Skip to content

පටුනට යන්න

“මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”

“මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”

“සීමොන්, මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”—යොහ. 21:15.

ගීතිකා: 143, 65

1, 2. පේතෘස් ඉගෙනගත්ත පාඩම මොකක්ද?

දවසක් යේසුස්ගේ ගෝලයෝ 7දෙනෙක් ගලීල මුහුදේ මාළු අල්ලන්න ගියා. රැයක් පුරා උත්සාහ කළත් එයාලට එක මාළුවෙක්වත් අහු වුණේ නැහැ. නැවත නැඟිට්ටවපු යේසුස් උදෙන්ම වෙරළට ඇවිත් එයාලට කිව්වා “ඔරුවේ දකුණු පැත්තෙන් දැල හෙළන්න. එවිට ඔබට මාළු ටිකක් අල්ලගන්න පුළුවන් වෙයි” කියලා. “ඔවුන් දැල හෙළූ විට දැලට හසු වූ මසුන් ප්‍රමාණය කොතරම්ද කිවහොත් ඔවුන්ට තවදුරටත් ඒ දැල ඇදගැනීමට නොහැකි විය.”—යොහ. 21:1-6.

2 එයාලට කන්න මාළුයි, රොටියි දුන්නට පස්සේ යේසුස් පේතෘස්ගෙන් මෙහෙම ඇහුවා. “සීමොන්, මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?” යේසුස් දැනගෙන හිටියා පේතෘස් මාළු අල්ලන්න ආසයි කියලා. ඒත් යේසුස්ට දැනගන්න ඕනෙ වුණේ පේතෘස් වැඩියෙන් ආදරේ යේසුස්ට සහ ඔහු උගන්වපු දේවලටද නැත්නම් එයාගේ රස්සාවටද කියලයි. ඒ වෙලාවේ පේතෘස් යේසුස්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි! මගේ හිතේ ඔබ ගැන කොයි තරම් ආදරයක් තිබෙනවාද කියා ඔබ දන්නවා.” (යොහ. 21:15) එදා පේතෘස් ඉස්සරහට තිබ්බ අඩිය ආයේ කවදාවත් ආපස්සට තිබ්බේ නැහැ. වෙහෙස මහන්සි නොබලා ශුභාරංචිය දේශනා කරලා, සභාවේ පෙරමුණ අරන් වැඩ කරලා එයා යේසුස්ට කොච්චර ආදරේද කියලා පෙන්නුවා.

3. අපි පරෙස්සම් වුණේ නැත්නම් මොනවා වෙන්න පුළුවන්ද?

3 යේසුස් පේතෘස්ගෙන් අහපු දෙයින් පැහැදිලි වෙන්නේ යේසුස් ගැන අපේ හිතේ තියෙන ආදරේ අඩු වෙලා යන්න පුළුවන් කියන එකයි. ඒ දේ වෙන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ. මේ සමාජයේ ජීවත් වෙන එක ලේසි නැහැ කියලත් දුකට, කනස්සල්ලට හේතු වෙන දේවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා කියලත් යේසුස් දැනගෙන හිටියා. වපුරන්නාගේ උපමාවේ යේසුස් කිව්වේ සමහරු “රාජ්‍යය පිළිබඳ පණිවිඩය” හරිම ආසාවෙන් පිළිගත්තත් එයාලා “මේ සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වන නිසාත් ධනය පසුපස ගොස් එයින් මුළා වන නිසාත්” පණිවිඩයට තිබුණ ආසාව නැති වෙනවා කියලයි. (මතෙ. 13:19-22; මාක් 4:19) අපි පරෙස්සම් වුණේ නැත්නම් එදානෙදා දේවල් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙලා දෙවිට කරන සේවය අඩු වෙන්න පුළුවන්. “ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් අධික කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි” කියලා යේසුස් අනතුරු ඇඟෙව්වේ ඒ නිසයි.—ලූක් 21:34.

