Skip to content

පටුනට යන්න

අවතැන් වුණ අයට අත දෙමු

අවතැන් වුණ අයට අත දෙමු

“යෙහෝවා දෙවි විදේශිකයන්ව ආරක්ෂා කරන්නේය.”—ගීතා. 146:9.

ගීතිකා: 17, 109

1, 2. (අ) අපේ සහෝදර සහෝදරියන් සමහරදෙනෙක් මුහුණ දෙන අභියෝග මොනවද? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

කාලයක් සරණාගතයෙක් හැටියට හිටපු සහෝදර ලිජ එයාගේ අද්දැකීම විස්තර කළේ මෙහෙමයි. “බුරුන්ඩිවල සිවිල් යුද්දේ පටන්ගද්දී අපි හිටියේ සමුළුවක. මිනිසුන්ට වෙඩි තියනවා, මිනිස්සු බයෙන් දුවනවා අපි දැක්කා. අම්මායි, තාත්තායි අපි 11දෙනායි අපේ ජීවිත බේරගන්න පලා ගියා. පවුලේ කීපදෙනෙක්ට පුළුවන් වුණා මලාවි රටේ තිබුණ සරණාගත කඳවුරකට යන්න. ඒක තිබුණේ කි.මී. 1,600කට වඩා ඈතින්. පවුලේ අනිත් අය තැන් තැන්වලට විසිරුණා.”

2 යුද්ධ නිසා, විරුද්ධවාදිකම් නිසා ගෙවල් දොරවල් දාලා පලා යන්න සිද්ධ වුණ අය මිලියන 65කට වඩා ලෝකෙ පුරා ඉන්නවා. මෙච්චර කාලෙකට වාර්තා වෙලා තියෙන වැඩිම සරණාගතයන්ගේ ගාණ ඒකයි. * සාක්ෂිකරුවන් දහස් ගාණකුත් ඒ අය අතරේ ඉන්නවා. සරණාගතයන් හුඟදෙනෙක්ට තමන්ගේ පවුලේ අයව, තමන්ට තිබුණ හැම දෙයක්ම අහිමි වුණා. එයාලා තවත් හුඟක් අභියෝගවලට මුහුණ දෙනවා. ඒ මොනවද? දුෂ්කරතා අද්දැක්කත් දිගටම යෙහෝවා දෙවිට සතුටින් සේවය කරන්න ඒ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (ගීතා. 100:2) දෙවි ගැන දන්නේ නැති සරණාගතයන්ට දේශනා කරන්න අපිට පුළුවන් කොහොමද?

සරණාගතයෙක් ගෙවන ජීවිතේ

3. යේසුස්ටත් ඔහුගේ සමහර අනුගාමිකයන්ටත් සරණාගතයන් වෙන්න වුණේ ඇයි?

3 හෙරොද් රජු යේසුස්ව මරන්න හොයනවා කියලා දේවදූතයෙක් යෝසෙප්ට කිව්වම එයායි, මරියායි යේසුස්ව අරගෙන ඊජිප්තුවට පලා ගියා. හෙරොද් මිය යන කල්ම එයාලා හිටියේ එහේ. (මතෙ. 2:13, 14, 19-21) ඊට අවුරුදු ගාණකට පස්සේ විරුද්ධවාදිකම් නිසා යේසුස්ගේ අනුගාමිකයන් “යුදයේ සහ සමාරියේ පළාත් පුරා විසිරී ගියා.” (ක්‍රියා 8:1) තමන්ගේ අනුගාමිකයන් හුඟදෙනෙක්ට ගෙවල් අත්හැරලා පලා යන්න වෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. “එක් නුවරකදී ඔවුන් ඔබට පීඩා කරද්දී ඔබ වෙනත් නුවරකට පලා යන්න” කියලා ඔහු කිව්වේ ඒ නිසයි.—මතෙ. 10:23.

4, 5. අවතැන් වුණ අය (අ) පලා යද්දී, (ආ) කඳවුරක ජීවත් වෙද්දී මුහුණ දෙන අනතුරු මොනවද?

