Skip to content

පටුනට යන්න

වෙනත් රටවලින් ඇවිත් ඉන්න අයගේ දරුවන්ට උදව් කරමු

වෙනත් රටවලින් ඇවිත් ඉන්න අයගේ දරුවන්ට උදව් කරමු

“මාගේ දරුවන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වන බව අසන්න ලැබීම තරම් සතුටක් තවත් මට නැත.”—3 යොහ. 4.

ගීතිකා: 134, 133

1, 2. (අ) වෙනත් රටවලින් එන අයගේ දරුවන් මුහුණ දෙන අභියෝගය මොකක්ද? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

“මගේ අම්මලා වෙන රටකින් මෙහෙට ආපු අය. පොඩි කාලේ මං කතා කළේ එයාලගේ භාෂාව. ඒත් ඉස්කෝලේ යන්න ගත්තම මං මෙහේ භාෂාව කතා කරන්න පටන්ගත්තා. අවුරුදු කීපයක් යද්දී අම්මලාගේ භාෂාව මට එහෙම්මම අමතක වුණා. රැස්වීම්වලදී කියපු මුකුත් තේරුණේ නැහැ. අම්මලා හිතපු පතපු විදිහ තේරුම්ගන්නත් මට අමාරු වුණා” කියලා ජොෂුවා කියනවා. තව හුඟදෙනෙකුගේ අද්දැකීමත් ඒකයි.

2 ලෝකෙ පුරාම මිලියන 240කට වඩා වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ තමන් ඉපදුණ රටේ නෙමෙයි. ඔයාත් එහෙම කෙනෙක් නම් යෙහෝවා දෙවිට ආදරේ කරන්න, “සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න” ඔයාගේ දරුවන්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? (3 යොහ. 4) ඒ වගේ පවුල්වලට උදව් කරන්න සභාවේ අනිත් අයට පුළුවන් කොහොමද?

දෙමාපියෙනි, හොඳ ආදර්ශයක් වෙන්න

3, 4. (අ) දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? (ආ) දෙමාපියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න හොඳ නැත්තේ මොකක්ද?

3 දෙමාපියෙනි, දරුවන් දෙවිත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නවා දකින්න ආසයි නම් ඔයාගේ ආදර්ශය හුඟක් වටිනවා කියලා මතක තියාගන්න. ඔයා ‘දේවරාජ්‍යයට මුල් තැන දෙනවා’ දරුවන් දකිද්දී එදිනෙදා කාරණාවලදී දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න එයාලත් පෙලඹෙයි. (මතෙ. 6:33, 34) ලැබෙන ආදායමට අනුව ජීවත් වෙන්න. දෙවිට දෙන්න ඕනෙ කාලය තව තව දේවල් ලබාගන්න එක වෙනුවෙන් කැප කරන්න එපා. ණය නොවී ඉන්න වෑයම් කරන්න. “මිනිසුන්ගේ ප්‍රශංසාව,” ධනය ලබාගන්න හදනවා වෙනුවට “ස්වර්ගයේ වස්තු රැස් කරන්න.”—යොහ. 12:43; මාක් 10:21, 22 කියවන්න.

4 දරුවන් වෙනුවෙන් කාලය දෙන්න බැරි තරමට කාර්යබහුල වෙන්න එපා. සල්ලි, ප්‍රසිද්ධිය පස්සේ යනවා වෙනුවට ජීවිතේ මුල් තැන දෙවිට දෙන්න දරුවන් තීරණය කරද්දී ඒ ගැන ඔයා සතුටු වෙනවා කියලා එයාලට කියන්න. දරුවන් දෙමාපියන්ට සැප පහසු ජීවිතයක් දෙන්න ඕනෙ කියන මතයේ ඉන්න එපා. ඒ අදහස බයිබලේට එකඟ නැහැ. “සාමාන්‍යයෙන් දරුවන් තම දෙමාපියන් වෙනුවෙන් ධනය රැස් කරනවා නොව දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් ධනය රැස් කරනවා” කියන දේ මතක තියාගන්න.—2 කොරි. 12:14.