4. අපි යේසුස්ට කොච්චර ආදරේද කියලා දැනගන්න පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 පේතෘස් වගේ ශුභාරංචිය දේශනා කරන එකට ජීවිතේ මුල් තැන දීලා අපිට පුළුවන් අපේ හිතේ යේසුස් ගැන තියෙන ආදරේ පෙන්නන්න. ඒ ආදරේ අඩු වෙලාද කියලා දැනගන්න පුළුවන් කොහොමද? මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං වැඩියෙන්ම ආදරේ මොනවටද? මට වැඩියෙන්ම සතුටක් දැනෙන්නේ දෙවිට සේවය කරද්දීද නැත්නම් වෙන දේවල් කරද්දීද?’ දැන් අපි යේසුස් ගැන අපිට තියෙන ආදරේ අඩු වෙන්න හේතු වෙන දේවල් 3ක් ගැන බලමු. (1) රස්සාව, (2) විවේකය සහ විනෝදය, (3) ධනසම්පත්.

රස්සාවට දෙන තැන

5. පවුල් මූලිකයන්ට තියෙන වගකීම මොකක්ද?

5 පේතෘස් මාළු ඇල්ලුවේ ඒකෙන් එයා සතුටක් ලබපු නිසාම නෙමෙයි. එයා පවුලේ අයව බලාගත්තේ ඒ රස්සාවෙන්. අදත් පවුල් මූලිකයන් පවුලේ අයගේ ඕනෑ එපාකම් ගැන බලාගනියි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙනවා. (1 තිමෝ. 5:8) ඒ දේ කරන්න නම් එයාලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඒත් රස්සාව නිසා කෙනෙක්ට ලොකු පීඩනයක් දැනෙන්න පුළුවන්.

6. රස්සාව නිසා පීඩනයක් දැනෙන්න පුළුවන් ඇයි?

6 රස්සාවක් හොයාගන්න මිනිසුන් අතරේ තියෙන්නේ ලොකු තරඟයක්. ඒ නිසා හුඟක් අය ඕවටයිම් කරනවා. අඩු පඩියට මැරීගෙන වැඩ කරනවා. ව්‍යාපාරිකයන් උත්සාහ කරන්නෙත් සේවකයන් ටිකදෙනෙක්ගෙන් ලොකු වැඩක් කරගන්න. ඒ නිසා සේවකයන්ට කොච්චර ලොකු පීඩනයක් දැනෙනවද කියනවා නම් එයාලා හෙම්බත් වෙනවා. අසනීප වෙනවා. රස්සාව නැති වෙයි කියන බයට හුඟදෙනෙක් ප්‍රධානියා කියන කියන දේ කරනවා.

7, 8. (අ) අපි වැඩියෙන්ම ළැදි කාටද? (ආ) තායිලන්තයේ සහෝදරයාගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද?

7 යේසුස්ගේ අනුගාමිකයන් හැටියට අපි වැඩියෙන්ම ළැදි යෙහෝවා දෙවිට. එහෙම නැතුව වැඩපොළේ ප්‍රධානියාටවත් වෙන කිසිම කෙනෙක්ටවත් කිසිම දෙයකටවත් නෙමෙයි. (ලූක් 10:27) අපි රස්සාවක් කරන්නේ පවුලේ අයව බලාගන්නයි අපේ සේවයට ඕන සල්ලි හොයාගන්නයි. ඒත් අපි රස්සාවට ඕනෑවට වඩා තැන දුන්නොත් ඒකෙන් දෙවිට කරන නමස්කාරයට බාධා වෙන්න පුළුවන්. තායිලන්තයේ සහෝදරයෙක්ගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කිව්වා. “මං කළේ කොම්පියුටර් අලුත්වැඩියා කරන ජොබ් එකක්. මං ඒකට හරිම ආසයි. ඒත් මට පැය ගාණක් වැඩ කරන්න වුණා. දෙවිගේ දේවල් කරන්න වෙලාවක් තිබුණේ නැති තරම්. ඒත් අන්තිමේදී මට තේරුණා දේවරාජ්‍යයට මුල් තැන දෙන්න නම් ජොබ් එක වෙනස් කරන්න ඕනෙ කියලා.” එයා මොනවද කළේ?

