? (පාදසටහන බලන්න.)

7 හුඟක් දුකෙන් හිටපු කාලෙක හන්නා යෙහෝවා දෙවිට පොරොන්දුවක් වුණා. එයා දුකෙන් හිටියේ එයාට දරුවෝ හිටියේ නැති එක ගැන අනිත් අය එයාට නිතරම නින්දා අපහාස කරපු නිසයි. (1 සාමු. 1:4-7, 10, 16) තමන්ට හැඟුණ හැම දේම දෙවිට කියපු හන්නා, මෙහෙම පොරොන්දු වුණා. “අනේ, ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ඔබේ දාසියක වන මා විඳින දුක් වේදනා දිහා බලා මාව සිහි කරන්න. අනේ, ඔබේ දාසියගේ කන්නලව් අමතක නොකර ඔබේ දාසියට පිරිමි දරුවෙකු ලබා දෙන්න. යෙහෝවා දෙවියනි, මම ඔහුව මුළු ජීවිත කාලය පුරාම ඔබට සේවය කිරීම සඳහා කැප කරන්නම්. කවදාවත් ඔහුගේ හිසකෙස් නොකපන්නත් මම පොරොන්දු වෙනවා.” * (1 සාමු. 1:11) දෙවි ඒ යාච්ඤාවට සවන් දුන්නා. ප්‍රතිඵලයක් විදිහට ඊළඟ අවුරුද්දේ හන්නාට පුතෙක් ලැබුණා. ඒ සාමුවෙල්. හන්නාට කොයි තරම් සතුටක් දැනුණත් එයා දෙවිට වුණ පොරොන්දුව අමතක කළේ නැහැ. දරුවා ඉපදුණ වෙලාවේ “මා ඔහුව ඉල්ලුවේ යෙහෝවා දෙවිගෙන්ය” කියලා හන්නා කිව්වා.—1 සාමු. 1:20.

8. (අ) පොරොන්දුව ඉටු කරන්න හන්නාට ලේසි වුණාද? (ආ) ගීතාවලිය 61 හන්නාගේ ආදර්ශය මතක් කරලා තියෙන්නේ කොහොමද?

8 සාමුවෙල්ට අවුරුදු 3ක් විතර වෙද්දී හන්නා දෙවිට වුණ පොරොන්දුව ඒ විදිහටම ඉටු කළා. එයා සාමුවෙල්ව ෂීලෝවල තිබුණ ශුද්ධ කූඩාරමට එක්කගෙන ගිහින් උත්තම පූජකයා වුණ ඒලීට මෙහෙම කිව්වා. “මට දරුවෙක් ලබා දෙන්න කියලයි මම එදා යෙහෝවා දෙවිට යාච්ඤා කළේ. දෙවි මගේ ඒ ඉල්ලීම ඉෂ්ට කළා. මේ ඉන්නේ ඒ දරුවා. ඒ නිසා දැන් මම මේ දරුවාව යෙහෝවා දෙවිට භාර දෙනවා. ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම ඔහු අයිති යෙහෝවා දෙවිටයි.” (1 සාමු. 1:24-28) එදා ඉඳන් සාමුවෙල් සේවය කළේ ශුද්ධ කූඩාරමේ. බයිබලේ කියන්නේ “කුඩා සාමුවෙල් යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණේය” කියලයි. (1 සාමු. 2:21) පොරොන්දුව ඉටු කරන්න හන්නාට ලේසි වුණාද? නැහැ. තමන්ගේ පුංචි පුතා එක්ක හැම දවසක්ම ගත කරන්න එයාට අවස්ථාව ලැබෙන්නේ නැහැ. පුතා උස් මහත් වෙනවා දකින්නත් එයාට බැරි වෙනවා. දරුවාව භාර දෙන එක අමාරු වුණත් දෙවිට වුණ පොරොන්දුව හන්නා සැහැල්ලුවට ගත්තේ නැහැ. ඒ පොරොන්දුව ඉටු කරන්න තමන්ට තිබුණ වටිනාම දේ පරිත්‍යාග කරන්න එයා කැමති වුණා.—1 සාමු. 2:1, 2; ගීතාවලිය 61:1, 5, 8 කියවන්න.

