Skip to content

පටුනට යන්න

සහෝදරයන්ට අතහිත දුන් ගායස්

සහෝදරයන්ට අතහිත දුන් ගායස්

මුල් සියවසේ අවසාන හරියේ හිටපු සමහරු බොරු ඉගැන්වීම් පැතිරුවා. එයාලා හැදුවේ සහෝදරයන්ගේ විශ්වාසය දුර්වල කරලා සභාව දෙකඩ කරන්න. (1 යොහ. 2:18, 19; 2 යොහ. 7) ඒ නිසා ගායස් ඇතුළු දෙවිට විශ්වාසවන්තව හිටපු අයට ලේසි වුණේ නැහැ. දියොත්‍රෙෆස් කියන කෙනා යොහන් සහ තවත් අය ගැන “නින්දාසහගත දේවල්” පැතිරුවා. එයා විවිධ ප්‍රදේශවලින් ආපු සහෝදරයන්ට ආගන්තුක සත්කාරය පෙන්නන්න කැමති වුණෙත් නැහැ. එයා හැදුවේ අනිත් අයවත් එයාගේ පැත්තට නම්මගන්න. (3 යොහ. 9, 10) ඔන්න ඔය කාලෙදී තමයි යොහන් ගායස්ව දිරිගන්වලා ලියුමක් යවන්නේ. ක්‍රි.ව. 98දී විතර ලියපු ඒ ලියුම “යොහන් ලියූ 3වෙනි ලිපිය” කියලා හඳුන්වනවා.

මොන අභියෝගවලට මුහුණ දුන්නත් ගායස් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළා. තමන් විශ්වාසවන්ත කෙනෙක් කියලා එයා ඔප්පු කළේ කොහොමද? අපි එයාව ආදර්ශයට ගන්න ඕනෙ ඇයි? ඒ දේ කරන්න යොහන්ගේ ලියුම අපිට උදව් වෙන්නේ කොහොමද?

හද බැඳි මිතුරෙකුට ලියුමක්

ලියුම පටන්ගද්දී ලේඛකයා තමන්ව හඳුන්වලා දෙන්නේ “වැඩිමහල්ලෙකු ලෙස” සේවය කරන කෙනෙක් හැටියට. තමන්ට ඒ ලියුම එව්වේ නියෝජිත යොහන් කියලා තේරුම්ගන්න ගායස්ට ඒ වචන කීපය ඇති. යොහන් එයාව අමතන්නේ “මා සැබවින්ම ප්‍රේම කරන ආදරණීය ගායස්” කියලයි. ගායස් නිරෝගීව ඉන්නවා කියලත් එයා දෙවිට හොඳින් සේවය කරනවා කියලත් තමන්ට විශ්වාසයි කියලා යොහන් ඊළඟට කියනවා. ඒ වදන් ගායස්ගේ හිතට තදින්ම දැනෙන්න ඇති.—3 යොහ. 1, 2, 4.

සමහරවිට ගායස් වැඩිමහල්ලෙක් වෙන්න ඇති. ඒත් යොහන්ගේ ලියුමේ ඒ ගැන හරියටම කියන්නේ නැහැ. කවදාවත් දැකලා නැති සහෝදරයන්ට වුණත් ආගන්තුක සත්කාරය පෙන්වපු එක ගැන යොහන් ගායස්ට ප්‍රශංසා කළා. එයා විශ්වාසවන්ත සේවයක් ඉටු කරනවා කියලා යොහන් කිව්වේ ඒ නිසයි. එදා මෙදා තුර දෙවිගේ සේවකයන් ආගන්තුක සත්කාරය පෙන්නන එක අතින් කැපීපේන ආදර්ශයක් තියලා තියෙනවා.—උත්. 18:1-8; 1 තිමෝ. 3:2; 3 යොහ. 5.

යොහන් ගායස්ව අගය කරපු එකෙන් පැහැදිලි වෙන්නේ එදා හිටපු සහෝදරයන් යොහන් හිටපු තැන ඉඳලා විවිධ සභාවලට ආවා ගියා කියලයි. ඒ ගමන්වලදී තමන් අද්දැක්ක දේවල් ගැන එයාලා යොහන්ට කියන්න ඇති. සභාවන් ගැන එයා තොරතුරු දැනගන්න ඇත්තේ ඒ අය මාර්ගයෙන්.