8 ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “මං අවුරුද්දක් විතර සැලසුම් කළා. ඊටපස්සේ පාර අයිනේ අයිස් ක්‍රීම් විකුණන්න හිතුවා. මුලදී නම් එච්චර ආදායමක් ආවේ නැහැ. ඒ හින්දා මං ටිකක් කලකිරුණා. කලින් වැඩපොළේ කට්ටිය හම්බ වුණාම එයාලා මට විහිළු කරනවා. ‘AC එකේ ඉඳන් කොම්පියුටර් හදනවට වඩා කට්ට අව්වේ අයිස් ක්‍රීම් විකුණන එකේ තේරුම මොකක්ද’ කියලා එයාලා මගෙන් ඇහුවා. මේ ඔක්කොම දරාගෙන දෙවිට වැඩි කාලයක් දෙන්න උදව් කරන්න කියලා මං දෙවිගෙන් ඉල්ලුවා. වැඩි කල් යන්න කලින් මට පුළුවන් වුණා රසට අයිස් ක්‍රීම් හදන්න. ඒ නිසා ඔක්කොම විකිණුණා. කොම්පියුටර් හදපු කාලෙට වඩා ආදායමකුත් මට ලැබුණා. පීඩනයත් අඩුයි. ඒ ගැන මට සතුටුයි. ඒත් මං වැඩියෙන්ම සතුටු වෙන්නේ යෙහෝවා දෙවිට තවත් ළං වෙන්න පුළුවන් වුණ නිසයි.”—මතෙව් 5:3, 6 කියවන්න.

9. රස්සාව ගැන දිගටම සමබරව හිතන්න අපිට පුළුවන් කොහොමද?

9 අපි මහන්සි වෙලා වැඩ කරද්දී යෙහෝවා දෙවි ඒක අගය කරනවා. ඒකෙන් හොඳ ප්‍රතිඵලත් ලැබෙනවා. (හිතෝ. 12:14) ඒත් අපි දෙවිට කරන සේවයට දෙන්න ඕන තැන රස්සාවට නොදී ඉන්න වගබලා ගන්න ඕනේ. ඒ දේ කරන්න නම් අපි අපේ මූලික අවශ්‍යතා ගැන ඕනෑවට වඩා කරදර වෙන්න හොඳ නැහැ. මොකද යේසුස් කිව්වේ “නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි” කියලයි. (මතෙ. 6:33) අපි රස්සාව ගැන සමබරව හිතනවද නැද්ද කියලා තේරුම්ගන්න මේ ප්‍රශ්න ගැන හිතන එක හොඳයි. ‘මට රස්සාවෙන් ලොකු සතුටක් ලැබුණට සේවයෙන් එච්චර සතුටක් ලැබෙන්නේ නැද්ද? මං සේවයේ යන්නේ යන්නම් වාලෙද?’ ඇත්තටම අපි ආදරේ මොනවටද කියලා තේරුම්ගන්න ඒ ප්‍රශ්න ගැන හිතන එක ලොකු උදව්වක්.

10. යේසුස් උගන්වපු වටිනා පාඩම මොකක්ද?

10 ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ මොනවටද කියලා යේසුස් කියලා දුන්නා. දවසක් ඔහු මරියා සහ මාර්තා හිටපු ගෙදරට ගියා. ඒ වෙලාවේ මාර්තාට ඕනෙ වුණේ ඉක්මනින්ම යේසුස්ට කෑම ටිකක් හදලා දෙන්න. ඒත් මරියා යේසුස් ළඟ ඉඳගෙන ඔහු කියන දේවලට හොඳින් සවන් දුන්නා. කෑම හදන්න මරියා උදව් කරන්නේ නැහැ කියලා මාර්තා කියද්දී යේසුස් එයාට මෙහෙම කිව්වා. “මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි. එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ.” (ලූක් 10:38-42) එදා යේසුස් කියලා දීපු වටිනා පාඩම මොකක්ද? එදිනෙදා දේවල් ගැන කනස්සලු නොවී යේසුස්ට ආදරෙයි කියලා ඔප්පු කරන්න නම් අපි “වඩාත් හොඳ දේ” තෝරගන්න ඕනෙ කියන එකයි. ඒ කියන්නේ යෙහෝවා දෙවියි, අපියි අතර තියෙන බැඳීම ජීවිතේ වැදගත්ම දේ කරගන්න ඕනෙ කියන එකයි.

විවේකය සහ විනෝදය

11. විවේකය ගැන, විනෝදය ගැන බයිබලේ මොනවද කියන්නේ?