දෙමාපියෙනි, භාෂා අභියෝගය ජය ගන්න

5. දෙමාපියන් දරුවන් එක්ක යෙහෝවා දෙවි ගැන කතා කරන්න ඕනෙ ඇයි?

5 “සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත්” අය දෙවිගේ සංවිධානයට රැස් වෙනවා කියන අනාවැකිය අද ඉටු වෙනවා. (සෙක. 8:23) ඒත් ඔයාගේ භාෂාව දරුවන් දන්නේ නැත්නම් බයිබලේ තියෙන තොරතුරු එයාලට කියලා දෙන එක අභියෝගයක්. ඔයාගේ වටිනාම බයිබල් ශිෂ්‍යයන් ඔයාගේ දරුවන්. එයාලා යෙහෝවා දෙවිව හොඳින් “දැන හඳුනා ගත්තොත්” සදාකාල ජීවනය ලබාගන්න එයාලට පුළුවන්. (යොහ. 17:3) දෙවිගේ ඉගැන්වීම් දරුවන් හොඳින් තේරුම්ගන්න නම් ඔයා නිතරම එයාලා එක්ක “ඒ දේවල් ගැන කතා කරන්න” ඕනේ.—ද්විතීය කතාව 6:6, 7 කියවන්න.

6. ඔයාගේ භාෂාව ඉගෙනගන්න එක දරුවන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

6 දරුවන් ඉස්කෝලෙන්, ආශ්‍රය කරන අයගෙන් සාමාන්‍යයෙන් රටේ භාෂාව ඉගෙනගන්නවා. ඒත් ඔයාගේ භාෂාව එයාලට ඉගෙනගන්න පුළුවන් වෙන්නේ ඔයා එයාලත් එක්ක නිතරම කතා කරනවා නම් විතරයි. ඔයාගේ භාෂාව දරුවන් දන්නවා නම් ඔයාත් එක්ක කතා කරන්න, එයාලට හැඟෙන විදිහ ගැන ඔයාට කියන්න එයාලට ලේසියි. දරුවෙක්ට භාෂා කීපයක් කතා කරන්න පුළුවන් වෙද්දී සිතීමේ හැකියාව දියුණු කරගන්න එයාට පුළුවන්. අනිත් අය කාරණා දිහා බලන විදිහ තේරුම්ගන්නත් එහෙම කෙනෙක්ට පහසුයි. වැඩිදෙනෙක්ට දේශනා කරන්නත් ඒක උදව්වක්. දෙමාපියන් කතා කරන භාෂාවෙන් රැස්වීම් තිබුණ සභාවක හිටපු කැරෝලිනා මෙහෙම කියනවා. “වෙන භාෂාවක් කතා කරන සභාවක ඉන්න එක නියම අද්දැකීමක්. ප්‍රචාරකයන් අඩු නිසා වැඩි සේවයක් කරන්නත් පුළුවන්.”

7. දරුවන් එක්ක කතා කරන්න භාෂාව බාධාවක් නම් මොනවද කරන්න පුළුවන්?

7 දැන් ඉන්න රටේ භාෂාව ඉගෙනගද්දී, සංස්කෘතියට හුරු වෙද්දී සමහර දරුවන්ට එයාලගේ මව් භාෂාව කතා කරන්න තියෙන උනන්දුව, හැකියාව නැති වෙන්න පුළුවන්. ඔයාගේ දරුවනුත් ඒ වගේ නම් දැන් ඉන්න රටේ භාෂාව ඔයා ටිකක් හරි ඉගෙනගන්න එක හොඳ දෙයක් නෙමෙයිද? එතකොට දරුවන් කතාබහ කරන දේවල්, පාඩම් වැඩ, විනෝදයට කරන දේවල් තේරුම්ගන්න ඔයාට පුළුවන්. එයාලගේ ගුරුවරුන් එක්ක කතා කරන්නත් ඔයාට පුළුවන්. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න දරුවන්ට උදව් කරන්න ඒවා ඔයාට ප්‍රයෝජනවත්. අලුත් භාෂාවක් ඉගෙනගන්න මහන්සි වෙන්න ඕනේ. කාලෙත් යනවා. නිහතමානී වෙන්නත් ඕනේ. ඒත් ඔයා දරන වෑයම අපතේ යන්නේ නැහැ. ටිකක් හිතන්න, ඔයාගේ දරුවෙක් බිහිරි වුණා කියලා. එයා එක්ක අදහස් හුවමාරු කරගන්න ඔයා සංඥා භාෂාව ඉගෙනගන්නේ නැද්ද? වෙනත් භාෂාවක් කතා කරන දරුවෙක් එක්කත් ඔයා ඒ වගේ වෑයමක් දරන්න ඕනෙ නැද්ද? *