4 අවතැන් වුණ අය පලා යද්දී, කඳවුරුවල ඉද්දී හුඟක් අනතුරුවලට මුහුණ දෙනවා. සහෝදර ලිජගේ මල්ලි මෙහෙම කිව්වා. “සති ගාණක් අපිට ඇවිදගෙන යන්න වුණා. අපි ඇවිදගෙන ගිය ප්‍රදේශය පුරා මළ මිනී වැටිලා තිබුණා. එතකොට මට වයස 12යි. මගේ කකුල් ඉදිමුණ නිසා මං කිව්වා ‘මාව දාලා ඔයාලා යන්න’ කියලා. ඒත් තාත්තාට ඕනෙ වුණේ නැහැ මාව කැරලිකරුවන්ගේ අතට අහු වෙනවා දකින්න. තාත්තා මාව උස්සගෙන ගියා. අපි හිතුවේ අද දවසේ බේරිලා ජීවත් වෙන එක ගැන විතරයි. නිතරම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. දෙවි ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. සමහර දවස්වල අපිට කන්න තිබුණේ යද්දී හම්බ වුණ ගස්වල තිබුණ අඹ විතරයි.”—ෆිලි. 4:12, 13.

5 සහෝදර ලිජගේ පවුලේ හුඟදෙනෙක් අවුරුදු ගාණක්ම ජීවත් වුණේ සරණාගත කඳවුරුවල. දැන් චාරිකා සේවකයෙක් හැටියට සේවය කරන එයා කඳවුරේ ජීවිතේ විස්තර කළේ මෙහෙමයි. “හුඟදෙනෙක් රස්සාවල් කළේ නෑ. එයාලා ඕපාදූප කිව්වා. බිව්වා. සූදු ගැහුවා. හොරකම් කළා. අනාචාරයෙත් යෙදුණා.” ඒ වගේ නරක දේවලට අහු වෙන්නේ නැතුව ඉන්න සාක්ෂිකරුවන් සභාවත් එක්ක එකට දේවල් කරන එක අත්‍යවශ්‍ය දෙයක් වුණා. (හෙබ්‍රෙ. 6:11, 12; 10:24, 25) කඳවුරේ හිටපු සාක්ෂිකරුවන් හුඟදෙනෙක් පුරෝගාමි සේවය පටන්ගත්තා. කාලය ඥානවන්තව පාවිච්චි කරන්නත් එයාලගේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්නත් ඒ නිසා පුළුවන් වුණා. ඊශ්‍රායෙල්වරු හැමදාම පාළුකරයේ දුක් වින්දේ නැහැ වගේ එයාලත් හැමදාටම කඳවුරුවල ඉන්නේ නැහැ කියන දේ එයාලා මතකයේ තියාගත්තා.—2 කොරි. 4:18.

අවතැන් වුණ අයට ආදරෙන් සලකන්න

6, 7. (අ) ‘දෙවි සඳහා අපිට තියෙන ප්‍රේමය’ සහෝදරයන්ට ආදරෙන් සලකන්න අපිව පොලඹවන්නේ කොහොමද? (ආ) උදාහරණයක් කියන්න.

6 සහෝදරයන්ට ආදරෙන් සලකන්න, විශේෂයෙන්ම එයාලා දුෂ්කර දේවලට මුහුණ දෙද්දී එයාලා ගැන සැලකිලිමත් වෙන්න අපිව පොලඹවන්නේ ‘දෙවි සඳහා අපිට තියෙන ප්‍රේමයයි.’ (1 යොහන් 3:17, 18 කියවන්න.) මුල් සියවසේදී ඇති වුණ සාගතය නිසා යුදයේ හිටපු ක්‍රිස්තියානීන් අගහිඟකම්වලට මුහුණ දෙද්දී එයාලට අවශ්‍ය දේවල් ලබා දෙන්න සභාවෙන් සැලැස්මක් යෙදුවා. (ක්‍රියා 11:28, 29) පාවුල් සහ පේතෘස් උනන්දු කළෙත් එකිනෙකාට ආගන්තුක සත්කාරය පෙන්නන්න කියලයි. (රෝම 12:13; 1 පේතෘ. 4:9) වෙනත් ප්‍රදේශවලින් එන සහෝදරයන්ට ආදරෙන් සලකන එක අපි හැමෝගෙම වගකීම නම් ජීවිත අවදානමේ තියෙන, විරුද්ධවාදිකම් අද්දකින සහෝදරයන්ට ආදරෙන් සලකන එක ඊට වඩා කොච්චර බැරෑරුම් වගකීමක්ද!—හිතෝපදේශ 3:27 කියවන්න. *