11 අපි මහන්සි වෙලා වැඩ කරන නිසා අපිට විවේකයක් ඕනේ. විනෝද වෙන එකෙත් වරදක් නැහැ. බයිබලේ කියන්නෙත් ‘මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් නැහැ’ කියලයි. (දේශ. 2:24) ගෝලයන් මහන්සි වෙලා සේවය කරපු නිසා එයාලට විවේකයක් ඕනෙ කියලා යේසුස් තේරුම්ගත්තා. එක අවස්ථාවක “එන්න, අපි පාළු තැනකට යමු. අපිට පුළුවන් ටිකකට විවේක ගන්න” කියලා යේසුස් එයාලට කිව්වේ ඒ නිසයි.—මාක් 6:31, 32.

12. විවේකය, විනෝදය උගුලක් වෙන්න පුළුවන් කියන්නේ ඇයි? උදාහරණයක් කියන්න.

12 විවේක ගන්න එක, විනෝදයට යම් දෙයක් කරන එක අපිට උදව් වෙනවා මනස සැහැල්ලු කරගන්න. ඒත් විනෝදයට ජීවිතේ මුල් තැන නොදී ඉන්න අපි වගබලා ගන්න ඕනේ. මුල් සියවසේ හිටපු හුඟදෙනෙක් හිතුවේ “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියලයි. (1 කොරි. 15:32) අද ඉන්න හුඟදෙනෙක් හිතන්නෙත් ඒ විදිහටයි. මේ උදාහරණය බලන්න. බටහිර යුරෝපයේ ඉන්න යෞවනයෙක් රැස්වීම් එන්න පටන්ගත්තා. ඒත් එයා වැඩියෙන්ම ආස කළේ විනෝද වෙන්න. ඒ නිසා එයා රැස්වීම් යන එක නැවැත්තුවා. පස්සේ තමයි එයාට තේරුණේ විනෝදෙට මුල් තැන දුන්න නිසා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා කියලා. එයා ආයෙත් බයිබලේ පාඩම් කළා. ටික කාලෙකින් සේවයේ යන්නත් පටන්ගත්තා. බව්තීස්ම වුණාට පස්සේ එයා මෙහෙම කිව්වා. “දෙවිට දෙන්න ඕන කාලය නිකරුණේ නාස්ති වෙච්ච එක ගැන මං අද දුක් වෙනවා. නියම සතුට ලැබෙන්නේ දෙවිට සේවය කරන එකෙන්. එහෙම නැතුව මේ ලෝකෙ විනෝද වෙන්න තියෙන දේවල් පස්සේ පන්නන එකෙන් නෙමෙයි.”

13. (අ) විවේකයට, විනෝදයට ඕනෑවට වඩා කාලේ දෙන එක හොඳ නැහැ කියන්නේ ඇයි? උදාහරණයක් කියන්න. (ආ) විවේකය, විනෝදය ගැන සමබරව හිතන්න අපිට උදව් වෙන්නේ මොනවද?

13 අපි විනෝදයට දේවල් කරන්නේ මනස සැහැල්ලු කරගන්න, අලුත් පණක් ලබාගන්න. ඒත් ඒ වෙනුවෙන් අපි කොච්චර කාලයක් දෙන්න ඕනෙද? මෙහෙම හිතන්න. හුඟක් අය පැණි රස කෑම කන්න ආසයි. ඒත් කෙනෙක් හැම වෙලාවේම පැණි රස කනවා නම් මොනවා වෙයිද? අපි දන්නවා හොඳ සෞඛ්‍යයක් ඇතුව ඉන්න නම් අපි කන්න ඕනෙ ගුණදායක කෑම කියලා. දැන් මෙහෙම හිතන්න. විවේක ගන්න, විනෝද වෙන්න ඔයා ඕනෑවට වඩා කාලේ දුන්නොත් මොනවා වෙයිද? ඒකෙන් දෙවිත් එක්ක ඔයාට තියෙන බැඳීම දුර්වල වෙන්න පුළුවන්. එහෙමනම් ඒ දේවල් ගැන ඔයා හිතන්නේ සමබරවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? මේ දේ කරලා බලන්න. රැස්වීම්, දේශනා සේවය, පෞද්ගලික අධ්‍යයනය වගේ නමස්කාරයට සම්බන්ධ දේවලට සතියක් ඇතුළත ඔයා කොච්චර කාලයක් ගන්නවද කියලා කොළයක ලියන්න. ඒ සතියේම සෙල්ලම් කරන්න, TV බලන්න, ගේම්ස් ගහන්න කොච්චර කාලයක් ගන්නවද කියලා ලියන්න. දැන් ඒ දෙක සන්සන්දනය කරලා බලන්න. ඔයා මුල් තැන දෙන්නේ මොනවටද? ඔයාටත් වෙනසක් කරන්න වෙයිද?—එෆීස 5:15, 16 කියවන්න.