දෙවිට වුණ පොරොන්දු ඔයා ඉටු කරනවද?

9. ඊළඟට අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

9 යම් දෙයක් ගැන යෙහෝවා දෙවිට පොරොන්දු වෙන එක කොයි තරම් බැරෑරුම් දෙයක්ද කියලා අපිට පැහැදිලියි. දැන් අපි මේ ප්‍රශ්න ගැන බලමු. අද අපි දෙන පොරොන්දු මොනවද? ඒ පොරොන්දු ඉටු කරන්න අපිට තියෙන්න ඕනෙ මොන වගේ අධිෂ්ඨානයක්ද?

ඔයා කැප වෙද්දී වුණ පොරොන්දුව

කැප වෙද්දී වෙන පොරොන්දුව (10 ඡේදය බලන්න)

10. දෙවිගේ සේවකයෙක් දෙන වැදගත්ම පොරොන්දුව මොකක්ද? ඒකට ඇතුළත් වෙන්නේ මොනවද?

10 දෙවිගේ සේවකයෙක් දෙන වැදගත්ම පොරොන්දුව තමන්ගේ ජීවිතේ දෙවිට කැප කරද්දී දෙන පොරොන්දුවයි. කැප වෙද්දී කෙනෙක් පොරොන්දු වෙනවා එයාගේ ජීවිතේ එයා දෙවිට භාර දෙනවා කියලා. මොන දේට මුහුණ දෙන්න වුණත් හැමදාටම දෙවිට සේවය කරනවා කියලා. එයා ඒ පොරොන්දුව වෙන්නේ පෞද්ගලිකව කරන යාච්ඤාවකින්. එදා ඉඳන් ‘අපි අයිති යෙහෝවා දෙවිටයි.’ (රෝම 14:8) දෙවිට කැප වෙන කෙනෙක් පොරොන්දු වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවලට මුල් තැන දෙනවා වෙනුවට දෙවිට මුල් තැන දෙන්නයි කියලා යේසුස් කිව්වා. (මතෙ. 16:24, පාදසටහන) ඒ පොරොන්දුව අපි සුළුවට ගන්නේ නැහැ. අපිට හැඟෙන්නෙත් මේ විදිහටමයි. “යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට මම කෙසේ ඔහුට ස්තුති කරන්නද? මම යෙහෝවා දෙවිට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි. එසේය, ඔහුගේ මුළු සෙනඟ ඉදිරියේ මම ඒවා ඉටු කරන්නෙමි.”—ගීතා. 116:12, 14.

11. ඔයා බව්තීස්ම වුණ දවසේ හැමෝම දැනගත්තේ මොකක්ද?

11 ඔයා ජීවිතේ දෙවිට කැප කරපු කෙනෙක්ද? ඒ කැපවීම බව්තීස්මය මාර්ගයෙන් පෙන්නපු කෙනෙක්ද? එහෙමනම් ඔයාට මතක ඇති බව්තීස්ම දේශනයේදී සහෝදරයා ඇහුවා ඔයා ජීවිතේ දෙවිට කැප කරලද තියෙන්නේ කියලා. “කැප වෙලා බව්තීස්ම වෙනවා කියන්නේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙන සංවිධානයත් එක්ක එකතු වෙලා සේවය කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙනවා කියන එකයි කියලා ඔයා තේරුම් අරගෙන ඉන්නවද” කියලත් එයා ඇහුවා. ඒ වෙලාවේ ඔයා “ඔව්” කියලා උත්තර දුන්නම ඔයා ජීවිතේ දෙවිට කැප කරලා තියෙනවා කියලත් දෙවිගේ සේවකයෙක් විදිහට බව්තීස්ම වෙන්න සුදුසුකම් ලබලා තියෙනවා කියලත් එතන හිටිය හැමෝම දැනගත්තා. එදා යෙහෝවා දෙවි ඔයා ගැන කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!