ඒ විදිහට ආව ගිය අයට ඕන වුණේ සහෝදරයන්ගේ ගෙවල්වල නවතින්න. මොකද ඒ කාලේ තිබුණ තානායම් අනාචාරයට නම් දරාපු තැන්. පහසුකම් තිබුණෙත් නැහැ. ඒ නිසා බුද්ධිමත් කෙනෙක් ගමනක් බිමනක් යද්දී නැවතුණේ යාළුවෙක් එක්ක. සහෝදරයෙක් නැවතුණේ තව සහෝදරයෙක්ගේ ගෙදරක.

“දෙවිගේ නාමය වෙනුවෙන්” පිටත්ව ගිය අය

දිගටම ආගන්තුක සත්කාරය පෙන්වන්න කියලා යොහන් ගායස්ට උනන්දු කරනවා. එයා කිව්වේ “ඔවුන්ගේ ගමනට අවශ්‍ය උපකාර ලබා දෙන්න. එලෙසම එය දෙවි සතුටු වන ආකාරයකින් කරන්න” කියලයි. ඒකෙන් යොහන් අදහස් කළේ ගමනාන්තය දක්වා අවශ්‍ය හැම දේම සහෝදරයන්ට ලබා දෙන්න කියන එකයි. ගායස් පෙන්නපු ආදරය ගැන, එයාගේ විශ්වාසය ගැන සහෝදරයන් හොඳ කිව්වා. ඒකෙන් පැහැදිලි වෙන්නේ සභාවට ආව ගිය අයට ගායස් ආගන්තුක සත්කාරය පෙන්නුවා කියලයි.—3 යොහ. 3, 6.

සභාවලට ආව ගිය අය කවුද? ඒ අය මිෂනාරිවරුන්, සංචාරක සේවකයන් නැත්නම් යොහන් යවපු පණිවිඩකරුවන් වෙන්න ඇති. ඒ හැමෝම ගියේ ශුභාරංචිය දේශනා කරන වැඩකටයුතු වෙනුවෙන්. ඒ නිසයි යොහන් කිව්වේ “ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ දෙවිගේ නාමය වෙනුවෙන්” කියලා. (3 යොහ. 7) ඇපකැප වෙලා දෙවිට සේවය කරපු ඒ අය සහෝදරයන්ගේ ආදරේ, සැලකිල්ල ලබන්න වටිනවා. “එවැනි අයව සාදරයෙන් පිළිගැනීමට අපි බැඳී සිටිමු. එසේ කිරීමෙන් අපට සත්‍ය මාර්ගයෙහි ඔවුන් සමඟ හවුල් සේවකයන් විය හැක” කියලා යොහන් කිව්වේ ඒ නිසයි.—3 යොහ. 8.

දුෂ්කර කාලෙක ලැබුණ දිරිගැන්වීමක්

යොහන් ඒ ලියුම ලිව්වේ ගායස්ට ස්තුති කරන්න විතරක්ම නෙමෙයි. සභාවේ ඇති වෙලා තිබුණ බරපතළ ප්‍රශ්නෙකට හොඳින් මුහුණ දෙන්න ගායස්ට උදව් කරන්නත් එයාට ඕන වුණා. ඒ සභාවේ හිටපු දියොත්‍රෙෆස් ආගන්තුක සහෝදරයන්ට ආදරෙන් සැලකුවේ නැහැ. ඒ විතරක් නෙමෙයි ආදරෙන් සලකන අයටත් එයා බාධා කළා.—3 යොහ. 9, 10.