14. විනෝදයට කරන දේවල් ගැන හොඳ තේරීමක් කරන්න අපිට උදව් වෙන්නේ මොනවද?

14 විනෝද වෙන්න කරන්නේ මොනවද කියලා තීරණය කරන්න යෙහෝවා දෙවි අපිට නිදහස දීලා තියෙනවා. පවුලේ අයට විනෝද වෙන්න සුදුසු දේවල් ගැන තීරණය කරන්න පවුල් මූලිකයන්ටත් පුළුවන්. ඒවා ගැන හොඳ තේරීමක් කරන්න නම් අපි දෙවි හිතන විදිහ තේරුම්ගන්න ඕනේ. ඒකට උදව් වෙන ප්‍රතිපත්ති බයිබලේ තියෙනවා. * බයිබලේ කියන්නේ සතුටින් ඉන්න එක “දෙවිගෙන් ලද ආශීර්වාදයක්” කියලයි. (දේශ. 3:12, 13) ඇත්ත, හැමෝම එකම විදිහේ දේවල් නෙමෙයි විනෝද වෙන්න තෝරගන්නේ. (ගලා. 6:4, 5) මොන දේ තෝරගත්තත් අපි හැමෝම පරෙස්සම් වෙන්න ඕනේ. මොකද යේසුස් කිව්වේ “ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් ඇත්තේ එතැනමයි” කියලා. (මතෙ. 6:21) අපේ හිතේ යේසුස්ට ලොකු ආදරයක් තියෙනවා නම් ඒක අපිව පොලඹවනවා අපි හිතන විදිහෙන්, කතා කරන විදිහෙන් සහ දේවල් කරන විදිහෙන් අපි මුල් තැන දෙන්නේ දේවරාජ්‍යයට කියලා පෙන්නන්න.—ෆිලි. 1:9, 10.

ධනසම්පත්වලට තියෙන ආසාව

15, 16. (අ) ධනසම්පත්වලට තියෙන ආසාව උගුලක් වෙන්න පුළුවන් කොහොමද? (ආ) ධනසම්පත් ගැන යේසුස් දුන්න උපදෙස මොකක්ද?

15 අද හුඟදෙනෙක් තමන්ටම දේවල් රැස් කරගන්න උගුලට අහු වෙලා. එයාලා හීන මවන්නේ අලුත්ම විලාසිතාවේ ඇඳුම්, අලුත්ම ෆෝන්, කොම්පියුටර් වගේ දේවල් ගන්න. ඒ නිසා සල්ලි හොයන එක එයාලගේ ජීවිතේම කරගෙන. ඒත් දෙවිට සේවය කරන කෙනෙක් විදිහට ඔයා වැදගත්ම දේ විදිහට සලකන්නේ මොකක්ද? ඒකට උත්තර දැනගන්න මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං රැස්වීම්වලට ලෑස්ති වෙන්න ගන්නවට වඩා වැඩි කාලයක් අලුත්ම කාර් ගැන, විලාසිතා ගැන හොයන්න වැය කරනවද? යාච්ඤා කරන්නයි, බයිබලේ අධ්‍යයනය කරන්නයි බැරි වෙන තරමට මං එදිනෙදා දේවල් නිසා කාර්යබහුල වෙලාද?’ අපි පරෙස්සම් නොවුණොත් යේසුස්ට තියෙන ආදරේ අඩු වෙලා ධනසම්පත්වලට තියෙන ආසාව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා යේසුස් කියපු මේ දේ නිතරම මනසේ තියාගමු. “විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න.” (ලූක් 12:15) යේසුස් ඒ වගේ දෙයක් කිව්වේ ඇයි?