12. (අ) අපි හිතන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද? (ආ) පේතෘස් අපිට උනන්දු කළේ මොන වගේ ගුණාංග වර්ධනය කරගන්න කියලද?

12 බව්තීස්මය කියන්නේ අපි දෙවිට කරන සේවයේ පටන්ගැන්මයි. එදා ඉඳන් අපිට ඕනෙ අපේ කැපවීමට එකඟව හැම දවසක්ම ගත කරන්නයි. ඒ නිසා මේ ප්‍රශ්න ගැන හිතලා අපිවම සෝදිසි කරලා බලන එක වැදගත්. ‘බව්තීස්ම වුණ දවසේ ඉඳන් අද වෙන කල් බලද්දී දෙවිත් එක්ක මට තියෙන බැඳීම වැඩි වෙලාද? මම තවමත් දෙවිට සේවය කරන්නේ මුළු හදවතින්මද? (කොලො. 3:23) මම නිතරම යාච්ඤා කරනවද? හැමදාම බයිබලේ කියවනවද? නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙනවද? නිතිපතා සේවයේ යනවද? නැත්නම් මගේ උද්‍යෝගය දැන් අඩු වෙලාද?’ උද්‍යෝගය අඩු වෙලා අක්‍රියාශීලී නොවී ඉන්න නම් විශ්වාසය, දැනුම, විඳදරාගැනීම, දේවභක්තිය වර්ධනය කරගන්න අපි ලොකු වෑයමක් දරන්න ඕනෙ කියලා පේතෘස් කිව්වා.—2 පේතෘස් 1:5-8 කියවන්න.

13. කැප වෙලා බව්තීස්ම වුණ කෙනෙක් තේරුම්ගන්න ඕනෙ මොකක්ද?

13 දෙවිට සේවය කරනවා කියලා පොරොන්දු වුණාට පස්සේ ඒ පොරොන්දුව අවලංගු කරන්න අපිට බැහැ. දෙවිට සේවය කරන එක වෙහෙසක් කියලා හැඟිලා නැත්නම් ඔහුගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන එක අමාරුයි කියලා හිතිලා පස්සේ කාලෙක කෙනෙක්ට කියන්න බැහැ ‘මං කවදාවත් දෙවිට කැප වුණේ නැහැ. ඒ නිසා මගේ බව්තීස්මය වලංගු නැහැ’ කියලා. * යෙහෝවා දෙවිට කැප වුණ කෙනෙක් බරපතළ වරදක් කළොත් එයා දෙවිටයි, සභාවටයි ඒ ගැන ගණන් දෙන්න ඕනේ. (රෝම 14:12) “ඔබ තුළ මුලින් තිබුණු ප්‍රේමය දැන් නැති වී ගොස් ඇත” කියලා යේසුස් අපිට කියනවට අපි කැමති නැහැ. ඒත් යේසුස්ට අපි ගැන මෙහෙම කියන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳද! “ඔබේ ක්‍රියාද ඔබේ ප්‍රේමයද ඔබ තුළ තිබෙන විශ්වාසයද ඔබ කරන සේවයද ඔබ විඳදරාගන්නා ආකාරයද දනිමි. එලෙසම මෑතක සිට ඔබේ ක්‍රියා පෙරට වඩා හොඳ තත්වයක පවතින බවද දනිමි.” (එළි. 2:4, 19) අපේ කැපවීමට එකඟව ජීවත් වෙලා දෙවිගේ හිත සතුටු කරන්නයි අපිට ඕනේ.

විවාහ පොරොන්දුව

විවාහ පොරොන්දුව (14 ඡේදය බලන්න)

14. ජීවිතේ දෙවෙනි වැදගත් පොරොන්දුව මොකක්ද? එහෙම කියන්නේ ඇයි?