8. දැන් ඉන්න රටේ භාෂාව ඔයා හොඳින් දන්නේ නැත්නම් දරුවාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

8 දරුවන් කතා කරන භාෂාව හොඳට කතා කරන්න ඉගෙනගන්න එක සමහර දෙමාපියන්ට අමාරුයි. ඒ නිසා “ශුද්ධ ලියවිල්ලේ” තියෙන දේවල් දරුවන්ට උගන්වන එක එයාලට අභියෝගයක්. (2 තිමෝ. 3:15) ඔයාත් ඒ වගේ කෙනෙක් නම් යෙහෝවා දෙවිව දැනගන්න, දෙවිට ආදරේ කරන්න දරුවාට උදව් කරන්න ඔයාට බැහැ කියලා හිතන්න එපා. වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන ෂාන් මෙහෙම කියනවා. “අපේ තාත්තා නෑ. මායි, අක්කායි, නංගියි කතා කරපු භාෂාව අම්මාට තේරෙනවා අඩුයි. අම්මාගේ භාෂාව අපිට එච්චර බැහැ. ඒත් අම්මා බයිබලේ අධ්‍යයනය කරනවා, යාච්ඤා කරනවා අපි දැක්කා. අපිත් එක්ක හැම සතියකම පවුලේ නමස්කාරය කරන්න එයා ලොකු උත්සාහයක් ගත්තා. යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න එක කොච්චර වැදගත්ද කියලා ඒකෙන් අපි තේරුම්ගත්තා.”

9. බයිබලේ, අපේ ප්‍රකාශන භාෂා 2කින් අධ්‍යයනය කරන්න වෙන දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

9 සමහර දරුවන්ට යෙහෝවා දෙවි ගැන භාෂා 2කින් ඉගෙනගන්න වෙනවා. මොකද එයාලා ගෙදර කතා කරන්නේ එක භාෂාවක්. ඉස්කෝලේ කතා කරන්නේ තව භාෂාවක්. ඒ නිසා සමහර දෙමාපියන් දරුවන්ට දෙවි ගැන උගන්නන්න ඒ භාෂා දෙකෙන්ම තියෙන පොත් පත්, වීඩියෝ, ඕඩියෝ වැඩසටහන් පාවිච්චි කරනවා. වෙනත් රටකින් ඇවිත් ඉන්න දෙමාපියන් තමන්ගේ දරුවන්ට යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් කරන්න නම් ඒ වෙනුවෙන් කාලය දෙන්න ඕනේ. වෑයමක් දරන්නත් ඕනේ.

මොන භාෂාව කතා කරන සභාවටද යන්න ඕනේ?

10. (අ) යන්න ඕනෙ මොන භාෂාව කතා කරන සභාවටද කියන තීරණය ගන්න ඕනෙ කවුද? (ආ) තීරණයක් ගන්න එයා කරන්න ඕනෙ මොනවද?

10 වෙනත් රටවලින් ඇවිත් ඉන්න අයගේ මව් භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවක් ළඟ නැත්නම් දැන් ඉන්න රටේ භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවකට යන්න එයාලට සිද්ධ වෙනවා. (ගීතා. 146:9) ඒත් මව් භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවක් ළඟ තියෙනවා නම් පවුලේ මූලිකයාට පුළුවන් පවුලේ අය යන්න ඕනෙ කොයි භාෂාව කතා කරන සභාවටද කියලා තීරණය කරන්න. ඒ තීරණය ගන්න කලින් එයා යාච්ඤා කරලා හිතන්න ඕනෙ පැති තියෙනවා. පවුලේ අයගේ අදහසුත් දැනගන්න. (1 කොරි. 11:3) එයා හිතලා බලන්න ඕනෙ පැති මොනවද? තීරණයක් ගන්න එයාට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවද?