7 නැඟෙනහිර යුක්රේනයේ ඇති වුණ යුද්දේ නිසාත් විරුද්ධවාදිකම් නිසාත් මෑතකදී සාක්ෂිකරුවන් දහස් ගාණකට පලා යන්න වුණා. ඒ අයගෙන් කීපදෙනෙක් මිය ගියා. යුක්රේනයේ වෙනත් පැතිවල වගේම රුසියාවේ සහෝදරයන් අවතැන් වුණ සහෝදරයන්ව එයාලගේ ගෙවල්වලට ආදරෙන් පිළිගත්තා. ඒ රටවල් දෙකේම සහෝදරයන් යුද්දෙදී පැති ගත්තේ නැහැ. එයාලා දිගටම ශුභාරංචිය දේශනා කළා.—යොහ. 15:19; ක්‍රියා 8:4.

විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් කරන්න

8, 9. (අ) වෙනත් රටකට ගියාම සරණාගතයන් මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද? (ආ) අපි එයාලට උදව් කරන්න ඕනෙ ඇයි?

8 අවතැන් වෙන සමහරුන්ට තමන්ගේම රටේ වෙනත් පැත්තක ජීවත් වෙන්න පුළුවන් වුණත් හුඟදෙනෙක්ට වෙනත් රටකට පලා යන්න වෙනවා. රජයෙන් එයාලට කෑම, ඇඳුම්, නවාතැන් ලබා දෙනවා වෙන්න පුළුවන්. ඒත් ඒ රටේදී එයාලට හුරුපුරුදු කෑම ලැබෙයි කියලා හිතන්න බැහැ. රස්නේ රටවලින් එන සමහරුන්ට ශීත කාලෙට අඳින්න ඕනෙ මොන වගේ ඇඳුම්ද කියන එක ගැන දැනුමක් නැහැ. නවීන උපකරණ පාවිච්චි කරන විදිහ තවත් අය දන්නේ නැහැ.

9 අලුත් ජීවිතේට හුරු වෙන්න සරණාගතයන්ට උදව් කරන්න සමහර ආණ්ඩුවලින් විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. ඒත් සරණාගතයන් මාස කීපයකට පස්සේ තමන්ගේ දේවල් තනියම කරගනියි කියලා රජයෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක ලේසි නැහැ. පොඩි කාලයක් ඇතුළත එයාලට ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා. එයාලා අලුත් භාෂාවක් ඉගෙනගන්න ඕනේ. අලුත් සිරිත් විරිත්වලට හුරු වෙන්න ඕනේ. බිල් ගෙවන එක, බදු ගෙවන එක, ළමයින්ව ඉස්කෝලේ යවන එක, ළමයින්ව හික්මවන එක ගැන අලුත් රටේ තියෙන නීති දැනගන්න ඕනේ. ඒ වගේ අභියෝගවලට මුහුණ දෙන අවතැන් වුණ සහෝදරයන්ට ඉවසීමෙන්, කාරුණිකව උදව් කරන්න ඔයාට පුළුවන්ද?—ෆිලි. 2:3, 4.

10. සරණාගතයන් හැටියට එන අයගේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

10 සරණාගතයන් හැටියට එන සහෝදරයන්ට ඒ ප්‍රදේශයේ තියෙන සභාවේ අයව හම්බ වෙන එක සමහර වෙලාවට ලේසි නැහැ. මොකද නිලධාරීන් එක එක තහංචි දානවා. ආණ්ඩුවෙන් ලබා දෙන රැකියාවන් භාරගන්න සහෝදරයන් අකමැති වුණොත් එයාලව රටෙන් පිටුවහල් කරනවා කියලත් සහනාධාර කපාහරිනවා කියලත් නිලධාරීන් තර්ජනය කරන්න ඉඩ තියෙනවා. එයාලට තියෙන බය නිසා, උදව් ලැබෙන්නේ නැති වෙයි කියලා හිතන නිසා රැස්වීම්වලට යන්න බාධා වෙන විදිහේ රැකියාවන් සමහර සහෝදරයන් භාර අරගෙන තියෙනවා. ඒ නිසා සරණාගතයන් හැටියට එන සහෝදරයන්ව පුළුවන් තරම් ඉක්මනින් හම්බ වෙන එක හරිම වැදගත්. අපි එයාලා ගැන සැලකිලිමත් කියලා එයාලට දැනෙන්න ඕනේ. අපේ ආදරේ දැනෙද්දී ඒක එයාලගේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව්වක්.—හිතෝ. 12:25; 17:17.