14 කෙනෙක්ගේ ජීවිතේ දෙවෙනි වැදගත් පොරොන්දුව විවාහ පොරොන්දුවයි. දෙවි විවාහ බැඳීම සලකන්නේ පරිශුද්ධ දෙයක් විදිහට. ඒ නිසා විවාහ පොරොන්දුව දෙවි සැහැල්ලුවට ගන්නේ නැහැ. විවාහ වෙන යුවළක් එයාලගේ විවාහ පොරොන්දු දෙන්නේ යෙහෝවා දෙවි සහ ඒ අවස්ථාවට සහභාගි වෙන අය ඉදිරියේ. “දෙවි ඇති කරලා තියෙන විවාහ සැලැස්මට අනුව බයිබලේ දීලා තියෙන ආඥාවලට කීකරු වෙමින් දෙන්නා ජීවත් වෙන තාක් කල් ආදරෙන් රැකබලා ගන්නත් ගැඹුරු ගෞරවයක් දක්වන්නත්” ඒ දෙන්නා පොරොන්දු වෙනවා. විවාහ පොරොන්දු දෙද්දී ඒ වචනම නොකිව්වත් විවාහ වෙන දෙන්නෙක් පොරොන්දු දෙන්නේ දෙවි ඉදිරියේ. විවාහ පොරොන්දු දුන්නට පස්සේ දෙන්නෙක්ව විවාහක යුවළක් විදිහට සලකනවා. ජීවිතේ තියෙන කල් ඒ දෙන්නා විවාහ බැඳීම රැකගන්න ඕනේ. (උත්. 2:24; 1 කොරි. 7:39) යේසුස් කිව්වේ “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි” කියලා. විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වුණොත් ඒකට විසඳුමක් විදිහට දික්කසාද වෙන්න පුළුවන් කියලා විවාහ වෙන යුවළක් කවදාවත් හිතන්න හොඳ නැහැ.—මාක් 10:9.

15. සමාජයේ වැඩිදෙනෙක්ට විවාහය ගැන තියෙන ආකල්පය අපි ඇති කරගන්න එක වැරදි ඇයි?

15 කවුරුත් පරිපූර්ණ නැති නිසා ප්‍රශ්න නැති විවාහ ජීවිතයක් බලාපොරොත්තු වෙන්න කාටවත් බැහැ. විවාහ වෙන අයට “දුෂ්කරතාවලට මුහුණ දෙන්න” සිද්ධ වෙනවා කියලා බයිබලේ කියන්නේ ඒ නිසයි. (1 කොරි. 7:28) සමාජයේ ඉන්න වැඩිදෙනෙක් විවාහ බැඳීම සැහැල්ලුවට ගන්නවා. යුවළක් බලාපොරොත්තු වුණ විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැති වෙද්දී හොඳම දේ දික්කසාද වෙන එකයි කියලා එයාලා හිතනවා. ඒත් දෙවිගේ සේවකයන් එහෙම හිතන එක වැරදියි. එයාලා තේරුම් අරන් ඉන්නවා තමන් විවාහ පොරොන්දුව දුන්නේ දෙවි ඉදිරියේ කියලා. ඒ පොරොන්දුව කඩ කරනවා කියන්නේ දෙවිට බොරුවක් කියනවා වගේ. බොරු කියන අයව දෙවිට පිළිකුල්. (ලෙවී. 19:12; හිතෝ. 6:16-19) ඒ නිසා විවාහක අය පාවුල් කියපු මේ දේ මතක තියාගන්න එක වැදගත්. “ඔබට භාර්යාවක් සිටී නම් ඇගෙන් නිදහස් වීමට උත්සාහ නොකරන්න.” (1 කොරි. 7:27) පාවුල්ට ඒ දේ කියන්න පුළුවන් වුණේ බිරිඳට, සැමියාට ද්‍රෝහි වෙලා දික්කසාද වෙන එක යෙහෝවා දෙවි පිළිකුල් කරනවා කියලා එයා දැනගෙන හිටපු නිසයි.—මලා. 2:13-16.