11, 12. (අ) දරුවෙක් රැස්වීමකදී කොච්චර දුරට දේවල් ඉගෙනගන්නවද කියන දේ භාෂාව අනුව තීරණය වෙන්නේ කොහොමද? (ආ) සමහර දරුවන් දෙමාපියන්ගේ භාෂාව ඉගෙනගන්න අකමැති ඇයි?

11 භාෂාව මොකක් වුණත් බයිබලේ තියෙන සත්‍යයන් දරුවෙක්ගේ හිතට යන්න නම් එයා රැස්වීම්වලදී විතරක් ඒ ගැන ඉගෙනගෙන මදි. ඒත් මේ ගැන හිතන්න. දරුවාට තේරෙන්නේ නැති භාෂාවකින් තියෙන රැස්වීම්වලට යනවට වඩා එයාට හොඳට තේරෙන භාෂාවකින් තියෙන රැස්වීම්වලට යද්දී එයා අනිවාර්යයෙන්ම යම් දෙයක් ඉගෙනගන්නවා. සමහරවිට දෙමාපියන් හිතනවට වඩා වැඩි දෙයක් එයාගේ ඔළුවට යනවා. (1 කොරින්ති 14:9, 11 කියවන්න.) යම් හේතු නිසා දරුවෙක්ගේ මව් භාෂාව එයාගේ හදවතට කිට්ටුම භාෂාව නොවෙන්න පුළුවන්. සමහර දරුවන් කටපාඩම් කරගෙන මව් භාෂාවෙන් රැස්වීමේදී අදහස් දුන්නට, නිරූපන ඉදිරිපත් කළාට ඇත්තටම ඒ දේවල් එන්නේ එයාලගේ හදවතින් නෙමෙයි. මොකද එයාලගේ හිතට වදින භාෂාව වෙනස්.

12 දරුවෙක් හිතන විදිහට බලපාන්නේ භාෂාව විතරක්ම නෙමෙයි. ජොෂුවාගේ අක්කා මෙහෙම කිව්වා. “පොඩි දරුවෙක්ට දෙමාපියන්ගේ භාෂාව, සංස්කෘතිය, ආගම අතරේ ලොකු වෙනසක් නෑ. එයාලට ඒ ඔක්කොම එකයි.” ‘දෙමාපියන් හැදිලා වැඩිලා තියෙන විදිහ, එයාලා හිතන පතන විදිහ අපේ විදිහට වඩා වෙනස්’ කියලා දරුවන්ට හැඟෙනවා නම් දෙමාපියන්ගේ භාෂාව, එයාලගේ ආගම ගැන ඉගෙනගන්න දරුවන් අකමැති වෙන්න පුළුවන්.

13, 14. (අ) එක පවුලක් තමන් ඇවිත් ඉන්න රටේ භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවකට ගියේ ඇයි? (ආ) දෙවිත් එක්ක ශක්තිමත් බැඳීමක් තියාගන්න ඒ දෙමාපියන්ට පුළුවන් වුණේ කොහොමද?