16 ‘ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ’ කියලා යේසුස් කිව්වා. සල්ලි හොයන එකට ජීවිතේ මුල් තැන දෙන ගමන් යෙහෝවා දෙවිට මුල් තැන දෙන්න අපිට බැහැ කියලා ඒකෙන් පැහැදිලියි. මොකද යේසුස් කිව්වේ “ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි” කියලයි. (මතෙ. 6:24) අපි හැමෝටම පාපය උරුම වෙලා තියෙන නිසා ධනසම්පත් රැස් කරන්න තියෙන ආශාව වගේ “වැරදි ආශාවන්ට” විරුද්ධව අත් නෑර සටන් කරන්න ඕනේ.—එෆී. 2:3.

17. (අ) ධනසම්පත් ගැන සමබර විදිහට හිතන්න සමහරුන්ට අමාරු වෙලා තියෙන්නේ ඇයි? (ආ) තව තව දේවල් රැස් කරන්න තියෙන ආසාවට විරුද්ධව සටන් කරන්න උදව් වෙන්නේ මොකක්ද?

17 තමන්ගේම ආසාවන් පස්සේ දුවන හුඟදෙනෙක්ට ධනසම්පත් ගැන සමබර විදිහට හිතන්න අමාරුයි. ඒ ඇයි? (1 කොරින්ති 2:14 කියවන්න.) මොකද එයාලා වටහාගැනීමේ හැකියාව පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා හරි දේ සහ වැරදි දේ අතර වෙනස හඳුනගන්න එයාලට අමාරුයි. (හෙබ්‍රෙ. 5:11-14) ධනසම්පත් ගැන එයාලට තියෙන ආසාව එන්න එන්නම වැඩි වෙනවා. කොච්චර රැස් කළත් මදි. (දේශ. 5:10) අපිටත් එහෙම හැඟෙනවා නම් ඒ උගුලට අහු නොවී ඉන්න මොකක්ද කරන්න පුළුවන්? හැමදාම බයිබලේ කියවන්න. ධනසම්පත් රැස් කරන්න තියෙන ආසාවට විරුද්ධව සටන් කරන්න ඒක අපිට උදව්වක්. (1 පේතෘ. 2:2) සාතන්ගේ වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න යේසුස්ට පුළුවන් වුණේ ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් ගැන ගැඹුරින් කල්පනා කරපු නිසයි. තව තව දේවල් රැස් කරන්න තියෙන ආසාවට විරුද්ධව ඉන්න නම් අපිත් බයිබලේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගන්න ඕනේ. (මතෙ. 4:8-10) එහෙම කරද්දී අපි පෙන්නන්නේ ධනසම්පත්වලට වඩා අපි ආදරේ යේසුස්ට කියලයි.

ඔයා ජීවිතේ මුල් තැන දෙන්නේ මොනවටද? (18 ඡේදය බලන්න)

18. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

18 “මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද” කියලා පේතෘස්ගෙන් අහපු යේසුස් එයාට වටිනා දෙයක් කියලා දුන්නා. ඒ තමයි යෙහෝවා දෙවිට කරන සේවයට ජීවිතේ මුල් තැන දෙන්න කියන පාඩම. ඒ දේ හිතට අරන් පේතෘස් දිගටම දෙවිගේ සේවයට මුල් තැන දුන්නා. යේසුස් එයාට දුන්න නමට ගැළපෙන විදිහට එයා වැඩ කළා. පේතෘස් කියන නමේ තේරුම “ගල” කියන එකයි. එයාගේ හිතේ යේසුස් ගැන තිබුණ ආදරේ එයා පෙන්නපු හුඟක් ගුණාංගවලින් දකින්න තිබුණා. එයා හරියට ගලක් වගේ නොසැලී සේවය කළා. (ක්‍රියා 4:5-20) අපිටත් ඕනෙ පේතෘස් වගේ නොසැලෙන ආදරයක් යේසුස්ට පෙන්නන්නයි. ඒ නිසා රස්සාවට, විවේකයට සහ විනෝදයට, ධනසම්පත්වලට අපි දීලා තියෙන්නේ කොයි වගේ තැනක්ද කියලා නිතරම සෝදිසි කරලා බලමු. එතකොට අපිටත් පුළුවන් පේතෘස් වගේ “ස්වාමීනි! මගේ හිතේ ඔබ ගැන කොයි තරම් ආදරයක් තිබෙනවාද කියා ඔබ දන්නවා” කියලා කියන්න.