16. දික්කසාදය සහ වෙන් වීම ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

16 යේසුස් උගන්වපු විදිහට යුවළකට දික්කසාද වෙන්න අවසර තියෙන්නේ දෙන්නාගෙන් කෙනෙක් අනාචාරයේ යෙදිලා එයාට සමාව නොදී ඉන්න වරද නොකරපු කෙනා තීරණය කරනවා නම් විතරයි. (මතෙ. 19:9; හෙබ්‍රෙ. 13:4) යුවළක් වෙන් වෙන එක ගැන කියන්න පුළුවන් මොකක්ද? (1 කොරින්ති 7:10, 11 කියවන්න.) විවාහක යුවළකට එකිනෙකාගෙන් වෙන් වෙන්න පුළුවන් මෙන්න මේ හේතු නිසා කියලා බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වුණත් දරාගන්න බැරි අසීරු අවස්ථාවලදී වෙන් වෙන එක තමයි කරන්න තියෙන එකම දේ කියලා සමහරුන්ට හැඟෙන්න පුළුවන්. උදාහරණෙකට තමන්ගේ සැමියා, බිරිඳ හරිම දරුණු කෙනෙක් නම් එයා සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහන කෙනෙක් නම් ඒක තමන්ගේ ජීවිතේට නැත්නම් දෙවිත් එක්ක තියෙන බැඳීමට ලොකු අනතුරක් කියලා කෙනෙක්ට හොඳින්ම පැහැදිලි වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් වෙන් වෙන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. *

17. විවාහ බැඳීම රැකගන්න යුවළකට කරන්න පුළුවන් මොනවද?

17 විවාහ ජීවිතේ ඇති වෙන ප්‍රශ්න විසඳගන්න යුවළක් වැඩිමහල්ලන්ගෙන් උපදෙස් පතද්දී වැඩිමහල්ලන් අහයි ඒ යුවළ ‘සැබෑ ආදරය’ කියන වීඩියෝ එක ළඟදී බැලුවද කියලා. ‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!’ කියන සඟරාව එකට අධ්‍යයනය කළාද කියලා. මොකද විවාහ බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ඒවාවල තියෙනවා. යුවළක් මෙහෙම කිව්වා. “අපි ඒ සඟරාව අධ්‍යයනය කරන්න පටන්ගත්ත දවසේ ඉඳලා අපේ බැඳීම කලින් තිබුණට වඩා වැඩි වුණා.” විවාහ වෙලා අවුරුදු 22ක් ගත වෙලා තිබුණ සහෝදරියක් හිතුවේ එයාගේ විවාහය දෙකඩ වෙන්නයි යන්නේ කියලා. එයා මෙහෙම කියනවා. “අපි දෙන්නම බව්තීස්ම වුණ අය. ඒත් අපි හිතපු, අපිට හැඟුණ විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. ‘සැබෑ ආදරය’ කියන වීඩියෝ එක ආවේ නියම වෙලාවේ. දැන් අපේ පවුල් ජීවිතේ ලොකු වෙනසක් තියෙනවා.” ඔයාත් විවාහ වුණ කෙනෙක්ද? එහෙමනම් දෙවි දීලා තියෙන මඟ පෙන්වීම් විවාහ ජීවිතේදී අදාළ කරගන්න. විවාහ පොරොන්දුවට එකඟව සතුටින් ජීවත් වෙන්න ඒක ඔයාට උදව් වෙයි.

විශේෂ පූර්ණකාලීන සේවකයන් වෙන පොරොන්දුව

18, 19. (අ) දෙවිට සේවය කරන දෙමාපියන් කරලා තියෙන පරිත්‍යාගය මොකක්ද? (ආ) විශේෂ පූර්ණකාලීන සේවකයන් දෙන පොරොන්දුව මොකක්ද?

18 යෙප්තායි, හන්නායි දෙවිට වුණ පොරොන්දු ගැන කලින් අපි බැලුවා. ඒ දෙන්නා වුණ පොරොන්දු නිසා එයාලගේ දරුවන්ට දෙවි වෙනුවෙන් විශේෂ සේවයක් කරන්න පුළුවන් වුණා. පූර්ණකාලීන සේවය පටන්ගන්න කියලත් දිගටම ඒකට ජීවිතේ මුල් තැන දෙන්න කියලත් අද ඉන්න හුඟක් දෙමාපියනුත් එයාලගේ දරුවන්ට උනන්දු කරලා තියෙනවා. ඒ දෙමාපියන්වත් දරුවන්වත් අගය කරන්න අපි හැමෝටම පුළුවන්.—විනි. 11:40; ගීතා. 110:3.