13 දෙවිට ළැදි දෙමාපියන් තමන්ගේ පහසුව ගැන හිතනවට වඩා දරුවන්ට උදව් කරන එක ගැනයි හිතන්නේ. (1 කොරි. 10:24) ජොෂුවාගේ තාත්තා මෙහෙම කිව්වා. “මොන භාෂාවෙන් ඉගෙනගද්දීද බයිබලේ තියෙන සත්‍යයන් දරුවන්ගේ හිතට වැඩියෙන්ම යන්නේ කියලා අපි කාලයක් තිස්සේ බැලුවා. හොඳ තීරණයක් ගන්න දෙවිගෙන් උදව් ඉල්ලුවා. අපේ භාෂාවෙන් තියෙන රැස්වීම්වලින් දරුවන් වැඩි දෙයක් ඉගෙනගන්නේ නැහැ කියලා අපිට තේරුණා. ඒ නිසා අපි තීරණය කළා දරුවන්ට හොඳටම තේරෙන භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවකට යන්න. ඒක කරන්න අපි දෙන්නට ලේසි වුණේ නැහැ. ඒත් අපි පවුලක් විදිහට නිතිපතා රැස්වීම්, සේවයේ ගියා. සභාවේ අයට අපේ ගෙදරට ආරාධනා කළා. එයාලත් එක්ක පොඩි පොඩි විනෝද ගමන් ගියා. සහෝදරයන්ට කිට්ටු වෙන්නත් යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුන ගන්නත් ඒ දේවල් එයාලට උදව් වුණා. දරුවන්ට පුළුවන් වුණා දෙවිව එයාලගේ තාත්තා, යාළුවා කරගන්න. අපේ භාෂාව කතා කරන්න පුළුවන් වෙනවට වඩා ඒක තමයි වැදගත්ම දේ කියලා අපිට හැඟුණා.”

14 එයා මෙහෙමත් කිව්වා. “අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න ඕනෙ නිසා අපි දෙන්නා අපේ භාෂාවෙන් තිබුණ රැස්වීම්වලටත් ගියා. ඒක කරන්න ලේසි වුණේ නෑ. අපිට ලොකු වෙහෙසකුත් දැනුණා. ඒත් අපේ වෑයමට, කරපු කැප කිරීම්වලට යෙහෝවා දෙවි ආශීර්වාද කළා. අපේ ළමයි 3දෙනාම දැන් පූර්ණකාලීන සේවය කරනවා.”

දරුවන්ට කරන්න පුළුවන් දේ

15. තමන් ඉන්න රටේ භාෂාවෙන් තියෙන රැස්වීම්වලට යන එක තව හොඳින් සේවය කරන්න එයාට උදව්වක් කියලා ක්‍රිස්ටිනාට හැඟුණේ ඇයි?

15 තමන්ට හොඳටම තේරෙන භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවකට ගියොත් යෙහෝවා දෙවිට හොඳින් සේවය කරන්න පුළුවන් කියලා යෞවන වයසට එද්දී දරුවන්ට හැඟෙන්න පුළුවන්. දෙමාපියෙනි, ඔයාගේ දරුවාට එහෙම හැඟෙනවා නම් ‘එයා අපෙන් ඈත් වෙන්න හදනවා’ කියලා හිතන්න එපා. ක්‍රිස්ටිනා මෙහෙම කියනවා. “අම්මලාගේ භාෂාව මට ටිකක් තේරුණා. ඒත් රැස්වීම්වලදී උගන්වපු දේවල් නම් තේරුම්ගන්න මට අමාරු වුණා. අවුරුදු 12දී මං මේ රටේ භාෂාවෙන් තිබුණ සමුළුවකට ගියා. මං ඉගෙනගත්ත දේවල් මුල්ම වතාවට මගේ හිතට දැනුණේ එදායි. මං ඒ භාෂාවෙන් යාච්ඤා කරන්නත් පටන්ගත්තා. මගේ හිතේ තිබුණ දේවල් දෙවිට ලේසියෙන්ම කියන්න පුළුවන් වුණේ ඒ භාෂාවෙන්.” (ක්‍රියා 2:11, 41) අවුරුදු 18ක් වුණාම ක්‍රිස්ටිනා ඒ ගැන දෙමාපියන් එක්ක කතා කරලා ඒ රටේ භාෂාවෙන් රැස්වීම් තිබුණ සභාවකට යන්න තීරණය කළා. එයා මෙහෙම කියනවා. “මට හොඳටම තේරෙන භාෂාවෙන් යෙහෝවා දෙවි ගැන ඉගෙනගද්දී වැඩියෙන් සේවය කරන්න මං පෙලඹුණා.” ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්ත ක්‍රිස්ටිනා දැන් සතුටින් ඒ සේවය කරගෙන යනවා.