අවශ්‍ය උදව් ලබා දෙන්න

11. (අ) අවතැන් වුණ අයට මුලින්ම ඕන කරන්නේ මොනවද? (ආ) සහෝදරයන්ගෙන් ලැබෙන උදව් අගය කරන්න සරණාගතයන්ට පුළුවන් කොහොමද?

11 අවතැන් වුණ සහෝදරයන්ට ටික කාලයක් යන කල් කෑම, ඇඳුම් සහ වෙනත් අත්‍යවශ්‍ය දේවල් අපිට ලබා දෙන්න වෙයි. * එයාලා වෙනුවෙන් ලොකු ලොකු දේවල් කරන්න ඕනෙ කියලා හිතන්න එපා. අපි දෙන පුංචි තෑග්ගක් වුණත් එයාලට වටිනවා. අනිත් අතට අවතැන් වුණ අය හිතන්න හොඳ නැහැ ‘සහෝදරයන් අපිට දේවල් දෙන්නම ඕනෙ’ කියලා. ඒ වෙනුවට තමන්ට ලැබෙන දේවලට එයාලා අගය පෙන්නනවා නම් පරිත්‍යාගයන් කරන සහෝදරයන්ට ඒක ලොකු සතුටක් වෙයි. දේවල් තනියම කරගන්න අවතැන් වුණ අය ටිකෙන් ටික පුරුදු වෙන්න ඕනේ. එහෙම කරද්දී තමන් ගැන හොඳ හැඟීමක් ඇතුව ඉන්නත් සහෝදරයන් එක්ක හොඳ බැඳීමක් තියාගන්නත් එයාලට පුළුවන්. (2 තෙස. 3:7-10) අවතැන් වුණ සහෝදරයන්ට උදව් කරන එක අපේ වගකීමක්.

අවතැන් වුණ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (11-13 ඡේද බලන්න)

12, 13. (අ) අවතැන් වුණ සහෝදරයන්ට අවශ්‍ය උදව් ලබා දෙන්න පුළුවන් කොහොමද? (ආ) උදාහරණයක් දෙන්න.

12 අවතැන් වුණ අයට උදව් කරන්න හුඟක් සල්ලි ඕනෙ නැහැ. අපේ ආදරේ, කාලය තමයි එයාලට වැඩියෙන්ම වටින්නේ. මේ විදිවලින් එයාලට උදව් කරන්න ඔයාටත් පුළුවන්. පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන විදිහ එයාලට කියලා දෙන්න. අඩු මුදලට ගුණදායක කෑම ගන්න පුළුවන් තැන් එයාලට පෙන්නන්න. මහන මැෂින් එකක්, තණකොළ කපන මැෂින් එකක් වගේ ආදායමක් උපයගන්න උදව් වෙන උපකරණයක් ගන්න පුළුවන් කොහෙන්ද, කොහොමද කියලා එයාලට කියලා දෙන්න. ඒ හැම දේටම වඩා වැදගත්ම දේ එයාලත් සභාවේ වටිනා සාමාජිකයන් කියන හැඟීම ඇති වෙන විදිහට වැඩ කරන එක. පුළුවන් නම් එයාලට රැස්වීම්වලට එන්න ප්‍රවාහන පහසුකම් දෙන්න. ඔයා ඉන්න ප්‍රදේශයේ අයට දේශනා කරන්න පුළුවන් හොඳම විදි එයාලට කියලා දෙන්න. එයාලත් එක්ක එකට සේවයේ යන්න.