විශේෂ පූර්ණකාලීන සේවය පටන්ගද්දී වෙන පොරොන්දුව (19 ඡේදය බලන්න)

19 මේ වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ විශේෂ පූර්ණකාලීන සේවකයන් 67,000ක් විතර ඉන්නවා. ඒ අතරින් සමහරු බෙතෙල් සේවකයන්, ඉදි කිරීම් සේවකයන්, චාරිකා සේවකයන් විදිහට සේවය කරනවා. තවත් අය පාසැල් උපදේශකයන්, විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන්, සමුළු ශාලා සේවකයන්, බයිබල් පාසැල් සඳහා භාවිත කරන ගොඩනැඟිලි බලාගන්න සේවකයන් විදිහට සේවය කරනවා. ඒ හැම කෙනෙක්ම “කීකරුව සිටීමට හා සරල ජීවිතයක් ගත කිරීමට” පොරොන්දුවක් දීලා තියෙනවා. දෙවිගේ සේවයේ තමන්ට ලැබෙන ඕනෙම පැවරුමක් වෙහෙස නොබලා කරන්නත් සරල ජීවිතයක් ගත කරන්නත් ශාඛා කාර්යාලයේ අවසරයක් නැතුව රැකියාවක් නොකර ඉන්නත් ඒ පොරොන්දුවෙන් එයාලා එකඟ වෙනවා. විශේෂ පූර්ණකාලීන සේවකයන්ගේ විශේෂත්වයක් නැහැ. එයාලගේ පැවරුමයි විශේෂ. ඒ නිසා එයාලා යටහත්පහත්ව තමන් වුණ පොරොන්දුවට එකඟව ජීවත් වෙන්න අදිටන් කරගෙන ඉන්නවා.

20. දෙවිට වුණ පොරොන්දු ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? ඒ ඇයි?

20 අපි දෙවිට වෙන පොරොන්දු 3ක් ගැන මේ ලිපියෙන් බැලුවා. ඔයාත් ඒ පොරොන්දුවලින් සමහරක් වෙලා ඇති. ඒ පොරොන්දු අපිට සැහැල්ලුවට ගන්න බැහැ කියලත් ඒවා ඉටු කරන්න අපිට පුළුවන් උපරිමය කරන්න ඕනෙ කියලත් අපි දන්නවා. (හිතෝ. 20:25) දෙවිට වෙන පොරොන්දුවලට එකඟව අපි ජීවත් වුණේ නැත්නම් හුඟක් අමිහිරි දේවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙයි. (දේශ. 5:6) ඒ නිසා අපිත් “මා දුන් පොරොන්දු කිසි දිනක කඩ නොවන පිණිස මම සදහටම ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි” කියලා දෙවිට කියමු.—ගීතා. 61:8.

^ 7 ඡේ. පුතෙක් ලැබුණොත් ඒ පුතා ජීවිත කාලේ පුරාම නසරීතවරයෙක් විදිහට ජීවත් වෙනවා කියලා හන්නා දෙවිට පොරොන්දු වුණා. ඒකෙන් අදහස් වුණේ එයාගේ පුතා දෙවිගේ සේවය සඳහා වෙන් කරපු, කැප කරපු කෙනෙක් වෙනවා කියන එකයි.—ගණන්. 6:2, 5, 8.

^ 13 ඡේ. කෙනෙක් බව්තීස්ම වෙන්න සුදුසුකම් ලබන්න කලින් වැඩිමහල්ලන් එයාත් එක්ක හුඟක් කාරණා සාකච්ඡා කරන නිසා කෙනෙක්ගේ බව්තීස්මයක් අවලංගු වෙන්නේ හරිම කලාතුරකින්.