16. දෙමාපියන් කතා කරන භාෂාවෙන් රැස්වීම් තිබුණ සභාවෙම හිටපු එක ගැන නාඩියා සතුටු වෙන්නේ ඇයි?

16 යෞවනයෙනි, ඔයා ඉන්න රටේ කතා කරන භාෂාවෙන් රැස්වීම් තියෙන සභාවකට යන්නද ඔයා කැමති? ඒකට හේතුව යෙහෝවා දෙවිට තව කිට්ටු වෙන්න ඒක උදව්වක් වෙයි කියලා හිතන නිසාද? (යාකො. 4:8) නැත්නම් එහෙම ගියොත් දෙමාපියන්ගෙන් බේරෙන්න පුළුවන් කියලා හිතන නිසාද? එහෙමත් නැත්නම් දෙමාපියන්ගේ භාෂාව ඉගෙනගන්න වෙහෙසක් දරන්න වෙන නිසාද? දැන් බෙතෙල් එකේ සේවය කරන නාඩියා මෙහෙම කිව්වා. “යෞවන වයසට ආවම අපි 4දෙනාට ඕනෙ වුණේ මෙහේ භාෂාවෙන් රැස්වීම් තිබුණ සභාවකට යන්න.” ඒත් නාඩියාගේ දෙමාපියන්ට හිතුණේ එහෙම යන එකෙන් දෙවිට වැඩි සේවයක් කරන්න දරුවන්ට තියෙන අවස්ථාව නැති වෙයි කියලා. “අම්මායි, තාත්තායි එයාලගේ භාෂාව අපිට උගන්නන්න ගත්ත උත්සාහය අද අපි හුඟක් අගය කරනවා. අපිව එයාලා ඉන්න සභාවෙම තියාගත්ත එක හොඳ දෙයක්. ඒකෙන් තව වැඩිදෙනෙක්ට දෙවි ගැන කියලා දෙන්න අපිට අවස්ථාව ලැබුණා” කියලා නාඩියා කියනවා.

සභාවේ අනිත් අයටත් පුළුවන් උදව් කරන්න

17. (අ) දරුවන් ඇතිදැඩි කරන වගකීම යෙහෝවා දෙවි දුන්නේ කාටද? (ආ) දරුවන්ට දෙවි ගැන උගන්නන්න අනිත් අයගෙන් උදව් ගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

17 දරුවන්ට දෙවි ගැන උගන්නන වගකීම යෙහෝවා දෙවි දුන්නේ දෙමාපියන්ට. ඒක ආච්චිලා, සීයලාගේ නැත්නම් වෙන අයගේ වගකීමක් නෙමෙයි. (හිතෝපදේශ 1:8; 31:10, 27, 28 කියවන්න.) ඒත් දැන් ඉන්න රටේ භාෂාව දෙමාපියන් හොඳට දන්නේ නැත්නම් දරුවන්ගේ හදවතට දැනෙන විදිහට උගන්නන්න එයාලට උදව් ඕනෙ වෙයි. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයාලගේ වගකීම වෙන අය පිට පටවනවා කියලා. ඒ වෙනුවට ඒක සලකන්න ඕනෙ ‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දෙන්නත් දෙවි සිතන ආකාරයට සිතන්නත්’ දරුවාට උදව් කරන්න දරන වෑයමක් හැටියට. (එෆී. 6:4) උදාහරණෙකට පවුලේ නමස්කාරයේදී කරන්න පුළුවන් දේවල් ගැන වැඩිමහල්ලන්ගෙන් අහන්න දෙමාපියන්ට පුළුවන්. දරුවන්ට හොඳ යාළුවන් හොයාගන්න උදව් කරන්න කියලත් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලන්න පුළුවන්.

සභාවේ අයත් එක්ක ඇසුරු කරද්දී දරුවනුත් දෙමාපියනුත් හුඟක් ප්‍රයෝජන අද්දකියි (18 සහ 19 ඡේද බලන්න)

18, 19. (අ) යෞවන අයට උදව් කරන්න සභාවේ අනිත් අයට පුළුවන් කොහොමද? (ආ) දෙමාපියන් දිගටම කරන්න ඕනෙ මොකක්ද?