13 එක සභාවකට අවතැන් වුණ යෞවන සහෝදරයන් 4දෙනෙක් ආවා. ඒ සභාවේ වැඩිමහල්ලන් විවිධ විදිවලින් එයාලට උදව් කළා. වාහන එළවන විදිහ, ලියුමක් ටයිප් කරන විදිහ, රැකියාවකට අයැදුම් කරන විදිහ වැඩිමහල්ලන් එයාලට ඉගැන්නුවා. සේවයට මුල් තැන දෙන්න පුළුවන් වෙන විදිහට කාලය ඥානවන්තව පාවිච්චි කරන්නත් එයාලට කියලා දුන්නා. (ගලා. 6:10) වැඩි කල් යන්න කලින් ඒ 4දෙනාම පුරෝගාමි සේවය පටන්ගත්තා. ලැබුණ උදව් නිසා, දෙවිට වැඩියෙන් සේවය කරන්න එයාලට තිබුණ ඉලක්ක ජය ගන්න දරපු වෑයම නිසා දුෂ්ට සමාජයේ බලපෑම්වලින් ඈත් වෙලා ඉන්නත් සභාවේ දේවල් හොඳින් කරන්නත් එයාලට පුළුවන් වුණා.

14. (අ) සරණාගතයන් පරෙස්සම් වෙන්න ඕනෙ මොන දේ ගැනද? (ආ) උදාහරණයක් දෙන්න.

14 දේවල් රැස් කරගන්න තියෙන ආසාව නිසා දෙවිව තමන්ගේ ජීවිතේ දෙවෙනි තැනට දාන උගුලට සරණාගතයන් හැටියට ඉන්න සහෝදරයනුත් අහු වෙන්න පුළුවන්. * දෙවි ගැන විශ්වාසය තියෙන එක කොච්චර වැදගත්ද කියලා පලා යන අතරතුරේ සහෝදර ලිජගේ තාත්තා කියලා දීපු පාඩම් එයාලට අදටත් මතකයි. “අපි අරන් ගිය දේවලින් එච්චර වැදගත් නෑ කියලා හිතුණ දේවල් තාත්තා එකින් එක විසි කළා. අන්තිමේදී හිස් බෑග් එක පෙන්නලා තාත්තා හිනා වෙලා මෙහෙම කිව්වා. ‘ඒ කිසිම දෙයක් ඇත්තටම අපිට ඕනෙ නෑ.’”—1 තිමෝති 6:8 කියවන්න.

සරණාගතයන්ට අත්‍යවශ්‍යම දේ ලබා දෙන්න

15, 16. (අ) විශ්වාසය ශක්තිමත් කරගන්න සහෝදරයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (ආ) එයාලට සහනයක් වෙන්න අපිට පුළුවන් කොහොමද?

15 සරණාගතයන්ට ඕන කරන්නේ කෑම, ඇඳුම් විතරක් නෙමෙයි. එයාලගේ හිතට සහනයක් ඕනේ. දේවවචනයෙන් දිරිගැන්වීම් ඕනේ. (මතෙ. 4:4) එයාලගේ භාෂාවෙන් තියෙන ප්‍රකාශන එයාලට ලැබෙන්න සලස්වන්න, ඒ භාෂාව දන්න සහෝදරයන්ව එයාලට මුණගස්සන්න වැඩිමහල්ලන්ට පුළුවන්. එයාලා ඇවිත් ඉන්නේ තමන්ට හුරුපුරුදු හැම දේම අත්හැරලා නිසා එහෙම කරන එක හරිම වැදගත්. පවුලේ අය, යාළුවෝ, සභාවේ අය ළඟ නැති පාළුව එයාලට තදින්ම දැනෙනවා. යෙහෝවා දෙවිගේ ආදරේ, දයාව සභාවේ අය මාර්ගයෙන් එයාලට දැනෙන්න ඕනේ. එහෙම දැනුණේ නැත්නම් එයාලගේ රටෙන් ඇවිත් ඉන්න, දෙවිට නමස්කාර නොකරන අයට එයාලා ළං වෙයි. (1 කොරි. 15:33) එයාලත් අපේ සභාවට වටිනවා කියලා දැනෙන්න සලස්වද්දී අපි කරන්නේ “විදේශිකයන්ව ආරක්ෂා කරන්න” යෙහෝවා දෙවිට සහය දෙන එකයි.—ගීතා. 146:9.