දියොත්‍රෙෆස්ගේ ගෙදර නතර වෙන්න පුළුවන්කමක් තිබුණත් කිසිම කෙනෙක් එහේ නතර වුණේ නැහැ කියලා හිතන්න පුළුවන්. මොකද දියොත්‍රෙෆස්ට ඕනෙ වුණේ සභාවේ මුල් තැන ගන්න. එයා යොහන් ගැන, සහෝදරයන් ගැන නින්දාසහගත කතා පැතිරෙව්වා. එයා යොහන් කියපු දේවල් පිළිගන්නවා තියා යොහන්ට කිසිම ගෞරවයක්වත් පෙන්නුවේ නැහැ. දියොත්‍රෙෆස් බොරු ගුරුවරයෙක් කියලා කියන්න බැරි වුණත් එයා යොහන්ගේ අධිකාරිය ප්‍රශ්න කරපු කෙනෙක්. එයාට තිබුණ නරක ගතිගුණ දිහා බලද්දී ඇත්තටම එයාට දෙවි ගැන විශ්වාසයක් තිබුණද කියන එකත් සැකයක්. දියොත්‍රෙෆස් වගේ මුල් තැන ගන්න කැමති, අහංකාර අය ඉද්දී ප්‍රශ්න ඇති වෙලා සභාවක් දෙකඩ වෙන්න පුළුවන් කියන එක මේ සිද්ධියෙන් පැහැදිලියි. ඒ නිසයි “නපුරු දේවල් ආදර්ශයට නොගන්න” කියලා යොහන් ගායස්ට කිව්ව දේ අපිත් හොඳට මතක තියාගන්න ඕනේ.—3 යොහ. 11.

යහපත් දේවල් කරන්න හොඳ හේතුවක්

දෙමේත්‍රියස් කියන්නේ දියොත්‍රෙෆස්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. යොහන් එයා ගැන මෙහෙම කිව්වා. ‘දෙමේත්‍රියස්ට යහපත් ගුණාංග ඇති බවට සියලු සහෝදරයන් සාක්ෂි දෙන අතර ඊට අපද සාක්ෂි දරනවා. අප ලබා දෙන සාක්ෂිය සැබෑ බව ඔබ දන්නවාට සැකයක් නැහැ.’ (3 යොහ. 12) සමහරවිට දෙමේත්‍රියස්ට ගායස්ගෙන් උදව්වක් ඕනෙ වෙන්න ඇති. යොහන් ලියපු 3වෙනි ලිපියේ දෙමේත්‍රියස් ගැන විස්තර කරලා, නිර්දේශයක් ඇතුළත් කරන්න ඇත්තේ ඒ නිසා කියලා හිතන්න පුළුවන්. හුඟක්දුරට ඒ ලියුම ගායස්ට ගිහින් දෙන්න ඇත්තේ දෙමේත්‍රියස්ම වෙන්න ඇති. යොහන්ගේ පණිවිඩකරුවෙක් නැත්නම් සංචාරක සේවකයෙක් වුණ දෙමේත්‍රියස් යොහන්ගේ ලිපියේ තිබුණ තොරතුරු තවත් තහවුරු කරන්න ඇති කියලා හිතන්න පුළුවන්.

ඒ වෙද්දීත් ආගන්තුක සත්කාරය පෙන්වමින් හිටපු ගායස්ට දිගටම ඒ දේ කරන්න කියලා යොහන් කිව්වේ ඇයි? යොහන්ට ඕනෙ වුණේ ගායස්ව තව ශක්තිමත් කරන්නද? නැත්නම් ආගන්තුක සත්කාරයට ළැදි අයව දියොත්‍රෙෆස් සභාවෙන් අයින් කරන්න උත්සාහ කරපු නිසා ගායස් ආගන්තුක සත්කාරය පෙන්නන්න මැළි වෙයි කියලා යොහන්ට හිතුණ නිසාද? හේතුව මොකක් වුණත් යොහන් මෙහෙම කියලා ගායස්ව ශක්තිමත් කළා. “යහපත් දේවල් කරන තැනැත්තා දෙවිට යටත් කෙනෙක්.” (3 යොහ. 11) දිගටම යහපත් දේවල් කරන්න ඒක අපිට මොන තරම් හොඳ හේතුවක්ද!

දිගටම ආගන්තුක සත්කාරය පෙන්නන්න යොහන්ගේ ලියුම ගායස්ට උදව් වුණාද? ඔව්. මොකද යෙහෝවා දෙවි ඒ ලියුම බයිබලේට ඇතුළත් කෙරුවා. ඒ වගේම “යහපත් දේවල් ආදර්ශයට ගන්න” අනිත් අයව දිරිගන්වන්න ඒ ලියුම අදටත් පාවිච්චි කරනවා.