18 විටින් විට පවුලේ නමස්කාරයට හවුල් වෙන්න සභාවේ අනිත් පවුල්වල අයට ආරාධනා කරන එකත් දරුවන්ට උදව් කරන්න පුළුවන් විදිහක්. සභාවේ විවිධ අය එක්ක සේවයේ හවුල් වෙන එකෙන්, එයාලා එක්ක එකට දේවල් කරන එකෙන් දරුවන් හුඟක් දේවල් ඉගෙනගන්නවා. (හිතෝ. 27:17) ෂාන් මෙහෙම කියනවා. “මට ආදරෙන් උදව් කරපු සහෝදරයන්ව කවදාවත් අමතක වෙන්නේ නෑ. ශිෂ්‍ය පැවරුම් කරන්න එයාලා මට උදව් කරද්දී එයාලගෙන් මං හුඟක් දේවල් ඉගෙනගත්තා. අපි කට්ටිය එකට විනෝදත් වුණා.”

19 වෙනත් රටකින් ඇවිත් ඉන්න දෙමාපියන් එයාලගේ දරුවාට උදව් කරන්න කියලා ඔයාගෙන් ඉල්ලලා තියෙනවද? එහෙමනම් මේ දේවල් මතක තියාගන්න. දරුවා එක්ක කාලේ ගත කරද්දී එයාගේ දෙමාපියන් ගැන අගෞරවයක් ඇති වෙන විදිහට කතා කරන්න එපා. ඒ වෙනුවට දෙමාපියන් ගැන හොඳ දේවල් කියන්න. එයාලගේ වගකීම් ඔයාගේ අතට ගන්න හදන්න එපා. මේ දේත් මතක තියාගන්න. ඔයා දරුවාට උදව් කරද්දී ඔයා හැසිරෙන විදිහ ගැන සැලකිලිමත්වෙන්න. සභාවේ අයට නැත්නම් පිට අයට ඔයාගේ හැසිරීම ගැන වැරදි විදිහට හිතන්න කිසිම ඉඩක් තියන්න එපා. (1 පේතෘ. 2:12) අනිත් අයගෙන් උදව් ගත්තට දරුවාට දෙවි ගැන උගන්නන වගකීම සම්පූර්ණයෙන්ම ඒ අය පිට පටවන්න පුළුවන් කියලා දෙමාපියන් හිතන්න හොඳ නැහැ. අනිත් අය දරුවාට උදව් කරන්නේ කොයි විදිවලින්ද කියන දේ ගැනත් දෙමාපියන් දැනුවත් වෙලා ඉන්න ඕනේ.

20. දෙවිගේ සේවකයන් වෙන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

20 දෙමාපියෙනි, යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන්න. පුළුවන් උපරිමයෙන් දරුවාට උදව් කරන්න. (2 ලේකම් 15:7 කියවන්න.) ඔයාගේ පහසුව ගැන හිතන්නේ නැතුව දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ ගැන හිතන්න. දරුවාගේ හිතේ දේවවචනය ගැන ආදරයක් ඇති කරන්න ඔයාට පුළුවන් හැම දේම කරන්න. ඔයාගේ දරුවාට දෙවිගේ සේවකයෙක් වෙන්න බැරි වෙයි කියලා හිතන්න එපා. එයා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙද්දී, ඔයාගේ හොඳ ආදර්ශය අනුගමනය කරද්දී යොහන්ට හැඟුණ මේ දේ ඔයාටත් හැඟෙයි. “මාගේ දරුවන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වන බව අසන්න ලැබීම තරම් සතුටක් තවත් මට නැත.”—3 යොහ. 4.

^ 7 ඡේ. 2007 මාර්තු ‘පිබිදෙව්!’ කලාපයේ 10-12 පිටුවල තියෙන “අලුත් භාෂාවක් ඉගෙනගනිමු!” ලිපිය බලන්න.