16 හෙරොද් රජ පාලනය කරපු කාලේ පුරාම යෝසෙප්ටයි, මරියාටයි යේසුස්ව අරගෙන ආයෙත් තමන්ගේ රටට යන්න බැරි වුණා. ඒ වගේ අද ඉන්න සරණාගතයන්ටත් යම් හේතු නිසා ආයෙත් තමන්ගේ රටට යන්න බැරි වෙයි. තවත් අය ආයෙත් යන්න කැමති නැහැ. පවුලේ අයව තමන්ගේ ඇස් ඉදිරිපිටම දූෂණය කරනවා, මරනවා දැක්ක හුඟදෙනෙක් තමන්ගේ ළමයින්ව අරගෙන ආයෙත් යන්න කැමැති නැහැ කියලා සහෝදර ලිජ කියනවා. ඒ වගේ කටුක දේවල් අද්දැක්ක සහෝදරයන්ට උදව් කරන්න නම් අපි “අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද නිහතමානීවද ඉන්න ඕනේ.” (1 පේතෘ. 3:8) මුහුණ දීපු දරුණු විරුද්ධවාදිකම් නිසා සමහර සරණාගතයන් අනිත් අයව ආශ්‍රය කරන්න වැඩිය කැමති නැහැ. එයාලා අද්දැක්ක දේවල් ගැන අනිත් අයට කියන්න ලැජ්ජා ඇති. ඒ නිසා එහෙම අයට උදව් කරද්දී හිතන්න, ‘මං මේ දේට මුහුණ දුන්නා නම් අනිත් අය මට කොහොම සලකනවටද මං කැමති’ කියලා.—මතෙ. 7:12.

සරණාගතයන්ට දේශනා කරද්දී

17. අපි දේශනා කරන පණිවිඩය සරණාගතයන්ට සහනයක් වෙන්නේ කොහොමද?

17 සරණාගතයන් හුඟදෙනෙක් එන්නේ දේශනා සේවයට තහංචි දාලා තියෙන රටවලින්. දෙවිගේ සේවකයන් උද්‍යෝගයෙන් කරන සේවය නිසා සරණාගතයන් දහස් ගාණකට මුල්ම වතාවට “රාජ්‍යය පිළිබඳ පණිවිඩය” දැනගන්න ලැබිලා තියෙනවා. (මතෙ. 13:19, 23) “බරින් පීඩිත වුණ” සරණාගතයන් හුඟදෙනෙක් අපේ රැස්වීම්වලට හවුල් වෙලා ලොකු සහනයක් අද්දකිනවා. (මතෙ. 11:28-30) “ඇත්තෙන්ම දෙවි ඔබ අතර සිටිනවා” කියලා එයාලා කියන්නේ ඒ නිසයි.—1 කොරි. 14:25.

18, 19. සරණාගතයන්ට දේශනා කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

18 සරණාගතයන්ට දේශනා කරද්දී අපි ඥානවන්ත වගේම “සුපරීක්ෂාකාරී” වෙන්න ඕනේ. (මතෙ. 10:16; හිතෝ. 22:3) එයාලට ඉවසීමෙන් සවන් දෙන්න. ඒත් දේශපාලනය ගැන කතා කරන්න එපා. ශාඛා කාර්යාලයෙන්, රජයෙන් දීලා තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න. ඒකෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්න පුළුවන්. එයාලගේ ආගමික විශ්වාසයන්, සිරිත් විරිත් අපි පහත් කරලා සලකනවා කියන හැඟීම ඇති වෙන විදිහට වැඩ කරන්න එපා. උදාහරණෙකට සමහරු ඇවිත් ඉන්නේ කාන්තාවන්ගේ ඇඳුම් ගැන දැඩි නීති තියෙන රටවලින්. ඒ නිසා එයාලට දේශනා කරන්න යද්දී එයාලගේ පසුබිමට ගැළපෙන විදිහේ ඇඳුම් අඳින්න.