යොහන් ලියපු 3වෙනි ලිපියෙන් පාඩම්

ගායස් ගැන අපි දන්නේ හරිම ටිකයි. ඒත් වටිනා පාඩම් රැසක් ඉගෙනගන්න ඒ දන්න ටික හොඳටම ඇති. අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම් 3ක් ගැන දැන් බලමු.

අපිට “ආගන්තුක සත්කාරය පෙන්නන්න” පුළුවන් මොන වගේ විදිවලින්ද?

අපෙන් හුඟදෙනෙක්ට සත්‍යය ලැබුණේ විවිධ පළාත්වලට කැමැත්තෙන්ම ගිහින් ශුභාරංචිය දේශනා කරපු අය නිසයි. ඇත්ත, දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් අපි හැමෝම එදා වගේ දුරුකතර ගෙවාගෙන යන්නේ නැහැ. ඒ වුණත් ගායස් වගේ අපිටත් පුළුවන් සේවය වෙනුවෙන් විවිධ ප්‍රදේශවලට යන සහෝදර සහෝදරියන්ට සහය වෙන්න, දිරිගන්වන්න. උදාහරණෙකට අපිට පුළුවන් චාරිකා සේවක සහ එයාගේ බිරිඳට ආගන්තුක සත්කාරය පෙන්නන්න. නැත්නම් තමන්ගේ රටේ හරි වෙනත් රටක හරි ප්‍රචාරකයන් අඩු පැතිවලට යන අයට උදව් කරන්න. ඒ විදිහට අපි “නිතරම ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වෙමු.” (රෝම 12:13; 1 තිමෝ. 5:9, 10) අපිට ඉගෙනගන්න පුළුවන් 1වෙනි පාඩම ඒකයි.

දැන් අපි 2වෙනි පාඩම ගැන බලමු. සමහර අය වැඩිමහල්ලන්ගේ අධිකාරියට විරුද්ධව වැඩ කරන අවස්ථා තියෙන්න පුළුවන්. යොහන්ට සහ පාවුල්ට තිබුණ අධිකාරියට විරුද්ධවත් සමහරු වැඩ කළා. (2 කොරි. 10:7-12; 12:11-13) අපේ සභාවෙත් ඒ වගේ දෙයක් වුණොත් අපි මොනවද කරන්න ඕනේ? පාවුල් තිමෝතිට මෙහෙම කිව්වා. “ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි. ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇති, නපුරු දේවල් සිදු වන විට ඉවසාගෙන සිටීමට හැකියාවක් ඇති, යම් විරෝධතා එල්ල කරන අයට මෘදුකමින් මඟ පෙන්වීම් ලබා දීමට හැකියාවක් ඇති කෙනෙකු විය යුතුයි.” සමහර අය අපිට කේන්ති යන විදිහට වැඩ කරයි. ඒ වගේ වෙලාවලදී වුණත් අපි දිගටම එයාලට මෘදු විදිහට සලකනවා නම් එයාලා හැසිරෙන විදිහ ටිකෙන් ටික වෙනස් කරගන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ‘සමහරවිට එයාලට පසුතැවිලි වෙලා සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගන්න දෙවි මඟ සලසයි.’—2 තිමෝ. 2:24, 25.

අභියෝග මැද දෙවිට විශ්වාසවන්තව සේවය කරන අපේ සහෝදර සහෝදරියන්ව අපි අගය කරන්න ඕනේ. අපිට ඉගෙනගන්න පුළුවන් 3වෙනි පාඩම ඒකයි. ගායස් කරමින් හිටපු දේවල් අගය කරපු යොහන් එයාව දිරිගැන්නුවා. එයාව ශක්තිමත් කළා. අද ඉන්න වැඩිමහල්ලනුත් යොහන්ව ආදර්ශයට ගන්න ඕනේ. “වෙහෙසට පත් නොවී” ඉන්න සහෝදරයන්ට උදව් කරන්න නම් එයාලව දිරිගන්වන එක අත්‍යවශ්‍යයි.—යෙසා. 40:31; 1 තෙස. 5:11.

ග්‍රීක භාෂාවෙන් යොහන් ගායස්ට ලියපු ඒ ලිපියේ තියෙන්නේ වචන 219යි. ඒක තමයි බයිබලේ තියෙන කෙටිම පොත. ඒ වුණත් ඒකේ මොන තරම් පාඩම් සැඟවිලා තියෙනවද!