19 අපිට ඕනෙ දුකෙන් ඉන්න ඕනෙම කෙනෙක්ට උදව් කරන්න. එහෙම කරද්දී අපි ආදර්ශයට ගන්නේ යහපත් සමරිතානුවරයාව. (ලූක් 10:33-37) කෙනෙක්ට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ එයාට ශුභාරංචිය කියන එකයි. වැඩිමහල්ලෙක් මෙහෙම කිව්වා. “සරණාගතයන්ව හම්බ වුණ ගමන්ම අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, අපේ අරමුණ මිනිසුන් එක්ක බයිබලේ තියෙන ශුභාරංචිය ගැන කතා කරන එකයි කියලා කියන එක වැදගත්. නැත්නම් සමහරු අපිත් එක්ක කතා කරන්නේ යම් දේවල් ලබාගන්න අරමුණෙන්.”

හොඳ ප්‍රතිඵල

20, 21. (අ) සරණාගතයන්ට ආදරෙන් සලකන එක වැදගත් ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?

20 මේ අද්දැකීම බලන්න. එරිත්‍රියාවේදී මුහුණ දීපු දරුණු විරුද්ධවාදිකම් නිස එක සහෝදරියක් එයාගේ දරුවෝ 4දෙනෙකුත් එක්ක රටෙන් පලා ගියා. එයාලා දවස් 8ක් කාන්තාරය හරහා ඇවිදගෙන සුඩානයට ගියා. ඒක දුෂ්කර ගමනක්. ඒ සහෝදරි මෙහෙම කියනවා. “සහෝදරයෝ අපිව බලාගත්තේ එයාලගේම පවුලේ අය වගේ. අපිට ඕන කරන කෑම, ඇඳුම්, ඉන්න තැනක්, ගමන් වියදම් එයාලා අපිට දුන්නා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇරෙන්න වෙන කවුද අඳුරන්නේ නැති අයව ගෙදරට ආදරෙන් පිළිගන්නේ?”—යොහන් 13:35 කියවන්න.

21 දෙමාපියන් එක්ක වෙනත් රටවල පදිංචියට යන දරුවන් මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද? සතුටින් යෙහෝවා දෙවිට සේවය කරන්න එයාලට උදව් කරන්න අපිටත් පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

^ 2 ඡේ. මේ ලිපියේ “සරණාගතයන්” විදිහට හඳුන්වලා තියෙන්නේ යුද්ධ, විරුද්ධවාදිකම්, ස්වාභාවික විපත් නිසා අවතැන් වුණ අයවයි. එයාලට වෙනත් රටක නැත්නම් තමන්ගේම රටේ වෙනත් ප්‍රදේශයක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. “අනුපාතයක් විදිහට හැම 113දෙනෙක්ගෙන් එක් කෙනෙක්ට තමන්ගේ ගෙවල් අත්හැරලා පලා යන්න වෙලා තියෙනවා” කියලා සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් (UNHCR) කියනවා.

^ 6 ඡේ. 2016 ඔක්තෝබර් ‘මුරටැඹ’ කලාපයේ 8-12 පිටුවල තියෙන “වෙනත් රටකින් ඇවිත් ඉන්න අයට ආදරෙන් සලකමු” කියන ලිපිය බලන්න.

^ 11 ඡේ. යම් ප්‍රදේශයකට සරණාගතයන් ආවම ඒ ප්‍රදේශයේ වැඩිමහල්ලන් ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ පොතේ 8වෙනි පරිච්ඡේදයේ 30වෙනි ඡේදයේ තියෙන මඟ පෙන්වීම් ඉක්මනින්ම අදාළ කරගන්න ඕනේ. jw.org වෙබ් සයිට් එක මාර්ගයෙන් තමන්ගේ රටේ ශාඛා කාර්යාලය හරහා වෙනත් රටක සභාවක් එක්ක සම්බන්ධ වෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්. ඒ අතරතුරේ වැඩිමහල්ලන්ට පුළුවන් අවතැන් වුණ සහෝදරයන්ගෙන් එයාලගේ සභාව, සේවය ගැන විස්තර අහන්න. ඒ අය නමස්කාරයට සම්බන්ධ දේවල කොච්චර දියුණුවක් ලබලා තිබුණද කියලා දැනගන්න ඒ තොරතුරු උදව්වක්.

^ 14 ඡේ. 2014 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ කලාපයේ 17-26 පිටුවල තියෙන “ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කරන්න බැහැ” සහ “ධෛර්යවත් වෙන්න දෙවි ඔබට උදව් කරයි!” කියන ලිපි බලන්න.